Posted by: lrrp | October 24, 2011

කැලණි ගං පතුලේ අඩි හයක් උස උමගක්

යුද්ධයේ අතිදක්ෂයින් වූ පෘතුගීසින් සමග දිගටම සටන් කිරීමට සිතාවක පළමුවැනි රාජසිංහ රජුට සිදුවිය. ඔහු පෘතුගීසීන් සමග සටන් කළේ කෝට්ටේ යටත් කරගන්නටය. කොළඹ පෘතුගීසී බළකොටුව යටත් කර ගැනීමට නොහැකිවූවද කෝට්ටේ අත්පත් කර ගන්නට ඔහු සමත්විය.යුද්ධයේ විවිධ උපක‍්‍රම භාවිත කළ රාජසිංහ රජු කැලණි ගංගාවේ පතුලින් උමං මාර්ග කිහිපයක් නිර්මාණය කළේ සටන් උපක‍්‍රමයක් ලෙසය. සීතාවක රාජධානියට අයත් හංවැල්ල ප‍්‍රදේශයෙන් පටන් ගන්නා එම උමං මාර්ග රැසක් අදවනතුරුත් එය එසේම පවතී. හංවැල්ලේ සිට කැලණිය දක්වා වූ පැතිරෙන කැලණි ගංගාවේ කොටස් ගංගා පතුලේ ඇති උමං මාර්ග පිළිබඳව අධ්‍යනයක් කළේ වසර 25 ක් තිස්සේ යටියන්තොට සිට කොළඹ තොටළඟ දක්වා කැලණි ගංගාවේ කිමිදුම්කරුවකු වන කඩුවෙල පදිංචි මුනවීර කංකානමලාගේ අනුර දේශප‍්‍රිය (43) මහතාය.ගංගාවේ එම පරාසය තුළ මේ වනවිට ගිලීගිය මළසිරුරු 43 ක් ගොඩගෙන ඇති දේශප‍්‍රිය මහතා බේරාගෙන ඇති ජීවිත ගණන 09 කි.

ඒ මහතාගේ දත්තවලට අනුව කැලණි ගංගාවේ විශාලතම උමඟ පිහිටා ඇත්තේ මල්වාන රාස්සපාන ප‍්‍රදේශයේය. අනෙක් උමං මාර්ගවල දොරටුව අඩි 3 ක් පමණ විශාල වූවත් රාස්සපාන උමගට ඇතුළුවීමට ඇති දොරටුව අඩි 6 ක් පමණ විශාලය. ජලයේ ඉහළ මට්ටමේ සිට අඩි 80 ක් පමණ පහළින් ගංගා පතුලේ පිහිටි රාස්සපාන උමග මාපිටිගම ප‍්‍රදේශයේ පිහිටි ගල්ලගම දේවාලය තෙක් දිවෙන බව විශ්වාස කෙරේ. ඊට අමතරව හංවැල්ල මාලිගාවිල වක්කලමෙන් පටන් ගන්නා උමගත්, මාපිටිගම උමගත්, රග්ගහවත්තේ උමඟත් අනුර දේශප‍්‍රිය මහතා නිරීක්ෂණය කර තිබේ. කඩුවෙල දේවාලයේ දියකපන ස්ථානයෙන් ආරම්භ වන උමං මාර්ග දෙකක් ඇත. ඒ දෙකම මාර්ග දෙකකින් ගමන් කරන්නේ කොරතොට දේවාලය දෙසටය. රග්ගහවත්ත උමග මුල්ලේරියාව දෙසට තිබුණද මේ වනවිට එම උමං මාර්ගය වැසී ගොස්ය.ඔහුගේ නිරීක්ෂණයට අනුව කැලණි ගංගාවේ දරුණුම වක්කලම (ගැඹුරුම)  පිහිටා ඇත්තේ කැලණි විහාරයට ආසන්නවය.

එම වක්කලමෙන් පටන් ගන්නා උමං මාර්ගය විහාරය දෙසට පිහිටා ඇත. බෝගහ වක්කලම ලෙස හැඳින්වෙන මෙම ස්ථානයේ විහාරයට මායිම්වන්නට  පිහිටි සීමාව පෘතුගීසීන් කඩා දමන්නට ඇතැයි සැකකරන විහාරයට අයත් කළුගලින් නෙළු විශාල ප‍්‍රමාණයේ ඇත් රූප දෙකක් දක්නට ලැබේ. එම ඇත් රූප ආසන්නයේ කිරුගරුඬ බුදුරුවක් දක්නට ඇති අතර එම බුද්ධ ප‍්‍රතිමාවේ දෙනෙත්වලට මැණික් ඔබා ඇති බවද ඒ මහතා කියයි. එම මැණික් අධික වටිනාකමකින් යුක්ත ඒවා බවත් ඔහුගේ විශ්වාසයයි. ඇඹුල්ගම ‘‘සුදා’’ නැමැති කිමිදුම්කරු පළමුව තමාට ඒ බව කී විට ඔහු එය විශ්වාස නොකළ බැවින් දෙදෙනාම පසුදින අඩි 45 ක් පමණ ගැඹුරු එම ස්ථානයේ කිමිදී තිබේ. එම අවස්ථාවේ දේශප‍්‍රිය මහතා ඇත්රූප හා බුදු පිළිමය දැක ඇති අතර ඇඹුල්ගම සුදා ඒ මොහොතේ බුදු පිළිමය ස්පර්ශ කර ඇත. ඒ දින පටන් අසනීප වූ ඔහු උණ රෝගය වැළඳී මසකින් පමණ මියගොස් ඇත.එම බුදු පිළිමය දෙස එක එල්ලේ බලාසිටීමට හෝ ස්පර්ශ කිරීමට නොහැකි බවත් දේශප‍්‍රිය මහතා කියයි. මේ පිළිබඳව කැලණිය රජමහා විහාරාධිපතීන් වහන්සේද දැනුවත් කළ බව දේශප‍්‍රිය මහතා සඳහන් කරයි.

දේශප‍්‍රිය මහතා ගෙඟ් කිමිදෙන්නේ කිමිදුම් කට්ටලවලින් තොරවය. දෙසවන්වලට ජලය ඇතුළුවනවාට කන් සිදුරුවලට ආරක්ෂක උපකරණ පැළඳගෙන ඔහු ගංගාවේ කිමිදෙයි. අනුර දේශප‍්‍රිය මහතා කැලණි ගඟට බසින්නේ ආගමික වතාවත්වලින් පසුවය. විශේෂයෙන් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සෙවීමට ගඟට බැසීමේදී කැලණි ගඟට අධිපති රංවල දෙවියන් වෙනුවෙන් වතාවත් ඉටුකරයි. අනතුරුව ‘‘මහසෝනා’’ වෙනුවෙන් බිල්ලක් දෙයි. ඒ බිත්තරයකි. බිත්තරයක් කඩා ගඟට දැමීමෙන් අනතුරුව ඔහු ගංගාවේ කිමිදෙයි.හංවැල්ලත් – අවිස්සාවේල්ලත් අතර පිහිටි රංවල නම් ගමේ පදිංචිව සිටි පුද්ගලයෙක් ගම්භාර සූනියම් දෙවියන්ට පහන් දල්වමින් දෙවියන් සඳහා නියමිත ලෙස වතාවත් පැවැත්වීය. හතර පෝයටම සිල්ගත් මෙම පුද්ගලයා මියගිය පසුව සූනියම් දෙවියන්ගේ බලය ඔහුට ලැබිණි. පසුව ඔහු රංවල දෙවියන් වූ බව ආගමික විශ්වාසයයි. මස්කෙළියේ සිට කොළඹ දක්වා ගලා යන කැලණි ගඟට අධිපති දෙවියන් වන්නේ මෙම රංවල දෙවියන්ය.රංවල දෙවියන් නැමැද දියේ සිටිතැයි විශ්වාස කරන මහසෝනාට බිල්ලක් දීමෙන් අනතුරුව ගෙඟ් ගිලී මියගොස් සිටින්නාගේ සිරුර තැන්පත් වී ඇත්තේ ගංගා පතුලේ කුමන ස්ථානයේද යන්න ගොඩසිට කියන්නට තමාට හැකි බව අනුර දේශප‍්‍රිය කියයි. එම නිශ්චය කරන ස්ථානය ඉලක්ක කොට ගෙන දියේ කිමිදීගොස් ගංගා පතුලේ ඇති මළසිරුර රැගෙන ඒමට ඔහු සහජ දක්ෂතා දක්වයි.දේශප‍්‍රිය මහතා සඳහන් කරන පරිදි ගංගාවක ජලයේ උෂ්ණත්වය කොටස් කීපයකි.

ජලයේ මතුපිට සිට අඩි 45 දක්වා ගැඹුර සාමාන්‍ය ශීතලකින් යුක්තය. අඩි 45 සිට අඩි 65 දක්වා දැඩි ශීතලකින් යුක්තය. අඩි 65 සිට අඩි 100 දක්වා අධි ශීතලකින් හා අඩි 100කට වැඩි ස්ථාන මිනිසෙකුට තප්පර දෙකක් සිටිය නොහැකි ‘‘ඞී පීෂර්’’ තත්ත්වයේ ඇත. අඩි 100 ට වඩා ගැඹුරු මෙම කලාපය තුළ අංග සම්පූර්ණ කිමිදුම් කට්ටල ඇඳගත් කිමිදුම්කරුවකුට වත් විනාඩි 05 කට වඩා සිටිය නොහැකි බව ඔහු පවසයි. කැලණි ගෙඟ් ගැඹුරුම ස්ථානය සේ සැලකෙන වක්කලම් විශාල ගණනක් පිහිටා තිබේ. රංවලට ඉහළින් පිහිටි ‘‘දුම්බුකටුව’’ වක්කලම කැලණි ගෙඟ් පිහිටි දිගම වක්කලමයි. එහි දිග කිලෝමීටර් 03 ක් පමණය.

මෙම වක්කලමට කිමිදෙන්නට අසීරු  අතර  කිමිදුම්කරුවන් පවා එය ළඟා නොවන ස්ථානයකි. වැලි ගොඩ දැමීම නිසාත් විවිධ පාරිසරික හේතූන් නිසා හංවැල්ල හා කඩුවෙල ප‍්‍රදේශවල ගංගාවල ඉතා ගැඹුරු තත්ත්වයේ පවතින අතර කඩුවෙල වක්කලමේ පමණක් මළසිරුරු 13 ක්  තිබී ගොඩගත් බව දේශප‍්‍රිය මහතා කීය. අඩි 100 දක්වා දුරක් යටට කිමිදී අත්දැකීම් ලබා ඇති ඔහු මෑතක සිට වෛද්‍ය උපදෙස් මත අඩි 65ට වඩා වැඩි ස්ථානවල කිමිදීමෙන් වැළකී සිටියි.විශේෂයෙන්ම දියේ ගිලී මරණයට පත්ව ඇති අයගේ මළ සිරුරු සොයන්නන් ඒ සඳහා යොමුවීමට පෙර මත්පැන් ස්වල්පයක් හෝ පානය කරයි. දිය යට තනියම මළසිරුරු හා ගැටෙන කාර්යයකට එවැනි අවශ්‍යතාවක් අවශ්‍යම බව ඔවුන්ගේ මතයයි. නමුත් කිමිදුම් උපකරණ ද රහිතව ගංගාවේ කිමිදෙන දේශප‍්‍රිය මහතා කිසිදින මත්පැන් පානය නොකරයි. දුම් පානය නොකරයි. ඔහුගේ සාමාන්‍ය ජීවිතයද එසේය. කඩුවෙල රංකඩු දේවාලයේ ලේකම් ලෙසද කටයුතු කරන ඔහු ප‍්‍රතිපත්තියක් ලෙස දුරාචාරයෙන් මිදී සිටින්නෙකි. කැලණි ගෙඟ් දියේ ගිලෙමින් සිටි විශාල පිරිසකගේ ජීවිත බේරාගෙන ඇති ඔහු ඒ වෙනුවෙන් 2006 වසරේදී ජනාධිපති සම්මානද දිනා ඇත.වෘත්තියෙන් වැලි ගොඩදමන්නකු වන අනුර තම වෘත්තිය සඳහා රණාල තොටුපළට එදා ගියේ උදෑසනින්ය.

එහි සේවය කරමින් සිටි අනුරට දක්නට ලැබුණේ එම ස්ථානයේ දිය නාමින් සිටි 18 හැවිරිදි තරුණයකු දියේ ගිලෙමින් සිටින අයුරුයි. තරුණයාට පිහිනීමට නොහැකි තත්ත්වයේ සිටි අතර පාදයේ කෙණ්ඩා පෙරළීමෙන් තවත් අවදානම් තත්ත්වය වැඩිවූයේය.තමන්ගේ ජීවිතය ගැන නොසිතා අනුර වහා ජලකඳ සමග පොරබදා ජලයේ ගසාගෙන යන තරුණයා බේරාගෙන පැමිණියේය. ඒ සේවාව වෙනුවෙන් 2006 වසරේ ඔක්තෝබර් 30 දින කොළඹදී පැවැති විරුජන වීර රජත සම්මාන උළෙලේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සම්මානයක් ද දිනා ගත්තේය.මීට වසර දෙකකට පමණ පෙර සියදිවි නසා ගැනීමේ අරමුණින් අවුරුදු 35 ක් පමණ වයස කාන්තාවක් කඩුවෙල පාලමෙන් කැලණි ගඟට පැන්නාය. එවිට රාත‍්‍රී 9 ත් පසුවී තිබිණි. පාරේ ගිය අයෙකු මේ බව ඒ අසල පිහිටි පොලිස් මුරපළට දැන්වීය. කාන්තාව පිළිබඳව තියා ගංගාවේ ජලය වත් හරියට නොපෙනෙන ඝන අඳුරේ කැලණි ගංගාව මත කාන්තාවගේ මරණය ලියවෙමින් තිබිණි.ඒ අසලම පදිංචි කරුවකු වූ දේශප‍්‍රිය අධික එළියකින් යුත් විදුලි පන්දමද රැුගෙන ගඟ පහළින් විදුලි පන්දම දල්වා බැලූවේය.

කාන්තාව වේගවත් ජලපහරට හසුවී දියේ ගසාගෙන යනු ඔහු දුටුවේය. වරෙක දිය යට ගිලෙමින් හා උඩට මතුවෙමින් දිවි නසා ගැනීමට පැන්න ඇය මරණයේ වේදනාව දැනී උදව් ඉල්ලා කෑගැසුවාය. දේශප‍්‍රිය ඉලක්කය බලා ගඟට පැන්නේය. කාන්තාව ගිලෙමින් සිටි ප‍්‍රදේශයට පැමිණියද ඇය පිළිබඳව හෝඩුවාවක් නොවීය. ඔහුගේ පිටුපසින් ඇගේ එක් අතක් උඩට එසැවිණි. ඔහු වහා ඇය අල්ලා ගත්තේය. මරණ මංචකයේ සිටි ඇය දෑත් දෙපසට විහිදුවා දේශප‍්‍රියගේ ශරීරය වටා අත් දමා තදින් බදාගත්තාය.දේශප‍්‍රියටද කරගත හැකි දෙයක් නොවීය. ඔහුද ඇගේ ග‍්‍රහණයත් සමග දිය යට ගිලෙමින් සිටියේය. දිය යට හුස්ම අල්ලා ඔහුට සිටිය හැකි උපරිම කාලය වූ විනාඩි 02 යි තප්පර 15 කාලයද ආසන්නයටම පැමිණ තිබිණි. කාන්තාවගේ දෑතේ ඇඟිලි එකිනෙක තදවී තිබූ බැවින් ඔහුට ගැලවීමට නොහැකි විය. දේශප‍්‍රිය සිය අවසාන උත්සාහයද ක‍්‍රියාත්මක කළේය. තමාගේ අත පිටුපසට යවා කාන්තාවගේ එක් අතක සුළැගිල්ල විරුද්ධ අතට නැමීය. එවිට ඇගේ දෑතේ ඇඟිලි ලිහිල් විය.

ක්‍ෂණයකින් ඉවත පැනගත් දේශප‍්‍රිය ගොඩට ආවේ තනියම නොවේ කාන්තාවද රැගෙනය. මරණාසන්නව සිටි ඇයගේ ජීවිතය ගළවා ගැනීමට වෛද්‍යවරුන් සමත් වූයේ සති දෙකක් පමණ රෝහල් ගත කර තැබීමෙනි.වරක් පෑලියගොඩ කැලණි පාලමින් ගඟට වැටුණු ළමයකු බේරා ගැනීමට දිය යටින් ගිය දේශප‍්‍රියගේ හිස ගල්බැම්මක තදින් වැදුනේය. අධික වේදනාවක් ගෙනදුන්නද ඔහු තම රාජකාරිය ඉටුකළේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමෙනි. තමාට දිය යටදී හෝ විපතක් සිදුවූ අවස්ථාවක රංවල දෙවියන්ගේ පිහිට පැතූ විට එම පිහිට ඔහුට ලැබෙන බව දේශප‍්‍රිය පවසයි. ගැඹුරු දියේ කිමිදෙන සමහර අවස්ථාවලදී දැඩි ගීතල ගතිය නිසා අත්පාවල මස් ගොබ පෙරළීම, කෙණ්ඩ පෙරළීම වගේ දේ සිදුවුණා. ඒ වෙලාවට මම රංවල දෙවියන් සිහිකර එම වේදනා සහිත ස්ථාන පිරිමදිනවා. ටික වේලාවකින් එය සුවවෙනවා. ඒ නිසා උන්වහන්සේ කෙරෙහි මගේ තිබෙන්නේ ලොකු ගෞරවයක්.

හැබැයි අඟහරුවාදා දිනවල හවස හයේ සිට රාත‍්‍රී 9 අතර තුර ගෙඟ් ගිලූණු මළසිරුරු ගන්න මම යන්නේ නැහැ. එයට හේතුව ඒ අශුභ වේලාවලදී දිය යට තිබෙන මළ සිරුරු කිමිදුම් කරුවන්ට විරූපී අන්දමින් පෙනීමයි.තාත්තා සමග ඇතිවූ හබයකින් හටගත් ක්‍ෂණික කෝපය නිසා 1994 ජනවාරි 4 දින කැලණියට පැමිණ ඇති 17 හැවිරිදි තරුණියක් කැලණි විහාරය වැඳපුදා ගැනීමෙන් පසුව කැලණිය බෝගහ වක්කලමෙන් ගඟට පැන දිවි නසාගත්තාය. මළසිරුර සොයාගැනීමට කිමිදුම්කරුවන් බොහෝ දෙනකු උත්සාහ ගත්තත් සාර්ථක නොවීය. පසුව මේ කටයුත්ත බාර වූයේ දේශප‍්‍රියටය.මම රංවල දෙවියන්ට පහනක් පත්තු කරලා ඔවුන් සමග එම ස්ථානයට ගියා. මා දෙවියන් සිහිකර දියයට කිමිදුන නමුත් ගඟ පතුලට යන්න බැරිතරම් එම ස්ථානය ගැඹුරු බව තේරුණා.

ඉන් පසුව ගොඩට විත් දෙවියන් වෙනුවෙන් යළිත් පහනක් පත්තු කර අඩි 45 ක් පමණ ගැඹුර එම ස්ථානයට යළිත් කිමිදුනා. ඒත් එම ස්ථානයේ කබොක් ගලක් හැර මළසිරුරක් පේන්නට තිබුණේ නෑ. පසුව විපරම් කිරීමේදී එම ස්ථානයේ සිට කැලණි විහාරය දෙසට හාරා තිබූ උමඟක ඒ මිනිය සිරවී තිබුණා. නමුත් ඒ අවස්ථාවේ ගල් ඇඟේ ගැවීමෙන් හා අධික මහන්සියක් දැනීම නිසා මගේ ශරීරය තුවාල වී ලේ ගැලූවා. මිනියක් ගොඩගන්න ට දෙවරකට වඩා දියයට යාම එතරම් සුබදායක නැහැ කියා මා තේරුම් ගත්තා. එදා සිට මළ සිරුරු ගොඩගන්නා විට උපරිම ලෙස දෙවරකදී ගොඩගන්නට මා උත්සාහ කළා’’ යැයි දේශප‍්‍රිය පවසයි.කිමිදුම්කරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණුවක් ලබාදී කිමිදුම්කරුවකු ලෙස පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාදීමට සංචාරක හෝටල් හිමිකරුවන් රැසක් දේශප‍්‍රියට ආරාධනා කළද ඔහු එම ඉල්ලීම් සියල්ල ප‍්‍රතික්ක්‍ෂ්ප කර සුපුරුදු වැලිගොඩ දැමීමේ වෘත්තියේ යෙදී සිටියි.

එහෙත් ජීවිත රැසක් බේරාදී, ගොඩගැනීමට අසීරු ස්ථානවල තිබූ මළ සිරුරු ගණනාවක් ගොඩට ගෙන දුන්නද, එම පුද්ගලයන්ට එම උදව්ව මතකයේ රැඳෙන්නේ ඉතා සුළුවේලාවක් පමණක් බව ඔහු කියයි. සමහරු මිනිය ගොඩගන්නට තමා වාහනයකින් රැගෙන ගියත්, ආපසු තමා පැමිණෙන්නේ කෙසේදවත් සොයා නොබලන වග ඔහු සඳහන් කරයි.මිල මුදලට මෙම කාර්යයේ නිරත බොහෝ දෙනකු පිළිබඳව තමා දැන සිටියද මෙම සද්කාර්යය සඳහා කිසිම විට කිසිම අයකුගෙන් මුදලක් අය නොකළ බවද, ඔහු සතුටින් දුන් ත්‍යාගයක් භාරගත් බවද ඔහු කියයි. තම ජීවිතය පවා නොතකා බිහිසුණු ජල ක‍්‍රීඩාවේ යෙදී සිටින තම ස්වාමියාට රජයේ හෝ අනුග‍්‍රහයෙන් රැකියාවක් සොයාදෙන්නේ නම් පිනක් බව ඔහුගේ බිරිඳ වන බී.එම්. සුමනාවතී මහත්මිය කීවාය. දෙදරු පියකු වන තම ස්වාමියා වැලිගොඩ දැමීම වෘත්තිය ලෙස කළත් එය කළ හැක්කේ ඇෙඟ් හයිය පවතින තුරු පමණක් බවද ඇය පැවසුවාය.

සටහන – ඡායාරූප:දොම්පේ – අජිත් මදුරප්පෙරුම
අනුර දේශප‍්‍රිය
උමං දොර දෙකක් පිහිටි කඩුවෙල වක්කලම පිහිටි ස්ථානය
කැලණි ගෙඟ් විශාලම උමංදොර පිහිටි රාස්සපාන තොටුපළ
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: