Posted by: lrrp | October 24, 2011

පැරැණි ලංකාවේ රජකුගේ දින චරියාව – හෙළ රජසමයේ අප‍්‍රකට තොරතුරු

ලංකාවේ පැරණි රජවරුන්ගේ කාර්යභාරය මෙන්ම ඔවුන්ගේ කාර්ය සිද්ධීන් පිළිබඳව  වංසකතා හා වෙනත් ඉතිහාස මූලාශ‍්‍රවල බොහෝ විස්තර සඳහන් වුවද ඔවුන්ගේ ජීවන චර්යාව පිළිබඳව ඒවායෙන් හෙළිවන කරුණු බොහෝ අල්පය. ඇතැම් මූලාශ‍්‍රවල එන තොරතුරු අනුව නම් ඔවුන් අතරින් සමහර රජවරුන් මත්පැනට මෙන්ම කාන්තාවන් ඇසුරට දැඩිලෙස ගිජුව එයින්ම විනාශයට පත්වූ බවද හෙළිවෙයි. සුළු පිරිසක් එසේ වුවද, පිළිගත් රාජධර්ම ආරක්‍ෂා කරමින් තම දින චර්යාව පැවැත්වූ රජුන්ද ඒ අතර වූ බව අපට හමුවන තවත් ඉතිහාස මූලාශ‍්‍රවලින් හෙළිවෙයි.

මෙබඳු රජකුගේ එදිනෙදා දින චර්යාව පැවැත්වූ ආකාරය ඉතා සවිස්තරව සඳහන් වන කෘතියක් දඹදෙණි යුගයේදී ලියැවී ඇත්තේය. දෙවැනි පරාක‍්‍රමබාහු රජු පොලොන්නරුවේදී (කඳවුරු නුවර)වාසය කළ අවධියේදි එතුමාගේ දින චර්යාව එහි විස්තර කර ඇත. පොළොන්නරුව එකල කඳවුරු නුවර යනුවෙන් හැඳින්වූ බැවින් රජු එහි වාසය කරද්දී අනුගමනය කළ දිනචර්යාව විස්තර කරන ග‍්‍රන්ථය ද ”කඳවුරු සිරිත” නමින් හැඳින්වූ බව පෙනේ. එම දිනචර්යාවේ සම්පිණ්ඩනය ගතහොත් එය බොහෝ දුරට කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයේත් ශුක‍්‍රනීති සාරයෙන් එන රාජකීය යුතුකම් සිහිපත් කරවයි. එහෙත් මෙම දින චරියාවේ ඒ ඒ අවශ්‍ය එකිනෙක ගෙන සලකා බලන විට හින්දු නීතිරීතිවලින් බැහැරව එය සුදුසු ලෙසින් බෞද්ධ පරිසරයට ගැලපෙන ආකාරයට ගලපාගෙන ඇති සැටි පෙනේ. කාලය මැනීමේ පැරණි සිංහල ක‍්‍රමය වෙනුවට වර්තමාන භාවිතා කරනු ලබන පැය ක‍්‍රමය අනුව සලකා බැලූවහොත් රජතුමාගේ දින චරියාව පහත සඳහන් පරිදි වේ.

රජතුමා දිනයේ හිරු උදාවීමට දෙපැයකට කලින් නිදියහනින් නැගී සිටිය යුතුය. ඉන් පසු නිදි යහනේම සිට පැයකුත් විනාඩි දොලහක් බුදුදහමේ ඉගැන්වෙන ති‍්‍රලක්‍ෂණය වූ අනිත්‍ය දුඃඛ අනාත්මය ගැන භාවනා කළ යුතුය. ඊළඟ විනාඩි හතලිස් අට තමා උගත් ධර්මපාඨ හා ගාථා ආවර්ජනය කිරීම සඳහා ගත කළ යුතුය. මේ වන විට දිනයේ හිරු උදාවන මොහොත පැමිණෙයි. පුරෝහිත බ‍්‍රාහ්මණයා ශී‍්‍රයහන් ගබඩාවට පැමිණ ශුද්ධවූ කුසතණ හා මන්ත‍්‍ර ජපකළ ජලය පුරවන ලද දක්‍ෂිණාවෘත කිරිහක්ගෙඩිය රජතුමාට පිරිමන්නේ මේ අවස්ථාවේය. බ‍්‍රාහ්මණයා වේද මන්ත‍්‍ර ජප කරද්දී රජතුමා හක්ගෙඩියත් කුසතණත් පිරිමැදිය යුතුය. ඉන්පසු රජතුමා කලින්දා ? තමා දුටු සිහින පිළිබඳව ඔහු විමසයි. අනිටු ඵලදෙන සිහින දැක ඇත්නම් එයින් ඇතිවන උපද්‍රව වලකාගනු සඳහා කළයුතු ප‍්‍රතිකර්ම පිළිබඳව බ‍්‍රාහ්මණයා රජුට උපදෙස් දෙයි. බ‍්‍රාහ්මණයාගේ කාර්ය එයින් අවසන් වූ පසු ශී‍්‍රයහන් ගබඩාවට පිවිසෙන්නේ මහවෙදනාය. (රජුගේ ප‍්‍රධාන වෛද්‍යවරයා) ඔහු රජතුමාගේ ශරීර සෞඛ්‍ය ගැන විමසා අවශ්‍ය වෙදහෙදකම් හා පිළිපැදිය යුතු හෙදකම් පිළිබඳවද උපදෙස් දෙයි. මහවෙදාගේ කාර්යයන්ගෙන් පසු ශ්‍රී යහන් ගබඩාවට පිවිසෙන්නේ ”මහාදොරනා” නමින් හැඳින්වූ රජුගේ සමීපතම වත් පිළිවෙත් භාරව සිටින ප‍්‍රධානියාය. ඔහු විසින් ගෙනඑනු ලබන සුවඳ ජලයෙන් රජු මුහුණ දෙවීම වැනි ශරීර කෘත්‍යයන්හි යෙදෙයි. ශරීරදෝවනයෙන් පිරිසිදුවන රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යන්නා සේ දළදාමාළිගාවට ගමන් කරයි. දළදා මාළිගාවේ උඩුමහලට පිවිස මහත් භක්තියෙන් හිසකෙස්ද රන්කෙඳි ද සැවන්දන මුල්ද යොදා සකස් කළ බිම පිස දමනයකින් දළදා මාලිගාව අමදියි. ඉන්පසු පූජා භාණ්ඩ දොළොස් වර්ගයකින් දළදාවට පුද පූජා පවත්වයි. සුවඳපැන් ඉසින ලද මල් පූජා කරයි. ඉන් අනතුරුව දළදා හිමි ඉදිරිපස වැඳ වැටී සිල් සමාදන් වෙයි. ඉන්පසුව තමන්ට භික්‍ෂුන් වහන්සේලා විසින් පිරිනමන පිරිත් පැන් පිළිගෙන ගිතෙල් බඳුනකින් තම මුහුණ බලයි. ඉන් අනතුරුව රජතුමා මෙම ගිතෙල භික්‍ෂුන්ටද බ‍්‍රාහ්මණයින්ටද පිරිනමයි.

උඩුමහලේ මෙම චාරිත‍්‍ර නිම කරන රජතුමා පහතමාලයට බසී. පහත මාලයේදී සිත්තරකු පේකර සිටින සායම් බඳුනකින් තෙලිකූරකට ගන්නා පාටවලින් බුදුරුවක නේත‍්‍ර පිහිටුවයි. ඊළඟට රැස්ව සිටින උපාසකයින්ට බුදු පිළිමද බෞද්ධ ධර්මය හදාරන්නන්ට ධර්ම පුස්තකද බෙදාදෙයි. එහිදී දේශනාකරනු ලබන ධර්ම ශ‍්‍රවණය කරයි. ඉන්පසු එහි රැස්වී සිටින විවිධ වර්ගවල භික්‍ෂුන්ට දන්දී පුරෝහිත බ‍්‍රාහ්මණයා විසින් ගායනා කරනු ලබන පද අටකින් යුක්ත වූ මංගල්‍යාෂ්ඨක ශ‍්‍රවණය කරයි. ඊළඟට සිදුවන්නේ නොයෙකුත් පරිත්‍යාග අපේක්‍ෂාවෙන් එහි පැමිණ සිටින විවිධ වර්ගවලට ඔවුන් අපේක්‍ෂිත දේ පරිත්‍යාග කිරීමයි. ඒ අනුව රෝගීන්ට බෙහෙත්ද, ගර්භනී ස්තී‍්‍රන්ට දොළදුක් කෑම සහ ඇඳුම්ද ගිතෙල් හා මිරිස්ද, බාල දරුවන්ට රසකැවිලිද, මහල්ලන්ට බෙහෙත් සහ තෙල්ද, එළදෙනුන්ට තණකොළද, බලූකපුටු හා අනෙකුත් සතුන්ට ඔවුන්ට සුදුසු ආහාරද බෙදාදෙයි. ඒ අනුව රජතුමා පැයකුත් විනාඩි දොළසක් ආගමික කටයුතු හා සත්ව කරුණාව දක්වන කටයුතුවල යෙදේ. මාලිගයට පෙරළා පැමිණෙයි.

මේ වන විට රජතුමා වෙනුවෙන් රාජකීය බොජුන්ගෙහි පාතරාසය සූදානම්ව ඇත. එම ස්ථානයට පැමිණෙන රජතුමාට රාජභෝජන පිළිගැන්වීමේ වගකීම භාරව කටයුතු කරනුයේ රාජවෛද්‍යවරයා (මහවෙදනා) හා රාජ මාලිගාවේ මුළු තැන්ගෙය භාරව කටයුතු කරන ප‍්‍රධානියා (මූලහිනා) විසිනි. එය ”මේ වැඞීම” ලෙසින් හඳුන්වනු ලැබේ.

උදෑසන ආහාරයෙන් පසු රජතුමා ඇඳ පැළඳ සැරසීම සඳහා ඒ සඳහාම වෙන්වූ කාමරයකට (කැටපත්ගෙට) යයි. රජු සතියේ ඒ ඒ දිනවලට ගැලපෙන පාටැති සළුපිළි, සුදුසු ආභරණ අංගරාංග හා මල්මාලා ආදියෙන් සැරසෙයි. මෙසේ දවසට යෝග්‍ය යැයි සම්මත ඇඳුමින් හා ආභරණවලින් සැරසුණු රජු කඩුව සුරතින්ද යෂ්ඨිය වම් අතින්ද ගෙන සුදු පියවිලි මතින් ”සිංහාසන ගබඩාවට යයි. රජු සිංහාසන ගබඩාවේ සිට දවසේ රාජකාරි අරඹයි. නිලමක්කාරයින් තමන් වෙත පැවරුණ රාජකාරි පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන්නේ මේ අවස්ථාවේදීය. මුලින්ම ඉදිරිපත් වන්නේ දානශාලාවේ වාර්තාවයි. ඊළඟට භාණ්ඩාගාරයේ වාර්තාවද ඉදිරිපත් කරනු ලැබේ.

මේ වන විට හිරු උදාවී සත්පැය හමාරක් (තුන්පයක්) ඉකුත්වී ඇත. පෙරවරු නමයට රජතුමා රාජකකුධ භාණ්ඩ සංඛ්‍යාත ස්වර්ණාභරණයෙන් විභූෂිතව ගාන්ධර්වයන් පිරිවරා ඔවුන්ගේ ගුණ ගායනා අසමින් ”ශක‍්‍රදේවේන්ද්‍රයාගේ මහිමය ප‍්‍රත්‍යක්‍ෂකරමින්” මහානුභාවයෙන් යුතුව සිංහාසනාරූඪ වෙයි. මේ අවස්ථාවේ රාජ සභාවේ මැති ඇමැතිවරුන් දෙපස පෙළගැසී සිට තම රාජකාරි පිළිබඳව වාර්තා ඉදිරිපත් කරති. රජතුමා තමාගේ අනුමැතිය පතා ඉදිරිපත් කරන කරුණු පිළිබඳව ඒවා සුදුසු වේනම් ඒ සඳහා එකඟත්වය ලබාදෙයි. මෙසේ රාජ සභා කටයුතු සඳහා පැයක් පමණ එහි ගත කරන රජු එයින් නික්ම අවිසරඹ පුහුණුව සඳහා නික්ම යයි.

මේ වන විට දවසේ දොළොස්වෙනි පැයට ළඟාවී ඇත. ඒ හිරු නැගී පැය හතරකුත් විනාඩි හතලිස් අටක් ගතවූ තැනයි. මේ අවස්ථාව් ප‍්‍රධාන දෛවඥයා (මහා නැකත්නා) මහරජු බැහැදැක දවල් භෝජනයට ශුභ වේලාව දන්වයි. ”මහවෙදනා හා මුලගිනාද මේ අවස්ථාවට පැමිණ දිවා භෝජනය පිළිබඳ විස්තර සපයයි. මේ අවස්ථාවේ රජුට පිළියෙල කළ ප‍්‍රනීත රාජභෝජනවලින් භික්‍ෂුන් සියනමකට දානය පිරිනමනු ලැබේ. ඉන්පසුව රාජ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි රජු දිවාභෝජනය ගනියි. (මේ නිමවයි). මේ අවස්ථාවේ පාවාඩබත් (පිය විලි ආහාර) වලින් දහසක් දෙනෙකුට ද රාජමාලිගාවේ සේවය කරන තුන්සිය දෙනෙකුටද සංග‍්‍රහ කරනු ලැබේ. ආහාර වැළඳීමෙන් පසු අසුනෙන් නැගිට සළුපිලි මාරුකොට අඩුම වශයෙන් පියවර සියයක්වත් සක්මන්කර ”දැහැත්” වළඳා ”රාමකුල” නම් යහනට ගොස් ඇලවෙයි. මේ අවස්ථාවේ බ‍්‍රාහ්මණ කාන්තාවන් පැමිණ රජුගේ හිසකෙස් පීරා නිය ඔපලයි. සේවකයෝ පවන් සලමින් පා පිරිමඩිති. සමහරක් යහන් ගැබ මුර කරති. මෙම ස්ථානයේ පැයක් පමණ ගත කරන රජු ඉන් අනතුරුව ”සිංහාර මණ්ඩප” නම් ස්ථානයට පිවිස එහි කෝකිල හෝ විලිසයනය නමින් හැඳින්වෙන යහනමත හිඳ ගනී. ඒ අතර දාවල්මුරපුර නමින් හැඳින්වෙන රජුට විනෝදය සපයන පිරිසක් මේ ස්ථානයට පැමිණ රජු සතුටු කරවයි. ඒ සඳහා පැයක් වෙන්කර ඇත. ඉන්අනතුරුව රජු ”රජපාතෙලෙ” නමින් හැඳින් වූ රජමැදුරේ තට්ටුවට ගොස් එහි අතුරන ලද රන් පලසක් මත හිඳ තුන්සිය හැටක්වූ වර්ගයනට අයත් කලාවේදීන් (ගෝෂඨි) කැඳවා තමා ඉදිරියේ රඟ දැක්වීම සඳහා රජු විසින් තෝරාගනු ලබන රංගනයක් ඉදිරිපත් කිරීමට අණ කරයි.

හිරුඋදාවී පැය නවයකට පසු එනම් පස්වරු තුනට රජු දවසේ දෙවැනි වරටත් රජ දැක්ම සඳහා සිංහාසනාරූඪ වෙයි. මේ අවස්ථාවේ රජයේ ප‍්‍රධානීන් සූවිසි දෙනකු රජු පිරිවරා සිටි බව කියැවෙයි. කඳවුරු සිරිතේ සඳහන් වන ආකාරයට මේ අවස්ථාවට යුව රජු, සෙනෙවිරත්, ඈපා, මාපා, සමන්ත රාජ යන පඤ්ච ප‍්‍රධානීන්ද දහම් පසක්නා, මහනැකතිනා, මහවෙදනා, සිටුනා, මහවියත්නා, මහරැුටිනා, දහම්ගෙයිනා, අරක්මේනා වැනි නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වූ බව පෙනේ. මේ අවස්ථාවේ ඒ නිලධාරීහු තමන්ට අයත් කාර්යයන් පිළිබඳව සකස් කළ වාර්තා ඉදිරිපත් කරති. රජතුමා තමන්ට එකඟවිය හැකි යෝජනා පිළිබඳව අනුමැතිය දෙන අතර නුසුදුසු ඒවා සඳහා අප‍්‍රසාදය පළකොට ප‍්‍රතික්‍ෂේප කරයි. එය ”සනිටුහන් වැදෑරීම” ලෙස හඳුන්වා ඇත. ඉන්පසු රජු ගමන් කරන්නේ ” ඕලක්කම් මණ්ඩපය” නොහොත් දර්ශන මණ්ඩපයටය. ”දෙහලකයින්” (ඇත් හා අස්පන්ති) විසින් වාර්තාවන්ද සහිතව රජුවෙත ඉදිරිපත් කරන මඟුල් ඇතුට හා මඟුල් අසුට ”දෙහල වෙදනාවන් (පශු වෛද්‍යවරයින්) විසින් උපදෙස් දෙන පරිදි රජු ආහාර දෙයි. හිරු උදාවෙන් එකොලොස් පැයක් ගතවෙන තෙක් (පස්වරු පහ)  රජතුමා  ඕලක්කම් මණ්ඩපයේ රැදී සිට අනතුරුව මාලිගාවේ සඳලූතලයට ගොස් ස්නානය කොට අලූත් සළුපිලි හැඳ මල්දම් තුනක් පැළඳගෙන දොළොස් පැය ගතවෙත්ම බුදුන්වැද බුදුගුණ කියැවෙන ගාථා කටපාඩමින් හඬ නගා කියා ”ආලත්ති මණ්ඩපයට” ගොස් එහි දොරකඩ සිට ගනී. සන්ධ්‍යා තුර්ය වාදනය පැවැත්වෙන්නේ මේ අවස්ථාවේදීය. එහිදී කාන්තාවන් එක්දහස් අටසිය දෙනකු ”ආලන්තිබෑම” නම් වූ පහන් වැනවීම තුන්වරක් සිදුකොට රජුට ශුභාශිර්වාද පතති.

සවස පැයකට පසු (පස්වරු හයයි විසිහතරට) රජතුමා නාටක ශාලාවට ඇතුල්ව එහි වූ රාජ සයනය මත හිඳ නැටුම් ගැයුම් වැයුම් නරඹයි. ඉන් ප‍්‍රමුදිතවන රජු ඒ ගඳබයිනට මල්මාලා පිරිනැමීමෙන් තම ප‍්‍රසාදය පළ කරයි. සවස පස් පැයක් ගතවූ පසු (රාති‍්‍ර අටට)  රජුගේ දෛවඥයා දෙන උපදෙස් පරිදි ශුභ මුහුර්තියෙන් ”බොජුන්ගෙට” ඇතුල්ව රාජභෝජන අනුභව කොට (මේනිමවා) සක්මන්වල යෙදී නව අරහාදී බුදුගුණ සිහිපත් කොට බුලත් වළඳා ”බිසෝ ගබඩාවට” පිවිසි එහි දෙපැයක් ගත කරයි. බිසෝ ගබඩාවෙන් සඳලූ තලයට ගොස් එහිදී සරඹවල යෙදී (අංග වින්‍යාශ) මාලිගාවේ රාති‍්‍ර මුර සේවා ගැන සොයා බලා උපදෙස් දී හිරු උදාවෙන් අටලොස් පැයකට පසු එනම් මැදියම් ? දොළහට යහන් ගබඩාවට පිවිස පැය හතරක් නිදාගන්නේය.

කඳවුරු සිරිතේ එන මෙම විස්තරය අනුව නම් රජකෙනෙකුට අයත්වූ දින චරියාව බොහෝ සංකීර්ණ දුෂ්කර එකක් වූ බව පෙනේ. සියලූම රජවරුන් මේ ආකාරයෙන්ම තම දින චර්යාව පැවැත්වීද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරක් නැත. එහෙත් රටේ උගතුන් හා ප‍්‍රධානීන් යහපත් රජකුගෙන් මෙබදු යහපත් දින චරියාවක් පැවැත්වීම අපේක්‍ෂා කළ බව මෙම කරුණු ලේඛනගත කොට ඒවා උසස් රාජ ධර්ම ලෙස සැලකීමෙන් පෙනේ. ඒ හේතුකොට යහපත් රජුන්ද ඒ චාරිත‍්‍ර පවත්වා ගෙන යාමට උත්සුක වී යැයි සිතීමට පුළුවන. ඉන්දීය රජුන්ද මෙයට බොහෝ සමාන වූ ආකාර චාරිත‍්‍ර විධි පැවැත්වූ බව ඉන්දියා රාජ ධර්ම ගැන ලියැවුණු ඉහත සඳහන් පොත්වල තොරතුරුවලින් හෙළිවෙයි. වෙනසකට ඇත්තේ ඉන්දීය රජවරුන් හින්දු ආගමික සිරිත් විරිත් තුළ ඒ දින චරියාව සිදුකළ අතර ලංකාවේ පැරණි සිංහල රජවරුන් බෞද්ධ ධර්මානුකුලව එම චාරිත‍්‍ර විධි අනුගමනය කිරීමයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: