Posted by: lrrp | October 24, 2011

ලංකාවේ පෘතුග්‍රිසි බලය දණගැස්‌වූ රන්දෙණිවෙල සටන

(රන්දෙනිවෙල සටන සිදු වී 2011 අගෝස්‌තු මසට වසර 381 ක්‌ පිරීම නිමිත්තෙනි.)

අහිමි වූ නිදහස දිනාගැනීම සම්බන්ධයෙන් දියත් කළ නිදහස්‌ සටන සම්බන්ධව කතා කිරීමේදී ඌව පළාත ඉතාමත් වැදගත් වේ. 1815 දී ලංකාව ඉංග්‍රීසීන් විසින් යටත් විජිතයක්‌ බවට පත්කළ පසු නැවත නිදහස සොයායැම ඇරඹුණේ ඌවෙනි. ඌව කැරැල්ල නමින් මෙය හැඳින්වුවද එය කැරැල්ලක්‌ නොව නිදහස්‌ සටහන් මාලාවේ ආරම්භයයි. 1818 දී ඇරඹි ඉතාමත් අවාසනාවන්ත අයුරින් අවසන් වූ එම නිදහස්‌ සටන අදටත් අප හදවත් තුළ ජීවමාන වේ.

ක්‍රි.ව. 1818 දී පමණක්‌ නොව ඉන් ශත වර්ෂ දෙකකට පමණ පෙරත් ඌව පළාතෙහි ශ්‍රී ලාංකීය නිදහස තීරණය කළ තවත් තීරණාත්මක සටනක්‌ සිදු වී තිබේ. සිංහලයන් සමඟ එම සටනට සහභාගි වූ අනෙක්‌ පාර්ශ්වය වූයේ පෘතුගී්‍රසීන්ය. පෘතුග්‍රීසීන් එදා ඌවේදී අන්ත පරාජයකට පත් නොවූවා නම් ක්‍රි.ව. 1815 ට පෙර ලක්‌ ඉතිහාසයේ නිදහස අහිමි වී යන්නේ තවත් සියවස්‌ දෙකකට පෙරාතුවය. දේශයේ නිදහස ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා සටන් කොට ලැබූ ජයග්‍රහණයේ අභිමානය පිළිබඳව කතාන්තරයයි මේ.

ලක්‌දිවට බටහිරින් එල්ල වූ දීර්ඝතම විදේශ ආක්‍රමණ අතුරින් මුලින් එල්ල වූයේ ක්‍රි.ව. 1505 දී සිදු වූ පෘතුගී්‍රසි ආක්‍රමණයයි. මුල්කාලයේදී මොවුන් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරමින් අර්බුදකාරී දේශපාලන ප්‍රශ්න තම ප්‍රයෝජනයට ගනිමින් අවසානයේ මුළු මහත් පහතරට ප්‍රදේශය පුරාවටම තම ආධිපත්‍ය මෙහෙයවීමට සමත් වූහ. මෙසේ පහතරට ප්‍රදේශ පෘතුගී්‍රසීන්ට නතුවීමත් සමඟ කන්ද උඩරට රාජධානිය සිංහලයන්ගේ ස්‌වාධීන රාජධානිය වශයෙන් වඩාත් බලවත් වූයේය. ක්‍රි.ව. 1594 දී කොනප්පු බණ්‌ඩාර විමලධර්මසූරිය නමින් රජ වී උඩරට රාජධානිය නව මාවතකට යොමුකරන ලදී.

නමුත් කල්යත්ම බලලෝභී පෘතුගී්‍රසීහු මුළු මහත් ලංකාව තම ආධිපත්‍යයට නතුකර ගැනීමට මාන බැලූහ. ක්‍රි.ව. 1594, 1602/1603 කාලයන් තුළ ඔවුන් උඩරට ආක්‍රමණ කළ ද එය ජයගැනීමට නොහැකි විය. උඩරට යටත් කර ගැනීම සම්බන්ධයෙන් එතෙකින් නතර නොවූ ඔවුන් ක්‍රි.ව. 1610 දී නැවත වරක්‌ උඩරට යටත් කර ගැනීම පිණිස යුද වැදුණි. අවසානයේ ක්‍රි.ව. 1617 දී සාම ගිවිසුමක්‌ ඇති වුවද කල්යත්ම එය ද බිඳවැටුණි. ක්‍රි.ව. 1630 වන විට දෙපාර්ශ්වයම අළුයට ගිනි පුලිඟු මෙන් මහා යුද්ධයකට සූදානම් වූහ. මේ ආකාරයට ක්‍රි.ව. 1630 දී උඩරට ආක්‍රමණය කිරීමට පෘතුගී්‍රසීන්ට සැකසුන පසුබිම පිළිබඳව සොයා බැලිය යුතුය.

පෘතුගී්‍රසීන්ට මුලින්ම අවශ්‍ය වූයේ ලංකාවේ වෙළෙ¹ම හා ආගමික කටයුතුවලට සම්බන්ධ වීමටය. නමුත් ඔවුන් ලංකාවේ දේශපාලන බලය ද ඉතාමත් කූට අන්දමින් ලබා ගත්තේය. ක්‍රි.ව. 1597 දී සිදු වූ ධර්මපාල රජුගේ මරණින් පසු කෝට්‌ටේ බලය ඔවුන් නීත්‍යානුකූලව හිමිකර ගත්තේය. සීතාවක රාජසිංහ රජුගේ මරණින් පසු පහතරට ප්‍රදේශය ඔවුන්ට එතරම් සැලකිය යුතු බලපෑමක්‌ එල්ල නොවීය. එදිරිල්ලේරාළගේ කැරැල්ල ද පෘතුගී්‍රසීන් ජයගන්නා ලදී. ඉන්පසු ඔවුන්ට අවශ්‍ය වූයේ මුළු මහත් ලංකාව තමන්ගේ බලයට නතුකර ගැනීමටය. රට මැද නිදහස්‌ ස්‌වාධීන රාජ්‍යයක්‌ පැවතීම ඔවුන්ට මහත් හිසරදයක්‌ විය. ඉතා බිහිසුණු කපිතාන් ජනරාල්වරයකු වූ දොන් පේරනිමෝ ද අසවේදු (ක්‍රි.ව. 1594-1612) හට එම කාර්යය කරගැනීමට නොහැකි වූයෙන් පසුව පැමිණි කපිතාන් ජෙනරාල්වරුන් හට පැවැසූයේ උඩරටට වසරකට දෙවතාවක්‌ ආක්‍රමණයක්‌ එල්ල කරන ලෙසටය. මෙයින් ඔවුන් බලාපොරොත්තු වූයේ උඩරට රාජධානියට යම් බලපෑමක්‌ එල්ල කිරීමය. නමුත් මෙම තත්ත්වයේ කිසියම් වෙනසක්‌ ඇති වී සාමකාමී කාලපරිච්ඡේදයක්‌ නූනෝ අල්වාරෙස්‌ පෙරෙයිරා (ක්‍රි.ව. 1616-1618) ගේ පාලන සමයේ දක්‌නට ලැබේ. මෙකල සිදු වූ තවත් වැදගත් සිදුවීමක්‌ වන්නේ ක්‍රි.ව. 1617 දී උඩරට සෙනරත් රජු හා පෘතුගී්‍රසීන් අතර සාම ගිවිසුමක්‌ ඇති වීමය. මෙම සාම ගිවිසුම ඇතිවූයේ පෘතුගී්‍රසීන්ගේ යුද කටයුතු පරිහානි තත්ත්වයක පැවැති අවධියකය.

මෙම කාලසීමාව වන විට පෘතුගී්‍රසි විරෝධී කැරලි කිහිපයක්‌ පහතරට ප්‍රදේශවල හටගෙන තිබිණි. මේවා මෙහෙයවූයේ නිකපිටියේ බණ්‌ඩාර, අන්තෝනියෝ බරෙන්තු, මායාදුන්නේ හා කාංගරආරච්චි යන අයවළුන්ය. පෘතුගී්‍රසීන්ට මේ අනුව පහතරට ප්‍රදේශවලින් මහත් තර්ජනයක්‌ එල්ලව තිබිණි. මෙම අවස්‌ථාව බලා සෙනරත් රජු සාමගිවිසුම ඉදිරිපත් කළෙන් එය මඟහැරීමට ඔවුන්ට කිසිදු අවස්‌ථාවක්‌ නොලැබුණේය. මන්දයත් කන්දඋඩරටින් කිසියම් ආක්‍රමණයක්‌ එල්ල වුවහොත් එය තමන්ගේ බලයට මහත් අවදානමක්‌ වන බැවිනි. ඒ නිසා අකමැත්තෙන් වුවද ඔවුන් මෙම සාම ගිවිසුමට අත්සන් කරන ලදී.

එමගින් දේශසීමා ආරවුල් නිරවුල් කිරීම, සෙනරත් රජු ප්‍රධාන රජු වශයෙන් පිළිගැනීම, වර්ෂයකට පෘතුගී්‍රසීන්ට ඇතුන් දෙදෙනකු ලබාදීම, පෘතුගී්‍රසීන්ගේ මිත්‍රයන් තමන්ගේ මිත්‍රයන් ලෙස ද හතුරන් තමන්ගේ හතුරන් ලෙස ද පිළිගැනීම ද යන වගන්ති ඇතුළත් වී තිබිණි. (තවත් වගන්ති කිහිපයක්‌ ද මෙහි දක්‌නට ලැබේ.) මෙමගින් සෙනරත් රජු කිසියම් ජයග්‍රහණයන් කිහිපයක්‌ ද අත්කර ගන්නා ලදී.

නමුත් ඉන්පසු කපිතාන් ජනරාල් වශයෙන් පත්ව ආ කොන්ස්‌තන්තීනු ද සා (ක්‍රි.ව. 1618-1622) ගේ පාලන සමයේදී මෙම සාමය යම් දෙදරීමකට ලක්‌විය. පහතරට ප්‍රදේශයේ බලවත්ව පැවැති කැරලි කෝලාහල මැඬපවත්වා එහි සාමය ස්‌ථාපිත කරන ලදී. රණකාමී පාලකයකු වූ ද සා ගේ ඒකායන අරමුණ වූයේ උඩරට යටත් කරගැනීමය. එනිසා උඩරට හා සාමයක්‌ පවත්වාගෙන යැම කොන්ස්‌තන්තීනු ද සාට අවශ්‍ය නොවීය. මෙම තත්ත්වය වඩාත් බැරෑරුම් වන්නේ ද සා දෙවන වරට ලංකාවේ කපිතාන් ජනරාල්වරයා වශයෙන් පත්ව ආ විටදීය. (ක්‍රි.ව. 1623-1630)

සෙනරත් රජු අනුගමනය කළ ක්‍රියාමාර්ගවලින් ද කොන්ස්‌තන්තීනු ද සා අනුගමනය කළ ක්‍රියාමාර්ගවලින් ද මෙම සාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය වන බවක්‌ දක්‌නට ලැබේ. ක්‍රි.ව. 1620 දී ඩෙන්මාර්ක්‌ නැවක්‌ ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණි අතර ඔවුන් සෙනරත් රජු සමඟ ගිවිසුමක්‌ ද අත්සන් කර තිබේ. මේ අතර ලන්දේසීන් සමඟ ද උඩරට රජු සම්බන්ධතා පවත්වන ලදී. විදේශීය පිරිසක්‌ ලංකාවට පැමිණීම, මේ අනුව පෘතුග්‍රීසීන්ගේ බලය අභියෝගයට ලක්‌කිරීමක්‌ විය. ඒ නිසා වෙරළබඩ කලාපවල බලකොටු ඉදිකිරීමටත් තිබූ ඒවා ශක්‌තිමත් කිරීමටත් පෘතුගී්‍රසීහු කටයුතු කළහ.

මේ අතර කොන්ස්‌තන්තීනු ද සා ට උඩරට නිදහස්‌ ස්‌වාධීන රාජධානියක්‌ පැවතීමේ අභියෝගය ද එය ඉක්‌මණින් ආක්‍රමණය කරන ලෙසට පෘතුගාලයේ රජුගෙන් ලැබුණු නියෝගය ද තදින් දැනෙන්නට විය. ගිවිසුමේ ප්‍රකාර නැගෙනහිර වරායන්වල අයිතිය පැවැතියේ උඩරට රජු වෙතය. මෙම වරායන්වලට විදේශීය නැව් පැමිණීම නිසා ඒවා සීමා කිරීමට එහි බලකොටු තැනීමට ද සාට නියෝග ලැබිණි. ඉන්පසු ක්‍රි.ව. 1623 දී ත්‍රිකුණාමලයේ ක්‍රි.ව. 1628 දී මඩකලපුවේ අභිනවයෙන් බලකොටු ඉදිකරන ලදී. උඩරට රජු මෙයට විරුද්ධ වුවද ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගෙන නිහඬ විය. එසේම රටේ පිහිටි අනෙකුත් බලකොටු ශක්‌තිමත් කිරීමට ද සා කටයුතු කරන ලදී. ඒ අනුව ගාල්ලෙහි දිරාගිය කොටුව වෙනුවට නව කොටුවක්‌ ඉදිකරන ලදී. කොළඹ කොටුවට තාප්පයක්‌ එක්‌කර එය ශක්‌තිමත් කරන ලදී. මැණික්‌කඩවර කොටුව ද ප්‍රතිසංස්‌කරණය කරන ලදී. බේරේ වැව අසල වෙඩි බෙහෙත් කම්හලක්‌ ද ඉදිකර ඇත. මේ ආකාරයට පෘතුගී්‍රසීන් කිසියම් යුද්ධයක්‌ සඳහා සංවිධාන ගතවීමක්‌ දක්‌නට ලැබේ. මේ කාලසීමාවේදී සාම ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි වීමක්‌ දක්‌නට ඇත.

උඩරට හා සටන් වැදුණු අවස්‌ථාවලදී පෘතුගී්‍රසීන් පරාජය වීමට බලපෑ ප්‍රධානතම කරුණ වූයේ ලක්‌කිරිඤ්ඤ හමුදාව තමන් අතහැර යැම බව ද සමානව හඳුනාගන්නා ලදී. එය මඟහැරවීම පිණිස ඔහු නව උපක්‍රමයක්‌ භාවිත කළේය. එනම් වත්තල හා මෝදර ලක්‌කිරිඤ්ඤ හමුදාවේ නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ ඥතීන් පදිංචි කරවීමයි. මෙයින් සා බලාපොරොත්තු වූයේ තම ඥතීන්ට වන හානිය නිසා ලක්‌කිරිඤ්ඤ බටයන් තමන් අතහැර නොයන බවයි. මේ ආකාරයට ඉදිරියේ වන මහා යුද්ධයක්‌ සඳහා කොන්ස්‌තන්තීනු ද සා සූදානමක්‌ වන අයුරු දක්‌නට ලැබේ.

මේ අතරතුර තම ඉවසීමේ සීමාව පැනගිය සෙනරත් රජු පහතරට මෙන්ම යාපනයට ද ආක්‍රමණයන් එල්ල කළේය. ඒවා මැඬපැවැත්වූ කොන්ස්‌තන්තතීනු ද සා ක්‍රි.ව. 1627, 1628 වර්ෂවලදී උඩරට ආක්‍රමණය කොට මහත් හානි සිදු කළේය. මේ ආකාරයට සාමය බිඳවැටෙන විට සෙනරත් රජු සාමයේ දෑත නැවත වරක්‌ පෘතුගී්‍රසීහු වෙත දිගු කළහ. නමුත් එය පිළිගත් බවක්‌ ඔවුන්ගෙන් දිස්‌ නොවේ. උඩරට යටත් කිරීම පිළිබඳව නොනිමි ආසාවකින් සිටි සා ගේ සාමය පිළිබඳ කිසිදු තැකීමක්‌ නොවීය. මෙනිසා කුමන හෝ අවස්‌ථාවක මහා යුද්ධයක්‌ ඇතිවීමේ අවස්‌ථාවක්‌ නිර්මාණය වෙමින් පැවතිණි.

ද සා උඩරට ආක්‍රමණය කළ යුතුම බවට ගෝවේ ප්‍රතිරාජයා වෙත සහ පෘතුගාලයේ රජු වෙත හසුන් යවන ලදී. ගෝවේ ප්‍රතිරාජයා ඇතුළු උපදේශන සභාව මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා පවත්වා ඇත. සීමිත යුද සෙබළුන් හා යුද උපකරණ නිසා යුද වැදීම පිළිබඳ ඔවුන්ගේ එතරම් කැමැත්තක්‌ නොවීය. නමුත් ද සාට අවශ්‍ය වූයේ හැකි ඉක්‌මණින් උඩරට ආක්‍රමණය කිරීමටය. පහත රටට හා යාපනයට එල්ල කළ ආක්‍රමණයන් අසාර්ථක වූ පසු සෙනරත් රජු පෘතුගීසීන්ට විරුද්ධව නව උපක්‍රමයක්‌ ආරම්භ කළේය.

එනම් පෘතුගී්‍රසී හිතැති මුදලිවරු කිහිපදෙනකු හා එක්‌ව ඔවුන්ට විරුද්ධව පාවාදීමෙන් මහා කුමන්ත්‍රණයක්‌ ය. අවසානයේ ද සා යුද්ධයකට ඇද දමා මුළු මහත් ලංකාවම උඩරටට පාවාදීමට මෙම මුදලිවරු එකඟ වූහ. මේ අනුව රන්දෙණිවල සටන ජයග්‍රහණය සඳහා සෙනරත් රජු හා මුදලිවරුන් අතර යෙදූ කූට යුද උපක්‍රමය ජයග්‍රහණයේ ප්‍රධාන අවස්‌ථාවක්‌ වේ. ඒ සඳහා අවස්‌ථාවක්‌ එළඹෙනතුරු ඔවුන් බලා සිටියේය. මෙම උපක්‍රමය මෙහෙයවූ මුදලිවරුන් වූයේ සියනෑ කෝරළයේ මහා මන්ත්‍රී, කන්තොට මන්ත්‍රී, අමරකෝන් මන්ත්‍රී හා කුලතුංග වික්‍රමසිංහ මුදලිය.

මේ වන විට සෙනරත් රජු ද තම දක්‍ෂ තරුණ පුතුන් තිදෙනාගෙන් සමන්විතව යුද වැදීමට තරම් ශක්‌තිමත් මානසිකත්වයකින් සිටියේය. ද සා උඩරට ආක්‍රමණය සඳහා ශක්‌තිමත් හමුදාවක්‌ නොසිටිය ද ඒ සඳහා අවස්‌ථාවක්‌ එළඹෙනතුරු බලා සිටියේය.

කුමන්ත්‍රණකරුවන්ගේ උපදෙස්‌ මත පහතරට ප්‍රදේශයන්හි කැරලි ඇති කිරීම රජුගේ අරමුණ විය. එමගින් පෘතුගී්‍රසි හමුදාව සටනකට යොමුකොට තම අරමුණ ඉටුකර ගැනීම මුදලිවරුන්ගේ බලාපොරොත්තුව වේ. ඌව පාලනය කළ සෙනරත් රජුගේ වැඩිමහළු පුත් කුමාරසිංහ, අභයසිංහ මුදලිගේ සහයෝගයෙන් පහතරට දේශසීමාවන්ට පහර දෙන්නේ ඒ නිසාය. එම ආක්‍රමණය පිළිබඳව තොරතුරු දැනගත් ද සා ඌව ප්‍රදේශයට පහර දී මුළු මහත් කන්ද උඩරටම යටත් කර ගැනීමට එය අවස්‌ථාවක්‌ කර ගත්තේය. එනිසා ක්‍රි.ව. 1630 අගෝස්‌තු මස මුල් සතියේ ද සා උඩරට බලා එම තීරණාත්මක ගමන ආරම්භ කළේය.

පෘතුගී්‍රසි සොල්දාදුවන් 508 කින් ද සිංහල හේවායන් 5000 කින් ද සමන්විත හමුදාවක්‌ සමඟ කපිතාන් ජනරාල් කොන්ස්‌තන්තීනු ද සා කොළඹින් පිටත් වී තිබේ. (මේ පිළිබඳ දීර්ඝ පර්යේෂණයක්‌ පැවැත්වූ ටිකිරි අබයසිංහ පවසන්නේ මෙම පිරිස විවිධ මූලාශ්‍රවල විවිධ අයුරින් සටහන් වී ඇති බවයි.) මැණික්‌කඩවර හරහා හමුදාව ඉදල්ගස්‌හින්න කපොල්ලෙන් ඌවට ඇතුළු වී තිබේ. මෙම අවස්‌ථාවේදී සෙනරත් රජු තම පුතුන් වන විජයපාල, කුමාරසිංහ, රාජසිංහ කුමරුන් පිරිවරාගෙන බදුල්ලට පැමිණ තිබේ.

ඉන්පසු රජු ඇතුළු සිංහල හමුදාව ආක්‍රමණිකයන්ට බදුල්ලට ඇතුළු වීමට ඉඩහැර පසුබා තිබේ. බදුල්ලට ඇතුළු වූ පෘතුගී්‍රසීහු නගරය කොල්ලකා ගිනිබත්කොට ඇත. මුතියන්ගනය ද ඔවුන්ගේ කෲර විනාශයන්ට හසුවිය.

මෙහිදී ද සා ට කුමන්ත්‍රණය පිළිබඳ කරුණු සැල වූයෙන් තමා කළ මහත් අනුවණකම තේරුණි. ඔහු වහාම පසුබැසීමට තීරණය කරන ලදී. මේ අවස්‌ථාවේදී කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට මුදලිවරුන් තීරණය කරන ලදී. කුලතුංග වික්‍රමසිංහ මුදලි පෘතුගීසි සෙබළකුගේ ගෙල කපා හෙල්ලේ රඳවාගෙන තම පිරිස සමඟ උඩරට හමුදාවට එක්‌විය. ඉන්පසු පසුබසින සතුරු සේනාවට උඩරට හමුදාව විසින් දින දෙකක්‌ තිස්‌සේ නොනවත්වා පහර දෙන ලදී. සැඟවී සිට එල්ල කරනු ලබන මෙම ප්‍රහාරයෙන් ඔවුන්ට මහත් හානි සිදුවිය. මේ අතරතුර පෘතුගී්‍රසි හමුදාව තමන්ට අවශ්‍ය දෑ පමණක්‌ ගෙන ඉතිරි ද්‍රව්‍ය විනාශ කොට පසුබැසීම ක්‍රමවත් කරන ලදී. ගස්‌ කපා දමා මං ඇහිරීමෙන් ද ගරිල්ලා ප්‍රහාරවලින් ද හෙම්බත් වී සිටි පෘතුග්‍රීසීහු අවසානයේ වැල්ලවාය අසල රන්දෙණිවලට පැමිණියහ. උඩරට ප්‍රහාරය වැඩිවත්ම පෘතුග්‍රීසී සතු වූ අවසන් ලස්‌කිරිඤ්ඤ හමුදාව ද උඩරට හමුදාවට එක්‌විය. ඇදහැළුණු මහා වර්ෂාවෙන් පෘතුග්‍රීසීන්ගේ වෙඩි බෙහෙත් තෙත් වී තුවක්‌කු පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවිය. එම වර්ෂාව නිසා අවසන පෘතුගීSසී සේනාව දෙකඩ වී ගියේය. පසු දින පරාජිත සතුරු හමුදාවට යටත් වන ලෙස දන්වා සිටිය ද එය ඔවුන් ප්‍රතික්‍ෂේප කළ බැවින් අවසන් මහා සටන රන්දෙණිවෙලදී සිදුවිය. මෙම දරුණු සටනින් පෘතුග්‍රීසීන් 350 ක්‌ පමණ මැරුම් කෑහ. තව පිරිසක්‌ සිරකරුවන් ලෙස අල්ලා ගත්හ. සටන මෙහෙයවූ කොන්ස්‌තන්තීනු ද සා හී පහරක්‌ වැදී බිම ඇද වැටිණි. ඔහු බේරා ගැනීමට පෘතුග්‍රීසී සෙබළකු සිංහල සෙබළකුට තැබූ වෙඩිල්ලක්‌ ද සාට වැදී ඔහු මරුමුවට පත්විය. මෙම සටන සිදුවූයේ ක්‍රි.ව. 1630 අගෝස්‌තු මස 20 හා 22 අතර බව ටිකිරි අබයසිංහ මහතා සඳහන් කරයි.

උඩරට හමුදා අතින් ලැබූ මෙම අන්ත පරාජය නිසා පෘතුගීසීන්ගේ පහතරට බලකොටු ද කැළඹීමට ලක්‌විය. මැණික්‌කඩවල, සබරගමුව, මල්වාන, කළුතර කොටුවල සිටි සෙබළුන් එම කඳවුරු අතහැර කොළඹට පසුබැස්‌සේය.

මේ අවස්‌ථාවේ කොළඹ සිටි මුදලිවරුන් කොළඹ ද උඩරටට පාවාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කළේය. නමුත් ද සා එම කුමන්ත්‍රණය පිළිබඳ පණිවිඩයක්‌ කොළඹට එවා තිබීමෙන් හා උඩරට සේනාව කොළඹට ළඟාවීමට දින ගණන් ගතවීමෙන් එම අවස්‌ථාව මඟහැරිණි. යුද්ධයේ ජයග්‍රහණය ලැබූ උඩරට සේනාව ඊළඟට කළයුතුව තිබුණේ කඩිනමින් කොළඹට ළඟාවීමය. නමුත් ඔවුන් කළේ යුද්ධයේ ජයග්‍රහණය සැමරීමය. මෙම තත්ත්වය වහාම ගෝවට ලියා යෑවීමෙන් දොන් පිලිප් මැස්‌කරෙඤ්ඤස්‌ ආයුධ කෑම හා සෙබළුන් සහිතව ලංකාවට පැමිණියේය. සෙනරත් රජු තම පුතුන් සමඟ 20000 ක සේනාවක්‌ ද කැටුව කොළඹට පහරදීමට පැමිණියේය. ගෝවෙන් ලැබුණු ආධාර මත ශක්‌තිමත් වූ පෘතුගී්‍රසීහු හා උඩරට හමුදා අතර ගැටුමක්‌ නාකොළගමදී සිදුවිය. එයින් තීරණාත්මක ජයක්‌ පෘතුග්‍රීසීන්ට අත්විය. කොළඹ වටලෑම අත්හැර දැමූ සෙනරත් රජු තම හමුදාව සමඟ උඩරට ගමන් කළේය.

උඩරට හමුදාව ඉක්‌මනින් කොළඹට පහරදුන්නේ නම් ඔවුන්ට මෙම අවස්‌ථාවේ එය අල්ලා ගැනීමට ඉඩකඩ තිබිණි. නමුත් ඔවුන් කොළඹට ළඟාවන විට ගෝවෙන් පෘතුග්‍රීසීන්ට ආධාර පිටත් වී තිබිණි. කුමන්ත්‍රණය පිළිබඳව පෘතුගී්‍රසීන්ට ආරංචි වූයෙන් කොළඹ සිටි මුදලිවරු සිරභාරයට ගන්නා ලදී. කොළඹ ජයගැනීම කෙසේ වෙතත් සමස්‌ත ලංකාවම යටත් කිරීමට පැමිණි පෘතුග්‍රීසී සේනාව හා කපිතන් ජනරාල්වරයා සමූල ඝාතනය කිරීමෙන් උඩරට රාජ්‍ය ලැබුවේ තීරණාත්මක ජයග්‍රහණයකි. මෙමගින් පෘතුග්‍රීසීන් සතු යුද ශක්‌තිය බෙහෙවින්ම අවදානම් තත්ත්වයකට පත්විය. එනිසා ඌව ක්‍රි.ව. 1818 දී පමණක්‌ නොව ලාංකීය නිදහස ආරක්‍ෂා කිරීම පිණිස ක්‍රි.ව. 1630 දී සිදු වූ රංදෙණිවල සටන ද ඉතාමත් වැදගත් වේ.

අලවු ඉසි සැබිහෙලයන් රචිත රංදෙණිවේලේ සටන පද්‍ය පන්තියේ එන කවි කිහිපයක්‌ මෙසේය.

පරංගියන් සමඟ වැ ආ පහත රට

සිංහල සෙනග මුමුණනුවට වියෑ එවිට

හැම විට දැයට හෙණ දෙන සුදු දණන් හට

දෙමු හෙළයෙනි අද බැට බඩ පිරෙන්නට

මෙහෙම කියා කුලතුඟු මහ සෙනෙවි රද

රිටෙකැ ගසා සුද්දකු ගේ හිසක්‌ සෙද

ඔසවා පෑ සිව් දිගට මැ පෙනෙන ලෙද

සිංහල පිලෙට ආයෙ යෑ එත හෙළ ඔකඳ

හෙළ ගජනා ගිගුම් දෙන්නට වියෑ අඹරේ

හෙළ සැර නැගෙන වියෑ යුගතගැ හෙණ අයුරේ

රන්දෙණි වෙලෙහි උතුරණ රුපු ලේ සයුරේ

නඟන්නට වූහ සිංහලයෝ ඒ වරේ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: