Posted by: lrrp | November 6, 2011

ඩෙල්ෆ්ට් ඉපැරණි ආරක්ෂක බළකොටුව

සයුර පිස ගෙන ආ සුළං රැලි ගතට දැණුනු උණුසුම රැගෙන ඈතට ගියා. යාපනය අද්ධද්වීපයෙන් නික්ම දූපත් රැසක් මැද සයුරේ සිටිද්දී සිතට චමත්කාරයක් දැනුණා. නාවික හමුදා නිලධාරීන් අප රැගත් නාවික හමුදාවට අයත් බෝට්ටුව ඩෙල්ෆ්ට් දූපත දක්වා රැගෙන යන්න ගත කළේ පැය භාගයක් තරම් කාලයක්. නිමේෂයෙන් නිමේෂය වෙනස් වෙමින් විසිතුරු මවන සයුරත් අහසත් එක්ව අපට ඒ පැය භාගය තත්පර කීපයක් තරම් කෙටි කළා. දිදුළන නිල්මිණක් වන් සයුර තරණය කොට ඩෙල්ෆ්ට් කරා අප රැඟෙන ගියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරීන් ගවේෂණ නිලධාරීන් ඇතුළු පිරිසක් ඩෙල්ෆ්ට් දූපත රැකවල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. සාමය රකින්න පොලිසිය තියෙනවා. ඩෙල්ෆ්ට් වැසියන්ගේ මුහුණේ පුංචියට ආඩම්බරකම කැටි වූ සුන්දරත්වයක් සටහන්ව ඇති බව මට පෙනී ගියා. එහි වෙසෙන්නෝ ඉතාම අහිංසක පිරිසක්. ඔවුන්ට ළඟන්නා සුලු සිනහවක් ඇතත් එයට දුක සැඟවිලා. ඩෙල්ෆ්ට් කියන්නේ ඉන්දියාවේ ජනප්‍රිය නිළි ශ්‍රී දේවි ගේ උපන් බිම. ඇගේ ඥාතීන් ඈ ගැන ආඩම්බර වෙනවා. අපිටත් ඇය ආඩම්බරයක්.

අපි ඩෙල්ෆ්ට්වලට පා තැබුවේ දීපාවලි දා උදෑසනයි. සිිරිපොද වැස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් හා මාධ්‍යවේදීන් අසල නිවෙසකට දිව ගියා. එය තල් කොළ, ඉටිරෙදි ආදිය යොදා ආවරණය කරගත් කුඩා නිවෙසක්. හිරිකඩ වළක්වන්නත් ජනේලය ලෙසත් බිත්තියේ කොටසක් සාරියකින් ආවරණය කර තිබුණා. වර්ග අඩි එකසිය විස්සක් පමණ වූ කුඩා නිවෙස තුළ අහසින් වැටෙන වැස්සට බියේ අප ආගිය තොරතුරු කතා කරමින් සිටියා.

නටබුන්

අපට ඔවුන්ගෙන් දීපාවලි සංග්‍රහ නොලැබුණේ ඔවුන් ක්‍රිස්තු භක්තිකයින් වූ නිසයි. ඩෙල්ෆ්ට් වැසියන් ගෙන් වැඩි පිරිසක් ක්‍රිස්තු භක්තිකයන්. හින්දු කෝවිල් දෙකක් ඩෙල්ෆ්ට් වල තියෙනවා. අතීතයේ බෞද්ධ පූජනීය භූමියක් බවට නටබුන් පමණක් තියෙනවා. ඒ නටබුන් අනුරාධපුර යුගයට අයත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරීන් ප්‍රකාශ කළා. ඩෙල්ෆ්ට් හි එකිනෙකට ආසන්නව ඉදි කළ ස්ථූප තුනක නටබුන් අපි නිරීක්ෂණය කළා. තවත් චෛත්‍ය 3 ක පමණ නටබුන් දකින්නට ලැබෙන බව අපට මග පෙන්වූ ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානාධිපති ඊ.එන්.පී. ඒකනායක මහතා ප්‍රකාශ කළා. මේ චෛත්‍ය ඉදිකොට තිබුණේ හිරි ගලින් ඩෙල්ෆ්ට් පොළොව සැකැසී ඇත්තේ හුණුගල් ස්ථරයකින්. ඒ හුණුගල් ස්තරය මඳක් කඩා ඉවත් කර ඒ හුණුගල් ස්ථරය මත තමයි ඩෙල්ෆ්ට් වැසියන් වගා කරන්නේ.

ප්‍රධාන චෛත්‍යයට නුදුරින් ගරා වැටුණු සංඝාවාසයක නටබුන් දක්නට තිබුණා. ඒ ආසන්නයේ ඇති ළිඳ පිරිසිදු ජලයෙන් පිරී තිබුණා. ඩෙල්ෆ්ට් වැසියන්ගේ පානීය ජල අවශ්‍යතා පිරි මැසුණේ මේ ළිඳෙන්. 1960 දශකයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ චාල්ස් ගොඩකුඹුර මහතා ඩෙල්ෆ්ට් හි ඉපැරැණි බෞද්ධ නටබුන් ගවේෂණය කොට මූලික සංරක්ෂණයක් කොට තිබුණා. ඒත් ඩෙල්ෆ්ට් පිළිබඳ විධිමත් ගවේෂණයක් අවශ්‍යයි.

ඩෙල්ෆ්ට් අනුරාධපුර යුගයට අයත් බව ලේඛන ගතවී ඇත්තේ එම ස්ථානයෙන් හමුවන අනුරාධපුර යුගයට අයත් උළු හේතුවෙන්. ආසන්නයේ ඇති ඌරාතොට හා දඹකොළ පටුන වරාය නිසා වර්ග කිලෝමීටර් 47.8 ක මේ භූමිය අතීතයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස භාවිත වන්නට ඇති බවත් ඩෙල්ෆ්ට් හි වෙරළ වටා ඇති ස්ථූප කිරි පැහැයෙන් බැබළෙමින් මෙය බෞද්ධ රාජ්‍යයකට අයත් භූමියක් බව අභිමානයෙන් හඟවන්නට ඇති” බවත් පුරාවිද්‍යා ගවේශකයන්ගේ මතයයි. මේ භූමි භාගය පොළොන්නරු යුගය තෙක් ම සශ්‍රීක වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස පවතින්නට ඇති බවට ප්‍රකාශ වන අදහස් තහවුරු කරගැනීමට ගවේෂණ කළ යුතුයි.

ඩෙල්ෆ්ට් හි වැසියන් ගේ ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තය. ඒ හැරුණාම තල් ගෙඩි පැළ කරන කාන්තාවන් අපට හමුවුණා. ඩෙල්ෆ්ට් හි කුඹුරු අක්කර 12 ක් පමණ වගා කරන බවත් ලූනු හා වෙනත් වගාවන් ද සිදුකරන බවත් ඒකනායක මහතා අප හා පැවැසුවා. ඒ තොරතුරු වරදින්න බැහැ. පොලිස් ස්ථානාධිපති ඒකනායක මහතා කීවේ මෙහි වැසියන්ට බිම් අඟලක් වගා කරගන්න අපමණ දුකක් විඳිය යුතු බවයි. කිවුල මිශ්‍ර ජලය හිරිගලින් සැදි පොළොව ඔවුන් පීඩාවට පත් කරවනවා. හිරිගල් මත පොළොව හාරා ලබාගන්නා පස් දමා ලූනු වගා කරන්න ඔවුන් දක්ෂයි.

රැකවරණය

ඩෙල්ෆ්ට් අයිති ලංකාවට. මෙම භූමිය 2001 වන තෙක් ඊ.පී.ඩී.පී. පාලනයට නතුව තිබුණා. සාම සාකච්ඡා අතරේ ඩෙල්ෆ්ට් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් භූමියක් බවට පත් වුණා. පොළොන්නරු යුගයෙන් පසු ලංකාව යටත් කරගත් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යුරෝපා ජාතීන් තුනම තම ආරක්ෂාව හා රැකවරණය සඳහා ඩෙල්ෆ්ට් භාවිතකර තිබුණා.

පෘතුගීසින්ට අයත්ව තිබූ භූමිය ලන්දේසින් පාලනයට නතු කොට ගෙන තිබුණ බව පෙනී යනවා. ඩෙල්ෆ්ට් හි බල කොටු දෙකක් පවතින බව කීව ද ඉන් එකක් ඕලන්ද පාලකයාගේ නිල නිවෙස බව පුරා විද්‍යා ගවේශකයන්ගේ මතයක් වුණා.

එම නිවහන ආසන්නයේ සිරකුටි දෙකක නටබුන් දැකගන්න ලැබෙනවා. බිත්ති ඉතා ශක්තිමත්ව තැනූ මේ සිර කුටි වල වහළය ඉහළට යද්දී පටු වන සේ සකසා තිබුණා. ඉන් ඔවුන් සිර කරුවන්ගේ මානසිකත්වය බිඳ දැමීම අරමුණු කරගන්න ඇති. පාලකයාගේ නිවෙස ආසන්නයේ තවමත් නිරුපද්‍රිතව ඇති පරෙවි ගෙයකි. එහි කුඩා කූඩු රාශියක් දක්නට ලැබේ. අතීත යටත් විජිත පාලකයන් පණිවුඩ ගෙනයාම සඳහා පරෙවියන් භාවිත කළ බවට මෙය කදිම සාක්ෂියකි.

ආණ්ඩුකාර නිවෙසට ඔබ්බෙන් ඉපැරණි රෝහල් භූමිය දැකගන්න ලැබේ. එම රෝහල ඉංග්‍රීසි යුගයේ ප්‍රතිසංස්කරණය කළ බවට ඇති සාක්ෂිය වන්නේ එහි වහළයට හෙවිලි කොට ඇති 1865 වර්ෂය මුද්‍රිත උළු ය.

මේ කුඩා දූපතේ වැව් හයක් ඇත. ඒවායෙන් ජලය ලබා එහි ගොවියෝ වගා කරති. ඔවුහු වැසි ජලය රැස්කර බීමට ලබා ගනිති. ඉතාම රමණීය වුව ද ඩෙල්ෆ්ට් හි ජීවිතය දුෂ්කර ය.

ඩෙල්ෆ්ට් සිට රාමේෂ්වරම් වලට ඇත්තේ සැතැපුම් දාහතරක දුරක් මේ හේතුවෙන් ඉන්දීය ධීවරයෝ මුහුදු සීමාව උල්ලංඝනය කොට ලංකා මුහුදු සීමාවේ මසුන් මරති. මේ හේතුවෙන් ඩෙල්ෆ්ට් හි ශ්‍රී ලංකා නාවික හමුදාවට බොහෝ වැඩ කටයුතු තිබේ.

පොලිස්ථානාධිපති තුමාගේ සහයෝගයෙන් හිමිවූ රථ දෙකෙහි නැඟී අපි ඩෙල්ෆ්ට් වටා සැරි සැරුවෙමු. ඒකනායක මහතා අප රැගෙන ගියේ ඩෙල්ෆ්ට් දූපතේ සිව්වැනි කොටස වෙත ය. එය හැඳින්වෙන්නේ වාට්ටු අංක 4 යනුවෙනි. ඩෙල්ෆ්ට් රෝහලක් නොවේ. සිර ගෙයක් ද නොවේ. හඳුනා ගැනීමෙහි, පාලනයෙහි හා ආරක්ෂාව තහවුරු කිරීමෙහි පහසුව තකා ඩෙල්ෆ්ට් දූපත කොටස් වලට බෙදා ඇත. වාට්ටු අංක 4 හි ඇත්තේ ඉපැරණි අශ්ව ගාලකි.

අඩි දෙතුන් සීයයක් දිග අශ්ව ස්තාලයෙහි කුලුනු 74 ක් තවමත් නිරුපද්‍රිතව ඇත. මෙහි බෝ කළ අශ්වයෝ පෘතුගීසින්, ඉංග්‍රීසින්, ලන්දේසින් විසින් ලෝකයේ විවිධ රටවලට අපනයනය කරන ලද බවට ද යටත් විජිත සමයේ බටහිර ජාතීන් ඔවුන්ගේ ප්‍රයෝජනයට ගත් බවට ද තොරතුරු අනාවරණය විය. අශ්වයන් ගේ ආහාරයට ගෙන ආ බයෝ බැක් ගසක් තවත් මෙහි තිබේ. එම බයෝ බැක් ගසෙහි කඳෙහි වූ බෙනය මිනිසුන් කිහිප දෙනෙකුට සැඟවී සිටීමට හැකි ය. ඒ අශ්ව පරපුරෙන් පැවැත එන පෝනියෝ ඩෙල්ෆ්ට් තණ බිම් වටා දුව පනිමින් නිදැල්ලේ වෙසේ.

ක්ෂණයෙන් වෙනස් වෙමින් ලොව විචිත්‍රත්වය මවන සයුර හා නිමක් නොදකින අහස්තලය අතර ඇඳි සොඳුරු සිත්තම ඩෙල්ෆ්ට් අපට අමතක නොවන්නට පොලිසියෙන් අපට ලැබුණු දිවා භෝජනය කෙතරම් රසවත් ද? පොලිසියේ මහත්වරුන්ට රසට උයන්න පුළුවන් බව මා දැනගත්තේ එ දිනයි.

ලෝකයේ යම් තැනෙක ආරක්ෂාව හා බුද්ධිය සඳහා ම භාවිත කළ බල කොටුවක් වේ නම් එය ඩෙල්ෆ්ට් බලකොටුවයි. අඩි පහක් පමණ පළලින් යුත් ප්‍රධාන බැමි අතර එකිනෙකට වෙනස් පළලින් යුත් බැමි ද මේ බල කොටුවෙහි දකින්නට ලැබේ. හිරිගලින් නිමවා ඇති මෙම කොටුව පෘතුගීසින්ගෙන් ඕලන්ද ජාතිකයන් ද ඔවුන්ගෙන් ඉංග්‍රීසින් ද අයිතිකරගත් බව ප්‍රකට ය. මෙහි ද සිරකුටි දෙකක් දක්නට ලැබේ. මෙම කොටුවට ඊසාන දෙසින් සයුරට වැටෙන ඇළෙහි ජලය අද වැල්ලේ සිඳී ගිය ද අතීතයේදී බටහිර ජාතීන් තම යාත්‍රා දූපතෙහි වූ ප්‍රධාන වැවෙහි සඟවා තැබීමට මෙම ඇළ දිගේ රට අභ්‍යන්තරයට ගෙන ආ බව මතයක් මා ගමන් ගත් රථයේ රියදුරු වූ ඩෙල්ෆ් ස්ථාන බාර නිලධාරි රත්නායක මහතා ඉදිරිපත් කළේ ය. ඩෙල්ෆ්ට් කොටුවේ තවමත් සුරක්ෂිතව ඇති ‘බලනය’ තුළින් එදා බටහිර ජාතීන් උතුරු හා ඊසාන දිග ඈත සයුරෙන් ලංකාව දෙසට ඇදී එන වෙළෙඳ යාත්‍රිකයා හා ආක්‍රමණිකයා හඳුනා ගන්නට ඇත.

ජනගහනය

හීරැස්පලු, කොහොඹ, කුප්පමේණිය, කෝමාරිකා ආදී වූ අනර්ඝ “ඖෂධ රාශියකින් හෙබි රමණීය ඩෙල්ෆ්ට් හි ජනගහනය 4956 කි. එහි මහා විද්‍යාල දෙකක් මිශ්‍ර පාසල් දෙකක් ඇතුළු පාසල් හයක් ව්‍යාප්තව ඇත. රජයේ ආයතන අතරින් ඩෙල්ෆ්ට් රජයේ රෝහල ප්‍රධාන වේ. ස්වේච්ඡාවෙන් ම පැමිණ ඩෙල්ෆ්ට් රජයේ රෝහලේ සේවය කරන වෛද්‍ය නිලධාරිනිය ගේ සේවය අගය කළ යුතු ය.

ඩෙල්ෆ්ට් හි අනන්‍යතාව සුරකින හිරිගලින් තල් කොළයෙන් කළ වැට මායිම් ඩෙල්ෆ්ට් අලංකාර කරමින් තව දිගු කලක් පවතිනු ඇත.

 

විශේෂ ස්තුතිය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සැමට, 51 වන සේනාංකයේ මාධ්‍ය සම්බන්ධීකාරක මේජර් ප්‍රියන්ත ගුණසිරි

ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඊ.එන්.පී. ඒකනායක මහත්වරුන්ට

ඩෙල්ෆ් නාවික හමුදා වසම අණ දෙන නිලධාරි ඇතුළු සෙසු නිලයනට

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: