Posted by: lrrp | November 10, 2011

දිය කපන දාට අලි අඬන සබරගමුවේ ඇසල පෙරහර

සබරගමුව මහ සමන් දේවාලය යනු සබරගමුවේ අපට අපේ සංස්කෘතික හැඳුනුම්පත යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

නූතන දැනුමින් කුරුවල් නොවූ සබරගමුවේ බහුතරය සමන් දෙවිඳුන් අදටත් මහ සමන් දොවොලේ දිවමන්ව වැඩවසන්නේ යැයි විශ්වාස කරති.

එදා නීල පන්දම් සහ කීල පන්දම් එළියෙන් හතර වීදියේ ගමන් ගත් සබරගමුව මහ සමන් දේවාලයේ වීදි පෙරහර, මහ පෙරහර සහ රන්දෝලි පෙරහැර අද ආලෝකයෙන් එකලූ කළ පුළුල් මාවතක ගමන් කළ ද ඒ ද පෙර පරිදිම සතර වීදි සීමාව තුළය.

පෙරහරක් යනු කිසියම් ජන සමාජයක සමාජ ආර්ථික සහ සංස්කෘතික ප‍්‍රකාශනයකැයි සමාජ විද්‍යාඥයෝ සඳහන් කරති. ඒ අරුතින් කිසියම් පෙරහරක් තත් කාලීන සමාජයට අනුගතව රූපාන්තරණය වීම ද යථාර්ථයකි.

ඇතැම් අංග පෙරහරෙන් ගිලිහී යන්නේ ද නවාංග ඊට එක් වන්නේ ද එම සමාජ ආර්ථික සංස්කෘතික  ඕනෑ එපාකම්වලට පිරිමැහෙන ආකාරයෙනි.

කජු කෑමත්, අලි බැලීමත් සබරගමුව ඇසළ පෙරහැර සමග බැඳි අපූරු අත්දැකීම් වෙති. එපමණකුදු නොව එම කරුණු කාරණා දෙක සබරගමුව වාසීන් පරපුරෙන් පරපුරට ගෙන යන සමාජ උරුමයක්ද වේ.

දුරාතීතයේ දී සබරගමුව පෙරහර පොළ පැවැතියේ දික් වීදි හෙවත් ප‍්‍රධාන වීදි දෙකෙන් එකක මග දෙපසය. පොල් අතු සෙවිලි කළ සතියක් පුරා පැවැත්වෙන එම කඩ පොළ දෙව්ලොවක්ම විය. නිත්‍ය විදුලි සැපයුමක් නොවූ වකවානුවල ඒ අඩුව පිරිමැහුනේ යෝධ ජෙනරේටර්වලින්. පෙරහර සමයේ එකී ජෙනරේටර්වලින් උත්පාදිත තාවකාලික විදුලිය ඉතා සුළු මුදලකට අවට නිවෙස්වලට ලබාදීමේ සිරිතක් ද 1970 දශකයේ මුල දක්වා පැවතිණි.

සබරගමුවේ පෙරහරට කජු වෙළෙන්දියන් පැමිණියේ දුර බැහැර සියනෑ කොරළයේ සිටය. කජු තොග රැගෙන ලොරි රථවල පැමිණෙන ඔවුහු උයන්වත්ත සමීපයේ නිවෙසක දෙකක ලැගුම් ගනිති.රැුය පුරා පන්දම් එළියෙන් කජු අළෙවි කරන ඔවුන් සැඳෑ කල එළඹෙත්ම කළු ගංගාවේ වැලි තොට හෝ වෙනයම් තොටකින් දිය නා පෙරළා සිය නවාතැන් පොළට ආවේ ඇත්ගමනිනි. ඔවුන්ගේ මුදාහල වරලස් අග රූරා වැටෙන දිය බිඳු නැවුම් චීත්ත පොට තෙත බත් කරයි.

එදා පෙරහරට පැමිණි අලි ඇතුන් බහුතරය සබරගමුවේම වලව් කීපයකට අයත් සතුන්ය. අලි ඇතුන්ගේ අයිතිය වෙළෙඳ කුලයට හිමි නොවූ තිස් වසරකට පෙර එම අලි ඇතුන් හැඳින්වීම සඳහා භාවිත කළ නම් ගොත් උන්ගේ අයිතිය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමට ප‍්‍රමාණවත්ය. 1960 දශකයේ සබරගමුව පෙරහරේ ගමන් ගත් අලි ගහණයෙන් බහුතරය මුද්දුව වලව්වට අයත් අලි ඇතුන්ය.

සෙස්සෝ වේරගම, මොලමුරේ, මාකඳුරේ, ඇලපාත, කිරිඇල්ල ආදී විවිධ වලව් හා බැඳි අලි ඇතුන්ය.

සධාතුක කරඬුව සහ දේවාභරණ වැඩම කළ අලි ඇතුන් මනා කොට සරසා සිටිය ද සෙසු අලි ඇතුන් පෙරහරට එක් වූයේ උපන් ඇඳුමිනි. ඉඳහිට අලියෙකු සුදු රෙදි කඩකින් නලල් පටයක් පමණක් බැඳ පෙරහැරට එක් කරගත් අවස්ථා එමටය.

ඇත්ගොව්වන්ට විධිමත් ඒකාකාර ඇඳුමක් සැපයීම ඇන්ටන් තෙනන්නකෝන් බස්නායක නිලමේ විසින් හඳුන්වා දෙන ලද වැඩපිළිවෙළකි.

ඒ දිනවල පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් අතරින් වේරගම බස්නායක නිලමේට අයත් ගෝඹරයා නමැති අලියා රුව ගුණ තේජසින් ඔහුගේම ස්වාමියාටම සරි වූවෙකි.

ගත පුරා ඉහිරුණු ගෝඹර නිසා ඌ එනමින් හැඳුන්වුවද උගේ අලි උප්පැන්න සහතිකයේ සඳහන් නම ”ලැබුණා” ය. වේරගම වලව්වේ ඇත් පන්තිය හා මිතුරු වූ අසල වනාන්තරයෙන් බට වල් අලි පැංචෙකු නිතර නිතර ඇත් පන්තියට පැමිණ හීලා අලි නැදිමයිලන් සමග එක පතේ කෑමේ පුරුද්දක් විය.

අවසන මේ එකපතේ කෑම සිය කැමැත්තෙන්ම වූ වේරගම වලව්වේ නතර වීමට තරම් දුර දිග ගියෙන් ලැබුණා යන අනුවර්ත නාමයත් සමග අලි පැංචා සිය කැමැත්තෙන්ම වේරගම අලි පන්තියේ සාමාජිකත්වය ලැබීය.

මුද්දුව වලව්වේ කදිරා, රාමා, රාජා, හුරතලා සහ කපුරි එක්දහස් නවසිය හැත්තෑව දශකයේ මුල දක්වාම සමන් දේවාල පෙරහර විචිත‍්‍රවත් කළ අලි ඇත් සමූහයට අයත් වූහ.

පසුව 1970 දශකයේ මැද වෙළෙඳපොළ ආර්ථිකයත් සමග අලි ඇතුන්ගේ අයිතිය ද වලව්වලින් වෙළෙඳුන්ට මාරුවිය.

අහවල් වලව්වේ ඇතා අලියා වෙනුවට ඒ අනුව අලූත් අලි පරපුරක් සබරගමුවේ පෙරහරේ 1970 දශකයේ මැද භාගයේ පටන් ගමන් කරති.

බැහැරින් පැමිණෙන අලි ඇතුන්ගේ නවාතැන් පොළ වූයේ උයන්වත්ත නමින් හැඳින්වෙන දේවාලයත් කළුගඟත් අතර පිහිටි තැනි බිම්කඩය. ඊට අමතරව පන්තියේ වත්ත නමින් හැඳින්වූ දේවාලය ආසන්නයේ වදුලූ බිම නමින් කියවෙන පරිදිම අලි ඇතුන්ට වෙන් වූ වාසස්ථානයක් විය.

එකල අලි ඇතුන් දියට ගෙන ගියේ උයන්වත්තට මදක් ඔබ්බෙන් කළු ගෙඟ් තොටුපොළටය. නා පිරිසිදු කළ අලි ඇතුන් හැන්දෑ ගොම්මන ලබත්ම දෙවොල් බිමට ගෙන ආවේ දෝරුව නමින් හැඳින්වූ පටු මංකඩක් ඔස්සේය. වැසි දිනවලට දෝරුව එකම මඩ ගොහොරුවක් බවට පත්වේ. දෝරුව දෙපස උස් ඉවුරු නයි හබරල ගාල්වලින් පිරී පැවතිනි.

ගෝඹරයා හෙවත් ලැබුණා හැටේ දශකයේ මහ සමන් දේවාලයේ පෙරහරේ බස්නායක නිලමේට පමණක් දෙවැනි එසේත් නැතිනම් සම කථානායකයාය.

අතිශය ප‍්‍රතාපවත් චණ්ඩ එම දැවැන්තයා භාරව කටයුතු කළේ කට්ටඩි නමින් හැඳින්වූ ඉතා කුඩා කයක් සහිත වැඩිහිටි ඇත්ගොව්වෙකි. වේරගම ඇත් පන්තියේ ගෝඹරයාට වඩා වැඩිමහල් එමෙන්ම උස් මහත් තවත් අලියෙකු විය.

එහෙත් පුදුමය ඌ කිසිවිටකත් සිය මලයා වූ ගෝඹරයාට ඉදිරියෙන් පෙරහැරේ ගමන් නොකිරීමය. මේ චණ්ඩි අලි මල්ලි තමාට පහර දේ යැයි බියෙන් ඇකිලි ඇකිලි මේ අලි අයියණ්ඩි පියවර මාරු කරන විලාශය එකල කුඩා අපට අපූරු අත්දැකීමක් විය.

ඒ දිනවල අල්ලිසා, සාදිරිස්, සියනේරිස්, සරණපාල, සිරිසේන වැනි නම ගිය අලි ඇත්ගොව්වන් තම තමන් බලා ගන්නා අලි ඇතුන් පිටුපස උල් හෙණ්ඩු අතැතිව ගමන් කළේ රාජකාරිය සහ දේවකාරිය ඉක්මවාලූ භාරඳූර අලි කාරිය පිළිබඳ ගාම්භීර හැඟුම් දනවමනි. තැන නොතැන නොබලා අමු කුණුහරුපයෙන් එකිනෙකාට බැණ වදින ඔවුන් හුණුවල  ඕපනායක වැනි රාජකාරි ගම්වලින් ගෙනවිත් වාහල්කඩ ඉදිරියේ ගොඩ ගසා තිබුණු වඩා හොඳ කිතුල් කොට තම අලියාට ඇතාට හෝ ඇතින්නට තෝරා ගැනීමට සෙසු ඇත් ගොව්වන් සමග නිරන්තරයෙන් බැණ කියා ගත්හ.

ඔවුන්ගේ ඉඟතුර සඟවා තිබූ උල් පිහිවල හරක් අඟින් නිර්මිත මිට නෙක කැටයමින් සරසලාය.

නිදිපොළේ දැවැන්ත වනයක් සහිත ගල්ගමුවේ රාළහාමිට අයත් අලියාගේ ඇත් ගොව්වා ආරච්චි විය. ඔහු අලියා පිට ගමන් ගත්තේ දෙපා දෙපසට නොදා අලි පිට හරහට දෙපා එක් පසකට දමා ගෙනය. ඒ අතර තුර විටින් විට ඇයි යකෝ යැයි උස් හඬින් පවසන ඔහු අනතුරුව ඊට මද ස්වරයකින් කාක්කෝ යැයි එකිනෙකාට නොගැළපෙන පදවැල් දෙකක් එකට අරමුණයි.

පෙරහර ගෙට ගෙවදීමෙන් පසු එළඹෙන්නේ අලි ඇතුන් දේව වන්දනාවේ නිරත වන අවස්ථාය.

පහන් හැඟුම් දැනවෙන අලි වන්දනාකරුවන්ගේ එම බැතිබර දේව වන්දනාව දැක බලා ගැනීමට දුර බැහැරින් පැමිණි මිනිසුන් පවා ? මැදියම පසුවන තුරු උඩ මළුවේ රැඳී සිටිති.

උඩ මළුව දෙපස මඩම් ලෙස හඳුන්වන පැරණි උස් ගෘහයන් මෙන්ම අඟුල් මඩු දෙකේ ද කල් වේලා ඇතිව දරු පවුල් සමග ගාල් වන බහුතරය බොහෝ දුර බැහැරින් පැමිණි උදවියය.දෙවියන් හමුවේ දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටෙන අලි ඇතුන්ට ඔවුන් අත්පොළසන් දෙති. ඔවුන්ගේ අත්පොළසන්ද වැඳුමේ තරාතිරමටය. ඇතැම් හිතුවක්කාර අලියෙකු දෙවියන් හමුවේ වුව දණ ගැසුවේ අත්ගොව්වාගෙන් කෝටු පාර හත අටක් කෑමෙන් අනතුරුවය.

ඇසළ සැණකෙළි සමයේ දේවාලයේ හාත්පස ඉදිවන සිය ගණනක් වූ සල්පිල් සබරගමුවේ ලොකුකුඩා සැම සිත් චමත්කාරයෙන් පුරවයි.

එම තාවකාලික කඩ සඳහා බිම් කොටස් වෙන්දේසිය දේවාලය අවට පදිංචි ලොකු කුඩා හැමගේ ජීවිතවලට මොනයම් හෝ ආකාරයෙන් බලපෑම් කළේය.

පොල් අතු සහ උණ බම්බුවලින් ඉදි කළ එදා පෙරහැර පොළ විසිතුරු සිතියමක් මෙනි. කළුවර ලීයෙන් කළ අලි වෙළඳාම් සිදු කෙරුනේ සුදු රෙදි උඩු වියන් බැඳී ආකර්ෂණීය වෙළෙඳ කුටිවලය.

දුර බැහැරින් පැමිණි අයිස්ක‍්‍රීම් අළෙවි රථවල ඒකාකාර හඬ අභිභවා මාරක ළිඳේ ධාවනය වන යතුරු පැදියේ හඬ භීතියත් ශෝකයත් දනවමින් පෙරහර පැවැති දවස් පහ පුරා හතර අත පැතිරේ.

එදා මොරටුවේ සිට පැමණි ලී බඩු වෙළෙන්දෝ කඩ පවත්වාගෙන ගියේ සිංහාසනය ඉදිරිපිට කඩපොළවලය. රවුම්කඩය ලෙස හැඳින්වෙන සිංහාසනය ඉදිරිපිට අර්ධ වක‍්‍රාකාර කඩය සඳහා වසරක් පාසා තියුණු තරගයකි. එම කඩය මිලදී ගැනීම පුද්ගලයෙකුගේ පෞරුෂය වර්ධනයට ද හේතු වන්නක් විය.

මොරටුව වෙළෙන්දෝ රවුම් කඩයට එදා ඉහළම මිලක් වූහ. අපේ පෙරහරේ ඇතැම් චරිත මෙන්ම යොදා ගැනෙන විවිධ භාණ්ඩ උපකරණවල ද අපූර්වත්වයක් පැවතිනි. කොතනැත් තම්මැට්ටම ලෙසින් හැඳින්වෙන වාද්‍ය භාණ්ඩය සමන් දේවාලයේදී කුරප්පට්ටුව වේ. අප ළමා වීදියේ කුරප්පට්ටුව වාදනය කළේ හෙන්දිරික් ආතා ලෙසින් හැඳින්වූ නොලස වැඩිහිටියෙකුය.

දේවාලයේ මහ දවුල සහ එය බඩ බැඳගත් රත්තරන් හාමි එකිනෙකාගෙන් වෙන් කර ගැනීමට නොහැකි තරමට පරිපූරක භාණ්ඩ සේය.

සක පිඹීම වස්තුහාමි සිදු කරයි. කකුලේ සුව නොවන වනය පිළිබඳ නිතර අවධානයෙන් එය කඩාලන වස්තුහාමි සක පිඹීමට අදාළව එදා කුඩා අපට ඵුස්සදේව යෝධයාටත් වඩා දැවැන්ත චරිතයකි.

සමන් දේවාල පෙරහරේ වැයෙන එකම එක බටහිර වාද්‍ය භාණ්ඩයක් ද වේ. දුරාතීතයේ පටන් පෙරහරේ වැයෙන ට‍්‍රම්පට් පවුලට අයත් එම නළාවට සබරගමුව දේවාලයේ දී බුරම්පේත්තුව යන අපූරු නම පටබැඳිනි.

පොඩි සිංඤෝ, පුුන් සිංඤෝ, ඒබරන් යන එකම පවුලේ සොයුරන් තිදෙනෙකු බුරම්පේත්තුවේ වාදකයෝ වූහ. සෑම රැයකම පෙරහර අවසන් වීම හැඳින්වූයේ ගෙට ගෙවදීම ලෙසිනි.

පඬුරු පිදීම පඬුල්ලෑම විය. පඬුරු සෝදා ගැනීමට බැතිමතුන් දේවාලය පිටුපස ගල් තොටට බසිති. ගල්තොටින් මදක් ඔබ්බෙන් වලව්තොටය. බස්නායක නිලමේවරුන්ගේ නිල නිවහන වූ වලව්ව ඉදිරිපිට පිහිටීම නිසා එය එසේ නම් කළා විය හැක.

පෙරහර පටන් ගැනීමට හෝරා කීපයකට පෙර වලව්ව ඉදිරිපිට කුඩා බිම්කඩ සැඳෑ රඟ මඩළක සිරි ගනියි. නන් දෙසින් පැමිණි නමගිය කලාකරුවන් කරනම් කස්තිරම් මාලක්කම් ගසමින් සිය ඉහළම කුසලතා දක්වන අතර බස්නායක නිලමේ ඇතුළු අවශේෂ ප‍්‍රභූ ජනයා සුව පහසු අසුන්වල සිට ඒවා නරඹති.

කකුල් කෙඩෙත්තුව ඉවසිය හැකි හුදී ජනයාටද අද මෙන් එදත් එම රැුඟුම් විවෘතව තිබුණි. එදා දුර බැහැරින් පැමිණි කලාකරුවන් අතර නිත්තවෙල ගුණයා වැනි මහා කලාකරුවන් සිටි බව අප දැනගත්තේ ඊට දශක ගණනාවකට පසුවය.

දිය කැපීමේ පෙරහර අති ශෝචනීය අත්දැකීමකි. සැණකෙළියක නිමාවත් සමග පෑරුණු සිත් කම්පා දිය කපන දා සබරගමු පෙරහර නරඹන කාගේත් වතක නෙතක කැටයම් වෙයි. දිය කැපීමේ පෙරහර දොවොලින් නික්ම යන්නේ කපුටා හැඬීමටත් පෙර හිමිදිරි පාන්දරය. පානදුර රත්නපුර මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කර කොටඅඹේගාවා තොටුපළින් කළුගඟ ඉහත්තාවට ගෙඟ් පෙරහර ආරම්භ වේ.

පෙරහර ආපසු ගොඩ වන්නේද මෙම තොටුපොළටමය. එතැන් සිට පෙරහර අව් කූටකයේ ගිනියම් වූ තාර පාරේ ගමන් කරයි. විඩා බර අලි ඇතුන්ගේ දෑස්වලින් කඳුළු කැට වෑහේ. දින ගණනාවක් නෙතු පුරා නින්දක් හෝ ගතට සරිලන දිය කෙලූමකට ඔවුනට ඉඩක් තිබුණේ නැත. කොහොමටත් උෂ්ණාධික සතුන් වූ අලි ඇතුන් මේ නිසාම පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. උන්ගේ ඇස් තෙමා ගලන කඳුළු එවන් කායික පීඩාවක ප‍්‍රතිඵල ලෙස විශ්වාස කිරීමට මිනිසුන් අකමැතිය. ඔවුන්ට අනුව ඒ කඳුලූ පෙරහර අවසන් වූ ශෝකය දරා ගත නොහැකිව හෙළන දුක් කඳුලූය.

දිය කැපීමේ කටයුතු කළු ගඟ ඉහත්තාවේ රත්මල්ඇල්ල ප‍්‍රදේශයේ සිදු කෙරේ. එහෙත් ගඟ දිය වැඩි වීම නිසා හෝ ඔරු අඟුල් ගමන් කිරීමට තරම් ගඟ දිය ප‍්‍රමාණවත් නැති නිසා හෝ දිය කැපීමට භාවිත කරන විකල්ප ස්ථානයක්ද සමන් දේවාලය ආසන්නයේම පිහිටියේය.

දිය කැපූ පෙරහර ගෙට ගෙවදීමෙන් අනතුරුව දේවාභරණ වැඩමවූ හස්තියා පෙරහර පොළේ කඩපිලෙන් කඩපිලට සම්මාදමේ යෑමේ සිරිතක්ද පැවතිනි. දේව කාරිය සිදු කළ හස්තියාට කඩ හිමියෝ උක් දණ්ඩක්, කෙසෙල් ඇවරියක්, අන්නාසි ගෙඩියක් දෙති. ඔවුන් ඇත් ගොව්වන් අත කිසියම් මුදලක් මෙලවීමට ද යුහුසුළු වෙති.

තිස් හතළිස් වසරකට පෙර දිය කැපීමේ චාරිත‍්‍රය නිමා වීමත් සමග සබරගමුව සමන් දේවාල භූමියේ ඇසළ සිරිය සෝදා ගියාක් මෙන් අතුරුදන් වේ.

පෙරහර නිමවා තවත් දින කීපයක් කඩපිල් පවත්වාගෙන යාම ආරම්භ වූයේ 1970 දශකය මැද වෙළෙඳ පොළ ආර්ථිකයත් සමගය. එහෙත් දුරාතීතයේ පෙරහර අවසන් වී ගරායක් නැටුම පටන්ගන්නා ? මැදියම වන විට දෙවොලෙ හාත්පස අමු සොහොනක් බවට පාළුවට ගොසිනි. ආපසු ගම් රට බලා යන වෙළෙන්දෝ කුඩා ලොරි පොඩිවලට බඩු පටවති. අවසන් තත්ත්පරයේ පුටුවක් මේසයක් මිලට ගැනීමට ඒ අතර මොරටුවකු සමග කේවල් කරන්නෙකුගේ හඬ ද ඇසේ.

මේ මහා සැණකෙළිය අවසන් වූවා නොවේද යන තැවුල සිතට වද දෙමින් නෙතට කඳුළු පිරවීමට වෙර දරයි. සිරිත් පරිදි සුපුරුදු රාත‍්‍රී තේවාව ඇසේ. දුර බැහැරින් ආ නැට්ටුවන් බෙරකරුවන් දැන් ඔවුන්ගේම ගම රටවලට ගොසින්ය. ඉතින් ඉතිරි තුන්සිය හැට හතර දවසටම දේවාලයේ ඉතිරි වන්නේ රත්තරන් ආතා, හෙන්දිරික් ආතා, වස්තුහාමි සහ හුරතල්හාමි වැනි වැඩිහිටියන් අතළොස්සක් පමණය. තේවාවේ හඬ සමග මහ දවුල වයන බඩ රත්තරන් හාමිගේ රකුස් පෙනුම සිහිපත් වේ.

කුරප්පට්ටුව හඬවන හෙන්දිරික් ආතාගේ බැල්ම ගුප්තය. කකුලේ වනය කසමින් හක්ගෙඩිය පිඹින වස්තුහාමි එසක් හඬ පොත්ගුල් කඳුවැටියේ හැපී නිම්නාද වන ආකාරය තුමූම විඳ ගනී.

මේ නාද නිමාව අපට තවත් පණිවිඩයක් ද ගෙන එයි. එනම් හෙට සිට පාසල් යළි පටන්ගන්නා අහිමිරි පුවතයි. එහෙත් දේවාභරණ වැඩමවූ හස්තියා සඳහා ගරා යක් නැටුම තවම පටන් ගෙන නැත. පෙරහරේ තවත් යමක් තවමත් අවසන්ව නැතැයි යන තාවකාලික අස්වැසිල්ල කුඩා අපට එදා ලොකු බලාපොරොත්තු ඇති කළ තවත් හෝරාවක් විය.

සබරගමුව මහ සමන් දේවාලය

(ලංකාදීප)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: