Posted by: lrrp | November 21, 2011

රජ මාලිගාව දක්වා විහිදුණු කැලණි ගඟේ හංවැල්ල උමග

මායාදුන්නේ රජු විසින් ක‍්‍රි: වර්ෂ 1534 දී ඉදිකරවන ලද සීතාවක නගරය පළමුව ප‍්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් ලෙස ද, පළමුවැනි රාජසිංහ රජු සමයේදී නගරයක් ලෙසද පැවතුණි. අවිස්සාවේල්ල නගරයට ඉතා සමීප එම ස්ථානය බණ්ඩාරවත්ත නමින් හැඳින්වෙයි. රජ මාලිගාවක්, නටබුන් ලෙස නිසැක ලෙස හඳුනාගැනීමට අසීරු වුවද පැරණි නගරයට හා මාලිගාවකට අයත් යැයි සැලකෙන නෂ්ටාවශේෂ එම භූමිය ආශි‍්‍රතව තිබේ.

සිය පියා වූ මායාදුන්නේ රජුගෙන් පසුව සීතාවක අගනගරය කරගත් පළමුවැනි රාජසිංහ රජු විසින් ඉදිකරන්නට ඇති බව සැළකෙන තවත් මාලිගාවක් හංවැල්ල ප‍්‍රදේශයේ පිහිටි බව ජනප‍්‍රවාදයේ එයි. එම ප‍්‍රදේශය අදත් හඳුන්වන්නේ මාලිගාවත්ත ලෙසය. කැලණි ගෙඟ් සිට එම මාලිගාව දක්වා විහිදී ඇති බව කියන කිලෝමීටරයක් පමණ දිග උමඟක්  හංවැල්ල ප‍්‍රදේශයේ පිහිටා තිබේ. උමඟ ආරම්භවන ගංගාවේ ස්ථානයේ විශාල වක්කලමකි. එම වක්කලම හැඳින්වෙන්නේ ද ‘‘මාලිගාව වක්කලම’’ යන නමිනි.

හංවැල්ල-සමනබැද්ද පදිංචි රාජපක්‍ෂ ලියනගේ සුරවීර මහතා මෙම උමඟ සියැසින් දුටු අයෙකි. කුඩා කල සිට ගඟ හා ඔට්ටු වෙමින් ගෙඟ්ම ජීවත් වූ ඔහුගේ සීයා වූ හෙන්ද්‍රික් රාජපක්‍ෂ ද පියා වූ රාජපක්‍ෂ ලියනගේ දියෝනිස් සිංඤෝ ද කැලණි ගෙඟ් ධීවර කටයුතුවල නිරතව සිටි අතර ඔවුන්ගේ ආභාෂය අනුව සුරවීර මහතා ද තම ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ කැලණි ගඟ සමගය.

කැලණි ගඟ හංවැල්ල නගරයට පැමිණීමට ඔන්න මෙන්න කියා තිබිය දී විශාල නැම්මකින් යුක්තය. ගංගාව එක්වරම කෙළවරකට බෑවුම් වන එවැනි ස්ථානයක් ආක්වැල්ල ලෙස හැඳින්වෙයි. මාලිගාව වක්කලම පිහිටා ඇත්තේ එතැනය. වක්කලම යටින් මෙම දීර්ඝ උමඟ පිහිටා ඇති අතර, එය සාමාන්‍ය මට්ටමේ සිට අඩි 40කින් පමණ ගැඹුරින් පිහිටා ඇති බව සුරවීර මහතා කියයි.

මෙම උමඟ පිළිබඳව සුරවීර මහතාට කරුණු කියා ඇත්තේ ඔහුගේ සීයා සහ පියාය. කැලණි ගංගාවේ මසුන් මැරීමේ කටයුතුවල නිරතව සිටියදී මීට වසර පණහකට පමණ ඉහතදී තමාට ඒ පිළිබඳව මුලින්ම දැනගැනීමට හැකිවූ බවද ඔහු කීය. සුරවීර මහතාගේ සීයාත්, පියාත්, දෙදෙනාම වරක් උමඟ දිගේ කෙටි දුරක් ඇතුළට ගමන් කර ඇතත්, කාල වේලාව මඳවීම නිසා යළි ආපසු පැමිණ ඇත.

කිමිඳුම් උපකරණ රහිතව ගෙඟ් කිමිදෙන සීයාත්, පියාත් මෙන්ම සුරවීර ද ඒ සඳහා භාවිත කළේ කණ්ණාඩි දෙකක් පමණි. මාලිගාව වක්කලමේ සිට දකුණු ඉවුර අසලින් (ගම්පහ දිස්ති‍්‍රක්කය මායිම් වී ඇති ඉවුර) හංවැල්ල සමනබැද්ද ප‍්‍රදේශයට මෙම උමඟ ගමන් කර මාලිගාවත්ත ප‍්‍රදේශයෙන් අවසන් වන බව කියැ වේ. උමඟ කෙළවර නිධන්කොට ඇති බව කියන වටිනා නිධානයක් ගැනීමට පසුගිය කාලයේ එම ප‍්‍රදේශයේ පිහිටි නිවසක කාමරයක් ද හෑරූ උත්සාහයක් ද ප‍්‍රදේශය පුරා ප‍්‍රසිද්ධ වී තිබේ.

පළමුවැනි රාජසිංහ රජුගේ පියාණන් වූ මායා දුන්නේ රජු, තම පුත‍්‍රයා අතින් ඝාතනය වූ බවද ජනප‍්‍රවාදයේ එන කාරණයකි. තාත්තා මරා දැමූ පාපයෙන් ගැලවීමට නම් ගඟ මැද කෝවිලක් තනා යාතිකා පැවැත්විය යුතු බව රජුහට උපදෙස් දුන් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් නැමැති ශිව පූජකයාගේ උපදෙස් මත රාජසිංහ රජු විසින් කැලණි ගඟත්, සීතාවක ඔයත් එකතුවන ස්ථානයේ බැරැන්ඩි දේවාලය නමින් කෝවිලක් ඉදකරන ලද බවද ඉතිහාසයේ එයි. අදත් එම කෝවිලේ නටබුන් ඉතිරිව ඇත.වෙනත් යටි අරමුණකින් රජු උපදෙස් දුන් අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල් නැමැති ශිව පූජකයාගේ අනාවැකි සියල්ල වැරදීමෙන් පසුව රජතුමා සීතාවක මාලිගාව අතහැර විත් හංවැල්ල සමනබැද්දේ පිහිටි බව කියන මාලිගාව තැනූ බවද තවත් ජනප‍්‍රවාදයකි.

මාලිගාව වක්කලමේ පිහිටි උමඟ හැරෙන්නට හංවැල්ල නගරයට ආසන්නව පිහිටි තොටුපළ අසල තවත් උමඟක් පිහිටා ඇති බවට සාක්‍ෂි ඇතැයි සුරවීර මහතා සඳහන් කරයි. තම පියාගෙන් ලද තොරතුරු අනුව මෙම ස්ථානය සොයා ගැනීමට වෙහෙසුන ද අදවන විට ගංඟාව පත්වී ඇති ඉරණම අනුව එය දුෂ්කර කාර්යයක් බවද සුරවීර මහතා කියයි.

සුරවීර මහතාගේ පියා වූ දියෝනිස් සිංඤෝ මහතා මිය ගියේ 1963 වසරේදීය. දැනට පිහිටි හංවැල්ල පාලම ද විවෘත කළේ 1965 වසරේදීය. පාලම් ඉදිකිරීමට පෙර සිට දියෝනිස් සිංඤෝ ඔරුවකින් ජනතාව එගොඩ-මෙගොඩ කිරීමේ කටයුත්ත ද කළේය. එකල ගංගාවේ ඇති චමත්කාරය අද මෙන් සුරවීර මහතාට මතකය. හොඳින් හිරු එළිය වැටුණු පසුව ගංගාව ඉතා මනරම්ය. ජලය ඉතා පිරිසුදු විනිවිද පෙනෙන සුළුය. ගංගාවේ ගැඹුරින් පිහිනන මාළුවන්, ඉස්සන්, මෙන්ම පොකිරිස්සන් ද ඔවුන්ට හොඳින් පෙනෙයි.

මෙම ජලයේ කිමිදුනු විට ගංගා පත්ල පැහැදිලිවම පෙනෙයි. කාලයක් තිස්සේ ගංගාව තුළ තැන්පත්ව ඇති ගස්වල කඳන් කැබලි, ලී කොට, මෙන් ගල් වර්ග ද ඉතා පැහැදිලිව පෙනෙයි. ඒ අතර සැඟවී සිටින මාළුන්ට ද සැඟවෙන්නට නොහැකි තරම් අනාරක්‍ෂිතය. මේ කාලයේ ගංගාවේ කිමිදුණු සුරවීර මහතාගේ පියාත්, සීයාත් මෙම උමඟ පිළිබඳව සුරවීර මහතාට කරුණු කියා තිබුණත්. කාලයක් තිස්සේ හංවැල්ල නගර මධ්‍යයේ පිහිටි මෙම ස්ථානය අපිරිසුදු වීමෙන් ජලය ද දුෂිත තත්ත්වයට පත්ව තිබේ. එහෙයින් මෙම උමඟ පිළිබඳව නිරීක්‍ෂණයක් කිරීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත.

කැලණි ගෙඟ් ගැඹුරුම ස්ථානයක් ලෙස සැලකෙන හංවැල්ල පාළම අසල තොටුපළට දිය නෑම සඳහා මාලිගාවත්ත ප‍්‍රදේශයේ සිට පිරිසක් පැමිණියහ. ඒ 1984 වර්ෂයේ එක්තරා දිනයකි. ඒ සියලූදෙනා මුස්ලිම් ජාතිකයෝ වූහ. හංවැල්ල ප‍්‍රදේශයේ නෑදෑයකුගේ නිවසට පැමිණ එම පිරිස දිවා ආහාරය නිවසේ පිළියෙල කර දියනෑමෙන් පසුව ආහාර ගැනීමේ අදහසින් දිය නෑමට ගඟට බැස්සහ.

නාමින් සිටි බිරිඳ සැඩපහරකට ලක් වී ගසාගෙන ගිය අතර, ඒ දුටු ඇගේ නැගණියත් අක්කා බේරා ගැනීමට දියට පැන්නාය. දෙදෙනාම ගෙඟ් ගසාගෙන ගිය අතර මේ දෙදෙනා බේරා ගැනීමට සැමියා ද ගඟට පැන්නේය. තිදෙනාම ගෙඟ් අතුරුදහන් වූහ. හංවැල්ල ප‍්‍රදේශයේම ජනතාවගේ හදගැස්ම මොහොතකට හෝ නතර වූ මෙම ශෝචනීය සිද්ධියෙන් පසුව කිමිදුම්කරුවන් මළ සිරුරු සොයා පරීක්‍ෂණ ආරම්භ කළහ. නමුත් මළ සිරුරු හමු නොවීය. පොලිස් කිමිඳුම්කරුවන්ගේ සහායද ලබාගත්ත ද ප‍්‍රථිපලය අර්ථ විරහිත විය.

දියේ ගිලූන යුවළ තරුණ වියේ පසුවූ අතර, අනෙක් කාන්තාව අවුරුදු 16ක පමණ තරුණියකි. මොවුන් දියනාන විටද රත‍්‍රං චේන්, කරාබු හා බ්‍රේස්ලට් රැසක් පැළඳ සිටියහ. ඒ නිසාම රත‍්‍රංවලට ඇල්මෙන් ඒවා ලබා ගැනීමටද වෙනම පිරිසක් එම ස්ථානයේ සිටියහ.

සුරවීර මහතාට මෙම සිද්ධිය පිළිබඳව ආරංචි වන්නේ හවස 4.30 ට පමණය.

හවස 5.30 ට පමණ සුරවීර මහතා එතැනට පැමිණෙනවිට හංවැල්ල පාළම මතත්, අවටත් දෙදහසකට වැඩි පිරිසක් රොක් වී සිටියහ.

හවස 5.35 පමණ වන විට සුරවීර මහතා ගඟට බැස්සේ තිදෙනා ගිලී ගිය ස්ථානය හා ගිලූණු ආකාරය පිළිබඳවත් විස්තර දැනගැනීමෙන් පසුවය. එතැන පිහිටියේ දරුණු වක්කලමකි. සිද්ධිය දුටු අයගේ විස්තරවලට අනුව මළ සිරුරු තිබිය යුත්තේ වක්කලම තුළ බව සුරවීර තීරණය කළේය.

සුරවීර අනුමාන කළ පරිදිම වක්කලම තුළ පිහිටි ගල්තුනක් මැද අවුරුදු 16 ක ගැහැණු ළමයා සිරවී සිටියාය. පළමුවරදී ඇඟේ මළ සිරුර උඩට ගෙනඒමට ඔහුට නොහැකිවිය. දෙවැනි වර කිමිදී තරුණියගේ සිරුර ගොඩට ගෙන ඒමට සුරවීර සමත්විය.

පසුව කිහිපවරක් දියයට කිමිදුනත් ඉතිරි දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනීමට නොහැකි විය. මේ වන විට හතරවටින් කළුවර වී තිබුණි. ගොඩට ගෙන ආ තරුණියගේ දේහය අසල විලාප තබන ඥාතීන්ගේ හඬ මැද්දේ සුරවීර යළිත් කැලණි ගංගාව තුළට කිමිදුණි. මිනිසුන් රැසක් සුරවීරගේ උදව්වට හිටියත් දියයට මෙහෙයුමට සිටියේ ඔහු පමණි. තරුණියගේ සිරුර තිබූ ස්ථානයට මීටර් 20 ක් පමණ දුරින් මියගිය යුවළගේ සිරුරු හමුවිය. දෙවරකදී ඔවුන්ගේ සිරුරු ගොඩට ගෙන ඒමට සුරවීර සමත්විය.

කුඩා කල සිට ගඟ හා ඔට්ටු වූ සුරවීර රාජපක්‍ෂ මහතා කිමිදුණු අවස්ථාවක හමුවූ පැරණි රජදවසට අයත් බවට සැලකෙන මැටි බඳුනක් ද පරීක්‍ෂණ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ නිලධාරියකුට බාරදී තිබේ. ඔහු විසින් මෑතකදී ගංගා පතුලෙන් සොයා ගන්නා ලද ඝණ ලෝහයකින් යුත් ගඩොලක් වැනි යමක් සොයාගෙන තිබේ. එයද පරීක්‍ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ට දීමට ඔහු අපේක්‍ෂා කරයි.

එදා සහ අද ගංගාව අතර බෝහෝ වෙනසක් ඇතිබව සුරවීර මහතා පවසන්නේ තරමක කනගාටුවෙනි. එදා සුන්දර දසුන් මැවූ ගංපතුලේ අද ඇත්තේ වීදුරුකටු, බෝතල්, ටින් ආදිය බවත් ඔහු කියයි. සොරාගත් භාණ්ඩ, පාපැදි ආදියත් ඇතැමුන් විසින් ගඟට දැමීමෙන් ගංපතුල තුළ ඒවා එක්රැුස් වී ඇති බවද සුරවීර මහතා පවසයි. එදා හිරුඑළියද මුසුවී සුන්දර දසුන් මැවූ ගංගාවේ ජලයත්, ගංගා පතුලත් අදවනවිට වැලි ගොඩදැමීමත්, විවිධ පාරිසරික හේතු නිසා දුෂණය වී ඇති බැවින් දිය නෑම සඳහා හෝ ගඟට බැසීමට සිත නොදෙන බවද සුරවීර මහතා පවසයි.

දොම්පේ- අජිත් මදුරප්පෙරුම

 

සමාලිගාව වක්කලමේ උමඟ පිහිටි ස්ථානය

සීතාවක බැරැන්ඩි කෝවිල

සීතාවක ප‍්‍රදේශයේදී කැලණි ගඟ ගලාගිය මාර්ගය අද ගොඩබිමක් බවට පත්වී

සීතාවක මාලිගාව පිහිටි ස්ථානය

සුරවීර රාජපක්‍ෂ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: