Posted by: lrrp | April 2, 2012

දළදා මාලිගය සුවපත් කළ විශ්මිත මෙහෙයුමේ සැඟවුණු කතාව

කාලය අපූරු අරුම මවයි. ගෙවීගිය අතීතය අප දවා දැමුවේනම් මේ මොහොත වන විට ජාතියේ භෂ්මාවශේෂවත් ඉතිරිවන්නේ නැත. වීරයන් කාලකණ්‌නි ද්‍රෝහීන් වීම මෙන්ම මහා ම්ලේච්ඡත්වය වපුල කාලකණ්‌නින් ආදරණීය මිත්‍රයන් වීමේ අසිරිය නිර්මාණය වන්නේ කාලය හරහාය.

මීට අවුරුදු දාහතරකට පෙර බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගාව බෝම්බ ප්‍රහාරකින් කුඩු වී ගියේය. වර්ෂ 1998 ජනවාරි මස 25 වෙනිදා උදෑසන 6.30 ට පමණ එල්ලවූ ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අවුරුදු දෙකක නොදරුවෙක්‌ ඇතුළු 11 දෙනෙක්‌ එතැනම මියගියහ. 28 දෙනෙක්‌ තුවාල වූහ.

ඒ කාලයේ මරණය සුලභය. සමාජය තුළ මහා කම්පනයක්‌ ඇතිකිරීමට එබඳු මරණ ඒ වකවානුවේදී ප්‍රමාණවත් වූයේ නැත. එල්.ටී.ටී.ඊ ය විසින් ඒ වනවිට මේ රටේ සිවිල් ජන ජීවිතයට ගිනි තබා තිබිණි. මහබැංකුව දැවී හළුවී ගියේය. පිටකොටුව මධ්‍යම බස්‌නැවතුම්පළ පිපිරී ගොස්‌ සිය ගණනක්‌ මිය ගියහ. ජය ශ්‍රී මහා බෝධිය ළඟ සිය ගණනක්‌ උවසු උවැසියෝ අමු අමුවේ මරා දැමිණි. දිනපතා නිවසින් පිටවයන්නන් යළි නිවසට එනතුරු ජීවිතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක්‌ තිබුණේ නැත. එහෙත් ඛේදවාචකයක්‌ව තිබූ සමාජයක්‌ තමන් ඉතිහාසයේ මුහුණදුන් කිසිදු ඛේදවාචකයකදී කම්පා නොවූ තරම් ප්‍රභල ලෙස ශ්‍රී දළදා මන්දිරයට බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමග කම්පනයට පත්වුණේය. අපේ මිනිස්‌සුන් මොනතරම් මේ සංස්‌කෘතික ඇගයීම් තුළ ආධ්‍යාත්මිකව කිඳී ගොස්‌ ඇත්දැයි යන්න පිළිබඳ වූ විශිෂ්ටම සන්නිදර්ශනය මේ ව්‍යසනයත් සමග ලෝකයට ප්‍රකටවිණි.

සිංහල සංස්‌කෘතියේ පාරිශුද්ධ සංකේතය වූයේ දළදා වහන්සේය. උන්වහන්සේ මේ රටේ බෞද්ධයන්ට ජීවමාන බුදුහුම වූහ. ත්‍රි සිංහලය අයත් භූමිය උන්වහන්සේගේ බලමහිමයට යටත්ව පැවතිණි. සිංහලයේ රජුන් තැනුණේ ශ්‍රී දළදා වහන්සේ සෙවනෙහිය. අඩුම තරමින් අවුරුදු එක්‌දහස්‌ අටසීයක්‌ තිස්‌සේ උන්වහන්සේ අනන්ත බැතිමතුන්ගේ අප්‍රමාණ වන්දනාවට පාත්‍ර වූහ. මේ ප්‍රහාරය එල්ලවී තිබුණේ අපේ මිනිස්‌සුන්ගේ ආධ්‍යාත්මයටය. එපමණක්‌ නොව, ජාතික අභිමානයටය.

තවත් සිදුවීම් දාමයක්‌ මේ වේදනාව තීව්‍ර කිරීමට හේතු වී තිබිණි. රට ලෑස්‌තිවෙමින් සිටියේ පනස්‌ වැනි නිදහස්‌ දිනය සැමරීමටය. එම නිදහස්‌ උළෙල සැමරීමට සූදානම් වෙමින් සිටියේ නුවරය. මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස්‌ කුමරු ඇතුළු සම්භාවනීය අමුත්තන් ගණනාවක්‌ මේ උළෙල සඳහා සහභාගි වීමට රටට පැමිණීමට නියමිතව සිටියේය. එල්.ටී.ටී.ඊ ය මේ සියලු කාරණා ප්‍රධානකොට දළදා මැඳුර පිපිරවීමට සැලසුම් කර තිබුණි. ජාතියේ ආත්ම ගෞරවය පිළිබඳ මෙම මාරක නිලයට අවසානයේ ඔවුහු නින්දිත ප්‍රහාරයක්‌ එල්ලකළහ.

මේ කම්පනය රටම මළගෙයක්‌ කර තිබිණි. සිදුවූ හානියේ ප්‍රමාණය ඒ ලෙසින්ම සමාජයට හෙළි නොකිරීමේ වාරණයක්‌ වගකීමක්‌ සහිත සෑම මාධ්‍යයක්‌ විසින්ම අනුගමනය කරනු ලැබීය. බෝම්බය පිපිරුණදාට පසුදා වනවිටම දළදා මැඳුර යළිත් පෙර පැවති ආකාරයටම ප්‍රතිනිර්මාණය කළ යුතුය යන මතය මහා ප්‍රවාහයක්‌ සේ සමාජයෙන්ම මතුවෙමින් පැමිණියේය. රටේ සෑම මාධ්‍යයක්‌ විසින්ම මේ කථිකාව පුළුල් ලෙස ගොඩනංවනු ලැබිණි. මේ සංවාදය නිසාම ඒ වනවිට රටේ පැවති සියලු වැදගත් ප්‍රවේශයන් අතර අතිශයින්ම වැදගත් වූ අංගය ලෙස දළදා මැඳුර සංරක්‌ෂණය කිරීමේ කටයුත්ත මතුවී ආවේය.

රජය දළදා මන්දිරය සංරක්‌ෂණය කිරීම සඳහා වහාම ජනාධිපති කාර්යසාධක බළකායක්‌ නිර්මාණය කළේය. එය මහානායක හිමිවරුන්ගෙන්, දියවඩන නිලමේ ඇතුළු දළදා මන්දිරයේ ගිහි භාරකත්වයෙන් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෘත්තිකයන් ඇතුළු විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත වූයේය. එහි සභාපතිකමත් පහසුකම් සැපයීමේ හා අධීක්‌ෂණ වගකීමත් පුද්ගලිකවම එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පවරාගනු ලැබිණි.

ඒ සමගම දළදා මැඳුර ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා අරමුදලක්‌ පිහිටුවනු ලැබීය. මෙම අරමුදල පිළිබඳ රජය කළ ප්‍රකාශය මේ සිදුවීම අපේ රටේ මිනිස්‌සුන්ගේ ආධ්‍යාත්මය කෙතෙක්‌ දුරට පාරා තිබුණේද යන්න පිළිබඳ වූ දර්ශකයක්‌ විණි. දැන්වීම රජය විසින් කරනු ලැබ දෙදිනක්‌ තුළ ඒ සඳහා මිනිස්‌සුන් ලබාදුන් ආධාර වල වටිනාකම රුපියල් මිලියන දෙකක්‌ ඉක්‌මවිණි. අවසානයෙදී දළදා මන්දිරය යළි ගොඩනැංවීම සඳහා අපේ මිනිසුන් ලබාදුන් ආධාරවල වටිනාකම රුපියල් මිලියන සියය ඉක්‌මවා තිබිණි. එය එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු විද්වත් නිලධාරීන් විසින් සැකසූ ඇස්‌තමේන්තුවට වඩා තුන්ගුණයකටත් වැඩි මුදලක්‌ විය. සියලුම ප්‍රධාන දේශපාලන ප්‍රවාහ මේ ව්‍යසනය හමුවේ එකතු වූහ. වෘත්තිකයන් හා විද්වතුන් ස්‌වකීය දැනුම හා අත්දැකීම් බෙදාගැනීමට ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරී තිබූ වගකීමේ බර සුළුපටු නොවිණි. ජනාධිපතිනියගේ සෘජු අධීක්‌ෂණය යටතේ රටේ මිනිසුන්ගේ උත්තුංග ප්‍රාර්ථනාවත් මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ අභිමතාර්ථයත් සාධනය කරදීමේ පුළුල් කාර්යය ඔවුන් විසින් කළ යුතු වූයේය. ඓතිහාසික ආගමික ගොඩනැඟිලි සංරක්‌ෂණය කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක්‌ හා ඒ සඳහා ලබාගත් විද්‍යානුකූල දැනුමත් සහිත වෘත්තිකයන් පිරිසක්‌ සිටියද ඔවුන් හමුවේ පැවතියේ වෙනස්‌ම ආකාරයේ අභියෝගයකි. මෙම සංරක්‌ෂණ කටයුත්ත ඔවුන් පුරාවිද්‍යාව ලෙස බටහිරින් ලබාගත් මූලධර්ම සහිත න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඒ ආකාරයෙන්ම ආදේශ කර නිමා කළහැකි හුදු ඉදිකිරීමක්‌ පමණක්‌ම නොවීය. ඔවුන් හමුවේ පැවතියේ අවුරුදු දෙදහස්‌ ගණනක්‌ තිස්‌සේ ජාතියක්‌ හමුවේ ජීවමාන උත්තුංග උරුමයක්‌ විනා පෞරාණික සොහොන් කොතක්‌ නොවේ. එය සංරක්‌ෂණය කළයුතු වූයේ ඒ ජීවමාන වූ විශිෂ්ට සංස්‌කෘතිය තුළය.

මේ යථාර්ථය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද වැටහෙන්නට වූයේ මේ සංරක්‌ෂණ කටයුතු ආරම්භ වීමත් සමගිනි. එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ලොව ප්‍රකට විද්වතෙක්‌ වූ ආචාර්ය ශිරාන් දැරණියගලය. වාස්‌තුවිද්‍යා සංරක්‌ෂණ අංශයේ අධ්‍යක්‌ෂක ධුරය දරනු ලැබුවේ ක්‌ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙක්‌ සේ ලෝක සම්භාවනාවට ලක්‌වූ, ඉතාලියේ පිහිටා ඇති යුනෙස්‌කෝව යටතේ පවතිනා සංස්‌කෘතික දේපළ ආරක්‌ෂා කිරීම හා සංරක්‌ෂණ අධ්‍යයනය පිළිබඳ අන්තර්ජාතික ආයතනයේ  ව්‍යාපෘති කළමනාකාරවරයෙක්‌ මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයෙක්‌ ලෙස මේ වන විට කටයුතු කරන ආචාර්ය ගාමිණි විඡේසූරිය විසිනි. උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර මට්‌ටමේ අත්දැකීම් සහිත ලෝකයේ සිටි විද්වතුන් අතළොස්‌ස අතරේ ඒ වන විට ගාමිණි විඡේසූරියද සිටියේය. දළදා මාලිගාව සංරක්‌ෂණය කිරීම සම්බන්ධයෙන් ජාතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අභියස තැබූ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ඔහු වෙත පැවරිණි.

එහෙත් නිර්මාණය කළ කාර්යසාධක බළකායේ දී තීරණාත්මක සංරක්‌ෂණ තීන්දු ගැනීමේ බලය විද්වත් වෘත්තිකයන් වෙතින් ගිලිහී තිබුණේය. එබැවින්ම නිරන්තර වාද විවාද ඇතිවූයේය. අවසානයේදී මේ තත්ත්වය මාධ්‍ය හරහා වාර්තා විණි. ඒ අවස්‌ථාවේදී ජනාධිපතිනිය සෘජු උපදෙසක්‌ ලබා දෙමින් සංරක්‌ෂණ කටයුතු වෘත්තිකයන් අතින් සිදුවුවද සෑම වැදගත් සංරක්‌ෂණ තීන්දුවක්‌ම මහානායක හිමිවරුන් විසින් අනුමත කළ යුතු බව කියා සිටියාය. මේ පසුබිම කිසිවිටකත් මීට ඉහත කළ පුරාවිද්‍යා සංරක්‌ෂණ කටයුතුවලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්දැක තිබුණේ නැත.

ඒ වන විට රටට ප්‍රකාශ නොකළද දළදා මාලිගාවේ දාහත හා විසිවැනි සියවස්‌ දක්‌වා සිදුවූ විශිෂ්ට වාස්‌තු විද්‍යාත්මක ඉදිකිරීම් බොහෝමයක්‌ විනාශවී තිබුණේය. සමහර සෙල් කැටයම්ගල් පුවරු පමණක්‌ ශේෂවන සේ කැඩී බිඳී ගොස්‌ තිබිණි. සිතුවම් සහිත මැටි බදාම තට්‌ටු බිඳී ගොස්‌ය. බටහිර පුරාවිද්‍යාත්මක න්‍යායන්ට අනුව විනාශ වී ගිය අංග ඉවත් කිරීම මෙන්ම කෞතුක ඉදිකිරීම් වලට අවම මැදිහත් වීමක්‌ සහිතව සංරක්‌ෂණය කිරීම පිළිබඳ වෘත්තිකයෝ කතා කරමින් සිටියහ. එහෙත් සමාජ අපේක්‌ෂාව මීට වඩා හාත්පසින් වෙනස්‌ වූයේය. දැනුම පිළිබඳ විශ්වාසයක්‌ සහිතව මේ කටයුත්තට පිවිසුනද සම්මත බටහිර පුරාවිද්‍යා න්‍යායන් අනුදකිමින් මේ සංරක්‌ෂණ කටයුත්ත කිරීමට නොහැකි වන ආකාරය ලබනා සෑම අත්දැකීමකින්ම ප්‍රධාන සංරක්‌ෂකයන්ට පසක්‌ විණි.

මුළු සංරක්‌ෂණ ක්‍රියාවලියම අලුත් අත්දැකීම් වලින් පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න පත්‍රයක්‌ වූයේය. සමාජය ප්‍රාර්ථනා කළේ මේ සජීවී පුදබිම පෙර පැවැති ආකාරයෙන්ම යළි පහළ කර ගැනීමය. ඒ සමගම මෙතෙක්‌ පැවැති අපහසුතා මගහරවා ගැනීමට ද යෝජනා ඉදිරිපත් වූයේය. ඉහළ රක්‌ෂිතයේ ජීවත්වන වඳුරන්ගෙන් නිරන්තර හානි වන මැටි උළු වෙනුවට නඩත්තුව පහසු ඒ හැඩයේම තඹ ලෝහයෙන් කළ වහළක්‌ දළදා මැඳුරේ පරිපාලන අධිකාරිය විසින් පොදු සමාජීය ඉල්ලීමක්‌ ලෙස ඉදිරිපත් කළේය. මේ සමග සජීවී පුදබිමක්‌ යළි සංරක්‌ෂණ කිරීමේදී ඒ හා මතුවිය යුතු සංස්‌කෘතික හා පාරම්පරික ඥානය පිළිබඳ අලුත් පාඩමක්‌ අපේ මහානායක හිමිවරු ඇතුළු ආගමික නායකත්වය විසින් ශාස්‌ත්‍රීය ලෝකයට කියාදෙමින් සිටියහ. ඒ න්‍යායෙහි විශිෂ්ටත්වය ප්‍රකට වූ උදාහරණ කීපයක්‌ම මෙහිදී එළිදැක්‌කේය.

දළදා මාලිගාවේ සඳකඩ පහණ ඇතුළු නුවර යුගයේ විශිෂ්ට සෙල්මුවා කැටයම් රාශියක්‌ මුළුමනින්ම විනාශවී තිබුණේය. මෙම සෙල්මුවා කැටයම් නිර්මාණය කළ තාක්‌ෂණයත් එම ඥානයත්, ඒ පාරම්පරික කැටයම් ශිල්පීන්ගේ පරම්පරාත් ඒ වන විට බොහෝදුරට රටින් අතුරුදන්ව තිබිණි. මේ දැනුමේ හිඟය පියවා ගැනීමට ඒ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉන්දියානු මූර්ති ශිල්පීන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා මූලික කටයුතු සම්පාදනය කරමින් සිටියේය. මේ යෝජනාව ඉදිරිපත් කළ විට මහානායක හිමිවරු එය මුළුමනින්ම බැහැර කළහ. උන්වහන්සේලාගේ අපේක්‌ෂාව වූයේ අපේ පාරම්පරික ඥානය යළි මතුකරගෙන හෝ අපේ මිනිස්‌සුන් අතින් මේ කටයුත්ත සිද්ධ වනු දැකීමය. රට වටා සොයා ගියත් කටයුත්තට සරිලන ශිල්පීන් පිළිබඳ හෝඩුවාවක්‌ හෝ නොවීය. අනතුරුව අවශ්‍යතාව පවසා පුවත්පත් දැන්වීමක්‌ පළකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේය. අප්‍රමාණ වෙහෙසකින් පසු මෙබඳු කටයුත්තකට යොමුකරගතහැකි දැනුමක්‌ හා හැකියාවක්‌ සහිත කැටයම් ශිල්ප පරම්පරා තුනක්‌ සොයාගත හැකිවූයේය. දළදා මාලිගාවේ අද අප දකිනා සඳකඩපහණ, ඇත් කැටයම ඇතුළු සෙල්මුවා කැටයම් පෙර පරිදිම නිම වූයේ මේ මිනිස්‌සුන් අතිනි.

තවත් මෙබඳුම යෝජනාවක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ඉදිරිපත් විණි. එනම් සංරක්‌ෂණ කටයුත්තේදී අතිශයින්ම වැදගත් වන ප්‍රමිතියක්‌ සහිත දැව සපයා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවය. මෙබඳු දැව බුරුමය හෝ එවැනි රටකින් ඉතා පහසුවෙන් ආනයනය කළ හැකි වූයේය. මේ ගැන කතා කරන මොහොතේ මහානායක හිමිවරුන්ගේ මුහුණු පවා මැලවී යනු පෙනිණි. අපේ රටේ අපේ දැව හැර වෙනත් කිසිම විදේශයක ලී කැබැල්ලක්‌ හෝ මෙම ඉදිකිරීම් සඳහා යොදා ගැනීමට උන්වහන්සේලා අනුමැතිය නුදුන්හ.

අනෙක්‌ වැදගත්ම කාරණාව මතු වූයේ සමහර නවකම්වල රන් ආලේප කිරීම සඳහා යෝජනා වූ නවීන තාක්‌ෂණික උපක්‍රම පිළිබඳ කටයුත්තේදීය. මෙහිදී අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක හාමුදුරුවන් වහන්සේ මෙතෙක්‌ මේ රටින් මැකී ගියා යෑයි සිතා සිටි පාරම්පරික රන් ආලේපන ක්‍රමවේදය පිළිබඳව ලියෑවුණු ලේඛනයක්‌ ඉදිරිපත් කර මේ රන් ආලේපනය ඒ පාරම්පරික තාක්‌ෂණය හරහා කිරීමට උපදෙස්‌ දුන්නාහ. වැළලී ගිය ශිල්ප ක්‍රම හා තාක්‌ෂණ මතුවෙමින් පැමිණියේ විශ්මය දනවන සුළු අයුරිණි.

දැන් මේ මහා දැනුම ක්‍රියාවට නංවා ඒ හා එක්‌ වූ ජනතා අපේක්‌ෂාවන් සඵල කරදීම සංරක්‌ෂකයන් අභිමුව වූ අභියෝගය විය. දත්ත සහිත වාර්තා සැකසීම, තත්ත්ව විශ්ලේෂණය, පවතින දත්ත තර්කානුකූලව විග්‍රහ කර ගැනීම, සැලසුම් සකස්‌ කිරීම මෙන්ම වඩාත්ම අසීරු කාර්යය වූ එම සැලසුම් මහානායක හිමිවරුන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කර අනුමත කරගැනීම ඔවුන් විසින් කළ යුතු වූයේය. විනාශ වූ කොටස්‌ වලට නවකම් කළයුතු විණි. විනාශ වූ සියලුම කැටයම් හා මූර්ති අලුතින් නිර්මාණය විය. සිතුවම් යළි ඇඳීමට උපදෙස්‌ ලැබුණද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කරුණු පැහැදිලි කිරීම මත බිඳී ගිය සිතුවම් තලයෙන් සූක්‌ෂම ලෙස සිතුවම් සහිත බදාම පතුරු තෝරාගෙන අලවා පැරණි සිතුවම් කොටස්‌ සංරක්‌ෂණය කිරීමට අනුමැතිය ලැබිණි.

මෙතෙක්‌ මෙබඳු කටයුතු වලදී තීරණ ගලා ගියේ උඩ සිට පහළටය. එහෙත් නව ප්‍රවේශයක්‌ නිර්මාණය කරමින් තීරණ පහළ සිට ඉහළට සම්ප්‍රේක්‌ෂණය වෙමින් තිබිණි. මේ යථාර්ථය මෙතෙක්‌ බටහිරින් කරපින්නාගෙන පැමිණි සංරක්‌ෂණ න්‍යායයන් මුළුමනින්ම නව අර්ථකථනයකට ලක්‌කළේය. මේ සංරක්‌ෂණ න්‍යාය ශාස්‌ත්‍රීය ලෝකයට නව ඥානයක්‌ ලබා දී තිබිණි. තවමත් ජීවමාන වූ විශිෂ්ට සංස්‌කෘතික උරුමයක්‌ එහි අද්විතීය සංස්‌කෘතික අනන්‍යතාව රක්‌ෂාකරගෙන පවත්වා ගැනීම සඳහා සංරක්‌ෂණ කළයුතු ආකාරය පිළිබඳ නව කියෑවීමක්‌ සහ චින්තන මානයක්‌ ලෝකයට එළිදැක තිබිණි.

අවසානයේ බෝම්බය පිපිරී යැමට මොහොතකට පෙර තිබූ දළදා මාලිගාව ජාතියට ලැබුණේය. සජීවී සංස්‌කෘතික උරුමයක්‌ බෝම්බ ගසා විනාශ කළ නොහැකිය යන පණිවුඩය සමගින් ඒ සංරක්‌ෂණ ක්‍රියාවලිය ලෝක ආදර්ශයක්‌ සේ සම්භාවනාවට පාත්‍ර වූයේය. අතුරුදන්ව තිබුණා යෑයි විශ්වාස කළ පාරම්පරික ඥාන ප්‍රභාවන් මතුවී දිදුලන්නට වූයේය.

එහෙත් අප මතුකරගත් සම්පත් කළමනාකරණය කර පවත්වා ගැනීමට නොහැකි තරම් අප දුප්පත් විය. ලංකාවේ හතර දිග්භාගයේ සොයාගොස්‌ මතුකරගත් ශිල්ප පරම්පරා යළිත් මේ සමාජය තුළම අතුරුදන්ව නොපෙනී ගියේය. රන් ආලේප කිරීම පිළිබඳ තාක්‌ෂණය යළිත් එම ලේඛනය තුළම සැඟවුණේය. අනතුරුව මේ මහා ශාස්‌ත්‍රීය ව්‍යායාමය හසුරුවනු ලැබූ ආචාර්ය ගාමිණි විඡේසූරියට මේ කටයුත්තෙන් අනතුරුව ගලා ආ ප්‍රශංසා ඇතුළු ඇගැයීම් නිසා අවසානයේ රැකියාවවත් කරගතහැකි නොවීමෙන් මේ රට හැරයන්නට සිදුවූයේය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: