Posted by: lrrp | September 15, 2012

ඉතිහාසය යක්‌කු කයිද – බලධාරි බබ්බු දොයිද

සැඳෑ හිරු අවරගිරෙන් බැස යමින් තිබිණි. සමන් හා ත්‍යාගරාජාත් මමත් යමින් සිටින්නේ මොට්‌ටයාගල පැරැණි පුදබිම වෙතය. අක්‌කරපත්තුව සිට සාගම පාරේ කි. මී. 10 ක්‌ පමණ ගොස්‌ අප නතර වෙද්දී පසෙකින් අපට දිස්‌වූයේ විශාල ගල් තලාවකි. දැන් මේ වෙලාවට අලි එනවා. ඒක හින්දා බයිසිකල්වලින්ම එතනට යමුයි සමන් පැවසීය. කුඹුරු හයකින් මෙම ගල්තලාවම වටවී ඇත. අක්‌කරපත්තුව සාගම පාරේ සිට මෙම තැනට මීටර් හාර පන්සියයක්‌ ඇත. දැන් අපගේ යතුරුපැදි ගමන් කරන්නේ වී වගාවට බිම සැකසූ කුඹුරු හා නියරවල් උඩින්ය. බයිසිකල් දෙකම ආපු පැත්තට හරවලා තියන්න. තව ටිකෙන් අලි මෙතනට එනවා. ඈතින් අලින්ගේ කුංචනාදයක්‌ ඇසුණු සමන් පැවසීය.

කෝ කොතැනද ඩෝසර් කරපු දාගැබ තියෙන්නේ යනුවෙන් මම ඔවුන්ගෙන් විමසද්දී වී වගාවට තැනූ ලියෑදිවල නියර උඩින් ඔවුන් මා කැටුව මදක්‌ ඉදිරියට යන ලදී. අඩි දෙක තුනක්‌ උසට සැදූ නියරවල තිබුණේ ඉපැරැණි විවිධාකාර හැඩවලින් යුක්‌ත ගඩොල්ය. මෙන්න මෙතන තමයි දාගැබ තිබුණේ සමන් පැවසීය. මාහට ඇස්‌ අදහාගත නොහැකිය. වසර සිය දහස්‌ ගාණක ඈත අතීතයේ බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ මුවින් නික්‌මුණු ධර්මය ශ්‍රවණය කරන එකල බොදු ජනතාව සාධු නාදයෙන් වන්දනා මාන කරන්නට ඇති දාගැබ් වහන්සේ හොරු අරගෙන ගොස්‌ ඇතිසේය. එය සිත්පිත් නැති මිනිසුන්ගේ ඩෝසර්වල තලයට හසුව ටිකෙන් ටික තල්ලු වී ගොස්‌ මුළුමනින්ම බිමටම සමතලා වී තිබිණි. ඒ දුටු අප දැඩි තිගැස්‌සීමට හා දැඩි වේදනාවකට පත්වුණි. මෙලෙස විනාශව ගොස්‌ ඇත්තේ හෙට දිනයේ පරපුරට දැකගන්නට තිබෙනා අපේ ඉතිහාසය නොවේදැයි අපට සිතුණි.

මෙන්න මෙතන තමයි දාගැබ තිබුණේ. මේ තියෙන්නේ බිම තිබ්බ ගඩොල් කැට ත්‍යාගරාජා අපට පැවසීය. එක්‌ පසෙක කඩා බිඳ දැමූ ගල් කරුවෙකි. දාගැබේ තිබූ විවිධ හැඩයේ ඉපැරැණි ගඩොල් තැන් තැන්හි විසිරී ඇත. මෙහි තිබුණු පස්‌ හා ගඩොල් යොදා නියරවල් සකසා වී වගාවට ලියෑදි 02 ක්‌ සකසා ඇත. දාගැබ්හි ධාතුන් තැන්පත් කර වසා දමා තිබුණායෑයි සිතිය හැකි ගඩොලින් සහ බදාමයෙන් සකස්‌ කළ පුවරුවක්‌ද දාගැබ තිබූ ස්‌ථානයේ සිට මීටර් 50 කට අධික දුරකට රැගෙන ගොස්‌ දමා තිබිණි. එම සෑරදුන් අසලින් ඉහළට එසවී තිබුණු තල්ගස්‌ දෙකද ඩෝසරයේ පහරින් ඉදිරී බිමට වැටී එකක්‌ නියරකට දමා ඇත. අනෙකද ඈතට ගොස්‌ දමා ඇත. තවත් කෙතරම් නම් ඉපැරැණි උරුමයන් මෙලෙස ඩෝසර් පාරට හසුව විනාශයට පත්වන්නට ඇත්ද? තවත් කෙතරම් නම් ප්‍රමාණයක්‌ මිනිසාගේ දෙනෙතින් වසන් කරලන්නට මෙම පස්‌ තලාවට ඔවුන් යටකරලන්නට ඇත්දැයි අපට ඒවා දකිද්දී සිතිනි.

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් වන අක්‌කරපත්තුව පදිංචි එච්. සමන් මහතා අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය. මම පසුගිය 31 වැනිදා පෝය දිනයේ මෙම මොට්‌ටයාගල දාගැබ අසලට පැමිණ ඡායාරූප ලබාගත්තා. නමුත් ඊට දින 03 කට පමණ පසුව මෙම ස්‌ථානයෙන් යනවිට මම දැක්‌කා මෙම ස්‌ථානයේ තිබ්බ තල්ගස්‌ නොමැති බව. මම බයිසිකලය නතර කර බලද්දී මට පෙනුණ මෙතන ඩෝසර් කරලා තිබෙන අයුරු. මමත් ත්‍යාගරාජාත් දෙදෙනා ඒ වෙලේ එතනට ගොස්‌ බලද්දී තමයි අහස පොළොව නුහුලන මෙම මහා විනාශය සිදුකර තිබෙන අයුරු දුටුවේ. පස්‌සේ 119 දුරකථන අංකයෙන් අම්පාර පුරාවිද්‍යා පොලිසියටත් දැනුම් දුන්නා. පස්‌සේ අක්‌කරපත්තු=ව පොලිසියෙන් හවස ගෙදරට ඇවිත් මාව මුණගැසී මාත් සමග මොට්‌ටයාගල මෙම ස්‌ථානයට පැමිණියද කළුවර වැටී තිබුණු නිසා එම ස්‌ථානය පරීක්‍ෂා කරන්න බැරිවුණා. මට පසුදා අක්‌කරපත්තුව පොලිසියට පැමිණ පැමිණිල්ලක්‌ දාන්න කීවා. මම පසුවදා ගිහින් පැමිණිල්ලක්‌ දාන්න හදද්දී ඊට පසුවදා ජනාධිපතිතුමා අක්‌කරපත්තුවට එන නිසා පොලිසියේ නිලධාරීන් විවිධ වැඩ නිසා මට පැමිණිල්ලක්‌ දාන්න බැරි වුණා.

අපේ මිනිසුන් දිගාමඩුල්ලේ නටඹුන් විනාශ වෙන්න දීලා අනුරාධපුර, පොළොන්නරුවේ අතීත උරුමයන් බලන්න යනවා. නමුත් දිගාමඩුළු පුරවරයේ තිබෙන මෙම උරුමයන් අපි රැකගන්න ක්‍රියා කළහොත් ඒවාට නොදෙවෙනි උරුමයන් අම්පාරේ තිබෙන බව ලෝකයට පෙන්වන්න පුළුවන්. මේවා ත්‍රස්‌තවාදී කලබල සමයේදීවත් විනාශ වුණේ නැහැ. යුද හමුදාව හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මේවා ඒ කාලෙත් රැකීමට කටයුතු කළා. මිනිසුන්ද කොටින්ට බයේ වනාන්තරවලට නොයැම නිසාද මේවා ආරක්‍ෂිත වුණා. මේවා අතීත බෞද්ධ උරුමයන්. සද්ධාතිස්‌ස රජ කාලේ මේවා අස්‌වැද්දුවේ ඒකාලේ සිංහලයෝ. නමුත් මේවා සිංහලයෝ කළා කියලා කිසිම අයිතියක්‌ මෙහේ දැන් ඉතිරි වෙලා නැහැ. අක්‌කරපත්තුවේ බොහෝ සිංහල අය පසුගිය කොටි කලබල සමයේ මෙහෙන් ගොස්‌ නැවත යුද්ධය නිමාවීමෙන් පසුයි පැමිණියේ.

දැන් අපි මෙහි සිටින සිංහල පවුල් 100 ක්‌ එකතුකොට අක්‌කරපත්තුව සිංහල සංවිධානය පිහිටුවා මෙහි සිංහල ජනතාවගේ ගැටලු වලට විසඳුම් සෙවීමට සමිතියේ සභාපති වන ධනපාල මහතාත් සමග කටයුතු කරමින් සිටිනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර අතීත උරුමයන් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ඉපැරැණි පුරාවස්‌තූන් වලට හානි කරන අයට දැඩි දඬුවම් දෙන ලෙසයි යනුවෙන් සමන් මහතා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් පැවසීය.

සිංහල, දෙමළ, මුස්‌ලිම් කවුරුන්ගේ වුවද ජාති භේද තුළ භේද නොමැතිව තමුන්ගේ සියලුම අතීත උරුමයන් රැකගත යුතුව ඇත. මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් අම්පාර මානව හිමිකම් සංවිධානයේ දිස්‌ත්‍රික්‌ අධ්‍යක්‍ෂ එන්. ත්‍යාගරාජා මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය.

මෙය මුස්‌ලිම් කෙනෙක්‌ කළ බවට තහවුරු වෙනවා. කාගේ වුවත් ආගමකට ගරුකළ යුතුයි. ඕනෑම ආගමක හෝ ජාතියක උරුමයන් රැකිය යුතුයි. නමුත් මේ වාගේ බෞද්ධ උරුමයන් විනාශවීම නවතාලිය යුතුය. නැගෙනහිර පළාතේ සිංහල දෙමළ උරුමය විනාශ වී යනවා. සිංහල දෙමළ ගම්බිම් විනාශ වී යනවා. මින් ඉදිරියටත් ජනාධිපතිතුමා හරහා මෙවැනි විනාශයන් සිදුවීම වැළැක්‌වීමට කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. මොට්‌ටයාගල පුදබිමට කර තිබෙන හානිය දකිද්දී ඉමහත් වේදනාවක්‌ ඇතිවෙනවා. අනාගත පරපුර වෙනුවෙන් අපි මේවා ආරක්‍ෂා කළයුතුව ඇතැයි එන්. ත්‍යාගරාජා මහතා අදහස්‌ දක්‌වමින් පැවසීය.

මෙම මොට්‌ටගල කල්ලු ඉපැරැණි පුදබිම ක්‍රිස්‌තු පූර්ව යුගයේ සිට පැවත එන බවට විවිධ වූ සාක්‍ෂි ඇත. ඇතැමුන් මෙයට මොට්‌ටියාකල්ලු, මොට්‌ටියාවල යන නම්වලින්ද හඳුන්වති. මෙහි අදට දක්‌නට ඇති මහඟු උරුමයන් අතීතයේ පැවැති ශ්‍රී විභූතියට කදිම සාක්‍ෂියකි. මෙහි එක්‌ පසෙක ගල් පර්වතයේ අර්ධ උන්නති රූපයකි. එකිනෙක පිරී ඉතිරී යන පොකුණු සංකීර්ණයකි. කටාරම් කෙටූ ලෙන් සහිත වටිනා සෙල්ලිපි හා විවිධ පුරාවිද්‍යා නටබුන් මෙම මොට්‌ටයාකුලම් පර්වතය පුරා විසිරී ගොස්‌ ඇති අතර ඒවායෙන් පෙනෙන්නේ එකල මෙහි තිබූ සමෘද්ධිමත් සශ්‍රීක වූ ජන ජීවිතය පිළිබඳ තොරතුරුය.

පුරාවිද්‍යා චක්‍රවර්තී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ මෙම ස්‌ථානය පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසූහ.

මෙම ඓතිහාසික වටිනා කමකින් යුක්‌ත පුදබිමේ මහානාග යුව රජුගේ සිට යඨාලතිස්‌ස, ගෝඨාභය, කාවන්තිස්‌ස යන රජවරුන්ගේ තොරතුරු සඳහන් සෙල්ලිපි රැසක්‌ තිබෙනවා.

මෙහි ආරම සංකීර්ණයක්‌ මෙන්ම එකිනෙක ජලය පිරි හෝ ජලය එකතු වන පොකුණු සංකීර්ණයක්‌ද තිබෙනවා. ඊට අමතරව විවිධ නටබුන් රැසක්‌ පවතිනවා. මේ වන විට මේවාට මේ දිනවල විවිධ තර්ජන එල්ලවෙමින් විනාශව ගොස්‌ ඇතැයිද පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

මේ වනවිටත් නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී තිබෙන මෙම පුදබිමේ ඇතැම් තැන්වල නිධන් හොරුන් විසින් නිධන් ගත් ස්‌ථාන මෙන් කඳු මුදුනේ ඇති ගරා වැටුණ ස්‌ථූපයේද නිධන් සෙවීමට හාරා තිබේ.

ක්‍රිස්‌තු පූර්ව යුගයේ සිට සශ්‍රීකත්වයට හා ජනාවාසයට පත්වූ බවට කදිම සාක්‍ෂියක්‌ වන මොට්‌ටයාකල්ලු සෙල්ලිපි හා නටඹුන් කදිම සාක්‍ෂියකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් පරණවිතාණ මහතාගේ IMSCRITTION OF CYLON PART II නම් ග්‍රන්ථයේ 487 වැනි සෙල්ලිපියෙහි මෙම දස භානිකයන් ගැන සඳහන් වෙති. එම සුවිශේෂි සෙල්ලිපිය මොට්‌ටයාකල්ලු පර්වතයේ පිහිටා ඇත.

දශභතික – රනCධ වක – ණය උපරCධ නාග උපරCධ නගහ මරුවකනකේ මහ පශදිග අභය රCධහ පුතෙ ගමිණි තිසහ විහරෙ අගත අනගත වේකු සගශ නියතෙ.

මොට්‌ටයාගාකල්ලු සෙල් ලිපියේ ක්‍රි. පූ. 3 හා 1 සියවස්‌ වලට අයත් යෑයි සිතන පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරවලින් යුතු මෙම ගිරි ලිපියෙහි මෙසේ කියෑවේ.

දසභානික පරම්පරාවට අයත් (කතරගම ක්‍ෂ්ත්‍රියන්ගේ පරම්පරාව විය හැකිය) උපතැර නාග නාග නම් රජ කෙනෙක්‌ ගමිනිතිස විහාරය කරවා පැමිණි නොපැමිණි පූජා කළ බව මෙයින් කියවේ.

මෙම දසභානියන් සම්බන්ධ ගිරි ලිපිය නිසා මෙම ස්‌ථානයේ ඓතිහාසික බව ක්‍රි. පූ. 3 වැනි සියවස හෙවත් මහින්දාගමනය සිදුවූ වකවානුව දක්‌වා ඈතට දිවයයි. දසභානිකයන් පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවලින් කියෑවුණ අතර එය පුරාවිද්‍යා මූලාශ්‍රයකින් සනාථ වන අවස්‌ථාවක්‌ ලෙස මෙම මොට්‌ටකල්ලු ගිරි ලිපිය සුවිශේෂී වේ.

මෙම දසභානිකයන් මහාවංශය ප්‍රමුඛ සාහිත්‍ය මූලාශවල සඳහන් කතරගම ක්‍ෂ්ත්‍රියන් හෙවත් දසබෑ රජවරුන් ලෙස හඳුනාගත හැකිය. මෙම දසභානික පරම්පරාව දේවානම් පියතිස්‌ස රජ සමය දක්‌වා දිවෙන බව සාහිත්‍ය මූලාශ වලින් කියෑවේ. ඒ අනුව බලන කල මෙම ස්‌ථානය ඉතාම සුවිශේෂි සෙල්ලිපි වලින් ග්‍රහණය.

මෙවන් වටිනා උරුමයන් සහිත ඉපැරැණි පුදබිමක්‌ වන මෙම මොට්‌ටයාකල්ලු පුද බිමේ පිහිටි ස්‌ථූපයට වූ හානියම මෙවන් සුවිශේෂී ඉතිහාසයත් සමගින් මෙතෙක්‌ විරාජමානව සිටින මෙම මහා කළු ගල් පර්වතය හෙට දිනයේ ඉතිහාසය වළදමන්නට උත්සහා දරන නරුමයෙක්‌ ගල්කොරියක්‌ දමා විනාශ කළද නිලධාරීන් නිහඬව සිටීමට ඉඩ තිබේ. දීඝවාපිය කොටිගල පුරාවිද්‍යා ස්‌මාරකයන් වන අතර එයද මේ වන විටත් ගල්කොරියක්‌ දමා විනාශ කර අවසන්ය. මඩකලපුව කුසලානගල ඇති ඉපැරැණි සෙල්ලිපි හා උරුමයන් සහිත ගල්කුළු රැසකට මේ වනවිට විවිධ හානි සිදුවෙමින් තිබේ. ඇතැමුන් මෙම පුරාවස්‌තු විනාශ කරන්නේ නීත්‍යානුකූල බලපත් රැගෙනය. එය එසේ කරන තෙක්‌ බලධාරීන්ද නිහඬය. මෙම මුස්‌ලිම් ප්‍රදේශවල සීගිරිය තිබුණා නම් එයටද ගල් මෝලක්‌ දමන්නට අවශ්‍ය අවසරපත් ලබාදීමට මෙම ප්‍රදේශවල සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරනු නොඅනුමානය.

දීඝවාපිය පුදබිම ආශ්‍රිතව තිබුණු ස්‌ථූප රැසක්‌ මේ අයුරින් ඩෝසර් පහරට නතුව නැතුව විනාශව ගොස්‌ ඇත. මේ අයුරින් නැගෙනහිර පුරාවස්‌තු සංහාරය දිගින් දිගටම සිදුවෙමින් තිබේ. ඇතැමුන් ගල් කණුවක්‌ දුටුවත් සැනෙකින් එයට කුළුගෙඩි පහරදී විනාශ කරන්නට තරම් සැහැසි වී තිබේ. එම නිසා මේවා රකින්නට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ ඇතිකර ආකල්පමය වෙනස්‌කමක්‌ ඇති කිරීමට කාලය පැමිණ ඇත. 6 ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය තෙක්‌ ඉතිහාසය විෂයක්‌ සමග පුරාවිද්‍යාවද විෂයන් වශයෙන් සිසුන්ට ඉගැන්වීම තුළින් මෙවැනි උරුමයන් රැකීමේ වටිනාකම මැනවින් බාල පරම්පරාවට අවබෝධ කිරීමට දැන්ම කටයුතු කළ යුතුව ඇතැයි පුරා විද්‍යා උරුමයට ලැදි අය පවසති. ජනාධිපතිතුමනි, නැගෙනහිර පුරාවිද්‍යා උරුමය අනතුරේ බවත් එසේ කරනා අයට දැඩි දඬුවම් දියයුතු බවත් අපි ඔබට අවධාරණය කරනු කැමැත්තෙමු.

විශේෂ ස්‌තුතිය – බුද්ධි නාගොඩවිතාන මහතාට

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: