Posted by: lrrp | September 17, 2012

පුරාවස්‌තු ආරක්‍ෂා කිරීම

 

හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ දිවංගත  මහාචාර්ය සෙනරත් පරණවිතානයන් එදා කළ සඳහනක්‌

(ආණ්‌ඩුවේ නොවන ඉඩම්වල පිහිටි පුරාවස්‌තු ආරක්‍ෂා කිරීම යන මැයෙන් ආණ්‌ඩුව විසින් මේ වර්ෂයේදී 1947 ප්‍රසිද්ධියට පමුණුවන ලද ලේඛනයකිනි.)

පුද්ගලයන් හෝ මණ්‌ඩල හෝ සතුව පවත්නා ලංකාවේ පෞරාණික ගොඩනැඟිලිවල සංඛ්‍යාව බොහෝය. එබඳු ගොඩනැඟිලි නඩත්තු කොට පරිපාලනය කිරීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කෙළින්ම වග නොකියයි. ගෘහ නිර්මාණ ලක්‍ෂණ විසින් සමහර ගොඩනැඟිලි ශ්‍රේෂ්ඨ ස්‌ථානයක්‌ ගනිති. ඇතැම් ගොඩනැඟිලි කලා ශිල්ප පක්‍ෂයෙන් උසස්‌ තැන් ගන්නා කැටයම් නිර්මාණවලින් හෝ චිත්‍ර කර්මාන්තවලින් හෝ යුක්‌ත වන අතර තවත් සමහර ගොඩනැඟිලි පුරාණ ඉතිහාසයට දෙස්‌ කියන්නා වූද රටේ භාෂාව විකසනය වූ සැටි වටහාගැනීම පිණිස අපට වෙසෙසින් ආධාර වන්නා වූද ශිලා ලිපි ආදියෙන් යුක්‌ත වෙති. මේ හේතුව නිසා මේ ගොඩනැඟිලිවලින් වැඩි ගණනක්‌ම වැදගත් වේ. තවද මේ ගොඩනැඟිලි ජාතියේ මවුපිය උරුමයක්‌ බඳු වන හෙයින් ඒවා ආරක්‍ෂා කිරීම ද ජාතික කාර්යයක්‌ම වෙයි.

පුරාණයෙහි විසූ අපේ මුතුන්මිත්තන්ගේ ශිෂ්ටාචාරය ද, සභ්‍යත්වය ද දුටුවන් වශයෙන් මේ මහාර්ඝනීය ස්‌මාරකයන් නොදී ඒවා අප අතින් කැඩී බිඳී යන්නට හෝ නොදී අපේ මුතුන් මිත්තන් විසින් ඒවා අපට උරුම කොට දායාද කොට තැබුවාක්‌ මෙන් තවමත් නූපන් පශ්චිම ජනතාව වෙනුවෙන් එය උරුම කොට දායාද කොට දීම වර්තමාන පරම්පරාවේ බලවත් යුතුකමකි.

ඇත්ත වශයෙන් කිවහොත් ජාතික වැදගත්කම අතින්වත් වඩා අනුත්තරීය වූ වැදගත්කමක්‌ ද ඇතැම් කරුණු අතින් ජාත්‍යන්තර වැදගත්කමක්‌ ද මේ ගොඩනැඟිලිවලට නිරායාසයෙන්ම හිමි වී තිබේ.

සභ්‍ය ලෝකයාගේ සැලකිල්ල

කලා ශිල්ප පක්‍ෂයෙන් ඇති කරගත් කිසියම් ගුණ සම්පත්තියක්‌ සමස්‌ත මානව පරම්පරාවේම අයිතියයි. නොකිය හැකි වන නමුදු මේ ස්‌මාරකයන් නිර්මාණය කළ සභ්‍යත්වය කිසියම් කලෙක ආසියා මහාද්වීපයේ වැඩි කොටසක ජනහිත ප්‍රකීර්ණ ව පැවැති බැව් සලකන්ට පිළිවන. තවද මේ සභ්‍යත්වය මේ දිවයිනෙන් බැහැර සිටින කෝටි සංඛ්‍යාත ජනයන්ගේ ආශ්වාදය ලබන ජීවය බලයක්‌ බවට හැරී අදත් පවතී. මේ සභ්‍යත්වයෙහි ඉතිහාසය මැනවින් අවබෝධ කොට ප්‍රගුණ කිරීම සඳහා ලංකාවේ පෞරාණික ගොඩනැඟිලි වෙසෙසින් වැදගත් වන හෙයින් සත්‍ය ලෝකයේ බොහෝ රටවල පඬුවන්ගේ ද ඉතිහාසකාරයන්ගේ ද ගෞරවාදර සැලකිල්ලට මෙකල පාත්‍රව තිබේ. එහෙයින් අප විසින් මේ ස්‌මාරකයන් කෙරෙහි සැලකිලි දක්‌වන ආකාරය මේ දිවයින් වාසී ජනාවාසී සම්බන්ධයෙන් අද දවසේ සභ්‍ය ලෝකයා ඇතිකර ගන්නා විනිශ්චයට බලවත් රුකුලක්‌ වෙයි. මේ ස්‌මාරකයන්ගේ චමත්කාරය සලකා දහස්‌ ගණන් වන්දනාකාරයෝ ද දේශ සංචාරකයෝ ද විදේශවල සිට මේ රටට ඇදී එති.

මෙකී හේතූන් පමණක්‌ නොව වෙන නොයෙක්‌ හේතූන් ද සලසා අනාගතයෙහි ඇතිවන පශ්චිම ජනතාව උදෙසා මේ ස්‌මාරකයන් ආරක්‍ෂා කළ යුතුවා පමණක්‌ නොව දැනට ඒ සම්බන්ධයෙන් පවත්වා ගෙනයන පරිපාලනය ද ඒ ශ්‍රේෂ්ඨතම ස්‌මාරකයන්ගේ ඉතිහාසය පුරාවෘත්ත කලාත්මක ආදී ලක්‍ෂණයන්ට කිසිසේත් හානි නොවන න්‍යායෙන් කරගෙන යා යුතුය. පුරාණ යුගයකට අයත් ස්‌මාරකයන් සම්බන්ධයෙන් මේ රටවැසි ජනතාව කෙරෙහි විශාල වගකීමක්‌ ද යුතුකමක්‌ ද නිතැකයෙන්ම ආරෝපණය වී තිබෙන නමුත් මෑත අතීතය වනතුරුම ඔවුන් විසින් එය තේරුම් ගන්නා ලදැයි කිවහැකි නොවේ. අතළොස්‌සක්‌ හැර සෙසු සියලුම ස්‌මාරකයෝම මේ රටවාසී බහුතර ජනකාය විසින් අදහනු ලබන්නා වූ ආගහ් හා සම්බන්ධ වී සිටින පූජාර්ම කටයුතු වූ සිද්ධස්‌ථාන වෙති. සැදැහැතියන්ගේ සිත් ඇදීයන තත්ත්වයට මේ ගොඩනැඟිලි පත්කරවා ගැනීම ආගම භක්‌තිය විසින් ප්‍රාර්ථනය කරනු ලැබීම නොවැළැක්‌විය හැකි සිද්ධියකි.

නිධන් හොරුන්ගේ  ම්ලේච්ඡ ක්‍රියා

උත්කෘෂ්ට පරමාර්ථයක්‌ පෙරදැරි කොටගත් සැදැහැතියෝ ආගමික පක්‍ෂයෙන් කෙසේ වුවද ඉතිහාස සංරක්‍ෂණය ද පුරාවිද්‍යාඥයා සහ කාරකයාගේ ද පක්‍ෂයෙන් විනාශදායක ප්‍රතිඵල ගැන්වෙන පරිදි පසුගිය කාලයෙහි පෞරාණික සිද්ධස්‌ථාන හා විහාරාරාම යුහුසුලුව ප්‍රතිසංස්‌කරණය කරන්නට වූහ. ප්‍රතිසංස්‌කරණවලදී ඇතැම් පෞරාණික ගොඩනැඟිලිවල අගේ කටයුතු ප්‍රකෘති නිර්මාණයන් ද ගෘහ නිර්මාණ සම්ප්‍රදාය අතින් වටිනා ඇතැම් සටහන් ද හඳුනාගත නොහැකි පරිදි සම්පූර්ණයෙන් වෙනස්‌ කරන ලද්දේය. වටිනා ගල් කැටයම් කර්මාන්ත නොසැලකිල්ලට භාජන කරන ලද්දේය. කාල ඝතුගුණාදියට භාජන වන්නට ඉඩ හැරීම නිසා ද ඇතැම් විට නවීකරණයන්ට භාජන කිරීම නිසා ද නැතහොත් සුදුහුණු ගෑම නිසා හෝ තීන්ත ගෑම නිසා ද ඒ කර්මාන්තවල මුල් ප්‍රකෘති ලක්‍ෂණ සහමුලින්ම නැතිකර දැමූ අවස්‌ථා ද වූහ. උසස්‌ කලාත්මක නිර්මාණයන් වශයෙන් ඒ කර්මාන්තවල අගය සම්පූර්ණයෙන් නැතිකර දමන ලද්දේ මේ න්‍යායෙනි. අලංකාර පුරාණ බිතුසිතුවම් වෙනුවට රැවටිලි වැනි වූ බොරු ඔපය ද වර්ණයට විශේෂ කොට ඇති නවීන සිතුවම් ද අඳවන ලදී. කිසි රක්‍ෂාවරණයක්‌ නැතිව ශිලාලිපිවලට ඉබේම ආරක්‍ෂා වීමට ඉඩ හැර තිබෙන අතර නිධන් හාරන්නවුන්ගේ උමතු ම්ලේච්ඡ ක්‍රියා නිසා ඇතැම් විට ඒවා කැඩී බිඳී සුනු විසුනු වී ගිය අවස්‌ථා ද නැත්තේ නොවේ. අලුත් ගොඩනැඟිලි ගැන යමක්‌ නොකියා හරි තරමට වඩා හොඳය. කාලාන්තරයක්‌ තිස්‌සේ ජනතාවගේ ගෞරවාදරයට වෙසෙසින් පාත්‍රව පැවැති පුරාණ ගොඩනැඟිලි මධ්‍යයෙහි මේ අලුත්වා අතන මෙතන විචාරයක්‌ නැතිව අටවන ලද්දහ.

ජනතාවගේ කලා ශිල්පය වූ උරුමය නැවත පුනරුත්ථාපනයට පත්කළ නොහෙන සේද ඒවා විනාශභාග්වී යන පරිදි නවීන කර්මාන්ත කළවුන් ගැන දෝෂ විවේචනය කිරීම ද දොස්‌ නැගීම ද මෙකල පහසු කාර්යයකි. එහෙත් තම තමන්ගේ හැඟීම් අනුව ඉතාම හොඳ යෑයි වැටහුණු දේ ඔවුන් විසින් කරන ලදී. ඉදින් ඔවුන් කෙරෙහි යම්කිසි දෝෂාරෝපණයක්‌ කළයුතු නම් පෞරාණික ගොඩනැඟිලි ප්‍රතිසංස්‌කරණය කිරීම යෑයි කියන පුරාවස්‌තු ඉඩම ගැන ද එයට අනුබල දෙමින් ඔවුන්ගේ ක්‍රියාවන්ට පැසසීම ගැන ද ඒ දෝෂාරෝපණය මුළු ජනතාව විසින්ම බෙදාගත යුතුය.

පැරණියන්තෙන් උරුම වූ දායාදය

තවද පුරාණ ගොඩනැඟිල්ලක්‌ නිසි ආකාර ප්‍රතිසංස්‌කරණය කිරීම වූ කලී කෘතහස්‌ථ දැනීමක්‌ ඇත්තකු විසින් කළයුතු කාර්යයක්‌ බැව් සිහියේ තබාගත යුතුව තිබේ. පුරාණ කර්මාන්තයක්‌ ප්‍රකෘතිමත් කරන ශිල්පියා ඒ කර්මාන්තයේ ඉතිහාසය ද එය නිමවීමට හේතුභූත වූ කලා ශිල්ප, ගෘහ නිර්මාණ සභ්‍යත්වය, යනාදිය පිළිබඳ සියුම් ඥනයත් ද ඇතියකු විය යුතුය. මේ කියන ගුණාංගවලින් සමන්විත ශිල්පියකු විය හැක්‌කේ මුළු ජීවිත කාලයක්‌ම ඒ වෙනුවෙන් මිඩංගු කළ කෙනකු විසිනි. එබඳු ප්‍රතිසංස්‌කරණ පුරාණ කර්මාන්තයන්ට හානි නොවන පරිදි සිදුකිරීම පිණිස නූතන කර්මාන්ත හා නවීන විද්‍යා විතාගනයෙන් ලත් උපකාර ද ඇතිව කළයුතු වෙයි. ඉකුත් වූ වර්ෂ දශක කිහිපය තුළ පෞරාණික කර්මාන්ත ප්‍රතිසංස්‌කරණය කළවුන්ට මේ කියන විශේෂ ඥනය තිබුණේ යෑයි කිව නොහැක.

කරුණු මෙසේ වන හෙයින් අන් සතුව තිබෙන ඓතිහාසික ස්‌මාරකයන්ට කොයි කවරෙකුගේ අතින් වුව කැඩී බිඳී හානි වන්නට හෝ ඒවායේ කලා ශිල්පමය වූ පවා විචිත්‍රාතිශයට හෝ හානිවන්නට ඉඩ නොදෙන අතරම ඒ ස්‌මාරක අරභයා ඒ ඒ පුද්ගලයන් විසින් හෝ සමිති සමාගම් මණ්‌ඩල විසින් හෝ පවත්වාගෙන යන හිමිකම්, අයිතිවාසිකම් ආදියක්‌ හෝ ඇත්නම් ඊට ද හානි වන්නට ඉඩ නොදී රැකගැනීම රජය සතු යුතුකමකි. මේ වූ කලී අවිවාදයෙන්ම පිළිගෙන තිබෙන ප්‍රතිපත්තියක්‌ වන බැවින් පැරැණියන්ගෙන් උරුමව තිබෙන අවශ්‍යයෙන් රැකගත යුතු වූ ජාතික දායාදය ඇති සෑම ශිෂ්ටාචාර රටවලම පුරාවස්‌තු ආරක්‍ෂා කිරීම අරභයා මෑත කාලයේ පනවා තිබෙන නීතිරීතිවලින් යටකී පහසුකම් ඇතිකර තිබේ.

පෞරාණික ගොඩනැඟිලි අරභයා රටේ ප්‍රවාරිත නීතිය සංගෘහිත වන පුරාවස්‌තු ආරක්‍ෂා කිරීමේ ආඥ පනත (1940 අංක 9) සකස්‌ කිරීමේදී මේ කියන ලද කරුණු ද වෙසෙසින් සැලකිල්ලට භාජන කරන ලදී. ආඥ පනතේ “ඒ” අක්‍ෂරය දරන පරිශිෂ්ට සංඥපනයෙහි විස්‌තර ලෙස දක්‌වා තිබෙන 18 වැන්නේ සිට 38 දක්‌වා ඇති වගන්තිවලින් පිටස්‌තර පුද්ගලයන් සතුව තිබෙන පෞරාණික ස්‌මාරක ආරක්‍ෂා කටයුතු පිළිවෙළ දක්‌වා තිබේ.

රක්‍ෂිත පුරා වස්‌තු

යම්කිසි පුරාණ ගොඩනැඟිල්ලක්‌ “ආරක්‍ෂක” වස්‌තුවක්‌ බවට පත්කිරීමට අදහස ඇතිවුවහොත් ඒ බැව් කල්තියා දැනුම් දීම කළ යුතු බැව් 19 වැනි වගන්තියෙන් ප්‍රකාශ කරයි. ස්‌මාරකය සම්බන්ධයෙන් සැලකිල්ල දක්‌වන වෙනයම් කිසි කෙනකුන්ට හෝ ඒ පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින්නට පිළිවන. ඒ ස්‌මාරකය ආරක්‍ෂා කළ යුතුද නැද්ද යන්න ගැන අවසාන තීරණයකට එළැඹීමට පෙර එකී විරුද්ධතා ගැන ආඛ්‍යතා විධායක මණ්‌ඩලය විසින් සැලකිලි දක්‌වනු ලැබේ. තවද තීරණය ක්‍රියාත්මක වීම පිණිස ආණ්‌ඩුකාරතුමාගේ සම්මතය ද ලැබිය යුතු වෙයි. කරුණු මෙසේ වන හෙයින් ඒ ඒ පිටස්‌තර පුද්ගලයන් සතුව තිබෙන ස්‌මාරක ආරක්‍ෂා කොට නඩත්තු කිරීම අරභයා නුවමනා ලෙස විධායක නිලධාරින් විසින් බාධක ඇතිකිරීම වැළැක්‌වීම පිණිස ඕනෑ තරම් පහසුකම් ඇතිකර තිබේ (මෙහි විධායක නිලධාරියා නම් පුරාවිද්‍යා කොමසාරිස්‌ මහතාය.) ස්‌මාරකයක්‌ ආරක්‍ෂා කිරීම හේතු කොටගෙන එහි හිමිකමට හානියක්‌ සිදු නොවේ. තවද ඒ කරණකොටගෙන ස්‌මාරකය නිසි ආකාර ආරක්‍ෂා කොට නඩත්තු කිරීම සම්බන්ධයෙන් අයිතිකාරයා කෙරෙහි පැවරී තිබෙන වගකීම ආණ්‌ඩුව සතු නොවන්නේය. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස්‌ මහතා සමඟ අයිතිකාරයා විසින් ඇතිකර ගත හැකි විධිවිධාන ගැන 20 වැනි වගන්තියෙහි විස්‌තර වන්නේය.

යම්කිසි ස්‌මාරකයක්‌ ආරක්‍ෂා කටයුතු වස්‌තුවක්‌ බවට පත්කර තිබීම හේතුකොටගෙන අයිතිකාරයාගේ ක්‍රියාකාරිත්වය තරමක්‌ දුරට සීමාවන්නේ පුරාණ ගොඩනැඟිල්ලක්‌ ප්‍රකෘතිමත් කොට අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙනි. පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් බාධක ඇති කිරීමේ අවශ්‍යතාව මෙහි ඉහළ සඳහන් විස්‌තරයෙහි දක්‌වන ලදී. පුරාණ ගොඩනැඟිලිවල හිමිකාරයන් වීමේ භාග්‍යය ලත් පුද්ගලයන් සහ ඒ මණ්‌ඩල කෙරෙහි ද එකාකාර වගකීම් ඇත්තාහ. තමන් සතුව තිබෙන ඒ ස්‌මාරක ආරක්‍ෂා කොට පරිපාලනය කිරීම ඔවුන් කෙරෙහි පැවරී තිබෙන අතිපරිශුද්ධ කාර්යයක්‌ වශයෙන් සැලකිය යුතුව තිබේ. ඔවුන් සතුව තිබෙන පෞරාණික ගොඩනැඟිලි ප්‍රතිසංස්‌කරණය කිරීම හා සම්බන්ධකම් ඇති ඇතැම් කරුණු අරභයා රජය විසින් මැදහත්වීමට හැකිවන සේ නීතිය විසින් පහසුකම් සලසන ලද්දේ ඔවුන් කෙරෙහි පැවරී ඇති වගකීම සැහැල්ලු කිරීම සඳහාය. රජය විසින් ලබාදීමට සතුටුවන මේ ආධාරය නිසි අන්දමට සිතන කියන සියලු පුද්ගලයන් විසින් හෝ ඒ ඒ ආයතන විසින් හෝ අගේකොට සැලකිය යුතුය. තවද පුරාණයෙහි සිට පැවැත එන මේ අගනා වස්‌තූන් රැකගැනීම පිණිස නිලධාරීන් දරන උත්සාහයෙහිදී ඔවුන් හා අනවරතයෙන් සහයෝගි විය යුතුය. වරක්‌ පලුදු වූ පුරාවස්‌තුවක්‌ නැවත ප්‍රකෘති තත්ත්වයට කොයි අන්දමින් වුවද නගාලිය නොහැකිය.

ඇමැතිවරයාට කීමේ බලය

මේ හේතුව නිසා භාජය වූ ආරක්‍ෂාවට පුරාණ ස්‌මාරකයන් ප්‍රතිසංස්‌කරණය හෝ අලුත්වැඩියා හෝ කළයුතු වන්නේ 47 වැනි වගන්තිය යටතේ (බී අක්‍ෂරය දරන පරිශිෂ්ටය) අණපනත් පිළිබඳ 111 වැනි කොටසේ 34 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද අවසර අනුවය. 21 වැනි වගන්තිය යටතේ අවසර පත්‍රයක්‌ ලබාදීමට පුරාවිද්‍යා කොමසාරිස්‌ මහතා කැමති නොවන්නේ නම් “ආරක්‍ෂාවට” භාජන වූ පුරාණ ගොඩනැඟිල්ලක අයිතිකරුවකුට 22 වැනි වගන්තිය යටතේ අධ්‍යාපන ඇමැතිවරයා වෙත ආයාචනය කර සිටින්නට බලය තිබේ. “ආරක්‍ෂාවට” භාජනය වී තිබෙන පොදු රාජ්‍ය ගොඩනැඟිල්ලක්‌ එයට සියලුම පිදුම් කරන ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ උපහාරයට උචිත වන පරිදි ප්‍රතිසංස්‌කරණය කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට හෝ ඉඩ නැතිවන සේ අවහිර ඇටවීම කිසිසේත් ආණ්‌ඩුවේ අදහස නොවන බැව් මෙහිලා සඳහන් කළ යුතුව තිබේ. අනිත් අතට ආණ්‌ඩුවේ අදහස වනුගේ ඊනියා ප්‍රතිසංස්‌කරණ නියම මාර්ග ඔස්‌සේ මඟපෙන්වාදීමක්‌ ඇතිව පවත්වාගෙන යායුතු බව සහ යම්කිසි පෞරාණික ගොඩනැඟිල්ලක්‌ දැන් ප්‍රතිසංස්‌කරණය කිරීමේදී එහි කලා ශිල්පමය වූද, ඓතිහාසික පුරාවිද්‍යාමය වූ හෝ දැකුම් කටයුතු වූ හෝ ලක්‍ෂණයන්ට හානි නොවන නියායෙන් කරගෙන යැමට ධෛර්යය දීමය. 47 වැනි වගන්තිය යටතේ සංගෘහිත අණපනත්වල 111 වැනි කොටස පිළියෙල කරන ලද්දේ මේ පරමාර්ථය පෙරදැරි කරගෙනය. පළමුකොටම පුරාණ ගොඩනැඟිල්ලක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීම අරභයා පිළියෙල කරනු ලබන ප්ලෑන් සහ සටහන් ආදිය ඒ ප්‍රතිසංස්‌කරණය කරන්නට යන ගොඩනැඟිල්ලේ ස්‌වභාව ද ගෘහ නිර්මාණ සම්ප්‍රදාය ද එහි කැටයම් ආදී සැරසිලි ද ඒ හා සම්බන්ධ වන ආගමික අදහස්‌ සහ වෙන නොයෙක්‌ කරුණු ද සැලකිල්ලට භාජන කිරීමෙන් පසු පිළියෙල කළ යුතුය. පුරාවිද්‍යා කොමසාරිස්‌ මහතා විසින් ප්ලෑන් අනුමත නොකරන ලද මෙම “රක්‍ෂිත” ගොඩනැඟිල්ලක්‌ නීත්‍යනුකූලව ප්‍රතිසංස්‌කරණය කළ නොහැකි යෑයි දක්‌වා තිබේ.

1947 සැප්තැම්බර් 7 වැනිදා “සිළුමිණ” පත්‍රයේ පළ වූ මෙම ලිපිය පිටපත් කර අප වෙත යොමු කළේ කල්‍යාණි පී. නිශ්ශංක

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: