Posted by: lrrp | September 19, 2012

බුදුන් වහන්සේගේ චීවර ධාතුව කැලණියේ දාගැබක

බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පසුගිය අඟහරුවාදා කැලණි රජමහා විහාරයට වැඩම කරවීම සමහරුන් සලකුණ ලබන්නේ උන්වහන්සේ තෙවැනි වරටත් කැලණියට වැඩම කිරීමක් ලෙසය. මීට පෙර 1978 දී කැලණි රජමහා විහාරයට කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වැඩම කළහ.

බුදුන් වහන්සේ ජීවමානව කැලණියට වැඩියේ බුද්ධත්වයෙන් අටවැනි වසර වෙසක් පුන්පොහෝදිනකය. මහා රහතුන් වහන්සේලා පන්සිය නමක් සමග අහසින් වඩින සර්වඥයන් වහන්සේ දුටු දේවතාවන් උන්වහන්සේ මෙසේ කවර නම් දෙව් ලොවකට වඩනේදැයි, අපගේ ලොවට වඩන්නේදැයි සැක උපදවා ගත්තද උන් වහන්සේ දේව සමූහයාද පිරිවරාගෙන කැලණියට වැඩි බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ කැලණි නදියෙන් දිය ස්නානය කළහ. එවකට කැලණි ගඟ ඉතා පටුය. සැඩපරුෂ නොවූ ගංගාවේ පතුලේ බුදුන් වහන්සේ ශ්‍රී පාද ලාංඡනයක්ද තබන ලද්දේ මණිඅක්ඛික නා රජුගේ ඉල්ලීම මතය. උන් වහන්සේ කැලණි ගඟට බැස ස්නානය කරන විට චීවරය ගළවා තබන ලද්දේ ගඟ අසබඩ ඇති කළුගලක් මතය. අදටත් එම ‘‘චීවර ගල” කැලණි රජමහා විහාරභූමියේ සංරක්ෂණය කොට තිබෙනු දක්නට ලැබේ.

කැලණි ගෙඟ් ස්නානය කිරීමෙන් අනතුරුව ගම්වාසීන් බුදුන් වහන්සේට මනිපිට්ටු හා කිරිහොදි ඇතුළු ආහාර මුල්කොටගත් දානය පිරිනැමූ බවද ජනප‍්‍රවාදයේ එයි. මණිඅක්ඛික නා රජුගේ අතින්ම පිළියෙළ වූ ආහාර බුදුන්වහන්සේ ඇතුළු මහ සඟරුවනට පිරිනැමීමෙන් අනතුරුව බුදුන් වහන්සේ ස්වල්ප මොහොතක් සැතපී සිටියහ. පසුව නා රජුගේ ඉල්ලීම මත දහම් දෙසුම සඳහා ආරාධනා කළේය. බුදුන් වහන්සේ මැණික් මණ්ඩපයේත්, මහා සඟරුවන ඒ අවට පනවා තිබූ අසුන්හිත් වැඩ උන්හ. එහිදී රජු ඇතුළු පිරිසට නිර්වාණ ධර්මය නොහොත් නිර්වාණ සංඛ්‍යාත අමා ඵල සහිත දහම දෙසූ බවද ශාසන ඉතිහාසයේ කියැවේ.

බුදුන්වහන්සේ මහ රහතන් වහන්සේලා සමග වැඩහිඳ දහම් දෙසූ තැන උන්වහන්සේ වැඩසිටි මැණික් පුටුව නිධන් කොට මණිඅක්ඛික නා රජු විසින් කැලණි චෛත්‍යය ඉදිකළේය. තරමක් කුඩාවට ඉදිකළ කැලණි චෛත්‍යය පසුව ක‍්‍රිස්තුපූර්ව තුන්වැනි සියවසේ දී යඨාලතිස්ස රජු විසින් සැටරියන් උසට ඉදිකරන ලදී. එහි වට ප‍්‍රමාණය අඩි එකසිය අසූවකි.

බුදුන් වහන්සේ කැලණියට වැඩම කර ගෙඟ් ජලස්නානය කළ අවස්ථාවේ හැඳසිටි සිවුර, තැන්පත්කර මණිඅක්ඛික රජතුමා විසින් තවත් දාගැබක් ඉදිකළේය. එය ‘‘සිවුරුදාගැබයි’’ මෙය මංගල මහා ස්තූපය ලෙසද හැඳින්වේ. මෙම චෛත්‍ය පුළුල් කොට ක‍්‍රි.ව 301 සිට 328 දක්වා අනුරාධපුරය රජ කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු විසින් කරවන ලද නිසා අද එය හඳුන්වන ලබන්නේ ‘‘කිත්සිරි මෙවන් විහාරය’’ යනුවෙනි.

කිත්සිරිමෙවන් විහාරයේ එදාසිටම පැවැති චෛත්‍යය කුමන දෙයක් නිධන්ගත කොට තනන ලද්දක්දැයි හඳුනාගත නොහැකි ව තිබුණද දැනට වසර කිහිපයකට පෙර කැලණියේ විභීෂණ දේවාලයේ තිබී හමුවූ දහවැනි සියවසට අයත් ටැම්ලිපිය අනුව බුදුන් වහන්සේගේ කැලණි ගමනත්, සිවුරු දාගැබත් මිථ්‍යාවක් නොවන බවට සනාථ වී තිබේ.

එම සෙල්ලිපියේ ‘‘උදකස්දා’’ යනුවෙන් තිබූ වැකිය කියවූ මහාචාර්ය සෙනරත් පරණවිතාන

ශූරීන් එහි අර්ථය වශයෙන් දක්වා ඇත්තේ ‘‘දියනෑම සඳහා භාවිත කළ චීවර ධාතුව’’ යනුවෙනි. එහි මෙසේද සඳහන් වේ.

‘‘වදාළ හෙයින් කැලණි රජමහා වෙහෙ උදකස්දා නින්දා මඟුල් දා ගැබිහි බද මුල් ගුණ සමමෙ වෙහෙර් සෙනෙවිරද් පදිය වසමට දෙනුකොට ඉසා’’එහි අර්ථය වන්නේ

රජතුමා නියම කළ බැවින් කැලණි රජමහා විහාරයෙහි ජල සාටිකා ධාතුව (දියනෑමට භාවිත කළ සිවුර) නිධන් කල මංගල මහාස්තූපයෙහි පහන් පූජාව පැවැත්වීම පිණිස රුවන්වැලි සෑයට අයත්ව මුලසිට පැවැති ප‍්‍රදේශය මෙම විහාරයෙහි සෙනෙවිරත් පදවියේ ප‍්‍රදේශ පාලනයට දෙනු පිණිස’’ යන්නයි.

එගොඩ කැලණිය හා මොගොඩ කැලණිය වශයෙන් කැලණි විහාරය හා කිත්සිරිමෙවන් විහාරය කැලණි ගංගාවෙන් වෙන්ව තිබුනද අදවනවිට ගඟ මතින් ඉදිවූ ගුවන් පාලමකින් එම ස්ථාන යාකොට තිබේ. එහෙත් පුරාණ කාලයේ මේ ස්ථාන දෙකම එකම ස්ථානයක පිහිටා තිබූ බවත් ගඟ ඉතා සිහින්ව පසෙකින් ගලා ගිය බවත් කියැවේ.

කිත්සිරිමෙවන් විහාරයේ ඇති නුවර යුගයේ එක් චිත‍්‍රයකින් පෙනෙන්නේ එකල ගංඟාවේ තිබූ ‘‘පටු’’ කමයි. විහාරස්ථානය අසලින් ගලායන පටු ඇළ මාර්ගයක් ලෙස එම චිත‍්‍ර වලින් කැලණි ගංඟාවේ එදා තත්ත්වය පෙන්නුම් කරවයි.

කිත්සිරිමෙවන් විහාරයේ විහාරාධිකාරී කුණන උපනන්ද හිමියන් ප‍්‍රකාශ කළේ එහි ඇති චෛත්‍යයේ චීවර ධාතුවට අමතරව ජීවමාන බුදුරජාණන් වහන්සේගේ නිය ධාතු, කේෂ ධාතු ද නිධන් කර ඇති බවයි. බුදුන් වහන්සේ කැලණි ගංඟාවේ දිය ස්නානය කළ ස්ථානයේ පිහිටවනු ලැබූ බව කියන ශ්‍රී පාද ලාංඡනය අනුස්මරණය කිරීම සඳහා පසුකාලීනව මෙම විහාරයේ දායකයින් විසින් අනුස්මරණ ශ්‍රී පතුලක් කළු ගලක නිර්මාණය කොට වන්දනාමාන කරන බවත්,බොහෝ දෙනා අදත් විහාරස්ථානයට පැමිණ එම ශ්‍රී පාද ලාංඡනය වෙත නොයෙකුත් බාරහාර වී පුද පූජා පවත්වන බවත් උන් වහන්සේ කීහ.

මේ ගල අද්දවා කැලණි රජමහා විහාරයේ ඉදිරිපස මළුවේ තබා තිබුණද අදවනවිට එය බොහෝ දෙනාගේ ඇස නොගැටෙන විභීෂණ දේවාලයේ පිටුපස භූමියේ තැන්පත් කර තිබෙනු දක්නට ලැබේ. කෙසේ වෙතත් කැලණිය යනු ලක්දිව පැරණිතම නගරයකි. විභීෂණ කැලණිය තම රාජධානිය වශයෙන් තෝරාගෙන ලක්දිව පාලනය කළේ බුද්ධ කාලයටත් පෙරය. ඉන් අනතුරුව කැලණියේ පාලකයා වන්නේ මණිඅක්ඛික නා රජුය. බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුවූ නාගදීපයේ චුල්ලෝදර මහෝදර සටනේදී බුදුන් වහන්සේගේ දහම් අසා පැහැදීමෙන් පසුව මණිඅක්ඛික නා රජු කැලණියට වැඩම කරන ලෙස කළ ආරාධනයෙන් පසුව බුදුන් වහන්සේ කැලණියට වැඩම කළහ.

කාලිංග මාඝගෙන් ආරම්භ වූ විදෙස් ආක‍්‍රමණත්, පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසින්ගෙන් කැලණි විහාරය විවිධ ආක‍්‍රමණවලට ලක්විය. සතුරුසේනා දහස් ගණන් පැමිණ කැලණි විහාරය විනාශ කිරීමට නොහැකි වී අදත් විරාජමානව බැබලෙන්නේ බුදුන් වහන්සේගේ මහා අනුහස් අදටත් පවතින නිසාය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: