Posted by: lrrp | September 22, 2012

කරේ ලගින පුරාවස්‌තු හොරු සීගිරි ගලත් නොඉස්‌සුවොත් මරු!

 

රජ රටට හෙණ නොගසා නම් එයම අරුමයක්‌ යෑයි හඟිමු. මහා පරාක්‍රම සමුද්‍රය නොසිඳී නොවියළී නොතිබෙන්නට තරම් වූ තවත් සාධාරණ හේතුවක්‌ වෙත්දැයි නොදනිsමු. මෙහෙව් රටට කුමන වැසි සලකුණක්‌ වත් පහළ නොවීම තවදුරටත් විස්‌සෝපයට කරුණක්‌ නොවන අයුරු දකිමු.

නිවසට පැන ගෙහිමියාගේ දෙනෙත් මානයේ දී සුතනඹුවට අවකෙළි කළා සේය. පුරාවිද්‍යා කාර්යාලය ඉදිරිපිට, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලයට නුදුරින් පුරාවස්‌තු සංහාරකයෝ පුරාවස්‌තු වනසති. අප මොන ආකාරයේ පණ්‌ඩකයින් පිරිසක්‌ සහිත ජාතියක්‌දැයි අපම වටහාගත යුතුය. අතීතය වන්දනා කරමින්, අතීතය තොරොම්බල් කරමින්, සුද්දනට අතීතයේ නටබුන් පෙන්නා එදා වේල හොයාගන්නා අපට, ඒ අතීතයේ සැප පිළිබඳ සංකල්ප වික විකා මහ රජවරුන් පහළකරගන්නා අපට අතීත මධ්‍යකාලීන රාජධානයේ නටබුන් පැතිරී ඇති අක්‌කර කීපය රක්‌ෂා කරගතහැකි පෞරුෂයක්‌ හෝ විනයක්‌ නොවේ. ඒ නටබුනුත් හාරා පුරාවස්‌තු සංහාරකයෝ එළිපිටම පුරාවස්‌තු කොල්ල කති. නාවර පෙරාගෙන මුත් ඇඟ විකුණාගෙන කන වීදි ගණිකාවකගේ තත්ත්වය මීට වඩා ගෞරවාන්විතය. හිරු රැස්‌හි අවසන් මලානික පොද වන දහන අතරින් ගලාවිත් මිය යමින් ඇති අතීත ප්‍රීතිදාන මණඩපයේ වේදනාත්මක නටබුන් මත තැවරෙනු ආයාසයෙන් බලාගෙන හිඳිමු.

ප්‍රීතිදාන මණඩපයේ අතීත වත

අතීත රජවරු ස්‌වකීය මහේශාක්‍ය රාජ සම්ප්‍රදායක්‌ සේ සලකා මහා සංඝයා විෂයෙහි මහ දන් පෙළහර පැවැත්වූහ. පොලොන්නරු යුගය වනවිට බ්‍රාහ්මණයන්ට විශේෂ දාන ශාලා නිර්මාණය කළහ. පළමුවන විජයබාහු කල කන්තලේ චතුර්වේද මංගලම් නම් බ්‍රාහ්මණ ගමක්‌ විය. නිශ්ශංක මල්ල රජ දවස මේ ගම චතුර්වේද බ්‍රහ්මපුර නමින් හ`දුන්වා එහි පාර්වතී ශස්‌ත්‍රය නම් දාන ශාලාවක්‌ පිහිටවනු ලැබිණි. එමෙන්ම දුගී මගී යාචකාදීන් ආහාර පානාදියෙන් සන්තර්පණය කොට එය දැක අප්‍රමාණ චිත්ත ප්‍රසාද උපදවා ගත්හ. අතීත රාජ්‍ය පාලන විධියේ මානුෂීය ස්‌වරූපයත්, ශික්‌ෂිත සංස්‌කෘතියක පැවතිය යුතු ප්‍රායෝගික සමාජ සුබසාධනයන්හි විශිෂ්ටත්වයත් ප්‍රකට කළ වැදගත් ප්‍රකාශනයක්‌ මේ දානමය ක්‍රියාවලිය හා බැ`දී පැවතිනි.

පොළොන්නරුව රාජධානිය උත්කර්ෂයට නැන්වූ මහා පැරකුම්බාවෝ මහ දන් පැවැත්වූහයි මහා වංශය දක්‌වයි. ඔහුගෙන් අනතුරුව මේ අතීත රාජධානිය රංජනය කළ නිශ්ශංක මල්ල සිය දානමය කටයුතු වල පැවති විපුලත්වය සෙල් ලිපි ගණනාවක සඳහන් කළහ. ඔහු දාන ශාලා හ`දුන්වා තිබුණේ දාන ක්‌ෂේත්‍ර නමිනි. මේ දාන ශාලා පවත්වාගෙන යන්නට හේතුව රටේ දිළි`දු බය තුරන් කිරීමය. ඔහුගේ මේ දාන ක්‍රියාවලියේ ස්‌වරූපය වටදාගේ සෙල් ලිපිය, ගල්පොත සෙල් ලිපිය, අනුරාධපුර පුවරු ලිපිය, ආදියේ සඳහන් විනි. රට පුරා වූ මෙම දාන ශාලා වලින් නිරන්තරයෙන් යාචකාදීන් දන් ලබාගත් ආකාරය අනුරාධපුර පුවරු ලිපිය දක්‌වයි.

වටදාගේ සෙල් ලිපියට අනුව නිශ්ශංක මල්ලයෝ මේ රටේ මෙන්ම විදේශයන්හිත් දාන ශාලා පවත්වාගෙන ගියහ. එතුමෝ විදේශයන් වූ ශ්‍රී පුරය ශ්‍රී වාස පුරය, නිශ්ශංක පුරය, කාලිංග විජය පුරය, මහපුටුපය, ගෝනය, කාලිංගය, රාමේශ්වරම, යන තැන්වල මේ දානශාලා පවත්වා දූගීන්ට දන් දුන් බව දැක්‌වූහ. පොළොන්නරුවේ පිහිටවූ දාන ශාලා අතර ත්‍රිභූවන ශස්‌ත්‍ර, නිශ්ශංක ශස්‌ත්‍ර, බෞද්ධ ශස්‌ත්‍ර, බහුජන ශස්‌ත්‍ර, වැනි දාන ශාලා විය. එම දාන ශාලා විධිමත්ව නඩත්තු කිරීම සඳහා උද්‍යාන හා ගම්වර පරිත්‍යාග කිරීමේ සැලසුමක්‌ ද ඔහු සතුව තිබිණි. ශස්‌ත්‍රොද්‍යානය එවැනි එක්‌ උද්‍යානයකි. වර්ථමානයේ පරාක්‍රම සමුද්‍රය සීමාකොට නැගෙනහිරට විහිදෙන පෙදෙස මෙම ශස්‌ත්‍රොaද්‍යානය වී යෑයි සලකනු ලැබිණි. විදේශයේ පිහිටුවා තිබූ රාමේශ්වම දාන ශාලාවේ නඩත්තුව සඳහා හේ ප`ඩි රජුට ගම්වරයක්‌ දී තිබූ ආකාරය කියෑවිනි.

මේ ආකාරයෙන් රට තුළ පවත්වන දන් පෙළහර දැක චිත්ත ප්‍රසාදය උපදවා ගැනීම පරමාර්ථකොට දාන ශාලා අසල රජතුමා වෙනුවෙන් මණ්‌ඩපයක්‌ පිහිටුවා තිබිණි. මෙම මණ්‌ඩප ගල්පොත සෙල් ලිපියේ හ`දුන්වා ඇත්තේ නිශ්ශංක දාන විනෝදන මණ්‌ඩප නමිනි. ප්‍රීති දාන මණ්‌ඩපය මේ ආකාරයෙන් දන් ලබනඋන් බලා රජතුමාට සතුටුවීම සඳහා දාන ශාලාවක්‌ අසල නිර්මාණය කළ දාන විනෝද මණ්‌ඩපයක්‌ වූයේය. එම බිමේ උස්‌ ගල් තලාවක්‌ මත කිසිම ආවරණයකින් තොරව පරිසරයට නිරාවරණය වීම නිසා මේ වනවිට ඛාදනයට ලක්‌වෙමින් ඇති වටිනා ගිරි ලිපියක්‌ වේ. එම ලිපියේ මේ දාන විනෝද මණ්‌ඩපය හ`දුන්වා ඇත්තේ ප්‍රීති දාන මණ්‌ඩපය ලෙසය. නිශ්ශංක මල්ල වැනි අතීත රජවරු මහ දන් පැවැත්වූ ආකාරයේ උත්කර්ෂය එම ප්‍රීති දාන මණ්‌ඩප සෙල් ලිපියේ දැක්‌වේ.

“දාන ශාලා සියලු වස්‌තූනගෙන් අනූණ කප්රුකක්‌ සේ සරසා ස්‌වදේශ පරදේශ යාචකාදීන්ට පිsළිගන්වා තමාද නොයෙක්‌ භෝජන පාන වර්ග පූප ජාති අනුභව කොට රන් කෙණ්‌ඩියෙන් රිදී කෙණ්‌ඩියෙන් මුව සෝදා සුවඳ කල්කයෙන් අත් මැ`ඩ පස්‌ පලවතින් හුත් බුලත් කා සුවඳ විලවුන්ගෙන් සම් පැහැ ගන්වා පරිවාර ජනයාගේ ආවතේව වි`දිමින් අනගි සයනයෙහි සැතපී මහත් වූ ප්‍රීතින් සාධු යනාදීන් නේක ප්‍රීති ඝෝෂා අස අසා දාන ප්‍රීති සුබ අනුභව කරමින් සිටිබව මේ ගිරි ලිපියේ සරල සිංහල පෙළය. මෙසේ උන් මණ්‌ඩපය එම ලිපියට අනුව ප්‍රීති දාන මණ්‌ඩපයයි.”

මේ මණ්‌ඩපයේදීම රජු සියලු දානයන්ට උතුම් වූ ධර්ම දානය දුන්හ. මහා අපරාධ කළවුන් වුවද මේ මණ්‌ඩපයට වන් කළ අභය ලදහ. ඔවුහු දානය එබ`දු පුළුල් වූ සමාජ පරමාර්ථ සහිතව පවත්වා ගත්හ. ලෝකයේ වෙනත් රටක මේ රාජ්‍ය පරිපාලන විෂයෙහි මෙවන් ශික්‌ෂිත මානුෂීය ස්‌වරූප සමකාලීනව දැක ගත හැකිනම් ඒ අතිශයින් විරලවය. පුරාවිද්‍යාවේ මහත්වරුන්ගේ දෑස්‌ අභියස පුරා වස්‌තු සංහාරකයින්ගෙන් වැනසී, ස්‌ත්‍රී ධූර්ත, සුරා ධූර්ත සල්ලාලයන් අතින් කෙලෙසී ජාතියට අහිමි වී යමින් ඇත්තේ ඒ අතීත සංස්‌කෘතික ප්‍රකාශනයේ ජීවමාන සාධකය.

උරුමයට වෙච්චි දේ

පොලොන්නරුව වාර්ෂිකව සංචාරකයින් සඳහා ටිකට්‌ අලෙවි කිරීමෙන් පමණක්‌ රුපියල් කෝටි පනහකට ආසන්න ආදායමක්‌ උපයන තැනකි. පසුගිය වසරේ පොලොන්නරුවට පැමිණි එක්‌ලක්‌ෂ තිස්‌ හතරදාස්‌ තුන්සිය පනස්‌ අටක්‌ වන විදේaශිකයින්ගෙන් පොළොන්නරුව මධ්‍යම සංස්‌කෘතික අරමුදල ලද ආදායම රුපියල් හතලිස්‌ එක්‌කෝටි අනූ අට ලක්‌ෂ හැටඅටදාස්‌ හත්සිය පනහක්‌ වූයේය. පසුගිය අගෝස්‌තු මස පමණක්‌ ලැබුණු ආදායම රුපියල් කෝටි තුන ඉක්‌මවා තිබිණි. මේ මුදල උපදින්නේ සංස්‌කෘතිය හොබවන සල්ලාල දේශපාලකයින්ටත් පිටකො`දු රහිතව ඔවුන් වෙනුවෙන් පිම්පි වැඩේ කරනා දීන නිලධාරීන්ටත් තම තමුන්ගේ කම් සැප තෘප්ත කරගනු පිණිස නොවේ. ටිකට්‌ කවුන්ටර වල මුදල් එකතු වන්නේ ඔවුන්ගේ බ්ලැක්‌ ලේබල් විස්‌කි සඳහා වියදම් කරන්නට නොවේ. කපරාරු කිරීමට හා ටයිල් ඇල්ලීම ප්‍රමුඛ ප්‍රතිසංස්‌කරණය කටයුතු සඳහා පමණක්‌ ලක්‌ෂ හැත්තෑ දෙකකට ආසන්න මුදලක්‌ විදයම් කොට පුජාභූමිය තුළ මැවෙනා සංචාරක නිවාඩු නිකේතනයන්හි වියදම් පියවා ගන්නට හෝ බයිට්‌ වෙනුවෙන් වල් ඌරුමස්‌ සපයා ගැනීම සඳහා යොදවන අරමුදලේ වාහන නඩත්තු කිරීමට නොවේ. අරමුදලේ ඇති වගන්ති වලට මුවා වී ශුද්ධ අරමුණකින් තොර ලාබ දේශපාලන ව්‍යාපෘති සඳහා රුපියල් ලක්‌ෂ ගනණින් මුදල් බෙදා හරින්නට නොවේ. පසුගිය ඡන්ද කාලය තුළ පමණක්‌ මධ්‍යම සංස්‌කෘතික අරමුදල විසින් දේශපාන අධිකාරිය තෘප්ත කිරීම සඳහා වියදම් කළ මුදල රුපියල් කෝටියකට ආසන්නය.

පොළොන්නරුව මධ්‍ය කාලීන රාජධානියේ හදමස බ`දු උත්තුංග උරුමයේ විශේෂාංග දෙනෙත් අභිමුව වැනසෙමින් පවතී. එහෙත් ඒ සංරක්‌ෂණ හෝ නඩත්තු වෙනුවෙන් වැය කිරීමට මධ්‍යම සංස්‌කෘතික අරමුදලටවත් මුදල් නැත. පොත්ගුල් වෙහෙරේ පරාක්‍රමබාහු ප්‍රතිමාව වටා අටවා තිබූ මල කෑ කම්බි වැට ඉවත් වන්නේ පුවත්පත්වල පිටු පුරා ලිපි පළවූ පසුය. තවමත් පොත්ගුල් වෙහෙරේ සංචාරකයින්ට දිය පොදක්‌ බොන්නට ඇත්තේ අසල වූ වැසිකිළියේ වතුර කරාමය පමණි. පිටතින් ජල සැපයුමක්‌ සවි කරගැනීමට අ`ගල් භාගයේ බට අඩි විසිපහක්‌ මිලදී ගැනීම සඳහා ආලාහණ පිරිවෙන් ව්‍යාපෘතියේ ප්‍රතිපාදන නැත. රුවන්මැලි සෑයත් ථූපාරාමයත් දකිමින් ගං කුකුළුන් මරාගෙන කා විස්‌කි බී බී ආතල් ගත හැකි, ආලාහන පිරිවෙන් භූමියේ රන්කොත් වෙහෙර දකිමින් ධූර්තයින් සේ හැසිරිය හැකි හිස්‌ මිනිසුන් අතට සංස්‌කෘතියත්, මධ්‍යම සංස්‌කෘතික අරමුදලත් පත්කරනවිට ඔවුන්ගෙන් මීට වඩා යමක්‌ අපේක්‌ෂා කළ යුතුත් නැත. එහෙත් පුජාභූමි ඇසුරෙහි උපදින දේ සොරා කෑ අවරගණයේ මිනිසුන් බලු කපුටුවන් වී මතු ආත්මයන්හි උපදින්නේ යෑයි අපේ මුතුන් මිත්තෝ ගල්වල කොටා තැබුවේ අද ජීවත්වන මෙවැනි නිඝන්ඨයින්ටත් වලංගුවන පරිදි බව අපගේ තේරුම් ගැනීමය.

මිහින්තලාවේ පාදම් ගලක්‌ හොරු ගෙනයති. එය පුද්ගලයෙකුට සාක්‌කුවේ දාගෙන යා හැකි පුරාවස්‌තුවක්‌ නොවේ. හොන්ඩර ගණනාවක්‌ බර මහා ගල් පුවරුවකි. ඒ හොරකම කිසිවෙක්‌ විසින් දකින්නේ නැත. කොළඹ ජාතික කෞතුකාගාරය බිඳ පුරාවස්‌තු රැගෙන යති. හොරු හසුවන්නේ නැත. පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය ඉදිරිපිට ඇති ප්‍රීතිදාන මණ්‌ඩපයේ අ`ගලක්‌ පාසා හාර පුරාවස්‌තු විනාශ කරති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දකින්නේ නැත. දිය සි`දී ගිය වෑ තලය මතින් ඇවිදගොස්‌ කාලකණ්‌ණි මනෝ විකෘතිකයෝ පැය ගණන් ගත කර සීත මාලිගාවේ පුරාණ බදාම තලය මත බලි කුරුටු අ`දිති. දින ගණනාවක්‌ යනතුරු පුරාවිද්‍යා නිලධාරීන් දන්නේ නැත.

කූරපයියට හෙණ ගැසූ පසු කිල්ලෝටය ගැන විමසා පලක්‌ නොවේ. මේ නල්ලමලේ පුරාවිද්‍යාවත්, දේශපාලන අර්ථයෙන් පැමිණෙනා සංස්‌කෘතියත්, ජාතික උරුමයත්, උන්ගේ දීන නිලධාරීනුත් ඒ රටේ හැටියටය.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: