Posted by: lrrp | September 26, 2012

මෑතකදී කල එලි බැසි නීලගිරි මහා ථූපය


නීලගිරි මහා සෑය යන නාමය ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබුණේ ඉතා මෑතදීය. පුරාවිද්‍යා කැණීම් එහි අරඹා තිබීම ඊට හේතුවයි. සියඹලාණ්‌ඩුවේ සිට පොතුවිල් දක්‌වා ඇති A-4 මාර්ගයට අයත් කොටසෙහි මැද ඇති ලාහුගලින් දකුණට හැරී කි.මී. 4.2 ක්‌ ගමන් කර හැඩ ඔයෙන් එගොඩ වී තවත් කි.මී. 1.8 ක්‌ වනාන්තරය මැදින් ඉදිරියට ගමන් කළ විට නීලගිරි මහා ථූපය හමුවේ. අඩි 1200 ක වට ප්‍රමාණයක්‌ ඊට ඇත.

මහ වනාන්තරය මැද පැවති මෙහි ළඟාවීමට ලාහුගල වැසියන් අතුරින් දැන සිටියේ වැඩිමහල් කීප දෙනකු පමණි. මාර්ගයක්‌ ඉදිනොකර පුරා විද්‍යා කැනීම් සිදු නොකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භූමිය පවරා ගැනීමක්‌ද සිදු නොවී සැලසුම් සම්පාදනය කර ඇස්‌තමේන්තු සැකසීමකින්ද තොරව 1972 දී චෛත්‍ය බඳ අඩි 20ක්‌ උසට හා අඩි 100 ක්‌ දිගට නැවතත් අලුතින් ගඩොලින් බැඳීම සිදුවී තිබිණි. මේ ගැන විස්‌තර කිසිවක්‌ දැන ගැනීමට නැත.

නැවත 2004 වර්ෂයේදී නැගෙනහිර බෞද්ධ පුනරාගමනය නමැති සංවිධානයේ කරුණාරත්න නමැති මහතෙකු හා පිරිසක්‌ ලාහුගල මඟුල් මහ විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමියන්ද සමග කටුපඳුරු හා එරමිනියා ගාල් කැතිවලින් කපමින් අඩි පාරක්‌ සාදාගෙන චෛත්‍යය වෙත ළඟා වුහ. එය හැදෑරීමේ හා ගවේෂණයේ චාරිකාවක්‌ විය. ඉන්පසු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ආධාරය ඇතිව කිලෝ මීටර් 7-8 ඈතට සොයා බැලීම් කළ හැකි විණි. එහිදී පෙනී ගියේ අනුරාධපුරය බඳු විහාරාරාම හා මාලිගාවන් පිහිටි නගරයක්‌ මෙහි පැවතෙන්නට ඇති බවය.

එබැවින් නීලගිරිය චෛත්‍යය යළි ප්‍රතිසංස්‌කරණය කර පැරණි ප්‍රෙෘඪත්වයට ගෙන ඒමට හා බෞද්ධ පුනරාගමනය විසින් තීරණය කරන ලදී. කෝටි ගණනක්‌ වියදම් වන මෙම කාර්යය සඳහා සංවිධානය සතු කිසිදු මුදලක්‌ නොතිබුණද අධිෂ්ඨානයක්‌ ඇතිවීමෙන් පසුව පමණක්‌ ක්‍රියාත්මක විය හැකි බැවින් තීරණය කිරීම පළමුවෙන් සිදුවිය.

2006 වසර මුලදී ලාහුගල ගම කෙළවර සිට නීලගිරිය දක්‌වා මාර්ගයක්‌ එළි කිරීමට අනුග්‍රහය දක්‌වන ලද්දේ එවක සංස්‌කෘතික හා ජාතික උරුමයන් අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් මුදල් ප්‍රතිපාදන හා ලාහුගල ගමේ තරුණ පිරිස්‌වල ශ්‍රමදායකත්වය ඇතිව අඩි 20 ක්‌ පලල පාරක්‌ ගස්‌මුල් උදුරා සමතලා කර බොරළු දමා තලා සකස්‌ කරන ලදී.

හැඩ ඔයෙහි ජල පාර සිඳී දණකට වඩා අඩු ජල මට්‌ටමක්‌ ඇති 2006 වෙසක්‌ පුර පසළොස්‌වක දිනය නිමිති කර නීලගිරිය බාහිර ලෝකයට විවෘත කිරීමේ මහා පුෙණ්‍යාත්සවයක්‌ සිදු කරන්නට යෙදින. පසළොස්‌වක දිනට පෙරදින සන්ධ්‍යාවේ නෙළුම් මල් 2000 ක්‌, පහන් 200, හඳුන්කූරු 200 ක්‌ සහිත මහා චෛත්‍ය පූජාවක්‌ පවත්වා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්‌ සිදුකරන ලදී. මේ සඳහා ලාහුගල ජනතාවගේ නොමද දායකත්වය ලැබිණි. එබඳුම දායකත්වය ලැබීමෙන් පසළොස්‌වක දින 500 ක්‌ පමණ ශීල සමාදානය වී භික්‌ෂූන් වහන්සේ 200 නමකට දහවල් මහා සංඝගත දක්‌ෂිණාවක්‌ ද පිරිනමන ලදී. මෙදින මහ වනාන්තරය කසාවත් චීවරයෙන් ආලෝකවත් වූ අතර 3000 පමණ පිරිසක්‌ විසින් බුද්ධ පූජාව අවස්‌ථාවේ නගන ලද සාධු· සාධු ·· නාදයෙන් නිහඬ වනාන්තරය ගිගුම් දුනි. පළමු දින රාත්‍රියේ පිරිත් සඡ්Cධායන අවස්‌ථාවේදීද වන අලින් කිහිප දෙනෙක්‌ චෛත්‍යයෙන් අඩි 200 ක්‌ පමණ ඈත නිශ්ශබ්දව බොහෝ වේලා රැඳී සිටියේ පිරිත් ශ්‍රවණය කළා විය හැක.

නමුත් මෙම පියවරෙන් පසු නීලගිරි වැඩකටයුතු නැ. බෞද්ධ පුනරාගමනය තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණේ කංජිකුඩිච්චිආරු (කැඳබිව් ආර) කඳවුරේ සිට ප්‍රාදේශීය කොටි සංවිධානයේ නායකයන්ගෙන් බාධා හා බියගැන්වීම් සිදුවීම නිසාය. බෞද්ධයන් කැලෑවේ ඇති නීලගිරි සෑය වෙත යැම ගැන ඔවුහු අකමැති වූහ. ආරක්‌ෂක අංශවලින්ද අවවාද කළේ කැලය තුළට ගමන් නොකරන ලෙසටය.

2009 මැයි මස කොටි සංවිධානය පරාජය කරන ලද නිසා නැවතත් නීලගිරිය ගැන අවධානය යොමු කළ හැකි විය. නැ. බෞද්ධ පුනරාගමනය විසින් 2009 අගදි එවක ජාතික උරුම ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත නීලගිරි ඉදිකිරීමේ ඉල්ලීම ඉදිරිපත් කළද ඊට ප්‍රතිචාරයක්‌ නොලැබිණි.

වනාන්තරයේ ඇවිදීමේ කොටි බිය පහවීම නිසා අප සාමාජිකයන්ට නීලගිරියෙන් කි.මී. 7-8 ඈත වනය ඇතුළට ගොස්‌ ගවේෂණයක්‌ කළ හැකි විය. එහිදී එක්‌ ලෙනක්‌ තුළ වූ චිත්‍රයක්‌ වූයේ බුදුන්වහන්සේ දෙපස ඔටුනු සහිත රජවරුන් දෙදෙනකු වැඳගෙන සිටින අයුරුය. මෙය චිත්‍ර පෙළක්‌ නොවන නිසා කතා පුවතක්‌ චිත්‍රයට නැගීමක්‌ නොවේ. සිදුවීමක්‌ චිත්‍රයට නැගීමත් ලෙස එය ඒත්තුගත හැක. බුදුන් දවස අග්නිදිග ලංකාවේ නාග රජුන් ගැන දිව්‍යාදානය නමැති මහායාන බෞද්ධ ග්‍රන්ථයේද සඳහන්ය. විජයාගමනයෙන් ලංකාවේ ජනාවාස ඇතිවූ බව කීමට මෙය අභියෝගයකි.

2010 අගදී ජාතික උරුමයන් සම්බන්ධ නව ඇමැතිවරයා ලෙස පත්වු ආචාර්ය ජගත් බාලසූරිය මහතාට ඉල්ලීම නැවතත් ඉදිරිපත් කරන ලදී. වහාම ක්‍රියාත්මක වූ ඇමැතිවරයා අමාත්‍ය ලේකම්වරිය විසින් නීලගිරිය ගොඩනැංවීම ගැන කැබිනට්‌ සන්දේශයක්‌ ඉදිරිපත් කළහ. ඒ අනුව චෛත්‍යය අලුතින් ගොඩනැංවීම වෙනුවට ප්‍රතිසංස්‌කරණය කර සංරක්‌ෂණය කිරීම සඳහා 2012 වසර වෙනුවෙන් මුදල් වෙන්කෙරිණි. ඒ අතරතුරම ඊට පළමු හැඩඔය හරහා පාලමක්‌ සහිතව මහා මාර්ගයක්‌ ඉදිකිරීම හා විදුලි රැහැන් නීලගිරිය වෙත ඇදගැනීමටද අවධාරණය කරන ලදී.

2011 වසරේදී ආහාර හා ආහාර සුරක්‍ෂිතතා ජ්‍යෙෂ්ඨ ඇමැති හා අම්පාර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පී. දයාරත්න මහතා විසින් 2006 දී ඉදිකර වල්බිහිවී තිබූ නීලගිරියට යන පාර නැවතත් එළිකර බොරළු දමා තලා සකස්‌කර දුනි.

පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තම කැණීම් කටයුතු ආරම්භ කරන ලදී. චෛත්‍යය කෙබඳු ආකාරයෙන් නිර්මිත වූයේ දැයි බැලීමේදී දුටුවේ අවස්‌ථා 4 දී එය කංචුක යෙදීම මගින් තව තවත් විශාල කර ඇති බවය. චූල සීවලි පබ්බත විහාර යන නම ඇති සෙල්ලිපියක්‌ ඒ අසල හමුවුවද නීලගිsරිය පර්වත විහාරයක්‌ නොවේ. එමෙන්ම කුම්බානි ථුපය නමැති නමක්‌ද හමුවී ඇති අතර එය කුමක්‌දැයි කිව නොහැක. නිSලගිරියේ ආරම්භක නාමය හෝ මුලින්ම එය කරවන ලද රජු කවුද යන්න තවම විසඳී නැත. කොටියාගල හා මහසියඹලාව අසල ඇති මයිල්ල ගල්ලෙන්වල දක්‌නා චිත්‍රවල වඩා වෙනසක්‌ මෙහි ලෙන්වල ඇති චිත්‍ර තුළ දක්‌නට පුළුවන. අනුරාධපුරයේ මහමෙව්නා උයනෙහි බඳු සුවිසල් විහාර සංකීර්ණයක්‌ තුළ නීලගිරිය පිහිටි බව පැහැදිලිය. විහාරවලට අයත් නොවන රාජමාලිගාවන්හි යෑයි අනුමාන කළ හැකි නටබුන්ද ඇත.

නැ.බෞද්ධ පුනරාගමනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව විදුලි බල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අනුග්‍රහයෙන් නීලගිරිය දක්‌වා විදුලි රැහැන් ඇද අවසන්ය. ජාතික උරුම අමාත්‍යාංශය මගින් ජෛකා ණය ආධාර යටතේ ලබාගත් මුදල් මගින් හැඩඔය හරහා පාලමක්‌ සහිතව කොන්ක්‍රීට්‌ කරන ලද මහාමාර්ගයක්‌ නීලගිරිය දක්‌වා ඉදිවෙමින් පවතී.

කාවන්තිස්‌ස දුටුගැමුණු පරපුරේ ආදිතම නාග රජවරුන් ජනාවාස කරන ලද අග්නිදිග ලංකාව විජයාගමනයට පෙර පටන් දියුණු යාත්‍රික වෙළෙඳ රාජධානියකි. එමෙන්ම සෙල්ලිපිවලට අනුව බුදුන්ට නොහොත් ගෝතම ශමණට පූජා කරන ලද ගල්ලෙන් ඇති එ පමණක්‌ නොව පුණ්‌ණ හා සංඝරක්‌ත යන තෙරුන් සද්ධි විහාරිකව ගල්ලෙන් වල වැඩ හිඳිමින් නාග කුමාරවරුන්ට විනය පිටකය ඉගැන්වූ (විනය පිටකය අවශ්‍ය පැවිදි වූ භික්‌ෂුන්ටය) කලාපයකි. ද්වහවදානය නම් ග්‍රන්ථයට අනුව සක්‌කරසොබ්බ (හකුරුහොබ) වරායට බුදුන් නැවෙන් වැඩම කරන ලදී. සිතුල් පව්ව අසල දෙකුන්දර වැව ගෝතම ශමණට (බුදුන්ට) දම් දෙසීම සඳහා මිෂ බමුණා තම කූටය පූජා කරමින් කෙටු සෙල්ලිපියකි.

ලංකාවේ ශක්‌ති කලාපය වන්නේ තෙද ඇති (ගිනි දිසාව) ගිනිකොණ දිශාවයි. සූර්යයා හා තේජස්‌ ගිනි හා රන්වන් පැහැයෙන් සංකේතවත් වේ. මාතර දිසාපතිව සිටි ජෝන් ඩොයිලිට දෙවුන්දර මහා විහාරයේ මහාසාමි (විහාරාධිපති) හිමියන් පවසා ඇත්තේද ලංකාවේ ශක්‌තිකලාපය දෙවිනුවර හා හිරුනුවර (තිරුක්‌කෝවිල්) අතර පිහිටි බවය. ශක්‌ති හදවත වූ මැණික්‌ ගඟ හා කුඹුක්‌කන් ඔය අතර වූ වෙල්ලස්‌ස 1818 නිදහස්‌ අරගලයෙන් පසු ඉංග්‍රීසින් විසින් වසාදමා එය වනෝද්‍යානයක්‌ කළේද එබැවිනි.

නැවතත් නීලගිරිය මතුවීම සමග මෙම අග්නිදිග ශක්‌ති කලාපයද බලවත් වී පැරණි ප්‍රෙෘඪත්වයට පැමිනේය යනු නීලගිරි භාරයේ අපේක්‍ෂාවයි.

සූරිය ගුණසේකර

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: