Posted by: lrrp | September 29, 2012

මිහිඳු මාහිමියන්ගේ භස්මාවශේෂ තැන්පත් කර ඇති රජගලතැන්න

ගිරිකුළ මත වූ පොකුණක්

රුහුණු රට, රජ පරපුරේ නැණවත්, දූරදර්ශී රජු ලෙස කාවන්තිස්ස රජු සැලැකේ. ඔහු රුහුණු රට පාලනය කළ සමයේ ඔහුගේ බාල පුත් සද්ධාතිස්ස එහි උතුරු දෙස වූ දිගාවැව වෙසෙමින් එය බත බුලතින් ඉසුරුමත් කළේය. එකල ඔහු විසින් කරවන ලද යි සැලකෙන වෙහෙර අතර රජගලතැන්න කන්දේ වෙහෙර මුල් තැනක් ගනී. එම කඳුවැටිය රාස්සගල කන්ද නමින්ද ඇතැම් පතපොතේ සඳහන් වේ.

වසර දහස් ගණනක් තිස්සේ මහ වනය විසින් ගිලගෙන තිබුණු එම වෙහෙර බිම දැයට කිරුළ සංවර්ධන වැඩ සටහන යටතේ කැණීම් කටයුතු කැර නැවත පුනරුත්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ. එය දැක ගැනීමට අප එහි ගිය ගමන සුන්දර එකක් විය.

අප ගමන් කරමින් සිටියේ අම්පාර නගරයේ සිට උතුරු දෙස බලා සෘජු රේඛාවක් සේ දිවගිය අම්පාර මහඔය මාවතේ ය.

පිළිරූ පහක් නෙළා ඇති ගල් පුවරුව

සමනලබැද්ද, උහන, ගොනාගොල්ල, බක්කිඇල්ල, යන ගම්මාන පුරා පැතිරී ගිය කෙත් බිම්වල සොඳුරු දසුන් නෙත් ලා ගනිමින් අපි රජගලතැන්න ගම්මානයට පිවිසියෙමු. හිරු මද්දහනට ආසන්න වෙමින් සිටී. “රජගලතැන්න රජමහ වෙහෙර” යන නාම පුවරුවක් පටු මාවතක් සමීපයේ සවිකර තිබුණි. කුඩා වාහනයකට පමණක් යා හැකි ඒ මාවත ගම්මණ්ඩිය දෙබෑ කරමින් ඈතට විහිදී යයි. අපට එහි යා හැකි වූයේ කිලෝමීටර් දෙකක පමණ දුරකි. මාවත නිම විය. රජගලතැන්න වෙහෙරට අයත් කන්දේ ඇරැඹුම එතැන් සිට විය.

කුඩා කඳුරකින් ගලා ගිය දිය දහරක් ඉම කර ගනිමින් කන්ද ඇරැඹිණි. මාස කීපයක් පුරා පෙදෙස ගිල ගත් ඉඩෝරය විසින් කඳුරේ සීතල දිය දහර කුඩා රේඛාවක් බවට පත් කැර තිබුණි. ගල්කුළු අතරෙන් කිනි කිනි හඬ නගමින් ගලා ගිය ඒ දිය දහර අපගේ වෙහෙස ද මඳක් නිවා දැමීමට සමත් විය.

දිය කඳුර ඉවුරේ පුරාවිද්‍යා නිලධාරීන්ගේ තාවකාලික කූඩාරම ඉදිකර තිබිණි. ඒ සමීපයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් හෙබි සෙල්මුවා නිර්මාණ රැසක් පෙළට තබා ඇත. ඒවා රජගලතැන්න වෙහෙර බිමේ සිට රැගෙන විත් මෙහි තැන්පත් කරන්නට ඇතැයි සිතිය හැකිය. පිළිරූ පහක් එකම සෙල්මුවා පුවරුවක ඇති නිර්මාණය එයින් වෙසෙසි තැනක් ගනී. බෝසත් රුවකට නමස්කාර කරන තිදෙනෙකුගේ රූ සමඟ වාලම්පුරියක් ඒ අතර වේ. බෝසත් රුව සිටගෙන සිටින අයුරෙන් නෙළා ඇත. දෙඅත් එක් කොට වන්දනා කරන ඉරියව් දක්වා තිබේ. එහි සිරස කැඩී ගොස් ඇත. අතේ හා බාහුවේ පැලඳි අභරණ මැනවින් දක්වා ඇත. උකුළු පෙදෙස දම්වැලකින් සරසා ඇති බව පෙනේ. පාදය දක්වා සේලය ඇඳ සිටී.

මුරගලක්

අනෙක් මිනිස් රූ වලින් දක්වා ඇත්තේ ද වන්දනා කරන ඉරියව්ය. එයින් විසල් රුව හි හිස වටා කිසියම් පලඳනාවක් ඇති බව පෙනේ. ඔහුගේ දකුණු අත පමණක් පැහැදිලිව දැක ගත හැකිය. වම් අත ගෙවී ගොස් ඇත. පහළ ඇති කුඩා මිනිස් රුවේ වම් අතින් පුන් කලසක් දරා සිටී. බෝසත් රුව දකුණුපස ඉහළ කොටසේ වාලම්පුරිය නෙළා ඇත. ඊට ඉහළින් ද ඇත්තේ වන්දනා කරන ඉරියව් ඇති මිනිස් රුවකි.

කඳුරෙන් එතෙර වූ තැන් සිට ම අඩි 1200 ක් පමණ වූ කන්ද තරණය කළ යුතුය. එය ඉතා වෙහෙසකර කාර්යක් වුවද රජගලතැන්න වෙහෙර බිම නැරැඹීමේ රිසිය ඊට වැඩිය බලවත් වූයෙන් අනලස්ව කන්ද තරණය කෙළෙමු. උඩ බැලු විට ඉමක් නැති පියගැට පෙළ දිස්වේ.

රළු ලෙසින් පැළු කළුගල් පතුරු එකිනෙකට ළංව තබා පියගැට පෙළ කරවා තිබුණේ පිය තැබීමට පමණක් සීමා වෙන සේය. ඇතැම් තැනක ගල් තලාවේ කණින ලද පියගැට පෙළකි.

ගල්තලාවේ නිමවා ඇති සෙල්මුවා දාගබ

කන්දක් වුවද නිවර්තන කලාපයක මෙන් පුළුල් පත් සහිත රූස්ස තුරුවලින් මෙය සමන්විත නොවිණි. පෙදෙසේ පවත්නා ශුෂ්ක දේශගුණයට අනුගත වූ සේ තරමක් උස් වූ සිහින් කඳැති තුරු වග එකිනෙකට ළංව වැඩී තිබුණේ රණබිමකට වන් සෙබළ මුළුවක් සේය.

කඳු හිස දක්වා ගිය පසු හමුවූයේ පටු දෙමංසලකි. රජගලතැන්න වෙහෙර බිම සොයා යන ගමනේ තීරණාත්මක තැනකින් මේ දෙමංසල. අවරගිරට ගිය එක් මඟකි. අනෙක උතුරු පසටය. අවරගිර මඟින් යන්නේ නම් කටාරම් කෙටු ගිරිලෙන්, සෙල්ලිපි, ගල්තලා මත වූ නටබුන්, ගල් පොකුණු, ආදි සොඳුරු තැන් රැසක් නරඹමින් සෑ මළුව දක්වා යා හැකිය. එහෙත් එය පැය ගණනකින් නරඹා නිම කළ නොහැකි දිගු ගමනකි. උතුරු පස මඟ සෘජුව ම සෑ බිමට යා හැකි කෙටි මඟ වේ.

අප ගියේ උතුරුපස කෙටි මඟෙනි. තැනිතලා බිම ඇත්තේ මීටර් පන්සියක් තරම් කෙටි දුරකි. බෑවුම නිම කළ පසු තැනිතලා බිමකට පිවිසේ. ඒ රජගලතැන්න මහ වෙහෙර පුද බිම වේ. මද්දහන උදා වෙද්දී අපි එහි පා තැබීමු.

ඡත්‍ර ගුහාව නමින් වූ ගිරි ලෙන

කන්දෙන් බැස මඳක් දුර ගිය පසු අරුම පුදුම ගිරි ලෙනක් දැක ගත හැකිය. එය ඡත්‍ර ගුහාව නමින් හැඳින්වෙයි. දණ්ඩක ආධාරයෙන් ඉහළට විහිදුණු ධවල ඡත්‍රයක් හෙවත් මුතු කූඩයක් සේ දිස්වෙන එය ගලකින් නිම වී ඇත. ඇතුළත අඩි 50 ය 40 පමණ විශාලත්වයෙකින් යුක්තය. සියයකට වුවද නොතෙමී සිටිය හැකිය. අතීතයේ මහරහතන් වහන්සේලා වැඩ සිටි ලෙනකි. ඒ සමීපයේ තවත් කුඩා ලෙනකි. එහි ඇතුළු ගල් පියස්ස සිත්තම්වලින් පිරී තිබුණ බව පෙනේ. ඒවා මැකී ගිය ඇතැම් තැන්වල වර්ණ පදාසයන් පමණක් ශේෂ වී ඇත.

ඡත්‍ර ගුහාව සමීපයේ විසල් ගල් තලාවක් මත්තෙහි කරවූ දාගබකි. අප මෙතෙක් දැක ඇත්තේ ගඩොල්වලින් නිම වූ දාගබ් වේ. එහෙත් මේ දාගබ නිමවා ඇත්තේ කළුගල් කැබලිවලිනි. අඩි දෙකක් දිග අඩියක් පළල ගල් කැබලිවල සිට අඟල් හයක් පමණ දක්වා වූ කුඩා ගල් කැබලි මෙහිදී දැක ගත හැකිය. ඒවා ක්‍රමයෙන් දාගබක් සේ ඉහළට ගොඩ ගසා තිබේ. මෙහි උස අඩි දොළහක් පමණ වේ.

සෙල්මුවා දාගබ පිහිටි ගල්තලාවේ එක් ඉමක සෙල්ලිපියක් ඇත. එය අඩි දහයයි අඟල් අටක් පමණ දිගය. පේළි හතරකින් සමන්විත වූ එය බ්‍රහ්මී අක්ෂරවලින් සටහන් කැර ඇත. මෙම අකුරු සෙල්ලිපියක සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අකුරුවලට වඩා අති විසල්ය.

“මේ දිවයිනට සෘÿයෙන් වැඩි මහින්ද හා ඉෂ්ටිය යන මහරහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ මේ ස්ථූපයේ තැන්පත් කර ඇත.” යනුවෙන් එම සෙල්ලිපියේ සඳහන් කර ඇති බව එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

කැණීම්වලින් අනාවරණ කැර ගත් පියගැට පෙළ

ගල්තලාව නිම කළ පසු දිස්වෙන ගොඩනැගිලි සමූහයක නටබුන් රැසක් ලඳු කැලෑව විසින් ගිලගනු ලැබ තිබේ. සෙල්මුවා කුලුන හා පියගැට පෙළක කොරවක් ගල් දෙකක් පමණක් කැලෑවෙන් ඉහළ නැඟ පෙනේ. මල්කම්, ලියකම් වලින් තොරය. කොරවක් ගල් දෙක ඉතා විසල්ය.

පුදබිම විසල් තුරු ලිය ගොමුවකින් සෑදුණු හරිත වියනකින් ආවරණය වී ඇත. මඳ අඳුරක් රජැයූ සිසිලසින් පිරී ගිය පරිසරය ඉතා සුවදායකය. අප ගියේ නියං සමයේ වුවද රජගලතැන්න වෙහෙර බිමට නියඟය බල නොපෑ බව ගල්පර අතරෙන් කොඳුරමින් ගලා ගිය මේ සිහින් දිය දහර කියාපෑවේය. අපි දිය දහර අසබඩ සිසිල් සෙවණේ මඳක් නැවතී ගිම් නිවා ගතිමු.

තුරු සෙවණ තුළින් සෑ රඳුන් කරා දිව යන පටු මාවත දෙපස අඩ කවයෙන් නිම කළ ගල් පුවරු පෙළකින් අලංකාර කැර තිබුණි. මාවතේ එක් තැනකින් ගලායන දිය දහරින් එතෙර වීම සඳහා කරවන ලද සෙල්මුවා පාලම විස්මය දනවන නිමැවුමකි.

තුරු සෙවණට මැදි වූ සෑ රඳුන් ගරා වැටී පස් ගොඩක් සේ අබිමනින් නැගී සිටී. එය අඩි 25 ක් පමණ උස් වේ. වට අඩි 800 ක් පමණ විසල් වේ යැයි සිතිය හැකිය. අපට එහි වට රවුමේ යෑමට විනාඩි 10 ක පමණ කලක් ගත විය. සෑ රඳුන්ගේ ගබ මැද නිදන් සොරුන් විසින් කණින ලද මහ වළකි.

සෑ මළුවේ ඇති පුස්වැල් ගැටය

දැයට කිරුළ වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදුවන විවිධ සංවර්ධන කාර්යයන් අතර රජගලතැන්න වෙහෙර බිම පුනරුත්ථාපන කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. ඒ යටතේ සෑ මළුවේ කැණීම් කටයුතු සිදු කරමින් පවතී. දැනටමත් වෙහෙර සංකීර්ණයට පිවිසීම සඳහා කරවා මිහියට ගිලී තිබුණු පියගැට පෙළක් අනාවරණය කර ඇත.

මිහියට සැඟ වී ඇති ගොඩනැඟිලිවල නටබුන් සොයා අඩි අටක් පමණ ගැඹුරු වළවල් කැණ ඇත. එයින් එක් වළකින් පැරණි ගොඩනැඟිල්ලක ගඩොල් පාදමක් සොයා ගෙන තිබේ. එහි එක් ගඩොල් කැටයක් අඩි 1 ක් අඟල් 9 ක් දිගු වේ.

සෑ මළුවට මීටර් 100 ක පමණ ඔබ්බෙන් කැලෑව මැද වැතිරී ඇති සෙල්මුවා බුදු පිළිමයකි. නෙළීමට ගොස් අත්හැර දැමූ පිළිමයක් සේ පෙනෙන්නට තිබේ. බුදු පිළිමය සමීපයේ ද පෙර සඳහන් පරිදි වූ ගල් පාලමක් දැකිය හැකිය.

වෙහෙර බිමෙන් මීටර් 500 ක් පමණ ඔබ්බෙන් ගන කැලෑව මැද පිහිටි විසල් ගල් තලාවකි. එය රජගල නමින් හැඳින්වේ. “රජ” යනු ප්‍රධාන, විශාල, යන අරුත් ගෙන දෙන වදනකි. එවිට රජගල යනු “විසල් ගල” යන අරුත ගෙන දේ. මෙම පුද බිමට “රජගල තැන්න” යන නම යෙදී ඇත්තේ ද මේ ගල් පවුව ඇසුරෙන් බව පැහැදිලි කරුණකි. අක්කර සිය ගණනකටත් වැඩි විසල් වූ උස අඩි එකසිය පනහකට අධික වූ මේ ගිරිකුළ මතට නැඟීම සඳහා බෑවුමේ සිට කණින ලද පියගැට පෙළකි. අඩියක් පමණ පුළුල් වූ මේ පියගැට පෙළ තරණය කිරීම ඉතා බියකරු ගමනක් වන්නේ එහි අල්ලා ගැනීමට ආධාරකයක් නැති හෙයිනි.

ගිරිකුල මත ගරා වැටුණු දාගැබ් දෙකක නටබුන් දැක ගත හැකිය. තණකොළ වැවී පස් ගොඩක් සේ ඒවා දිස්වේ. දාගැබ් නටබුන් සමීපයේ ගලේ කණින ලද පොකුණු දෙකකි. එයින් එක් පොකුණක් අනෙකට වඩා විසල්ය. අප යන විටත් එහි ජලය නොසිඳී තිබිණි.

කන්දේ බටහිර පස ඇති ගිරිලෙන්වලට යෑමට කාලයා අපට අවසර නොදෙයි. අඳුර ගලා යාමට පෙර කඳුවැටිය තරණය කළ යුතු හෙයින් දැහැන් ගත වී සිටි රජගලතැන්න වෙහෙර බිමේ තුරුලතා ගොමුවෙන් අපි සමු ගතිමු.

(රජගලතැන්න වෙහෙර බිම සොයා යාමේ දී අපට සහයෝගය දැක්වූ වැලියාය සිරි පියරතන විද්‍යායතන පිරිවෙණේ ආචාර්ය ටී. බී. ගුණසෝම බණ්ඩාර මහතාට අපගේ ස්තුතිය.)

සටහන හා ඡායාරූප කේ. බී. රත්නායක මොනරාගල සමූහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: