Posted by: lrrp | October 1, 2012

නීලගිරිය ශිලාලේඛන වලින් හෙළිවන පුරාවිද්‍යාත්මක උරුමය

පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ ව විමසීමේ දී උතුරුමැද පළාත මෙන් ම නැඟෙනහිර පළාත ද අතිශයින් ම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේගේ පා පහස ලත් දීඝවාපිය ද උන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර සකසන ලද සේරුවාවිල මෙන්ම මිහිඳු මහ රහතන් වහන්සේගේ හා ඉට්ඨිය තෙරුන් වහන්සේගේ ධාතු තැන්පත් කර ඇති රජගල ස්තූපය ද මේ සඳහා සාධක සපයයි. මේ අතර ඉතා මෑතකාලීන ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස අවධානයට ලක්වූ අතිශය වැදගත් ස්ථානයක් ලෙස නීලගිරිය පුරාවිද්‍යා ස්ථානය හඳුන්වා දිය හැකිය.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල වන රක්ෂිතය ආශි‍්‍රතව මොණරාගල පොතුවිල් මාර්ගයේ 305 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් දකුණු පසට වැටී ඇති බොරලු මාර්ගයෙන් කිලෝමීටර් පහක් පමණ ගිය විට මේ පුණ්‍යභූමියට ළඟා විය හැකිය. මේ ගමන තවත් දුෂ්කර වනුයේ පාලමක් නොමැතිව හැඩඔය හරහා ගමන් කිරීමට සිදුවීම හේතුවෙනි.

නීලගිරිය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති ස්තූපය නිසාවෙනි. මෙහි ඇති පුරාවිද්‍යාත්මක උරුමය ගවේෂණය කිරීම සඳහා විවිධ වූ ව්‍යාපෘති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අතර මේ ආසන්නයෙන් හමුව ඇති බ්‍රාහ්මී අක්ෂරයෙන් යුතු ගිරි ලිපි දෙක මඟින් ප්‍රදේශයේ පැවැති සංස්කෘතික සමාජ තත්ත්වය මැනවින් පිළිබිඹු කරයි.

නීලගිරිය ස්තූපයේ සිට මීටර් 200 ක් පමණ උතුරු දෙසින් මේ ශිලාලේඛන දෙක හමුව තිබේ. ඒවා වර්තමානයේ හඳුන්වනු ලබන පැදුරු කොට්ටගල හා කුඩා කටාරම් සහිත ලෙන ආසන්නයේ පිහිටා ඇත.

පර්වතය මත සකස් කර ලියන ලද ලිපි බැවින් මේවා පර්වත ලිපි (Rock Inscriptions) වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම ශිලාලේඛන පුරාණ සිංහල භාෂාවෙන් හා අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇත. අක්ෂර පරිණාමීය ලක්ෂණ අනුව මේ අක්ෂර ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසට පමණ අයත් වේ. ලිපිය ලිවීමේ අරමුණව ඇත්තේ කූටකණ්ණ තිස්ස රජුගේ (ක්‍රිස්තු පූර්ව 41 – 19) පුත් උපරාජ භාතික තිස්ස (භාතිකාභය) රජුගේ දේවිය වන මහා රාජිනි චූලසීවලී බිසව විසින් උත්තර සීවලී පබ්බත විහාරයට සිදුකරන ලද ප්‍රදානයන් සටහන් කිරීම සඳහා ය.

පළමුවන ශිලා ලිපියේ පෙළ

01. සිදධම් දෙවන පියතිස මහ රජහ මරුමකණක

02. පුටකනගමිණි අබහ පුතහ උවරජ තිසහ දෙවි

03. මහරජිනි චූලසිවලි දෙවිය උතර සිවලි පවතහි

04. විහරහි කබුරුගම වවි ච බුජිකපති ච කබුරුගම ච

05. චිතවිය බුජිකපති ච හකරක වවි ච මහරජිනි දෙවි

06. සිවලි දෙවි චතුදිසික බිකසගහට දිණි හකරකහි බුජිකපති ච දිණි

අර්ථය

යහපතක්ම වේවා! දේවානම්පියතිස්ස මහ රජුගේ මුනුපුරු කූටකණ්ණ ගාමිණී අබය රජුගේ පුත් උපරාජ තිස්ස (භාතිකතිස්ස / භාතිකාභය) ගේ දේවිය වන මහාරාජිණි චූලසීවලී දේවිය විසින් උත්තර සීවලී පර්වතයේ පිහිටි විහාරයට මෙම ප්‍රදානයන් සිදුකරන ලදී. කබුරුගම වැව ද එහි බිම් බද්ද කබුරුගම ද එහි බිම් බද්ද ද චේතිය වැවේ බිම් බද්ද ද හකරක වැව ද එහි බද්ද ද සිව් දිගින් වඩිනා භික්ෂු සංඝයා වහන්සේලාට ප්‍රදානය හිමි වේ.

මේ අනුව මේ ශිලා ලේඛනය පිහිටුවා ඇත්තේ භාතිකාභය තිස්ස රජු (ක්‍රි. පූ. 19, ක්‍රි. ව. 9) උපරාජ සිටි කාලයේ දී බව පැහැදිලි වේ. එනම් කූටකණ්ණ තිස්ස රජුගේ (ක්‍රිස්තු පූර්ව 41 – 19) රාජ්‍ය කාලයේදීය. එමෙන්ම මේ ප්‍රදේශය භාතිකතිස්ස උප රජු විසින් පාලනය කර ඇත. එසේම උපරාජ භාතික තිස්සගේ දේවිය චූලසීවලී මහාදේවි නමින් හඳුන්වා තිබීම ද වැදගත් වේ. එනම් ඇය මේ ප්‍රදේශය තුළ ප්‍රබල චරිතයක් ව පැවති බව ඉන් පැහැදිලි වේ.

මේ චූලසීවලී බිසව පිළිබඳ ව ඓතිහාසික වශයෙන් තොරතුරු හමු නොවේ. එසේම මෙහි සඳහන් චූලසීවලී පර්වතය ද එහි සඳහන් විහාරය පිළිබඳ ව ද ඉදිරි පර්යේෂණවලදී හඳුනාගත යුතුව පවතී. එසේ වුව ද මේ ශිලාලේඛනය සමීපයේ ම ඇති දැනට නීලගිරිය ලෙස හඳුන්වනු ලබන ස්තූපය ගොඩනඟා ඇති විහාරය මුල් කාලයේ (ක්‍රි. පූ. 1 වන සියවස වන විට) චූලසීවලී පර්වත විහාරය ලෙස හඳුන්වා ඇති බව අනුමාන කළ හැකිය.

එසේම මේ ශිලාලේඛනයේ වැව් කිහිපයක නම් සඳහන් වේ. බුරුගම වැව ද චේතිය වැව ද පකරක වැව පිළිබඳව ද විමසිය යුතුව පවතී. කබුරුගම නමින් ප්‍රදානයට අදාළ ව ගමක නමක් සඳහන් ව තිබේ. මේ පිළිබඳ ව ද තව දුරටත් විමසිය යුතුය. එසේම ශිලා ලේඛනයේ හකරක වැවේ හා කුබුරුගම වැවේ ජලය වගා කටයුතු ආදි වෙනුවෙන් පරිභෝජනය කළ අයගෙන් කිසියම් බද්දක් රජය විසින් අය කර ඇත. එවැනි බදු අය කළ බව ක්‍රි. ව. 1 වන සියවසේ සිට ක්‍රි. ව. 4 වන සියවස දක්වා වූ ශිලා ලේඛනවලින් පැහැදිලි වේ. (Paranavitana – 1983)

ඉහත සඳහන් හකරක වැව ගැන මීට පෙර සඳහන් නොවූව ද “පකරවසක කෙත” නමින් කුඹුරු යායක් පිළිබඳව පහළ තම්මැන්නාව ශිලා ලිපියේ සඳහන් වේ. (Paranavitana 1983 122) එහෙත් මේ ශිලා ලේඛනයේ සඳහන් වැවට මෙම කෙත්යාය අදාළ නොවේ. කදුරු වැව ලිපියේ දී මෙන් හකර යන්න බොරළු වැව හැඳින්වීම සඳහා යොදා ගත්තා ද යන්න සැක සහිතය (Ibid 56). එසේම හගර යන වචයෙන් බිඳී සාගරය වැනි විශාල වැවක් හැඳින්වීම සඳහා හකරකවවි යන්න භාවිත කළා ද යන්න අපැහැදිලිය.

ඉහත සඳහන් ශිලාලිපිය තුළ සිව් දිගින් වඩින සංඝයා වහන්සේලා හැඳින්වීම සඳහා “චතුදිසික බිතු සගය” ලෙස සඳහන් වේ. මොනරාගල දිස්ත්‍රික්කයේ රාස්ට්‍රවෙල ලිපියේ “චතුදිසික බිතු සගයෙ” ලෙස සිවුදිග සංඝයා වහන්සේලා හඳුන්වා තිබේ. (Ibid 37)

කූටකණ්ණ තිස්ස රජුගේ (ක්‍රි. පූ. 41 – 19) රාජ්‍ය කාලයට අයත් ශිලා ලිපි 12ක් පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. (Ibid 1-14) ඒ ලිපි අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව හා මාතලේ යන දිස්ත්‍රික්කවල පිහිටා ඇත. ඒ අතරින් ද මෙම ශිලාලිපිය ඉතා දිගු ඓතිහාසික වටිනාකමක් යුතු බව ඉහත සඳහන් තොරතුරුවලින් මැනවින් පැහැදිලි ය.

නීලගිරියෙන් හමුව ඇති දෙවන ශිලා ලේඛනය පළමු ශිලා ලේඛනය ආසන්නයේ ම සටහන් කර ඇති අතර එහි පතුරු ගැලවීමෙන් අක්ෂරවලට දැඩි හානි පැමිණ තිබේ. ඉතිරිව ඇති කොටස් අනුව එම ශිලා ලේඛනය ක්‍රිස්තු වර්ෂ 3 – 4 සියවස්වලට අයත් අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇත. ජෙටඨතිස්ස නම් මහ රජකු විසින් භික්ෂුන් වහන්සේලාට සිදු කරන ලද ප්‍රදානයන් සටහන් කිරීම සඳහා ලිපිය ලියා තිබේ.

ලිපියෙහි පෙළ

01. …… රජහ පුත ජෙධතිස මහ රජහ

02. …….. තිනවන දිවසෙහි මෙහෙසිය

03. …….. හක ද

04. …….. බමණගමකහි

05. …….. බගිණිය අමෙත

06. …….. පසහි අසි ….. මබික සහට දිනි

අර්ථය

01. …….. රජුගේ පුත් ජෙටඨතිස්ස රජුගේ

02. ……. තුන්වන දිනයෙහි මහේසිකාව වූ

03. …….

04. ……. බමුණුගමෙහි

05. ……. සහෝදරිය වූ අමාත්‍ය

06. ……. පැත්තෙහි පිහිටි (විහාරයෙහි) මහා භික්ෂු සංඝයාට පූජා කරන ලදී.

මෙම ප්‍රදානය ජෙටඨතිස්ස නම් පාලකයකුගේ පාලනය කාලයේදී ද සිදු කර තිබේ. ශ්‍රී ලංකාවේ ජෙටඨතිස්ස නමින් පාලකයන් දෙදෙනෙකි. පළමුවන ජෙටඨතිස්ස රාජ්‍ය කාලයට (ක්‍රි. ව. 266 – 276) අයත් ශිලා ලිපියක් මෙතෙක් හඳුනාගෙන නොමැත. එහෙත් දෙවන ජෙටඨතිස්ස (ක්‍රි. ව. 331 – 340) රාජ්‍ය කාලයට අයත් ශිලා ලේඛන දෙකක් හඳුනාගෙන තිබේ. ඉන් එකක් කුරුණෑගල වෙලන්ගොල්ලෙන් (Dias 1991 75-76,) හඳුනාගෙන ඇති අතර අනෙක හඳුනාගෙන ඇත්තේ අම්පාර පානම ප්‍රදේශයෙහි (Ibid 74)

නීලගිරිය පුරාවිද්‍යා ස්ථානයට වඩාත් සමීප පානම ප්‍රදේශයෙන් දෙවන ජෙට්ඨතිස්ස රජුගේ ලිපියක් හමුවන බැවින් මේ රජුගේ දැඩි සම්බන්ධයක් “මේ ප්‍රදේශය සමඟ පවතින්නට ඇත. එසේ හෙයින් මේ ලිපියෙහි සඳහන් ජෙටඨතිස්ස දෙවන දෙටුතිස් ලෙස හැඳින්වීම වඩාත් නිවැරැදි ය.

මෙම ශිලා ලේඛනවලට අමතරව ඉන් ඔබ්බෙන් පිහිටි නීලගිරි කදු පන්තිය ආශි‍්‍රතව පූර්ව බ්‍රාහ්මී (ක්‍රිස්තු පූර්ව 3 – 1) යුගයට අයත් ලෙන් ලිපි පවතින බව අනාවරණය වෙමින් පවතී. එසේම මෑත කාලීනව ගවේෂණවලින් ද සලපතල මළුව පර්යේෂණ කැණීම්වල දී ද ශිලා ලේඛන හමුවීමට ඉඩ ඇත. ඒ අනුව ඉදිරි පර්යේෂණවල දී නීලගිරිය ආශි‍්‍රත පුරාවිද්‍යාත්මක උරුමයන් නිසි පරිදි අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැ. බ. අධ්‍යක්ෂ, කේ. ඒ. එස්. නාමල් කොඩිතුවක්කු

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: