Posted by: lrrp | October 31, 2012

කරත්තයෙන් ගෙන ගිය මළ තරුණියක් පණ ගැන්වු ඇදුරොත් එදා පන්නල ගමේ හිටියා – කාව්‍ය ශි‍්‍ර පණ්ඩිත පන්නල ඤාණාලෝක හිමි

කාමය ද රාගය
කුණාටුව මහ මේඝය
වගෙයි එහි වේ ගය
එයින් කැලඹේ දිවියෙ ඕගය

ඉරිසියා කෙරුමත්
බොරු බස් නිතර කීමත්
අනුන් කෙට වීමත්
සැනසුමක් නැත කවරදාකත්

මමය මාගේ යන
මමත්වයටම උඩ පැන
දැඟලුවොත් මතු දින
සිටින්නට වෙයි ඔබට දණ ඇන

මේ මධුර මමෝහර ඔවදන් පිරි ‘සිරිත් මල් විසිතුර’ මම පෙර දා කියැවීමි. පුංචි දවස අප කියැවු ‘සිරිත් මල් දම’ නමැති මාහැඟි උපදෙස් කාව්‍ය සිහි කරන මේ ‘සිරිත් මල් විසිතුර’ ලීවේ පන්නල හාමුදුරුවන්ය. බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුළුබඩු පැකට් කරන ඒ ගම්මානයේ උපන් ඤාණාලෝක හිමියන් මේ වචන ගළපන්නේ සාධු සමාජයක් බිහි කිරීමේ අදිටනිනි. ඒත් දිනෙන් දින පල් වී සදාචාරයෙන් පිරිහෙන මේ සමාජයේ ඒ සාධු ජන සිරිත් කවදා නැගේවිද?

මම මොහොතකට ඒ සිතිවිල්ලෙන් මිදී පන්නල ගිය ගමන නැවත සිහිකරමි. හොඳ ආතා මේ ගමේ සත්පුරුෂයෙකි. දැනට අවුරුදු අසූ දෙකක් ආයු සපුරා ඇති මේ ආතාට ඒ නම වැටුණේ කොහොමද? මම වෙල් ඉපනැලි මැදින් නියරක් දිගේ ආතාගේ ගෙදරට යමින් මා සමඟ සිටි ගැමියකු විමසමි.

මහත්තයො, එදා පන්නල ගමේ සිටි පැරැන්නො හරිම කඩිසරයි. මොහොතක්වත් කාලය නිකරුණේ නාස්ති කෙළේ නැහැ. ආතාගේ ගෙදරට යන මේ මඟ දෙපස අද තරමක් වල් බිහිවෙලා. ඒත් හයි හක්තිය තිබුණු දවස්වල ආතා මේවා තියාගත්තෙ පුදුමාකාර පිරිසුදුකමකින්. නිදිකුම්බා පැලයක්වත් නිකරුණේ පැලවෙන්න ඉඩ තිබ්බේ නෑ. උදේ හිට රාත්තිරි වෙන තුරු කුඹුරු කෙටුවා. ඒ හැම මොහොතකම ආතාගේ කටින් ගිලිහුණේ සීපදයක්. නැත්නම් ගොයම් කවියක්… ආතා ළිඳකට පස් පිඩැල්ල කැපුවත් එතැන වතුර නිසැකයි. එයා සුබවාදීව හැම දේම බලපු නිසා “හොඳ ආතා” නම එතුමාට වැටුණා. කෙනෙක් කීය.

තවත් නිමේෂයකින් අප ආතාගේ පැරැණි ගෙදර මිදුලට පැමිණියෙමු. ආතා හා අත්තම්මා කාලයක් දැන හැඳින හුන්නාසේ අප පිළිගනිති. ගැමියෝ අප ගැන තොරතුරු උන්දෑට කියති. මේ පන්නල හාමුදුරුවන්ට අකුරු කියැවූ ගුරුවරයාය.

’ඒ කාලෙ ඔය පද්මසිරි කොලුවා හරි දඟයි. ඒ වගේම හුරතල්. ගල්ලෑල්ලෙ අකුර ලියලා කියුවා විතරයි එක පාරින්ම කොලුවා කියෙව්වෙ නැතෑ. කිසිම කරදරයක් බයක් නැතිව වචන ඉසිරෙව්වා. මං හිතේ සතුටට දරුවා ඔඩොක්කුවෙ තියාන පුංචි කවියක් කියලා දුන්නා මතකයි. දැන් ඒ කවිය මට මතක නෑ.”

පන්නල හාමුදුරුවන් මාපියන් හා නෑසියන් සමඟ…

පන්නල හිමියන් ගැන හොඳ ආතා තුළ ඇත්තේ අප්‍රමාණ භක්තියකි. ආදරයකි.

කොළඹ හා තදාසන්නයට වෙසක් මංගල්‍යය සිරි විසිතුරු නඟන්නේ යම් සේද පන්නල උතුර මේ ගමට බක් මහ සැණකෙළිය තරම් මහා මංගල්ලයක් නැත. ඔව්හු එක්ව අවුරුදු නැකැත් අල්ලා ඔළිඳ කෙළිය, රබන් කෙළිය මතු නොව අං ඇදීම පොර පොල් බිඳීම වැනි යාතුකර්ම ද කරති. ඒ අවුරුදු කාලයටය.

”මහත්තයො අපට කොයිතරම් ප්‍රශ්න තිබුණත් ඒ සියල්ලම අමතක කරලා අපි ගමේ ගම්මඩු නටනවා. අවුරුද්දට කොහේ හිටියත් ගමට ඇවිත් දවස් තුන හතරක් ගතකරලා තමයි ඔක්කොම යන්නෙ. අපේ ගමේ අනන්‍යතාව කවිය. දැති කවිවලට මේ ගම ප්‍රසිද්ධයි. ”රන්දැති රිදී දැති කොහොඹ කොබ්බෑ දැති” මේ ආකාරයෙන් කියැවෙන කවි රාශියක් මේ ගමේ තිබුණා. දැන් ඒවා දන්නා අත්තා මුත්තලා ගමේ නෑ. මිය පරලෙව ගිහින්. මේකත් එක්තරා ඛේදවාචකයක්. අපි ජීවත්වෙන්ඩ දුරු කතර ගිහින් කුළුබඩු ‘පැකට්’ වෙළෙඳාම කරලා දින ගණන් රස්තියාදු වෙලා ගෙදර එනකොට මේවා මතක නෑ. ඒ නිසාම ඒවා පරපුරෙන් ඈත් වුණා.

එහෙම කීවේ හාමුදුරුවන්ට ද නෑකමට පුතා වන පාලිත හේමචන්ද්‍ර තරුණ මහතාය. චන්ද්‍රසිරි අටුළුගම හිමියන්ගේ සහෝදරයාය. ඒ මහතා හිමියන් ගැන බොහෝ විස්තර කීය.

පොඩි දවසෙ ඉඳන් ම මල්ලි ඉගෙන ගන්ඩ දක්‍ෂයි. වැඩිය බලාපොරොත්තු නෑ. අපි කවුරුත් හොඳින් ඉගෙන ගෙන අපේ ගම පහුකරලා ලෝකෙටත් යන්ඩ ඕනෑ… එහෙම තමයි මල්ලි කවදත් හිතුවෙ…

ඒ.ජී. සිරිසේන මහතා ද ගමේ කටයුතුවලට සහාය දෙන ගමේ සැලකිය යුත්තෙකි. “අපේ ගමට ඉස්කෝලෙ පන්සල හැරුණම හොඳ කනත්තක් තියෙනවා. ඒත් මේ ගමට බොහොම දේවල් අඩුයි. ඒවා දිනාගන්ඩ තමයි අප වෙරවීරිය ගත්තෙ. ගමේ ඉඩම් ප්‍රශ්නය තිබෙද්දි එක්තරා කාලෙක නැසී ගිය සෞම්‍යමුර්ති තොණ්ඩමන් ඇමැතිතුමා මේ පළාතෙ මේ ගමට බෙදා දිය හැකි ඉඩම්වල දෙමළ ජනතාව පදිංචි කරන්ඩ ගත්තා. අපට ඒ පැත්තෙන් ලැබුණේ පිට්ටනිය විතරයි…” ඔහු කීය.

ඇත්තටම මේ මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න හඳුනාගැනීම වහා කළ යුතු කාරියකි. දිවි නැඟ2ම ව්‍යාපෘතිය අපට මහත් සහනයක් වෙනවා නම්… ඔව්හු හිස් අහසට අත් ඔසවා හූල්ලති. වඳිති.

කමලා පුෂ්පානි

මහා සමාජයෙන් කොන් වී ගිය මේ ගමට දිවිනැඟුම රන්දිය දහරක් විය යුතුය.

මේ ගමේ ඇත්තෝ බලිතොවිලයට, ශාන්තිකර්මයට, සර්ප විෂ වෙදකමට උපන් සමත්කම් පාති. සේබියන් ගුරුන්නාන්සේ ගමේ අද ජීවතුන් අතර නැතත් එතුමා ඉන්නා කාලයේ ද මේ පරිවාර ගම් වළල්ලේ ඇත්තන් ඔවුගෙන් ලබාගත් සේවය අප්‍රමාණය. ඒ විස්මිත සර්ප විස වෙදකම දැන් පාරම්පරිකව කරන්නේ සේබියන් ගුරාගේ ලොකු දුව කමලා පුෂ්පානිය. අඟුරුවැල්ලෙන් වරකාපොළට දුවන පාරේ 12 කණුව ළඟ පදිංචිව සිටින කමලා හමුවී සේබියන් සර්ප විෂ වෙද මහතා ගැන විමසීම ද වැදගත් වනු ඇතැයි මම සිතමි. මේ කමලා පුෂ්පානි (55) අප හමුවේ කළ විස්තරයකි.

”මගෙ තාත්තා තමයි පන්නල ගමේ හොඳම විෂ වෙද මහතා. සේබියන් කිව්වාම කවුරුත් දන්නවා. දිවයිනේ සතර දිග් බාගයෙන් තාත්තගෙන් වැඩ කරගන්ට ආවා. සර්පයන් ගෙදර තබාගෙන ආහාර දිදී ඒ අය නගරයෙන් නගරයට ගෙනගොස් ප්‍රදර්ශනය කළා. බෙයෙත් තෙල්, කල්ක, ගුලි, චූර්ණ තාත්තා වෙළෙඳාමට ගෙන ගියා. කෙනෙක් හිතේ කැමැත්තෙන් දුන් දෙයක් තමයි බාරගත්තෙ. අපේ තාත්තවත් මාවත් අනන්ත අප්‍රමාණ අවස්ථාවල සර්පයන් කාලා තියෙනවා.

හොඳ ආතා
ඒ.ජී. සිරිසේන
පාලිත හේමචන්ද්‍ර

ඒත් බෙහෙත් දන්නා නිසා ප්‍රශ්නයක් වෙලා නෑ. කමලා පුෂ්පානි කියූ අනුවේදනීය එමෙන්ම විස්මිත පුවතක් මා සිත තදින් පැහැර ගත්තේය.

මෙය වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත” යන්න මතකයට නඟන අවස්ථාවකි.

තාත්තා ඒ කාලෙ අම්පාර, පොලොන්නරුව, මඩකලපුව, මොනරාගල වැනි පෙදෙස්වලටත් සර්පයන් හා තෙල් බෙහෙත් අරගෙන රාජකාරියට ගියා. මේ කියන්නෙ 1940 – 50 ගණන්වල. දවසක් අම්පාරේ රාජකාරි කටයුතු අහවර කරලා ඉන්නකොට කරත්තයක ලස්සන බෝනික්කියක් වගෙ තරුණ දැරිවියක් දාගෙන නෑයො කරත්තය වටා පේළි සැදී අඬ අඬා ගෙදර යනවා. තාත්තා ළංවෙලා ඇහුවලු ඇයි මේ කියාල.

අපි දමන එග්ගල්ආර පැත්තෙ මිනිස්සු. මේ අපේ කෙලී සර්පයා ගහලා මළා. අරන් යනවා ඉලව්ගෙදරට. මෙහෙම එක් අම්මණ්ඩි කෙනෙක් කියනකොට තාත්තා ඇසුවලු මාත් එන්ඩද? කියලා. එකඟ වුණාලු.

ගෙදර ගිහින් දැරිය ලණු ඇඳකින් තැබුවාම තාත්තා නෑයින්ගෙන් අවසර අරන් බෙහෙතක් කරලා බලමු කීවාලු. නෑයො හා අසල්වැසියන් හිනා වුණාලු. ඒත් සර්පයා කෑ වේලාව, දවස, දූත ලක්‍ෂණ ආදිය අනුව තාත්තා තේරුම් අරන් තියෙනවා මේ ළමයා මැරිලා නෑ. සිහි විසඥවෙලා විතරයි කියලා.

අනෙක කෙනෙකුට දෂ්ට කළ මර්මස්ථානයක නොවේ තුවාල මුඛය තිබෙන්නෙත්. තාත්තා වෙදකම් කළාම ඒ දැරිවි නැගිටලා. සියල්ලෝ පුදුමවෙලා නොසෑහෙන්න තාත්තාට පින් දීලා. මාත් ඒ වගේ බොහෝ අය සුවපත් කරලා තියෙනවා. ඒත් අද බලන කෙනා සුවපත් වෙලා හෙට බලන්නෙ නැති තත්ත්වයක් තියෙන්නෙ. මිනිස්සු අවස්ථාවට විතරයි සලකන්නෙ.

ඒත් එදා ඒ ලෙස සුවපත් වූ ඒ දැරිවි තවමත් අපි බලන්ඩ එනවා. ඇගෙ තරුණ දූ පුත්තු පවා අපේ ගෙදර ඇවිත් තියෙනවා. තාත්තා මැරිලා කාලයක් ගියත් කෘතවේදිත්වය නිසා ඒ අය තාමත් එනවා. එහෙම එන්ඩ අවශ්‍ය නෑ. මතක තිබුණත් ඇති. අනෙක තාත්තා කියලා තියෙන්නෙ දෙන ගණනක් ගන්ඩ. සල්ලි ඉල්ලන්ඩ එපා කියලා.

දූත ලක්‍ෂණ කියලා දෙයක් තිබෙනවාද? ඒවා ඇත්තක් ද?

මොකෝ නැත්තෙ මහත්තයො. කිරි දරුවෙක් වඩාගෙන නැත්නම් කුඩා දරුවෙක් අතේ එල්ලගෙන, එහෙමත් නැත්නම් කෝට්ටක් අතින් රැගත් කාන්තාවක් ඇවිත් පණිවිඩය කිව්වොත් අනිවාර්යයෙන් ම “නාගදෂ්ටයක්” ඒ විදියට පොළොඟා, තෙල් කරවලා, කුණකටුවා මේ සතුන් කෑවාමත් දූත ලක්‍ෂණ තියෙනවා. කමලා පුෂ්පානි සර්ප විෂ වෛද්‍යවරිය කීවාය.

භයානකම සර්පයා ලෙස ඔබතුමිය හඳුන්වන්නේ කවරෙක්ද? මම අසමි.

පොළඟා කියලා තමයි බොහෝ අය හිතන්නෙ. ඒත් තෙල් කරවලා කෑවාම හුඟාක් බරපතළයි. වඩාත් ලොකුවට නොහිතුවට කුණකටුවත් විෂ සහිත සතෙක්. ඒත් මේ සත්තු එක්කෙනෙක්වත් මරන්න හොඳ නෑ. මේ හැම සතාගෙන් ම පරිසරයට, පරිසර සමතුලිතතාවට විශාල සේවයක් වෙනවා.

සතා කෑවාම අවස්ථා ගණනාවක් ඉක්මනින් පසු වෙනවා. ඊට ඉස්සර විෂ වෛද්‍යවරයා ළඟට ගෙනෙන්ඩ ඕනෑ. රජයේ රෝහල්වල ද කරන ප්‍රතිකාරයට සතා මරලා ගෙනියන්ඩ වෙනවනේ. අනෙක එයින් ලෙඩා සුව වුණත් අතුරු ආබාධ මැරෙනකම් තියෙනවා.

මොනවාද? මේ අවස්ථා ගණනාවක් ගැන කිව්වෙ..? මගේ කුහුල තවත් දැඩිය.

මාංශගත, මේදගත, රසධාතුගත, ඇටගත, ඇටමිදුළුගත ආදී වශයෙන් ගිහින් භයානකම අවස්ථාව අටමිදුළුගත වුණොත් ලෙඩා බේරගන්ඩ අමාරුයි.

ඒ අවස්ථාවට නාග දෂ්ටනයට ලක්වූවෙක් ගියොත් නව දොරින් පමණක් නොවෙයි නිය පොතු සිරසින් පවා කුණු සැරව ලේ වගුරනවා.

පන්නල ගමේ සොඳිනා වැනි කට්ටඩියන් ද සේබියන් වැනි සර්ප විෂ වෛද්‍යවරුන් ද තවත් බොහෝ දේවලට දක්‍ෂයන් ද පෙරදා සිටි බව මේ ගමේ කළ ගවේෂණයේදි අපට හෙළි විය. පන්නල ඤාණාලෝක හිමියන් එදා කොලොම්තොට වැඩ නවලෝක මුදලාලිගෙන් ලැබූ රුපියල් පන්දහසක ආධාරයෙන් පොල්අතු මඩුවක වැඩ හිඳ අද මනෝරම්‍ය නවලෝක විහාරය තනවා ගත්තේ අනන්ත දුක් කඳුළු හෙළමිනි. නවලෝක තොරණ 23 වතාවක් ප්‍රදර්ශනය කළේ උන්වහන්සේය. එච්.එම්. ධර්මදාස නවලෝක මුදලාලි බලාපොරොත්තු වූ කොලොම්තොට සේවය කළේ ද උන්වහන්සේය.

උන්වහන්සේට තමන් උපන් ගම පන්නල ද අමතක නොවිණ. සෝමා එදිරිසිංහ මැතිනිය, ජේ.ආර්.පී. සූරියප්පෙරුම හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් වැනි සාධු ජනන්ද රැගෙන උන්වහන්සේ ගමට ගොස් නොයෙක් ප්‍රජා කටයුතු කළහ.

වැඩිහිටියන්ට කණ්ණාඩි ප්‍රදාන, සායන හා දැනට සිටින ගමේ සියලුම දරුවන්ට බැංකු ගිණුම් පාස් පොතක් අරඹා කිසියම් වටිනා මුදලක් ද ප්‍රදානය කරනු ලැබිණි.

මේ ගමේ අයගේ ජීවන තත්ත්වය නැංවීම හෝ පාර තොට මං මාවත්, ප්‍රජා කටයුතු සකස් කිරීම හිමිනමකට හුදෙකලාව කළ නොහැක්කකි.

කවි හිමියන්ගේ ගම කවියක් මෙන් රමණීය වුවත් එහි ඇතුළාන්තය සෝබරය. එහි විරහ ගතියක් වියළි ගතියක් මට දැනෙයි. දිවි නැඟුම ඇස හිත මේ ගමට වැටී තිබීම අපේ සොම්නසට ද හේතු වෙයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: