Posted by: lrrp | November 14, 2012

සිංහල වේදිකාවේ නොමැකෙන සළකුණ මනමේ

මනමේ නාටකය පනස් හය වැනි සංවත්සරය සපුරයි

එක් දහස් නවසිය පනස්හය වූ කලී ශ්‍රී ලංකා වංශ කථාවේ අසාමාන්‍ය කාල නියාම හා, ධර්ම නියාම සමුදායකින් මෙහෙයවුණු ලැබු කාල පරිච්ඡේදයක් වූවා සේය.

දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය යෙදී තිබුණු ඒ වසරේ දී දියසේන කෙනෙකුගේ පහළ වීමක් ගැන එක්තරා ආන්දෝලනයක් විය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය මෙහෙයවා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින් එදා පැවති මහජන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දුන්නේ අභිමානවත් ජයග්‍රහණයකි.

ඒ සමඟ එතෙක් රටේ පාලන ක්ෂේත්‍රයේත් ජන ජීවිතයේත් ආධිපත්‍යය දැරූ බමුණු කුලය බිඳ වැටීම අදහාගත නොහැකි වූවකි. මහා සංඝ රත්නය හා බෞද්ධ මහජනතාව විෂයෙහි බෞද්ධ තොරතුරු පරීක්ෂණ වාර්තාව පිළිගැන්වීම ශාසනික අතින් වැදගත් සිද්ධියක් විය. නිදහස් මන්දිරයේ දී පැවැත්වූ බුද්ධ ජයන්ති වැඩ පිළිවෙළ ජාත්‍යන්තර මට්ටමෙන් සිදු වූ මහා උත්සවයකි.

යටත් විජිත යුගය ගෙවී ගොස් පොදු ජන යුගය උදා වෙමින් තිබු මේ අවධිය බණ්ඩාරනායක පාක්ෂිකයන් හැඳින්වූයේ සංක්‍රාන්ති යුගයක්, නැත්නම් Period of Transition  කියාය.

මේ එක්දහස් නවසිය පනස් හයේ දී උදාවූ දේශපාලනමය, සමාජයීය හා ශාසනික පුනර්ජීවයට තුඩු දුන් විප්ලවීය පෙරළියේ සුවිශේෂී පිය සටහන් කිහිපයක් වූ අතර, ඊට සමගාමීව උදා වූ සංස්කෘතික පුනර්ජීවයේ ප්‍රබලතම සන්ධිස්ථානයක් වූයේ එම වසරේ නොවැම්බර් 3 වැනි දින ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළි දැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයයි.

සරච්චන්ද්‍රයන් මනමේ නාටකය රචනා කොට නිෂ්පාදනය කරන ලද්දේ එක්දහස් නවසිය හතළිස් ගණන්වල ඇරැඹුණු සාහිත්‍ය කලා පුනරුදයත් සමඟ දේශජ නාට්‍ය සම්ප්‍රදායක් සොයා ගම් දනව් සැරිසරා ගිය දීර්ඝ ගමනකින් ලත් හරි දැකීම් මෙන්ම බටහිර නාට්‍ය කෘතීන් ගණනාවක් අනුවර්තනය කිරීමෙන් හා ස්වතන්ත්‍ර නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කිරීමෙන් ලත් අත්දැකීම් සමුදායක් ඇතිව සිටි අවධියකදී ය.

චීන හා ජපන් නාට්‍ය සමඟ සැසඳිය හැකි එක ම සිංහල නාට්‍ය විශේෂය නාඩගම යැයි ඇදහූ එතුමා එහි පවත්නා නිශ්චිත රංග රීතිය අනුගමනය කරමින් නාඩගම් ශෛලියෙන් පර්යේෂණ කළේ ය. ඒ ව්‍යායාමයේ අනුස්මරණීය කූට ප්‍රාප්තිය වූයේ මනමේ නාටකයේ උත්පත්තියයි.

මනමේ නාටකය වනාහි චුල්ල ධනුග්ගහ ජාතක කතාව වස්තු විෂය වශයෙන් එහි එන පතිද්‍රෝහයේ ආදිනව අළලා කෙරුණු නිර්මාණයකි. පති ද්‍රෝහි වූ කාන්තාව නිග්‍රහයන්ට භාජනය කිරීම ජාතක කතා කරුගේ අරමුණ වුව ද, සරච්චන්ද්‍ර ඊට වඩා වෙනස් වූ දෘෂ්ටියකින් සානුකම්පිතව ඇය දෙස බැලීමට උත්සාහ කිරීම නාට්‍යයේ විශේෂත්වයකි. ඉන් පළවන්නේ පේ‍්‍රමය පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹිය නොහැකි අසරණ කාන්තාවකගේ චෛසික ස්වභාවය දැක්වෙන අනුවේදනීය ජීවන දැක්මකි.

මනමේ පළමුවෙන් බිහි වූ අවධියෙහි සිංහල නාට්‍ය කලාව කෙබඳු තත්ත්වයක තිබුණිදැයි වටහා ගැනීමට උපකාර වන එක්තරා සිද්ධියක් සරච්චන්ද්‍රයන් සනිටුහන් කරන්නේ මෙසේය:

“දෙවෙනි රාත්‍රියෙහි, නැතහොත් තුන්වෙනි රාත්‍රියෙහි ‘මනමේ’ රඟ දක්වන අතර, මම බරාඳයට විත් වාඩිවී හුන්නෙමි. රැඟුම් පටන්ගෙන පැය බාගයක් පමණ ගතවන්ට ඇත. මැදි වියෙහි ස්ත්‍රියක් රඟහලට පැමිණියාය. ඇගේ ඇඳුම් පැලඳුම් වලිනුත්, සැරසීමෙනුත් ඈ කොළඹ හතේ කාන්තාවක් විය යුතුයැයි මම සිතුවෙමි. ඈ කිසිවක් දැන ගනු අටියෙන් මෙන්, බරාඳයෙහි ඔබ මොබ ඇවිද්ද බැවින්, ඈ නාට්‍ය බලන්ට ආවා වන්නට ඇතැයි මම සිතුවෙමි. ශාලාව තුළ ඉඩ තිබුණු බැවින්, මම ඇයට ටිකට් නැතිව හෝ ඇතුළ් කරන්ට අදහස් කළෙමි.

“මහත්මියට නාට්‍ය බලන්ට ඕනැද? එහෙනම් යන්න ඇතුළත” මම කීවෙමි.

“මොකක් ද මේ පෙන්නන්නෙ?” යි ඈ ඇසුවාය.

“මනමේ” නාට්‍යය

“මොකක්ද ඒ? සිංහල නාට්‍යයක් ද?”

“ඔව් සිංහල නාට්‍යයක්”

“කීයට ද ඉවර වෙන්නෙ?”

“අට වෙනකොට ඉවරයි”

“අටට ඉවරයි? වෙන්න බෑ” යි ඈ කීවාය.

මම සිනාසුනෙමි. නාට්‍යය ඉවර වෙන වෙලාව මම දන්නෙ නැත්නම්, කවුද දන්නෙ? යි මම සිතුවෙමි.

“මම හොඳටම දන්නව මේ නාට්‍යය අටට ඉවරයි” කාන්තාව අවඥා සහගත බැල්මකින් මා දෙස බැලුවාය.

“සිංහල නාට්‍යයක් ඔච්චර ඉක්මනට ඉවර වෙන්නෙ කොහොම ද?” කිව යුත්තේ කුමක්දැයි මම නොදත්තෙමි.

“ඉතින් කලින් යන්න ඕන නං යන්න බැරියැ” යි මම කීවෙමි.

“කැමතිනං නාට්‍යය ගිහිල්ල බලන්න, ටිකට් ඕන නැහැ.”

“චිඞ මං යන්නෙ නැහැ සිංහල නාට්‍ය බලන්න. මං මේ ඇහුවෙ මගේ වැඩකාරී එවන්න. ඒකිට මේවයෙ ඇවිල්ල දහය දොළහ වෙනකල් ඉන්න දෙන්න පුළුවන් යැ” මෙසේ කියමින් කාන්තාව යන්ට ගියාය”

(පිං ඇති සරසවි වරමක් දෙන්නේ)

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය මණ්ඩලය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මනමේ නාටකයේ මංගල දර්ශනය පණගැන්වූ පාත්‍ර වර්ගයා වූයේ කෞශල්‍යතා පූර්ණ විශ්වවිද්‍යාල ශිෂ්‍ය පිරිසකි.

ශ්‍යාමන් ජයසිංහ පොතේ ගුරු ලෙස ද, බෙනඩික්ට් සිරිමාන්න මනමේ කුමරු ලෙස ද, ට්‍රිලීෂියා අබේකෝන් සහ හේමමාලී ගුණසේකර මනමේ කුමරිය ලෙස ද, එඩ්මන් විජේසිංහ වැදි රජ ලෙස ද, චරිත නිරූපණය කළහ. ලයනල් ප්‍රනාන්දු, ඇම්. බී. අදිකාරම් හා ඉන්ද්‍රාණී පීරිස් ද අවශේෂ නළු නිළියන් අතර වූහ.

මනමේ නිෂ්පාදනයට අලංකාරයක් ලැබුණේ භාරතීය හා ලාංකීය ප්‍රතිමා ශිල්පයේ ආභාසය ලබමින් මහාචාර්ය සිරි ගුණසිංහ කළ වෙස් නිර්මාණයෙන් හා අංග රචනයෙන් ය. අනතුරුව, හෙන්රී ජයසේන මනමේ කුමරු ලෙස රංගනයට දායක වූ අතර, ඒ පී. ගුණරත්න පියසේන කොස්තා සහ පද්මකුමාර් එදිරිවීර අංග රචනයෙන් දායක විය.

නැටුම් නිර්මාණය වසන්ත කුමාරයන් අතින් වූ අතර, මනමේ රචනයේදීත්, නිෂ්පාදනයේදීත් සරච්චන්ද්‍රයන්ට සුවිශේෂී සහායක් ලබා දුන්නේ චිරාගත නාඩගම් සම්ප්‍රදාය මෙන්ම ජන ශ්‍රැතියෙහි හසල බුද්ධිමතකු වූ චාර්ලිස් ද සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ ය. මද්දලය පෙරටු කොටගත් වාද්‍ය වෘන්දය මෙහෙයවනු ලැබුයේ ද ගුණසිංහ ගුරුනාන්සේ විසිනි.

මනමේ නාටකයේ කළඑළි රංගයට සරච්චන්ද්‍රයන් ලයනල් වෙන්ඩ්ට් ශාලාව තෝරා ගත්තේ එකල එය ලංකාවේ තිබුණු හොඳම රඟහල වූ බැවිනි. එහෙත් ගැමි රුචිකත්වයට අනුකූලව හැඩගැසුණු නාට්‍යයක් සිංහල දේ හෙළා දකින පිරිසක් අතරට ගෙන යාම වටී ද යන දෙගිඩියාවක් එතුමා තුළ බලපවත්වන්නට විය. තවත් දෙයක් විය. මනමේ නාටකයේ ටිකට් විකිණීමට කොළඹ හතේ සමහර ගෙවල්වලට ගිය නාට්‍ය මණ්ඩලයේ නිලධාරින් “අපි සිංහල නාට්‍ය බලන්නෙ නෑ” යි ඇතැම් ගෙහිමියන් එළවාගත් බව ශිෂ්‍යයෙක් සරච්චන්ද්‍රයන්ට ඇවිත් කීය.

තම සිතෙහි දෙගිඩියාව සරච්චන්ද්‍ර ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ අයිති කරු වූ හැරල්ඩ් පීරිස් මහතාට දන්වා යැව්වේ ය. ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ සිංහල නාට්‍ය බලන්ට පේ‍්‍රක්ෂකයන් නොඑතියි කියන කතාව බොරුවක් බව ඔප්පු කිරීමටත් සමඟ මුලදි වෙන් කරවා ගැනීමට අදහස් කළ රාත්‍රි හතරට ම ශාලාව නොමිලයේ දීමට පීරිස් මහතා තීරණය කළේ ය. අන්තිමේ දී නාටකය කලඑළි බැස්සේ ය. සරච්චන්ද්‍රයන් පවසන අන්දමට හැරල්ඩ් පීරිස් මහතාට පාඩු වූවා පමණක් නොව, ඔහු ඔට්ටුවෙන් ද පැරදුණේ ය. ආරාධිත අමුත්තන් හා පුවත් පත් කරුවන් ඇතුළු පේ‍්‍රක්ෂකයන් පනස් දෙනෙක්වත් ශාලාව තුළ සිටින්ට ඇත්දැයි නොදනිමි. එහෙත්, පැමිණ සිටි පේ‍්‍රක්ෂකයන් ස්වල්ප දෙනා පැහැදුණු බව ඔවුන්ගේ ප්‍රතිචාරයෙන් දත හැකි විය.

සැලකිය යුතු කරුණ නම්, මනමේ ගැන පක්ෂපාතී වර්ණාත්මක සමාලෝචන ගණනාවක් ඉංගී‍්‍රසි පුවත් පත් වල පළ වුවද, සිංහල පුවත් පත්වල ඒ ගැන වචනයක්වත් පළ නොවීම ය.

දෙතුන් මසකට පසු මනමේ නාටකය යළි කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේ පෙන්වන ලද අවස්ථාවේදී එය දුටු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඒ ගැන උදම් අනමින් ලංකාදීපයේ ලියූ “වගතුග“ට පසු ය සිංහල පුවත්පත්කරුවන් ඒ ගැන යමක් ලියන්ට සිතුවේ.

මානවසිංහයන් මනමේ හැඳින්වූයේ “අභිරංගනයක්” ලෙසිනි. ඉන් පසුව අපේ රසික භවතුන් මනමේ බලන්නට වැල නොකැඩී රඟහල කරා ඇදී යන්නට පටන් ගත්තේ ය.

ලාංකික රසික ජනතාවගේ රස වින්දනයට උචිත නාට්‍යයක ස්වරූපය කුමක් විය යුතුදැයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ අවස්ථාව මනමේ නාටකයෙන් පහළ වූවා පමණක් නොව, ඒ නාට්‍ය ස්වරූපය තව දුරටත් ප්‍රගුණ කරගෙන යාමේ මාර්ගය පිළිබඳ වැදගත් හරි දැකීම් ද ඒ තුළින් හෙළි පෙහෙළි විය.

ඒ ප්‍රවණතාවය අනුව යමින් සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදනය කරන ලද සිංහබාහු, පේමතෝ ජායතී සොකෝ, හස්ති කාන්ත මන්තරේ, මහාසාර, වෙස්සන්තර, ලෝමහංස, භව කඩතුරාව වැනි නාට්‍ය ශ්‍රේෂ්ඨ නිර්මාණයන් විය. මනමේ නාටකය පෙරටු කොටගත් මේ නිර්මාණයන් මඟින් අප සමාජය තුළ වූ භාෂාමය හා සංස්කෘතිමය විවිධත්වය විසින් ඉදිකරන ලද පරතරයන් අකා මකාගෙන ආ විමුක්තිදායක වින්දනය හා ඒකාත්මික බවේ ප්‍රබලත්වය අප විසින් කෘතගුණ පූර්වකව සදහට ම සිහිපත් කළ යුත්තකි.

මනමේ නාටකය බිහි වී පනස් හයවැනි වසක් සපිරෙන මේ අවධියේ දී වෙසෙසින් ම සඳහන් කළ යුත්තේ දස දහස් වාර ගණනින් වේදිකා ගතවී ඇති ඒ නාටකය තරම් රසකාමී පේ‍්‍රක්ෂක චිත්ත සන්තානයට කිඳා බැසගත් වෙනත් නාට්‍ය නිර්මාණයක් නොමැති තරම් බව ය.

මනමේ ආරම්භක අංග රචනා හා වෙස් නිරූපණ ශිල්පී පද්මකුමාර් එදිරිවීර

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: