Posted by: lrrp | November 17, 2012

උතුරේ සුරැකිය යුතු බෞද්ධ උරුමය

ජනාධිපතිතුමාගේත්, ආරක්‌ෂක ලේකම්තුමාගේත්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේත් දූරදර්ශී අභීත නායකත්වය නිසාත්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙබළුන්ගේ අපරිමිත ධෛර්ය සහ කැපකිරීම් නිසාත්, බිඳලිය නොහැකි මහා බලවේගයක්‌ ලෙස උදම් අනමින් සිටි එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සංවිධානය අද සහමුලින්ම පරාජය කොට විජයග්‍රහණය භුක්‌ති විඳින ඒකීය රාජ්‍යයක්‌ බවට අපි අද පත්වී සිටිමු. අපගේ ප්‍රෙෘඪ ඉතිහාසය පුබුදුවමින් අහිංසක සිවිල් දමිළ වැසියන්ට සුළුවෙන් හෝ හානියක්‌ නොකරමින්, විජයග්‍රාහී ලෙස මෙන්ම ධාර්මිකව කළ මෙම මෙහෙයුම් ලෝකයේ බලවත්ම හමුදාවන්ට වුව ආදර්ශයට ගත හැකි අගනා මෙහෙයුම් බව වචනයේ පරිසමාප්තියෙන්ම කිව හැක. යුද්ධය මෙලෙස අවසන් කිරීම නිසා අප හමුදාවන් සහ නායකත්වය ලෝකයේ අපමණ පැසසුමට සහ කීර්තියට පත්වී ඇත. ලෙයින්, කඳුළින්, අපිරිමිත කැපකිරීම් තුළින් මේ ලද ජයග්‍රහණය වඩාත් අර්ථවත් කරගැනීමට කළ යුතු දෑ බොහොමයකි. යුද්ධයෙන් අවතැන් වූ ජනතාව ආරක්‌ෂිත ලෙස නැවත පදිංචි කොට අවුල් වූ සිවිල් පාලනය යළි ස්‌ථාපිත කිරීමටත්, ඔවුන්ගේ ගැටලු නිරවුල් කර වඩාත් උසස්‌ ජීවන තත්ත්වයක්‌ ලබාදීමටත් ශ්‍රී ලංකා රජය මේ වන විට විධිමත් වැඩ පිළිවෙළක්‌ අරඹා ඇත. එසේම යුද්ධයෙන් වැනසී ගිය අප රටේ සංස්‌කෘතික උරුමයන් යළි නඟා සිටුවීමද නොපමාව කළ යුත්තකි. මේ පිළිබඳ ගැඹුරු අවදානයක්‌ යොමු කර විධිමත් වැඩපිළිවෙළක්‌ සැකසීම, බුද්ධශාසන අමාත්‍යාංශයේත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේත්, සංස්‌කෘතික අමාත්‍යාංශයේත් මූලික වගකීමකි.

උතුරේ බොදු උරුමයේ මුදුන් මල් කඩ, සොලොස්‌ මහා ස්‌ථාන වලින් එකක්‌ ලෙස සැලකෙන නාග දීපයයි. බුදු වීමෙන් පස්‌ වසරකට පසු බක්‌ මස අමාවක පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළේ, චූලෝදර මහෝදර නාරජුන් දෙදෙනා අතර මැණික්‌ ඔබ්බවා නිමවුණු පුටුවක්‌ උදෙසා ඇතිවීමට ගිය මහා යුද්ධයක්‌ සමථයට පත් කිරීම සඳහාය. එය ලක්‌දිවට බුදුරජාණන් වහන්සේ වැඩම කළ දෙවන අවස්‌ථාවයි. යුද්ධ වැදීමට සැරසී සිටි පිරිසට යුද්ධයෙහි ඇති ආදීනවත් සාමයේ ඇති ඵලදායිතාවත් උන් වහන්සේ පැහැදිලි කරදුන් සේක. කරුණු අවබෝධ කරගත් චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා උන් වහන්සේට මිණිපලඟෙහි අසුන්ගෙන රැස්‌ව සිටි පිරිසට ධර්ම දේශනා කරන මෙන් ආරාධනා කළහ. ආරාධනය පිළිගත් උන්වහන්සේ මිණිපලඟෙහි වැඩ හිඳිමින් රැස්‌ව සිටි පිරිසට ධර්ම දේශනා කොට ඔවුන් තිසරණයෙහි පිහිටුවා බෞද්ධ උපාසකයන් බවට පත්කර නැවත දඹදිව ඡේතවනාරාමයට වැඩි සේක. බුදුරජාණන් වහන්සේගේ මෙම දෙවන ලංකා ගමනේදී

ඡේතවනාරාමයෙහි තිබුණු කිරිපළු ගසකට අධිගෘහිතව විසූ “සමිද්ධි සුමන” නම් වූ දේවතාවෙක්‌ එම කිරිපළු පස උගුලාගෙන පැමිණ බුදුරජාණන් වහන්සේට සෙවන සදන සේසතක්‌ ලෙස ධර්ම දේශනාව කළ කාලය පුරාවටම අල්වා ගෙන සිටි බව සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ වැඩ හිඳිමින් ධර්ම දේශනා කළ එම මැණික්‌ පුටුව නිධන් කර චෛත්‍යයක්‌ සාදා කිරිපළු ගසද ඒ අසලම රෝපණය කර නාගයෝ වැඳුම් පිදුම් කළහ. මෙම චෛත්‍යයත් කිරිපළු ගසත් යන දෙකම නාගදීප රජ මහා විහාරයෙහි දැකිය හැක.

නාගදීපයට ගොඩ බසින තොටුපළ සමීපයේම නාගදීප රජමහා විහාරය පිහිටා ඇති අතර, නාගදීපයේ මදක්‌ අභ්‍යන්තරයට වන්නට තවත් බෞද්ධ ආරාමයක්‌ දක්‌නට ඇත. මෙම ස්‌ථානය “බුද්ධ වලව්ව” ලෙස හැඳින්වෙන අතර, දෙමළ බසින් “බුද්ධ කර්ණී, බුද්ධ පල්ලම්” යන නම් වලින්ද හැඳින්වේ. මෙම සියලු බෞද්ධ උරුමයන් ජීවිත තර්ජන නොතකා නාවික හමුදාවේ ද සහාය ඇතිව රැක බලා ගන්නේ වර්තමාන විහාරාධිපති වන නවඳගල පදුමකිත්තිතිස්‌ස ස්‌වාමීන් වහන්සේ විසිනි.

නාගදීපයේ වෙසෙන දෙමළ බෞද්ධයෝ, සිංහල මෙන්ම ද්‍රවිඩ බසින් චතුරව ධර්ම දේශනා කළ හැකි උන්වහන්සේගේ නිත්‍ය ශ්‍රාවකයෝ වෙති. නාගපුශනි අම්මාන් කෝවිල වැඳීමට යන හින්දු භක්‌තිකයෝ බොහෝ දෙනා රජමහා විහාරයටද වැඳුම් පිදුම් කිරීමට පැමිණෙති. ඔවුන්ට ද උන්වහන්සේ දෙමළ බසින් ධර්ම දේශනා කරන සේක.

නාගදීපයද ඊට සමීපව පිහිටා ඇති අනලතිව්, එළුවතිව්, පරෙයතිව් යන දූපත්ද සිව් දෙසින්ම වතුරෙන් වට වී ඇති අතර, ඒවා යාපන අර්ධ ද්වීපය සමග හෝ එකිනෙක සමග මාර්ගවලින් සම්බන්ධ වී නොමැත. මන්ඩතිව් දූපත යාපන අර්ධද්වීපය සමග මාර්ගයකින් සම්බන්ධ කර ඇති අතර, පුංගුඩුතිව් දූපත මන්ඩතිව් වලටත්, කයිට්‌ස්‌ දූපත පුංගුඩුතිව් වලටත්, එවැනිම මාර්ගවලින් සම්බන්ධ කර ඇත. කරේයිනගර් දූපත මාර්ගයකින් යාපන අර්ධද්වීපයට සම්බන්ධ කර ඇත. යාපන අර්ධද්වීපයට එන අයෙකුට නාගදීපයට පැමිණිය හැකි කෙටිම මග වන්නේ යාපනයේ සිට මන්ඩතිව් වලටත් ඉන්පසුව පුංගුඩුතිව් වලටත් පැමිණ පුංගුඩුතිව් හි කුරිකට්‌ටුවාන් තොටුපළෙන් බෝට්‌ටුවකින් මුහුදු තරණය කිරීමෙනි. මෙය සාමාන්‍යයෙන් විනාඩි 10-15 ක පමණ මුහුදු ගමනකි. ඉහතකී දූපත් යාපන අර්ධද්වීපයට සමීපව පිහිටා ඇති අතර ඩෙල්ෆ්ට්‌ සහ කච්චතිව් යන දූපත් යාපන අර්ධද්වීපයට ඈතින් පිහිටා ඇත. ඩෙල්ෆ්ට්‌ දූපත තරමක්‌ විශාල දූපතකි. කච්චතිව් දූපත එතරම් විශාල දූපතක්‌ නොවන අතර, එය ශ්‍රී ලංකා-ඉන්දියානු මුහුදු සීමාව ආසන්නයෙහි පිහිටා ඇති, ශ්‍රී ලංකාවට අයත් දිවයිනකි.

මෙම දූපත් අතරින් අනලතිව්, පුංගුඩුතිව්, ඩෙල්ෆ්ට්‌ යන දූපත්වල බෞද්ධ නෂ්ටාවශේෂ හමුවී ඇත. අනලතිව් දූපත අතීතයේ හඳුන්වා ඇත්තේ “අග්නි දිවයින” යන නමිනි. මෙහි බොහෝ බෞද්ධ නටබුන් තිබී ඇතත්, වර්තමානයෙහි ඇත්තේ හින්දු කෝවිල් කිහිපයකි. පුංගුඩුතිව් දූපත එකල පුවංගු දිවයින නම් විණි. ලක්‌දිව අවසන් මහරහතන් වහන්සේලා සැට නම පුවංගු දිවයිනෙහි වැඩ සිටි බව ඉතිහාසය සාක්‌ෂි දරයි. උන්වහන්සේලා අපවත් වූ පසු භෂ්මාවශේෂ නිදන්කොට දාගැබ් සැටක්‌ කඳුරුගොඩහි (කන්ද රෝඩෙයි) කරවා ඇති අතර, එයින් දැගැබ් 56 ක අත්තිවාරම් 1916 දී සහ 1918 දී කළ කැනීම් වලදී සොයා ගෙන ඇත. එයින් දාගැබ් 16 ක්‌ හිරිගල් කොත්ද සහිතව මනා තත්ත්වයකින් පැවැති බවත්, බුද්ධ ප්‍රතිමා කීපයක්‌ද වෙනත් නටබුන්ද එම කැනීම් වලදී සොයාගත් බවත් සඳහන් වේ. කන්දරෝඩෙයි ප්‍රදේශයෙහි අක්‌කර හතක භූමි භාගයක්‌ 1948 දී රජයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මිලට ගෙන, කැනීම් සඳහා වෙන්කොට තිබූ බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. පුංගුඩුතිව් දූපතෙහි ද ස්‌ථාන කිsහිපයකම බොහෝ සේ විනාශ වුණු දාගැබ් වල නටබුන් දැකිය හැක. මෙම දාගැබ් ප්‍රමාණයෙන් කුඩාය.

ඩෙල්ෆ්ට්‌ දූපතෙහිද දාගැබ් කිහිපයකම නටබුන් ඇත. තවත් ස්‌ථානයක පාෂාණයක තැබූ යෝධ පා සලකුණක්‌ දැකිය හැකි අතර, මෙය ආදම්ගේ පා සටහන බව දූපත්වාසීහු පවසති. එහෙත් මෙය බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් සටහන සනිටුහන් කරන සංකේතයක්‌ද විය හැක. දාගැබ් වලට නුදුරින් වෘක්‌ෂ ලෙනක්‌ද, පිරිසිදු වතුර ඇති පාෂාණමය වතුර උල්පතක්‌ද පිහිටා ඇත. වරක්‌ මෙම බෞද්ධ නටබුන් වලට හානි කිරීමට ඩෙල්ෆ්ට්‌ දූපත්වාසීන් පිරිසක්‌ උත්සාහ කරන බව පදුමකිත්තිතිස්‌ස හාමුදුරුවන්ට දැන ගන්නට ලැබී ඇත. උන්වහන්සේ නොපමාව නාවික හමුදාවෙහි සහාය ලබාගෙන, මෙම බෞද්ධ නටබුන් ආරක්‌ෂා කර ගැනීමට කටයුතු කළ සේක.

ඈත අතීතයේ ලක්‌දිව උතුරු පෙදෙසෙහි ජම්බුකොළ සහ මහාතිත්ථය වශයෙන් ප්‍රධාන තොටුපළ දෙකක්‌ විය. මහාතිත්ථය යනු මාවටුකොටයි. ජම්බුකොළ යනු දඹකොළ පටුනයි. ශ්‍රී මහා බෝධි ශාඛාව රැගත් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස පැමිණි නැව සේන්දු වූයේ ඉහතකී ඓතිහාසක දඹකොළ පටුනටයි. එහිදී දේවානම්පියතිස්‌ස රජු ප්‍රීතියෙන් ඉපිලෙමින් කරවටක්‌ වතුරේ ගොස්‌ ඉමහත් ශ්‍රද්ධාවෙන් බෝධිය පිළිගත් බව ඉතිහාසය සාක්‌ෂි දරයි. යාපනයේ සිට කරෙයිනගර් දෙසට, පොන්නාලේ – මාදගල් බුහුදුබඩ මාර්ගයෙහි කි.මී. 14 ක්‌ පමණ යනවිට චුලිපුරම් යනුවෙන් කුඩා ග්‍රාමයක්‌ හමුවේ. එම ගමට ආසන්නව වෙරළාසන්නව එම ඓතිහාසික දඹකොළ පටුන පිහිටා ඇති අතර, එය වර්තමානයේ හැඳින්වෙන්නේ සම්බුතුරෙයි යන නමිනි. ශ්‍රී මහා බෝධිය අනුරාධපුරයට වැඩම කරවූ එම බෝධි පෙරහැර සූදානම් වනතුරු, සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිසට චුලිපුරම්හි දින කිහිපයක්‌ රැඳෙන්නට සිදුවූ අතර, එම කාලය තුළ එක්‌ එලරුහ බෝධියක්‌ දේවානම්පියතිස්‌ස රජු විසින් එහි රෝපණය කරන ලදී. සංඝමිත්තා බෝධිය නමින් හැඳින්වෙන එම බෝධිය වර්තමානයේ පිහිටා ඇත්තේ “පරලේ කන්ද ස්‌වාමි කෝවිලට” අයත් ඉඩමෙහිය.

ශ්‍රී මහා බෝධිය දඹකොළ පටුනේ සිට අනුරාධපුර නගරයේ උතුරු දොරටුව කරා වැඩම කරවීම සඳහා, පොළව මට්‌ටමට වඩා උසින් පිහිටන සේ ගල්කණු යොදා අලංකාර මාර්ගයක්‌ දේවානම්පියතිස්‌ස රජතුමා විසින් කරවන ලද බව ඉතිහාස කරුණු දක්‌වයි. එකී මාර්ගය දඹකොළ පටුනෙන් (සම්බුතුරෙයි) පටන්ගෙන, හුණුගම (චුන්නාකම්), කඳුරුගොඩ (කන්දරෝඩෙයි), අඹගම (අම්පකාමම්), ඔලුක්‌කම් නල්ලරු, පවරකුලම, මල්වතුඔය හරහා වැටී තිබුණු බව තහවුරු වන්නේ, එම ගල් පාලමෙහි නටබුන් එම ස්‌ථානවලින් මතුවී ඇති බැවිනි. අනුරාධපුර උතුරු පෙදෙසෙහි ද මෙම ගල් පාලමෙහි නටබුන් දක්‌නට ඇත.

දඹකොළ පටුනෙන් පිටත්වූ බෝධි පෙරහැර අනුරපුර නගරයේ උතුරු දොරටුව කරා සේන්දු වීමට සති දෙකක පමණ කාලයක්‌ ගතවූ බව සිතිය හැක. ඉතිහාසයත්, උතුරු පෙදෙසෙන් මතුවී ඇති බෞද්ධ වෙහෙර විහාර වල නටබුන් වල පිහිටීමත් සැලකීමේදී, දේවානම්පියතිස්‌ස රජු සහ අනෙකුත් සිංහල රජවරුන් විසින් ශ්‍රී මහා බෝධිය වැඩම කරවූ එකී ගමන් මග වැටී තිබුණු ග්‍රාමයන් වල වෙහෙර විහාර ගණනාවක්‌ කරවා ඇති බව මනාව තහවුරු වේ.

ශ්‍රී ලංකාවෙහි බෞද්ධ සිද්ධස්‌ථාන සෑදවීම ආරම්භ කරන ලද්දේ දේවානම්පියතිස්‌ස රජතුමා විසිනි. ශ්‍රී මහා බෝධිය පිළිගත් දඹකොළ පටුනෙහි (සම්බුතුරෙයි) “සමුද්පන්නසාලා” නමින් විහාරයක්‌ද, ඊට සමීපයෙන් “තිස්‌ස” නමින් විහාරයක්‌ද, දඹකොළ පටුනට නැගෙනහිරින් පාචිනාරාමය නමින් විහාරයක්‌ද, දේවානම්පියතිස්‌ස රජතුමා විසින් කරවන ලද බව මහා වංශයෙහි 20 වැනි පරිච්ඡේදයෙහි සඳහන් වේ. අද්මිරාල් දයා සඳගිරි මහතා නාවික හමුදාපතිව සිටියදී ඔහුගේ මූලිකත්වයෙන් නාවික හමුදාව විසින් සංරක්‌ෂණය කොට ප්‍රතිසංස්‌කරණය කරන ලද්දේ මෙම විහාර තුනෙන් එකක්‌ විය හැක.

මහල්ලකනාග රජු විසින් තේතවේලි විහාරය කරවන ලද බව මහාවංශයේ 35 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. රාජායතන චෛත්‍යය කරවන ලද්දේ කුමන රජු විසින්ද යන්න හරිහැටි නිශ්චය කළ නොහැකි නමුත්, දෙවැනි අග්බෝ රජු එම චෛත්‍යයේ වටදාගෙය කරවූ බවට මහා වංශයේ 41 වන පරිච්ඡේදය සාක්‌ෂි දරයි. අද වල්ලිපුරම් යනුවෙන් හැඳින්වෙන ස්‌ථානය අතීතයෙහි “බදකර අතනය” නම් විය. මෙහි පැරණි දාගැබක නටබුන් දැනුදු දක්‌නට ඇති අතර, 1936 දී එම දාගැබ අසල කරන ලද කැනීම් වලදී මතුවූ රන් තහඩුවක ඇති සටහනකට අනුව එම දාගැබ “පියංගුකතිස්‌ස” විහාරය බවත්, එය වසභ රජුගේ “ඉසගිරියේ” නම් ඇමැතිවරයකු විසින් කරවන ලද බවත් සනාථ වේ.

1890 දී පමණ වල්ලිපුරම් හි තිබී ඉතා අගනා කලාත්මක කිරිගරුඩ බුදු පිළිමයක්‌ද සොයා ගැණුනි. සර් හෙන්රි බ්ලේක්‌ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරයා විසින් 1906 දී යාපනය සංචාරය කළ සියම් රජුට එම බුදු පිළිමය පරිත්‍යාග කළ අතර එය මේ දක්‌වා තායිලන්තයේ ඇත. තවද සංකවත්තෙයි (සංඝවත්ත), නාගර කෝවිල් (නාගකෝවිල), කන්දරොඩෙයි (කඳුරුගොඩ), තෙලිප්පලෙයි (තෙලිපොල), මල්ලාකම් (මල්ලාගම), විමන්කාමම් (වීමන්ගම), කීරමලෙයි (කිරිමලේ) ආදී ස්‌ථානවල බොහෝ බෞද්ධ නටබුන් ඇති බව කිව හැක. මෙයින් කන්දරෝඩෙයිහි ඇති කදුරුගොඩ මහා විහාරයත්, විමන්කාමම් හි ඇති මිනිවන්ගොමු මහා විහාරයත්, පුරා විද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත්ය.

1902 දී චුන්නාකම්හි (හුණුගම), කොඩ්ඩියාවත්ත පෙදෙසෙහි තිබී ඉතා කලාත්මක හිරිගල් බුදුරුවක්‌ මතු කරගත් බව සඳහන් වේ. තවද මාකයප්පිටියේ ගණදෙවි කෝවිල අසල හිරිගලෙන් නිමැවුණු අඩි 8 ක්‌ පමණ උසැති මෛත්‍රී බෝධිසත්ව රූපයක හෝ රජ රූපයක කොටසක්‌ ලෙස අනුමාන කළ හැකි පා යුවලක්‌ දක්‌නට ඇත.

චුලපුරම්හි, සම්බුතුරෙයි (දඹකොළ පටුන) සමීපයේම තිරුවඩිනිලෙයි පිහිටා ඇත. තිරුවඩිනිලෙයි, ශුද්ධ වූ ශ්‍රී පාදය යන අරුත දක්‌වයි. එහි වෙරලේ සිට මුහුදෙහි යාර කිහිපයක්‌ ගිය තැන, මුහුදු ජලයෙන් යට වුණු ගලක පිරිපා සටහන ඇති බවත්, එහි ඉපැරැණි බෞද්ධ විහාරයක්‌ තිබුණු බවත් ප්‍රදේශවාසීහු පවසති. පස්‌වෙනි ශත වර්ෂයේදී ලංකාවට වැඩම කළ චීන ජාතික පාහියන් භික්‌ෂූන් වහන්සේගේ ගමන් විස්‌තරයේද, ඉහතකී ශ්‍රී පාද ස්‌ථානය පිළිබඳ සහ සමනළ කන්දෙහි ඇති ශ්‍රී පාද ස්‌ථානය පිළිබඳ සඳහන් වේ.

යාපනයේ සිට ඒ 9 මාර්ගයෙහි වව්නියාව දෙසට එනවිට කිලිනොච්චිය පසුකළාට පසු මාන්කුලම් සතර මං සන්ධිය හමුවේ. එම මං සන්ධියේ සිට ඔඩ්ඩුසුඩාන් දක්‌වා දිවෙන මාර්ගය තේක්‌ක වගා කළ ප්‍රදේශයක්‌ සහ වනාන්තරයක්‌ හරහා වැටී ඇත. මෙම මාර්ගයෙහි ඕලුමඩු සහ පරණ නුවර පාර මං සන්ධිය පසුකර, ඔඩ්ඩුසුඩාන් දෙසට මඳ දුර ගොස්‌ නැවතත් උතුරු දෙසට සහ ඊසාන දෙසට ඝන වනාන්තරය හරහා ගියවිට, ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ හමුවේ. මෙම ප්‍රදේශය මා ඉහත සඳහන් කළ පරිදි ශ්‍රී මහා බෝධිය දඹකොළ පටුනේ සිට අනුරාධපුරයට වැඩම කරවූ මාර්ගයට අයත්ව තිබුණු අඹගම (අම්පකාමම්) නම් වූ ප්‍රදේශයකි. 1997 දී ජයසිකුරු මෙහෙයුම ඇරඹුණි. 1998 අග භාගයේදී යුද්ධ හමුදාව සහ නාවික හමුදාව අපමණ කැපකිරීම් කර මෙම අම්පකාමම් ප්‍රදේශය කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගත්හ. ඒ වන විට එකී බෞද්ධ සිද්ධස්‌ථානයේ තිබුණේ කොටි කාන්තා බලකායේ කඳවුරකි. අගනා කලාත්මක හිටි බුදු පිළිමයක්‌ තිබුණු අතර, එහි සිරි පතුල් සංඛ පද්මයෙන් වෙන් කොට තිබුණි. සිරස පුපුරවා සිඳ දමා තිබුණු අතර, එහි කොටස්‌ යාබද වැව් පත්ලක සඟවා තිබිණි. බුදු පිළිමය වැව වෙත ඇදගෙන ගොස්‌ තිබූ අතර, කොටි කෙල්ලන් තම රෙදි එහි ගසමින් සේදූ බවට සලකුණු දිස්‌විණි. දවස්‌ ගණන් කුසට අහරක්‌ නැතිව, නිදි වර්ජිතව සිටි යුද හමුදා සහ නාවික හමුදා සෙබළු ප්‍රථමයෙන්ම කළේ බුදු පිළිමය නිසි තැනට ඔසවා ගෙන ගොස්‌ සිරි පතුල් සංඛ පද්මයට සිමෙන්තියෙන් සම්බන්ධ කර පිරිසිදු කර, එය සිටුවා පහන් දැල්වීමයි. සිරස සෙවීමට ගත් උත්සාහය නිශ්ඵල විය. පරණ නුවර පාර මං සන්ධිය සහ අම්පකාමම් සිට ඔඩ්ඩුසුඩාන් දක්‌වා ආරක්‌ෂාව නාවික හමුදාවට භාරවුණි. අම්පකාමම් බෞද්ධ සිද්ධස්‌ථානයෙහි නටබුන් සමග ගල්කණු වූ අතර ඒවා දේවානම්පියතිස්‌ස රජතුමා විසින් ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම සඳහා කරවන ලද ඉහත කී ගල් පාලම් මාර්ගයෙහි කොටස්‌ බව කිව හැක.

මෙම ස්‌ථානය සංරක්‌ෂණය කිරීම සඳහා එවකට උතුරු මැද බළකායේ ආඥපතිව සිටි රියර් අද්මිරාල් එල්. ඩී. ධර්මප්‍රිය මහතාගත් උත්සාහයද නාවික සෙබළුන් සහ නාවික කිමිදුම්කරුවන් කළ කැපකිරීම්ද අතිශයින්ම ප්‍රශංසනීය බව කිව යුතුමය. මාස කිහිපයකට පසු නාවික හමුදා කිමිදුම්කරුවන් කිමිදෙමින් වැව් පත්ල සෝදිසි කළද සිරස සොයා ගත නොහැකි විණි. පන්පසුව වියළි කාලයේදී වැවේ වතුර සිඳී ගිය අවස්‌ථාවක වැව් පත්ලේ කැණීම් කර ඉමහත් දුෂ්කරතා මැද පුපුරුවන ලද සිරසෙහි කැබලි කීපයක්‌ සොයා ගැනිණි. මෙම ස්‌ථානය පිළිබඳව නාවික හමුදාව සංස්‌කෘතික සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිහිපවිටක්‌ දන්වා තිබුණත්, ආරක්‌ෂාව සහතික කර තිබියදීත් ඒවායේ කිසිදු නිලධාරියකු සංරක්‌ෂණ හෝ ගවේෂණ කටයුතු සඳහා එහි නොපැමිණි බව කනගාටුවෙන් වුවද කිව යුතුමය. 1999 නොවැම්බර් මස මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් ඉදිරි ආරක්‌ෂක වලල්ල බිඳ වැටී පසු බැසීමට සිදුවීමත් සමගම, එකී අම්පකාමම් බෞද්ධ සිද්ධස්‌ථානය නැවතත් අපට අහිමි විණි.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන්, විවිධ වකවානුවලට අයත් පැරණි කාසි වර්ග හමුවී ඇත. අනේපිඩු සිටුතුමා බුදුරජාණන් වහන්සේට පූජා කිරීම සඳහා ඡේතවනාරාමය භූමිය මිලදී ගැනීමට එම භූමිය වැසෙන පරිදි රිඳීකාසි බිම ඇතිරූ බව සඳහන් වේ. “කහාපණ” නම් වූ එම රිදී කාසි වර්ගය වල්ලිපුරම්, කන්දරෝඩෙයි, සම්බුතුරෙයි ආදී නොයෙක්‌ ස්‌ථානවලින් හමුවී ඇත. තවද බෝගස, දාගැබ, ස්‌වස්‌තිකය, ඇත්රුව ඇති තඹ කාසිද, ගජ ලක්‌ෂ්මි සහ සිංහල බෞද්ධ ස්‌වස්‌තික සටහන සහිත කාසිද, උතුරු පෙදෙසින් කැණීම් වලදී හමු වී ඇති බව සඳහන් වේ.

ඒ 9 මාර්ගයේ වවුනියාව පසුකර අනුරාධපුරය දෙසට එනවිට පුනෑව සහ මැදවච්චිය අතර ඉසින්බැස්‌සගල මහා විහාරය විශාල ගල්තලාවක්‌ උඩ පිහිටා ඇත. මෙම ස්‌ථානය අවට බොහෝ බෞද්ධ නටබුන්ද, ගල් පාලමට අයත් යෑයි සිතිය හැකි ගල් කණු ද ඇති අතර ඒවා දැනට වනාත්තරය විසින් ගිලගනු ලැබ ඇත.

ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අප මවුබිම ඒකීය රාජ්‍යයක්‌ ලෙස ආරක්‌ෂා විණි. මීට පෙර අවසන් වතාවට අප රට එක්‌සේසත් කරන ලද්දේ කෝට්‌ටේ හයවැනි පරාක්‍රමබාහු රජතුමා විසිනි. රජුගේ අණ පරිදි සපුමල් කුමරු බලවත් හමුදාවක්‌ රැගෙන යාපන අර්ධද්වීපයට ගොස්‌ නාවත්කුලී පෙදෙසේ තිබූ ආර්ය චක්‍රවර්තිගේ බලකොටුව විනාශ කර එකල යාපා පටුනෙහි අගනුවර වූ නල්ලුරුව ජය ගත්තේය. සපුමල් කුමරු උතුරු පෙදෙසහි ආණ්‌ඩුකරු ලෙස 1450 සිට 1467 දක්‌වා නල්ලූර් හි වාසය කළ බව සඳහන් වේ. නල්ලූර් හි කන්දසාමි කෝවිලේ පැවැත්වෙන දේව පූජාවන් වලදී කියෑවෙන දේව ස්‌තෝත්‍ර පාඨ මනා අවධනයකින් අසන විට, සපුමල් කුමරු පිළිබඳව ඒවායේ සඳහන් වන බව පැහැදිලි වේ. රට එක්‌සේසත් කළාට පසු රජු සහ සපුමල් කුමරු ආර්ය චක්‍රවර්ති විසින් විනාශ කරන ලද බෞද්ධ සිද්ධස්‌ථාන බොහෝමයක්‌ ප්‍රතිසංස්‌කරණය කරවා ඇත. වර්තමානයේදී ද මෙලෙසම බුද්ධ ශාසන අමාත්‍යංශයේත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේත්, සංස්‌කෘතික අමාත්‍යංශයේත් දායකත්වය යටතේ විනාශ කරන ලද බෞද්ධ සිද්ධස්‌ථාන ප්‍රතිසංස්‌කරණය වන්නේ නම් පුරා විද්‍යා කැණීම් සිදුවන්නේ නම් ඉතා අගනේය. එහෙත් එකී ආයතන මේ පිළිබඳව නිෙද්‍රdaපගත ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමින්, උතුරු පෙදෙසෙහි බෞද්ධ උරුමය රැක ගැනීමේ වගකීමද පැහැර හැර ඇති බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ශ්‍රී ලංකාව ඉංගී්‍රසින්ගේ යටත් විජිතයක්‌ ලෙස පවතින කාලයේ සිටම උතුරු බොදු උරුමය පිළිබඳව ගැඹුරින් කරුණු සොයන්නටත්, කැණීම් කරන්නටත්, පටන් ගත් අයෙකි ශ්‍රීමත් පෝල්. ඊ. පීරිස්‌ මැතිතුමා. එතුමාට ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රණාමය හිමි විය යුතුමය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මින් මතුවටවත් එතුමාව ආදර්ශයට ගෙන උතුරු බොදු උරුමය සුරැකීමට කටයුතු කරනු ඇතැයි මම උදක්‌ම බලාපොරොත්තු වෙමි.

උතුරේ බෞද්ධ උරුමය රැක ගැනීමේ විශාල වගකීමක්‌ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාටද ඇති බව මතක්‌ කරදීමට සිදුවී ඇත. අද නොයෙකුත් රූපවාහිනි වැඩසටහන් වල පෙනී සිටීමට භික්‌ෂූන් වහන්සේලා අතර දැඩි තරගයක්‌ ඇති නුමුදු, උතුරු පෙදෙසෙහි ඇති බෞද්ධ සිද්ධස්‌ථාන සහ ආරාම වල වැඩ වාසය කරමින් ඒවා රැක ගැනීමට ඉදිරිපත් වන භික්‌ෂූන් වහන්සේලා ඉතා අල්ප වීම සංවේගයට කරුණකි. “මහා සිංහලේ වංශ කථාව” වැනි රූපවාහිනි වැඩසටහන් මගින් ඉතිහාසය පුන පුනා ආවර්ජනය කිරීමෙන් පමණක්‌ම හෝ උතුරු නැගෙනහිර පෙදෙස්‌ වල තිබුණු බෞද්ධ වෙහෙර විහාර පිළිබඳව පත පොත ලිවීමෙන් පමණක්‌ම, අපගේ උතුරු – නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්‌ෂා නොවේ. මේ පිළිබඳව ගැඹුරු දැනුමක්‌ ඇති භික්‌ෂූන් වහන්සේලා පෙරමුණ ගෙන සංවිධානය වී උතුරු – නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථානවල වැඩ වාසය කරමින්, එහි බොදු උරුමයත්, ශාසනයත් සුරැකිය යුතුය.

නාගදීප රජමහා විහාරයේ මුල්ම විහාරාධිපති, පූජ්‍ය රන්දොඹේ සෝමසිරිතිස්‌ස ස්‌වාමීන් වහන්සේය. ඉන්පසුව පූජ්‍ය පණ්‌ඩිත බ්‍රහ්මණවත්තේ ධම්මකිත්ති තිස්‌ස ස්‌වාමීන් වහන්සේ විහාරාධිපති වූ අතර, වර්තමාන විහාරාධිපති පූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්‌ස ස්‌වාමීන් වහන්සේය. උන්වහන්සේ වර්ෂ 1973 දී වයස 11 දී නාගදීපයේ දී පැවිදි වූ අතර දැනට නාගදීප රජමහා විහාරයේ තනිවම වැඩවාසය කරයි. එම ස්‌වාමීන් වහන්සේලාට මරණීය තර්ජන තිබුණද, දානය අතපසු වුණද එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් කිහිපවරක්‌ විහාරයට හානි කළද, ඒ කිසිවක්‌ නිසාවත් උන්වහන්සේලා නාගදීප රජමහා විහාරය අත් නොහැරී සේක. උතුරු බෞද්ධ උරුමයේ මුදුන් මල්කඩ දිවිහිමියෙන් රැකගත් සේක. මේ පිළිබඳව බෞද්ධයන්ගේ නොමඳ ප්‍රණාමය, ඒ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට ලැබිය යුතුමය. රූපවාහිනි නාලිකාවල නිතර පෙනීසිටීමට රුචිකත්වයක්‌ දක්‌වන භික්‌ෂූන් වහන්සේලාට මෙය ආදර්ශයක්‌ වනු ඇතැයි මම සිතමි.

එක්‌ රන්වියනක්‌ ඇති බෞද්ධ සිද්ධස්‌ථානයකට රන්වියන් දෙක තුනක්‌ ඉදි කිරීමටත්, එක්‌ රන් වැටක්‌ ඇත්නම් රන් වැටවල් තව දෙක තුනක්‌ කරවා පූජා කිරීමටත් අපගේ බෞද්ධ ගිහියන් උත්සුක වනු අපි දැක ඇත්තෙමු. උතුරු නැගෙනහිර විනාශ වීගෙන යන බෞද්ධ සිද්ධස්‌ථාන ප්‍රතිසංස්‌කරණය කොට රැක ගැනීම සඳහා මුදල් ආධාර ලබා දීමත්, අපමණ දුෂ්කරතා මැද එම ස්‌ථාන වල වැඩ වාසය කරන භික්‌ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීමත්, ඊට වඩා මහඟු පුණ්‍ය කර්මයක්‌ බව, යථාර්ථවාදීව විචක්‌ෂණ බුද්ධියෙන් සිතන්නේ නම් ඔවුනට පැහැදිලි වනු ඇත. ගමන දුෂ්කර වුවද උතුරු – නැගෙනහිර බෞද්ධ නටබුන් සහ සිද්ධස්‌ථාන දැක බලාගෙන වන්දනා මාන කිරීමත්, ඒවා සුරැකීමට සහාය දීමත්, දරුවන්ට ඒ පිළිබඳව මනා අවබෝධයක්‌ ලබා දීමත්, ඒවායේ වැඩ වාසය කරන භික්‌ෂූන් වහන්සේලාට දාන මානාදිය පිළිගැන්වීමත්, බෞද්ධ ගිහියන් වන ඔබගේ පරම යුතුකමක්‌ මෙන්ම වගකීමක්‌ද වන බව වචනයේ පරිසමාප්තියෙන්ම කිව හැක.

ලෙයින්, කඳුලින්, අපමණ ජීවිත පරිත්‍යාගයන් තුළින් ලද මෙම විජයග්‍රහණය නිසා, අපගේ සංස්‌කෘතික උරුමයන් රැකගෙන ජාතික අභිමානය වඩාත් තිව්‍රව ගොඩනඟා ගත හැකි අවස්‌ථාවක්‌ අද උදාවී ඇත. ඒ විජයග්‍රහණයත්, එයින් ලද උතුම් නිදහසත්, වඩාත් හරවත් ලෙස පරිහරණය කිරීම, අපගේ විරුවන්ට කරන උතුම්ම උපහාරය වනු ඇත. මෙහිදී හග්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න කවියාණන් 1939 දී ලියූ කවි පද දෙකක්‌ මා සිතට නැගෙන අතර එයින් මාගේ ලිපිය නිම කිරීම උචිත යෑයි සිතමි.

වල් බිහිවෙලා ගහණව කටු ගස්‌ පඳු රු
බොල් විය සිහල බල අබිමන් විය අඳු රු
කුල් මත් වෙයව් අද දේසාලෙන් සොඳු රු
ඔප් වමු අපේ බොදු උරුමය දෙරණේ උතු රු

සුලු යයි නොසිතමින් හැමටම නොව සං කා
කුලු පග කමින් සිත් තුළ නොමැතිව වං කා
සැලු යෙන් වටේ සමුදුර මඳ නල පං කා
මුළු ලොව පතුරවමු ජය හඬ සිරි ලං කා

වෛද්‍ය ලූතිනන් කොමාන්ඩර්
පී. කේ. ඉශාන්ත ගුණතිලක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: