Posted by: lrrp | November 19, 2012

මුස්‌ලිම්වරුන් අතින් වැනසුන සෙනවිරද් පිරිවෙන

නව වන දසවන සියවස ආසන්න කාලයේ රජරට ශිෂ්ඨාචාරයේ ඇතිවූ දියුණුව සනිටුහන් කරන සළකුණු දක්‌නට හැකි එක්‌ ස්‌ථානයක්‌ වන්නේ පදවිය වාහල්කඩ ප්‍රදේශයයි. මහසෙන් රජු විසින් කරවන ලදැයි සැලකෙන පදවිය උතුරු මැද පළාතේ මහා වාරි සංස්‌කෘතිය පණ ගැන්වූ අසම සම නිමාණයකි. එකළ එයට මහා සාගරය යන නාමය ද භාවිතා වූ බව පෙනේ. එම වැවට දකුණු පසින් වාහල් කඩ වැව පිහිට ඇත. මෙයට ව්‍යවහාර වූ නාමය බෑන සාගරයයි. වම් පසින් ඇත්තේ නම්බකඩ වැවයි. මෙය මති සාගරය යනුවෙන් හඳුන්වනු ලැබීය. මේ මහා වාපී ත්‍රිත්වය විසින් පණ ගන්වනු ලැබූ කෘෂිකාර්මික සභ්‍යත්වය ඒ යුගයේ හැටියට ලංකාවේ සමෘද්ධිය ප්‍රකට කරවන්නක්‌ විය.

අනුරාධපුර යුගය අවසාන භාගයේ ලංකාවට එල්ල වූ විදේශ ආක්‍රමණයන් රාශියකි. නමුත් ඒ සියලු ආක්‍රමණයන් පරදවා රට සෙමෙහි තබන්නට පාලකයින්ට හැකි විය. මේ යුගයේ දී පදවිය වැවට භාවිතා කළ නාමය වූයේ පදොන්නරු යන්නයි. වාහල්කඩ වැවට සුලින්නරු යන නාමය භාවිතා කළ බවට සාධක සපයන තාමර වැව ටැම් ලිපිය ඉතිහාසයේ සමෘධිමත් කාලවකවානුවක පැතිකඩක්‌ විවර කර දෙයි. මෙම ලිපියට අමතරව රඹෑව හා ඊ-පින්නියාව ටැම් ලිපි දෙකම පිහිටා තිබෙන්නේ වාහල් කඩ වැවට ඉස්‌මත්තේය. එම ලිපි දෙකේම සඳහන් වන පරිදි මේ ප්‍රදේශයට සුලින්නරු ගම යන නාමය භාවිතා කර තිබේ. මෙයින් පළමු තාමර වැව ලිපිය දෙවන සේන යුගයට අයත්ය.( ක්‍රි.ව. 853-887) රඹැව ලිපිය දෙවනි උදය කාලයට (ක්‍රි.ව. 887- 898 ) අයත්ය. ඊරිපින්නියාව ලිපිය ද දෙවනි උදය කාලයට අයත් යයි රජයේ සෙල්ලිපි සංග්‍රහයේ පස්‌වන වෙලුමේ සඳහන්ය.

මේ ලිපි තුනේම සඳහන් පරිදි අනුරාධපුරයේ මහා විහාර පාලනයේ නියුතු සෙන් සෙනවිරද් නම් ප්‍රභූවරයෙකු මේ සුළින්නරු ගමේ සෙනවිරද් නම් පිරිවෙනක්‌ සකස්‌ කර එහි භික්‌ෂූන් වහණ්‌සේලා ගේ අධ්‍යාපන පහසුව උදෙසා ඒ ප්‍රදේශයේ ගම්බිම් පවරා දුන් බව සඳහන්ය. වත්මන් වාහල් කඩ ඉස්‌මත්තේ එයට පෝෂක වන ප්‍රදේශයේ තවලම් හල්මිල්ලෑව කපු ගොල්ලෑව තාමර වැව ආදී ග්‍රාමීය වැව් රාශියක්‌ පිහිට ඇත. වාහල් කඩ වැවට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන තවලම්හල් හල්මිල්ලෑව ඔය නියන් කාලයට සිඳි යයි. ඒ නිසා මාස්‌ කන්නයේ වර්ෂා කාලයට ජලය එක්‌ රැස්‌ කර ගැනීමේ පහසුව පිණිස පැරණි රජවරු වාරි මාග රාශියක්‌ මේ පෙදෙසේ කර ඇත. පදවිය වැවට ජලය සපයන මොර ඔය ආරම්භ වන්නේ කුංචුට්‌ටු කෝරළයෙනි. කුංචුට්‌ටු යනු පුංචි උල්පත් ප්‍රදේශයයි. මේනිසා මොර ඔය යම් පමණකින් ජලයෙන් පිරී පවතී.

මේ සුළින්නරු ගම සෙනවිරද් පිරිවෙනට පවරා දෙන අවස්‌ථාවේ දී මේ ගම්වල කුඹූරු රිසි සේ අස්‌වැද්දීමට අවශ්‍ය වාරිමාග පහසු කම් සැපයීමට ද රජවරු උනන්දු වී ඇත. ඊරිපින්නියාව ටැම් ලිපියේ සඳහන් වන්නේ මොර ඔය හරස්‌ කර තැනූ අමුණෙන් ජලය හරවා වාහල් කඩ වැවට ගෙන ගිය ආකාරයයි. එහි සෙල් ලිපි පාඨයේ පෙර සිරත් පෙකු වසා හොය කොඩ් බද් බනුවත්තට්‌ පොසොවුනල්ලට්‌ මහමඩ්ලියෙන් වන් දොලොස්‌ කිරියෑ නොගන්නා කොට්‌ ඉසා යනුවෙන් සඳහන් වන විට එයින් වෙසෙසි කාරණයක්‌ ඉස්‌මතු වෙයි. මහසෙන් යුගයේ ආරම්භ වුවද ඉන් පසුව නව වන සියවස වන විට ද පෙර සිරිත පිලිබඳව සැලකිලිමත් වීම මෙම වෙසෙසි කාරණයයි. ඒ මතුද නොව සෙනවිරද් පිරිවෙනට මෙම ගම පූජා කළ හෙයින් දොලොස්‌ කිරියක ධාන්‍ය බදු ද නොගත යුතු යෑයි සඳහන්ව තිබීම ඒ යුගයේ සම්ප්‍රදාය කුමක්‌ දැයි කියා පෙන්වන්නකි.

මෙම ඇළ මාගය වැටී ඇත්තේ වාහල් කඩ වැවට වම් පසිනි. තාමර වැව පසුකර ආඬියා වැව පත්තෑව ආදී වැව් දෙකක්‌ පෝෂණය කරමින් අවසානයේ රඹෑවට වැටී ජලකඳ පාත් වන්නේ වාහල් කඩටයි. වාහල් කඩ වාන් දමන කල්හි රඹෑව පැත්තෙන් තිබෙන වැව් දෙකට වැටුණු ජලය පදවිය වැවට එකතු වුණු බව පැරණියෝ පවසති. මේ සම්ප්‍රදාය මගින් ජලය උපරිම අන්දමින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනීයයි. එහෙත් වර්තමාන වාරි ඉංනේරුවන් මේ පිළිබඳව සැලකිල්ලක්‌ දක්‌වා නැත. එම ඇලේ නටබුන් තාමර වැව පාසල් වත්ත හරහා වැටී තිබෙන ආකාරය දැනට දක්‌නට හැකිය. මේ ඇළ මාර්ගය පණ ගැන්වීමට උත්සාහ නොකිරීම නිසා මාවත වැව ආදී බොහෝ වැව් ගණනාවකට අද ජලය අහිමි වී තිබේ. මේ නිසා මේ ප්‍රදේශ කැලෑවට යට කර වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට පවරා දී ඇත. තවලම් හල්මිල්ලෑව ඔයෙන් එගොඩ පිහිටා තිබෙන්නේ පුංචි කුලම නොහොත් කුංචි කුලමයි. වීර සෝලේ වැවද එයට යාබදව පිහිටා ඇත. පුංචි කුලම වැවේ ඉස්‌මත්තේ වැදගත් පුරාවිද්‍යාස්‌ථානයක්‌ පිහිටා තිබේ. දැනට හඳුනා ගත හැකි ආකාරයට මේ ස්‌ථානයේ පැරණි සෙනවිරද්a පිරිවෙන පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මේ තත්වය එසේ වුවද කුංචි කුලම පිහිටුවා තිබෙන අත්තාණි ලිපියේ සඳහන් වන පරිදි පෙර මහා විහාරයට පවරා දී තිබූ මේ පිරිවෙන උදය රජුගේ සෙහොයුරු කසුප් රජ කාලයේ දී අභයගිරි මහ වෙහෙරට පවරා දුන් බව තහවුරු වෙයි. එහි සඳහන් ආකාරයට ලොහොලු පැලි කුලිය නම් මහා වැව් සීමාවේ ඇති ගවරොල ගම බදු වලින් හා නිළධාරීන් ගේ බල පෑම්වලින් නිදහස්‌a කර තිබේ. මේ පෙදෙස එදා ගව රෝල නාමයෙන් හඳුන්වා දී තිබූ බවට මෙහිදී යම්කිසි මතයකට එළඹිය හැකිය. කෙසේ වෙතත් මේ සියලු ශිලා ලිපි මෙන්ම එයට අදාළ පුරාවිද්‍යා ස්‌ථානයන් ද ලංකාවේ ඉතිහාසයට අතිශයින් වැදගත් බව නොකිවමනාය. නමුත් විදේශීය ආක්‍රමණ හේතුවෙන් මේ ප්‍රදේශ එක්‌ කලකදී ජනශූන්‍ය විය. පොලොන්නරු යුගයෙන් පසු සිදුවූ ද්‍රවිඩ ආක්‍රමණයන් මීට තදින්ම බලපෑ බව පෙනේ. නමුත් නුවර යුගයේ දී පවා නැවතත් මේ ස්‌ථාන සංවර්ධනය වී සිංහල ජනතාව පදිංචිව සිටි ආකාරය පෙන්නුම් කළ හැකිය. එම යුගයේ දී මේ පළාත කරවීමට විදානේ වරයෙක්‌ පත් කොට ඇති අතර වන්නි වරුන් අතරින් තෝරා ගත් හුරුල්ලේ ඉලංගසිංහ කුමාරසිංහ මෙහිදී හුරුලු විදානේ ලෙසින් පත්කර තිබුණි. මොහුගෙන් පසු ඔහුගේ පරපුර ඒ පළාතේ රටේ මහත්තැන් තත්වයට පත් කර තිබේ. ඒ අනුව සියලු වැව් ගම්මාන ඔහුගේ නින්දගම් ලෙසින් භාවිතා කර ඇත.

1915 මුස්‌ලිම් කෝලාහලයෙන් පසුව මේ ප්‍රදේශය තුළ පවතින ජන ශූන්‍ය ගම්මාන කීපයක්‌ තෝරාගත් මේ රටේ මහත්මයා ඒවායේ මුස්‌ලිම් වරු පදිංචි කර ඇත. හෙරොව්පතානේ කඩ මණ්‌ඩියේ සිටි මේ පිරිස ආරක්‌ෂාව පතා තාවකාලිකව එසේ පදිංචි කළ බව පෙනේ. ඒ අනුව වීරසෝලේ කුංචිකුලම ආනඔලන්දාව පත්තෑව වැනි ගම්මාන හතක පමණ මුස්‌ලිම්වරු පදිංචි වී තිබේ. නමුත් පසු කාලයේ දී මේ පදිංචි වීම් ස්‌ථිර වී ඇත. පසු ගිය කාලයේ දී කොටි ත්‍රස්‌තයින් ගේ අඩන්තේට්‌ටම් වලට යටත් වූ මේ ගම්මාන යළිත් සංවර්ධනය වන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය. එහිදී මෙහි පිහිටා තිබූ සෙනෙවිරද්a පිරිවෙන හා අත්තානි කණුවලට වූයේ කුමක්‌ දැයි සෙවීම මගේ අරමුණ විය. එහිදී අපට දක්‌නට හැකි වූයේ ඓතිහාසික සෙනෙවිරද්a පිරිවෙන් භූමිය ඩෝසර කර ඇති බවයි. වීරසෝලේ ගමේ මුස්‌ලිම්වරු 2009 වසරේදී මේ භූමි භාගය සමතාලා කොට එහි තිබෙන පුරාවස්‌තු රාශියක්‌ පොකුණකට දමා පස්‌ පුරවා ඇත. අනතුරුව එම ප්‍රදේශයේ බඩ ඉරිඟු සිටවා ඇත.

මේ ප්‍රදේශයේ සංචාරය කරන විටදී මේ සහාසික අපරාධය සියෑසින්ම දැක ගන්නට ලැබුණි. ඓතිහාසික කුංචි කුලම ටැම් ලිපිය එහි පදනමෙන්ම ගලවා දමා ගොඩට ඇද තිබේ. එහි ඉහළ කැබැල්ල දක්‌නට නැත. පිරවෙන භූමියේ එක්‌ පැත්තක්‌ සහමුලින්ම ඩෝසර කර ඇත. පැරැණියන් පවසන පරිදි මෙහි ගඩොල් පාදම් සහිත විශාල ගොඩනැඟිල්ලක අවශේෂ දක්‌නට තිබී ඇත. එය පැරණි සෙනවිරද් පිරිවෙනේ පාදම විය හැකියයි අනුමාන කළ හැකිය. මෙම විනාශය සිදු වන අවස්‌ථාවේ දී එය දැන ගන්නට ලැබුණු කපුගොල්ලෑව විහාරාධිපති ස්‌වාමීන්වහණ්‌සේ එම ස්‌ථානයට පැමිණ ඩෝසර කරන ලද ඇතැම් ගල්කණු කැබලි සිරි පතුල් ගල් මෙන්ම මැටි පුවරු කීපයක්‌ ද රැගෙන වුත් විහාරස්‌ථානයේ දැනට තැන්පත් කර තිබෙන ආකාරය දැක්‌ගන්නට හැකිවුණි. මෙම පුරා වස්‌තු අතර ඉතා වැදගත් වූ මැටි පාත්‍රයක්‌ දැක ගන්නට හැකි විය. අඟල් හතරක්‌ පමණ විෂ්කම්භයකින් යුක්‌ත වූ මෙම පාත්‍රය ඉතාමත් හොඳ තත්වයේ තිබුණි. එහි වක්‌ වූ ප්‍රදේශය තුළ සර්පිලාකාර හැඩයකට සකස්‌ කරන ලද නව වන සියවසට පමණ අයත් යයි සැලකිය හැකි ලිපියක්‌ කොටා ඇත. වර්තමාන පීරිසියක හැඩය ගත් මේ පාත්‍රය ගැන නිගමනයකට එළඹිය හැක්‌කේ එ ලිපිය කියවා ගැනීමෙන් පසුවයි. අභයගිරි සම්ප්‍රදායට නෑකම් කියන මෙවැනි පුරා වස්‌තු රැසක්‌ ඩොසර් පහරින් විනාශ වී ඇතුවාට නිසැකය. පෙර සිරිත නොදත් අන්‍යාගමිකයින් මෙන්ම තමන්ගේ ජාතික වගකීම නොදත් ඇතැම් සිංහල නිළධාරින් නිසාවෙන් සිංහල බෞද්ධ උරුමය ක්‍රමානුකූලව වැනසී යන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: