Posted by: lrrp | November 23, 2012

මඩු පල්ලියේ පුරාණය

මඩු පල්ලිය කතෝලිකයන්ට මෙන්ම බෞද්ධයනට හා හින්දුනට ද වැදගත් වූ ස්‌ථානයකි. එහි ඉතිහාසය අවුරුදු දහස්‌ ගණනක්‌ ඈතට යයි. එහෙත් ඒ කතෝලික පූජනීය ස්‌ථානයක්‌, පල්ලියක්‌ ලෙස නොව පත්තිනි දේවාලයක්‌ පිහිටි ස්‌ථානයක්‌ ලෙස ය. අපේ ඉතිහාසයේ කියෑවෙන ආකාරයට පත්තිනි අම්මා සංකල්පය ගජබා රජු දවස ලංකාවට හඳුන්වා දී ඇත. එකල, එනම් කිතුවසින් දෙවැනි සියවසේ භාරතයේ ද හින්දු ආගමක්‌ නො වීය. හින්දු ආගම යනු කිතුවසින් හයවැනි සියවසින් පසු ශංකාරාචාර්යයන් විසින් බුදුදහම හා වෛදික ආගම එකතුකිරීමෙන් නිර්මාණය කරන ලද්දකි. ගණනාථ ඔබේසේකරලාගේ ඊනියා පත්තිනි කල්ලි ගැන කතාකිරීම හැර තවමත් පත්තිනි දෙවියන් ගැන විධිමත් අධ්‍යයනයක්‌ කෙරී නැති බව පැහැදිලි ය. දෙවැනි සියවසේ හින්දු ආගමක්‌ ලෝකයේ කොහේවත් නොතිබූ බැවින් පත්තිනි දෙවියන් හින්දු වීමට නොහැකිය. සර්වපල්කලි රාධා ක්‍රිෂ්නවුන් වැන්නන් සිදුහත් කුමරු හින්දුවරයකු ලෙස ඉපිද හින්දුවරයෙකු ලෙස ජීවත් වී හින්දුවරයකු ලෙස මියගිය බව පවසන්නේ උගත්කමක්‌ තිබුණ ද නිරවුල් ව කල්පනා කිරීමට නොහැකි බව හෙළි කරමිනි.

ලංකාවේ කතෝලික ඉතිහාසය කිතුවසින් 1506 න් ඈතට නොයයි. යුරෝපීයයන් ආසියාවේ හා අප්‍රිකාවේ සාමාන්‍යයෙන් ක්‍රියා කළ අන්දමට පෘතුගීසීහු ලංකාවේ දී ක්‍රියාත්මක වූහ. ඔවුනගේ නැව්වල යුද්ධ භටයෝ ද කතෝලික පූජකවරු ද වූහ. දෙපාර්ශ්වය ම එකම අරමුණක්‌ ඇතිව වැඩ කළහ. ඒ බටහිර ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය මෙරට ප්‍රචලිත කිරීම ය. කතෝලික මිෂනාරිවරුනට පැවරුණු කාර්යයක්‌ විය. එය කැත්තෙන් හෝ පොල්ලෙන් හෝ කිරීම ඔවුනගේ රාජකාරිය විය. එහි දී මිනිසුන් මැරීමට සිදුවිණි නම් මිෂනාරිවරුන් එය ද කළ බවට සාක්‍ෂි වෙයි. මිෂනාරි යන්න බිඳෙන්නේ ඉංගිරිසි මිෂන් යන්නෙනි. මිෂන් යනු එක්‌ අතකින් ගත්කල කෙසේ නමුත් ඉටුකළ යුතු දේව කැමැත්තකි. ඇතැම්හු මිහිඳු මහරහතන් වහන්සේ ද මිෂනාරිවරයකු ලෙස හැඳින්වීමට උත්සාහ කරති, මිහිඳු මහරහතන් වහන්සේ ද මෙරටට නව දහමක්‌ නිල වශයෙන් හඳුන්වා දී ඇති බව සැබෑ ය. එහෙත් උන්වහන්සේ බුදුදහම පැතිරවීමට මිනිසුන්ට හිංසා නොකළහ. උන්වහන්සේ මෙරට එකල තිබූ සංස්‌කෘතියට අනුගත ව ක්‍රියාකළහ. එකල මෙරට තිබූ දේවාගම්වලට පහර ගැසීමක්‌ උන්වහන්සේගෙන් සිදු නොවීය. අද ද ඊනියා බුද්ධිවාදී බෞද්ධයන් කෙතරම් උත්සාහ කළ ද පැරණි දෙවි දේවාතාවුන් සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් (සිංහල බුද්ධාගමෙන්) පිටමං කෙරී නැත. මේ ඇතැම් දෙවි දේවතාවුන් සිංහල බුද්ධාගමෙහි බෞද්ධ වී තිබීම හැරෙන්නට වෙනත් වෙනසක්‌ වී ඇති බවක්‌ නො පෙනෙයි.

සිංහල බුද්ධාගම යනු මෙරට තිබූ සිංහල සංස්‌කෘතියට බුදුසසුන අවශෝෂණය කරගැනීමෙන් නිර්මාණය වූවකි. මා සිංහල බුද්ධාගම යන්න යොදාගන්නේ බටහිර ගැති සමාජයීය මානව විද්‍යාඥයන් ඒ නම යොදාගන්න අරුතින් නොවේ. සිංහල බුද්ධාගමෙහි ඇතැම් දෙවියෝ බුදුසසුනට ද වඩා පැරණි වෙති. එහෙත් බොහෝ බුද්ධිවාදී උගතුන් තැත්කරන්නේ සිංහලයන්ගේ බුදුදහමට දෙවියන් පසුව ඇතුල්වූ බව කියාපෑමට ය. නායක්‌කර් රජවරුන්ගේ හින්දු බිරියන් හේතුවෙන් දෙවියන් බුදුදහමට එකතු වී ඇතැයි පෙන්වීමට ද බොළඳ උත්සාහයක්‌ ගනු පෙනෙයි. එවැනි දෙවියන් එක්‌ කෙනකු දෙදෙනෙකු නැතැයි අපි නො කියමු. එහෙත් සිංහල බුද්ධාගමෙහි අතිමහත් දේව බහුතරය මෙරටට ම ආවේණික වූ දෙවිවරු වෙති.

මිහිඳු මහරහතන් වහන්සේ හෝ වෙනත් රහතන් වහන්සේ නමක හෝ කිසි දිනෙක කිසිවකු හිංසාවෙන් නොව බලයෙන්වත් බෞද්ධයකු නොකළහ. බුදුන්වහන්සේ තමන්වහන්සේ කෙරෙහි පැහැදුණු උපාලි ගෘහපතියාට නිඝන්ඨනාථගෙන් වෙන්වීමට උපදෙස්‌ නුදුන්හ. බුදුන්වහන්සේගේ හා රහතන්වහන්සේලාගේ අවවාදය වූයේ එව බලව යන්න මිස පිළපදිවූ නැත්නම් මරණය යන්න නොවේ. අද අප අපේ විද්‍යාවක්‌ ගොඩනැගීමේ දී එව බලව යන්න අනුගමනය කිරීමට සූදානම් වුවත් නිල විද්‍යාවෙන් කියෑවෙන්නේ පිළිගනිවු නැත්නම් (විද්‍යාවෙන්) පිටවෙවු යන්න ය. විද්‍යාවෙන් පිටවෙවු යන්න බොහෝ විද්‍යාඥයන් යෑයි කියාගන්නා අයට විද්‍යා ක්‍ෂේත්‍රයෙහි මරණය ගෙන දෙන්නකි. එය සිහිගන්වන්නේ එකල කතෝලික වෙවු නැතහොත් ජීවිතයෙන් පිටවෙවු යන පෘතුගීසි ආඥව ය.

බුදුදහම මෙරටට හඳුන්වා දීමෙන් පසුව ඇතැම් බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ එකල පැවැති වෙනත් ආගමික ස්‌ථානයක ඉදි නොවිණි යෑයි අපි නො කියමු. උදාහරණයක්‌ ලෙස ජනප්‍රවාදය අනුව ස්‌වර්ණමාලි චෛත්‍යය ගොඩනගා ඇත්තේ එනමින් වූ දෙවඟනකගේ සිද්ධස්‌ථානයක ය. එහෙත් එය බලහත්කාරයෙන් කරන ලද්දක්‌ නොවන බව පෙනී යයි. චෛත්‍යය ඉදිකිරීමේ දී ඒ දෙවඟනගෙන් අවසර ලබාගෙන ඇති බවත් අවසර දීම සම්බන්ධයෙන් කළගුණ සැලකීමක්‌ ලෙස චෛත්‍යය, දෙවඟන නමින් නම් කෙරී ඇති බවත් පැහැදිලි ය. මහාවංසයේ සඳහන් කරුණු විශ්ලේෂණය කළහොත් එම ස්‌ථානයේ කාශ්‍යප බුදුරජුන්ගේ සසුනෙහි බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ තිබූ බවත් පසුව එතැන දෙවඟනකගේ නමින් සිද්ධස්‌ථානයක්‌ තිබී ඇති බවත් උපකල්පනය කළ හැකිය.

ඉතිහාසයේ එක්‌ ආගමක සිද්ධස්‌ථානයක්‌ තිබූ තැනක වෙනත් ආගමක සිද්ධස්‌ථානයක්‌ පසුව ඉදිකිරීම සිදු නොවී නොමැත්තක්‌ නො වේ. එබැවින් පත්තිනි දේවාලයක්‌ තිබූ තැනක කතෝලික පල්ලියක්‌ ඉදිවීම පුදුමයක්‌ ද නො වේ. මන්නාරම අවට ප්‍රදේශයේ බෞද්ධ බලය ආයුධ බලයෙන් පාගා දමා පල්ලි ඉදිකළේ නම් අප එයින් පුදුමයට පත්විය යුතු නොවේ, එය බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයට පටහැනි නො වේ. ලංකාවේ ඇතැම් පෙදෙස්‌වල සිංහල බුද්ධාගමේ පත්තිනි දේවාල තිබූ තැන්වල ම කතෝලික පල්ලි ඉදිකිරීමට තවත් හේතුවක්‌ ඇතැයි අපි සිතමු.

කතෝලික ආගම යුදා ආගමෙන් ප්‍රධාන වශයෙන් ම වෙන්කරන චරිත මරියතුමිය හා ක්‍රිස්‌තුස්‌ වහන්සේ වෙති. කතෝලික ආගමේ පිළිම නිර්මාණය කිරීමේ දී ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ හා මරියතුමියගේ පිළිමවලට මුල්තැන හිමිවෙයි. යුදා ආගමේ දෙවියන් වහන්සේගේ පිළිම ඇඹීම තහනම් වෙයි. කතෝලික ආගමේ ප්‍රධානම සාන්තුවරිය වූ මරියතුමිය හා සම්බන්ධ පල්ලි පත්තිනි දේවාල තිබූ තැන්වල ඉදිකිරීමෙන් කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් කරුණු දෙකක්‌ බලාපොරොත්තු වන්නට ඇත. එය බටහිර ප්‍රස්‌තා පිරුළකට අනුව එක්‌ ගලකින් කුරුල්ලන් දෙදෙනකු මැරීමකි. එක්‌ පැත්තකින් පත්තිනි දේවාලය කඩා බිඳදැමීමෙන් සිංහල බෞද්ධයන්ට සිද්ධස්‌ථානයක්‌ අහිමි කෙරෙයි. අනෙක්‌ පැත්තෙන් පත්තිනි දේවාලයට ආ ගිය අය ඉන් පසු පල්ලියට යැමට පටන් ගනියි. දෙවැන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ පත්තිනි දේවාල හා සම්බන්ධ හාස්‌කම් ය. දේවාලය පල්ලියක්‌ වූ පමණින් හාස්‌කම් නැතිවේ යෑයි ජනතාව නොසිතන බව කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් දැන සිටින්නට ඇත.

අද ද ලංකාවේ ඇතැම් පලාත්වල කතෝලික පල්ලිවලට යන සිංහල බෞද්ධයෝ භාරහාර වෙති. එහි යන සිංහල කතෝලිකයන්ගේ මුතුන් මිත්තන් ද සිංහල බෞද්ධයන් ලෙස පෙර දා එතැන තිබූ පත්තිනි දේවාලවලට යන්නට ඇති බව පැහැදිලි ය. මඩු පල්ලිය සම්බන්ධයෙන් ද එහි වෙනසක්‌ නැත. ඒ ඉතිහාසය හා වර්තමානය අමතක කර මඩු පල්ලිය සම්බන්ධයෙන් ඇතැම් කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් අසත්‍ය ප්‍රකාශ කිරීම කනගාටුදායක ය. ඇතැමුන් මඩු පල්ලියට කතෝලික පල්ලියක්‌ ලෙස අවුරුදු හයසීයක ඉතිහාසයක්‌ තිබිණි යෑයි කීම දේශපාලන ආධිපත්‍යයක්‌ සඳහා සූදානම් වීමක්‌ මිස අනෙකක්‌ නොවේ. එවැනි ප්‍රකාශවලින් අපට සිහිවන්නේ අඟේ ඉඳන් කණ කෑමේ කතාව ය.

මඩු පල්ලියේ ඉතිහාසය සම්බන්ධ වැදගත් තොරතුරු අමරසේන ගමගේ නම් මහතකු විසින් ලියන ලද ලිපියක අඩංගු වෙයි. අදාළ ලිපිය අන්තර්ජාලයේ ඇත. පහත සඳහන් වන්නේ ඒ ලිපියෙහි ඇතුළත් කරුණු කිහිපයකි. 1911 සංගණන වාර්තාව සංස්‌කරණය කළ ඩෙන්හම් මහතා යාපනයේ කතෝලික බිෂොප්වරයාගෙන් ලබාගත් තොරතුරු මත ඒ මහතා ලියා ඇති කරුණු හා ඉංගිරිසි සිවිල් සේවකයකු වූ ලීවර්ස්‌ මහතා උතුරු මැද පළාත පිළිබඳ අත්පොතක ලියා ඇති කරුණු මත ගමගේ මහතාගේ ලිපිය ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත. යාපනයේ බිෂොප්වරයා මඩු පල්ලිය පිහිටි තැන පත්තිනි දේවාලයක්‌ තිබූ බව වසන්කිරීමට සූදානම් වී ඇති නමුත් ඩෙන්හම් මහතා ඉන් මුළා වී නැත.

මඩු මංගල්‍යය ආරම්භ කෙරී ඇත්තේ 1870 ජුලි මාසයේ යාපනයේ එවකට සිටි කතෝලික බිෂොප්වරයා විසිනි. එහෙත් එකල මඩු පල්ලියක්‌ තිබී නැත. පල්ලියට මුල්ගල තබා ඇත්තේ 1876 දීය. 1870 මඩු මංගල්‍යය කිනම් පදනමක්‌ මත පටන්ගැනී දැයි අපි නො දනිමු. ඇතැම් විට ඒ වන විට ඒ ප්‍රදේශයේ කතෝලිකයන් කිහිප දෙනකු සිටින්නට ඇත. එසේත් නැත්නම් ඒ ප්‍රදේශය කතෝලික කිරීම සඳහා මංගල්‍යය අරඹන්නට ඇත. අද ද එක දු ක්‍රිස්‌තියානි පවුලක්‌ නැති ප්‍රදේශවල ද පල්ලි ඉදිකරන බව අපි දනිමු. ඒ කෙසේ වෙතත් 1911 සංගණන වාර්තාවට අනුව වුව ද මඩු පල්ලිය ප්‍රදේශයේ ස්‌ථිර පදිංචිකරුවන් ඉඳ නැත. එහි ඉඳ ඇත්තේ වන්දනාකරුවන් 320 දෙනකු පමණකි, ඉන් 230 දෙනකු කොළඹින් හා හලාවතින් එහි ගිය සිංහල වන්දනාකරුවන් බව සංගණන වාර්තාවෙන් හෙළි වෙයි. ඔවුන් අතර බෞද්ධයන් කී දෙනකු වී දැයි අපි නො දනිමු.

මඩු පල්ලියක්‌ අඩු තරමෙන් 1835 ට පෙර නොතිබූ බවට පහත සඳහන් සාක්‍ෂි ද වැදගත් වෙයි. 1804 දී මන්නාරම ප්‍රදේශයේ සංචාරය කර වැදගත් විස්‌තරයක්‌ ලියා තැබූ කේඩිනර් නමැති අය මඩු පල්ලිය පිහිටා ඇති ප්‍රදේශය ආසන්නයේ පිහිටි අරිප්පු හා කොන්ඩාචි ප්‍රදේශ ගැන සඳහන් කළ ද මඩු පල්ලියක්‌ ගැන කිසිවක්‌ නො කියයි. සිලෝන් ගැසට්‌යර් නම් පත්‍රය සැකසූ සයිමන් කාසිචෙට්‌ටි මුදලිතුමා විශාල කැලෑවක්‌ මැද මරදොද්ද නම් ප්‍රදේශයක තිබූ තානයමක්‌ (රෙස්‌ට්‌ හවුස්‌) ගැන සඳහන් කළ ද මඩු පල්ලියක්‌ ගැන සඳහනක්‌ නො කරයි. මරදොද්ද යන්නෙන් ඔහු අදහස්‌ කළේ මරදමඩු යන්න විය හැකි ය. එසේ නම් තත්ත්වය වඩා බරපතළ වන්නේ මඩු පල්ලිය ගැන එහි ද සඳහන් නොවීම නිසා ය.

මේ සියල්ලෙන් කියෑවෙන්නේ කතෝලික පල්ලියක්‌ ලෙස මඩු පල්ලියේ ඉතිහාසය එතරම් ඈතට නොයන බව හා එතැන කලින් තිබූ පත්තිනි දේවාලයක්‌ කඩා දමා යාපනය කතෝලික බිෂොප්තුමාගේ මැදිහත්වීමෙන් 1870 න් පමණ පසුව පල්ලියක්‌ ගොඩනඟා ඇති බවය. අද ද මඩු පල්ලියට සිංහල බෞද්ධයන් ද යන්නේ පැරණි සංස්‌කෘතික සම්බන්ධතා හේතුවෙනි. මඩුපල්ලිය අද වන විට මෙරට කතෝලිකයන්ගේ වැදගත් සිද්ධස්‌ථානයක්‌ බවට පත් වී ඇත. කවදත් අන්‍යාගම්වලට ගරු කළ සිංහල බෞද්ධයන් එහි ඉතිහාසය කුමක්‌ වුවත් මඩු පල්ලියට ද ගරු කරනු ඇත. එපමණක්‌ නොව එය ආරක්‍ෂා කරනු ඇත. මඩු පල්ලිය දැනට අයත්වන මන්නාරම බිෂොප් පදවියේ රායප්පු ජෝසප් බිෂොප්වරයාගේ කොටි හිතවාදී ක්‍රියා තිබියදීත් අපේ හමුදා මඩු පල්ලිය කොටින්ගෙන් බේරාගෙන කතෝලික බැතිමතුන්ට ද අනෙක්‌ අයට ද එහි යැමට හැකිවන පරිදි ඒ ආරක්‍ෂා කළහ. අපි ඉදිරියේදීත් එසේ කරමු. එහෙත් සිංහල බෞද්ධයන්ගේ අන්‍යාගම් ඉවසීම නිවටකමක්‌ ලෙස සිතා මඩු පල්ලියට බොරු ඉතිහාස ගෙතීමෙන් කතෝලික උගතුන් වැළකිය යුතුය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: