Posted by: lrrp | November 24, 2012

කයිට්ස් බළකොටුවේ නිල් ඇස් ඇති සුරූපිනියෝ

යාපනයේ සිට ගොඩ බිම පාරෙන් කයිට්ස් දූපත වෙත යාම අද අපේ ගමනාන්තයයි. මේ මුළුමහත් යාපන අර්ධද්වීපයේම ලොකුම දූපත කයිට්ස් යැයි මට සිතේ. වර්ග කිලෝමීටර ප්‍රමාණය දක්වන පොලිස් සිතුවම් දුටු විට මගේ කල්පනාව නිවැරැදි බව තවදුරටත් ඒත්තු යයි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 156.04කි. 1958 වසරේ කයිට්ස් ජැටියේ සිට නාගදීප රාජායතන චෛත්‍යයට පහරදීමට ගිය කුම්භාණ්ඩයන් පිරිසක් ගැන ටාසි විට්ටච්චි ලියූ සටහනක් මම පෙර දිනක ඔබට ලීවෙමි. එම හද සසලවන පුවත් නැවත සංවේදී ඔබේ මතකයට නැඟීම යුතු නොවේ.

එනිසා කයිට්ස් ජන ජීවිතය සොයමින් මමත්, විමලුත්, අනුරංගත් මේ දූපතේ හැම බිම් අඟලකම කරක් ගැසුවෙමු. යාපනයේ සිට කයිට්ස් දක්වා දිවෙන ගොඩබිම් මාර්ගයේ දුර කිලෝමීටර් 18කි. ඉස්සන් කොටුවල වැඩ කරන සිනහ පිරි මුහුණින් සිටි අහිංසක දෙමළ මිනිස්සු ඉස්සන් කූඩවල රැගෙන වෙළෙඳපළට ඇදෙන සුළු වෙළෙඳුන්, ඈතින් පෙනෙන පොල් හා තල් රුප්පා, කරදිය මුසු දළ සුළඟ දැන් අප ළඟ නැත. ඒ සුන්දර දසුන් සහිත මාර්ගයට වඩා කයිට්ස් අපේ සංවේදනා අවුළුවයි.

එහි වැල්ලබඩ පැත්තේ පුංචි පුංචි නිවෙස් කිහිපයකි. ඒ මිදුල්වල කෙළිදෙලෙන් නටනා දූවිල්ලෙන් නැහැවුණ ළමා ළපටි පෙළකි. ඒ සිරුරු දුප්පත්කමේ දරිද්‍රතාවේ මං ලකුණු පෙන්වන කැඩපතක් වැන්න. අපි ඒ කිරි දරුවන්ගේ සිනා දකිමින් රථය තවත් ඉදිරියට ගෙන ගියෙමු.

කලින් ඊ.පී.ඩී.පී. මුරපොළ පැවැති හරියේ විශාල මිදුල් සහිත අක්කර භාගය තුන් කාල ඉඩම් සහිත ගෙවල් කීපයෙකි. එහි මිනිස් පුළුටක් නැති ගාණය. කොටි සාපයට ලක් වූ ජන ජීවිතයේ ශේෂයන් තැනින් තැන දැකිය හැකිය. මරණ බියෙන් තැති ගත් ඔවුහු, මාලිගා වැනි මේ ගෙවල් දමා ගොස් දැන් විදේශගත වී සිටිති. මෝටාර් වෙඩි හඬින් පිපිරුණු මේ ගෙවල් දොරවල් දකින ඕනෑම කෙනකුට ‘අනේ අපොයි’ කියැවෙයි. ත්‍රස්තවාදී යුද්ධයේ බියකරු සෙවණැලි මෙන් ඉතිරි වූ දෙමළ අනාථ පවුල් කීපයක් එවැනි ගෙවල්වල රැඳී සිටිනු දුටුවෙමු.

මෙහි ග්‍රාම සේවා වසම් 54කි. ජනගහණය 41,114ක් බව පොලිස් වාර්තා කියයි. මේ සියලු ජනතාව අතර සිංහලයන් දෙදෙනෙකු හා මුස්ලිම්වරුන් 12 දෙනකු හැරුණු කොට අනෙක් සියලුම ජනතාව දෙමළය. එහෙත් ඔවුන් අතර සහජීවනය සමානාන්මතාව ඉතා ඉහළය. ඔවුන් අතර ඉඳහිට මායිම් වැටකට රණ්ඩුවක් මිස බරපතළ අපරාධ බොහෝ අඩුවීම මීට සාක්ෂියකි. මේ දූපතට ද පානීය ජලය ලැබෙන්නේ හෝරා කීපයකි.

උදෑසනම කළගෙඩි, බෝතල්, ප්ලාස්ටික් භාජන රැගත් ළමා ළපටින්, කාන්තාවන් වතුර කරාම ළඟ පෙළ ගැසී සිටිති. රජය එම වේලාවන්හිදී වතුර ටික ලබාදෙන්නේ ද අධික වියදමක් දරමිනි.

කයිට්ස් පොලිසියට ද වැඩ බහුලය. තම දූපතේ සිවිල් පරිපාලනය ග්‍රාම සේවා වසම් 54 මඟින් ඉටු කරන අතරම, අවට ඇති එළුවතිව්, කරෙයිනගර්, නාගදීපය, කුරිකට්ටුවාන්, පුංකුඩුතිව්, මණ්ඩතිව් ආදී සියලු දූපත්වල මුරපොළ පවත්වා ගැනීමට ඔවුනට සිදුව තිබේ.

‘පෝට් හැට්ල්ගිල්’
දූවිල්ලෙන් වැසුණු කයිට්ස් ළපැටියෝ

මහපොළොව සමඟ පොරබදන මේ මිනිස්සු කොන්ක්‍රීට් වනාන්තරයේ අපට ආදර්ශයකි. ඔවුන් වෙනත් දූපත්වල ජනතාව මෙන් ධීවර රස්සාව මතු නොව ගෙවතු වගාව ද එළවුළු වගාව ද එමතුදු නොව දුම්කොළ වගාව ද කරති. තල් රා නිෂ්පාදනය ද, සත්ත්ව පාලනය පැත්තෙන් ඔවුන් වඩාත් සක්‍රීය පිරිසකි. ඔවුනගේ බොහෝ ගෙවල්වල එළුවෙක් හෝ දෙදෙනෙක් හෝ සිටිති. නැතිනම් කුකුළකු හෝ තාරාවකු හෝ දැකිය හැකිය.

එළුවන් අන් අයගේ ගෙවතු වගාබිම් වලට ඇතුළු වී විනාශ කරනු ඇතැයි සිතා එළු හිමියෝ තම එළුවන්ට ත්‍රිකෝණ ආකාරයට ශක්තිමත්ව බෙල්ලට හිරවන ලෑලිවලින් සදන කිසියම් උපකරණයක් බඳිති. මේ ලෑලි පටි බොහෝ විට තල් ලීයෙන් සැදුණකි. ඒ උපකරණය නිසා සතුන්ට ඇතුළු විය හැකි වන්නේ හිස් තණ බිම්වලට පමණි. එසේම පාර දෙපස තණ තීරුව උලා කෑමට ද උන්ට ඉඩ ලැබේ. මේවාට දෙමළ බසින් කියන්නේ ”තඩුප්පු කෝනම්” කියාය.

වගා බිම් කරන අයද තම ගෙවතු වැට බැඳීමෙන් ආවරණය කරගන්නා අතර සත්ත්ව පාලකයෝ ද තම එළුවන් එසේ පාලනය කරති. තමන්ගේ සතුන් අයාලේ යවන, අනුන්ගේ වගා බිමට යවන ඇතැම් නාගරිකයන්ට එය කෙතරම් පූර්වාදර්ශයක් දැයි මම සිතමි.

තක්කාලි, මෑ, බටු, මිරිස්, නිවිති, ගෝවා වැනි වගාවන් මේ දූපතේ සරුවට කැරෙයි.

ඕලන්දකාරයන් වෙනත් දූපත් තම අයිතියට නතු කැරගන්නාක් මෙන්ම කයිට්ස් දූපත ද ග්‍රහණයට ගෙන තිබිණි. ‘කයිට්ස්’ යනු ඔවුන්ගේ නගරයක නමකි. මෙහි මුහුද අද්දර පවත්නා ඕලන්ද බළකොටුවේ නටබුන් අදත් දැකිය හැකිය. හුණු වැරැටියෙන් තනාගන්නා ලද විශාල බදාම මී ඉටියෙන් තවරා මෙහි කපරාරුව සකස් කැර ගෙන ඇති අතර විශාල වපසරියක මේ බළකොටුව ව්‍යාප්තව තිබූ බව පෙනෙයි. එය මහල් කීපයකින් ද යුක්තය. ළඟින් පෙණෙන වෙරළ තීරය ඕලන්ද යාත්‍රා අංගනයක් ලෙස යොදා ගත් බව ගම්වැසියෝ කියති.

අපි එම බළකොටුව නිරීක්ෂණයේ යෙදෙනු දුටු එගම්වැසියෝ දෙදෙනෙක් අප වෙත ආහ. මා සමඟ පැමිණ සිටි කයිට්ස් පොලිස් කොස්තාපල් අජිත් සිංහල මෙන්ම දෙමළ බස ඉසුරුවීමේ දක්ෂයෙකු වීම නිසා අපට සන්නිවේදනයේ ගැටලුවක් නොවීය.

මා අසන ප්‍රශ්න දමිළ බසට පෙරළිණ. නැවත සිංහලයෙන් මට උත්තර ලැබිණි. සින්නයියා කුමාර් (52) අපේ කතාවට එක්විය.

මේ ලන්දේසි බළකොටුව අප පුංචි කාලෙත් මෙහෙමයි.

අපි අහලා තියෙන දේවල්වල හැටියට ලන්දේසි ඒ කාලේ මේ බළකොටුවේ ඉඳන් නිතර ඉන්දියාවට ආවා ගියා. කොටින් ම ඉන්දියන් සාගරයේ තම අණසක ඔවුන් පවත්වා ගන්නේ මේ දූපත්වල ඉඳන්. ඔවුන් ගෙනාපු ලස්සන කුමාරියන් මේ බළකොටුවේ රඳවා තබාගෙන මුහුදේ වැල්ලෙ අව්ව තපිමින් විවේක ස්ථානයක් හැටියට එදා මේවා පාවිච්චි කළේ. මේ බළකොටුවෙ පවුර හරිම ශක්තිමත්. හුණු වැරැටියෙන් මී ඉටියෙන් කලවම් කරලා බඳාම බැඳලා තියෙන්නේ.” ඔහු කියයි.

අපි අක්කරයක පමණ වපසරියක විහිදුණු මේ බළකොටුව පුරා ඇවිද්දෙමු. එහි ගිනි උදුන් දැල්වූ තැන්වල ශේෂයන් පෙනෙයි. ඒ අසල ඕලන්ද කාලෙට අයිති පල්ලියක් ද තිබුණු ලකුණු මෙගම්වැසියෝ අපට පෙන්වා දුන්හ. රවී චන්ද්‍රන් වේට්ට්‍රිවේල් (43) අප සමඟ කතාවට එක්වූයේ මේ මොහොතේදිය.

”මේ ඔක්කොටම වඩා අසිරිමත් තැනක් තියෙනවා තවමත් මහ මුහුදේ. ඒ තමයි “ගල්පල්ලිය”. ගල්පල්ලිය කීවාට ඒකට කියන්නෙ “පෝට් හැට්ල් හිල්” කියලා.” ඔහුගේ කතාව අපට තවත් බොහෝ දේ පාදා දෙන උල්පතක් බඳු විය.

එම දූපත අද තනිකරම නාවික හමුදා කඳවුරකි. මහ මුහුද මැද වෙරළ තීරයේ සිට කිලෝ මීටර 3 පමණ ඈතින් පිහිටි මේ කඳවුරට යන්නට සිවිල් ජනතාවට තහනම්ය.

”උතුරේ ත්‍රස්තවාදින්ගෙන් අපි බැට කන වේලාවෙ දකුණෙත් ඔයගොල්ලන්ගේ ත්‍රස්තවාදි නායකයෙක් හිටියා. එයා අල්ලාගත්තම මුලින්ම හිර කරලා තිබුණෙ ඔය ගල්පල්ලියෙ. මගෙ නම සඳහන් කරන්ඩ ඕනෑ නෑ. ඒක සහතික ඇත්ත.” නම හෙළි නොකරන කයිට්ස් වැසියෙක් අපට කීවේය.

ඕලන්ද බළකොටුවේ නටබුන්
ත්‍රස්තවාදීන්ගේ ගොදුරු බවට පත් නිවෙස්

සින්නයියා නැවත හඬ අවදි කරමින් “පෝට් හැට්ල් හිල්” ගැන තවත් දේ කියයි.

”මහත්තයො, මං පුංචි එකා කාලෙ ඒක දූපතක තිබුණු මහ ගෙයක්. ඒකට කියන්නෙ පුදතම්බි බැඳපු කොටුව කියලයි. ඒකෙ පාලකයා පුදතම්බි. ඒ කාලෙ ඕක ලයිට් හවුස් එකක් විදියටත් පාවිච්චි කරලා තියෙනවා. මට මතකයි ඔය මුහුද මැද පුංචි දූපතෙත් ළිං තුනක් තිබුණා. එක ළිඳක උණුවතුර. අනෙකෙ ඇල්වතුර. අනෙක් ළිඳේ තිබුණෙ ඊයම් වගේ දේ.

මේ මිනිසා කියන්නේ ඇත්තක් ද? කොයි හැටි වෙතත් ‘පෝට් හැට්ල් හිල්” පිළිබඳව ජනතාව අතර නොයෙක් ජනකතා පවතී.

අපි එතැනින් පිටවී ඊ.පී.ඩී.පී කඳවුර පැවැති තැනට ඉක්මනින් ළඟා සමු.

කයිට්ස් දූපතේ සිරියාව මහදට වඩාත් දැනුණේ ඒ මොහොතේදිය. අඳුර තුනී සළු එළමින් තිබේ. ගව පට්ටි, එළු රංචු දක්කාගෙන යන දර්ශනය කදිමය. රන්පැහැ හිරු රැස් වැටී දූපතේ ගස් කොළන් අතර චමත්කාරයක් මවයි.

අද ඊ.පී.ඩී.පී. මුර පොළක් පැවැති තැන ඇත්තේ යුද හමුදා කඳවුරකි. මේ ජන ජීවිතය සාමාන්‍ය අතට පෙරැළෙමින් තිබේ. මම ඒ අතර ඇවිදිමින් විමර්ශනය කළෙමි. තම මව සමඟ කඩුල්ල ළඟ සිටි වෙරෝනිකා ජේසුදාසන් සමඟ මම කතා කළෙමි. ඇගේ පියාට හොඳින් සිංහල කතා කළ හැකිව තිබිණ. ඇගේ පියා සුද්දන්ගේ නාවික හමුදාවේ විශ්‍රාමික නිලධරයෙකු වූ අතර සමාදාන විනිශ්චයකාරවරයෙක් ද වෙයි. ඉතාම චතුර ලෙස ඉංගිරිසි හා දෙමළ බස කතා කරන වෙරෝනිකාගේ අදහස් සිංහලට පෙරළුවේ ඔහුය.

”මං කයිට්ස්වල ඉපදුණාට යුද්ධය කාලේ හිටියෙ වැල්ලවත්තේ. මං ඉගෙන ගත්තෙ කොළඹ. අද ඉගෙන ගන්ඩ ළමයිනට ස්කෝල තියෙනවා. යන්ඩ එන්ඩ බස් කීපයක් තියෙනවා. එදා අපට අකුරට යනවා තබා අපෙ අම්මා තාත්තා බලන්ඩ කොළඹ ඉඳන් යාපනයට එන්ඩ පුළුවන්කම තිබුණෙ නෑ. ඒ අනුව ආණ්ඩුව මේ ජනතාව බේරා ගත් එක හොඳයි.”

වගා බිමක්

උදෑසන වතුර පෝලිම

”මේ මිනිස්සු කොයිතරම් ධෛර්යවන්තව තමන්ගෙ වගාබිම් රැකගෙන එළු ගව රැළ රැකගෙන ධීවර රස්සාව කරගෙන ජීවත් වෙනවාද? ඔවුන් රජයෙන් අමුතු දේවල් ඉල්ලන්නේ නෑ. රජය අපට ලබාදුන් නිදහසම ඇති. පානීය ජලය ප්‍රශ්නය තියෙනවා. එදා වෙඩි බෙහෙත් ගඳ පැතිරුණු මේ යාපනය අද ආයිත් සිවිල් මිනිසුන්ගේ පාලනයට ලැබිලා. ලංකාවේ සුන්දරම පළාත යාපනය. අප සිංහල ජනතාවට ආදරෙයි. ඔවුන් හා අප සාමකාමීව අනාදිමත් කාලයක් ජීවත් වුණා. සැකය කුතුහලය ඒ අය කෙරෙහි ඇති කළේ පටු අදහස් තිබුණු කල්ලි. ඒත් එහෙම දෙයක් නෑ. මං ඉගෙන ගත්තෙත් සිංහල ප්‍රදේශවල නිසා මා ඒක දන්නවා.”

ඇයත් ඇගේ පියාත් මෝටාර් පහරින් කුඩුපට්ටම් වුණු මාළිගා වැනි නිවෙස් තිබූ තැන් කිහිපයක් වෙත අප කැඳවාගෙන ගියහ. ජේසුදාසන් මහතා මෙසේ කීවේය.

”මේවා දැන් කුණු කොල්ලයට විකිණෙනවා. මේවායේ හිටපු ඒ මිනිස්සු එදා ත්‍රස්තවාදීනට බියේ මේ පළාත දාලා විදේශවලට ගියා. අපට ලැබුණු මේ සාමය නැති කරන්ඩ කාටවත් ඉඩ දෙන්න එපා” ඔව්හු එක හඬින් ඉල්ලා සිටිති.

කයිට්ස් දූපත ගොඩ නගන්නට රජය හා ඊ.පී.ඩී.පී ය හා එක්ව සංවර්ධන ඉලක්ක රැසක් ක්‍රියාත්මක කළත් තවමත් ඔවුන්ට රැකියා ප්‍රශ්නය විසඳී නැත. විදුලිබලය, පානීය ජල ප්‍රශ්න ද නැතුවා නොවේ.

වෙරෝනිකාගේ මව එල්.ටී.ටී.ඊ. තර්ජන කාලයේ ඊ.පී.ඩී.පි යේ සන්නද්ධ හමුදාවේ සේවය කළ අයෙකි. ඔවුන් ද ඒ ශාපයෙන් ගලවා ගත්තේ හමුදාවේ මානුෂිය මෙහෙයුමය.

කයිට්ස් දූපතේ ද වෙරෝනිකා වැනි උසස් පෙළ ද විශිෂ්ට ලෙස සමත් දරු දැරියෝ සිටිති. ඔවුනගේ හෙට දවස සකස් කර දීමට ද අපට වගකීමක් ඇත.

කයිට්ස් පොලිසිය අසබඩ මෝටර් යාත්ත්‍රික කාර්මිකයෙක් සිටී. ඒ තිස්ස කළුපහනය. මේ දූපතේ බොහෝ යාන්ත්‍රික වැඩ කෙරෙන්නේ තිස්සගේ දෑතිනි.

ඇහැළියගොඩ ප්‍රදේශයේ සිට කයිට්ස් දූපතට පැමිණි ආතර් ද සිල්වා කළුපහන තිස්ස කළුපහනගේ තාත්තාය. කයිට්ස් හි පදිංචි කාන්තාවක සහේට ගත් ඔහු, පුතාත් සමඟ එහිම පදිංචි විය.

එදා කයිට්ස්වල සිංහලයන් හා දමිළයන් අතර තිබුණු වාර්ගික සුහදතාවට මීටත් වඩා නිදසුනක් ඇද්ද?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: