Posted by: lrrp | November 24, 2012

කොටි නායිකා අකිලාගේ බල ප්‍රදේශයට ගියෙමු

නිල්වන් ගහ කොළ, සරුසාර තණ බිම්, රිදී දිය ඇලි මේ යන ගමනේ මට දකින්නට නැත.

ඒ වෙනුවට මට පෙනෙන්නේ දූවිල්ලෙන් වියැළුණු පරඬලා පතින් සුසැදි අතරින් පතර තරමක් කොළ පැහැයෙන් බබළන නොයෙක් ආකාරයේ පුංචි පුංචි ගස් පෙළකි.

එක යායට විහිදුණු තල් රුප්පා හැරෙන්නට වෙනත් කිසියම් රූස්ස ගසක් නොපෙනෙන ඉසව්වක් අපි පසු කරමින් සිටිමු.

එහෙත් මේ ගම්බද ඇත්තන් කඩියන් මෙන් කඩිසර පිරිසක් බව අපට වැටහෙයි. තම එළු රංචු දක්කාගෙන පාර හරහා පනින කිසිවෙක් සුහද සිනාවකින් මුව සරසාගෙන අප දෙස බලයි.

තැනෙක තම වගා බිම්වල කය වෙහෙසා දහදිය වගුරා වැඩ කරන ගොවි පිරිසකි. මේ කර්කෂ මහ පොළොව හා ඔවුන් ඔට්ටු අල්ලන්නේ ජීවිතය දිනා ගැනීමට නොවේදැයි මම සිතමි.

එකම වර්ගයේ මෝටර් බයිසිකල් විශේෂයකින් මෙහි කාන්තාවෝ ගමන් කරති. ඒ කිසියම් රජයේ හෝ පෞද්ගලික කාර්යාලයක රැකියාවක් කරන ඇත්තියන් විය හැකිය.

පිරිමි හා ගැහැනු එක්ව යන (පිරිමින් පාවිච්චි කරන වර්ගයේ) යතුරු පැදියක කාන්තාව පසුපසින් වාඩිවෙන්නේ දෙපය දෙපසට විහිදුවමින් නොවේ. ඇය හැම විටම අසුන් ගන්නේ එම යතුරු පැදියෙ පිරිමියාට පිටුපසින් ලගේජයක් සහිත බයිසිකලයක අප වාඩි වී යන ආකාරයටය.

මට අච්චුවේලී පොලීසියේ ස්ථානාධිපති නිශ්ශංක මහතා සිහි වෙයි. යාපනය අර්ධද්වීපයේදී ඔබට ද සුලබව දැකිය හැකි මේ දර්ශනය ගැන මම ඔහුගෙන් ඇසුවෙමි.

ඇයි? ඒ කාන්තාවන් දෙපය දෙපසට විහිදුවා යතුරු පැදියේ අසුන් නොගන්නේ…

ඒක, ඒඅයගෙ සංස්කෘතිය, කුල සිරිත. මානුෂිය මෙහෙයුම කාලෙත් මේ අය ආරක්ෂක තැන්වලට යොමු කරන විටත් සමහරුන් අතර එවැනි සිරිත් තදින් බලපෑවා.

ඔබ දැක්ක ද? මේ අය තම ශරීරය පෙනෙන්ඩ අඳිනවා. පලඳිනවා. ඒකත් ඒ අයගෙ සංස්කෘතිය.

ඒත් ඔබ එහෙම කීවට යාපන අර්ධද්වීපයේ ඇතැම් කොදෙව්වක විතරක් නොවේ සමහර විට දූපත් අතරත් බාලපචාර තියෙනවා. බොහෝ විට මාමාවරුන් බාල දූවරුන් පැහැර ගත් අවස්ථා… මම කීවෙමි.

“එහෙම දේවල් අතරින් පතර තිබුණත් මේ මිනිස්සු තමන්ගේ කුල සිරිත් පණ වගේ රකිනවා.” නිශ්ශංක මහතා වැනි මානව ගුණයෙන් පිරිපුන් මිනිසුන් පොලීසියට මේ අවශ්‍ය කාලයකි. ඔහුගේ හැම වචනයකම ඒ පළාතට මිනිසුනට ආදරය කරන හැඟීමක් දැවැටී තිබිණ.

ඒත් පුන්නනිරාවි විශ්වමඩු පළාතේ අප දුටු ප්‍රභාකරන්ගේ භූගත බංකරය හදන්නට ගෙවල්වලින් බලහත්කාරයෙන් පන්නා ගත් අහිංසක ළමා ළපැටියන් අතර යම්තම් කරදඬු උස් මහත් වූ එකියක සංවිධානයට පන්නා ගනීවි යන බියෙන් පියා විසින් අකමැත්තෙන් හෝ තම සුජාත දියණිය ගැබ්බර කළ ශෝචනීය අවස්ථා ගැන ද අපි අසා ඇත්තෙමු.

ඒ අහිංසකයන් එසේ කළේ ගැබ්බර අය සංවිධානයට බඳවා නොගත් නිසාය. ඒ මොනතරම් ශෝචනීය තත්ත්වයක් ද? අහස පොළොව නුහුලන එවැනි තැනකට ඔවුන් මෙහෙයවූ ඒ ත්‍රස්තවාදීනට අපි ශාප කරමු.

කීරමලෙයි දිය නාන අපූරු පොකුණ ළඟ අපි මොහොතක් නවතිමු. මුහුදට කිට්ටුවක පැවැතිය ද කීරමලෙයි පොකුණේ දියකඳ ලුණු රසය නැත.

එය කිවුල් රසයෙන් යුතුව මිරිදියට කිට්ටුව ඇති දියකඩිත්තකි. විශාල වශයෙන් පැමිණෙන පිරිස් මෙහි දියබුං ගසා නාති. නටති. සැනහෙති. අප එහි යන විට ද විශාල පිරිසක් එහි නාමින් සිටියහ.

මේ කීරමලෙයි පොකුණෙන් දිය නා පිරිසුදු වන විට තමන්ට ඖෂධීය ගුණයක් ලැබී නිරෝගී සුව ලැබෙතැයි දෙමළ ජනතාවෝ පිළිගනිති.

“ශිව දෙවියන් පාර්වතී එක්ක මේ ස්ථානයට ඇවිත් තියෙනවා. ඒ බොහොම ඈත කාලයේ. එතැනදි පාර්වතී දිය පිපාසාවෙන් පෙළෙද්දි මේ අඩවියේ වතුර නැති නිසා ශිව දෙවියන් මේ අපූරු පොකුණ තැනුවා.

ඇය ඇති තරම් දිය බීලා තම විඩාව නිවා ගත්තා. එතැන් පටන් මේ පොකුණ පවතිනවා. මේකෙ බෙහෙත් බලය තියෙන්නෙත් ඒකයි…

කීරමලෙයි පොකුණ පැත්තට එන ජනතාවට සිසිල් බීම රටකජු ආදිය විකුණන සිංහල හොඳින් කතා කළ හැකි වෙළෙන්දෙක් මට කීය. එවැනි දෙමළ ජනකතා බොහොමයක් මේ අර්ධද්වීපයෙහි පැතිර තිබේ.

තවත් අයෙක් මේ සිද්ධියම වෙනත් ආකාරයකින් හඳුන්වති. ජනකතා කොහොමත් එහෙමය. එකකට එකක් පරස්පරය. අපට නම් කීරමලෙයි පොකුණ පෙනෙන්නේ එය සොබාදම් මවගේ තවත් විස්මිත නිර්මාණයක් පරිද්දෙනි.

හිරු අහසේ ගිනි ගනිමින් තිබේ. දැන් මධ්‍යාහ්නය එළැඹ ඇතැයි හිරු අපට සංඥා කරයි. වඩුක්කොඩෙයි – පොන්නාලෙයි හරහා එන මාර්ගයේ පිහිටි දෙමළ කඩයකින් අපි දහවල් ආහාරය සප්පායම් වූයෙමු.

අප දැන් යා යුත්තේ නාගදීප විහාරවාසී දේමයිලගස්වැව අරියකිත්ති හාමුදුරුවන් මඟ පෙන්වූ පින් බිමටය. මුහුද දිගටම රළු බැවින් පරෙයිතිව් හා එළුවතිව් යන ගමන තවත් පමා වෙයි.

එකදාස් නවසිය අනූ ගණන්වල එල් ටී ටී ඊ සංවිධානයේ බළකොටුවක් වූ අකිලා නමැති කොටි නායිකාවගේ රාජධානිය සම්බිලිතුරෙයි අපගේ ඊළඟ ඉලක්කයයි. එය ද නිල්වන් මුහුදු තීරයෙන් වට වූ අපූරු කොදෙව්වකි. එය එනමින් හැඳින්වූවත් දුරාතීතයේ සිට ඒ අපගේ දඹකොළ පටුනය.

දඹකොළ පටුන යනු “ජම්බු කෝල පට්ටන” නම් ස්ථානයයි. විජයබා රජ දවස සිට මේ ලක්දිව තිබු පුරාණ නැව් තොටක් ලෙස මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් ව ඇත්තේ මේ ස්ථානය ගැනය.

දේවානම්පියතිස්ස රජ දවස දඹදිව හා ලංකාව අතර බොහෝ සබඳතා සඳහා මෙහි පිහිටි වරාය භාවිත කළ බවට ඉතිහාසගත සාක්කි අපට හමු වෙයි.

සිංහල මහා වංසය අනුව මහා අරිට්ඨ කුමරු දේවානම්පියතිස්ස රජුගෙන් හා මිහිඳු මහරහතන් වහන්සේගෙන් හසුන්පතක් ද රැගෙන දඹකොළ පටුනෙන් නැව් නැඟි ඉන්දියාවේ කුලුහුල් නම් එදා හැඳින්වූ ස්ථානයට ගියේ මේ තොටින් බව ද සඳහන් ය.

මේ අති රමණීය සුන්දර ස්ථානයේ සිරි නරඹමින් අපි ඒ විහාරයට පිය මනිමු. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතාම සිත්කලු ආකාරයෙන් පවත්වාගන්නා මේ පින් බිම ඇත්තටම නෙතට රසඳුනකි.

මම ඒ නිල්වන් මුහුදු වෙරළේ දියකඳ අතර එබෙමින් අතීතාවර්ජනයක යෙදෙමි.

එදා ධර්මාශෝක අධිරාජ්‍යයා සසුනට පූජා කළ ඒ දියණිය සඟමිත් මහ තෙරණිය අද අනුරාධපුරයේ වැඩ වසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ රන් තලියක තබා මෙහි ගෙන එන දසුන මට මොහොතකට පෙනෙයි.

මහරජු දේවානම්පියතිස්ස ඒ රන් තලියේ වූ ශ්‍රී මහා බෝධිය හිස් මුදුනින් පිළිගත්තේ කරවටක් මුහුදු දිය කඳේ ගිලෙමිනි. ඒ දසුන් මොහොතකට මා ඇස් මානයේ ජ්වලිත වී මොහොතකින් බොඳ වී යයි.

අප මේ පැමිණ ඇත්තේ ඒ ශ්‍රී මහා බෝධිය රැගෙන මහ තෙරණිය වැඩි ඒ පින් බිමට නොවේ ද? එහෙත් ඒ පින් බිම කලකට පෙර කොටින්ගේ තිප්පළකි.

එදා අපේ නාවික හමුදා කන්කසන්තුරේ සිට කරෙයිනගර් දූපතට ගමන් කළේ මුහුදු මාර්ගයෙනි. ඒ තරමට මෙහි අකිලාගේ කොටි බලය ප්‍රබලව තිබිණ.

එනිසා හරිහැටි ගහක් කොළක්වත් නැතිව තිබුණු මේ පින් බිම මෙතරම් ගහකොළවලින් හෙවණ වූ සිත්කලු තැනක් කිරීම ගැන නාවික හමුදාවට අපේ ආචාරය හිමිවිය යුතුය.

මානුෂිය හමුදා අකිලා හා ඇගේ බළමුළු සමඟ කළ මහා සටනකින් පසු මේ පෙදෙස බේරා ගත් විට අපේ බෞද්ධ උරුමය මත මෙහි පූජ්‍යස්ථානයක් ගොඩනැංවීමට රජය උනන්දු විය.

ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු 2009 ජුනි 05 වැනිදා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙහි ඝණ්ඨාකාර චෛත්‍යය සමාරම්භ කැරිණ.

නාගදීප නායක හිමියන් ඇතුළු පළාතේ සංඝරත්නය ප්‍රමුඛව සතියක් පුරා මෙහි බෝධි පූජා පින්කම් ද පැවැත්විණ. ආනන්ද බෝධියක් ද රෝපණය කැරිණ.

සංඝමිත්තා මහ තෙරණිය බෝධිය ද රැගෙන පැමිණි අයුරු විදහා දක්වන ඒ පිළිම කර්මාන්තය අප එහි යන විට ද සම්පූර්ණයෙන් නිමවා නොතිබිණ. එහෙත් එහි සුන්දරත්වය මතුව පෙනුණේය.

මුහුදේ දෙපසින් ම වට වූ දෙබොක්කාවක් වැනි තැනක විශාල කොරල් පරයකින් වටවූ තැනක පිහිටි මේ දඹකොළ පටුනේ අසිරිය වෙනත් තැනක මම නුදුටිමි.

එදා මෙලෙස වැඩමවා ගත් ශ්‍රී මහා බෝධිය මේ පින්බිමේ සතියක් පුද පූජා පවත්වා කදුරුගොඩ විහාරයට ගෙන ගිය බව ද පුරාවෘතවල සඳහන් ය.

සඝමිත් තෙරණිය ශ්‍රී මහා බෝධිය රැගෙන මෙහි වැඩම වීමට ප්‍රථම මිහිඳු හිමියෝ ලක්දිව වැඩම වූහ. බුදුරදුන් නාගදීපයට වැඩියේ ඊටත් පෙරදීය.

එනිසා බුද්ධාගම හා විහාරාරාම මේ රටේ ඇතිවූයේ ක්‍රිස්තු පූර්ව යුගයේදීමය. කදුරුගොඩ විහාරයට ශ්‍රී මහා බෝධිය වැඩමවා ගනු ලැබුවේ ඒ පසුබිම තුළ යැයි කල්පනා කළ හැකිය.

අසිරිමත් දඹකොළ පටුන බොහෝ කාලයක අපට අහිමිව තිබු බෞද්ධ උරුමයක් සහිත ස්ථානයකි.

මීට තරමක් නුදුරින් බොහෝ දුරාතීතයේ සිට පැවැත එන ශිවම් කෝවිලක් ද තිබේ.

මෙහි වෙසෙන දෙමළ ජනතාව ඒ ශිවම් කෝවිලට මෙන්ම දඹකොළ පටුනට ද පැමිණ වඳිති. පුදති. මේ මොන තරම් සාමකාමී ආගමික සාමාජික සහජීවනයක්දැයි මට සිතේ.

නාගදීප විහාරයත් නාගපුරණ අම්මාන් කෝවිලත් අතර සබඳතාව මෙන්ම මේ ශිවම් කෝවිලේ පුසාරිත් මේ ආගමික ස්ථානයන් අතර ආගමික සහජීවනයක් ගොඩනැඟී තිබීම ද සතුටුදායකය.

එදා තුන් සිංහලය එක්සේසත් කළ රජ කුමරු (ක්‍රි. පූ. 161) දුටුගැමුණු උත්පාදනය කළේ ශාසනයයි. සිතුල් පව්වෙහි ආකාශ චෛත්‍යයට ගඩොල් ඇද ගිලන් වූ ඒ සාමණේරයන් වහන්සේ අපවත් වන්නට සූදානම් මොහොතේ ඊට ප්‍රථම විහාර මහා දේවිය උන්වහන්සේට නොයෙක් උවටැන් කොට මේ රට ආක්‍රමණිකයන්ගෙන් බේරා බුදු සසුන රැකගන්නට තම කුස උපදින්නැයි ආරාධනා කළාය.

දුටුගැමුණු නරපතියන් ලෙස උපන්නේ ඒ ශාසන පුත්‍රයායි. දඹකොළ පටුන ද භික්ෂුණි ශාසනයේ මෙන්ම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වූ ශ්‍රී මහා බෝධිය මෙරටට ගෙන ආ ප්‍රධාන තොටුපළයි.

ඒ බෞද්ධ උරුමය රකින්නට මානුෂිය මෙහෙයුමේදී මේ පින් බිමේ කුසල ශක්තිය ද හේතු වූවා නිසැකය. නැතිනම් එදා බලසම්පන්න අකිලා කොටි දෙනගේ මේ අඩවිය අද අපේ බෞද්ධයන්ට වැඳ පුදා ගැන්මට ලැබෙන්නේ කෙලෙසක ද?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: