Posted by: lrrp | November 24, 2012

හඳ එළියෙන් පාඩම් කරන එළුවතිව් දරුවන් සොයා…

 

ග්‍රාමසේවක ආරූරන්

අද ඉතා දීප්තිමත් දවසකි. නිල්වන් වලාකුළුවලින් නොතොර අහස් කුස ප්‍රභාමත් ය. දූපත් ජන ජීවිතයේ අපට මෙතෙක් ගවේෂණය කළ නොහැකිව තිබු එළුවතිව් දූපත සොයා යාමට අපි තීන්දු කළෙමු.

මුහුදේ ඝෝෂාව ද රළ රුළිද ප්‍රචණ්ඩකාරිත්වය ද පහව ගොස් තිබේ. අපි යාපනයේ සිට කුරිකට්ටුවාන් ජැටියට ඉගිළ ගියෙමු.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් “වෝටර් ජෙට්” යානාවක් නැවත සූදානම් කැරිණි. නාවික නිලධාරී ලුතිනන් කමාන්ඩර් පෙරේරා අප එන මඟ බලා සිටියේය.

“බොහොම කාලෙකට පස්සෙ නැවත මුහුදු සංචාරයක්. දැන් මුහුද හොඳයි…” අප සුහදව පිළිගනිමින් ඔහු කීවේය.

මුහුදේ ඝෝෂාව අඩු වුණත් කරදිය පිස එන සුළඟ දැඩිය. ගැහැනියකගේ ස්වභාවය කියා දුන් බර්නාඩ් ෂෝ කිවියාගේ ඒ මනහර කියුම නැවත මට සිහිපත් වෙයි.

මුරුගාවේල් විදුහල් දරුවෝ

ඒත් මහා කන් බිහිරි කරවන නිශ්ශබ්දතාව ඊළඟ මොහොත නිර්මාණය කරන්නේ මහා කාහලනාදයකටදැයි නොදනිමි. කෙසේ වෙතත් දැන් අප ‘වෝටර් ජෙට්’ යාත්‍රාවට නැවත නැඟිය යුතුමය.

සුළං රැල්ලත් මුහුදු රළත් කපාගෙන යානාව වේගයෙන් ඉදිරියට ඇදෙයි. අනෙලතිව්, ඩෙල්ෆ්ට්, කාරෙයිනගර්, පරෙයිතිව්, නයිනතිව්, කරතිව්, කච්චතිව් දූපත් වළල්ල ඈතින් විහිද පෙන්වන මේ දර්ශනය අලංකෘතය.

විනාඩි විසි පහකින් පසුව අප කරිප්පන් ජැටියට ළඟාවීමු. කරිප්පන් යනු එළුවතිව් දූපතට ගොඩබසින ජැටියයි. වැඩි ශෝභාමත් බවක් නුසුලන එහෙත් සුන්දරත්වයෙන් නොතොර මේ ජැටියේ සිට අප පා ගමනින් මීටර් 100 ක් පමණ ඉදිරියට ගමන් ගනිමු.

එතැනදි මේ දූපත් වළල්ලම රැක බලා සිටින එළුවතිව් නාවික මුරපොළ හමුවෙයි. අප පැමිණි කාරණය අසා එම නිලධාරීහු අපට බොහෝ ළෙන්ගතුව කරුණු කීහ.

“හැබැයි! මහත්තයො, මේ දූපතේ ඇවිදින්ඩ විතරයි පුළුවන්. බස් වාහන ආදිය නෑ. මේකෙ තියෙන බරපතළම වාහනේ තමයි ලෑන්ඩ් මාස්ටරේ. මහත්මයලාට අවශ්‍යනම් එයින් එකක් හොයා දෙන්ඩ පුළුවන්…”

රුපියල් ශතවලට වඩා මිනිස්කම අගයන මේ මිනිසුන් රටට ජාතියට මහත් ආභරණයකි. එහෙත් එසේ හොයාගන්නා ලෑන්ඩ් මාස්ටර හිමියාට යම් මුදලක් ප්‍රදානය කිරීම අපේ යුතුකමය.

නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි නාවික රණවිරුවෝ කීපදෙනෙක් තවත් සුළු විරාමයකදී අපට ලෑන්ඩ්මාස්ටරයක් ලබා දුන්හ.

නාවික හමුදා මුරපොළේ බිත්තියක එල්ලා ඇති එළුවතිව් සිතියම විමල්ගේ කැමරා කාචයේ රූපගත වනු මට පෙනෙයි.

තල්වැට අද්දර සිනා කැකුළු

එය ඇත්තටම අසිරිමත් අවස්ථාවකි. මේ දූපත් වළල්ලේ එක් එක් දූපත මෙසේ සිතියම් ගත කැර තිබීම ද අගනා කාර්යයකි.

“මේ දූපතේ කොයිතරම් ජනතාවක් ඉන්නවා ද?” මම එහි සිටි ප්‍රධාන නිලධරයා විමසීමි.

“ඇත්තටම මෙහි ඉන්නෙ පවුල් 161 ක් විතරයි. මිනිස්සු 759 ක් ඉන්නවා. මේ අය සියලුම දෙනා දමිළ වැසියො. මූලික රෝහලක්, තැපැල් කන්තෝරුවක්, කෝවිල් වගේ දේවල් අනෙත් දූපත්වල වගේම මෙහෙත් තියෙනවා. ඒත් මේ දූපත ටිකක් දුෂ්කරයි. ගමනාගමනය පයින්මයි.” ඔහු කීවේය.

කිලෝමීටර 3 1/2 ක් දිග මීටර 750 ක් පළල වූ එළුවතිව් ඒ නම ලැබුවේ ඇයි දැයි කිසිවකු දන්නේ නැත. එහෙත් එළු-ගව ගාල්නම් මෙහිද අඩුවක් නැත.

අපි ලෑන්ඩ්මාස්ටරයේ නැඟී එළුවතිව් ග්‍රාමසේවක ඒ. ආරූරන් සොයා ගියෙමු.

“මේ දූපතේ සාමාන්‍ය ආරවුල් වියවුල් අඩුයි. මිනිසුන් අතර තරගකාරිත්වයක් නෑ. හැම දෙනාම එකම බෝට්ටුවෙ යන්නෙ.

කරිප්පන් ජැටිය

එකම බෝට්ටුවේ එන්නෙ. කයිට්ස් පොලීසියෙන් තමයි ලොකු පැමිණිල්ලක් තිබුණොත් විභාග කරන්නෙ.”

එසේ කී ආරූරන් මහතා තම හම්බර් බයිසිකලයේ නැඟී අපේ ලෑන්ඩ්මාස්ටරයේ පසුපසින් දූපත් සංචාරයට එක්වෙයි. දැන් අපේ එළුවතිව් මාර්ගෝපදේශකයා ඔහුය.

එළුවතිව් තැපැල් කන්තෝරුව තරමක ගෘහයකි. දූපතේ උළු සෙවිලි කළ අතරින් පතර ගෙවල් අතරින් මේ කුඩා නිවෙස්නය තැපැල් කන්තෝරුව සඳහා වෙන් විණි. තනිනායගම් තිගල්මන් එහි තැපැල් ස්ථානාධිපතිනිය වූවාය. ඇය හා අදහස් හුවමාරු කිරීමට අපට දමිළ බස් හොඳින් දන්නා නාවික නිලධාරිනගේ සහාය ලැබිණ.

“මේ මිනිස්සු අතර නවීන තාක්ෂණය තවම නෑ. දුරකථන භාවිතය තිබුණත් තවමත් මේ අය ලියුම් යවන්න තමයි කැමැති. දවසකට පිට පළාත්වලින් මේ දූපතට ලියුම් 35 – 40 ක් එනවා. වැඩි හරියක්ම ටෙලිග්‍රෑම් තමයි එන්නෙ.”

ධීවර ප්‍රජාව

මේ දූපතෙන් එපිටට දවසකට ලියුම් කීයක් යනවා ද? මම අසමි. ලියුම් 10 ක් විතර… ඇය කීවාය.

අඳුර විනිවිද ගිය ඔවුන්ගේ ජීවිතවලට අන්ධකාරය (ආලෝකයක් නැති වෙලාව) ද හොඳින් හුරු පුරුදුය. කාලසටහනකට පිළිවෙළකට වැඩ කිරීමට ඔවුනට නිතැතින්ම පුරුදු පුහුණු වන්නට ඒ නිසාම සිදුවී ඇත්තේය.

මේ දූපත එළිය කරන්නේ එකම එක ජෙනරේටරයකි. උදේ 9 ත් දහවල් 12 ත් අතර හා සවස 6 සිට රාත්‍රී 10.30 පමණ වනතුරු මේ ජෙනියෙන් දූපත එළිය කරනු ඇත. ඒ වේලාවට දරුවන්ගේ පාඩම් කටයුතු හා වෙනත් කටයුතු කැර ගත යුතුය.

නැතිනම් ඔවුනට වැඩි වේලාවක් වැඩ කරන්නට සිදුව ඇත්තේ සඳ එළිය හා තරු එළියෙනි. අමාවක දවසට ඒකත් කරන්නට බැරිය.

අපි එතැනින් තවත් මොහොතක් ඉදිරියට ඇදෙද්දී වයසක ගැහැනු දෙදෙනකු තල් දඬු වැටක් සෑදීම සඳහා අමු තල් අතු ගොනු කරමින් සිටිනු දුටිමු.

මේ තල් දඬු හොඳින් වේලා ගැනීමෙන් අනතුරුව මේ නිවෙස්වලට අයත් ඉඩම්වල තාප්ප වෙනුවට වියළි තල් දඬු වැට බැඳෙයි. එය චාම්ය. හැමෝම කරන්නේ තාප්පවලට වියළි තල්වැට බැඳීමය. එනිසාම තරගකාරිත්වයක් ද නැත.

වෙනත් දූපත්වල මෙන් මේ දූපතේ ද වැසියන් ජීවනෝපාය වශයෙන් කරන්නේ ධීවර කර්මාන්තයයි. ඊටත් අමතරව තල් රා නිෂ්පාදනය, කොට්ටකෙලෙන්ජු නිෂ්පාදනය ඔව්හු මහත් කැපවීමෙන් කරති. එළුවතිව් මුහුදු වෙරළ ලස්සනය.

“ සතුනට ජලය බීමට සැදූ කර්නී” ළඟ නතර වී…

සරල කාර්මික උපකරණ සහිත බෝට්ටු කීපයක් මට පෙනෙයි. මා ඒ වැල්ලේ පා ඔබමින් ඉදිරියට යමි. කරවල වේළන ධීවර යුවළක් මට හමුවෙයි. ඔව්හු තමන්ගේ දුක් කන්දරාව මගේ පරිවර්තක නාවික නිලධාරියාට පවසති.

“අප දුප්පත් මිනිස්සු. එදා වේල හම්බ කරගෙන ජීවත්වෙන්නෙ. මාළු යහමින් ලැබුණොත් ටිකක් යාල්පානම් ඇරලා අනෙත් ටික වේළ ගන්නවා. එහෙමත් නැතිවුණොත් අපේ දරු පැටව් බඩගින්නෙ… (අනෙත් දූපත්වලට මෙන් මෙහිද ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා පැමිණ මසුන් මැරීම සිදුවෙයි.)

දුප්පත්කමත් පොදි බැඳ ගත් අවංකකමත් මේ මිනිසුන් ළඟ ඇතැයි මට සිතේ. ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, හොරකම් ඔවුන් අතර නැත. මේවා වැඩි දියුණු වන්නේ යම් සමාජයක් සංකීර්ණ වූ විටදැයි මට සිතේ.

අපි ලෑන්ඩ්මාස්රයෙන් දූපතේ ලොකුම ස්කොලෙ, එළුවතිව් මුරුගවේල් විද්‍යාලයයට යන්නෙමු.

ලෝක ආහාර සංවිධානයෙන් ලැබුණු පරිප්පු කව්පි වැනි දෑ ඒ පාසල් මිදුලේ අව්වේ වෙළෙන්නට වනා තිබිණ. හරිහැටි සපත්තු සෙරෙප්පුවත් නැති ළමා ළපැටියෝ ඒ අවස්ථාවේ දහවල් ආහාරය ගනිමින් සිටිති. පුංචි ලී බංකුවක වාඩි වී සිටි මේ ළපැටියන් හැමෝගේම මුහුණේ වේදනාබර දරිද්‍රතාවයේ ලකුණු ඇඳී ඇතැයි සිතමි.

තැපැල් ස්ථානාධිපතිනිය තනිනායගම් තිගල්මන්

නියෝජ්‍ය විදුහල්පතිනිය මේරි ලින්ඩියා මට කරුණු පවසයි.

“දූපතේ කියලා නෑ ඉගෙනුමට දක්ෂකම් පෙන්වන ළමයි ඕනෑ තැනක ඉන්නවා. මේ දරුවො මා හිතන්නෙ ලංකාවෙ ඉන්නා දුප්පත්ම ළමයි ටික. ඔක්කොම ළමයින් 114 ක් මේකෙ ඉගෙන ගන්නවා. ඒ අයට වෙනත් දූපතකට ගිහින් හරි යාපනයට ගිහින් හරි ඉගෙන ගන්ඩ තරම් හයියක් නෑ. ආණ්ඩුවත් ඉස්කෝලෙට අවශ්‍ය පහසුකම් තරමක් හෝ හරිගැස්සුවත් පරිගණක දෙකක් පවා ළමයිනට ලබා දුන්නත් ඒක මේ අයගේ අවශ්‍යතාව සම්පූර්ණයෙන් පිරිමසන්න පුළුවන් දෙයක් නොවේ.”

ඒ ගුරුවරිය කී කතාවය. ඊට වඩා කතාවක් ඔවුන්ගේ දූ දරුවන්ගේ අහිංසක ඉරියව් අපට පෙන්වයි. මේ දරුවන්ට අවශ්‍ය පොත පත පෑන පැන්සල, මතු නොව සපත්තු මේස් ද නැති ගාණය. එහෙත් ඔවුන් උතුරු පළාතේ විවිධ ක්‍රීඩා ඉසව්වලින් දස්කම් පාති. උස පැනීම හා දුර පැනීම තරගවලදී පළමු තැන දිනා ගත් දරුවන් කීප දෙනෙක් සමඟ මම කතා කළෙමි. ඒ කතාවේ සාරාංශය මෙසේ ය.

අපිට හිරු එළිය වෙන්න ඔබට පුළුවන්. මේ දූපතෙන් එළියට ඇති ලෝකයට අප ගෙනයන්ඩත් ඔබට පුළුවන්. ඒ සඳහා අපට අත්වැල දෙනවානම් අම්මේ තාත්තේ ඔබට මහා පිනක්. එබඳු පින්බර සිතක් ඔබටත් පහළ වී නම් කරුණාකර මෙසේ ලියන්න. විදුහල්පතිනිය, මුරුගවේල් මහා විද්‍යාලයය, එළුවතිව් දූපත, යාපනය.

Advertisements

Responses

  1. කතාවේ මුල් ටිකේ වැඩිපුර දාල තියෙන කලාත්මක අටෝප ටික අඩු කර නම් මේ ලිපිය කියවන අයට උදවුවක් කරන්නේ හිතෙයි…


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: