Posted by: lrrp | December 3, 2012

අවසන් විග්‍රහයේදී පුරාවිද්‍යා සොරුන්ට වඩා පොලිසිය හොඳය

අප විටක පොලිසියේ පතුරු යන සේ බැන්නත් අවසාන පලයේදී බලන විට පොලිසිය හොඳය.

අදටත් මේ රටේ මිනිසෙකුට හදිසියට දුවන්නට ඇති එකම තැන පොලිසියයි. රාළහාමිලාට කන්කෙඳිරගා හෝ ආරක්‍ෂාව ලබා ගත හැකි එකම තැන පොලිසියයි. මාධ්‍ය විසින් පොලිසියට බණින ලද්දේ වී නමුදු පොලිසිය ඒවා මතක තබා නොගනී. ඉල්ලන ඕනෑම මොහොතක මාධ්‍යකාරයකුට හැකි උදව්වක්‌ කරන්නට පොලිසිය සූදානම්ය.

අප හිටි හැටියේම පොලිසියට මෙතරම් හොඳ කියන්නේ ඇයි? පොලිස්‌ අත්අඩංගුවට පත් මාධ්‍ය ඥතියකුට පොලිසියේ උදව් ලබා ගැනීමට වුවමනා නිසාද? නො එසේනම් මාර්ග නීති උල්ලංඝනය කළ අපේ හිතවතකුට දඩ කොලයක්‌ කැඩීමෙන් පොලිසිය වළක්‌වා ගත යුතු නිසාද? නැත. අපගේ මේ පහන් සිත අම්පාරේ තිරුක්‌කෝවිල් දාගැබ හෑරූ නීච අපරාධකාරයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට අම්පාර පොලිසියේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කළ හදිසි වැටලීම වෙනුවෙනි. මේ වැටලීම ගැන සම්පූර්ණ විස්‌තරය ඊයේ (02 වැනිදා) ඉරිදා “දිවයිනේ” පළ වී තිබේ.

වල්ගස්‌ වැවුණු, පස්‌ ගොඩවල් බඳු දාගැබ් විශාල ප්‍රමාණයක්‌ නැගෙනහිර සහ උතුරේ තිබේ. තිස්‌ අවුරුද්දක යුද්ධය නිසා පසුගිය කාලයේදී ඒවා ප්‍රතිසංස්‌කරණය කෙරුණේ නැත. යුද්ධය නැති මේ කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සල්ලි නැති නිසා ඒවා ප්‍රතිසංස්‌කරණය කෙරෙන්නේ නැත. අපේa පුරාවිද්‍යා “කොමා” “හරිම හිත හොඳ මිනිහා” බව ඇත්ත. ඒත් මිනිහාගේ දෙපාර්තමේන්තුව පණ මදිය. එබැවින් දෙපාර්තමේන්තුවටත් පොවා තමන්ටත් බොනු පිණිස මිනිහාට විටමින් එකක්‌ අරන් දිය යුතුය. ඒ විටමිනය B 12 වැනි විටමිනයක්‌ නොව දේශානුරාගයේ විටමින් විය යුතුය. රටේ සංස්‌කෘතික උරුමය ගැන නළියන සිතක්‌ ඇති කරන විටමිනයක්‌ විය යුතුය. සිංහලයා ජාතිය වශයෙන් යළි ගොඩ ආයුතු බව සිහිපත් කරවන විටමිනයක්‌ විය යුතුය. මේ තුන්වැනි කාරණය මේ රටේ බොහෝ දෙනාට සිහිපත් කර දීමට නම් විටමිනය පොල්ලකට දී පොල්ලෙන් ඔලුවට දෙක තුනක්‌ දිය යුතුය.

තිරුක්‌කෝවිල් දාගැබ හාරන්නට යන බව අම්පාරේ පුරාවිද්‍යා ආරක්‍ෂණ පොලිස්‌ ඒකකය මගින් අවස්‌ථා කිහිපයකදීම අම්පාරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලයට දන්වා තිබිණි. එහෙත් ඒ ගැන බැලීමට යැමට ඔවුන් තුළ උනන්දුවක්‌ තිබුණේ නැත. දාගැබ හෑරූ “නිධන් හොරුන්” පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ප්‍රචාරය වූ විට පවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිද්ධිය වූ තැනට යැමෙන් වැළකී සිටියේය. පොලිසිය දැනුම් දුන්නාම යනවා” යනුවෙන් කිවූ ඔවුහු නිහඬ වූ බව ඉරිදා “දිවයිනේ පළ විය. මෙතැනදී පොලිසිය විසින් කරනු ලැබිය යුතුව තිබුණේ මෙයයි, ජීප් එක පුරාවිද්‍යා කාර්යාලයට යවා අදාළ නිලධාරීන් එහි පටවා මග දිගටම නෙළ නෙළා තිරුක්‌කෝවිල් ස්‌ථූපය වෙත ගෙනයැමය.

පුරාවිද්‍යාකාරයන්ගේ නීච, අමන, උකටලී ස්‌වභාවය දෙස බලන විට කෙනකු කියනු ඇත්තේ ඔවුන් සහ නිධන් හොරුන් අතර සම්බන්ධයක්‌ තිබිය හැකි බවය. එහෙත් අප නම් ඒ කතාවට එක පයින් වෙනුවට දෙපයින් විරුද්ධය. මේ රට පුංචි නිසා දෙගොල්ල අතර නෑදැකමක්‌ තිබෙනවා වෙන්නට පුළුවන. එහෙත් වෙනත් ආකාරයක “අත යට” සම්බන්ධයක්‌ ඔවුන් අතර නැත. ඔවුන් ඒ තරමටම පිරිසිදු මිනිස්‌සුය.

කෙසේ වුවත් අවසන් ප්‍රතිඵලය විග්‍රහ කිරීමේදී අපට පෙනී යන්නේ උතුරු නැගෙනහිර පුරාවස්‌තු යුද සමයේදී මෙ සමයට වඩා හොඳින් ආරක්‍ෂා වූ බවය. ප්‍රභාකරන්ගේ කට්‌ටියක්‌ නිධානයක්‌ දෙකක්‌ හාරාගන්නට ඇත. එහෙත් මෙ පමණ සංහාරයක්‌ ඔවුන් කළේ නැත. අද මහ දවල් එළිපිට එක්‌ස්‌කැවේටර් යන්ත්‍ර යොදවා නිධන් හාරනු ලැබේ. නිධන් හෑරීම සඳහා රාත්‍රි කාලය එළඹෙන තෙක්‌ සිටිය යුතු නැත.

මේ නීච කර්මාන්තයට සම්බන්ධ හොර මන්තරකාරයන් සහ කට්‌ටඬියන් රොත්තක්‌ දැන් බිහිව ඇත. නිධානය තැන්පත් කර ඇති ගල් දෙකඩ කරන මන්තරදන්නා බව කියන කට්‌ටඬියෝ සිටිති. එහෙත් ගල් පැලීමට මන්තර වලට හැකිද? ඒ සඳහා ඩයිනමයිට්‌ වුවමනාය. ඇත්ත නම් මේ හොර කට්‌ටඬි මන්තර කියා තුන් කුළුඳුල් බිලිත් දී ඩයිනමයිට්‌ වැලකුත් පිපිරවීමය. පුරාවිද්‍යා සොරුන් නිධන් සොරුන් කට්‌ටඬි සොරුන් යන තුන්ගොල්ලම එකට ඈඳා රජ කාලයේ දඬුවම් දෙන බව ඉල්ලමින් අද කතුවැකිය නිමාවට පත් කරමු.

(දිවයින )

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: