Posted by: lrrp | December 3, 2012

කුච්චවේලි කඳුගැටයේ අසිරියත් නරඹමු…

ඔබ තනිවම මුහුදු වෙරළක ඇවිද ගොස්‌ තිබේද…? අලුත් දිය රැල්ලකින් තෙත බරියන් වී මනාව සැකසුණු වැලිතලාව මත ඇවිද යන ඔබට ආපසු හැරී බලනවිට පෙනෙන්නේ කුමක්‌ද?…

ඈතට ඈතට විහිදී පුංචි වී නොපෙනී යන ඔබේම පිය සටහන් ඔබට පෙනේවි. තවත් මොහොතකින් ඇදී එන ඊළඟ දළ රැල්ලෙන් ඒ පියසටහන් සේදී මැකී නොපෙනී යාවි…

වැල්ලේ පියසටහන් අන්න එහෙමය. සදාකාලික නැත. සැණෙකින් මැකී නොපෙනී යන සුළුය…

එහෙත් මතකයේ ඇඳුණු පියසටහන් එසේa මැකී නොපෙනී යා හැකිද…?

බොහෝවිට මතකයේ පියසටහන් ඇඳෙන්නේ යළි නොමැකෙන්නටය. නිsතරම අතීතය වෙත අප රැගෙන යන්නේ මතකයේ නොමැකී රැඳී තිබෙන ඒ පියසටහන්ය…

ඒ අයුරින් මම පසුගිය දිනක මතකයේ රැඳි පියසටහන් වැලක්‌ ඔස්‌සේ ත්‍රිකුණාමලයේ සිට නිලාවැලි පසුකර කුච්චවේලි ප්‍රදේශය දක්‌වා ඇවිද ගියෙමි….

මතකය නිවැරදි නම් ඒ ගමන මම මුලින් ගොස්‌ තිබුණේ 2000 කාලවකවානුවේදී හෝ ඊට පෙරය. එවකට ත්‍රිකුණාමලය ප්‍රදේශය භාරව රාජකාරි කළේ කවදත් අපට හිතවත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකි. ඒ වූ කලී එවකට සහකාර පොලිස්‌ අධිකාරිවරුන් ලෙස සේවය කළ ප්‍රේමලාල් රණගල හා සරත් පෙරේරාය.

අද රණගල කොළඹ දකුණ ප්‍රදේශය භාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාය.

මේ දෙදෙනා ත්‍රිකුණාමලය උතුර භාරව සිටි, යුද්ධය තරමක්‌ සැර බාල වී තිබූ වටපිටාවක මමත් සංඛ ගාල්ලගේත් තව මිතුරන් කිහිපදෙනකුත් ත්‍රිකුණාමලයට ගියේ ඒ ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වය හා යුදමය පරිසරයක්‌ විසින් යටපත් කරවමින් තිබූ සුන්දරත්වය පිළිබඳ සොයා බලා පුවත්පතට ලිපි කිහිපයක්‌ ලිවීමේ අරමුණ ඇතිවය.

මේ ගමනේදී ත්‍රිකුණාමලය නගරයේ තිබූ පොලිස්‌ අධිකාරී නිවස්‌නයේ සිට කුච්චවේලියට අප රැගෙන යාමේ වගකීම භාරව සිටියේ එවකට කුච්චවේලි පොලිසියේ රාජකාරි කරමින් සිටි උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුටය. ඔහු ලෑන්ඩ් රෝවර් වර්ගයේ විවෘත ජීප් රථයකින් අපව එම ගමන රැගෙන ගියේය.

ඒ කාලයේ අඩියෙන් අඩියට සෝදිසි කිරීමේ මාර්ග බාධක තිබිණි. උප්පුවේලි පොලිසියද පසුකොට අපි, මුලතිව් දක්‌වා දිවෙන මුහුදුබඩ මාර්ගයේ උතුරු දෙසට ඉදිරියට ඇදීයද්දී එක තැනක සිටියේ පොලීසියයි. තවත් තැනක සිටියේ හමුදාවයි. ඒ හැරුණවිට බොහෝ තැන්වල සිටියේ නාවික හමුදාවය. පොලිස්‌ ජීප් රියකින් ගියත් නාවික හමුදාව හා යුද හමුදාව අප අත හැරියේ නිසි සෝදිසි කිරීම් හා ප්‍රශ්න කිරීම් වලට අනතුරුවය.

ඒ ආකාරයේ කදිම අත්දැකීම් විඳිමින් බිය සැකය හා ත්‍රාසය එකට මුසුවූ එම ආගන්තුක අසීරු පාර දිගේ අපි ඉදිරියට ගියෙමු. අප රැගෙන ගිය ජීප් රිය පැදවූ උප පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ වේගවත් ධාවනයට වළ ගොඩැලි පෙනුනේම නැත. දෙපසම විවෘත විල්ලු භූමි හා තැනිතලා බිම් හරහා ඔහු පවනට බඳු වේගයෙන් ජීප් රිය පදවාගෙන ගියේ උදේ ආහාරයට ගත් බත් ඇට නහයෙන් පනින තරමට ගැස්‌සෙද්දීය.

”කොටි ස්‌නයිපර් කාරයෝ ඈත ඉඳන් එම් එක ගන්නවා. එහෙම ගන්න බැරිවෙන විදියට තමයි අපි වාහන ගෙනියන්නේ…” ඔහුගේ වේගවත් ගමනට හේතුව ලෙස ඔහු ඉදිරිපත් කළ ඒ කාරණාව එදා අපේ බොකු බඩවැල් ගිනියම් කර දැමුවා මතකය…

අපි නිලාවේලි ගම පසුකර තව තවත් ඉදිරියට ගියෙමු. ඒa යන ගමනේදී ඔහු අපට මග දෙපස නටඹුන්ව ගිය ගෙවල් හා වෙළඳ සල් පෙන්වමින් අතීතයේ ඒ ඒ තැන්වල සිදුවූ අවාසනාවන්ත සිදුවීම් විස්‌තර කරන්නට පටන් ගත්තේය. නාවික හමුදාවේ බස්‌ රථ වලට හා යුද හමුදාවේ ට්‍රක්‌ රථවලට ප්‍රහාර එල්ල වූ අයුරු ඔහු විස්‌තර කළේය. ඒ සෑම ප්‍රහාරයක්‌ම පැති බෝම්බ නිසා සිදුවූ බව ඔහු අපට විස්‌තර කළේය…

මේ පහුගිය කාලේ තිබුණ භයානකම තර්ජනය තමයි පැති බෝම්බ තර්ජනය. කාලයක්‌ තිබුණේ බිම් බෝම්බනේ. ඊට පස්‌සේ අපේ හමුදාව හැමදාම උදේ පාන්දර ”රෝඩ් ක්‌ලියර්” ටීම් එක දාල බිම්බෝම්බ සර්ච් කරලා අයින් කරනවා. ඊට පස්‌සේ කවුරුවත් නොහිතපු විදියට තමයි කොටි පැතිබෝම්බ ඇටෙව්වේ. පාර අයිනේ ගහක ගස්‌ දෙබලක හෝ කාණුවක බෝම්බය බැඳලා වාහනයක්‌ ඒ ළඟින් යනකොට රිමෝට්‌ එකකින් බෝම්බය බ්ලාස්‌ට්‌ කරනවා. දැන් අපේ අය සර්ච් කරන්නේ බිම විතරක්‌ නොවෙයි. පාර දෙපැත්තේ ගසුයි – උඩයි – බිමයි හැම තැනම දැන් සර්ච් කරනවා…

මිනිස්‌ පුළුටක්‌ නැති පාළුවට ගිය ලඳු කැලෑවලින් පිරි තැනිතලා බිම් විල්ලු හා දෙමළ ජනතාව එක්‌ රැස්‌ව සිටි ගම්මාන ඔස්‌සේ අපි කුච්චවේලියට ලඟා උනෙමු. කුච්චිවේලිය වූ කලී එදා මුළුමනින්ම දෙමළ ජනතාව වාසය කළ දෙමළ ගම්මානයකි. ඊට කලකට පෙර එහි සිංහල ගැමියෝද බොහෝ සේ වාසය කළ බවට කරුණු ඇත. අයහපත් යුද වාතාවරණය මධ්‍යයේ සිංහලයෝ ගම්බිම් ඉඩකඩම් අතහැර පලාගොස්‌ තිබිණි. එහෙත් මේ මුළු භූමි භාගයම බොහෝ ඈත අතීතයේ ප්‍රෙෘඩ ඉතිහාසයක්‌ හා සිංහල බෞද්ධ සංස්‌කෘතියක්‌ සහිත බිම්කඩක්‌ව තිබූ බවට සාක්‍ෂි එදාත් හැම තැනකම ඇති තරම් ඉතිරිව තිබිණි. ඒ සාක්‍ෂි කොටි ත්‍රස්‌තවාදීන් හා අනෙකුත් බලවේග විසින් අකා මකා දමන්නට කොතරම් වෙර දමා තිබුණත් ඒ කිසිවක්‌ සාර්ථක වී තිබුණේ නැත.

ප්‍රධානම සාක්‍ෂිය වූයේ කුච්චවේලියේ පිහිටා තිබූ කුච්චවේලි මහා විහාරයයි. මෙය ලංකාවේ දකුණේ හා නැගෙනහිර පිහිටා තිබූ මුහුදු මහා විහාර වලින් ඉතා මනරම් විහාරයක්‌ වන කණිකාරවෙල්ලි විහාරය බව හඳුනාගෙන තිබිණි.

කුච්චවේලි පොලිසිය පිහිටා තිබුණේ පාර අද්දරය. එහි සිට මුහුදු වෙරළට මීටර් 75 ක පමණ දුරක්‌ යා යුතුව තිබිණි. පොලිසියේ පිටුපස කම්බි වැට කෙලවර වූයේ කුච්චවේලි නාවික හමුදා කඳවුරෙනි. වෙරළ අද්දරට යාමට නම් නාවික හමුදා කඳවුර හරහා යනවා මිස වෙන ක්‍රමයක්‌ නොවීය.

කුච්චවේලි විහාරය හෙවත් කණිකාරවෙල්ලි විහාරය ඒ මුළු ප්‍රදේශයම වසාගෙන පැතිර තිබූ බවට පැහැදිලිව පෙනෙන සාක්‍ෂි ගණනාවක්‌ම තිබිණි. ඉන් පළමුවැන්න වූයේ පොලිසියට හා නාවික හමුදාවට අතරමැදි භූමියේ පිහිටා තිබූ මහා විහාර ගොඩනැගිල්ලේ නටබුන්ය. විහාරගෙයි පාදම පසුකලෙක කරන ලද කැණීම් වලින් මතුකරගෙන තිබූ අයුරු එදා ද අපි දුටුවෙමු. ඒ කැණීම් වලින් සොයාගන්නා ලද බුදුපිළිම කිහිපයක්‌ හා ඓතිහාසික වස්‌තු කිහිපයක්‌ තැන්පත් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිකර තිබූ ශාලාවක්‌ එදා ද ඒ බිමේ තිබිණි. එය ඉදිරියේ හතර පැත්තට පැරණි හෙළ බසින් ලියන ලද අත්තානි කණුවක්‌ද තිබිණි. ඒ සියල්ල එදා මා දුටු අයුරින්ම මේ නොබෝදා ගිය ගමනේදී ද දැක බලා ගත්තෙමි. වෙනසකට තිබුණේa එතනට එදා තිබූ පොලිස්‌ ආරක්‍ෂාව හෝ නාවික හමුදා ආරක්‍ෂාව අද එහි නොවීමය. මා මෙවර ගිය වේලේ දුටුවේ එම සංස්‌කෘතික මධ්‍යස්‌ථානය බාරව සිටි එකම එක නිලධාරියෙක්‌ පමණි. ඒ හැරුණවිට බලු පුළුටක්‌ අද ඒ බිමෙහිම නැත. මුළු භූමියම පාළුවට ගොස්‌ සේය.

පොලිසියට යාබදව තිබූ විහාරගෙයි නටබුන් හැරුණ විට කුච්චවේලි විහාරයේ වැදගත්ම කොටස තිබුණේ නාවික හමුදාව භාරයේ තිබූ භූමියේය. එතනට යාමට නම් අපිට නාවික හමුදා කඳවුරේ ප්‍රධානියාගෙන් අවසර ගත යුතුව තිබිණි. නාවික හමුදාවේම එවකට සිටි පත්ම ශ්‍රී තුෂාර නම් මගේ මිතුරකුගේ හැඳුනුම්කමක්‌ කියාගෙන මම නාවික හමුදා ප්‍රධානියා හමුවන්නට ගියෙමි. එහි සිටියේ මගේ මිතුරාගේ නිලයේම වූ ඔහුගේ හිතවතෙකි. නමින් ලුතිනන් දසනායක වූ ඔහුද මාතර ප්‍රදේශයේ පුද්ගලයකු වූ බැවින් අප සමග මිතුරුවන්නට විනාඩි දෙකතුනක්‌ ගතවූයේ නැත.

කුච්චවේලියේ තිබෙන වැදගත්ම කොටස වන වෙරළාසන්නයේ පිහිටි කඳුගැටය එවක පිටස්‌තර අමුත්තන්ට තහනම් ප්‍රදේශයක්‌ විය. එසේ වූයේ එදා එහි සවිකොට තිබූ යුදමය මෙවලම් කිහිපයක්‌ නිසාය. මුළු ත්‍රිකුණාමලය ප්‍රදේශයේම මුහුදේ සංචාරය කරන සතුරු හා මිතුරු යාත්‍රා සියල්ල පැහැදිලිව හඳුනාගත හැකි රේඩාර් යන්ත්‍රය එදා සවිකොට තිබුණේ එතැනය. ඒ සමගම එබඳු සතුරු යාත්‍රාවලට නිවැරදි ඉලක්‌කයට පහරදිය හැකි වටිනා බර අවියක්‌ද ඒ කඳු ගැටයේ තිබිණි. එවකට සිටි නිලධාරියා අපට එය පෙන්වූයේ ඒ සම්බන්ධව වචනයක්‌වත් එදා අපේ වාර්තාවලට ඇතුළත් නොකරන පොරොන්දුව පිටය.

අතීතයේ ඒ කඳු ගැටය මත කණිකාරවෙල්ලි විහාරයේ සුදොaසුදු සෑ රජු ඉදිකර තිබෙන්නට ඇත. අද ඇත්තේ ඒ ස්‌ථූපයේ නටබුන්ව ගිය එක්‌තරා කොටසක්‌ පමණි.

දකුණු පළාතේ සිට නැගෙනහිර ඔස්‌සේ වෙරළ දිගේ උතුරට යන විට මුහුදට දර්ශනය වන සේ අතීතයේ ඉදිකරන ලද මෙබඳු ස්‌ථූප බොහෝමයකි. වළවේ ගං මෝයේ පිහිටි ගෝඨ පබ්බතයෙන් පටන්ගෙන බූන්දල කිරින්ද ඕකන්ද ශ්‍රාස්‌ත්‍රවෙල පොතුවිල් පානම මූදු විහාරය, සංගමන්කන්ද, ලංකා පටුන, කෝකන්න, කණිකාරවෙල්aලි, ආදී විහාරවල ස්‌ථූප එදා ඈත සාගරයේ යන එන නැව් වලට පවා මේ රට බෞද්ධ දීපයක්‌ම බව සාඩම්බරයෙන් කියාපාන්නට ඇත.

මෙම කඳුගැටය පිහිටියේ මේ මිහිපිට දැකගත හැකි සුන්දරම වෙරළ තීරයක යෑයි කිවහොත් නිවැරදිය. එතැන්පටන් ආරම්භ වන සුදොaසුදු වැලිතලාව නිලාවේලි ප්‍රදේශයටම විහිද ඇති අපූරුව කඳුගැටට මතට ලස්‌සනට දර්ශනය වේ.

මේ කඳුගැටය වටා පිහිටි ගල්වල කැටයම් කපා ඇති අයුරුද දැක ගත හැක. ස්‌ථූප ලාංඡනය සහිත කැටයමක්‌ අදටත් එහි පාදමේ ඇති ගල්වල ඉතිරිව ඇත. ගල යට විශාල ගුහාවක්‌ අද වැලි වලින්ම යටවී ඇත. ගල්වලින් ගැවසීගත් කඳුගැටය වටාම ඇත්තේ අන් කිසි තැනක දැකගත නොහැකි සුවිශේෂතාය.

ඒ සුවිශේෂතා එදා අපට දකින්නට ඉඩක්‌ නොතිබුණේ හමුදා වටපිටාව හා ඔවුන්ගේ දැඩි ආරක්‍ෂාව නිසාය. එහෙත් අද ඒවා රකින්නට එහි කිසිවෙක්‌ නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහතකී නිලධාරියා හැරුණවිට තව කිහිප දෙනෙකුගේ ඇල්ම බැල්ම පමණක්‌ මේ බිමෙහි ඉතිරිව ඇතුවාට සැක නැත. එහෙත් ඒ සෑම තැනකම කුමක්‌දොa අඳුරු ගුප්ත හැඟීමක්‌ රජයන බව මට වැටහිනි.

අතීත පියසටහන් ඔස්‌සේ පිය නැගුමට කුච්චවේලියේ අඳුරු ගුප්ත එහෙත් අති සුන්දර පරිසරයේ පාරිසරික හා පුරා විද්‍යාත්මක සුන්දරත්වය විඳ දරා ගත හැකිවිය. එහෙත් ගවේෂණයට ලක්‌විය යුතු තවත් බොහෝ තැන් ඒ අවට තිබේ. දැන් ඒ අවස්‌ථාව ඔබටද උරුමව ඇති බව කියන්නේ සතුටිනි. මාර්ග පහසුකම්ද අද ඉතා දියුණුය. ත්‍රිකුණාමලයට ගිය විටෙක නිලාවේලි මුහුදු තීරයේ දිය සනහනවාට අමතරව කුච්චවේලියේ ඓතිහාසික සුන්දරත්වය දැකගන්නත් ඔබේ නෙතට ඉඩ හරින්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: