Posted by: lrrp | December 3, 2012

නැඟෙනහිර බෞද්ධ උරුමය


ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත දිගාමඩුල්ල හෙවත් අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන මූලික දිස්‌ත්‍රික්‌ක තුනකින් සමන්විතය. වර්තමාන සංගණනයන්ට අනුව නැගෙනහිර පළාතෙහි ද්‍රවිඩ ජාතිකයන් 40.39% ක්‌ ද, මුස්‌ලිම් ජාතිකයන් 37.64% ක්‌ ද, සිංහල ජාතිකයන් 21.64% ක්‌ ද වෙසෙන නමුත් අවුරුදු දෙදහසකටත් වඩා පැරැණි බෞද්ධ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන බෞද්ධ නටබුන්වලින් පිරිපුන් පළාතක්‌ බව ද නිසැකවම කිව හැක. අවුරුදු ගණනාවක්‌ ප්‍රභාකරන් වැපිරූ ත්‍රස්‌තවාදය නිසා නැගෙනහිර පළාතෙහි සිංහල ජනතාවට තම ගම් බිම් ඉඩකඩම් ක්‍රම ක්‍රමයෙන් අහිමි වුQ අතර, ඒවා ද්‍රවිඩ සහ මුස්‌ලිම් ජනතාව නතු විණි. ඒ හා සමගාමීව අපගේ බෞද්ධ නටබුන් සහ සෙල්ලිපි, ආර්.පී.ජී, මෝටාර්, ඩයිනමයිට්‌ ප්‍රහාර වලින් විනාශ කෙරිණි. ඉපැරැණි සිංහල අක්‍ෂර සහිත සෙල්ලිපි විනාශ වී යත්ම, එම ස්‌ථානවල ද්‍රවිඩ අක්‍ෂර, අරාබි අක්‍ෂර සහිත ව්‍යාජ සෙල්ලිපි සිටුවීම ද සූක්‍ෂමව සිදුවිණි. දිවයිනෙහි නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථාන විනාශ වූයේ එල්.ටී.ටී.ඊ. මූලිකත්වයෙන් කළ ඊළාම් යුද්ධය නිසා පමණක්‌ම නොවේ. අපගේ ඉතිහාසයේ දැක්‌වෙන නොයෙක්‌ පරසතුරු ආක්‍රමණවලදී, විශේෂයෙන් ම කාලිංග මාඝයන්ගේ විනාශකාරී ආක්‍රමණ සමයේදී මෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ද පෘතුගීසි සහ ලන්දේසි පාලන කාලවලදී ද බෞද්ධ සිද්ධස්‌ථාන බොහොමයක්‌ විනාශ කෙරුණි. සටනෙහි නිපුණ වීර සිංහල හේවායන් ලක්‌ මෑණියන්ට ලබාදීමෙන්ද ද, සටන් පුහුණු කඳවුරු පවත්වාගෙන යැමෙන් ද, සටන් කොට පැරදී පසුබහින නායකයන්ට නැවත සංවිධානය වී සතුරාට මුහුණ දෙන තෙක්‌, නැවතී සිටිමට ආරක්‍ෂක ස්‌ථාන ලබා දීමෙන් ද, යුද බිමෙහි සෙබළුන්ට බත් බුලත් සැපයීමෙන්ද, සිංහල බලකොටු පවත්වාගෙන යැමෙන් ද, දහස්‌ ගණන් බෞද්ධ සිද්ධස්‌ථානවලට නිජ බිමක්‌ වීමෙන්ද, නැගෙනහිර පළාත පරසතුරු උවදුරුවලින් ලක්‌බිම ආරක්‍ෂා කර ගැනීම සඳහා මෙන්ම බෞද්ධ ශිෂ්ටාචාරය අප රට තුළ පවත්වා ගෙන යැම සඳහාත්, අපමණ දායකත්වයක්‌ උතුම් අයුරින් ලබා දී ඇති බව ඉතිහාසය සැලකීමේදී මනාව පැහැදිලි වේ. අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම මගින්, මෙම උතුම් වූ නැගෙනහිර පින් බිමෙහි බෞද්ධ උරුමය වැළලී යැමට අවකාශය නොතැබීම මගේ ලිපියෙහි අරමුණයි.

අද අම්පාර ලෙසින් හැඳින්වුවද, ශ්‍රී ලංකාවේ ඉතාම සශ්‍රීක නිම්නයක්‌ වන ගල්ඔය නිම්නයෙන් පෝෂණය ලබන මෙම පෙදෙස දිගාමඬුල්ල ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය බව මාගේ හැඟීමයි. දිගාමඩුල්ල අවුරුදු දෙදහසකටත් වඩා පැරැණි පෞඪ සිංහල ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයෙහි සිංහල රජ පරපුරක්‌ ජනිත කරවීමේ ගෞරවය, පණ්‌ඩුකාභය රජුන්ගේ පියාණන් වූ දීඝගාමිණී කුමරුන්ටත්, දීඝගාමිණි කුමරුන්ගේ පියාණන් වූ ශාක්‍ය වංශික දීඝායු කුමරුන්ටත් හිමි වේ. දුටුගැමුණු රජු එළාර රජුන් සමඟ කළ මහා සංග්‍රාමයේදී මුළු මහත් සේනාවටත් රටටත් අවශ්‍ය ආහාර බත් බුලත් ආදිය සැපයුනේ මෙම දිගාමඩුල්ල ප්‍රදේශයෙනි. දුටුගැමුණු රජුගේ සොහොයුරු වූ සද්ධාතිස්‌ස කුමරු තම රාජධානිය කර ගත්තේ ද මේ ප්‍රදේශයයි. මෑණියන් වූ විහාරමහා දේවියගේ මඟ පෙන්වීම අනුව යමින් සද්ධාතිස්‌ස කුමරු වැව්, අමුණු, වාරිමාර්ග කරවා දිගාමඩුල්ල කෙත්වතු වලින් සශ්‍රීක කරවූ අතර අධ්‍යාත්මික දියුණුව සඳහා බෞද්ධ සිද්ධස්‌ථාන බොහොමයක්‌ ද ගොඩනැගූ බවට ඉතිහාසය සාක්‍ෂි දෙයි.

අඩි 558 ක්‌ උසැති ගෝවින්ද පබ්බතයත්, අඩි 658 ක්‌ උසැති වලිම්බේ හෙලත්, දිගාමඩුල්ල ආරක්‍ෂා කළ ප්‍රධාන ‘බලන කපොලු’ දෙකක්‌ මෙන් ම බලකොටු දෙකක්‌ ද විණි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගෝවින්ද පබ්බතය ‘වෙස්‌ට්‌ මිනිස්‌ටර් ඇබේ’ යනුවෙන් නම් කෙරුණි. සියඹලාණ්‌ඩුව සිට අම්පාර දක්‌වා දිවෙන මාර්ගයෙහි ඓතිහාසික වටිනාකමකින් යුතු ප්‍රදේශයකි වඩිනාගල. මෙම ප්‍රදේශය විජයාගමනයට පෙර ශ්‍රී ලංකාවේ වාසය කළ නාග ගෝත්‍රික චූලෝදර රජුගේ රාජ්‍යය වූ බවට ප්‍රකටය. මෙම වඩිනාගල ප්‍රදේශයට යටත්ව කරඳ ඔයෙහි ශාඛාවලට මැදිව ඝන වනාන්තරයෙහි ඉහත කී ගෝවින්ද පබ්බතය පිහිටා ඇත. කාලිංග මාඝ නම් වූ පොලොන්නරුව විනාශ කළ කෲර ආක්‍රමණිකයා පැරදවීම සඳහා සිංහල සේනා පුහුණු වුණු සහ සංවිධානය වුණු ස්‌ථානයක්‌ වන මෙම ගෝවින්ද පබ්බතයෙහි දාගැබක නටබුන් ද, ගලෙහිම කණින ලද පොකුණක නටබුන් ද දැකිය හැක.

වලම්බේ හෙල ද ඈත අතීතයෙහි සටන් පුහුණු වූ ස්‌ථානයක්‌ යෑයි සිතිය හැකි අතර, ඝන වනාන්තරයෙන් වැසුණු එහි තැනින් තැන ගල් කණු ද ගල් පඩිපෙළවල් ද දිස්‌වේ. මහඔය අම්පාර මාර්ගයෙහි බක්‌කි ඇල්ල තදාසන්න ප්‍රදේශයට යටත්ව දිවුලාන වැව සහ වලිම්බේ හෙල පිහිටා ඇත. වලිම්බේ හෙල බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් Faiar’s hood යනුවෙන් නම් කරන ලද්දහ. මෙහි සිට බලන කල්හි කල්කුඩා, මඩකලපු, කල්මුණේ, අක්‌කරෙයිපත්තු වෙරළ තිරය පැහැදිලිව දෘෂ්‍යමාන වේ. යාබද පිහිටි දිවුලාන වැවෙන් පටන් ගන්නා දිවුලාන ඔය, අදල්ල ඔය ද සමඟ එක්‌ වී මන්දූර් ප්‍රදේශයෙන් කලපුවට වැටී මුහුද සමඟ සම්බන්ධ වේ. මෙම කරුණු සැලකීමේදී වලිම්බේ හෙල ප්‍රදේශය, ඉහත කී නගරවලින් සැඳුම්ලත් වෙරළ තීරය පාලනය කිරීමේදී වර්තමානයට වැදගත් වන ගොඩබිම් නාවික හමුදා කඳවුරක්‌ පිහිටුවීමට උචිත අගනා නැතක්‌ බව මම විශ්වාස කරමි.

මෙම ගිරි ශිඛරයන් දෙකට අමතරව තුරු ආක්‍රමණ වලින් දිගාමඩුල්ල ආරක්‍ෂා කළ සිංහල සේනාවන්ගේ බලකොටු පිහිටා තිබුණු තවත් කඳු ගැට පහකි. එනම් රජගල, නුවරගල, බලගල එහෙන ගල් හෙල සහ පල්ලම් හෙල වශයෙනි. මෙයින් නුවරගල සහ බලගල යන ස්‌ථානවල ගලෙහි කණින ලද පොකුණු, ගල්පඩි පෙළවල්, කැටයම් සහිත ගල් කණු ආදිය දැකිය හැක. රජගලෙහි භික්‍ෂුන් වහන්සේ විසින් භාවනානුයෝගීව සිටීමට භාවිත කරන ලදැයි සිතිය හැකි කටාරම් කොටන ලද ගල් ගුහාවන් ද, කැටයම් සහිත ගල්කණු ද පොකුණු, සහ සෙල්ලිපි ද වශයෙන් නටබුන් බොහෝමයක්‌ දැකිය හැක. එහෙනගල්හෙල මුදුනෙහි පැරැණි බලකොටුවක නටබුන් ද, ගලෙහිම කනින ලද පොකුණු කිහිපයක්‌ ද ඇත. පල්ලම් හෙලෙහි ද පැරැණි දාගැබක සහ බලකොටුවක නටබුන් දෘශ්‍යමාන වේ.

පෘතුගීසීන් මෙරටින් තුරන් කර දැමීම සඳහා දෙවැනි රාජසිංහ රජු ආරම්භ කරන ලද මහා සංග්‍රාමයට, අති විශාල සිංහල සෙබළ පිරිසක්‌ දිගාමඩුල්ලෙන් එක්‌ වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. 1815 දී බ්‍රිතාන්‍යයට යටත් වීමෙන් අහිමි වී ගිය නිදහස නැවත ලබා ගැනීමේ අරමුණින් යුතුව 1818 දී කැප්පෙටිපොල දිසාවේතුමාගේ මූලිකත්වයෙන් ඇරැඹි ඌව – වෙල්ලස්‌ස කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා මඩකලපුවෙන් පිටත් වූ බ්‍රිතාන්‍ය හමුදා අනුඛණ්‌ඩ යුද බිමට ගියේ දිගාමඩුල්ල ප්‍රදේශය ඔස්‌සේය. එම ගමනේදී දිගාමඩුල්ල ප්‍රදේශයෙහි පිහිටි සියලුම සිංහල ගම්මාන, සිංහලයන් සතු නිවාස, වී අස්‌වැන්න කෙත්වතු ආදිය ගිනි තබා විනාශ කර දැමීමට ඔවුනට අණ ලැබී තිබිණි. එය එසේම සිදුවන අතර, දිගාමඩුල්ලෙන් පැමිණි විශාල සිංහල පිරිසක්‌ කැප්පෙටිපොල දිසාවේ තුමාට එක්‌වූහ. 1818 කැරැල්ල බ්‍රිතාන්‍යයන් විසින් මැඬපැවැත්වීමෙන් පසුව ඉතිරි වූ නායකයන් සහ සෙබළුන් පසුබැස්‌සේ දිගාමඩුල්ලටයි. බ්‍රිතාන්‍ය පාලකයෝ තමන්ගේ යටත් විජිත පාලන උපක්‍රම අනුගමනය කරමින් දිගාමඩුල්ලෙහි වැව් අමුණු විනාශ වන්නට ඉඩහැර, කෙත්වතු පුරන් වීමට අවස්‌ථාව සැලසූහ. එතෙක්‌ වී ගොවිතැන් සශ්‍රීකව පැවැති දිගාමඩුල්ල, වැව් අමුණු වාරිමාර්ග බිඳී ගිය, කෙත්වතු පුරන්ව ගිය, ජනශූන්‍ය ප්‍රදේශයක්‌ බවට ක්‍රමයෙන් පත්විණි. එහි වැසියන් තෙත් කලාපයට සංක්‍රමණය වන්නට වූ අතර, දිගාමඩුල්ලෙහි බෞද්ධ සිද්ධස්‌ථාන ඝන වනාන්තරය විසින්ම ගිල ගැනුණි. බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු පසුව 1949 අගෝස්‌තු 28 වැනි දින අග්‍රාමාත්‍ය ඩී. ඇස්‌. සේනානායක මහතාගේ මූලිකත්වයෙන් ගල්ඔය යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණි. ඉපැරැණි බුද්ධ රූප. ගල්කණු වැනි නටබුන් විශාල සංඛ්‍යාවක්‌ නොයෙකුත් යන්ත්‍රවල හැපී මතු වූ අවස්‌ථා බොහෝ ය. ගල්ඔය යෝජනා ක්‍රමය නිසා දිගාමඩුල්ලෙහි වැළලී ගිය බෞද්ධ ශිෂ්ටාචාරය යළිත් මතුවන ලකුණු දිස්‌විණි.

දිගාමඩුල්ලෙහි ඇති ඉපැරැණි බෞද්ධ සිද්ධස්‌ථාන අතරින්, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ දීඝවාපී රජමහා විහාරය බවට කිව හැක. සොළොස්‌ මහ ස්‌ථාන අතුරින් හයවන ස්‌ථානය ද දීඝවාපි චෛත්‍යයට හිමිවන අතර, අම්පාර, මොනරාගල මාර්ගයෙහි අම්පාර නගරයෙහි සිට කිලෝමීටර් 6 ක්‌ පමණ ගමන් කොට, වරිපතන්ෙච්න යන ගම්මානයෙන් ඉරක්‌කමම් ගම්මානය දෙසට හැරී එය පසුකර දීඝවාපී රජමහා විහාරයට ළඟාවිය හැක. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ තුන්වැනි ගමනේදී, සමනල කඳු මුදුනෙහි ශ්‍රී පාද සටහන පිහිටුවා, දිවා ගුහාවෙහි දිවා විවරණය කොට, ඉන් අනතුරුව දීඝවාපි චෛත්‍යය පිහිටි භූමියෙහි රහතන් වනහන්සේ පන්සියනමක්‌ සමඟ සමාපත්ති සුවයෙන් වැඩ සිට ධර්ම දේශනා කළ බව මහාවංශයේ සඳහන් වේ. එම දිනය, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු අටවැනි වෙසක්‌ පුර පසළොස්‌වක දිනය වුණි. මෙම ඓතිහාසික සිදුවීම ධාතු වංශයේද, ජිනකාලමාලී ග්‍රන්ථයෙහි ද, දීවපංශයෙහි ද, සද්ධර්ම රත්නාකරය, සමන්තකූට වර්ණනා සහ සමන්ත පාසාදිකා යන මූලාශ ග්‍රන්ථවල ද සවිස්‌තරාත්මකව සඳහන් වේ.

කතරගම දිව්‍ය රාජයාණන්ගේ ඇරයුම පරිදි, බුදුරජාණන් වහන්සේ තම වම් අතෙහි නිය ධාතුන් වහන්සේ නමක්‌ ලබා දුන් බවත්, එය නිධන් කොට මෙම චෛත්‍යය ඉදිකළ බවත්, ධාතු වංශයෙහි සඳහන් වේ. පාලි භාෂාවෙහි නඛා යන පදය, සිංහලෙන් නිය යන අරුත දෙයි. එබැවින් එම මුල් කාලයේදී මෙම චෛත්‍යය නඛා වෙහෙර, නඛ සෑය. යන නම්වලින් හඳුන්වා ඇත. මෙම චෛත්‍යයෙහි සහ තදාසන්න ප්‍රදේශයෙහි ආරක්‍ෂාව මහාසේන නම් දිව්‍ය පුත්‍රයාට පැවරුණු බව ද සඳහන් වේ. පසු කාලීනව දීඝායු කුමරු මෙම චෛත්‍යයට නුදුරින් දිගු වැවක්‌ කරවූQ බව සඳහන් වන අතර, එම දිගු වැව අසබඩ චෛත්‍ය දීඝවාපි චෛත්‍යය යනුවෙන් හැඳින්වීමට පටන් ගැනුණු බව ද සඳහන් වේ. ඉන් පසුව දුටුගැමුණු රජුගේ සොයුරු සද්ධාතිස්‌ස කුමරු විසින් දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්‌කරණය කොට තවත් විශාල කොට රියන් 185 ක්‌ උසට ඉදිකරවන ලද බව ද සඳහන් වේ.

සොලී ආක්‍රමණ සහ වසංගත රෝග නිසා ක්‍රමයෙන් ජන ශූන්‍ය වී, ඝන වනාන්තරයට නතුවුනු දීඝවාපී චෛත්‍යය, නැවත ප්‍රතිසංස්‌කරණය කරන ලද්දේ ක්‍රි. ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. එම රජු චෛත්‍යය ප්‍රතිසංස්‌කරණය කිරීමෙන් අනතුරුව එහි අයිතිය එවකට බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්‍රෝධනායක තෙරුන් වහන්සේට ගල් සන්නසකින් පැවරූ බව සඳහන් වේ. මෙහි නඩත්තු කටයුතු සඳහා ගව මහිෂාදී සතුන්ද, වී බිජු, අමුණු දහසක අති විශාල භූමි ප්‍රමාණයක්‌ ද පූජා කළ බව එම ගල් සන්නසෙහි තවදුරටත් දක්‌වා ඇත. කරුණු මෙසේ වුවද, බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගෙන එන ලද මුඩුබිම් පනත යටතේ, මෙම දීඝවාපී විහාරස්‌ථානය සතු භූමි ප්‍රමාණය ද, ගොඩනැඟිලි සියල්ලද, බ්‍රිතාන්‍යයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපු දිසාපතිවරයාව සිටි බ්‍රිතාන්‍ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝග අනුව ඇළවේලි අමුණු ආදිය බැඳීම සඳහා දීඝවාපි චෛතයයට අයත් ගල් කණු, ගඩොල්, සෙල්ලිපි යොදා ගැනුණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රදානය කරන ලද ඉහත කී ගල් සන්නස ද zඇනිකට්‌Z එකක්‌ සෑදීම සඳහා භාවිතා කර තිබිණි.

1916 දී දීඝවාපි රජ මහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩ වාසය කරමින් බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙම චෛත්‍යයට කරගෙන ගිය මහා විනාශය නවතාලීමට තනිව සටනක්‌ ගෙන ගිය, ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි. කොහුකුඹුරේ රේවත ස්‌වාමීන් වහන්සේ, බ්‍රිතාන්‍ය මහ රැජනටත්, බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්‌වීමෙන් පසු, අක්‌කර 585 ක්‌ දීඝවාපී රජමහා විහාරස්‌ථානයට නැවත වෙන් කෙරිණි. අක්‌කර 585 ප්‍රමාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබුණු භූමි ප්‍රමාණයම නැවත ලබා දෙන ලෙසත් zඇනිකට්‌Z එකක්‌ සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ප්‍රදානය කරන ලද ගල් සන්නස නැවත ලබාදෙන ලෙසත් උන්වහන්සේ බ්‍රිතාන්‍ය රජයට දිගින් දිගටම කරුණු දැක්‌වූ නමුදු එය ඵල රහිත විණි. 1950 ඔක්‌තොම්බර් 13 වැනි දින මුස්‌ලිම් ජාතිකයකු විසින් තබන ලද වෙඩි පහරකින් මෙම ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන්, ජාතික විරුවාණන් අපවත් වූයේ නැගෙනහිර බෞද්ධ උරුමයේ අනාරක්‍ෂිත බව සිංහ බෞද්ධයාට මනාව පෙන්නුම් කරමිනි.

1996 වසරේදී එවකට වරාය සහ පුනරුත්ථාපන ඇමැතිව සිටි එම්. එච්. එම්. අෂ්රොෆ්ගෙන් දීඝවාපි විහාර භූමියට විනාශකාරී තර්ජනයක්‌ එල්ල විණි. එම්. එච්. එම්. අෂ්රොෆ් ඇමැතිට පල්ලකාඩුව ප්‍රදේශයෙන් අක්‌කර 275 ක මුස්‌ලිම් පවුල් පදිංචි රවීමට අවශ්‍ය විණි. දීඝවාපි විහාරයට අයත් භූමියෙන් ද අක්‌කර 150 ක්‌ එයට නතු කර ගැනීමේ උත්සාහයක්‌ ද පැවතිණි. විහාරාධිපති ස්‌වාමීන් වහන්aසේගේ ප්‍රමුඛත්වයෙන් කළ උද්ඝෝෂණය නිසා අෂ්රොෆ්ගේ ප්‍රයත්නය ව්‍යර්ථ විණි. ‘අෂ්රොෆ්’ අරගලයේදී දීඝවාපි ප්‍රධාන චෛත්‍යයට කිලෝමීටර 6 ක්‌ පමණ නැගෙනහිර දෙසින් පිහිටි පරිවාර චෛත්‍ය සතරින් එකක්‌ උඩට ද බුල්ඩෝසරයක්‌ නංවා එකී චෛත්‍යයේ උඩ කොටස සමතලා කරන ලදී. වර්තමානයේහි එම ප්‍රදේශය පුරාවිද්‍යා රක්‍ෂිත භූමියක්‌ ලෙස වෙන්කොට ඇත. අෂ්රොෆ් ඇමැති මුස්‌ලිම් පවුල් පදිංචි කරවීමට උත්සාහ කළ පල්ලකාඩුවෙහි ඉපැරැණි සංඝාවාසයක නටබුන් ද ඇත.

අවලෝකිතෙෂ්වර බෝධිසත්වයාණන්ගේ
භාර්යාව වූ තාරා දේවියගේ ලෝකඩ ප්‍රතිමාව.
අද දක්‌වාත් මෙය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ
තැන්පත් කොට ඇත.

ඩෝසර් කිරීමට ලක්‌ වූ ඉහත කී පරිවාර චෛත්‍යයෙහි සිට කිලෝමීටර් 2 ක්‌ පමණ දුරින් මොල්ලිකුලම් ගල පිහිටා ඇත. එහි කටාරම් කොටන ලද ගල් ගුහා 37 ක්‌ ද, සෙල්ලිපි, සඳකඩ පහන්, ගල් පඩිපෙළවල්, මල් ආසන වැනි නටබුන් විශාල ප්‍රමාණයක්‌ ද ඇත. විහාරමහා දේවිය වයස්‌ගතව පැවිදි වී භික්‍ෂුණීන් සමඟ මෙම ප්‍රදේශයෙහි වැඩ වාසය කළ බව සඳහන් වේ.

අද දීඝවාපී විහාරස්‌ථානයට අයත් භූමි ප්‍රමාණය අක්‌කර 685 ක්‌ පමණ වේ. මුස්‌ලිම් ජාතිකයන් බහුල ප්‍රදේශයක්‌ මැද පිහිටා ඇති දීඝවාපි රජමහා විහාරයට, අෂ්රොෆ් ඇමැතිගෙන් එල්ල වුණු තර්ජන මෙන් නොයෙකුත් කරදර ඇති වීමට ඉඩ ඇත. එම නිසා ශ්‍රී ලංකාවාසී සිංහල බෞද්ධයන් දීඝවාපිය පිළිබඳව මනා විමසිල්ලෙන් සිටිය යුතු අතර, එම විහාරස්‌ථානය තව තවත් දියුණු කොට ආරක්‍ෂා කර ගැනීමට උත්සුක විය යුතුය.

සියඹලාණ්‌ඩුව පොතුවිල් මාර්ගයෙහි ලාහුගල මඟුල් මහා වෙහෙර පිහිටා ඇත. කුඩා දාගැබ්, බුද්ධ ප්‍රතිමා සහ අලංකාර සඳකඩ පහන් වැනි නටබුන් මෙහිදී දැකිය හැක. කාවන්තිස්‌ස රජු සහ විහාරමහදේවියගේ විවාහ මංගල්‍යය මෙම ස්‌ථානයෙහි සිදු වූ බවත්, එතැන මඟුල් මහා වෙහෙර ගොඩනැඟූ බවත් ඉතිහාසය සාක්‍ෂි දරයි. රාජකීය යුවළගේ මඟුල් පෝරුව ද නටබුන් අතර දැකිය හැක.

අම්පාර ප්‍රදේශයට සමීපව පිහිටා ඇති මල්වත්තෙයි ගම්මානය හරහා බුද්ධංගලට ගිය හැක. මෙය රහතන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටි ස්‌ථානයක්‌ බවට ප්‍රකටය. මෙම භූමියෙහි කටාරම් කොටන ලද ගල් ගෙයක්‌, ගල් කණු, සෙල්ලිපි. ගලෙහි කණින ලද පොකුණක්‌ සහ දාගැබක්‌ දැකිය හැකි අතර මේවා උස්‌ බිමක පිහිටා ඇත. අද මල්වත්තෙයි යනුවෙන් මෙම පෙදෙස හැඳින්වුවද, අතීතයෙහි මෙය උන්දුරුකරවිට නම් වූ අතර, දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් කෙනෙකු වන මහසෝන යෝධයාගේ උපන් බිම ද විය. ගල්ඔය යෝජනා ක්‍රමය යටතේ ඉදිවුණු උළුකම්හලට යාබදව ද සීනි කම්හලට යාබදව, දාගැබ්, පොකුණු සෙල්ලිපි සහිත නටබුන් දැකිය හැක. වලහාපිටිය වැව අසළ උඩුකළුවැලි විහාරය ද, ජයන්ති වැවට යාබදව විනාශ කරන ලද බුද්ධ ප්‍රතිමාවක්‌ ද ගල් කණු සහ දාගැබක්‌ ද සහිත කිවුලෙගම විහාරය, කොන්ඩවට්‌ටවන් වැව අසල දාගැබක සහ ශෛලමය මල් ආසනයක නටබුන් ද සෙල්ලිපි කිහිපයක්‌ ද පොකුණක්‌ ද දිස්‌වේ.

දිගාමඩුලු ගල්ඔය නිම්නයෙහි, බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් තවත් ස්‌ථානයකි. පට්‌ටිමෝදු ශෛලමය බුද්ධ ප්‍රතිමාද, කටාරම් කොටන ද ගල්ලෙන් ද, දාගැබ් පොකුණු සහ කැටයම් ගල් කණු ද, බිතුසිතුවම් ද මෙහි ඇත. පොතුවිල් – අක්‌කරෙයිපත්තු මාර්ගයෙහි සන්ගමන්කන්ද තුඩුව සමීපව පදිමලේ නටබුන් ඇත. මේවා අතර ගල්ගුහා කිහිපයකි. ඉන් එකක බ්‍රාහ්මීය සෙල් ලිපියක්‌ තිබීම විශේෂත්වයකි. රූෆ්ස්‌ කුලම් වැව අවට ද දාගැබ්, ගල්කණු, ගල් දොරටු සෙලිලිපි සහිත ගල් ගුහා ආදිය දැකිය හැක. මීට අමතරව වලන්ද , කඩිගමුතුමලෙයි, ටැලිපොට්‌ ආරු ආදී ස්‌ථාන වලින්ද, දාගැබ් කැටයම් සහිත ගල්කණු, පොකුණු, ශිලා ලේඛන වැනි දේවල් පුරාවිද්‍යා කැණීම් වලදී මතු කරගෙන ඇත. තවද මුරතවත්තෙයි ප්‍රදේශයෙන් දාගැබක නටබුන් ද ගල් උළුවහු සහ ගල් කණු ද අඩි 80 ක්‌ පමණ දිගින් සහ අඩි 20 ක්‌ පමණ පළලින් යුතු විශාල ගල් ලෙනක්‌ ද සොයාගෙන ඇත.

මනරම් කැටයම් සහිත ගල්කණු 12 කින්ද, දාගැබක නටබුන් වලින්ද, යුතු ගනේගොඩ විහාරයෙහි අඩි 18 ක්‌ පළල අඩි 127 ක්‌ දිග සෙල්ලිපියක්‌ ද තිබීම විශේෂත්වයකි. පුරාවිද්‍යාත්මක වශයෙන් තවත් ඉතා වැදගත් ස්‌ථානයකි වාචින්න විහාරය. අඩි 250 ක පමණ වට ප්‍රමාණයකින් යුතු දාගැබක සහ විහාර ගෙයක නටබුන් ද විනාශ කළ බුද්ධ ප්‍රතිමා දෙකක්‌ද, සඳකඩ පහණක්‌ ද, මුරගල් දෙකක්‌ ද මෙහි දක්‌නට ඇත. ගල් තලාවක්‌ මුදුනේ ගොඩනඟා ඇති දාගැබකි, දෙගම් දූත දාගැබ. මෙහි පැරැණි අත්තිවාරම අඩි 5 ක්‌ පමණ උසට අදත් දිස්‌වේ. වෙහෙර පුදුම ද විශාල ගල්තලාවක්‌ මත ඉදි වූ ඉපැරැණි දාගැබකි. එහි ගල්තලාවෙහිම කපන ලද පඩි පෙළක්‌ ද, සෙල් ලිපියක්‌ ද දක්‌නට ඇත. දිගාමඩුළු ගල් විහාරයෙහි ගල් කණු සහිත දාගැබක්‌ ද, ධර්ම ශාලාවක යෑයි සිතිය හැකි නටබුන් ද දැකිය හැක. මීට අමතරව පන්නත්ගොඩ විහාරය, ගල්මඩු විහාරය, උදයගිරි විහාරය සහ කදුරුගොඩ විහාරය ආදී ඉපැරැණි බෞද්ධ සිද්ධස්‌ථානවල දාගැබ්වල නටබුන් සලකුණු ගල්කණු සෙල්ලිපි ආදිය දෘෂ්‍යමාන වේ.

දිගාමඩුල්ලෙහි ඉපැරැණි බෞද්ධ උරුමය කියාපාන තවත් වැදගත් ස්‌ථාන තුනකි නල්ලේගොඩ, මුවන්ගල සහ බුරුතගොල්ල විනාශ කරන ලද බුද්ධ ප්‍රතිමාවක්‌ද, දාගැබක නටබුන්ද, කැටයම් කරන ලද ගල්ලෑලි සහ ගල්කණු ද දැකිය හැක. මුවන්ගල, ගල්පඩි 250 ක්‌ කණින ලද ගල් තලාවකි. එහි දාගැබක මෙන්ම වටදා ගෙයක ද නටබුන් තිබීම විශේෂත්වයකි. කැටයම් කරන ලද ගල් කණු ද, මල් ආසන ද මෙහි ඇත. බුරුතගොල්ල හි කටාරම් කොටන ලද ගල්ලෙන් කිහිපයකි. මෙම ගල්ලෙන්වල සෙල්ලිපි ඇති අතර, ස්‌ත්‍රියකගේ සහ පුරුෂයකුගේ රූප සහිත ඉපැරැණි බිතු සිතුවමක්‌ ද ඇත. තවද දෙමටගොඩ විහාරයෙහි දාගැබක නටබුන් ද ගල් ලෙනක්‌ ද දැකිය හැක. කොටවෙහෙර පුරාවිද්‍යා කැණීම්වලදී අඩි 50 ක විෂ්කම්භයෙන් යුතු දාගැබක නටබුන් සහ ගල් කණු හමු වී ඇත. මාත්තෝට්‌ම, කීනවත්තෙයි, ඉලුක්‌පිටිය, අම්පාර නගරය, මුල්ලේගම, පාදාගොඩ, කොක්‌නගර්, සමන්තුරෙයි, සංගමම් යන ප්‍රදේශවලින් දාගැබ්වල නටබුන්, ගල්කණු, ගල්ලෙන්, සෙල්ලිපි වැනි බොහෝ දේවල් සොයාගෙන ඇත. මෙයට අමතරව සමන්තුරෙයි ප්‍රදේශයෙන් ඇත් හිසක විශාල මනරම් කැටයමක්‌ ද හමු වී ඇත. තවද පොතුවිල්, තිරුක්‌කෝවිල්, අක්‌කරෙයිපත්තූ, පලමුනෙයි, කල්මුනෙයි ආදී ප්‍රදේශවලින් 1 වන ශත වර්ෂයට අයත් බෞද්ධ ස්‌වස්‌තිකය, බෝගස, දාගැබ ආදිය සහිත ඉපැරැණි කාසි වර්ග හමු වී ඇත. මේ අනුව බලන කල දිගාමඩුල්ල ප්‍රදේශයෙහි බෞද්ධ උරුමයත්a, පරසතුරු ආක්‍රමණවලින් ලක්‌මෑණියන් සහ බෞද්ධ ශිෂ්ටාචාරය ආරක්‍ෂා කර ගැනීම සඳහා දිගාමඩුල්ලෙන් ලැබුණු අපරිමිත දායකත්වයත් මනාව පැහැදිලි වේ. දිගාමඩුල්ලෙහි ධජය පහතින් දැක්‌වේ.

මඩකලපු දිස්‌ත්‍රික්‌කයද, නැගෙනහිර බෞද්ධ උ රුමය මුළු ලොවටම කියාපාන වැදගත් ප්‍රදේශයකි. මීට අවුරුදු 195 කට පමණ ඉහතදී, මෙරට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්‌ව පවතින සමයේදී, මඩකලපුව නගරයට නුදුරින් අඩි 6 ක්‌ පමණ උස ලෝකඩ ප්‍රතිමාවක්‌ හමුවිණි. අවලෝකිතේශ්වර බෝධිසත්වයාණන්ගේ භාර්යාව වූ තාරාදේවියගේ ප්‍රතිමාවක්‌ වූ මෙය තරම් විශාල වූ ලෝකඩ ප්‍රතිමාවක්‌ මේ දක්‌වා හමු වී නැති බව සඳහන් වේ. මීට අවුරුදු 1200 කට පමණ ඉහත දී කරන ලද මෙම කලා නිර්මාණය ස්‌ත්‍රී අංග ලාලිත්‍යයෙන් අඪ්‍ය වූ අතිශය සුන්දර ප්‍රතිමාවකි. දකුණත විතර්ක මුද්‍රාවෙන් ද, වමත වර මුද්‍රාවෙන් ද, අලංකාර වී ඇත. වර්ෂ 1820 දී, එවකට අප රටෙහි බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර පදවිය හෙබ වූ බ්‍රවුන්රින් විසින් මෙම අගනා ප්‍රතිමාව බ්‍රිතාන්‍ය මහා රාජිණියට යවන ලදුව, එය අද දින දක්‌වාත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය වේ. ශ්‍රී ලංකාවට අයත් මෙම ප්‍රතිමාව ආපසු ශ්‍රී ලංකාවටම ගෙන්වා ගැනීමට දැරූ සෑම ප්‍රයත්නයක්‌ ම නිෂ්ඵල වූ අතර, එහි කුඩා අනුකරණයක්‌ පමණක්‌ අපට ලබාදීමට තරම් බ්‍රිතාන්‍ය කෞතුකාගාර බලධාරීහු ත්‍යාගශීලී වුහ. විශිෂ්ටතම ලෝකඩවලින් නිපදවුණු මෙවැනි සමලංකෘත කලා කෘතියක්‌ වෙන නොමැති බැවින් අපේ උරුමයක්‌ වූ එය අපට ලබාදීම ඔවුහු ප්‍රතික්‍ෂේප කළහ.

මඩකලපුව නගරයට සමීපව ඒ අවට පිහිටා ඇති ස්‌ථාන කිහිපයකින්, අපගේ බෞද්ධ උරුමය විදහාපාන බෞද්ධ නටබුන් ගණනාවක්‌ පුරාවිද්‍යාත්මක ගවේෂනවලදී හමු වී ඇත. රොක්‌තෙයි ගම්මානයෙහි පිහිටා ඇති ලංකා විහාරයද, කින්නරගල ද, ශාන්ත මලෙයි හි ඇති රහත්ගලද, පුළුකුනාවයි හි පිහිටි වෙහෙරගල් කන්ද ද පුල්ලුමුලායි හෙවත් එළුවාමුල්ල ද බෞද්ධ නෂ්ටාවශේෂ වලින් සපිරි ස්‌ථාන වශයෙන් දැක්‌විය හැක.

මඩකලපුව නගරයට නුදුරු කන්කනොදෙයි හි කැණීම් වලදී ප්‍රතිමා 2 ක්‌ හමු වී ඇත. ඉන් එකක්‌ 8 වැනි ශත වර්ෂයට අයත් අඟල් 18 ක්‌ පමණ උස බුද්ධ ප්‍රතිමාවකි. එහි දකුණත අභය මුද්‍රාවෙන් යුක්‌ත වන අතර, සුවිසල් අවුකන බුද්ධ ප්‍රතිමාවට බොහෝ සමානකම් දක්‌වයි. අනෙක 8 වැනි ශතවර්ෂයටම අයත් මෛත්‍රී බෝධිසත්ව රූපයකි.

එහි දකුණත විතර්ක මුද්‍රාවෙන් යුක්‌තයි. එපමණක්‌ නොව බෞද්ධ ස්‌වස්‌තිකය, බෝගස, දාගැබ ආදියෙන් කැටයම් වූ කාසි වර්ග විශාල ප්‍රමාණයක්‌ මඩකලපුව නගරයෙන් සහ ඒ අවටින් හමු වී ඇත. මඩකලපු දිස්‌ත්‍රික්‌කයෙහි ධජය පහතින් දැක්‌වේ.

ශ්‍රී ලංකාවෙහි නැගෙනහිර බෞද්ධ උරුමය මැනවින් සාධනය කරන තවත් ප්‍රදේශයකි ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කය. අද ත්‍රිකුණාමලය, අතීතයෙහි සිංහල රජ දවස හැඳින්වූයේ ‘ගෝකර්ණ’ යන නමිනි. ත්‍රිකුණාමල නගරයෙහි පිහිටා ඇති ෙµඩ්රික්‌ බලකොටුව, ක්‍රි. ව. 1503 දී ශ්‍රී ලංකාවට පෘතුගීසීන් ආගමනයෙන් පසු, ඔවුන් විසින් ගොඩනගන ලද්දකි. මෙම ස්‌ථානයෙහි ක්‍රි. පූ. 275 දී පමණ මහසෙන් රජු විසින් ගෝකර්ණ විහාරය කර වූ බවත්, අග්බෝ රජු ක්‍රි. පූ. 718 දී පමණ එකී විහාරයට ධර්ම ශාලාවක්‌ ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසයෙහි සඳහන් වේ. ඒ අනුව යමින් මෙම බලකොටුවට අයත් ප්‍රදේශය තුළ යම් යම් ස්‌ථානවල කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී, අනුරාධපුර යුගයට අයත් නෂ්ඨාවශේෂ බොහොමයක්‌ මතු වී ඇත. මෙම කරුණු විශ්ලේෂණය කිරීමේදී, ඉහත කී ගෝකර්ණ බෞද්ධ විහාරය පෘතුගීසීන් විසින් සහමුලින් ම විනාශ කොට, එම විහාර පරිශ්‍රය තුළ ෆෙඩ්රික්‌ බලකොටුව ඔවුන් විසින් ගොඩනැඟූ බව නිගමනය කළ හැක.

මහවැගි ගඟ මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමලයෙහි කොඩ්ඩියාර් බොක්‌කෙනි. ඊට නුදුරුව මහවැලි ගංගා නිම්නයෙහි පිහිටි කොඩ්ඩියාර් පත්තුවෙහි ගල්කණු 42 ක්‌ සහිත ගොඩනැඟිල්ලක නටබුන් වේ. මෙහි ඉපැරැණි සෙල් ලිපියක්‌ ද ඇත. ත්‍රිකුණාමලය – හබරණ A 6 මාර්ගයෙහි පිහිටි කන්තලේ ප්‍රදේශයෙහි උක්‌ ගොවිපළ අසල විනාශ කරන ලද බුද්ධ ප්‍රතිමා 2 ක්‌ මුරගල් ද සහිතව දැකිය හැකි අතර, මේවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු හයවැනි සතියෙහි මුචලින්ද නාග දරණයෙහි වැඩ හිඳන ආකාරය පිළිබිඹු කරන පරිදි නෙළා ඇත. මුචලින්ද නාග රාජයාගේ පෙන නවයක්‌ පෙන්නුම් කර ඇති අතර, මෙම ප්‍රතිමා අඩි 4 ක පමණ උසකින් යුක්‌තයි.

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයට සෝමාවතී චෛත්‍යය අභය භූමියෙන් කොටසක්‌ ද අයත් වන අතර එම කොටසෙහි සෝම පුර ගම්මානයට නුදුරින් සෝමපුර දක්‍ෂිණාරාමය සහ සෝමපුර පශ්චිමාරාමය පිහිටා ඇත. මෙම ස්‌ථානවල ද බෞද්ධ නටබුන් බොහොමයක්‌ ඇත. කන්තලේ සිට පොටන්කඩු හරහා සෝමපුරට ළඟා විය හැකි අතර, එය පසුකර සේරුවාවිලට පැමිණිය හැක. තවද ත්‍රිකුණාමලයෙහි සිට මුතුර් හරහා ද සේරුවාවිලට පැමිණිය හැක. සේරුවාවිල චෛත්‍යය සහ එහි ඇති විශාල සෙල් ලිපිය ද සේරුවාවිල අනෙකුත් බෞද්ධ නෂ්ඨාවශේෂ ද, නැගෙනහිර පැවැති අපගේ බෞද්ධ උරුමය මනාව විදහා දක්‌වයි.

අද මුතූර් ලෙස හැඳින්වුවද, අතීතයෙහි මෙය ‘මුදුතර’ නම් විණි. මුතූර් වලින් මෙන්ම සේරුවාවිලට සමීපව පිහිටා ඇති කිලිවෙඩ්ඩි ප්‍රදේශයෙන් ද, විනාශ කරන ලද බුද්ධ ප්‍රතිමා, සඳකඩ පහන, දාගැබ්වල නටබුන් වැනි දේ හමු වී ඇතත් නිසි ලෙස පුරාවිද්‍යා කැණීම් කටයුතු සිදු නොවීමෙන් එහි බෞද්ධ උරුමය සංරක්‍ෂණය වනු වෙනුවට විනාශ මුඛයට යමින් පැවතීම අතිශය ෙ€දජනකය.

ත්‍රිකුණාමල – හොරොව්පතාන A 12 මාර්ගයෙහි ගමන් කළ විට කන්නියා ප්‍රදේශය හමුවන අතර, එහි සුප්‍රකට උණුවතුර ළිං උල්පත් පිහිටා ඇත. මෙම කන්නියා ප්‍රදේශය පසුකර මද දුරක්‌ ගොස්‌, ප්‍රධාන පාරෙහි සිට මදක්‌ ඇතුළට ගිය විට විල්ගම් වෙහෙර හමුවේ. මෙහි බුද්ධ ප්‍රතිමා, සඳකඩ පහණ, දාගැබ් වැනි බොහෝ නෂ්ඨාවශේෂ දිස්‌වේ.

තවද මොරවැව ජනපදයෙහි ඉපැරැණි ගල් ලෙන් කිහිපයකින් යුතු ශ්‍රී ගජබා ලෙන් විහාරය පිහිටා ඇති අතර මෙම ගල්ලෙන්වලින් තුනකම බ්‍රාහ්මීය සෙල්ලිපි ද ඇත. ත්‍රිකුණාමල – හබරණ A 6 මාර්ගයටත්, ත්‍රිකුණාමල – හොරොව්පතාන A 12 මාර්ගයටත් මැදිව කන්තලේ වන රක්‍ෂිතය පිහිටා ඇත. මෙම වන රක්‍ෂිතය ගල්මැටියාව උතුරු ප්‍රදේශය සහ ගල්මැටියාව දකුණු ප්‍රදේශය වශයෙන් 2 කට බෙදේ. ගල්මැටියාව උතුරු වන රක්‍ෂිතයෙහි මොරවැවෙන් පෝෂණය ලබන ගල්මැටියා වැව පිහිටා ඇති අතර, එයට යාබදව මනරම් කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක්‌ ඇතුළු බෞද්ධ නටබුන් හමු වී ඇත. ගල්මැටියාව දකුණු වන රක්‍ෂිතයෙහි ද බෞද්ධ නටබුන් බොහෝමයක්‌ සොයාගෙන ඇත. මීට අමතරව A 12 මාර්ගයෙහි, 87 වැනි සහ 88 වැනි සැතපුම් කණුව අතර ප්‍රදේශයෙහි ඇතාබැඳිවැව බෞද්ධ විහාරයෙහි නටබුන් දැකිය හැක. උස්‌ වූ සමචතුරස්‍රාකාර ප්‍රදේශයක ඉදිවුණු ඉපැරැණි දාගැබක නටබුන් මෙහි දිස්‌වන අතර, එහි සතර පසින්ම ගල් පඩි පෙළවල්, මුරගල් සහ සඳකඩ පහණ පිහිටා ඇත. දාගැබට බටහිර දෙසින් ගොඩනැඟිල්ලක නටබුන් ද පිහිටා ඇත.

1999 නොවැම්බර් මස සිට ඉහත කී A 12 මාර්ගයෙහි විල්ගම්මුල ත්‍රිගම්මුල, කන්නියා ආදී ගම්මානවලත්, එවකට කොටි ත්‍රස්‌තවාදීන් වීර ගම්මානයක්‌ ලෙස නම් කොට තිබුණු තෝරන්කාඩු ගම්මානයෙහිත්, සාම්පල්තිවු, සල්ලි, නිලාවේලි, ඉරක්‌කන්ඩි, කුඹුරුපිඩ්ඩි, සල්පෙයාරු. ගෝපාල්පුරම්, කුච්චවේලි, පොඩුවකට්‌ටු, තිරියායි, කල්ලරාව යන ගම්මානවලත් එතැන් සිට පුල්මොඩෙයි දක්‌වාත් පාලනය සහ ආරක්‍ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබිණි. මෙම සියලු ගම්මාන නාවික හමුදා නැගෙනහිර ඉදිරි ආරක්‍ෂක වළල්ලට අයත් විණි. තෝරන්කාඩු ගම්මානය ඉහත කී පරිදි කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඔවුන්ගේ වීර ගම්මානයක්‌ ලෙස නම් කොට තිබුණද, ඉපැරැණි දාගැබ්වල නටබුන් ද විනාශ කරන ලද බුද්ධ ප්‍රතිමා ද තවමත් එහි දැකිය හැක. පිහිටීම අනුව සලකා බැලීමේදී මෙම තෝරන්කාඩු ප්‍රදේශය ද විල්ගම් විහාර පරිශ්‍රයටම අතීතයෙහි අයත්ව තිබූ බව නිගමනය කළ හැක.

නිලාවේලි ගම්මානය ඉතා රමණීය වෙරළකින් යුක්‌ත වූ අතර, සිවිල් යුද්ධයට පෙර සංචාරකයන් අතර මෙය ප්‍රකට වී තිබුණේ ‘ආදරවන්තයන්ගේ වාසනාවන්ත වෙරළ’ ලෙසයි. මෙම වෙරළ තීරයෙහි සිට සැතපුම් 5 ක්‌ පමණ ඈතින් මුහුදෙහි පරෙවි දූපත පිහිටා ඇත. විවිධ මාදිලිවල විචිත්‍ර පැහැයන්ගෙන් යුතු වු කොරල්පරවලින් අනූන වූ පරෙවි දූපතෙහි මුහුදු තීරය, එදා අතිශය සමලංකෘත වූ ස්‌ථානයක්‌ විණි. රන්වන් පිවිතුරු වෙරළක්‌ එදා පරෙවි දූපත සතුව තිබිණි. මුළු ලෝකයෙන්ම, කොරල්පර වලින් පිරිපුන් මුහුදු තීරයන් අතුරින් හයවැනි ස්‌ථානය පරෙවි දූපත් මුහුදු තීරයට හිමිව තිබිණි. අවුරුදු ගණනාවක්‌ ත්‍රිවිධ හමුදාවන් කළ අපමණ කැප කිරීම් තුළින් කොටි ත්‍රස්‌තවාදය පරදවා යුද්ධය සහමුලින්ම ජයග්‍රහණය කිරීමෙන් පසු, මෙහි ඇදී එන සමහර දේශීය සංචාරකයන්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා මෙවැනි අතිසුන්දර වෙරළ තීරයන් අපවිත්‍ර වී යැම ඛෙදනීයයි. එපමණක්‌ නොව, ධීවරයන් මසුන් මැරීම සඳහා ඩයිනමයිට්‌ සහ චාජර් වැනි දේ භාවිත කිරීම නිසාද, ඒවායේ කම්පන තරංගවලට ගොදුරු වී කොරල්පර විශාල වශයෙන් විනාශ වී ගොස්‌ අද පරෙවි දූපතට එදා පැවැති උසස්‌ තත්ත්වය අහිමි වී ඇති බව ෙ€දයෙන් යුතුව වුවද සිහිපත් කිරීමට සිදු වී ඇත. නිලාවේලි වලට යාබදව පිහිටා ඇති ඉරක්‌කන්ඩි ගම්මානයෙහි ශ්‍රී ලංකාවෙහි දිගම පාලම්වලින් එකක්‌ වූ ඉරක්‌කන්ඩි පාලම පිහිටා ඇත.

පන්කුලම් ඔය කලපුවට වැටී මුහුදට ගලා බසින්නේ සල්පෙයාරුව නමැති ස්‌ථානයෙනි. සල්පෙයාරුව සහ කුච්චවේලි අතර ගෝපාල්පුරම් යන ගම්මානය පිහිටා ඇත. එවකට ගෝපාල්පුරම්හි සිවිල් ජනතාව සමඟ මුසුව කොටි සාමාජිකයන් බොහෝදෙනකු ගැවසුණු බව අපි දැන සිටියෙමු. ගෝපාල්පුරම් සිට මඳක්‌ වනාන්තරය ඇතුළට ගිය විට, ඉපැරැණි බෞද්ධ විහාරයක්‌ කඩා බිඳ දමා ඉදිවන කෝවිලක්‌ දැකීමට තිබිණි. බෞද්ධ විහාරයෙන් ඒ වන විට ඉතිරිව තිබුණේ බෝගසත්, පොකුණත් පමණි. කුච්චවේලි ප්‍රදේශයෙහි ද ඉපැරැණි බෞද්ධ විහාර ආරාමවල නටබුන් විශාල ප්‍රමාණයක්‌ දැකිය හැක. කිරිගරුඬ සහ සෙල්මුවා බුදු පිළිම ද, රෝස පැහැති පාෂාණයකින් කරන ලද බුදු පිළිම ද, දැව කැටයම් ද, සඳකඩ පහණ ද, කුච්චවේලි බෞද්ධ නටබුන් අතර වේ. ත්‍රස්‌තවාදී මෝටාර් සහ ඩයිනමයිට්‌ ප්‍රහාරවලින් විනාශ කෙරුණු බෞද්ධ නටබුන් ගණනාවක්‌ ම කුච්චවේලි නාවික හමුදා කඳවුරෙහි එවකට සුරක්‍ෂිතව තැන්පත් කොට තිබිනි. කුච්චවේලි වෙරළ තීරය ‘නැගෙනහිර මනරම් වෙරළ’ වශයෙන් ප්‍රකටය.

කුච්චවේලි සිට පොඩුවකට්‌ටු පසු කොට යන විට T සන්ධි ස්‌ථානයක්‌ හමුවන අතර, එතැනින් වමට එනම් වෙරළ තීරයේ සිට රට ඇතුලට මඳ දුරක්‌ ගිය විට, තිරියායි හි බෞද්ධ නටබුන් දැකිය හැක. අද කුච්චවේලී සිට තිරියායි දක්‌වා යන ඊට වඩා කෙටි මාර්ගයක්‌ ද ස්‌ථාපනය කොට ඇත. කොටි ත්‍රස්‌තවාදය පරදවා යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු, තිරියායි හි බෞද්ධ නටබුන් බැලීම සඳහා යන ගමන වර්තමානයේදී ඉතා පහසු ගමනක්‌ වුවද, 1999 – 2000 වර්ෂවලදී එය එසේ නොවීය. එවකට මෙම ප්‍රදේශයෙහි ත්‍රස්‌තවාදීන් ගැවසුනු අතර ඔවුන් සහ නාවික හමුදාව අතර දැඩි සටන් පැවැති අවස්‌ථා අධිකය. තිරියායිහි එම බෞද්ධ නටබුන් ආරක්‍ෂා කිරීම සඳහා නාවික හමුදා සෙබළු කිහිප අවස්‌ථාවකම ජීවිත පරිත්‍යාග කළහ. ඔවුනට ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතුය. අපමණ ජීවිත තර්ජන මධ්‍යයේ වුව, එම තිරියායි හි බෞද්ධ උරුමය කොටි ත්‍රස්‌තවාදීන්ට තවදුරටත් විනාශ කරන්නට ඉඩ නොදී අපි සුරැකියෙමු. නාවික හමුදා කඳවුරෙහි සිට තිරියායිහි බෞද්ධ නටබුන් වෙත ගිය ගමන අපි අටදෙනකුගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ වශයෙන් ගියෙමු. ඝන වනාන්තරය මැදින් සතුරු ප්‍රහාරවලට මෙන්ම වලසුන් වැනි වනසතුන්ගෙන් වන හානි වලට මුහුණ දීම සඳහා සූදානම් වී ගිය එම ගමන කෙතරම් ජීවිත අවදානමකින් යුතු වුවද, එහි ගිය සෑම අවස්‌ථාවකම තෙල් මල්, පහන් සුවඳදුම් පූජා කොට වන්දනාමාන කිරීමට අපි අමතක නොකළෙමු.

තිරියාය බෞද්ධ නටබුන් උස්‌ බිමක පිහිටා ඇති අතර, මෙහි විශාල වටදාගෙයක්‌ දැකිය හැක. මෙය පොලොන්නරු සහ මැදිරිගිරි වටදාගෙවලට වඩා විශාලත්වයෙන් වැඩිය. තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට ධර්ම දේශනා කිරීමෙන් පසුව වන්දනාමාන කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ තම කේෂ ධාතු ලබාදුන් බව සඳහන් වේ. ඔවුන් දෙදෙනාම එම කේශධාතු රනින් කළ බඳුනක බහාලූ අතර, එම බඳුන ශ්‍රී ලංකාද්වීපයෙහි මෙම පුණ්‍ය භූමියෙහි තැබූ විට නැවත ගත නොහැකි පරිදි භූමියටම ඇලුණු බවත්, එතැන බුද්ධ කේශධාතු සහිත මෙම රන් බඳුන නිධන් වන පරිදි මෙම වටදාගෙය කරවූ බවත් තවදුරටත් සඳහන් වේ. මෙම වටදාගෙය හිරිහඬු සෑය නම් වන අතර, බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී දුන් කේෂධාතු නිධන් කොට තිබීම තවත් විශේෂත්වයකි. එම නිසා බෞද්ධයන්ට මෙය අති පාරිශුද්ධ ස්‌ථානයෙකි. අද තිරියායි නමින් හැඳින් වුවද, මෙම ප්‍රදේශයෙහි නියම පෞරාණික නාමය නිතිපත්පානයි. එය ‘නිතර දැල්වුණු පහන’ යන අරුතයි. ඈත අතීතයෙහි සිටම බෞද්ධයෝ තෙල්, මල්, පහන්, සුවඳ දුම් පූජා කොට මෙම අති පිවිතුරු ස්‌ථානය දිනපතා වන්දනා කළ බවත්, මුළු දවස පුරාම පහන් එළියෙන් මෙතැන බැබළුණු බවත්, ගෝකර්ණ – ත්‍රිකුණාමල වරායට සේන්දු වූ නැව්වලට මෙහි පහන් ආලෝකය ඈත මුහුදෙහි සිට වුවද දිස්‌වුණු බවත් සඳහන් වේ. මෙම වටදාගෙයෙහි කැටයම් කළ ගල් කණු ද විනාශ කරන ලද බුද්ධ ප්‍රතිමා ගණනාවක්‌ ද සඳකඩ පහණ සහ මුරගල් වැනි නටබුන් ද විශාල ප්‍රමාණයක්‌ දිස්‌ වේ. උස්‌ බිමක පිහිටා ඇති මෙම වටදාගෙයෙහි සිට ගල් පඩි පෙළ දිගේ පහළට එත්ම ගලෙහිම කණින ලද පොකුණු කිහිපයක්‌ ද දැකිය හැක. මේවාට අමතරව තව විශාල පොකුණු කිහිපයකම නටබුන් ද ඇත. දැනට තිරියායි නමින් හැඳින්වුවද, වන්දනාමාන කිරිමට පැමිණෙන බැතිමතුන් අතින්, දිනපතාම දහස්‌ සංඛ්‍යාත පහන් දැල්වී සිල් සුවඳ දසත පැතිරී, ඉපැරැණි නිතිපත්පාන බවට ම මෙම පුණ්‍ය භූමිය නැවතත් පත්වේවා යෑයි මම ප්‍රාර්ථනා කරමි.

මෙම පුදබිම පසුකර ඝන වනාන්තරය තුලින් පුල්මොඩෙයි දෙසට යන විට යාන් ඔයෙන් පෝෂණය ලබන මිටියාවතක්‌ දැකිය හැක. මෙම මිටියාවතෙහි කටාරම් කොටන ලද ගල්ලෙන් ගණනාවක්‌ ද, පෙණ ගොබ 7 ක්‌ සහිත නාග රාජයකුගේ කැටයම් ද, විනාශ කරන ලද බුදු පිළිම ද, ගල්කණු ආදිය ද පිහිටා ඇත. මෙම ගල්ලෙන් දෙකක සෙල්ලිපි ද වේ. ගල්ලෙන් කිහිපයකම මෑතකදී සිටුවන ලද ලෝහමය ත්‍රිශූලද, හින්දු යාග හෝම පැවැත්වූ සලකුණු ද දැකීමට තිබුණු අතර, ගෝපාල් පුරම් හි පිහිටි ඉපැරැණි බෞද්ධ විහාරයට අත්වුණු ඉරණම ම යාන්ඔය මිටියාවතෙහි පිහිටි මෙම බෞද්ධ නටබුන් වලට ද අත්වී හින්දු කෝවිල් ඉදිවේවිදැයි යන සැකය එදා මා තුළ ජනිත වුණි. යාන්ඔය මුහුදට ගලා බසින මෝය කට මෙම ප්‍රදේශයෙහි පිහිටා ඇති අතර, ස්‌වභාව සෞන්දර්යය අතින් එය සුවිශේෂ වූ ස්‌ථානයකි.

1999 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉහත කී නැගෙනහිර ඉදිරි ආරක්‍ෂක වළල්ල භාර ගැනීමේදී, එහි පාලන සහ ආරක්‍ෂක තත්ත්වයන් ඉතා පහත් මට්‌ටමක පැවැති බව අවිවාදයෙන් ම කිව යුතුය. එම මුහුදු තීරයෙහි ධීවර බෝට්‌ටු යොදවා තිබූ ධනවත් සිංහල සහ දමිළ ධීවර ව්‍යාපාරිකයෝ, එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්‌තවාදී සංවිධානයට රහසිගතව කප්පම් ගෙවූහ. ඊට අමතරව ඔවුහු කොටි ත්‍රස්‌තවාදීන්ගේ සමහර ඕනෑ එපාකම් ද රහසිගතව ඉටුකර දුන්හ. කොටි ත්‍රස්‌තවාදීහු මෙම ප්‍රදේශවල ජීවත් වූ සාමාන්‍ය දමිළ වැසියන් අතර ගැවසෙමින් නාවික හමුදාවට නොයෙක්‌ විට ප්‍රහාර එල්ල කළහ. කුඹුරුපිඩ්ඩියෙහි සිට මඳක්‌ ඇතුළතට වන්නට ජර්මන් ජාතිකයන් විසින් පිහිටුවන ලද කුඩා ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක්‌ තිබුණි. ෆර්කා ලෙස හැඳින්වුණු මෙම ස්‌ථානයට යාබදව, එහි ආරක්‍ෂාව සඳහා කුඩා නාවික හමුදා අනුඛන්ඩයක්‌ ද පිහිටුවා තිබිණි. මෙයට ආහාරපාන රැගෙන යමින් තිබුණු ට්‍රැක්‌ටරයට කොටි ත්‍රස්‌තවාදීහු එක්‌ දිනක්‌ රැක සිට පහර දුන්හ. ට්‍රැක්‌ටරයෙහි සිටි නාවික සෙබළුන් හතරදෙනාම ජීවිතක්‍ෂයට පත්කර, ඉන් නොනැවතුණු කොටි ම්ලේච්ඡයන් ඔවුන්ගේ සිරුරුවලින් හිස්‌ වෙන් කොට රැගෙන ගොස්‌ තිබුණහ. නාවික හමුදා වෛද්‍ය නිලධාරියා වශයෙන් මෙම සිරුරු හතරම මම පරීක්‍ෂා කළෙමි. එක නාවික හමුදා සෙබළකුගේ නිල ඇඳුමෙහි කුඩා බුදු පිළිමයක්‌ ද, තම මවට අවසන් වරට ලියූ තැපැල් කිරීමට නොහැකි වූ ලිපියක්‌ ද විණි. මෙම ඛේදනීය සිදුවීම මට කිසි දිනෙක අමතක නොවේ.

නැගෙනහිර බෞද්ධ උරුමය මනාව පිළිබිඹු කරන ඉපැරැණි බෞද්ධ සිද්ධස්‌ථාන සහ නටබුන් වලින් සපිරි, අප්‍රකට වූ ස්‌ථාන බොහොමයකි. මොරවැව, මහදිවුල්වැව. නාමල්වත්ත. කුඹුක්‌වැව, ගෝමරන්කඩවල, රිදී කන්ද, තමර වැව, විල්පනාකුලම, වෙහෙරබැඳිකන්ද, මයිලවැව, ගල්මඩුව, රංගිරි උල්පත, කට්‌ටකුලම්පත්තු,

නීලහෙලගම, අරාමකන්ද, දෙහිවත්ත, කල්ලාර්, රාජඇල, මෛත්‍රීවැව, වේලුන්න, කීන්ගහ, කල්ලම්පත්තු, එවැනි අප්‍රකට ස්‌ථානවලින් කිහිපයක්‌ ලෙස දැක්‌විය හැක.

ත්‍රිවිධ හමුදා රණවිරුවෝ ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් අපමණ දුක්‌ කම්කටොලුවලට නොසැලී තිර අදිටනින් යුතුව මුහුණ දෙමින් කොටි ත්‍රස්‌තවාදය සහමුලින්ම පරාජය කොට අප මවුබිම රැක ගත්හ. සකල ශ්‍රී ලංකාවාසී ජනතාව රැක ගත්හ. අපගේ උරුමයන් සහ සංස්‌කෘතික දායාදයන් රැක ගත්හ. නැගෙනහිර බෞද්ධ උරුමයෙහි සුරක්‍ෂිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙන්ම බුද්ධශාසන අමාත්‍යංශය මගින් ද තහවුරු කළ යුතුය. එනමුත් එම ආයතනය මගින් මෙම කර්තව්‍යය සඳහා ලැබෙන දායකත්වය ඉතා අල්ප බව කනගාටුවෙන් වුවද කිව යුතුමය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය කොට කැණීම් කරගෙන යන ඇතැම් ස්‌ථානවල නිධන් සොරකම් සිදු වූ අවස්‌ථා පිළිබඳව අපි අසා ඇත්තෙමු. ඉහත දැක්‌වූ පරිදි බෞද්ධ නටබුන් වලින් පිරි ස්‌ථාන විශාල සංඛ්‍යාවක්‌ දිවයිනෙහි නැගෙනහිර ප්‍රදේශයෙහි පිහිටා ඇතත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය කොට, කැණීම් ආරම්භ කරන ලද ස්‌ථාන ඇත්තේ අල්ප වශයෙනි. කැණීම් ආරම්භ කරන ලද ස්‌ථාන සමහරක ද ඒවා මන්දගාමීව සිදුවන අතර, විධිමත්ව සිදුවන බවක්‌ ද, නොපෙනේ. නටබුන් සහිත ප්‍රදේශවල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා නිසි ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොතිබීම ෙ€දජනකය.

නැගෙනහිර බෞද්ධ උරුමය සදහටම වැළලී යා නොදී රැක ගැනීම සඳහා බෞද්ධ ගිහියන් සතු වගකීම් ද ගණනාවකි. ගමන දුෂ්කර වුවද, මෙම ස්‌ථාන වැඳ පුදා ගැනීමට යැමත්, එමගින් බාල පරම්පරාවට නැගෙනහිර බෞද්ධ උරුමය පිළිබඳව මනා අවබෝධයක්‌ ලබාදීමත්, සුළුවෙන් හෝ මුදල් ආධාර කොට මෙම ස්‌ථාන නඩත්තු කිරීම සඳහා අදාළ ආයතනවලට මූල්‍යමය අතින් සහාය වීමත්, මෙම ස්‌ථාන සමහරක ඉතා දුෂ්කරව වැඩ වාසය කරන බුද්ධ පුත්‍රයානන් වහන්සේට දාන මාන පිරිකර ආදිය පූජා කිරීමත්, බෞද්ධ ගිහියන් සතු වගකීම් වන අතර, ඒවා මහා පුණ්‍යකර්ම ද වනු ඇත.

රණවිරුවන්ගේ වීරත්වය, ස්‌ථිර අධිෂ්ඨානය, ජීවිත පරිත්‍යාගය සහ අපරිමිත කැපකිරීම් අභියස පුහුමානයෙන් ඔද වැඩි සිටි කොටි ත්‍රස්‌තවාදය අද සහමුලින්ම පරාජය වී අප මවුබිමෙන් තුරන්ව ඇත. එම රණවිරුවන්ට කරන උතුම්ම උපහාරය වනුයේ, ලද ජයග්‍රහණය සදා රැක ගැනීමත්, අපගේ බෞද්ධ උරුමයන් සහ සංස්‌කෘතික දායාදයන් හද පත්ලෙන්ම ආරක්‍ෂා කිරීමත්, සැමතින්ම ස්‌වයංපෝෂිත වූ රටක්‌ ගොඩනැගීමත් ය. මෙහිදී හග්ගල්ලේ පී. කේ. ඩී, සෙනෙවිරත්න කවියාණන් 1956 දී ලියූ රසවත් කවිපද කිහිපයක්‌ ඔබ හමුවේ තබමින්, නැඟෙනහිර බෞද්ධ උරුමය නැවත පිබිදේවා යෑයි ප්‍රාර්ථනා කරමින් මම මගේ ලිපිය සමාප්ත කරමි.

ඔප් වුන විරු බල අභිමන් දසත දැ රු
ලස්‌සන පින් බිමක සිරිලක නැඟෙනහි රු
දම් ගුණ සිහලුන්ගේ බොදු උරුමයේ ත තු
විස්‌තර රහස්‌ පවසති අද නොවන බො රු

පුහුබස්‌ කියා වහලුන් වී සැම වේ ලේ
බොරුවෙස්‌ නොගෙන පිරිමිව සිංහල තා ලේ
අනුහස්‌ බලය පෙන්වා හෙල බොදු උරු මේ
නිදහස්‌ රසය රැක ගමු එය ලද විල සේ

බුදු රැස්‌ විහිදුවාලන නඛ වෙහෙර පෙ නේ
අනුහස්‌ සිල් සුවඳ බුද්ධංගලින් දැ නේ
දම් රැස්‌ සුවය පැතිරෙයි නිතිපත් පා නේ
ඉස්‌මස්‌ රුධිර දන් දී වුව රකිනු මැ නේ

පෙර පින් බලය නැවතත් ලැබ පතුරමි නි
සිරියෙන් ගුණෙන් තව තව වැඩි වැඩි වෙමි නි
විරුවන් පුදන ආදරෙයේ නැලවෙමි නි
සැරදෙන් ඉතින් පෙරදිගු ලක්‌මව් දෝ ණි

වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර් පී. කේ. ඉශාන්ත ගුණතිලක

Advertisements

Responses

  1. me pilibandha mema lipiya sampadanaya kala obata pin enamuth oba visin sandahan kara athi sthana walata wada mema pradesaye soya nogath sthana bahulawa pawathi e pilibandhawath visesa awadhanayak yomu karana lesatath obata avasi onama upakarak mavisin karadeemata kamatta palakara sitime . mottayagala prasnaya mathukala saman.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: