Posted by: lrrp | December 3, 2012

මහින්දාගමනය පුරාවිද්‍යාත්මකව සත්‍යයක්‌ බවට පත්කළ රජගලකන්ද පුද බිම

රජගලකන්ද දිගාමඩුලු දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති ගල් ඔය ශේෂ කඳු වැටිවලින් එකකි. එය දිගාමඩුල්ල උහන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත්ය. කඳු වැටියේ උස මුහුදු මට්‌ටමේ සිට අඩි 1038කි. උතුරු අක්‌ෂාංශ 70 29′ 16.80” ත් නැගෙනහිර දේශාංශ 810 36′ 50.60” ත් අතර පිහිටි මෙම පුද බිම කඳුකර බිමකි. එහි සුළු භූ විෂමතා සහිත කඳු හෙල් හා තැනිතලා වේ. සමස්‌තයක්‌ ලෙස ගත් කල කඳු මුදුන සමතලා භූමියකි. කඳුවැටිය විශාල පාෂාණ උද්ගතයකි. එහි ග්‍රැනයිට්‌, චර්ට්‌ ආදී පාෂාණ බහුලය. ලඳු කැලෑ සහිත වියළි කලාපීය වෘක්‌ෂලතා ව්‍යාප්තියක්‌ ඇති ප්‍රදේශයේ අතරින් පතර රූස්‌ස ගස්‌ සහිත ගණ වනාන්තරය වෙයි. රජගල අවට ප්‍රදේශය පෝෂණය වන්නේ මංගලවට්‌ටවාන් ආරු ගංගාවේ ජලයෙනි. රජගලින් උපත ලබන දිය පහරවල් ගලා බසින්නේද එම ගංගාවටය. කඳුවැටියේ නැගෙනහිර අර්ධයේ ජලය නවකිරි ආරු දක්‌වා ගලා බසී. රජගල ඉහළට දිස්‌වන වැව් අතර දිව්ලාන වැව හා උනිච්චිය වැව ප්‍රධාන වේ. අම්පාර – මහඔය මාර්ගයේ උහන පසුකර කිලෝමීටර් කිහිපයක්‌ ගිය පසු හමුවන බක්‌කිඇල්ල ගම්මානයෙන් බටහිරට හැරී ඇති මාර්ගයේ කිලෝමීටරයක්‌ පමණ ගිය පසු රජගලකන්දට අවතීර්ණ වන ස්‌ථානයට පිවිසිය හැකිය.

රජගලට පිවිසෙත් ම එහි යන ඕනෑම අයකුට අවට වන පියසත්, දොල පහරත් සමග මනසට හා ගතට දැනෙන සමාධිය භාවනානුයෝගී යෝගාවචරයන්ට, රහතන් වහන්සේලාට පමණක්‌ නොව පෘථග්ජන සාමාන්‍ය ජනයාටද ආධ්‍යාත්මික නැඹුරුවක්‌ ලබා දීමට සමත් ය. රජගල පුදබිම නැගෙනහිර පුරාවිද්‍යා උරුමයේ වනයට යට වී නැගී සිටින යෝධයකු බඳුය.

ඓතිහාසික පසුබිම

රජගල ප්‍රදේශය අතීත රෝහණ ජනපදයේ ප්‍රධාන ආගමික හා පරිපාලන මධ්‍යස්‌ථානයක්‌ බව අපට සිතිය හැකිය. ඓතිහාසික තොරතුරු අතර මුලින්ම දීපවංසය වාර්තා කරන්නේ පණ්‌ඩුවාසුදේව රජුගේ මෙහෙසිය වූ භද්දකච්ඡායනා කුමරියගේ සොයුරන් වූ රාම, රෝහණ, දීඝායු, විත යන අය විසින් දිවයිනේ නැගෙනහිර පෙදෙසේ මුල් ජනාවාස පිහිටුවාගත් බවයි. ඒ අනුව වර්තමාන දිගාමඩුලු ප්‍රදේශය දීඝායු කුමරු විසින් දීඝ ගාම ලෙස සංවර්ධනය කළ බව සඳහන්ය. ක්‍රි.පූ. 3 වන සියවසේ සිට වරින් වර සංවර්ධනය වී ඇති රජගල හෙවත් රාස්‌සහෙළ යන නම ඊට භාවිතා වන ප්‍රසිද්ධ නම වුවත් එහි ඓතිහාසික නාමය එය නොවන බව සෙල්ලිපි සාධක අධ්‍යයනයෙන් පැහැදිලි වෙයි. සෙල්ලිපිවල මේ ස්‌ථානය නම් කිහිපයකින් පෙන්වා දී තිබේ. එක්‌ ලිපියක ‘ධනතිසපවත’ යනුවෙන් ද තවත් ලිපියක ‘අරිය අරක ගරිකිබලවු තිස පවත මහවහර’ යනුවෙන් දැක්‌වේ. එනම් අරියාකාර ගිරිකුම්භිලවාපි තිස්‌ස පබ්බත විහාරය යන්නයි. මෙහි, දෙවන මිහිඳු රජුගේ කාලයට අයත් යෑයි සැලකෙන තවත් සෙල්ලිපියක හඳුන්වා ඇතිතේ ‘අරිත්තාරා වෙහෙර’ යන නාමයෙනි. ක්‍රි.ව. 4වන සියවසට අයත් තවත් සෙල්ලිපියක ‘රචගල’ (රජගල) යනුවෙන් දක්‌වා ඇත.

රෝහණ ජනපදයේ ‘අරිත්තාකාරා’ නමින් විහාරස්‌ථාන කිහිපයක්‌ තිබුණු බව සාහිත්‍ය මූලාශ්‍ර පරිශීලනයෙන් පැහැදිලි වෙයි. අට්‌ඨකතාවල එන තොරතුරු අනුව අරියවංස සූත්‍රය දේශනා කරන ලද විහාර හෝ ආර්යයන්වහන්සේලා බහුලව විසූ විහාර මේ ගණයට අයත් වේ. සහස්‌සවත්තූප්පකරණයෙහි එන අරියාකර විහාරවත්ථු නම් කතාවේ කුම්භීලක තිස්‌ස පබ්බත විහාරයෙහි එක්‌තරා පබ්බාරයක පන්සියයක්‌ චග්ගුලියන් (කිරි වවුලන්) සිටි බවත් ඔවුන් විහාරයෙහි කෙරෙන සතිපට්‌ඨාන ධර්ම දේශනාව අසා සොම්නසින් මියගොස්‌ නැවත මිනිස්‌ දරුවන් වී ඉපිද එම විහාරයටම නැවත ධර්මය ඇසීමට පැමිණි බව සඳහන් වෙයි.

අරියකෝටි, හෙවත් අරියාකාර විහාරයේ දහස්‌ ගණන් භික්‌ෂූන් වහන්සේ වැඩ විසූ බව සීහලවත්තූප්පකරණයේ එන තවත් කතාවක දැක්‌වෙයි. දෙවන මිහිඳු රජුගේ ලිපියට අනුව මෙම පුද බිම පිහිටි පෙදෙස එකල හඳුන්වා ඇත්තේ ‘ලම්ජනවු’ නමිනි. එවකට සිටි රුහුණු පාලකයා වූ ඈපැයිදළ්සීව, රුහුණේ ප්‍රධානියෙකු වූ සෙන් හා ලම්ජනවියේ පාලක චිරාංකුරා යන තිදෙනා මෙහි අන්තිමට පූජාවක්‌ කළ දායාදයක්‌ හැටියට සැලකිය හැකිය. මුලින් සඳහන් කරන ලද ගිරිකිබලවු යනු ගිරිකුම්භිලවාපි ලෙස සැලකේ. මේ සියලු නම් වලින් හැඳින්වෙන්නේ එකම ස්‌ථානයකි.

දීඝවාපිය පාලනය කළ ලඡ්ජිතිස්‌ස රජු ගිරිකුම්භීල නම් විහාරය එහි කරවන ලද බව මහාවංසයේ දැක්‌වෙයි. රජගල නටබුන් මේ සියලු කතාවලට සම්බන්ධ ගිරිකුම්භීප විහාරයට අයත් ඒවා බව මෙහි සෙල්ලිපිවලින් පැහැදිලි වෙයි. රජගල කන්ද දුර සිට බලන්නෙකුට කිඹුලෙකු මුව අයා නිදා සිටින ආකාරයක්‌ දිස්‌වේ. ඒ අනුව කිඹුල්ගල (ගිරිකුම්භිල) නාමය මේ කන්දට අනුවර්තනය වී ඇත. (පාචීනපස්‌ස-උත්තර පස්‌ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය පි. 216-121)

රජගල ස්‌තූප හා ගොඩනැගිලි පිහිටීම පිළිබඳ විශේෂ අවධානයකින් අධ්‍යයනය කරන්නකුට එහි මිහින්තලයට සමාන පුරාවිද්‍යා සාධක පිහිටීමක්‌ ඇති බව පැහැදිලි වේ. රෝහණ ජනපදයේ කොටසක්‌ වන දීඝමණ්‌ඩලයට එනම්, වර්තමාන දිගාමඩුල්ලට රජගල අයත් වෙයි. මෙහි මුල්ම ස්‌වර්ණමය යුගය වශයෙන් සැලකෙන්නේ දේවානම්පියතිස්‌ස රජ සමයයි. මහින්දාගමනයත් සමග සිදුවූ ආගමික හා සමාජයීය පුණර්ජීවනය කෙතරම් දැයි විමසුවහොත් එවකට ගව්වෙන් ගව්ව විහාර ඉදිකිරීමේ ව්‍යාපෘති ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසටයි. අනුරාධපුර අගනුවරින් පරිභාහිරව ඉතා දුර බැහැර සිතුල්පව්ව, දිඹුලාගල, රිටිගල, රජගල ආදි ස්‌ථානවල ඇති කරන ලද විහාර කර්මාන්ත ඉදිවන්නේද එහි ප්‍රතිඵලයක්‌ ලෙසයි. මිහිඳු හිමියන් සමග පැමිණි ඉත්ථිය, උත්ථිය, සම්බල, භද්දසාල යන රහත් තෙරවරුන් හා සුමන සාමණේර රජගල සමග ඇත්තේ අති සමීප සබඳතාවකි. මන්ද යත් ඓතිහාසික මූලාශ්‍රවල පමණක්‌ ඒ වන තෙක්‌ සඳහන් වූ මහින්දාගමනය පුරාවිද්‍යාත්මකව සත්‍යයක්‌ බවට පත් කිරීමට එහි තිබූ අභිලේඛන සාධක ඔස්‌සේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සමත් වූ බැවිනි. ඒ මිහිඳු තෙරුන්ගේ හා ඉත්ථිය තෙරුන්ගේ ධාතු තැම්පත් කර තනන ලද ස්‌තූපය පිළිබඳ සඳහන් සෙල් ලිපියයි. ක්‍රි. පූ. 2-1 සියවස්‌වලට අයත් පූර්ව බ්‍රාහ්මී අක්‌ෂරයෙන් නිමවා ඇති මෙහි භාෂාව පුරාණ සිංහල වේ.

‘යෙ ඉම දිප පඨමය ඉදිය අගතන

ඉඩික තෙරහ මහිද තෙරහ තුඹෙ’

අදහස – ශ්‍රී ලංකා දීපයේ වාසනා මහිමය නිසා පැමිණි මහින්ද තෙරුන්ගේ හා ඉට්‌ථිය තෙරුන්ගේ ස්‌තූපයයි යනුවෙනි. මෙහි එවකට ඉදි වූ ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක්‌ හා ස්‌තූප කිහිපයක්‌ පර්වත මස්‌ථකය මත තැනි බිමේ තැනින් තැන දැකිය හැකිය. කඳු ගැටයේ තැනින් තැන කටාරම් කෙටූ ලෙන් කිහිපයක්‌ දැකිය හැකිය. ලෙන් පූජාවන් පිළිබඳ ලෙන් ලිපි කිහිපයක්‌ ද ඒවායේ වෙයි. මේවාද ඓතිහාසික කතාන්තර රාශියකට පුරාවිද්‍යාත්මක සත්‍යය එක්‌ කරයි. සෑම ගල් ලෙණක්‌ම කටාරම් කොටා සකසා තිබුන ද ඒ සියල්ලෙහිම ලෙන් ලිපි දැකිය නොහැකිය. මෙහි එක්‌ ලෙණක ශෛලමය ඇඳක්‌ හා කොට්‌ටයක්‌ නිර්මාණය කර ඇත. තවත් ලෙණක බිත්ති බැඳ කාමර වෙන් කර සකසා ඇත. ලෙන් ලිපි හැත්තෑවක්‌ පමණ ඇති අතර ඒවා සැදැහැවතුන් විසින් මහා සංඝයාට පූජා කිරීම් පිළිබඳව සඳහන් කර ඇත. එම ලෙන් ලිපිවල සඳහන් දෙවනපිය මහරCධගමිණි තිස නම් රජකුගේ පුත්‍ර වූ ලCධක හා මහඅය එක්‌ අයකු බව පෙනේ. මෙහි මහරCධ ලෙස සඳහන් වන්නේ සද්ධාතිස්‌ස රජුය. ලCධක රජ හෝ මහඅය ලඡ්ජිතිස්‌ස රජු හැටියට සැලකේ. සාමාන්‍ය පිරිස්‌ හැරුණු විට දමරුචි නම් මහ තෙරනමක්‌ ලෙණක්‌ පිදූ බව ලිපියක සඳහන්ය. (‘දෙවනපිය මහරCධ ගමිණි තිශහ පුත මහඅය ක්ධය උපශික යශශිනිය ලෙණෙ) (Dr. Senarath Paranavithana, 1970, P 33-34,)

කාලයෙන් කාලයට විවිධ රාජ යුගයන්වල සංවර්ධනය වූ මෙම විහාර කර්මාන්තය දියුණු කිරීමට දුටුගැමුණු රාජ සමයේ දීඝමණ්‌ඩලය ප්‍රදේශය පාලනය කළ සොයුරු සද්ධාතිස්‌ස කුමරු මෙම ප්‍රදේශයේ වගා සංග්‍රාමයක්‌ ඇති කිරීමට කටයුතු කළේය. ඒ පිළිබඳව වෘතාන්ත බොහෝය. වෙල්ලස්‌ස, ඇතිමලේ යන ප්‍රදේශ ඒ ඇසුරෙන් ගොඩනැගී තිබේ. එතුමාද රජගලකන්ද ප්‍රදේශයට ආගමික මධ්‍යස්‌ථානයක්‌ ලෙස වැඩි සැලකිල්ලක්‌ අවධානයක්‌ යොමු කරන්නට ඇති බව සිතිය හැකිය.

පසුව පළමුවන පරාක්‍රමබාහු රජුගෙන් දන්තධාතුව පැහැරගන්නා සුගලා දේවිය එය රැගෙන රෝහණ දේශයේ සැඟවෙන අතර සුගලා දේවියගේ මාලිගය පිහිටි ගලබැද්ද ප්‍රදේශය ද මේ ආශ්‍රිතව පිහිටා ඇත.

කාවන්තිස්‌ස රාජසමයේ සිදුවූ සිදුවීම් සමුදායද මේ ප්‍රදේශය ආශ්‍රය කරගෙන සිදු විය. එවකට ඇති වූ සුනාමි ෙ€දවාචකයත් සමග මුහුදට පාකර හරින විහාර මහා දේවිය රැගත් නෞකාව ගොඩ බසින්නේ වර්තමාන දිගාමඩුලු ප්‍රදේශයේ මුහුදු මහා විහාරය පිහිටි ස්‌ථානයටයි. විහාර මහා දේවිය මුහුදු මහා විහාරයේ සිට මාගමට කැඳවාගෙන එන මාර්ගය වැටී තිබෙන්නේ ද රජගල ප්‍රදේශය හරහාය. ඒ වන විට කාවන්තිස්‌ස රජුගේ පාලන ප්‍රදේශය වන රුහුණු ප්‍රදේශයේ සිතුල්පව්ව, මාගම හැරුණු විට රජගලද ප්‍රධාන ආගමික මධ්‍යස්‌ථානයක්‌ ලෙස සංවර්ධනය කරන්නට ඇත.

මඟුල් මහා විහාරය ද රජගල සිට තරමක්‌ දුරින් පිහිටි විශාල ආරාම සංකීර්ණයකි. බුද්දම ද රජගල ආසන්නයේ පිහිටි වන සෙනසුනක්‌ පාදක කරගත් ආරාම සංකීර්ණයකි.

රජගල ආශ්‍රිත ප්‍රදේශයේ වියළි කලාපීය ප්‍රාග් ඓතිහාසික ක්‍රියාකාරකම් රැසක්‌ සිදු වූ බවට ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාධක රැසක්‌ වේ. නිල්ගල වනාන්තරය ආශ්‍රිතව පිහිටි ගල් ලෙනක මුලින්ම ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිතකරණය වූ බල්ලාගේ (The Sinhalese Hound) සාධක සොයා ගනී. (බල්ලාගේ රදනක දතක්‌) එය මෙසොලිතික යුගයට අයත් බලංගොඩ මානවයාගේ යුගයට අයත් වන අතර වසර 12750කට ඈත කාලයේ බව කාල නීර්ණය කර ඇත. රජගල මෙන්ම පියංගල, බුද්දම, ගෝණගල ආදි ස්‌ථාන රැසක ප්‍රාථමික ගුහා චිත්‍ර හා ප්‍රාග් ඓතිහාසික සාධක සොයාගෙන තිබේ. කෙසේ වෙතත් ඓතිහාසික යුගයෙන් පසුවද ලංකාවේ ආදිවාසී ජනයා විසින් මෙම ගුහා පරිහරණය කළ බවට සාධක වෙයි.

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයකු වූ චාල්ස්‌ ගොඩකුඹුර මහතා සිය පාලන වාර්තාවේ (1961-62) රජගල පිළිබඳ මෙසේ සඳහනක්‌ කර ඇත.

”පෙරදී රාස්‌සහෙල යෑයි හැඳින්වූ රජගල මුහුදු මට්‌ටමෙන් අඩි 1038 උස කන්දකි. එහි දකුණු පැත්තේ තද බෑවුමක්‌ ඇති නමුත් උතුරු පැත්ත බෑවුම්වන්නේ ක්‍රමයෙනි. උතුරු බෑවුම නානා අත විසිරුණු නොයෙක්‌ ප්‍රමාණයේ ගල්වලින් දැකුම්කලුය. මිනිසා ලෝකයට පිවිසෙන්ටත් පෙර ඈත අතීතයේ කිසියම් යුගයක මහා ගලින් කැඩී වෙන් වූ ගල්පර බෑවුමේ තැන් තැන්වල එකිනෙකට මුණගැසී නැවතී ඇත. මෙසේ නැවතුන ගල්පර අතර මනෝඥ වූ ස්‌වාභාවික රක්‌ෂාස්‌ථානයන් සැදී ඇත. මේ ගල් ගුහා ඉදිරියේ බිත්ති බැඳ ඇත. ගල් ගුහා මුදුනේ සිතුවම් වෙයි. ගලේ කොටා ඇති සෙල්ලිපිවල දායකයාගේ හෝ ගුහාවේ විසූ අයගේ නම සඳහන් වී ඇත.

කන්ද ටික ටික බෑවුම් වී තැනිතලාවකටත් අවසානයේ දී කන්ද පාමුල තැන්නටත් පැමිණෙන නොයෙක්‌ හැඩවලින් හා ප්‍රමාණයෙන් යුත් ගොඩනැගිලි මෙම කඳු බෑවුමෙහි ඇත. මේ ගොඩනැගිලිවලට ප්‍රවේශ වන ස්‌ථානයන්හි දෙපස චාම් සරල කොරවක්‌ගල්ද මිනිස්‌ රූප සහිත නාග මුරගල්ද දක්‌නට ලැබේ. මේ තැන්න හරහා යන ඇළ වියළි කාලයට සිඳී යයි. එහෙත් මෙහි ඇති විශාල ආරාමයෙහි විසූ සංඝයා වහන්සේලාගේ අවශ්‍යතා සඳහා ජලය ලබාගෙන ඇත්තේ ඉහත සඳහන් ඇළෙනි. එම ඇළ පටන්ගන්නා ස්‌ථානයේ සිට පහත තැන්නේ හාරා ඇති වටකුරු ගල් පාත්‍ර දෙක තෙක්‌ කාණු බේරු ගල් ලෑලි අතුරා ඇත. මෙම ගල් පාත්‍ර දෙකට ඉහළින් පුරාණ කාලයේ දී වහලක්‌ තිබී ඇත. මේ වහලයත් මඳක්‌ දුරින් ඇති විශාල ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලකට සම්බන්ධ කර ඇත. එක්‌ ගල් පාත්‍රයක වම් පැත්තේ විශාල බ්‍රාහ්මී සෙල්ලිපියකි. පසු කාලයේ දී සැදැහැවතෙකු විසින් ඉදිකරන ලද ගඩොල් ගොඩනැගිල්ලකට කවාකාර කට්‌ටා ගලේ කපන ලද නිසා ලිපිය කඩතොළු වී ඇත.

බීමට හැර අනෙක්‌ කාර්යයන් සඳහා ජලය ලබාගෙන ඇත්තේ දැනට නටබුන් වී වියළී ඇති පොකුණෙනි. මේ අසල ඇති ගනකමින් යුක්‌ත වූ සක්‌ක ගලින් කළ පනා බැම්මක්‌ සහිත සමතලා බිම් පෙදෙසකි. එය තරමක්‌ දුරට වේදිකාවක ස්‌වරූපය දරයි. මේ වේදිකාව මත කුඩා ස්‌තූප දෙකක අවශේෂද එම ස්‌තූප දෙක අතරේ කණු උඩ නංවන ලද ගල් ලෑල්ලක්‌ද දක්‌නට ලැබේ. එම ගොඩනැගිල්ල වෘත්තාකාරය. ස්‌තූප දෙක අතරේ පනා බැම්මේ ඇතුල් මුහුණතේ පිහිටි ගලෙහි කෙටූ සෙල්ලිපියකි. මෙම ස්‌තූපය අතර පනා බැම්මෙන් අනෙක්‌ පැත්තේ ඇති සලපතල සක්‌මන් මළුවේ එක්‌ කෙලවරක්‌ ගල් පාත්‍ර දෙක හා සම්බන්ධ ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලේ දොරටුව ආසන්නය තෙක්‌ ඇත. එම සක්‌මන් මළුවේ අනෙක්‌ කෙළවර ඇත්තේ වේදිකාවේ පිටුපස පැත්තේය. එම කෙළවරේ සිට පහළට බසින පියගැට පෙළින් එසවුණු වේදිකාවක තවත් ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලකට මේ සක්‌මන් මළුව සම්බන්ධ වී ඇත.” (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තා 1961-62)

රජගල පුරාවිද්‍යා නටබුන්

රජගල කඳු ශිඛරයට අවතීර්ණවත්ම ආරම්භයේ දී හමුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෑතක ඉදිකර ඇති කලාප කාර්යාලයයි. කලාප අංක 5ට අයත් මෙය රජගල පුරාවිද්‍යා උරුම ස්‌ථානය කේන්ද්‍රකරගෙන ඇත. රජගල හා ඒ අවට පුරාවිද්‍යා උරුම ස්‌ථාන රැසකි. උහන, ගොනාගොල්ල, වළගම්භාපුර, පියංගල, බක්‌කිඇල්ල, වට කණ්‌ඩිය, කහටගස්‌යාය, බණ්‌ඩාරදූව, හිමදුරාව, බුද්ධංගල ඒ අතර විශේෂය. රජගල පුරාවිද්‍යා කාර්යාලය පිහිටි ස්‌ථානයේ රජගල ක්‌ෂේත්‍රයෙන් එක්‌රැස්‌කරගත් ශෛලමය පුරාවස්‌තු කිහිපයකි. ඉන් සුවිශේෂ දුර්ලභ ගණයේ නිර්මාණය වන්නේ අඩි 6á4 පමණ විශාල අර්ධ උන්නත කැටයම් සහිත ගල් පුවරුවයි. එහි වැඳගෙන සිටින හිටි දේවතා රූපය කැටයම් අතර ප්‍රධාන වේ. අනෙක්‌ ඒවා එය අනුගමනය කරමින් නිර්මිත ඒවාය. මෙම දේවතා රූපයේ හිසෙන් ඉහල කොටස සමග ගල් පුවරුව කැඩී ගොස්‌ය. හිටි දේවතා රූපයේ සිරස වටා නාග පෙන සැරසිල්ලක්‌ වූ බවට සලකුණු වේ. අනෙක්‌ කැටයම් එම රූපය ප්‍රධාන කරගෙන නිර්මාණය කර ඇත. හිටි දේව රූපයේ වම් පසින් ත්‍රිභංග ලීලාවෙන් යුත් දේවතාවියකි. එය දේව රූපයට වඩා තරමක්‌ කුඩාය. ප්‍රධාන දේව රූපය හා දේවතාවිය අතර හිඩැසේ ත්‍රිභංග ලීලාවෙන් යුත් තවත් කුඩා කාන්තා රූපයකි. එහි උස ප්‍රධාන දේව රූපයේ දණහිසට තරමක්‌ ඉහළ තෙක්‌ උසින් යුක්‌ත වෙයි. දේවතා රූපයේ දකුණු පසින් ඉහළින්ම අවකාශයේ කුඩා දේවතා රූපයකි. පාවෙන ආකාරයෙන් නිර්මිත ඔහු ප්‍රධාන දේවතාවාට පවන් සලන අයුරින් නිර්මාණය කර ඇති බව සිතිය හැකිය. ඊට පහළින් සක්‌ ගෙඩියක්‌ කැටයම් කර ඇත. එයට මඳක්‌ පහළින් ඉඟෙන් ඉහළ කොටස පමණක්‌ නිර්මිත තවත් දේවතා රූපයකි. එහි හිස වටාද නාග පෙන 8ක්‌ නිර්මිතය. සිය කර දක්‌වා එල්ලා වැටෙන ලම්භකර්ණ යුගලයකි. ඔහු ප්‍රධාන හිටි දේව රූපය දෙසට පුන් කළසක්‌ හෝ එවැනි යමක්‌ දෑතින් අල්ලාගෙන සිටී. එම රූපයට පහළින්ද එවැනිම තවත් රූපයකි. ඔහුද පෙර පරිදි පුන්කළසක්‌ දේවතා රූපය දෙසට අල්ලාගෙන සිටී. එය නිමවා ඇත්තේ ගල් පුවරුවේ යට වම් කොණේය. එහිද සිරස වටා නාගපෙන නිර්මාණය කර තිබූ බවට සලකුණු තිබුණද ඒවා මැකී ගොස්‌ය.

ප්‍රධාන රූපයේ ඇඳුම් පැලඳුම් හා ආභරණ අනුව එය පැහැදිළිවම දේවතා රූපයක්‌ හෝ රජ රූපයකි. අවලෝකිතේශ්වර හෝ ඒ හා සමාන විය හැකිය. එය පුරාවිද්‍යාඥයන්ගේ හා ඉතිහාසඥයන්ගේ අවධානයට හා සංවාදයට ලක්‌විය යුතු නිර්මාණයකි. මන්ද මෙවැනි දුර්ලභ ගණයේ කැටයම් සහිත ගල් පුවරුවක්‌ ලංකාවේ වෙනත් කිසිදු ස්‌ථානයකින් හමු නොවීමයි. ඒ අසල තවත් වෙනත් ස්‌ථානයකින් රැගෙන එන ලද අඩි දෙකහමාරක්‌ පමණ උස්‌ වන ගල් පුවරුවකි. එය මුරගලක ස්‌වරූපය ගනී. එහි අර්ධ උන්නතව කැටයම් කර ඇත්තේ යක්‌ෂ වෙස්‌ ගත් වාමන රූපයකි. ඔහුගේ ඇස්‌ විශාලය, අයා ගත් මුවේ දෙපසින් දල දෙකක්‌ නිරූපිතය, දකුණු අතේ කඩුවක්‌ දරා සිටී. තවත් එවැනිම ගල් පුවරුවක නාග පෙන 5ක්‌ සහිත නාග රූපයකි. මේවා මුල්ම යුගයන්ට අයත් මුරගල් ලෙස හඳුන්වාදිය හැකිය. අඩි 1/2 පමණ දිග පළලින් යුත් යන්ත්‍ර ගලකි. එම ස්‌ථානයේම අඩි 3ක්‌ පමණ දිග පළලින් යුත් සිරිපතුල් ගලක්‌ද වෙයි. ස්‌තූපවල ජත්‍ර ගල් ලෙස සිතිය හැකි වෘත්තාකාර ගල් පුවරුද වේ. එතැන් සිට නටබුන් සහිත ප්‍රදේශයට පිවිසීම සඳහා වන කඳුකර මාර්ගය වේ. එය ගල් පඩි අල්ලා සකසා ඇත. ඒ ඔස්‌සේ ගමන් කරන්නෙකුට දැනෙන සිහිල් සුවැති බව මොහොතකට හෝ සිය සිත සමාධිගත කිරීමට ඉවහල්වනු නොඅනුමානය. වියලි කලාපයේ පිහිටිය ද ඉහළට ගමන් කරන මෙම මාර්ගය දෙපස කුඩා දිය පහරවල් නිරන්තරයෙන් ගලා බසී. ඒවාටද හානියක්‌ සිදු නොකර ස්‌වාභාවික පර්වත පිහිටීම් අතරින් මෙම මාර්ගය පිහිටුවා ඇති ආකාරය විශිෂ්ටය. ඒ යන අතරමග කටාරම් කෙටූ ගල් ලෙන් කිහිපයක්‌ද හමු වෙයි. වර්තමානයේ ඒවා දඩයම්කරුවන්ගේ හා විෂඝෝර සර්පයන්ගේ වාසස්‌ථාන බවට පත්ව ඇත. කඳු මුදුනට පිවිසීමෙන් පසු එළඹෙන තැනිතලා බිමේ මුලින්ම හමුවන්නේ රජගල ගිරි ලිපිය ඇති ස්‌ථානයයි. (මිහිඳු හිමිගේ හා ඉට්‌ථිය තෙරුන්ගේ ධාතු තැම්පත් ස්‌තූපය මෙහි වන බව සඳහන් ලිපිය) ඒ අසල ස්‌තූපයක සුන් බුන් ඇතද එහි කිසිවක්‌ ඉතිරිකර තැබීමට නිධන් වස්‌තු සෙවූ පාපතරයන් කටයුතු කර නැත. ඊට මඳක්‌ ඔබ්බෙන් තවත් ගිරි ලිපියක සාධක වේ. එය පසුකාලීන ඉදිකිරීමක්‌ හේතු කොටගෙන විනාශ වී ගොස්‌ය. ඒ අසලම ජල පහසුව පිණිස තනන ලද කුඩා වැවක සාධක දැකිය හැකිය. වැසි කාලයේ එක්‌වන ජලයෙන් හා ඊට මඳක්‌ ඔබ්බෙන් වන කඳු ගැටවලින් ගලා හැලෙන දිය පහරවලින් පෝෂණය වන එය අද වන විට කැඩී ගොස්‌ සකසා තිබූ වාරි පද්ධතිය අවුල් වී ගොස්‌ය. එතැන් සිට වැව අසල පිහිටි ආරාම සංකීර්ණයට ජලය රැගෙන ගිය කාණුවක නටඹබන්ද වේ. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ සුන් බුන් අනුව එය පැරණි දාන ශාලාවක්‌ බව සිතිය හැක්‌කේ ඒ ගොඩනැගිලි අතර වන විශාල ගල් පාත්‍රය නිසාය. එය සාමාන්‍ය මිනිසුන් දෙදෙනකුට එය තුළට බැසිය හැකි තරම් විශාලය. ගොඩනැගිලිවලට ඇතුළු වීමේ දොරටු අසල පා දෝවන ගල් වෙයි. ගොඩනැගිලි දොරටු මුරගල් හා සඳකඩපහන්වලින් අලංකාර කර ඇත. නමුත් ඒවා නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්‌ව විනාශ වී ගොස්‌ය. ගොඩනැගිලි සංකීර්ණයට ම`දක්‌ ඔබ්බෙන් සාදා නිම නොකළ හිටි බුදු පිළිමයකි. අභය මුද්‍රdව නිරූපිත මෙම පිළිමය අවුකන පිළිමයේ ස්‌වරූපය ගත් අඩි 20ක්‌ පමණ උස්‌ එකකි. මේ බුදු පිළිමය පිළිබඳ චාල්ස්‌ ගොඩකුඹුර මහතා සිය පාලන වාර්තාවේ මෙසේ සඳහන් කරයි, ”මෙහි ලැබුනු එකම බුදු පිළිමය තරමක්‌ දුරට වැඩකර නැවැත්වූවක්‌ය. එය තවමත් ඇත්තේ ශිල්පියා ගල තියාගෙන වැඩකළ තැනම ය.” (1961-1962 පුරාවිද්‍යා පාලන වාර්තාව. පි. 22)

අනුරාධපුර සමයේ ඉදිවූ පංචාවාස ගොඩනැගිලි මෙම ආරාම සංකීර්ණයේ ද වේ. අතීතයේ මෙහි පැවති ශ්‍රී විභූතිය ඒවායෙන් මොනවට දිස්‌ වෙයි. එකල රහතුන් වහන්සේලාට නම් මෙම ගිරි ශිඛරය තරණය කිරීම දුෂ්කර කාර්යයක්‌ නොවන්නට ඇත. නගරයෙන් ඈත මෙම වන සෙනසුන එකල පමණක්‌ නොව අදත් අප චිත්ත සන්තානය එක්‌තැන් කිරීමට සමත් ය.

තරමක්‌ කොට ගල් කණු සහිත ගොඩනැගිලි ද වන අතර ඒවා අතීතයේ බිත්ති බැඳ සකසා තිබෙන්නට ඇත. උස ගල් කණු සහිත ගොඩනැගිලි එලිමහන් ශාලා හෝ විවෘත ගොඩනැගිලි ලෙස පැවතී ඇත. කෙසේ වෙතත් පුරාවස්‌තු ආරක්‌ෂණ පද්ධතිය ශක්‌තිමත් නොවීම හේතුවෙන් නිධන් සෙවූ පාපතරයන් මෙහි ඇති සියලු දාගැබ්, ගොඩනැගිලි දොරටු විනාශ කර ඇත. ඇතැම් මුරගල්, කොරවක්‌ගල් ඔවුන්ගේ කුළු ගෙඩි පහරට දිවි දී හමාරය. ගොඩනැගිල්ලට ඇතුළුවන පියගැට පෙළ පාමුලද බොහෝ තැන්වල හාරා ඇත. ඒ අනුව ඒවා සිදුකල මුග්ධයන් කෙතරම් අඥාන දැයි අපට සිතාගත හැකිය. ඔවුන් ඒ හාරා විනාශ කර දමන්නේ අතීත මුතුන්මිත්තන්ගේ දහඩිය මතින් ගොඩනැගුණු තවමත් ධර්ම ද්වීපයේ සුරැකී පවත්නා බෞද්ධ ලෝකය බව අප දැනගත යුතුය.

මෙම ගොඩනැගිලිවල වාස්‌තුවිද්‍යා ශෛලීන් දෙස බැලීමේ දී ඒවා මධ්‍ය අනුරාධපුර සමයට අයත් සංවර්ධිත කලා නිර්මාණයන් බව පැහැදිළිය.

රජගල සිට මඳ දුරක්‌ නැගෙනහිරට වන්නට ඇත්තේ පියංගල වන සෙනසුනයි. එහි කඳු ගැටය වටා කටාරම් කෙටූ ආවාස කුටි වේ. මේ සියල්ලකම පාහේ ලෙන් ලිපි දැකිය හැකිය. ඒවායේ වර්තමානයේද සුදුසු පරිදි සකසාගෙන භික්‌ෂූන් වහන්සේලා වැඩවාසය කරයි. පියංගල කඳුගැටයේ කෙළවරම ඇත්තේ පියංගල ගුහා චිත්‍ර ඇති විශාල ලෙණකි. එයද පුරාවිද්‍යා ආරක්‌ෂිත ස්‌මාරකයක්‌ ලෙස නම්කර ඇත. එහි තැනින් තැන ප්‍රාථමික ගුහා චිත්‍ර කිහිපයක්‌ ද වෙයි. එහිම අනෙක්‌පස මෑතක ඔලුවිල් වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා විශාල ප්‍රදේශයක ගල් කඩාගෙන ගොස්‌ ඇත. මෙම ස්‌ථානයන්හි ද පුරාවිද්‍යාත්මක සාධක නොතිබුණා යෑයි කීමට අපට නොහැකිය. ලංකාවේ ප්‍රසිද්ධ ආසනඝරයක්‌ පිහිටි පුළුකුණාව ද මේ ආසන්නයේ පිහිටා ඇත. එය මෑතක එල්.ටී.ටී.ඊ ග්‍රහණය පැවති ප්‍රදේශයක පිහිටිය ද තවමත් නිරුපද්‍රිතව ඇත. ඒ අසල වෘත්තාකාර පාදම් ගල් සහිත ගොඩනැගිලි නටබුන් වේ. අසල පිහිටි ස්‌තූපය නිධන් හොරුන් හාරා විනාශ කර ඇත.

රජගල ආරාම සංකීර්ණය වර්තමාන ගවේෂකයෙකුට, පර්යේෂකයෙකුට අතීත කලා ශිල්ප, වාස්‌තු විද්‍යාව, ප්‍රදේශයේ ජන ජීවිතය, ප්‍රදේශයේ බෞද්ධාගමික පසුබිම මෙන්ම පරිසර කළමනාකරණය, ගොඩනැගිලි හා භුමි සැලසුම්කරණය හා කළමනාකරණය පිළිබඳ අධ්‍යයනයට විශ්වවිද්‍යාලයක්‌ බඳුය. එය කැණීම් කර, සංරක්‌ෂණය කර තහවුරු කිරීමට අදාළ ආයතන හා සංවිධානවල වගකීමයි. ඊට නියමිත කාලය දැන් එළඹ තිබේ. නැගෙනහිර පුරාවිද්‍යා උරුමය තහවුරු කිරීමේ දී වැඩි අවධානයක්‌ මේ කෙරේ යොමු කළ යුතුය. මන්ද බුදුදහම අප රටට රැගෙන පැමිණි මිහිඳු හිමි හා ඉට්‌ථිය තෙරුන්ගේ ධාතු තැම්පත් තූපය එහි වීමයි. එසේම මහින්දාගමනය ශ්‍රී ලාංකේය සමාජීය ආගමික පුණර්ජීවනයට මඟ හසර හෙළිකළ හෙයිනි, එහි පුරාණ සාධක වර්තමානයටද ඉතිරිවිය යුතු හෙයිනි, අතීත දේ කැණීම් කොට තහවුරු කිරීම ඒ අනුව නිරර්ථක ක්‍රියාවක්‌ද, එවන් හිස්‌ වදන් පවසන කටපාළුවන්ට අතීතයක්‌ නොව වර්තමානයක්‌ ද නැති තරම්ය. අපේ ප්‍රෙෘඪ වූ අතීතය එලෙස වැළලී යාමට ඉඩ නොදිය යුතුය, මන්ද වර්තමානය ගොඩනැගෙන්නේ අතීතයෙනි. වර්තමාන නිර්මාණ හමුවේ අපේ මුතුන්මිත්තන්ගේ නිර්මාණ අමතක කර නොදැමිය යුතුය. අතීතයේ අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් මුළු දිවයින පුරාම විහිදී ගිය දහම් ආලෝකයේ නිහ`ඩ සාධක වන් මෙවන් ස්‌ථාන තව තවත් විනාශ මුඛයට යා නොදිය යුතුය. වසර 2500ක්‌ ඉක්‌මවා ලංකාද්වීපයේ සුරක්‌ෂිත වූ බුදු දහම ඉදිරියටද එලෙසම සුරක්‌ෂිත විය යුතුය.

ආශ්‍රිත ග්‍රන්ථ

* පුරාවිද්‍යා පාලන වාර්තා (1961-62) ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

* ලංකා ඉතිහාසය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, 1 වන කොටස

* සිරිසමන් විඡේතුංග, රජගලතැන්න, — , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

* සිරිසෝම එච්. එම්, 1986, උතුරු නැගෙනහිර පෙදෙස්‌හි හෙළ උරුමය, ගොඩගේ සහෝදරයෝ

* මේධානන්ද එල්ලාවල, 2003, පාචීනතිස්‌ස – උත්තරපස්‌ස නැගෙනහිර පලාත හා උතුරුමැද පලාතේ සිංහල බෞද්ධ උරුමය, දයාවංශ ජයකොඩි සමාගම

(අනුරාධ විජයවර්ධන බණ්‌ඩාර)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: