Posted by: lrrp | December 3, 2012

වැවක මහිම – වෑ බැම්මක අරුමය

ගම්කොටුවක වෑ බැම්මක්‌ ඉදිවන්නේ කළහුරෙන්, පෙරහුරෙන් හා දැනහුරෙන් යන සියලු හුරුකම්වල එකතුවක්‌ ලෙසිනි. වැව්ගම්මාන සම්ප්‍රදායයන්ට අනුව ගංකරයක වැවක්‌ තනන තුරු ගමක්‌ බැඳීම තහංචිය. අත්හල වැවක්‌ යළි පිළිසකර කර වෑබැම්ම පාදා ගන්නා විටද මේ වැව් චාරිත්‍ර වලංගුවේ. එහෙයින් වැවක්‌ බැඳ එහි දියවර පිරී වාන්දමන තුරු ගැම්මැද්දක්‌ තනා ගැනීම තහංචිය. එතෙක්‌ ගංගෙවල් අටවාගන්නේ තාවකාලික ලැඟුම් පොළවල් ලෙසිනි. එනමුදු වෑබැම්ම සශ්‍රික ලෙස සකසාගෙන පසුව වැවේ මංගල වාංදැමීමෙන් පසුව ස්‌ථිරයට වැව පාවුලින් ගැම්මැද්ද ඉදිකර ගනු ලැබේ.

මේ අනුව බලන විට වෑබැම්මක්‌ අලුතින් තනන විට අවස්‌ථා දෙකක්‌ අනුව එය ඉඳිවන බව හැඳිනගත හැකියි. පළමුවැන්න නම් හා හා පුරා කියා කුලුඳුලේ වෑ බැම්මක්‌ තනා ගැනීමය. අනෙක නම් අත්හළ පාළු ගමක්‌ යළි වල්කොටා පදිංචියට සූදානම් කරන විට හමුවන වෑබැම්ම පිළිසකර කර වැව්කොටුව පිළියෙල කර ගැනීමය. මේ කුමන ආකාරයට හෝ වේවා වැව් බැම්මක්‌ තනන විට ඊට අනුදත් සිරිත් සම්මත ක්‍රමෝපායයන් අනුගමනය කිරීමට බැඳී ඇත.

වෑ බැම්මක්‌ තනාගැනීමට පෙර පිහිටි පොළොවේ හැඩේ විමසනු ලබයි. ඒ වැවකට උචිත බිමක්‌දැයි නිශ්චය කර ගැනීමටය. මන්දයත් වන්නි කැලෑබිම් කොටා අලුතින් වෑබැම්මක්‌ ඉදිකරන විට පළමුව ඊට සුදුසු පුරපසේ සුබ දිනයක්‌ තෝරා ගනියි. ඊට අනුව වෑ බැම්ම පිරවීමට පෙර උචිත වනස්‌පතී වෘක්‌ෂයක්‌ එනම් කෝං, ඇහැටු, මිල්ල, පලු හා කුඹුක්‌ බඳුÊසවිමත් ගසක්‌ තෝරාගෙන එහි පඬුරුබඳ කොළ අතු සාත්තුවක්‌ දී වැවේ සංහිඳ ලෙසට තීන්දු කරගනී. එම සංහිඳ පාමුල තිබෙන වනබූටෑව එළිකර පළමු කන්නලව්ව සිදුකර දෙවිදේවතාවුන්ට නමස්‌කාර කර වෑබැම්ම සැකසීම අරඹනු ලබයි.

මෙහිදී වැවට දියවර පිරෙන ඉසව්ව පිළිබඳ විමර්ශනය කෙරේ. වෑබැම්මට පහළින් කෙත්යායක්‌ අස්‌වැද්ද විය හැකි පහත් බිමක්‌ විය යුතුයි. එසේම ගල්ගෙඩි සහිත හෝ තරමක්‌ විශාල උස්‌ බිමක්‌ නැතිනම් තිරිවානා හෝ බොරළුකැට බහුල බිමක්‌ නම් එබඳුÊබිම්කඩවල් වෑ බැම්මක්‌ තැනීමට උචිත නොවේ. සශ්‍රික ලෙස කුඹුරු අස්‌වැද්දීමට යෝග්‍ය මඩ සහිත බිම්කඩක්‌ නම් ඉතා මනාපයෙන් වෑබැම්මක්‌ බැඳීමට කටයුතු පිළියෙළ කෙරේ.

වෑබැම්ම බඳින විට ඊට රාශිකරගත යුතු දියවර ප්‍රමාණය ගැනද විමර්ශනයක නියෑලේ. එබඳු අත්දැකීම් ඇති ගොවීන් නැතිනම් මහගමරාල උන්දලා පිහිටි පොළොවේ හැඩය බලා උචිත උපදෙස්‌ ලබා දෙයි. මෙහිදී වැවේ ‘අගාර’ නැතිනම් ‘දියකෝල්බඩ’ ලෙස සලකන දියවර පිරෙන ඉසව්ව ගැන හොඳින් අධ්‍යයනයක යෙදී ඊට අනුව වෑ බැම්ම කුමන ආකාරයේ එකක්‌ දැයි තීන්දු කරගනී.

මේ කොයි හැටියට වුවත් වෑ බැම්මක්‌ පස්‌ හා මැටි යොදා ගනිමින් තනන විට එය ‘බඩ නෙරාගිය’ හැඩයට තැනීම ජනසම්මතය ලෙස සැලකේ. මන්ද බඩගෙඩිය නෙරා එන්නේ ඉදිරියටය. එසේම වැවේ දියවර පිරී ගිය විට ඒ හැඩයට නෙරා තිබීම නිසා වෑබැම්ම බිඳී නොයන බව මහගමරාලවරුන් මෙන්ම විදානේවරුන්ද පිළිගත් මතයකි. එනම් වෑ බැම්ම කිසියම් දුරකට බොක්‌කක්‌ ලෙස සැකසේ.

මෙලෙස බොකු හැඩයට වෑ බැම්ම තනන විට එහි මැදට ගස්‌ කඳන් හෝ මුල් නොසිටින ලෙස තිබෙන සියලුම දැව කොටස්‌ කපා ඉවත් කරනු ලබයි. වැවේ දිය කෝල්බඩට වන්නට ගස්‌ තිබේ නම් ඒවා තිබෙන්නට ඉඩ හරිනු ලැබුවද වෑ බැම්ම ඉදිකරනවිට ඒ මැදට ශාක කොටස්‌ මුහුවීමට නොදේ.

බොකු හැඩයට වෑ බැම්ම සූදානම් කළ ද එය ඉදිවන රටාව අනුව කටුසු බැම්ම හෝ ගොයිබැම්ම ලෙස පිළිගත් සම්මතයන් දෙකකින් එකක්‌ තෝරාගෙන ගොඩකිරීමට පටන් ගනී. කටුසුබැම්ම ලෙස හඳුන්වන්නේ වෑ බැම්මේ ඉහළ කොටස හීනියටද පහළ කොටස තරමක්‌ පළල් රටාවකටද හිටින ලෙස වෑ බැම්ම ගොඩ කිරීමය. නමුත් තලගොයි බැම්ම යනු බණ්‌ඩියෙන් පළල් රටාවය. එය යහමින් දියවර පිරෙන තරමක්‌ සැර වැවකට යෝග්‍ය වූවකි.

කටුසු හෝ තලගොයි බැම්ම කෙසේ වුවත් පළමුව මැටි සහිත පස්‌ පිරවීමට පටන් ගන්නා විටම වැවට උචිත හොරොව් තැනීමද සිදු කරගෙන යනු ලබයි. මඩහොරොව්ව, දිය හොරොව්ව යන හොරොව් යුගලය විශේෂිත වේ. එමෙන්ම වැවේ තිබෙන ඉහළම කොටස වෑ බැම්ම වන අතර ඊට පහළින් ‘දිය පැන්නුම’ නැතිනම් ‘වැව් වාන’ සඳහා පහළ කොටසක්‌ සූදානම් කෙරේ. එයද පිහිටි පොළොව අනුව සිදු කරන්නාවූ වෙන් කිරීමකි. වැවට රඳවාගත නොහැකි ජලය පිටාර ගලා යන්නේ මේ ‘වැව්වාන’ ඔස්‌සේය.

වැවක වෑ බැම්මට පස්‌ පුරවන විට ඒ සඳහා දැවකොටස්‌, මුල් සහිත කොටස්‌ මෙන්ම ගල් ආදිය මුහු නොවීමට වගබලා ගනී. පළමුව පිහිටි පොළොවේ තරමක්‌ පළලට අඟලක්‌ කපා හරී. ඊට හොඳින් තලා පදම් කළ හැකි මැටි පස්‌ ගෙනවින් දමනු ලැබේ. ඒ මතට දියවර ඉස ඉස මැටි තරමක්‌ ජොල්වන තුරු පාගා ගනියි. ඒ සඳහා පළමුව කුර ලොකු සතුන් වන මී ගවයින් කැරලි කීපයක්‌ ඔබ මොබ දක්‌කනු ලබයි. පසුව හැකි නම් අලින්ලවා පාගා ගන්නා අතර එසේ නොවන විට ‘තාප්පමෝල්’ නැතිනම් ලී කොට හෝ ඉණි ආධාරයෙන් මේ මඩ හොඳින් තදවන තුරු තලාගනියි. එලෙස වෑ බැම්ම තැනීම සඳහා අගලක්‌ කැපීම එය මැටියෙන් පිරවීම සිදු කරනුයේ පුරපසේ සුබ දිනකය. මේ මැට්‌ට සඳහා රතු හුඹස්‌ මැට්‌ට හෝ කළු හුඹස්‌ මැට්‌ට භාවිත කරනු ලබයි. අනතුරුව මැටි ගතිය තිබෙන පස්‌ කොටස්‌ පමණක්‌ වෑ බැම්මේ ඉදිකිරීමට භාවිත කෙරේ.

වැවේ දියකෝල්බඩින් පස්‌කපා වෑ බැම්ම පිරවීම ජනසම්මත පිළිවෙත නොවේ. මන්දයත් පිහිටි පොළොවේ තිබෙන බොක්‌ක සහිත ප්‍රමාණය එලෙසම තිබෙන්නට ඉඩ ලබාදෙයි. වැව ඇතුළෙන් පස්‌ හාරා ගන්නාවිට වැව ඇතුළුකරය ඕනෑවට වඩා ඈඟුල්වන අතර එමගින් මඩ හොරොව්වෙන් රොන්මඩ ඉවතට ගැනීමටද අපහසු වේ. එසේම වැව ඇතුළේ ගිල්ම ප්‍රදේශ පහළින් තිබෙන විට වෑ බැම්ම පුපුරා කඩාගෙන යැමට තිබෙන ඉඩ වැඩිය. එහෙයින් වෑ බැම්මක්‌ ඉදිකරන විට ඊට අදාළ මැටි පස්‌ ගෙනෙනුයේ කෙත්යාය තනන ප්‍රදේශයෙන් හෝ යටාවතේ ඇළමං බඳින ඉසව්වෙනි.

වැවක්‌ බඳින විට පිහිටි පොළොවේ තිබෙන දිය බැස්‌ම පිළිබඳ මනා අවධානයක්‌ යොමු කර එම පහළට පිහිටි රටාව වෙනස්‌ නොවන ලෙස වෑ බැම්ම සැකසීම සිරිතක්‌ ලෙස අනුගමනය කරන්නකි. එසේම වෑ බැම්මක්‌ උස්‌ව පිහිටන ලෙස මැටි සහිත පස්‌ දමා තලන විට එය අනවශ්‍ය ලෙස උස්‌ නොකිරීමටද වගබලාගනී. මෙලෙස පස්‌ දමා ගවයින්ගේ කුර ආශ්‍රිතව හෝ තාප්ප මොල්වලින් නැතිනම් ඉණි අතැති වූවන් පෙළට සිට තඩිබාමින් වෑ බැම්ම හැකිතාක්‌ පහළට තදවන ලෙස බැඳ ගනියි.

මහින්ද කුමාර දළුපොත

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: