Posted by: lrrp | December 3, 2012

වෙල්ලස්‌ස කැරැල්ලේ ප්‍රථම හී පහරට දිසාපති විල්සන් බිලිවෙයි!

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ දිනයේ විජය කුමරු ලක්‌දීව ට ගොඩ බට බව ලක්‌ ඉතිහාසය ගැන ලියූ පොත පතේ සඳහන් ව තිබේ. එදවස වැටෙන්නේ ක්‍රි. පූ. 543 ටයි. ක්‍රි. ව. පස්‌වැනි ශත වර්ෂයේ භික්‍ෂූන් වහන්සේ නමක්‌ විසින් ලියූ මහාවංශය නම් පුරාණ ඉතිහාසයේ සඳහන් වන්නේ උතුරු ඉන්දියාවේ සිට සපිරිවරින් පැමිණ විජය කුමාරයා සිංහල ජාතියේ ආදී කර්තෘවරයා බවයි. එදා පටන් ආරම්භ වූ සිංහල ජාතිය විටින් විට පර සතුරු ආක්‍රමණයන්ට ගොදුරු වී තිබේ. මුල් කාලයේදී ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් මෙරට පාලනය කළ පාලකයන් බලයෙන් පහ කර දිගු කාලීනව රට පාලනය කර තිබේ.

පසු කාලීනව මෙරට යුරෝපීය රටවල ආක්‍රමණයන්ට ගොදුරු වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයෝ සමස්‌ත රටේම ආධිපත්‍ය ගෙන වසර 133 ක පමණ කාලයක්‌ පාලනය කොට තිබේ. වසර 1948 දී ඔවුන්ගෙන් යළි රට මුදවා ගැනීමේ සටන් බොහෝ විට සිදු වූ අතර ඉන් ස්‌වදේශික ජනයාට දේපළවලින් පමණක්‌ නොව ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුව ඇත. ඉංග්‍රීසි පාලනය ට එරෙහිව කළ මහ කැරැල්ල වසර 1818 දීa බදුල්ල ප්‍රදේශය මුල් කොට සිදු විය. උඩරට මහ කැරැල්ල ලෙස හැඳින් වූ ඒ මහා සටනේදී මොණරවිල කැප්පෙට්‌ටිපොල නිළමේ, කිවුලේ ගෙදර මොහොට්‌ටාල ආදී නායකයන් රැසක්‌ දැයට අහිමි විය. රට වැසියන්ගේ දේපොළ විනාශයට ලක්‌ වී තිබේ. එම උදාර වූ සටනේ මතක සටහන් රැදුණු ස්‌ථානයක්‌ ඌව පළාතට අයත් බදුල්ල බිබිල බස්‌ මාර්ගය අසල වෙයි. බිබිල උණගොල්ල රජමහා විහාරය ඉදිරිපිට පිහිටි එම ස්‌මාරකය උඩරට කැරැල්ලේ පළමු හී පහර කා මිය ගිය බදුල්ලේ උප ඒජන්ත සිල්වෙස්‌ටර් ඩග්ලස්‌ විල්සන් නැමැති ඉංග්‍රීසි ජාතිකයාය.

පසුගිය දිනක එම ස්‌ථානය පසුකර පාගමනේ යෙදුණු මම සිල්වෙස්‌ටර් විල්සන් නැමැති ඉංග්‍රීසි ජාතිකයා මිය ගිය ස්‌ථානයේ ඉදිකර ඇති ස්‌මාරකය දුටුවෙමි. ඒ මොහොතේ අසල පිහිටි බස්‌ නැවතුම් පොලේ සිටි පිරිස ගෙන් අසා සිටියත් ඔවුන් සෑම දෙනා කියා සිටියේ සුද්දෙක්‌ ගේ සොහොනක්‌ බවයි. සුදු ජාතිකයෙක්‌ ගේ සොහොනක්‌ බව සැබෑ වුවත් ගම්වාසී කිසිවෙක්‌ ඒ පිළිබඳ යටගියාව දැනසිටියේ නැත. මහා මාර්ගයට අඩි දෙකක්‌ පමණ නුදුරෙන් වූ එම ස්‌මාරකය මැතිවරණ සමයේ දේශපාලන පෝස්‌ටර් අලවා තැබීමටත් යොදා ගෙන ඇති අයුරු දැක ඇත්තෙමි. අසල පිහිටි වෙල් යායට එන ගොවීන්ගේ පාපැදි හේත්තු කර තැබීමට භාවිත කරති. එම නිරීක්‍ෂණයන් ඔස්‌සේ වෙල්ලස්‌සේ වැසි ජනයා එදා බ්‍රිතාන්‍යයන් ගෙන් යළි රට මුදා ගැනීමේ උඩරට කැරැල්ල ආරම්භ වූ ස්‌ථානය මෙසේ සිහියට නැඟුවෙමි.

වසර 1817 සැප්තැම්බර් මස 16 දින සිල්වෙස්‌ටර් විල්සන් මහතා විසින් ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් වෙත ලිපියකින් දන්වා සිටියේ වෙල්ලස්‌ස දේශ සීමාවේ වඩුග ඇඳුමක්‌ හෝ ඇතැම් විට භිෂූන්ට අයිති කහ සිවුරක්‌ හෝ අදින සැක කටයුතු පෙනුමක්‌ ඇති අමුත්තකු උඩරට සංඝයා සමග සිටින බවයි. මේ පළාතේ රාජ්‍ය සේවයේ සිටි හඡ්ජි මුහන්දිරම් මොවුන් අල්ලා ගැනීමට බින්තැන්න දන්කුඹුර බලා ගියේය. එම කණ්‌ඩායම ආයුධ සන්නද්ධව වැද්දන් දෙසීය දෙනෙක්‌ විසින් ආරක්‍ෂා වී සිටියේය. හඡ්ජි මුහන්දිරම් ආපසු එන ගමනේදී පොලු මුගුරු රැගත් විසි දෙනෙකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ දුටුවේය. හඡ්ජි මුහන්දිරම් ඔවුන් ගෙන් සිව් දෙනකු සිර භාරයට ගත්තේය. සෙසු පිරිස්‌ පළවා හැරියේය. හිරකාරයෝ බදුල්ලට එවීය. එහෙත් බූටාවේ රටේරාල විසින් හඡ්ජි මුහන්දිරම් අල්ලා ගෙන බැද තලා බින්තැන්නේ සිටි වඩුග ජාතිකයා වෙත යෑවීය.

මෙම සිද්ධිය එංගලන්තයේ යටත් විජිත කාර්යාලය වෙත ලියා දන්වන ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් මෙසේ සඳහන් කර තිබේ.

හඡ්ජී මුහන්දීරම් අල්ලා ගැනීම ගැන ආරංචි වූ බදුල්ලේ උප ඒජන්ත සිල්වෙස්‌ටර් විල්සන් ඔහු ගලවා ගැනීමට ලංකා 1 වැනි සේනාංකයේ ලෙප්ටිනන්ට්‌ නිව්මන් යටතේ සාජන්ට්‌වරු දෙදෙනෙක්‌ ද හේවායන් 20 දෙනෙක්‌ ද යෑවීය. බදුල්ලෙන් පිටත් වූ ඔවුන් රාත්‍රිය අලුපොත ගත කළහ. පින්නවැල්ලට පැමිණි මේ පිරිසට මුස්‌ලිම් මිනිසුන් දෙදෙනෙක්‌ පමණක්‌ හමුවී තිබේ. ඔවුන් ගෙන් ආරංචි වූයේ හඡ්ජි මුහන්දිරම් බින්තැන්නට යෑවූ බවයි. බූටාවට පැමිණි ඔවුන් දුණු හී වලින් සැරසුණු මිනිසුන් 200 ක්‌ පමණ සිටිනු සැතපුම් කාලක්‌ පමණ දුරදී දැක ගත්තාය.

මේ නිසා බදුල්ලේ උප ඒජන්ත සිල්වෙස්‌ටර් විල්සන් ලේ වැගිරවීම වැළැක්‌වීම පිණිස බූටාවේ රටේ රාළ සමග කථා කිරීම සඳහා තෝල්කයකු හා ලැස්‌කරිඤaඤන් දෙදෙනකු සමග ඉදිරියට ගියේය. ඔහුගේ නියෝගය වූයේ ලෙප්ටිනන්ට්‌ නිව්මන් සිය හේවායන් සමග මදක්‌ නතර වී සිටිය යුතු බවයි. අන්තරාවක්‌ වූවහොත් පමණක්‌ සිය ලේන්සුව වනන බවයි.

කැරැලිකරුවෝ ඊතල වලින් විඳ අසාර්ථක උත්සහයක්‌ ගෙන වනයට පළා ගියහ. සිල්වෙස්‌ටර් විල්සන් ඇතුළු පිරිස එදා රාත්‍රිය බූටාවේ ගත කළහ. පසුදා උදය කෙට්‌ටෝරුවත්තට ගියහ. එහෙත් දුණු හී රැගත් මිනිසුන් පන්සියයක්‌ හය සියයක්‌ පමණ පිරිසකට මුහුණ දුන්හ. සිල්වෙස්‌ටර් විල්සන් මහතා අරගලය වලක්‌වා ගැනීම පිණිස කථා කිරීමට ඉදිරියට පිය නැඟුවත් ඔවුහු ඔහුට කන් නොදුන්හ. සිල්වෙස්‌ටර් විල්සන් තමන් සතුව ආයුධ නැති බව පෙන්වීමට කබාය ගලවන තෙක්‌ ඉදිරියට යැමට කැරැළිකරුවෝ අකැමැති වූහ.

ඔහු මිතුරකු ලෙස පිළිගැනීමට නොසතුටු බවත් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව හිටපු රජු තරම් කාරුණික නැති බවත් තමන් මේ නිසා යටත් නොවන්නේ යෑයි පැවැසූ කැරැළිකරුවෝ වහා වෙන්වී යන ලෙස ඉල්ලා සිටියහ. මේ නිසා සිල්වෙස්‌ටර් විල්සන් මහතා හමුවට පැමිණ තල්දෙන හරහා බදුල්ලට ඒමට පටන් ගෙන ඇත. ඊතණ වත්තේ දේවාලෙට පැමිණි පසු ආපසු එකතු වන බව පවසා ඉදිරියට යන ලෙස ලෙප්ටිනන්ට්‌ නිව්මන්ට පවසා ඇත. භට පිරිස සැතපුම් කාලක්‌ පමණ ගොස්‌ නතරව සිටියහ. තෝල්ක මුදලි භට පිරිසට එකතු වී කියා සිටියේ වින්සන්ට්‌ සිල්වෙස්‌ටර් මහතා ගඟේ මුහුණ සෝදමින් සිටින බවයි. ලෙප්ටිනන්ට්‌ නිව්මන් එතැනට යන විට දුවමින් සිටි ලැස්‌කරිඤaඤන් දෙදෙනකු කියා සිටියේ සිල්වෙස්‌ටර් විල්සන් මහතා සහ ලැස්‌කරිඤaඤයකු මරා ඇති බවයි.

භට පිරිස සිල්වෙස්‌ටර් විල්සන් මහතා සෙව්හ. මරණ ලදැයි පැවැසූ ලැස්‌කරිඤaඤයා භට පිරිසට එක්‌ වූවත් සිල්වෙස්‌ටර් විල්සන් මහතාගේ මෘත දේහය හමු නොවීය සතුරා ඔවුන් ලුහුබදිමින් හී සැර නොකඩවා එවූහ. භට පිරිස කැරැළිකරුවන් ගෙන් බේරී බදුල්ලට පැමිණියහ. කැරැළිකරුවන් සිල්වෙස්‌ටර් විල්සන් මහතාගේ හිස කපා ඔවුන් දෙයියෝ යෑයි කියන වඩුග රාජප්‍රතිරාජයා වෙත යෑවූ බව පසුව වාර්තා විය.

ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් සිල්වෙස්‌ටර් විල්සන් මහතාගේ මරණය පිළිබඳව බ්‍රිතාන්‍යයේ යටත් විජිත විදේශ කාර්යාලය වෙත මෙසේ වාර්තා කර තිබේ. මොහු තම ජීවිතය කැප කළේ පොදු යහපත සඳහා වූ උදාර උද්යෝගය නිසයි. අති කාර්යක්‍ෂම ප්‍රසංසනීය රජයේ සේවකයකුගේ අනුස්‌මරණයට හිමිවිය යුතු ගෞරවය හිමි විය යුතු යෑයි සිතමි. හෙතෙම දෙවරක්‌ ආයුධ රහිත සාකච්ඡාවක්‌ කිරීමට උත්සාහ කර නෙමැතිවර උත්සාහ ගැනීමේදී ඊ වලින් විද මැරූ බවට වාර්තා වී තිබේ.

තම මව්බිමේ නිදහස උදෙසා සටනේ යෙදුණු ඌව වෙල්ලස්‌ස ජනයා වරෙක වැද්දන් පිරිසක්‌ ලෙස හැදින් වූ ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් බ්‍රිතාන්‍ය සමග කළ ලිපි ගනුදෙනු වලදී ආයුධ ගත් මිලෙච්ඡ දාමරික සමූහයක්‌ ලෙස ද හඳුන්වා දී තිබේ. බදුලු පෙදෙසේ සිදුවන කැරැළි කෝලාහල මැඩපැවැත්වීම සඳහා භට පිරිස්‌ වෙල්ලස්‌ස, බින්තැන්න, වලපනේ හා ඌව දිසාවන්ට එවන්නට කටයුතු කරණ ලදී. වෙල්ලස්‌සට පැමිණි මේජර් මැක්‌ඩොනල්ඩ් උස්‌සන්වෙල පිහිටි ගම්රැසකින් වට වූ මිටියාවතක කඳවුරු බැද ගත්හ.

උලක ගසන ලද මිනිස්‌ හිසක්‌ සහ ගසක එල්ලන ලද මළ සිරුරක්‌ දුටු ඔවුන් ඒවා සිල්වෙස්‌ටර් විල්සන් මහතාගේ තෝල්කයාගේ බවට හඳුනාගන්නා ලදී. හැම සුදු මිනිසෙකුම මරණ ලෙස තම වැසියන්ට නියම කෙරෙන රාජප්‍රතිරූපකයාගේ මහජන ප්‍රකාශය ඇතුලත් සුදු රෙදි කැබැල්ලකින් දවටන ලද පුස්‌ කොළයක්‌ද දැක ගත්හ. මෙම අවදානම් තත්ත්වය ගැන කල්පනා කළ මේජර් මැක්‌ඩොනල්ඩ් ගෙවල්, සියල්ලම පුළුස්‌සා අළු කළහ. ධාන්‍ය ගම මහීෂ ආදී දේපල පැහැර ගත්හ. නොළුසේනම් විනාශ කළහ.

මේ ගැන ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් මෙසේ බ්‍රිතාන්‍යයේ යටත් විදේශ කාර්යාලයට ලියා යවා තිබේ. මේ භයානක දර්ශනයෙන් කුරැළිකරුවන් මහත් කැලඹිල්ලකට පත්වී ඈත සිට ඝෝෂා කරමින් මිටියාවතේ අද්දරට වී නිහඩව බලා සිටියහ. ඔවුන්ගේ දේපළ වලින් මදක්‌වත් අස්‌කර ගෙන යැමට කාලයක්‌ ඔවුන්ට නොවීය. ඔවුහු බලාපොරොත්තු රහිත තත්ත්වයකට පත්වූහ. රාජප්‍රතිරූපකයාගේ රජ මාලිගය පුළුස්‌සා දමන ලදී.

මෙහි ඇතුළත් ඉතිහාස තොරතුරු මහාචාර්ය තෙන්නකොන් විමලානන්ද මහතා විසින් ග්‍රන්ථාරූඩ කළ උඩරට මහ කැරැල්ල දෙවැනි කාණ්‌ඩයෙන් උපුටා ගත් බව සඳහන් කරමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: