Posted by: lrrp | December 3, 2012

සරු සසුන් කෙතක තතු හෙළිකරන සකු සෙල්ලිපි

ලො ව කුමන රටක හෝ සංස්‌කෘතියක ඓතිහාසිකමය වශයෙන් වූ සැබෑ තතු අනාවරණය කර ගැනීමෙහිලා ප්‍රාමාණික වන ප්‍රධානතම මූලාශ්‍රයක්‌ ලෙස ශිලා ලේඛන (Inscriptions) නම් කළ හැකිය. ලිවීම සඳහාම සකස්‌ කළ ගලක සටහන් කළ ලියවිල්ල ශිලා ලේඛනයයි. එහෙත් ලිවීම සඳහාම සූදානම් නොකළ තැනක ලිවීම සහ ගලක්‌ නොවන තැනක (මැටි පුවරු, තඹපත, උළුවස්‌ස, ලීය, පිත්තල බඳුන්, රන්පත, ගඩොල්, කාසි) ලියා තබනුයේ අභිලේඛන (Epigraphs) යි. සෙල්ලිපි පමණටම නොවූවත් අභිලේඛනවලින් විදහාපාන දත්තයන් අනුව ද විශ්වසනීයත්වයෙන් යුක්‌තව බොහෝ අධ්‍යයනයන් කළ හැකිය. එබැවින් සාහිත්‍යයික මූලාශ්‍රයනට සාපේක්‍ෂව පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්ගෙන් අතීතය කියවීම ප්‍රාමාණිකත්වයෙන්, ප්‍රායෝගිකත්වයෙන් හා හා ඵලදායිත්වයෙන් ද අනුන බව ප්‍රකට වේ. ක්‍ෂණභංගුර නොවන හෙයින් ද කාල පරිණාමයට සමගාමීව මන්දගාමී වේගයක්‌ පෙන්වන හෙයින් ද අභිලේඛන සහ ශිලා ලේඛන මගින් ඉපැරැණි ලෝකය හෝ අතීත සමාජය පිළිබඳ ඉතා ප්‍රයෝජනවත් පසු කියෑවීම් කළ හැකිය. එබැවින් ලක්‌දිව ඉතිහාසය හැදැරීමේදී ද ශිලා ලේඛනවලට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. දැනට කර ඇති පර්යේෂණයන්ට අනුව ලංකාවේ සෙල්ලිපි ලියෑවීම ක්‍රි. පූ. 3 වැනි සියවසෙන් ආරම්භව ලක්‌දිව අවසාන රජුගේ පාලන කාලය තෙක්‌ වසර දෙදහස්‌ දෙසීයක පමණ කාලයක්‌ අඛණ්‌ඩව සිදු වී තිබීම ලාංකීයයන් වන අප සියල්ලන්ම ලැබූ භාග්‍යයකි. මෙම සෙල්ලිපි අතර මහායාන බුදුදහමේ බලපෑම මත සංස්‌කෘත භාෂාවෙන් ලියෑවුණු සෙල්ලිපි කීපයක්‌ද දැකිය හැකිවා පමණක්‌ නොව ඒවායෙන් ලාංකේය රජවරුන් බුදුසසුනේ චිරස්‌ථිතිය සඳහා ක්‍රියා කළ ආකාරය ද අනාවරණය වේ.

ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබෙන සෙල්ලිපි ප්‍රධාන වශයෙන් කොටස්‌ 5 කට බෙදිය හැකිය.

1. ලෙන් ලිපි

2. ගිරි ලිපි

3. ටැම් ලිපි

4. පුවරු ලිපි

5. වෙනත් ලිපි යනුවෙනි.

ලෙනක හෝ ගුහාවක කටාරම අසල හෝ ලෙන තුළ කොටා ඇති ලිපි ලෙන් ලිපි ලෙස සැලකේ. වෙස්‌සගිරිය, මිහින්තලේ, රිටිගල ආදී ස්‌ථානවලින් හමු වී ඇති මෙබඳු ලිපි බොහොමයක්‌ විස්‌තීර්ණ භාවයෙන් තොරය. පිහිටි ගලක හෝ සකස්‌ කළ ගලක කොටා ඇත්තේ ගිරි ලිපියි. තෝනිගල, දඹුල්ල, සිතුල්පව්ව ආදී ස්‌ථානවලින් අපට ගිරි ලිපි සොයා ගත හැකිය. විශේෂයෙන් සිටවූ ගල් කණුවක මහජනයාට පෙනෙන අයුරින් කොටා ඇති ලිපි ටැම් ලිපි වේ. ගල් පුවරුවක්‌ හෝ ලෑල්ලක්‌ සාදවා ලියූ ලිපි පුවරු ලිපි නමින් හැඳින්වෙන අතර පොළොන්නරුවේ ශිව දේවාලයේ සහ අනුරපුර ථූපාරාමයෙන් එවැනි පුවරු ලිපි හමු වේ. මෙසේ සෙල්ලිපි වර්ග කිරීම මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ විද්වතුන් විසින් කරනු ලබන අතර අක්‍ෂර පිළිබඳව, භාෂා පරිණාමය, ඓතිහාසික හා සාමාජික වාර්තා අනුව මෙම බෙදීම් කරන අයුරු දැකගත හැකිය.

ලක්‌දිව මහායාන ධර්මයේ පැතිරීමත් සමගම සංස්‌කෘත භාෂාවෙන් රචනා වූ නවතම ශිලා ලිපි වර්ගයක්‌ හමුවුණි. සංස්‌කෘතයෙන් ලියවුණු සෙල්ලිපි රාශියක්‌ දක්‌නට ලැබුණත් එම සෙල්ලිපි සංස්‌කෘත සෙල්ලිපිම නොවන බව පැවසිය යුතුය. ෙ-තවනාරාම, කුච්චවේලි ආදී ලිපි කිහිපයක්‌ හැරෙන්නට බොහෝ ලිපිවල ආරම්භක පද්‍යය හෝ අවසානය හෝ එම දෙකම හෝ සංස්‌කෘත ශ්ලෝකයකින් කර ඇත. දැනට සොයාගෙන ඇති ලිපි අතරින් සංස්‌කෘත ලිපි කිහිපයක්‌ මෙසේය.

* කුච්චවේලි ගිරි ලිපිය.

* තිරියාය (ගිරි) ලිපිය.

* ඡේතවනාරාම සෙල්ලිපිය.

* පොළොන්නරුවේ වේලෙයිකාරයන්ගේ පුවරු ලිපිය.

* හැටදාගේ පුවරු ලිපිය.

* පොළොන්නරුවේ උතුරු දොරටුවේ පුවරු ලිපිය.

* පොළොන්නරුවේ සාහසමල්ලයන්ගේ පුවරු ලිපිය.

* සංඝනන්දගේ කපාරාරාම පුවරු ලිපිය.

* ත්‍රිකුණාමලයෙන් හමු වූ සංස්‌කෘත පුවරු ලිපිය.

* නියම්ගම්පාය සෙල්ලිපිය.

* මිහින්තලේ රාජගිරිකන්දේ ලිපිය.

විවිධ අරමුණු ඇතිව පිහිටු වූ මෙම සෙල්ලිපි අතුරෙන් සමහරක්‌ ලිපිවලින් ප්‍රභූවරු බුදුසසුනේ චිරස්‌ථිතිය සඳහා ක්‍රියාකළ ආකාරය ප්‍රකට කෙරේ.

මහා මහින්ද හිමියන්ගේ කාලයේ සිටම රාජ්‍ය බලය සමග ආගමික අධිකාරය ඒකාබද්ධ වූ අතර රාජ්‍ය පාලකයෝ බුදු සමයේත් ශ්‍රී මහා බෝධියේත් ප්‍රධාන ආරක්‍ෂකයෝ බවට පත් වූහ. මෙයින් පසුව මහාවිහාරය ආශ්‍රිතව ථූපාරාමයත්, වෙස්‌සගිරිය හෙවත් ඉස්‌සරසමණාරාමයත්, ෙච්තියගිරි හෙවත් මිහින්තලා ආරාමයත් එහි ථූපයකුත් ඉදිකරවා සාසනයට පූජා කරන ලදී. ආදිම ලෙන් ආරාම ලෙස ෙච්තියගිරිය ආශ්‍රිත ලෙන් ආරාම සැලකිය හැකි අතර වැඩි කාලයක්‌ නොයාම දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි භික්‍ෂූන් වහන්සේලා උදෙසා ඉදිකළ ආරාම විවිධ ප්‍රභූන් විසින් පූජා කරන්නට යෙදුණි. ශතවර්ෂයක්‌ පමණ ගතවන විට ලංකාව පුරාම බුදුසමය ප්‍රචලිත වූ බවට සාCෂ්‍ය සංස්‌කෘත ශිලා ලේඛනයන්ගෙන් සොයා ගත හැකිය.

තිරියායේ ගිරි ලිපියට අනුව බුදුරජාණන් වහන්සේගේ ආදිම දායකයා වූ තපස්‌සු භල්ලුක දෙදෙනා කේෂ ධාතු රැගෙන ලංකාවට ගොඩබැස මෙහි ධාතු නිධන් කළ බවත් එතැන ගිරිඛණ්‌ඩ චෛත්‍යය ඉදිකළ බවත් පැවසේ. අභයගිරි ආශ්‍රමය කීර්තිමත් ධර්මධර ශාස්‌ත්‍රඥයන්ගේ තෝතැන්නක්‌ව තිබුණු බව අභයගිරි භූමියේ ඇති වෙනත් ලිපිවලින් ද සනාථ වේ. නිදසුනක්‌ වශයෙන් අභයගිරියේ ඇති සංස්‌කෘත ශිලා ලිපියේ චාතුර්මහා නිකායේ භික්‍ෂූන් වහන්සේලා 25 නම බැගින් සියක්‌ නමක්‌ වැඩවාසය කරවා එක්‌ව අධ්‍යයනය කිරීමට කටයුතු සලස්‌වා ඇති බවත් දැක්‌වේ. නිකාය හතරේ භික්‍ෂූන් වහන්සේලා එක්‌ව වාසය කරවීමෙන් අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් අභයගිරිය බෞද්ධ ග්‍රන්ථ අධ්‍යයනය කරන්නට ඇති බව අනුමාන කළ හැකිය. මෙම ශිලා ලිපිය සංස්‌කෘත භාෂාවෙන් ලියන්නට ඇත්තේ එය එකල්හි කලාපීය අන්තර්ජාතික භාෂාව වන්නට ඇති නිසා විය හැකිය. මහායානික දර්ශනය පිළිගත්තේ නමුත් මෙහි සඳහන් නීති රීති පිරික්‌සන කල්හි සුපේශල විනය ගරුක භික්‍ෂූන් පිරිසක්‌ එහි විසූ බව සිතිය හැකිය. ප්‍රත්‍ය පහසුකම් අඩුවක්‌ නොමැතිව සුඛෝපභෝගී ජීවිතයකට හුරු වන භික්‍ෂුව නිරායාසයෙන්ම වරදට පෙළඹිය හැකිය. එහෙයින් ෙ-තවනාරාම ලිපියේ මෙසේ නියමයක්‌ පැනවේ. භික්‍ෂූන් කෙරෙහි සානුකම්පිත දෘෂ්ටියකින් කරුණා පරවශව ක්‍රියාකළ බව විහාරයේ ආදායමෙන් වුව මව්පියන් රැකලා ගැනීමට අනුමැතිය දීමෙන් පෙනේ. පිළිසරණක්‌ නොමැතිව සිටින තම වයෝවෘද්ධ මව්පියන් රැකබලා ගැනීමට ඇතැම් ශික්‍ෂාකාමී භික්‍ෂූන් උපැවිදි වීම මෙමගින් පාලනය කිරීමට උත්සුක වූවා සේය. එබඳු භික්‍ෂූන් වහන්සේගේ වාසය සසුනේ චිරස්‌ථිතිය සඳහා හේතු වන බවට රජු දැනුවත් වී තිබුණි. අශාසනික දිවි පෙවෙතක්‌ ගතකරන්න වුන් (මිථ්‍යාජීවිනා), ස්‌ත්‍රී පෝෂකයින් (ස්‌ත්‍රීපෝෂකෙන) හා අවිමුගුරු දරන්නවුන් එහි නොවිසිය යුතු බව දැක්‌වේ. මේ අනුව ඡේතවනාරාම ලිපිය එය පිහිටු වූ නරේන්ද්‍රයාගේ ශාසන මාමකත්වයේ පරිමාව උසස්‌ අදියරක පැවැති බවට සාක්‍ෂියක්‌ නොවන්නේද?

පොළොන්නරු යුගය සංස්‌කෘත සෙල්ලිපි බොහොමයක්‌ ලියවුණු සමයකි. එකල පිහිටුවූ වේලෙයික්‌කාරයන්ගේ සෙල්ලිපිය සංස්‌කෘත ශ්ලෝකයකින් ආරම්භ වන දෙමළ සෙල්ලිපියකි. පළමු විජයබාහු රජුගේ රාජ්‍ය සමයේ ලියවුණු මෙහි රජු ගැන විස්‌තරයක්‌ හා ඔහු විසින් වේලෙයික්‌කාරයන්ට දළදා මන්දිරයේ ආරක්‍ෂාව භාර දීමේ ප්‍රවෘත්තිය සඳහන් වේ. වේලෙයික්‌කාර හමුදාව විජාතික කුලී හමුදාවකි. මහා විජයබාහු නරේන්ද්‍රයා සොලීන් පළවා හැර ලංකාව එක්‌සේසත් කොට වැනසී ගිය විහාරාරාම යළි පිළිසකර කරවීය. අලුතින් විහාර ඉදිකොට ඒවායේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වූ අයුරු වේලෙයික්‌කාර භටයන්ටම ඒ වගකීම පැවරීමෙන් පෙනේ.

පොළොන්නරුවේ රජ පැමිණි නිශ්ශංකමල්ල රජු ද විශාල සෙල්ලිපි ප්‍රමාණයක්‌ පිහිටුවූ අයෙක්‌ වන අතර සංස්‌කෘත සෙල්ලිපිද ඒවා අතර නැත්තේ නොවේ. හැටදාගේ පුවරු ලිපිය, රුවන්වැලි සෑ පුවරු ලිපිය හා ප්‍රීතිදාන මණ්‌ඩප ලිපිය ඉන් සමහරකි. හැටදාගේ ආලින්ද ලිපියට අනුව නිශ්ශංකමල්ලයන් විසින් කරවන ලද හැටදාගෙය, නිශ්ශංක දළදා ගෙය ලෙස ද සැලකේ. දළදාවට හා පාත්‍රා ධාතුන් වහන්සේට උරෙහිදා වීරබාහු මහපාණන් වහන්සේ හා දූ සර්වාංග සුන්දරීන් පුදා දෙදෙනා ගලවා ගැනීම පිණිස ගණරන් දාගැබක්‌ කරවා ශිලාමය වටදාගෙය, නිශ්ශංක ලතා මණ්‌ඩපය හා දළදා ගෙය කරවූ බව එම ලිපියේ දැක්‌වේ. රුවන්වැලි සෑ පුවරු ලිපියට අනුව පරාක්‍රමබාහු රජුගෙන් පසුව කිසියම් ආකාරයක සංඝ සංශෝධනයක්‌ ද කිරීමෙන් සසුනේ චිරස්‌ථිතිය තහවුරු කළෝ නිශ්ශංකමල්ලයෝය. මිරිසවැටිය හා රුවන්වැලි සෑය වැඳපුදා ගෙන එම විහාරස්‌ථාන දෙකට අනන්ත වස්‌තු හා වී යාල සියගණන් දුන් වග සෙල්ලිපියේ සඳහන් වේ. තවද හෙතෙම එහිදී වෛරී, කෛරාටික පුද්ගලයන් පැවිදි නොකරන ලෙස ද උපාධ්‍යාය තෙරුන්ගෙන් ඉල්ලා සිටී. ඔහු මෙයට අනුබල දීම් වශයෙන් දුසිල් මහනුන්ටද, සසුනේ කලකිරුණවුන්ට ද, සිවුරු හළවුන්ට ද ජීවත් වීම සඳහා රන් රිදී, ආහාර පාන හා රැකියා ද ලබාදී ඇති බව කියෑවේ. ඥතීන් විසින් භික්‍ෂූන්ගෙන් යම් යම් දේ ඉල්ලීම තුළින් මහණ දම් පිරීමට බාධා එල්ලවෙන බව දුටු රජු ඔවුන්ට (ඥතීන්ට) නොයෙක්‌ වස්‌තූන්ගෙන් ද සංග්‍රහ කොට ඇත. එමගින් රජු විසින් අපේක්‍ෂා කරන ලද්දේ හුදෙක්‌ ශාසන චිරස්‌ථිතියම බැව් පෙනේ.

මෙහි පෘතුගීසීන් ලකාවට පැමිණි අවධිය තෙක්‌ම සංස්‌කෘත සෙල්ලිපි ලියෑවුණ බවට සාධකයකි, සබරගමුවේ ලක්‍ෂ්මණ මහසමන් දේවාලයේ ඇති සංස්‌කෘත සෙල්ලිපිය. මෙම ලිපිය පිහිටුවා ඇත්තේ දේවාලයේ හා බුද්ධ ප්‍රතිමා ගෘහයේ නව කර්මාන්ත කරවා පුදපූජා පවත්වා මත්තෙහි එන්නා වූ රජවරුන්ගෙන් එය රැකගන්නා ලෙස ඉල්ලීමටය. රජු එහිදී දේවාලයට හා විහාරස්‌ථානයට ගම්වර පුදා ඒ තැන්වල පැවැත්ම තහවුරු කළේය.

එකල්හි අභයුත්තර විහාරයට අයත් පාංශූකුලික භික්‍ෂූන් වෙන් වී වෙනම ගණයක්‌ සාදාගත් බව මෙහි කියෑවේ. එවිට රජු විසින් කරනු ලැබූ ධම්මකම්මයෙන් පසුව ෙත්‍රෙනිකායික භික්‍ෂු පාරිශුද්ධියක්‌ වූ බව (ධම්මකම්මෙන සොධෙසි නිකායත්‍රයං) මෙහි වැඩිදුරටත් විස්‌තර වේ. එක්‌ එක්‌ පාලකයන් විසින් අභයගිරි පාර්ශ්වයේ විහාරස්‌ථාන මුල් කරගෙන වරින් වර සම්පාදනය කරනු ලැබූ කතිකාවත් හෙවත් ව්‍යවස්‌ථා මාලා අතර පළමු වැන්න අභයගිරි සංස්‌කෘත ලිපිය බව නොඅනුමානය.

මෙයට අමතරව විහාර කතිකාවත් අතර 5 වැනි කාශ්‍යප රජුගේ පුවරු ලිපිය වැදගත් වේ. විහාරස්‌ථානවල සේවකයන් භාරව සිටි භික්‍ෂූන් වහන්සේලාට පිණ්‌ඩපාත සිවුරු ආදිය සඳහා නියම වූ සහල්, රන් ආදිය හා සේවක පිරිස්‌ ගැන ද විස්‌තර එහි ඇතුළත් වේ. විහාරස්‌ථානයට ලැබෙන ආදායම නව කර්මාන්ත, බිතුසිතුවම් ආදිය කිරීමටත් පූජා පැවැත්වීමටත් යොදා තවද ඉතිරියක්‌ ඇතොත් පමණක්‌ ඉඩම් මිලදී ගැනීම සඳහා යෙදවිය යුතුය. විහාරයේ සියලු කටයුතු සම්බන්ධයෙන් අය – වැය ලේඛන සම්පාදනය කොට මහා සංඝයා මැද කියවා සම්මත කරගත යුතු බව මෙම ලිපියේ අවසානයේ දැක්‌වේ.

හතරවැනි මිහිඳුගේ මිහින්තලා විහාර කතිකාවත හා ඡේතවනාරාම සංස්‌කෘත ශිලා ලිපිය අනුව ආරාමවල අයවැය මාසික වාර්තා සමග වර්ෂාවසානයේ ලේකම් පොතට ඇතුළත් කොට වාර්ෂික අයවැය වාර්තාවක්‌ ද සංඝ සභාවට ඉදිරිපත් කිරීම සම්ප්‍රදාය විය. ආරාම පාලනය සඳහා පැවැති ව්‍යවස්‌ථා රාජ සම්මත ඒවා විය. මෙම ව්‍යවස්‌ථා කඩකරන විට වරදෙහි ප්‍රමාණය අනුව දඬුවම් ද නියම විය. අයවැය නීති කඩකරන අයට දඬුවම් දැඩි විය. ආරාමයට අයත් ඉඩම් උකස්‌ කොට දුන් සේවකයන් රටින් නෙරපීමට නීති විය. විහාරවල නීති කඩ කරන භික්‍ෂූන්ට විහාරවල විසීමට ඉඩක්‌ නොවීය. අනුරපුර යුගයේ අවසාන භාගයේ භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා ඔසුහල් ද පවත්වාගෙන ගිය බව සංස්‌කෘත සෙල්ලිපිවල වැඩිදුරටත් දැක්‌වේ. ආරාමාශ්‍රිත වෛද්‍යශාලා පිළිබඳව මැදිරිගිරිය හා කිරිබත් වෙහෙර ටැම්ලිපිවල ද මිහිඳුගේ වෙස්‌සගිරි පුවරු ලිපියේද සඳහන් වේ. නමුත් ඔසුහල් වලට අයිති ඉඩ කඩම් හා ඒවා ආරක්‍ෂා කිරීම සඳහා පැනවූ නීති මිස ඔසුහල් පාලනය පිළිබඳව විස්‌තර ඒවායේ අන්තර්ගත නොවේ. ආරාමවල තිබුණු වෙදහල් භික්‍ෂූන්ට පමණක්‌ සීමා වූ ඒවා බව පෙනේ. ආරාමයේ ආදායමෙන් වැටුප් ලබන වෛද්‍යවරුන් ගැන 4 වැනි මිහිඳුගේ මිහින්තලා විහාර කතිකාවතේ දිගින් දිගටම සඳහන් කරයි.

විහාරාරාමවලට ඉඩකඩම් පූජා කිරීම සම්මත වූ පසු එම පුදනු ලැබූ ඉඩකඩම්වල තොරතුරු වංශකතා මගින් හා සෙල්ලිපි මගින් පෙනේ. භික්‍ෂූන්ගේ තත්ත්වය වත්පෙහොසත්කමින් දියුණු වෙත්ම බලපුලුවන්කාරකමින්ද ශක්‌තිමත් වූ ආකාරය සෙල්ලිපිවල දැක්‌වේ. දෙවැනි පෑතිස්‌ස රජුන් දවස සිටම භික්‍ෂූන් හා රජවරු අතර ඉතා ළඟ සබඳතාවක්‌ තිබුණි. රාජ්‍ය කටයුතුවලදී හැමවිමට භික්‍ෂූන්ගේ අනුශාසකත්වය හා මාර්ගෝපදේශකත්වය ආණ්‌ඩුවට ලැබුණි. කල් යත්ම පිරිස්‌ බලයෙන් හා වත්පොහොසත්කමින් දියුණු වත්ම භික්‍ෂු සමාජය බලසම්පන්න සංස්‌ථාවක්‌ බවට පත් වූයේය. රජදරුවන් පත් කිරීම සිහසුනෙන් පහ කිරීම ඇතුළු රාජ්‍ය කටයුතු වලදී භික්‍ෂූන්ට විශේෂ ස්‌ථානයක්‌ හිමි වූයේය. එවැනි සෑම අවස්‌ථාවකදීම උන්වහන්සේගේ අනුශාසනාවන් මහජනයා අපේක්‍ෂා කළහ. කිසියම් රජෙකු භික්‍ෂූන්ගේ මතයට විරුද්ධව ක්‍රියා කළේ නම් මහජනයා රජුට විරුද්ධව කැරළි ගැසීමට පවා පසුබට නොවූ අවස්‌ථා කිහිපයක්‌ම පුරාණ ශිලා ලේඛනයන්ගෙන් පෙනේ. එකල විහාරයන්හි මුරකරුවන් පරීක්‍ෂකවරයන් කම්කරුවන් නිලධාරීන් ආදී වශයෙන් සෑම කටයුත්තක්‌ සඳහාම පත්කරනු ලැබූ නිලධාරීහු සිටියෝය. එම විහාරයන්හි පාලන සංවිධාන කෙතරම් ක්‍රමවත් ව පැවත්වීද යන්න මේ කරුණුවලින් පෙනේ. එදා ප්‍රධාන විහාරස්‌ථානයට ඇතුළත් වූ භික්‍ෂු සංඛ්‍යාව පූජ්‍ය වස්‌තු ඉඩකඩම් වෙනත් ආදායම් මාර්ග නිලධාරීන් දැසිදසුන් ගොවීන් සාමාන්‍ය පදිංචිකරුවන් යනාදිය ගැන සලකන විට රජවරුන් මෙන්ම ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ ද විහාරස්‌ථානය සහ විහාරාරාම පාලනය සම්බන්ධයෙන් නීති සකස්‌ කිරීමට ඉදිරිපත් වීම අවශ්‍යයෙන්ම සිදු විය යුත්තක්‌ සේ පෙනේ. මෙම සෙල්ලිපිය හා සම්බන්ධ විහාරස්‌ථානය අන් විහාරස්‌ථානවලට වඩා විශාල වූ බවත් එහි ක්‍රමවත් පාලන සංවිධානයක්‌ද පැවැති බව සඳහන් කළ හැකිය.

මෙයට අමතරව ත්‍රිකුණාමලයේ සංස්‌කෘත ලිපියේ මහායාන සම්බන්ධය ලක්‌දිව තිබූ බවට සාධක සපයයි. මාඝ නමැති ආක්‍රමණිකයාගේ කාලයේ චෝඩගංගයන් ලක්‌දිවට ගොඩබැස ත්‍රිකුණාමලයේ ඇති කෝවිලකට යම් ප්‍රදානයක්‌ කළ බව මෙම ලිපියෙන් විස්‌තර කෙරේ. ඒ අනුව එකල ශාසනික වශයෙන් ලක්‌දිව පරිහානි තත්ත්වයක්‌ තිබූ බව සැලකිය හැකිය. මෙම ලිපිය සිංහල අකුරෙන් ක්‍රි.ව. 5-13 කාලයේ රචනා කොට ඇති බව පිළිගැනේ.

කරුණු මෙසේ හෙයින් ශාසන චිරස්‌ථිතිය වෙනුවෙන් පෙර ලක්‌ රජදරුවන් නිස්‌සරණධ්‍යාසයෙන් ක්‍රියා නොකරන්නට බුද්ධ ජන්ම භූමියේ මෙන්ම ලංකාවේද බුදුසසුන අතුරුදන් වී බොහෝ කල් බව අමුතුවෙන් කිවමනා නොවේ.

බෙන්ගමුවේ ඉන්දරතන හිමි(පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: