Posted by: lrrp | January 20, 2013

කිවුලේකඩ වැනි ඛේදාන්තයන් තවත් සිදු විය යුතු නැත

සුවිශේෂී වාරි ශිෂ්ටාචාරය නිසාම, “වැව් බැඳි රාජ්‍යය” ලෙස, “ලක්‌දිව” ලොව සුපතළ විය. එම වැව් බැඳි රාජ්‍යයේ කේන්ද්‍රස්‌ථානය වූයේ “රජරටයි” රජ රට වැව් කැඩී බිඳී යැම බෙහෙවින් ඛේදාන්තයක්‌ වුවත්. ආශිර්වාදයක්‌ වූ එකම සිදුවීම වන්නේ 1923 දැඩි වර්ෂාපතනයෙන් රජරට කැඩී බිඳී ගිය සහ අවදානම් ග්‍රාමීය වැව් පිළිබඳව කෙරෙන විධිමත් අධ්‍යයනයේ ආරම්භයයි. එහි වාර්තාව එමර්සන් (Emerson), බිඩෙල් (Biddell) සහ කෙනඩි (Kennedy) විසින් 1926 දී මෙරට බ්‍රිතාන්‍ය පාලනය වෙත භාර දෙන ලදි.

මෙම සුදු ජාතික කෙනඩි මහතා වෙනත් කවුරුවත් නොව 1930 දශකයේ සිටි කීර්තිමත් වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා වූ J. S. Kennedy ය. ඔහු විදේශිකයකු වුවත්, ශ්‍රී ලාංකීය වාරි ඉංජිනේරුවන්ට වැදගත්ම පණිවුඩයක්‌ නිකුත් කළේ 1936 දීය. ඒ “සෑම ග්‍රාමීය වාරිමාර්ග ඉදිකිරීමක්‌ම මෙරටට ආවේණිකය. ඒ නිසා එවැන්නක්‌ හඳුනාගත් පසු ඉංජිනේරුවකු විසින් මුලින්ම කළ යුත්තේ එහි ආවේණිකභාවය ප්‍රත්‍යක්‍ෂ ඥනයෙන් යුතුව දැන හඳුනා ගැනීමය.” එය එසේ සිදු වනවා දැයි ලක්‌දිව වාරි උරුමය හා වාරි තාක්‍ෂණය පිළිබඳ අධ්‍යයනය කරන්නෝ හද කම්පිත කරවමින් අද බලා සිටිති.

lake1වැව් කැඩී බිඳී යැමේ නවතම කථිකාව එළැඹෙන්නේ රජරට, අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ, ගලෙන්බිඳුණුවැව, ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ “කිවුලේකඩ” නම් වැව 2011. පෙබ. 04 දින සහ 2012 දෙසැ. 27 වැනි දින ලෙස දෙවතාවක්‌ම මහා විනාශයක්‌ කරමින් බැම්ම කැඩී යැමත් සමගයි.

කිවුලේකඩ වැව යනු යාන්ඔයේ ශාඛාවක්‌ වන අඩප්පන් ඔය හරස්‌ කරමින්, මහසෙන් රජ දවස (ක්‍රි.ව. 273-301) මහසෙන් රජතුමාගේ නැඟණිය විසින් කරවූ වැවක්‌ යෑයි ජනප්‍රවාදයේ එන සැලකිය යුතු විශාලත්වයකින් හෙබි වැවකි. වසර 1955 දී නැවත පුනර්ජීවනය ලබන මෙම වැව අක්‌කර අඩි 7,800 ක ධාරිතාවකින් ද වාන් ජල මට්‌ටම අඩි 23 1/2 වන ලෙසද පවතී. සෘජුව අක්‌කර 800 සහ හුරුළු ව්‍යාපාරයේ කෙළවර අක්‌කර 200 කට අතිරේකව ද ජලය සපයන වත්මන් වැව් වර්ගීකරණ රාමුව (කුඩා, මධ්‍යම, මහා) තුළ මධ්‍යම වැව් කාණ්‌ඩයේ මෙරට විශාලතම වැව ලෙස හඳුනාගත හැකිය. බෙදුම් ඇළවල් 7 ක්‌ සහිතව ප්‍රධාන ඇළ මග 5 නප දිගය. කුඹුරු ඉඩම් සහිත ප්‍රතිලාභී ගොවිපවුල් 350 ද, අතිරේකව තවත් ගොවි පවුල් 300 පමණද, ධීවර පවුල් 25 පමණ ද මෙම වැව හා සබැඳිව ජීවිකාව නඩත්තු කරයි.

2010/2011 මාස්‌කන්න ඊසානදිග මෝසම් වර්ෂාව අධික වී ජනවාරි හා පෙබරවාරි මාස දෙක තුළ පමණක්‌ මි. මී. 500 ඉක්‌මවා වර්ෂාව ලැබීමත් සමඟ වැවේ, වාන (Spill) උතුරු දකුණුපස කොටස සේදී ගොස්‌ පීඩනය දරා ගනු නොහැකිව වාන සමග බැම්ම බිඳී ගියේ සුනාමි රළ පහරකටත් වැඩි ජල කඳක්‌ එකවර මුදා හරිමිනි. ඒ 2011 පෙබ. 04 වැනි දින අලුයම 2.30 ට පමණය. වාන අභියස මීටර් 10 ක්‌ පමණ ගැඹුරු, මීටර් 300 ක්‌ පමණ දිග අගාධයක්‌ නිර්මාණය විය. “වානේ” කොන්ක්‍රීට්‌ කැබැලි මීටර් 700 දුරට ඇදීගොස්‌ තිබූ අතර විශාල වෘක්‍ෂ තුත්තිරි ගස්‌ මෙන් ඉදිරි ගියේය. අක්‌කර 60 ක කුඹුරු, වැලි පස්‌වලින් පිරී ගියේය. අක්‌කර 800 කට බලපෑම ලැබිණි. එම වසරේ ලංකාවේ වැව් රාශියක්‌ බිඳී ගිය අතර “කිවුලේකඩ” ඒ අතර විශාලතම වැව විය.

කතුවරයා පෞද්ගලිකව ද දන්නා පරිදි, දේශීය තාක්‍ෂණය අගය කරන, කාර්යශූර වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයකු වන ආචාර්ය ගොඩලියද්ද මහතාගේ අවධානය ද මේ සඳහා වහා යොමු විය. නැවත ප්‍රතිසංස්‌කරණය සඳහා ආසනයේ සංවිධායක වන චන්ද්‍රසේන අමාත්‍යතුමාගේ උනන්දුව හා කැපවීමද නොඅඩුව ලැබිණි. ප්‍රතිසංස්‌කරණ ආරම්භ වූයේ 2011 අගෝස්‌තු මස සිට වන අතර බිඳී ගිය ස්‌ථානයේ බැම්ම මනාව නැවත ප්‍රතිෂ්ඨාපනය කොට, වාන (Spill) වැව් බැම්ම කෙළවරට ගෙන ගිය ආකාරය උචිතය. එහෙත් ඉදිරියේ එන ඊසාන දිග මෝසම් වර්ෂාවට මුහුණදීමට පසුගිය මාස කිහිපය පුරා සැලැසුමක්‌ නොතිබූ බව පැහැදිලිව පෙනේ. වැව් බැම්ම දෙවැනි වරට බිඳී යැමට මාස 3 කට පමණ පෙරත් “වාන” කොන්ක්‍රීට්‌ නොකොට තිබුණු අයුරු කාටත් නිරීක්‍ෂණය විය.

කෙසේ වෙතත් මහසෙන් රජ දවස “වාන” තිබුණ ස්‌ථානයෙන්ම 2012 දෙසැ. 27 වැනි දින නැවත බැම්ම බිඳී ගියේය. ඒත් සමඟින් ඓතිහාසිකව ඇතිරූ ගල් පතුරු ද, වානේ සැකැස්‌මද සැඩ ජල පහර රැගෙන ගොසිනි. පළමුවර සිදුවූ හානියම වසර 1 1/2 කට පසුව දෙවැනි වරටත් සිදු විය.

කෙසේ වෙතත් අද කිවුලේකඩ ඛේදාන්තයක්‌ වී හමාරය. මෙරට බොහෝ වැව්වල මෙන්ම කිවුලේකඩ ද වැඩි ජලය පිට කරන “වාන” (Spill) එදා රජ දවස වැව් බැම්මේ උතුරු කෙළවර පිහිටුවා තිබී ඇත. තවද ඊටත් වැඩි ජලය පිට කිරීම සඳහා “පිටවානක්‌” (outside Spill) දකුණු කෙළවර පිහිටුවා තිබූ බවත්, අවශ්‍ය විටෙක අසල, පහළින් පිහිටි “කොකාවැව” ට ජලය ලබාගැනීමේ ක්‍රමවේද තිබූ බවටත් ජන වහරේ පවතී. කෙසේ වෙතත් 1955 දී මෙන්ම පසුකාලීනව කළ පුනරුත්ථාපන වැඩසටහන්වලදී පෙර රජ දවස “වාන” තිබූ තැනින් වෙනස්‌කොට වැඩි ජල පීඩනයකට ලක්‌විය හැකි බැම්මේ මැද ප්‍රදේශයේ කුඩා කඳුගැටයක්‌ අසලට විතැන් කිරීම ප්‍රඥගෝචර නොවන බව පැරැණි ගැමියන්ගේ ද මතය වී තිබේ. වාන සඳහා වඩාත් සුදුසුම ස්‌ථානය ලෙස එදා රජ දවස තිබූ තැන පසුගිය වසර වනතෙක්‌ම වල් බිහිවී එහෙත් නෂ්ඨාවශේෂ සහිතව තිබූ ආකාරය මා විසින් ද නිරීක්‍ෂණය කළෙමි.

lake2එමෙන්ම ප්‍රධාන සොරොව්ව ආවරණය කරමින් ඓතිහාසිකව පෙර වැටියක්‌ (front Ridge) නිර්මාණය කොට තිබූ ලක්‌දිව එකම වැව මෙය බව බොහෝ විද්වතුන්ගේ මතයයි. වැවක්‌ වාන් දමනවිට ප්‍රධාන සොරොව් විවෘත නොකරන්නේ ඇදී එන ජල කඳ මගින් වැව් බැම්මට බලපෑමක්‌ විය හැකි බැවිනි. එහෙත් කිවුලේකඩ වැවේ සොරොව්වට “පෙර වැටියක්‌” නිර්මාණය කර තිබී ඇත්තේ අවශ්‍ය විටෙක සොරොව්වද විවෘතකර වැඩි ජලය පිට කිරීමට හැකි වන ලෙසය. ගමේ පැරැන්aaනන්ගේ මතය වන්නේ පළමුව වැව බිඳී යැමට පෙර, මෙම ඓතිහාසික උපක්‍රමය භාවිත නොකළ බවයි. වඩාත් ඛේදනීය කරුණ නම් සංරක්‍ෂණය කළ යුතුව තිබූ මෙම එකම “පෙර වැටිය” වැවේ 2011/2012 ප්‍රතිසංස්‌කරණවලදී ඩෝසර් කර දමා තිබීමයි. අද පෙර වැටිය දක්‌නට හැකි වනුයේ වසර කිහිපයකට පෙර ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලින් පමණි.

හදිසි ජල වැඩිවීමකදී එම ජලය පිට කිරීමට “වානට” අමතර “පිට වානක්‌” නොතිබීමද කිවුලේකඩ වැවට ඉහළින් තිබෙන හුරුළු රක්‍ෂිතය තුළ පවතින පැරැණි කුඩා වැව් බැමි සියල්ලම බිඳී පැවතීම නිසා කෙටි කාල සීමාවක්‌ තුළ වැවට ජලය ඒකරාශී වීමද, වැවේ බැම්ම ආරක්‍ෂා කිරීමට ඇති අභියෝගයන් වන බව පෙනේ.

කෙසේ වෙතත් අද සියල්ල හමාර වී ඇත. එහෙත් ඊළඟ ප්‍රතිසංස්‌කරණවලදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක්‌ ඇතැයි හැඟේ.

1. සොබා දහම විසින්ම නැවත ඓතිහාසික “වාන” පෙන්වා දී ඇත. එමෙන්ම එතැන තවදුරටත් පස හෑරිය යුතු නොවන බැවින්, වර්තමානයේ වැව් බැම්ම බිඳී තිබෙන ස්‌ථානයෙන්ම හසුරවන ගේට්‌ටු (Regulater) සහිත වානක්‌ ස්‌ථාපනය කිරීම.

2. ජල වහන මාර්ගයකට ආසන්නව සුදුසු ස්‌ථානයකින් පිටවානක්‌ද නිර්මාණය කිරීම.

3. 1(50,000 මෙටි්‍රක්‌ සිතියම් අංක 32 ට අනුව කිවුලේකඩ පෝෂක ප්‍රදේශයේ ඉහළින් ඇති හුරුළු රක්‍ෂිsතයේ අබලන් කුඩා වැව් 13 ක ජලය කි. මී. 3 තුළ අඩි 300 ක පමණ බැස්‌මකින් වේගයෙන් ගලා එන බැවින්, ප්‍රධාන වැවට ආසන්න වැව් කිහිපයකවත් බැමි පිළිසකර කිරීම අවශ්‍යය. (එවිට රක්‍ෂිතයට හා එහි සම්පත්වලට හානි නොවිය යුතුය.)

4. විනාශ වූ සොරොව් “පෙර වැටිය” නැවත පුනර්ජීවනය කිරීම.

5. හදිසි අවස්‌ථාවකදී සොරොව්වෙන් වැඩි ජලය පිට කිරීමට තිබූ බාහිර ඇළ මාර්ගය විවර කොට තැබීම. (මෑතකදී පස්‌වලින් වසා දමා තිබිණි.)

6. වාරි සම්පත් මෙහෙයවීමේදී පාරම්පරික ආනුභාවික දැනුමට ද සවන් දීම.

මේ අතර උතුරුමැද මහා අමාත්‍ය එස්‌. එම්. රංජිත් මහතා ද මේ ජනතාව කෙරෙහි සංවේදීව සිටී. එමෙන්ම ජනාධිපතිතුමාගේ වහා අවධානය වහා මේ කෙරෙහි යොමු විය යුතුය. කිවුලේකඩ ජනතාව දැන් අසරණය. වරක්‌ නොව දෙවරක්‌ ම අසරණය. ඔවුනට අනුව පළමු වතාවෙත් හරිහැටි සාධාරණයක්‌ ඉටු වී නැත.

කලක්‌ යුද්ධයට ද මායිම්ව සිටි මේ ජනතාවට දැනටමත් සිදුව ඇති හානිය අපමණය. ලක්‌දිව වාරි තාක්‍ෂණයේ ඇතැම් සුවිශේෂී අංග රැකගත් මේ ජනතාවට සාධාරණය ඉටු විය යුතුය.

තවද පොදුවේ ගත්කල මෙවන් ඛේදාන්තයන් තවත් සිදු විය යුතු නැත. ලක්‌දිව මුතුන්මිත්තන් මෙරටට දායාද කළ වාරි තාක්‍ෂණය හුදෙක්‌ නූතනවාදී දැනුමට ලඝූ නොකළ යුතුය. 1936 දී කීර්තිමත් වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයාව සිටි කෙනඩි මහතාගේ “උපදෙස” (මුලින් සඳහන් කළ) නොඇසූ, නොදැකපු, මෙරට වාරි ක්‍ෂේත්‍රයට අදාළ සියලු ඉංජිනේරු මහතුන් සහ තාක්‍ෂණික නිලධාරී මහතුන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. එසේ නොවුවහොත් එය අපේ ම අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු යුතුකමක්‌ පැහැර හැරියා වන බව අවධාරණය කරනු කැමැත්තෙමි.

කථිකාචාර්ය
මුදිත ප්‍රසන්නජිත් පෙරේරා
භූගෝල විද්‍යා අධ්‍යයන අංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: