Posted by: lrrp | January 30, 2013

‘පුංචි පත්තිනි හාමුදුරුවො’ අමුඩෙ ගහගෙන බයිසිකලයෙන් නගරෙටත් ආවා

සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

නිර්ව්‍යාජ ගැමි කවියකුගේ හෘද ස්පන්දනය කැටපත් කළ මේ ජනගායනාව ඔබට මතකද? මෙවන් සුවහසක් ජන ගී රාව නැගූ ඒ රසවත් ගැමියා සොයා මම ඉකුත්දා හොරණ පුරවරයෙන් එපිට උඩුව ගමට ගියෙමි. ඇත්තටම ඔහුගේ ඇතැම් ගීයක එන පාළුසොහොන් පිටි, කඳුවැටි, ඕවිටි, රබර් වතු පසුකැර උඩුවට ගිය මේ ගමන කොන්ක්‍රීට් වනාන්තරයෙන් එපිට ගහකොළින් පිරි, ඇළ දොළ කුඹුරු ආදියෙන් පෝෂිත සුන්දර ගමක ආස්වාදය අපට ළං කරවන්නක් ම වීය.

වවුලගල කඳු යාය පිස හමන සුළඟ සුවදායකය. ගමට ඇතුළු වූ වහාම බටහිර පැත්තට වන්නට රූස්ස වන ගහනයෙන් පිරි මඩකඩ කන්ද ගම රකිනා මහා අදෘෂ්‍ය දේවතාවකු මෙන් මට පෙනෙයි. නැඟෙනහිර දෙසින් දිස්වන සුන්දර නාගල කන්දත් පන්සල් කන්දත් ඒ දේවතාවාගේ පරිවාර යෝධයන් වැන්න. රයිගම් කෝරලයේ කුඹුකේ පත්තුව නමින් නම්වරලත් මේ උඩුව උඩවැව යන්නෙන් බිඳී ආවකි. ගම මැදට වන්නට පිහිටි උඩවැව අද නිල්වන් කෙත්යායකි. කලකට පෙරාතුව බිඳී ගිය උඩවැව වෑකන්ද දෙස මම බලා සිටියෙමි.

මේ ජනශ්‍රැති පර්යේෂකයා, සෞන්දර්යවේදියා මහා ගැමියා ගුරුවරයා රයිගම් පුරවරයේ සේසතයි. ඒ රෝහණ බැද්දගේය. සැබැවින්ම ඔහුගේ පෞරුෂ්‍යය නිර්මාණය කළේ පන්සල හා කුඹුරයි. ලෝකයේ මහා ශ්‍රේෂ්ඨයන් බිහිකරනුයේ හිරුගේ රැස් හා මවගෙ කිරිවලින් බව අසා ඇති මට පරිපූර්ණ ගැමියකු බිහිකිරීමට පන්සල හා කුඹුර බලපෑ හැටි හොඳින් ම මෙහිදී ප්‍රත්‍යක්‍ෂ වෙයි. දැන් ඔහුට වයස අවුරුදු 76 කි.

මම මීට අවුරුදු 70 ක පමණ පෙර අතීතයට එබී මෙගමේ මිනුවන්වෙල කුඹුරු තීරයේ ගොයම් කයියකට සහභාගී වෙමි.

ඉනි වේල්ල දිගේ සරොම් කොටයක් ඇඳගත් උඩුකය හෙළුවෙන් තබාගෙන ගමන් කරන පුංචි කොලු ගැටයෙකි. ඔහු අත සුරුවම් පිහි පොඩියකි. ගොයම් කවියේ පදයට ඔහුගේ දෙතොළඟද මිමිණෙයි. අනතුරුව සරොම් පොඩිය කැහැපට ගසාගත් කොලු ගැටයා ගොයම් කැපූ කුඹුරේ ඉපනැලි අතරට පා පොඩි ඔබයි.

ඔහුගේ ඇස් දීප්තිමත්ය. හාත්පස සිසාරා ගිය ඒ ඇස සරුවට පිපුණු ඉපනැල්ලක් තෝරා ගනී. ගතවූයේ නිමේෂයකි. එයින් පොඩි එකා නළාවක් සාදාගෙන පිඹී.

එක සීරුවට ගොයම් කයියෙන් නැගෙන තාල අනු රූ තබා ඉපනැල්ලෙන් සැදු නළා පොඩියෙන් රිද්මයක් නඟන මේ පැටියා දැක ගොවි මහතෙක් “කාගෙද බං මේ පොඩ්ඩා” යි ළඟ සිටියකුගෙන් අසයි.

මේ අපේ නෝමිස් මාමාගේ පුතා රෝහණ නේ… ඔහු කියයි.

රෝහණ කොලුවා නිර්මාණශීලීය. තනියම සිතන්නට හැකි පොඩ්ඩෙකි. ඊළඟට ඔහු තරමක් උස්ව වැඩෙන විට බට පඳුරකට ළංවී එහි පුරුකක් පිහියකින් අතුල්ලා බිඳ ගනියි. බට පුරුක පිහියෙන්ම පෙරන් ගා කුරුට්ට ඉවත් කරයි. යකඩ කූරක් ලිපට ඔබා රත්කරගෙන බට නළාවකට සුදුසු අන්දමට හිල් විදගනී. විදින විදින හිලක් පාසා ඔහු නළාව පිඹියි. සමවයසේ කොල්ලෝ රෝහණ ළඟ තප්පලම් ගසා ඔහු කරන දෑ බලා සිටිති.

පන්සලේ සිහින් පිරිත් හඬද, දොළේ ජලදහර ගලන මියුරු හඬද සිහින් මදනල වෙල්යාය සිසාරා නඟන කෙඳිරිය ද අසා සිටින කොලු පොඩ්ඩා ඒවා වස්දඬු රාවයට නඟන්නට උත්සාහ ගනී. ඒත් සොබාදහමේ නාදය ඔහුට අල්ලා ගත නොහැක. එය හරිහැටි කරන්නට මහා සංගීතඥයකුට මිස වෙනත් කවරකුටවත් බැරි බව තේරුම් ගනී. එහෙත් ඒ ඇළ දොළේ කමතේ, වෙල් එළියේ කතාබහ ඒ හඬ පෞරුෂය තියුණු කරයි. මම කවදා හෝ ජන ගී නාදය හා මුසු සොබාව ධර්මය ගයමි. එසේ ම සංගීතයට මුසු කරම් යැයි හේ තරයේ ම සිතයි.

මා එසේ කීවේ මීට අවුරුදු 60 – 70 කට පෙර ගමේ රෝහණ කොලු පොඩ්ඩා සිතූ හැටිය. දැන් ඔහු වියපත් මිනිසෙකි. මම රෝහණයන් විමසමි.

අපි බැද්දගේ පරම්පරාවේ ඈයො. අද මේ ගමේ බොහෝ වැඩිහිටි වියතුන් නැති තරම්. අපේ පරම්පරාවේ සියල්ලෝ ම විවිධ දස්කම් දක්වන ලද අය වුණත් ඔක්කො ම ගොවියො. උඩුව ශි‍්‍ර නාරායන ගලපිටඋඩ පත්තිනි දේවාලෙ කපු පරම්පරාවට මාත් අයිතියි. පීතර කපු මහත්මයාගෙන් අපේ කපු පරම්පරාව ආරම්භ වන්නේ.

ඔබ කපු පරම්පරාවෙ ඇත්තෙක් වුණාට ජන සංගීතය පැත්තටයි වැඩි කැමැත්ත. මම අසමි.

”ගුරුවරයෙක් ලෙස රක්‍ෂාව කරන්ට ගත්තාම මා ඒවායින් ඉවත් වුණා. නැත්නම් පිරිතක්, පින්කම් පොළක්, තොයිලයක්, නැටුමක්, අඩහැරයක් මා අත්හැරියේ නෑ. ඒ තමයි මගේ හුස්ම පොද.”

”ජන සංගීතයට මගේ මූලික අධ්‍යාපනය සකස් කළේ මා උපන් මේ උඩුව ගම්මානයයි. හැම අවුරුද්දෙම ගමේ දේවාල භූමියේ තිබෙන ‘ගම් මඩුව‘ කුඩා කාලේ පටන්ම මගේ ජීවිතය හා බැඳුණු කලා සංදර්ශනයක්. එහිදි බෙර වාදන ශිල්පය හා ගායනාක්‍රම ගැන මා තුළ කුහුලක් හා ප්‍රතිභාවක් ඇති වුණා.”

පහතරට අත් රබන් වාදන ශිල්පය මහා රබන් වාදනයත් මා ඉගෙන ගත්තේ අපේ ගේ ඉදිරිපස හවසට රැස්වූ වැඩිහිටි කණ්ඩායමට එක්වීමෙන්. ගමේ කෝලම් කුට්ටමක් තිබුණා. ඒ කණ්ඩායමටත් කවි නාඩගමටත් මං පුංචි කාලේ ඉඳන් ම රංගනයෙන් ද එක්වුණා.”

”අපේ අත්තා පීතර කපු මහත්තයා මහා විශ්වකර්ම වැඩ කරලා තියෙනවා. ලෙඩෙක් ආවාම එයා අත ගාලා තෙල් සාත්තුවක් කළත් ඇති. දැඩි මුණ්ඩ දෙවියන් වෙනුවෙන් කරන වාහල නැටුමට පාන්දර ජාමේ ආතා නටන හැටි මං බලා හිටියා. දවසක් ගිනි පාගන වෙලාවක අභියෝගයකට අත දරුවෙක් වඩාගෙන ගිනි පාගලත් තියෙනවා. මේවා හා බස්තියන් මාමාගේ අවුරුදු කතුරු ඔන්චිල්ලා මගේ රස මනස වැඩුවා කියන්ට පුළුවන්.”

උඩුව යන නම සැදුණේ උඩවැව යන අරුතින් බව මම පෙරදී ලියුවෙමි. ගම්මන්පිල වැව, රෙමුණ වැව, උයන්වත්ත වැව වැනි මේ රයිගම් කෝරලය හැඩකරන තවත් වැව් කීපයකි. මේ වැව් පිටිවල සුන්දරත්වය ද ඔහුගේ රස කුහුල තියුණු කරයි.

රයිගම් බණ්ඩාරයන්ගේ කුමාරියක් දරුණු කුෂ්ඨ රෝගයක් හේතුවෙන් සඟවාගෙන බෙහෙත් කළේ මේ ගමේ ඉහත්තාවේ ඇති වනහාමිගෙ කන්ද උඩදීය. ඒ ස්ථානය වනහාමිගෙ ගල යනුවෙන් ද ගැමියෝ වහරති. මෙයින් ගව් කීපයක් දුරින් ‘කුමරුන් පැන්න ගල’ නම් තවත් ස්ථානයක් ද තිබේ.

අපේ ජන කතා ජන ගැමි වහර එක් එක් කෝරලයේ එක් එක් ආකාරයට විග්‍රහ වී තිබුණත් මේ කතාවල ප්‍රධාන අර්ථය කුළු ගන්වන්නේ එකක්මය. යුදය පැරැදී එන බැව් සිතා සුදු කොඩිය ළෙලවමින් පැමිණි පිරිස් දැක කුමරුන් ගලෙන් පැන්නා යැයි කියැවෙන ජන කතාව මේ ගමේ ද ප්‍රකටය.

”ඉස්සර අපේ ගමේ අත් රබන්කාරයො හා මහ රබන්කාරයො හිටියා. අද මේ පරපුරුවල ඒ නිර්මාණ දන්නා අය නෑ. පහතරට නැටුමට දක්‍ෂ අය හිටියා. රබන් කරකවා උඩ දමා වේවැලට අල්ලන රබන්කාරයො හිටියෙ මෙහෙ.” බැද්දගේ මගේ කුහුල වඩවා කියයි.

එදා මනාලියො පිටගමකින් මෙගමට කැන්දාගෙන ආවෙ රබන් කණ්ඩායම් පෙරටුව ගිහින්. අත් රබානෙ වෙනම ශිල්ප තියෙනවා. මහරබාන අවුරුද්දටත් මංගල්ල අවස්ථාවටත් තමයි එළියට ගන්නේ. අත්මාරු පද ගහමින් මේ අය කියන පද හරිම මිහිරියි. මගෙ බිරින්ඳෑවත් කැස්බෑවෙන් එක්ක ආවෙ රබන් කණ්ඩායම් පෙරටුකරගෙන…

අත්මාරු පදයක් කියමුද?… ඔහු අසයි. මම ද හිස වනමි. තුනුරුවනින් වරම්ගෙන ඔවුන් බොහෝ විට අත් මාරු පදවලට ගයන්නේ ජාතක කතා හෝ වෙනත් බණ කතා ආශි‍්‍රත කවි පදය. රෝහණයන් ගැයූ මේ පදවැලේ තිබුණේ ගුත්තිල – මූසිල කතාවයි. මා ඉන් කීපයක් පමණක් එලෙසම ඔබට ලියමි.

උඩුව ගමේ මිනිස්සු වැඩට රුසියෝ වෙති. වඩු බාස් ද කම්මල්කරුවාද, පෙදරේරුවාද වෙනස් ඕනෑම වෘත්තියක යෙදෙන්නන්ද අවසානයේ ගොවියෝ ම වෙති. කුඹුර, බැත, කෙත, නියර ඔවුන්ට හොඳින් හුරුය. පුරුදු ය. මේ ගමේ එදා ජීවන රටා හඳුනා ගැනීමට මා රෝහණයන්ගේ හඬ නැවත අවදි කරමි.

”අපේ අම්මත් අවුරුදු 99 ක් ජීවත් වුණා. අම්මා එලිසාහාමි. අවුරුදු 90 වෙලත් උදැල්ලෙන් පොළව කෙටු ගැහැනියක්. බටුමිරිස් හා තවත් නොයෙක් ගොවිකම් කළා. ඒ කාලෙ සල්ලි ප්‍රධාන නෑ. ගම පුරාම තිබුණෙ බඩු හුවමාරු ක්‍රමය.

අවුරුද්ද ළඟ එනකොට ගමට පිටින් එන ප්‍රධාන අමුත්තා තමයි වළං කත්කාරයා. කත් ලීය කරේ තියන් සිනහ මුසුව එන ඒ මනුස්සයා නැවුම් වළං ගමේ ගෙවල්වලට දීගෙන යනවා. ඊළඟට එයා එන්නෙ කිරි වැදුණ ගොයම කැපෙන කාලෙට මලු දෙකක් අරගෙන. මිනිස්සු වළං හිලව්වටත් එක්ක වී ටිකක් දෙනවා.

ඊළඟට රෙදි නැන්දා එනවා. එයත් ගන්නේ වී විතරයි. දෙන්නෙත් ඒවා. ඊළඟට මනිබඩු වෙළෙන්ඳා. ගමේ ගැහැනු නොයෙක් වළලු, ආයිත්තම් ආදිය ගන්න පන්සලේ වස් පින්කම් කාලෙට බලාන ඉන්නවා. වස් පින්කම් කාලෙට අමතරව මනිබඩු වෙළෙන්ඳා ගමට එන්නෙ අවුරුද්දට විතරයි. “රෙදීයප්” කියාගෙන කෑ ගහන චීනෙක් එනවා රෙදි වෙළෙඳාමට. එයාටත් ලැබෙන්නේ සල්ලිවලට වඩා වී. දුම්කොළ මිටියක් බයිසිකලයේ බැඳගෙන එන වෙළෙන්දන් එනවා.

මට මතකයි මං කුඹුරේ වැඩ කරමින් ඉන්නකොට දුම්කොළ නැතිවුණාම බයිසිකලෙන් හොරණ ටවුමට යනවා. හැතැප්ම පහක් මං මේ විදියට යන්නේ අමුඩය පිටින්මයි. ටවුමෙ දුම්කොළ කඩයට මේ විදියට ආවත් එදා ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට විරිදුකාරයා ගමට එනවා. ඊළඟට රොඩී මිනිහා. මේ විදියට අපේ ගමට අලුත් අවුරුද්දට එන චරිත තියෙනවා. මේ අය අතර මට වැඩියෙන්ම හිතට ඇල්ලුවෙ බටගොඩපිස්සා බටගොඩ කියන ගමේ මහණ වෙලා කලින් හිටපු කෙනෙක්. රාහුල හාමුදුරුවන්ගෙ සැලළිහිණියේ කවි මිනිහට කට පාඩම්. එයා කපු පරම්පරාවෙ කෙනෙක් නිසා මට කතා කළේ පුංචි පත්තිනි හාමුදුරුවො කියලයි. මිනිහගෙ කවිවල සමුද්‍ර ඝෝෂ විරිත හරියට ම තිබුණා. එහෙම ගැමියෙක් මට හමු වී නෑ.

මේ ගම හොඳයි මට ගුණ මකු නොවෙමි කිසි විට

කොලුවො, උඹ ඇලපිලි පාපිලි කිසිවක්ම නැති කවියක් දන්නවාද? තමා අසලම දැවටෙන ඒ රසාලිප්ත වදනින් වශීව සිටි පුංචි රෝහණ කොලුවාගෙන් බටගොඩපිස්සා අසයි.
කරදර කලට ගල යට ඉඳගන කවට

නරවර බසට පණ යනවට කවට මට

හරකට තණ කවන කටවට බලන විට

පර පණ යන කලට බණ පද අසන වට

බැලූ බැල්මට මෙහි කිසිදු තේරුමක් නැති බවක් පෙනුණත් මෙහි ඇලපිලි පාපිලි නම් කිසිත් නැත. එහෙත් ගමේ කාගේත් අවධානය දිනාගත් බටගොඩපිස්සාගේ සැලළිහිණියේ, ලෝකෝපකාරයේ, කවි ගායනාව අපූරුය.

රබන් උඩ දමා ඇල්ලීම හා පහතරට නැටුම් ශිල්පය මේ ගමට ආවේ කෙසෙල්හේනාව පැත්තට පදිංචියට පැමිණි විජේමාන්න පරම්පරාවෙනි. එම පවුල එගමේ පදිංචියට පැමිණ ඇත්තේ දෙයියන්දර ප්‍රදේශයෙන් බව බැද්දගේ කියයි.

ඒ කාලයේ මේ ගමේ තොවිල් බෙරයක් නෑසුණු සතියක් ගෙවී ගියේ නැත. දින තුන හතරකට වරක්වත් ඇඩ්වින් කට්ටඬියා (ගුරුන්නාන්සේට) ගමේ තොවිල් නැටැවීමක් තිබිණ. සන්නි යකුන් කැඳවා පිස්සන් හා මායම් වූවන් මෝහනය කැර රාත්‍රිය මුළුල්ලේ නැටවීමට ඔහු තරම් දක්ෂයෙක් මේ ගම් තුලාන හතක් පීරුවත් සොයා ගත නොහැකි තරම් විය. පෙරේත ගොටු දීමටත්, මහසෝන් සමයමට විලක්කු බැඳීමටත් ඊගහ පසුපස යකුන් පැන්නීමටත් මේ ගුරුන්නාන්සේ දක්ෂයෙකි.

පරිසරයේ ඇති ගූඪභාවය හා කුප්පි ලාම්පු දුබල එළියෙන් පමණක් ගෙවන රාත්‍රිය රෝහණයන් තුළ දැනවූයේ බියකි. භයානක රසයකි. ඒ රසය පරදවා හිටිඅඩියේ ගමේ පැල් රකින්නකුගේ හේනකින් රසවත් සීපදයක් ඇසෙයි.
කලාමැදිරියා යන කලට කරුවලේ

නිලා එළිය වැටුණයි උගෙ පියාසරේ

ළමා කටහඬක් ඇසුණයි ඒ අතරේ

තමා මන්ද ඔය හැටි කල්පනා කළේ

රාත්‍රිය පුරා පන්වලින් විසිතුරු රටා පැදුරු වියන්නෝ ද, වට්ටි පෙට්ටි වියන්නෝ ද, වෙනත් විසිතුරු කර්මාන්තවලට එක්වූවෝ ද රාත්‍රිය පුරා හුවමාරු සීපද කියති. ඒවා ද පුංචි කොලුවාගේ රස කුහුල පාදන අවස්ථාවක්ම වීය.

ගමේ පන්සලේ මල් මුරේ පින්කම් කාලෙට විශේෂයෙන් වස් තුන්මාසේ ගමේ කොලු රෑන වැඩිමනත් සිටින්නේ පන්සලේමය. ඒ කාලය නොයෙක් සල්පිල් පන්සල ඉදිරිපිට ඉදිවෙයි. මෙහිදී ගමේ ළමා ළපැටින්ට මෙන්ම වැඩිහිටියන්ට ද ඉතාම පුණ්‍යවන්ත කාර්යයක් කිරීමට සිදුවන අතර ප්‍රීතිමත්ම කාලයක් ලෙස ද පිළිගැනෙයි.

බස්තියන් මහප්පා කතුරු ඔන්චිල්ලාව බඳින්න පටන් ගන්නේ අලුත් අවුරුද්දට. තනිකර හොර ලීයෙන් තමයි ඔන්චිල්ලාව සකසන්නේ. මඩේ දාලා කාලයක් තිබිලා පදම් වන මේ ලී හරිම ශක්තිමත්. මේ ලී වරපට ලෙස ගන්නේ කැලේ ගස්වල පට්ටා. ඒවා ලණුවලට වඩා සවිමත්…. රෝහණයෝ කියති.

එක් එක් ගමට අනන්‍ය වූ විවිධාකාර දේ තිබේ. හතරකෝරළයේ කොටහලු ගෙදරක කොටහලු කවි ගැයුණු අතර එසේ ගැයූ කොල්ලාට කොටහලු කොල්ලා යැයි නම් වහරක් ද තිබිණි. එසේම මේ ගමේ කතුරු ඔන්චිල්ලා කවිපද මෙගම් තුලානට පමණක් සුවිශේෂ වූවකි.

කතුරු ඔන්චිල්ලා කවියක් මතකයට නඟමුද? මම බැද්දගේට ඇරයුම් කරමි.

ඔව්, මට මතකයි මහප්පා ඒවා ගයන හැටි. රළු ගොරෝසු සාගර ජල තරඟ පරයන හඬින් ඒවා ගම් පියසේ පා වෙලා ගියා. ඒත් ඒ ගායනා විලාස හරියටම ඒ අවස්ථාවට ගැළපුණා. මම දන්නා විදියට කියන්නම්.

කරෝලිස් මහතා

අහසත් පොලොවත් ඉරසඳ සමඟින්

වලාකුලෙන් වට කර බැන්දෙන්

දහසක් සක්වල වට කර බැන්දෙන්

මිතුරේ රබනුන් සිතට ගනින්

මහසත් විමනේ ගව්තිස් ගණනින්

නාදය හිරකර වට බැන්දෙන්

මහතත් දුර දිග බලලා මිතුරේ

තහන්දි සවුදම ලෙහෙලා දියන්

මහ රබානේ පදත් සමඟ පද සමූහයක් යොදා ගනිමින් මේවා ගැයිණ.

ගම් පුරාණය තව තවත් සොයා කිමිද යාමට මට සිතේ. මම ගමේ පැරැණි වැඩිහිටියකු සොයා ගතිමි. කරෝලිස් නමැති අවුරුදු 78 ක් වන මේ වැඩිහිටියා ඉතා ඕනෑකමින් අපට සවන් දුන්නේය. එසේම කරුණු කීවේය.

අප කවුරුත් ගියේ ගමේ ඉස්කෝලෙට. ඒත් 5 න් පස්සෙ අපට ගමෙන් ඈත හඳපාන්ගොඩ වගේ තැන්වලට යන්ඩ සිද්ධ වුණා. අපි ගියේ කඳු ළඳු නැඟගෙන ඇළ දොළ පහුකරන්. දැන් වගෙ පාර තොට නෑනේ. පන්සල් කන්දට එපිටහින් තිබුණු උඩුව රජයේ ආදර්ශ ගොවිපළේ හොරෙන් වෙරළු කඩන්ඩත් අපි ගියා. එදා මේ රෝහණත් අප සමඟ ඇවිත් ගහේ මුදුන් අත්තට නැංගා. ඒකෙන් හදිසියේ මෙයා ලිස්සා වැටුණෙ නැතෑ. විනාඩි ගණනක් හුස්ම අල්ලාගන්ඩ බැරිව බිම වැටිලා හිටියා. එයා කන්දේ ලන්දේ වැනි ගීත ගයන්නේ මේ වගේ ඒවයේ කරක් ගහලා ගත්තු අත්දැකීම් එක්ක.

“මේ ගමේ ඒ කාලෙ දොඩම් වගාව හොඳට තිබුණා. බුලත් වගාව තිබුණා. දැන් ඒවා අඩුයි. රේස් කරත්තවලට හරක් හුරු කරන අවස්ථා බලන්ඩ තමයි අපේ කොලු නඩේ කැමැති. දඟ හරක් වෙට්ටු දාලා පනින හැටි. පුරුදු කරන්නො පසුපස පන්නන හැටි. බලා ඉන්ඩ ආසයි.

“මේ පළාත රයිගම් බණ්ඩාරගෙ. එදා පත්තිනි දේවාලයට අවශ්‍ය බඩු භාණ්ඩත් අරන් පරංගියාවෙල කියලා ටිකක් එහායින් තියෙන වෙල් යාය හරහා කොරතොට පරම්පරාවක කපු මහත්මයෙක් මේ නාරායන දේවාලය පැත්තට එමින් හිටියා. එයා ලංකාවේ සීතාවක අංගම් පොර පරම්පරාවක දක්ෂ සටන් ශිල්පියෙක්. පරංගින් කීප දෙනෙක් මේ කපු මහතා ලුහුබැඳ ඇවිත් නැවතුණා. ඒත් අවසන් පරංගියා හැරෙන්නෙ නැතුවම කපු මහතා පන්නාගෙන එනකොට වෙල් යායෙදි අංගම්පොර හටන් පෙන්නලා වෙලේ එබුවා. ඒ නිසයි ඔතැන ‘පරංගියාවෙල’ නම ලැබුවෙ. නාරායන දේවාලය ළඟදි රයිගම් බණ්ඩාරගෙ ඇමැතියෙක් කපු මහතාට ආරක්ෂාව දුන්නා.

මෙහි බඩදරු මවුන් රාත්‍රියට ගෙදරින් දොරට බහිද්දි දෑකැත්ත අරන් එළියට එන්නේ ඇයි! මම මෙගම පිළිබඳ අසා ඇති අභිචාරයන් ගැන කරෝලිස්ගෙන් විමසමි.

මේවා අදත් තියෙනවා. පැරැන්නො තමයි වැඩියෙන්ම කළේ. අපේ කිරි හරක් පට්ටිවල පැටවු හංගන යකෙක් හිටියා. ඒකට වෙලාවට පුද පූජා නොදුන්නොත් පැටවු හැංගුවා. පූජාව දුන්නු ගමන් පැටවු කැළයෙන් එළියට දානවා. මේවා නැතැයි කීවට ඕනැතරම් තිබුණා. ගැහැනුන් බඩදරු අම්මලා දෑකැත්ත අරන් එළියට ගියේ මහසෝනට බයේ. ඒකෙත් කතාවක් තියෙනවා. මහසෝනා දවසක් කමතක් මැද්දෙන් යනකොට අමතක වී දාලා ආපු දෑකැත්තක් හමුවුණා.

උදේනිස් අලුත්ගේ

ඌ කොහොමත් සෙල්ලක්කාරයා. මේ නැවිලා තිබෙන දෑකැත්තේ යකඩය කෙළින් කරන්ඩ හිතාගෙන වෙර වීරිය අරන් මුවහත් පැත්තෙන් ඇද්දා. අත කැපුණා. ඒ වතාවෙ පයේ විලුඹ තියලා එහෙම කෙළින් කරන්ඩ ඇද්දා. ඒ වතාවෙ විලුඹත් කැපුණා. එදා ඉඳන් මහසෝනා දෑකැත්තට බයයි. ඒ ඇරෙන්ඩ වෙනත් ආයුධයකට එයා බය නෑ.

කරෝලිස් ගමේ කෝලම් කුට්ටම, ගරා යකුම, පත්තිනි දේවියට කරන දාන ගැන කතා කළ ආකාරයෙන් ඔහු අභිචාරයෙන් ඔද වැඩුණු ගැමියකු බව පෙනිණ. ගමේ සමාජ හැසිරීම අධ්‍යයනය කරන්නට මට ඔහු සම්පතකි.

රෝහණයන් සමඟ තවත් ගමේ ප්‍රභූ චරිතයක් සොයා ගැනීම මගේ ඊළඟ අරමුණ විය. හොරණ ප්‍රධාන මංසන්ධියේ ආයුර්වේද ශාලාවක් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍ය උදේනිස් අලුත්ගේ (අවුරුදු 85) මට අමතක කළ නොහැකිය. ඔහු කී කතාවේ සංක්ෂේපයක් සටහන් කරමි.

එදා මේ ගමේ මහා කෘෂි ආර්ථිකයක් තිබුණා. හැම මිනිහෙක්ම සම්පූර්ණ මිනිහෙක්. ඒ හැම මිනිහටම වතු වැඩ, වඩු වැඩ, මේසන් වැඩ, තොවිල් වැඩ, පන්සල් වැඩ, පින්කම් පොළේ වැඩ, ගෙපළ කපන්ඩ, පස් අදින්ඩ මේ හැමදේම පුරුදුයි. ඒ කෘෂි ආර්ථිකයේ හිටපු ශක්තිමත් සදාචාර මිනිස්සු නිසා ගම රැකුණා.

කට්ටඩි වැඩටත් දක්ෂ අය හිටියා. ලේ තාලි තීන්දුව කියන භයානක යාතු කර්මය කරන්ඩ දක්ෂයො හිටියා. හූනියම කපා ඉවර වුණාම පුහුලෙන් ලේ ගලනවා. එදා සිංහල වෙදකමට මිනිස්සු මේකෙ පිරිලා හිටියෙ. මං පයෝධර පිළිකා හොඳ කරලා තියෙනවා. මිනිසුන්ගේ ගඳ ගහන තුවාල සනීප කරලා තියෙනවා. මහත්තයො විශ්වාස කරන්ඩ මං ලියුකේමියාවත් සුව කරලා තියෙනවා. මේ රෝහණ ළමයා අපේ ගමේ සේසත. මේකා හරිම බඩුව (ඔහු සිනාසී එසේ කියයි) එහි තේරුම ගමේ ඕනෑම වැඩකට, ගොයම් කයියකට, මඟුලකට, පිරිතකට, මල්මුර පින්කමකට, නැතුවම බැරි මිනිහෙක් යන්නය.

එහෙත් ඒ සොඳුරු ගම අද වෙනස් වෙමින් තිබේ. ඒ ගැන රෝහණයන්ට ද ඇත්තේ ශෝකාලාපයකි. ඔහු තම ගම ගැන දීර්ඝ කවි පන්තියක් ලියයි. එහි මුල් කොටසේ ගමේ සිරියාව, ලස්සන, පිහිටීම ගැන යමක් කියැවේ. මතු දක්වන්නේ ඉන් සුළු කොටසක් විදාරණය වන හැඟීම්වල ශේෂයකි. මේ බැද්දගේ ලියන අද ගමය.

ගැමි වහරට අනුව – උඩ වැව ඇසුරු කොට ගෙන
ගම හැඳින්වීමේදී – උඩුව යනුවෙන් වෙනස් වී ඇත

මෙ ගම ඉපදුණු මට – බුදු දහම හා ගොවි කම

දෙ පස සිට එකසේ – සවිය දුනි දිවි මග සැකසුමට

එදා සිටි සැදැහැති – ගැමියන් අද ගමේ නැත

එදා මට ළෙන්ගතු – වූ දැහැමි පරිසරය අද නැත

කමතේ පැලේ සිට – වෙල් යාය පසු කොට ගෙන

මුළුගම සිසාරා – ඇසුණු සීපද රාව අද නැත

නිතැතින් ම බිහි වන – සීපද හඬ රටාවන්

රැව් දෙවනට තරම් – සමත් ගැමියකු අද ගමේ නැත

නෙලුම් ගී සීපද – කමත් කවි මල් වාරම්

කතුරු ඔන්චිලි කවි – රබන් කවි ඈ අද කිසිත් නැත

මල්, ගිනි, කොට ලෙසින් – තාල කැපුමෙදි කී කවි

පෝරුවේ අෂ්ටක – ශිලෝ කියනට අද කෙනෙක් නැත

චාම් දිවි පෙවෙතෙහි – ගත සිත සැහැල්ලුව සිටි

ගැමියන් නැසී ගොස් – උපන් විසිතුරු පරපුරක් ඇත

මා හැර දමා ගිය – වැඩිහිටි පරපුරෙන් ලද

නිමැවුම් රටට දී – ඔවුන් ගුණ සිහි කරමි, පින් දෙමි

ගමේ හෝ ඉන් පිට – කිසිවෙකු කෙරෙහි මා තුළ

කිසි ලෙසකින් උපන් – ද්වේශයක් හෝ වෛරයක් නැත

මේ ගම හොඳයි මට – ගුණ මකු නො වෙමි කිසි විට

හිත හොඳින් ගත කොට – මියෙමි දිවි ඇති තෙක් ම මෙහි සිට

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: