Posted by: lrrp | January 30, 2013

බටතොට ලෙන වසර 712 ක්‌ සඟවා තැබුවේ ඛණ්‌ඨමාරිගේ භූත ආත්මයද?

සම්මා සම්බුද්ධත්වයෙන් නවවන වසරේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ අවස්‌ථාවේ සමන්ගිර ඇසුරු කරමින් වාසය කළ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ 500 ක්‌ මහරහතුන් වහන්සේ සමග ගුවනින් සමන්තකූඨ පර්වත මුදුනට වැඩම කර දහසක්‌ නිම් වළලුවලින් යුත් ශ්‍රී පාද පත්මය පිහිටුවා දිවා විහරන සඳහා දිවා ගුහාවට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

ගුහාවක්‌ යනු නිරන්තරයෙන්ම අඳුරක්‌ පවතින තැනක්‌ බව කිව හැකිය. එහෙත් ඉර පායා බැස යනතුරුම දිවාකාලය පුරාම ඉතාම හොඳින් හිරු එළිය පතිත වන ලෙන (දිවාකර හිරුට කියන තවත් නමක්‌) දිවාගුහාව යනුවෙන් පටබැඳුන බව සිතිය හැකිය. එසේ නම් බුදුන් වහන්සේ 500 ක්‌ මහරහතන් වහන්සේලා සමග දිවා විහරණය වැඩි ලෙන දිවාගුහාව වුණාද? නැතිනම් දිවාගුහාවට බුදුන් වහන්සේ වැඩම කිරීමෙන් පසු දිවා ගුහාව නැතහොත් භාග්‍යාලෙන වශයෙන් පැවතියේ ද යන්න සිතා බැලිය යුතුය.

දිවාගුහාවට මිනිසුන්ට යා නොහැකි බවත් දිවාගුහාව සොයාගෙන ගිය එකම පුද්ගලයා වන සුළුගුළු උපාසකතුමාට සිදුවූයේ කුමක්‌ද? දිවාගුහාව වන්දනා කරන්නේ දේව, යක්‍ෂ, භූත යන කොටස්‌වලට පමණක්‌ යෑයි මතයක්‌ ඇතිවීමට ඉවහල් වූ හේතු සාධක මොනවාද යන්න සොයා බැලිය යුතුය.

දිවාගුහාවත් නොතිබුණා නම් හෝ ලංකාවේ බෞද්ධ ජනතාව එය නොදැන සිටියා නම් හෝ සොළොස්‌මස්‌ථාන වන්දනා ගාථාවේ (මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාංචනං දිවාගුහං දීඝවාපී) ගාථාවේ පස්‌ වැනි තැනට මෙසේ සඳහන් වූයේ කෙසේද යන්නත් බුද්ධිගෝචරව සිතා බැලිය යුතුව ඇත.

“නා සවෙහි සහ පඤaච සතෙහි ගනත්වා

යස්‌මිං අකාසි භගවා සදිවා විහාරං

සංඵුල්ල සාල සුමණාචලපාද දේසේ

වෙJද සුසීතල මහං භගවා ගුහංතං”

දිවාගුහාව වන්දනාමාන කිරීමට ඉහත ගාථාව දක්‌වා ඇති අතර එහි පිහිටීම, පරිසරය ආදී සියලු ගුණාංග ඇතුළත් ගාථාවන් බෞද්ධයින් ඈත අතීතයේ සිට භාවිත කළේ කෙසේද? යටාලතිස්‌ස රජ සමයේ ආරම්භ කළ බවට පූජාවලියේ සඳහන් වන කැලණි රජමහා විහාරයේ බිතුසිතුවම් කර ඇති සොළොස්‌මස්‌ථාන අතරට දිවාගුහාව චිත්‍රයට නැගුවේ කෙසේද? එම චිත්‍රයට පසුබිම් වී තිබෙන්නේ බටතොට ලෙන බව අනුමාන කළ හැක. මෙම කරුණු සොයා බලා තීරණයක්‌ ගැනීම බුද්ධිමත් පාඨකයන්ට භාර කරමි.

පුරාණ බටතොට ලෙන අප්‍රසිද්ධියේ සහ අද්භූත සිදුවීම් තුළින් ජනතාව භීතියට පත් කරමින් වසර 712 ක්‌ බොදු ජනතාවගේ වන්දනා මානයට ලක්‌ නොවූයේ “ඛණ්‌ඨමාරි” භූත බලවේගය නිසාද?

මේ වන විට සොයාගෙන ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා ජනප්‍රවාද අනුව බටතොට ලෙන හෙවත් දිවාගුහාව තුළ විහාර කර්මාන්තය මුලින්ම ආරම්භ කර ඇත්තේ නිශ්ශංකමල්ල රජ සමයේය. ඒ බවට හේතු සාධක බොහොමයක්‌ මෙම ලෙන තුළින් සොයාගත හැක.

වර්ෂ 1178 සිට 1207 දක්‌වා ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් නිශ්ශංකමල්ල ශ්‍රී පාදය සොයා සමන්තකූඨ පර්වතයට යන ගමනේදී බටතොට පිහිටි ගල්ලෙනේ දින කිහිපයක්‌ම ගත කළ බවට ජනප්‍රවාද පවතියි. මෙම ලෙනේ සිට බැලූ කල ශ්‍රී පාදස්‌ථානය මනාව දිස්‌වන හෙයින් මෙය දිවාගුහාව යෑයි තීරණය කළ රජතුමා දිවා විහරණ සිද්ධියටම අදාළ වන සේ විහාර කර්මාන්තය කිරීමට තීරණය කර ඒ සඳහා ඔහුගේ ඥතිවරයකු සමග අවශ්‍ය පිරිස ඒ සඳහා පිටත් කර එවා ඇත.

විහාර කර්මාන්තය සිදු කරමින් යන කාලය තුළ දිනෙක එම රාජකීයයා විසින් අන්තඃපුර කුමාරිකාවක්‌ දූෂණය කර ඇයව ජීවිතක්‍ෂයට පත් කර ඇත. මෙම සිදුවීමෙන් බද්ධ වෛරයෙන් මරණයට පත් රත්නමාලි නම් වූ කුමරිය “ඛණ්‌ඨමාරි” නමින් යක්‍ෂණියක්‌ව ඉපිද අවුරුදු 712 ක්‌ වැනි දීර්ඝ කාලයක්‌ මෙම බටතොට ලෙනට අරක්‌ගෙන සිට එහි පැමිණෙන ගිහි පැවිදි සියලු දෙනා ගොදුරුකර ගනිමින් වසර 712 ක්‌ මෙම ලෙන හුදකලා පාළු ස්‌ථානයක්‌ බවට පත් කළ බව එම ස්‌ථානයට වර්තමානයේ පැමිණි ඇතැම් අයගේ ශරීරවලට ආවේශ වුණු භූත ආත්මවලින් හෙළි විය.

1999 වසරේ සංවර්ධන කටයුතුවලින් පසු එම වසරේ වෙසක්‌ මාසයේ සිට මෙම ස්‌ථානය මහජනයාගේ වැඳුම් පිදුම්වලට ඉඩ සලසාදීමෙන් අනතුරුව දිනකට විශාල පිරිසක්‌ මෙම දිවාගුහාව දැක බලා වන්දනාමාන කිරීම සඳහා පැමිණි අතර ඉන් දිනකට රූමත් කාන්තාවන් දෙතුන් දෙනෙක්‌ වත් භූත ආවේශයෙන් වියරු වැටී විවිධාකාර ස්‌වරූපයන්ගෙන් හැසිරීමට පටන්ගෙන ඇත.

මෙසේ සිදුවෙමින් පවතින අතරතුර 1999 ඇසල මාසයේ පසලොස්‌වක පොහොය දිනක දිවාගුහාවේ වස්‌ විසීමට වලල්ලාවිට සිට නිවුන්හැල්ලේ ධම්මරක්‌ත හිමියෝ වැඩම කළහ. උන්වහන්සේ භාරදී යැමට පැමිණි පිරිස අතර පොල්ගම්පල හරන්කහපොත විහාරවාසී සීවලී හිමියන් ද සිට ඇත. උන්වහන්සේ පිටත්ව යැමට පෙර බුදුකුටිය තුළට ගොස්‌ සර්වඥධාතූන් නිධන් කළ පිළිම වහන්සේට අත තබා වඳිනවාත් සමගම උන්වහන්සේ “මෙතැන යක්‍ෂණියක්‌ ඉන්නවා. මෙතැන සිට සියල්ල කියන්න බැහැ. සියල්ල දැනගන්න මගේ තැනට වර” කියා නික්‌ම ගියහ.

අනතුරුව සීවලී හිමියන්ගේ ලිපිනය ධම්මරක්‌ත හිමියන්ගෙන් ලබාගෙන උන්වහන්සේ වැඩ සිටි හරන්කහපොත විහාරස්‌ථානය වජිර කිත්සිරි වැලිකල, කලාශූරි ඩී. පී. ඡේ. ජයදේව මහතා ඇතුළු පිරිසක්‌ ගොස්‌ භූතාත්මයකින් ආවේශ වී සිටි සීවලී හිමියන්ගෙ අසලට යත්ම “මෙතැන යක්‍ෂණියක්‌ ඉන්නවා ඈ දෙවරක්‌ තෝ මරන්න හදලා තියෙවා. බුදුගුණ නිසා තෝ මරන්න බැරි වුණා. ඇය තොගෙ පස්‌සෙන් එනවා. ජීවිතයට ආස නම් තෝ…. ඔය ගෙන්න ගත්ත හාමුදුරුවොයි ගෙනාපු ධාතූන් වහන්සේලායි අරගෙන පල… එම නියෝගයෙන් බියට පත් පිරිස යක්‍ෂ බලවේගය එතැනින් ඉවත් කර දිය නොහැකිදැයි විමසූ විට “මම ඒවා කරන්නෙ නැහැ. තොට ඕනෑ තැනකට ගොස්‌ කරගනින්” දැන් ඉතින් පල කියා ගිගුරා පලවා හැර ඇත.

ඉන් පසු 1977 වසරේ දිනෙක කිරිවෙහෙරේදී මුණගැසී දිවාගුහාව ප්‍රතිසංස්‌කරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවන් ගැන අවවාදයක්‌ දුන් කිරිඇල්ලේ චන්ද්‍රකාන්ති තරුණිය සොයාගෙන ගිය පිරිසට එහිදී “තෝ මෙහෙටත් ආවද? මම තොගෙ හතර වරිගෙම කනවා. තෝ සර්වඥ ධාතු ගෙනැත් තියලා මම අවුරුදු 712 ක්‌ හිටපු තැන මට නැති කළා” යනුවෙන් ගුගුරණවාත් සමගම බියෙන් තැතිගත් වැලිකල මහතා මෙසේ විමසා ඇත. බලංගොඩ නාහිමියන් දිවාගුහාව යෑයි ප්‍රකාශ කළ ස්‌ථානය මිනිසුන්ට මෙන්ම දෙවියන්ට, භූතයන්ට වන්දනාමාන කර පිංසිදු කර ගැනීමට දියුණු කළාට ද මගෙන් පලිගන්නවා දැයි විමසූ විට යළිත් භූතාත්මය “විහාරය හදන්න ඇවිත් තමයි උන් මාව මේ තත්ත්වයට ඇද දැමුවේ” ඇය පෙර භවයේ සිදුවීම මෙලෙස විස්‌තර කර ඇත.

පෙර ආත්මයේ කේරළයේ සිට ලංකාවට ගෙන ආ රත්නමාලි නම් කුමරියක්‌ බවත් විහාර තැනීමට පැමිණි රාජකීය පුද්ගලයා අතින් දූෂණයට ලක්‌ව මරණයෙන් පසු එතැන් සිට ඛණ්‌ඨමාරි නමින් අවුරුදු 712 ක්‌ ගල්ලෙනට අරක්‌ගෙන සිටිය බවත් පැහැදිලි කර ඇත.

අවුරුදු 712 ක්‌ ගෙවුණ මෙම ආත්මයෙන් මිදී සුගතිගාමී වීමට නම් ලෙනට අඩි 40 ක සීමාව තුළ තමන්ට වාසස්‌ථානයක්‌ වෙන්කර දෙන ලෙස ඉල්ලා ඇත.

1999 වසරේ අගෝස්‌තු මාසයේ පුන් පොහෝ දින ඛණ්‌ඨමාරි භූමාටු ආත්මයට පිංදීම සඳහා ලෙන් විහාරයේ අඩි 40 සීමාව තුළ කිරිනුග පැළයක්‌ සිටුවා එය දසසිල් මාතාවන් 15 කට වැඩි පිරිසකට කිරිපිඬු දානයක්‌ පිරිනමා ඔවුන් සමග සුදු මල් හා හේවිසි සහිත පෙරහැරකින් ගෙන ගොස්‌ අටපිරිකරක්‌ ඇයට කැප කරවා එම නුගය මුල තබා ඉන් පසු නැවත පෙරහැරකින් එය බුදුලෙනට වැඩම කරවා සැතපෙන පිළිම වහන්සේගේ සිරිපතුල පාමුල ඇය වෙනුවෙන් තබා පිං අනුමෝදන් කිරීමෙන් පසු වසර ගණනක්‌ පැවැති මෙම භයානක උවදුරෙන් මිදී සියලුම බැතිමතුන්ට මෙම පිං බිමේ දැකබලා වැඳ පුදා ගැනීමට හැකියාව ලැබුණු බව කියවෙන අතර මේ වන විට දහස්‌ ගණනින් මෙම ස්‌ථානයට පැමිණෙති.

දිවාගුහා ලෙන තුළ බුදු කුටියට පිටින් අරුම පුදුම විෂ්ණු දේවාලයක්‌ ඉදිකර ඇත. එහි ඇති චිත්‍ර හා මූර්ති අනුව රත්නමාලි කුමරිය සිදුවූ සිද්ධිය දනවන කරුණු රාශියක්‌ වටහා ගැනීමට හැකිය. දේවාලයේ ඉදිරිපස දොරටුපාල රූපයෙන් හින්දු ආභාෂය පිළිබිඹු වේ. දොරටුව ඉහළින් දැක්‌වෙන බ්‍රිතාන්‍ය යුගයේ ඔරලෝසුවක එය ඉදිකරන ලද වර්ෂය 1908 යනුවෙන් සඳහන්ව ඇත.

කුරුවිට කෝරළයේ වෙහෙර විහාර 14 ක්‌ ඉදිකිරීමට මූලිකත්වය දැරුවා වූ අමරපුර සිරිධම්මවංශ මහා නිකායේ එක්‌නැලිගොඩ පාර්ශ්වයේ මූලික නාහිමියන් ලෙස සැලකෙන බටතොට ශ්‍රී සුභූති නාහිමියන් යම්කිසි අද්භූත සිද්ධියක්‌ මුල්කර ගනිමින් එය මගහැරීමට මෙම දේවාලය ඉදිකරන ලදැයි එකල ජීවත් වූ වැඩිහිටියන් පිළිගත් මතයකි.

එවැනි ඉතිහාසයක්‌ ඇති මෙම දේවාලය තුළ නිර්මාණය කර ඇති චිත්‍ර මූර්ති තුළින් අපට යම් අවබෝධයක්‌ ලබාගැනීමට හැකිය.

විෂ්ණු දෙවියන් යම්කිසි දේව සභාවක විනිශ්චයක්‌ ප්‍රකාශ කරන දර්ශනයක්‌ එහි දැක්‌වේ. විෂ්ණු දේවරූපයේ දකුණු පස බිත්තියේ, ගම්භාර, කතරගම, කළුකුමාර, පත්තිනි ඇතුළු දේවරූප හතක්‌ සටහන් වී තිබේ. මෙය අද සමාජයේ ශේ්‍රෂ්ඨාධිකරණ ජුරි සභාවක්‌ ඉදිරියේ විභාග කරන නඩු විභාගයකට සමාන දර්ශනයකි.

විෂ්ණු රූපයේ වම් අත අසලින් ඉතා රූමත් තරුණියකගේ උඩුකය අඩ නිරුවත් චිත්‍රයක්‌ තිබේ. මෙය කාමුක හැඟීම් දනවන අන්තඃපුර කාන්තාවකගේය යන්න අනුමාන කළ හැක.

ඊට යාබදට වැඩි රාජකීය පුද්ගලයකුගේ යෑයි සිතිය හැකි පිළිරුවකි. එය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අයකුගේ යෑයි සිතිය හැක. ඒ අසලම ඇත්තේ එම අංශයේම තරුණ කුමාරයකුගේ පිළිරුවකි.

මෙම ස්‌ථානයට ගොස්‌ දැක බලාගැනීමෙන් ඉහත සඳහන් පුවත පිළිගැනීම හෝ බැහැර කිරීම පාඨක ඔබ සතුය.

සෝමචන්ද්‍ර යකන්දාවල

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: