Posted by: lrrp | January 30, 2013

හොරණ රජමහා විහාරස්‌ථානයේ පුරාණ නටබුන් පවසන්නේ ඓතිහාසික ශාස්‌ත්‍ර පීඨයක කතාවයි

සිල් සුවඳින් සිසිල් වූ, දහම් සුවඳින් සුවඳවත්, වූ ප්‍රමුදිත වූ ධර්ම ශාස්‌ත්‍රීය වශයෙන් ලෝක ශාසන දෙකේ දියුණුව සඳහා ඇප කැප වූ මෙම ඓතිහාසික භූමි භාගය මිසදිටු විසකුරු සර්පයන්ගේ දළ පහර නිසා යකුන් නැටූ පිටියක්‌ බවට පත් වුණු ආකාරය ගැන අප කතා කළා. ඉපැරණි ශ්‍රේෂ්ඨ බෞද්ධ විද්‍යාපීඨය විනාශ කළ ඔවුන් ඒ බිම මත ක්‍රිස්‌තියානි පාසලක්‌ පිහිටුවූවා. ඒවාට ගම්වර පිදුවා. ඉන් උපන් ආදායමෙන් එහි ඉගැන්වූ ක්‍රිස්‌තු ලබ්ධික පූජකයන්ගේ සුඛ විහරණය සැපයුවා. ජාතියේ පිනින් දේශයේ පහළ වී බුදු සමයේ කීර්තියට හෙළ බසේ ඔදවත් බව රැකීම සඳහා දිවා රැ ඇප කැප වුණු මහතෙරවරුන්ගේ පා පහස ලැබූ පින් කෙතක සිට ඔවුන් ජාතියේ මළබෙරය වැයුවා.

ක්‍රි. ව. 1796 දී මේ ප්‍රදේශ තුන්වැනි යුරෝපීය බලයට, එනම් ඉංගී්‍රසීන් අතට පත්වුණා. ඒ වන විට මෙතන බෞද්ධ පූජනීය ස්‌ථානයක්‌ වූ බවක්‌ පෙනුණෙ නෑ. මෙම යුගයේ මේ ස්‌ථානයේ පැවති තත්ත්වය වටහා ගැනීමට උපකාරී වන වැදගත් මූලාශ්‍රයක්‌ තමයි, ඩේවිගේ ගමන් වාර්තාව. ඔහු පානදුරයේ සිට හොරණට එන විට බොල්ගොඩින් මෙහා එකදු ගෙයක්‌ වත් හමු නොවූ බව කිවුවා. දැනට හොරණ රජ මහා විහාරයේ චෛත්‍ය රාජයා පිහිටි ස්‌ථානයේ එවකට පැවතියේ තානායමක්‌. ඒ අසලින්ම දැනට විහාරාධිපති හිමියන්ගේ ලැගුම් ගෙය පිහිටි ස්‌ථානයෙහි තානායමේ ලැගුම් ගන්නා සුද්දන්ගේ අශ්වයින් රඳවන ස්‌තාලය තිබුණු බවත් කියවෙනවා. පැරණි හින්දු සම්ප්‍රදායට තැනුණු ගොඩනැගිලි නටබුන් මෙතන තිබුණු බවද එම විස්‌තරයේ සඳහන් වෙනවා.

මේ වන විට මේ ප්‍රදේශය වල් බිහි වෙලයි පැවතුණේ. ඇල්ල කන්ද වනයෙහි සිට හෑගල්ල කන්දට අලි ගමන් කරන අතර කඳ පිසදමන ඇන්න ගල නමින් යුත් ගලක්‌ මෑත බාගය වන තුරු පැවති බවත් කියවෙනවා. එය පිsහිටියේ වර්තමාන මානෙල් චිත්‍රාගාරයට මඳක්‌ ඔබ්බෙන් බව සිතා ගත හැකියි. උඩවත්තේ සිට රජමහා විහාරය තෙක්‌ තිබුණේ ගෙවල් හතක්‌ පමණයි. ඇල්ල කන්දත් හොරණ රජමහා විහාරයත් අතර ආරම්භයේ පටන් පැවති ළඟ සම්බන්ධතාව සිහිගන්වමින් ඇල්ල කන්ද පාමුල කුඩා නිවහනක්‌ තනාගෙන දළුපිටියේ අත්ථදස්‌සි නමින් භික්‍ෂූන් වහන්සේ නමක්‌ වැඩ සිටියා. ඒ හිමියන් දිනපතාම මේ ස්‌ථානයට පැමිණ මෙතන විසිරි තිබුණු නටබුන්, අහසට නැඟ සිටින ගල් කුළුණු, තැන තැන පැවති සඳකඩපහණ වැනි දේ දෙස බලා සිටි බව අදත් මුඛ පරම්පරාගත වෘතාන්තයන්හි පවතිනවා.

මෙතන තිබු නටබුන් පරික්‍ෂා කළ උන් වහන්සේ මේ ස්‌ථානය ඓතිහාසික ස්‌ථානයක්‌ බවත් එය ප්‍රතිසංස්‌කරණය කිරිම කාලෝචිත බවත් එවකට මේ ප්‍රදේශයෙහි ප්‍රබල ස්‌ථානයක්‌ දරා සිටි වීදීයගොඩ වැඩ විසූ වීදාගම ශ්‍රී සෝභිත හිමියන්ට දන්වා තිබෙනවා. මෙතනට පැමිණ කරුණු පරික්‌ෂා කර බැලු සෝභිත හිමියන්ටද මෙය සත්‍යයක්‌ බව පෙනී ගියා. ඉන් පසුව වීදාගම ශ්‍රී සෝභිත ස්‌වාමින් වහන්සේ විසින් ක්‍රි.ව. 1824 දි එවකට ලංකාණ්‌aඩුකාර පදවිය දැරු සර් එඩ්වඩ් බාන්ස්‌ට පෙත්සමක්‌ මගින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. හොරණ පවතින රෙස්‌ට්‌හවුසිය සිද්ධස්‌ථානයකි පිහිටි පෞරාණික බිමක පවතින බවත්, ඒ බවට එතන ඇති විශාල නටබුන් රාශිය සාක්‌ෂි දරන බවත්, එතන ඕලන්දයන් විසින් රෙපරමාදු පල්ලියක්‌ ගොඩනගා තිබුණු බවත් එහි සඳහන් කොට තිබෙනවා. එමෙන්ම වීදීයගොඩ, වීදාගම, ලෙනවර, කොළමැදිරිය, ගුංගමුව වැනි ස්‌ථාන ප්‍රතිසංස්‌කරණය කිරීමට ඉංග්‍රීසි ආණ්‌ඩුවෙන් අවසර දුන් බවත්, මේ ස්‌ථානය එම ස්‌ථානයන්ට වඩා පැරණි බවත් ඒ නිසා එය ප්‍රතිසංස්‌කරණය කිරීමට අවසර ලැබිය යුතු බවත් එහි සඳහන් කළා. මෙම පෙත්සම අදත් මෙම ස්‌ථානයෙහි සුරක්‌ෂිතව තිබෙනවා.

මේ කාරණය සම්බන්ධයෙන් අවුරුදු 10 පමණ ඉංගී්‍රසි රජය සමඟ ලියුම් හුවමාරු කරගැනීමට සෝභිත ස්‌වාමින් වහන්සේට සිදුවුණා. ඉන්පසුව රජයෙන් මෙය ප්‍රතිසංස්‌කරණය කිරීමේ අවසරය දුන්නා. ඉන්පසුව වීදාගම හිමියන් පැමිණ දැනට බුදුගෙය තිබෙන ස්‌ථානයෙහි අත්තිවාරම් පාදාගෙන වැඩ ආරම්භ කළා. මේ අවස්‌ථාවේදී මෙම ස්‌ථානය සවැනි පැරකුම්බා යුගයට අයත් බවත්, මෙය පැරණි තත්ත්වයට දියුණු කිරීමට මහජන සහයෝගය උවමනා බවත් සදහන් කරමින් පළාත්වාසී මහ ජනයාගෙන් ඉල්ලීම් කළ ලිපියක්‌ තවමත් මෙහි තිබෙනවා.

හොරණ රජ මහා විහාරය නැවත ආරම්භ කිරීමෙන් පසුව කුඹුකේ මේධංකර සහ බණ්‌ඩාරගම ධම්මානන්ද යන ස්‌වකීය ගෝල දෙනමට මෙහි වාසය පවරනු ලැබුවා. මේ අතර ඇල්ලකන්ද අසල විසු දළුපිටියේ අත්ථදස්‌සි හිsමියන් අපවත් වුණා. ස්‌වකීය ජීවිතයේ අවසාන කාලය මේ ස්‌ථානයේ වැඩ වෙසෙමින් ස්‌ථානය වැඩි දියුණු කිරීමට වීදාගම සෝභිත හිමියන් ස්‌වකීය ජීවිතය කැප කළ බව පෙනෙනවා. මේ ස්‌ථානයට රජයෙන් ඉඩම ලබාගෙන ඇත්තේ ක්‍රි ව 1840 දීයි. විහාරයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම පැවැත්වූයේ ක්‍රි ව 1870 දීයි. මෙයින් පැහැදිලි වන්නේ මෙහි ප්‍රතිසංස්‌කරණ කටයුතුවලට අවුරුදු 30 ක්‌ පමණ ගත වූ බවයි.

කුඹුකේ මේධංකර හිමියන්ගේ ගෝල දෙනම හොරණ සෝමානන්ද සහ කරඳන දේවානන්ද යන නායක හිමිවරුයි. මේ වන විට පෘතුගීසීන් විසින් විනාශ කරන ලද බෝධිරාජයා පිහිටි තැන බෝමළුව විනාශ වී යමින් පැවතුණා. මුඛ පරම්පරාගත වෘතාන්තයක්‌ අනුව දැනට චෛත්‍ය රාජයා පිහිටි ස්‌ථානයේ එදා තිබුණු තානායමෙහි තානායම් පාලකයාගේ බුලත්කොරටුව මෙම බෝ මළුවෙහි තිබුණු බවද කියවෙනවා. හොරණ සෝමානන්ද නාහිමියන් විසින් බෝ මළුව පිහිටි ඉඩම 1890 දී පමණ රජයෙන් ආපසු ලබා ගත්තා. ඉක්‌බිතිව යළිත් වරක්‌ අනුරාධපුර ශ්‍රී මහා බෝධියෙන් ජනිත අංකුරයක්‌ මෙතැන රෝපණය කළා. දැනට විහාරයට ඇති ගොඩනැගිලි වලින් වැඩි ප්‍රමාණයක වැඩ නිමවන ලද්දේ මේ නාහිමිවරුන්ගේ කාලයේදීයි. මෙම දෙනමගේ ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා එකොළොස්‌ නමක්‌ පමණ සිටියා. මේ යුගය වන විට මේ ප්‍රදේශයේ පැවතියේ ඉංගී්‍රසි සංකර අධ්‍යාපන ක්‍රමයක්‌. මෙම නිසා සමකාලිSන සමාජ අවශ්‍යතාවන් සලකා බැලු මේ භික්‌ෂුන් වහන්සේලා ක්‍රි ව 1929 දී මෙතන නව පිරිවෙනක්‌ ආරම්භ කළා. කහවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් විසින් ආරම්භ කරන ලද මෙම පිරිවන විද්‍යාරත්න නමින් නම් කෙරුණා.

හොරණ රජමහා විහාරස්‌ථානයේ ඉතිරි වී ඇති ඓතිහාසික නටබුන් පිළිබඳව ද විශේෂයෙන් කරුණු ටිකක්‌ සඳහන් කිරීමට මා කැමතියි. හොරණ රජමහා වෙහෙරෙහි අද දක්‌වාත් ශේෂ වී ඇති නටබුන් පිළිබඳව විමර්ශනයක යෙදෙන්නකුට එදා සකලශ්‍රීයෙන් ආඪ්‍යව පැවති මහා ශාස්‌ත්‍ර පීඨයක්‌ මනැසින් මවා ගත හැකියි. සුළඟේ සැලෙන බෝපත් සෙවණේ සිට භාවනුයෝගීව විනය ගරුකව විසූ සුසිල්වත් මහතෙරවරුන් සිතින් දැක ගත හැකියි. සඳකඩ පහණින් පටන් ගෙන දොරටුපාල, බහිරව රූප ආදී කොට ඇති කලාත්මක ඔත් පිළිමය දක්‌වා වූ සිංහල කලාකරුවාගේ දෑතේ දස්‌කම් කියාපාන මහා පිළිම ගෙය, එදා පැවති තත්ත්වය සිතා ගත හැකියි. මහා කඳුවැටියක්‌ සිපගෙන හමන සිසිල් සුළඟින් ගීතවත් වූ, නිල් වන් ගොයමින් සරුසාර වූ කෙත් වතු ගම් නියම්ගම් පරිවාර කොටගෙන නිරිත දිග ලක්‌දිව නිජබිම් කොටගෙන මුළුමහත් දිශා භාගයම අවිද්‍යාවේ ඝණ අන්ධකාරයෙන් මුදා දැල්වුණු විද්‍යාලෝකයේ මිණිපහන ද දැක්‌ක හැකියි. එම පහනේ ආලෝකයෙන් ආලෝකවත් වුණු මහා ග්‍රන්ථයන් ද දැකිය හැකියි. පුස්‌කොළයට, පන්හිඳට දිවි කැපකරමින් එම පහන් රුක අසල වැඩ සිටිමින් ලියෑවෙන සිංහල සංදේශ වලින් පැරණිතම පියවර, මයුර සංදේශය ද දැක්‌ක හැකියි. සිදත් සඟරාවද කියවිය හැකියි. මේ මනෝ ලෝකයෙහි වැස දෙඇස්‌ විවර කොට බලනවිට පෙනෙන්නේ මොනවද?. තැන තැන විසිර ගිය ගල් පුවරු… සඳකඩ පහණ…. ගල් කුළුණු… බෝධිඝරය ලෙස හැ`දින්වෙන බෝ කොටුව… ගල් කැටයම්…

මේ එකිනෙක ගෙන විමසා බැලිම, මෙහි අතීතය සෙවීම මොනතරම් වැදගත් දැයි සිතෙනවා.

මෙහිදී මෙම හොරණ රාජමහා විහාර භූමියෙන් ලැබි දැනට කටුගෙයි තැන්පත්කොට ඇති සඳකඩපහණ විශේෂයෙන් ම සඳහන් කළ හැකියි. සිංහල සංස්‌කෘතියේත් බෞද්ධ සංස්‌කෘතියේත් සඳකඩපහණට හිමිවන්නේ විශේෂම ස්‌ථානයක්‌. වර්තමාන පුරා විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයක්‌ මේ කෙරෙහි යොමුව ඇත්තේ ඒ නිසයි. එහෙත් අනුරාධපුර සහ පොළොන්නරු යුගවලට පසුව මෑත භාගයෙහි කරන ලද සඳකඩපහණ රැසක්‌ එකතැන හමු වන්නේ කලාතුරකින්. එයින් එක්‌ තැනක්‌ තමයි හොරණ රාජමහා විහාරය. ක්‍රමානුකූල සැලැස්‌ම අතින් මෙහි ඇති සඳකඩ පහන් ඉතාම වැදගත් තැනක්‌ ගන්නවා. දැනට ඉතිරිව ඇත්තේ සඳකඩපහණ හතරක්‌ පමණයි. එයින් තුනක්‌ දැනට විහාරාංගනයේත්, එකක්‌ කොළඹ ජාතික කෞතුකාගාරයේත් තිබෙනවා. එතරම්ම වැදගත් නොවන තවත් චාම් සඳකඩ පහණ කිහිපයක්‌ ද මෙහි දක්‌නට තිබෙනවා. සඳකඩපහණ හැරුණු විට විදුරසුන් ගල, මහා ගල් උලුවස්‌සක උඩු කොටස, (එහි ඇත් පෙරහැර කොටා ඇත) විහාරයේ ගල් ආසනයේ කැටයම් ගලින් නෙළන ලද නලා පිඹින්නාගේ රූපය, ගල්ටැම්, බලුසිංහ රූප කැටයම. සුවිශාල ගල් උලුවස්‌ස, කේසර සිsංහ කැටයම් ගල් පුවරුව, බෙහෙත් අඹරන ගල, ගලින් නෙළු නෙළුම් දණ්‌ඩ, ගණදෙවි රූපය, ලෝකඩ බුදු පිළිමය, අතිවිශේෂ ලී බඳුන, විහාරයේ ගල් ආසනයේ ඇති නැට්‌ටුවන්ගේ දර්ශනය. ලීයෙන් කළ බුදුරුව ශේෂ වී ඇති නටබුන් අතර විශේෂයෙන් සඳහන් කළ හැකි ඒවායි.

ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර
අනු නාහිමි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: