Posted by: lrrp | February 2, 2013

අපේ රාජධානිවල නෑ සබඳකම් බිඳ දැමූ පෘතුගීසි බලපෑම්

ඓතිහාසික විජයබාහු කොල්ලයෙන් පසු කෝට්ටේ සීතාවක හා රයිගම වශයෙන් රාජධානිය කොටස් තුනකට බෙදා පාලනය ආරම්භ වූයෙන් රාජ්‍ය තුන ම දුර්වල තත්වයට පත්වීමේ වාසිය ලබාගත්තෝ පෘතුගීසිහු ය. අදත් රාජ්‍ය කොටස්වලට බෙදා පාලනය කිරීමට අදහස් කරන්නේ නම් එහි වාසිය අත්වන්නේ මෙරට දෙකඩ කිරීමට අර අදින බලවේගයන්ට ය.

ගම්පොල සිටි අම්බුලුගල කුමාරයා අටවන වීර පරාක‍්‍රමබාහු නමින් 1478 සිට 1496 දක්වා කෝට්ටේ රජකම් කෙළේය. පෘතුගීසීන් විසින් ඔහු හඳුන්වන ලද්දේ කඩෙයි කුමාර බණ්ඩාර නමිනි. ඔහු ගේ දෙවන බිසවට දා ව උපන් දුවක ගේ පුතුන් වූයේ සකලකලාවල්ලබ හා තනිවල්ලබ ය.

මේ දෙදෙනා ගේ පියා වූයේ යාපනයේ පරරාජසේකරම් යුවරජු ගේ (1478 – 1511) පුත් කයිවල්ලියේ බණ්ඩාර ය. වයඹ පළාතේ මාදම්පා වැව සහ මහවැව ඉදිකරවා ප‍්‍රදේශයේ සංවර්ධනය සඳහා කළ වැඩ නිසා ඔවුන් අද දක්වා ම ඒ ප‍්‍රදේශවල ජනතාව විසින් දේවත්වයෙන් පුදනු ලැබේ.

මේ දෙසොහොයුරන් ගේ බහුපුරුෂ විවාහය(Joint marriage) වූයේ නව වන ධර්ම පරාක‍්‍රමබාහු (1505 – 1500) දක්වා කෝට්ටේ රජු) හා හත්වන විජයබාහු ගේ (1519 – 1521 දක්වා ගිරුවාපත්තුව දොළොස්දහස්රට හා දෙවිනුවර) බිසෝ ළමාඑතනී නොහොත් කෝමරී බණ්ඩාර නම් දියණිය සමඟ ය.

මේ සම්බන්ධයෙන් ලද පුතෙකි කෝට්ටේ ව්‍යාඝ‍්‍රයා නමින් හැඳින්වූ අභීත සිංහල රණවිරුවකු වූ වීදිය බණ්ඩාර. දමිළයෝ තිරුවැල්ලේ බණ්ඩාර නමින් ද පෘතුගීසීහු තිඹුලේ බණ්ඩාර නමින් ද ඔහු හැඳින්වූ හ. අනෙක් පුතා තම්මිට සූරියබණ්ඩාර විය. තම්මිට සූරියබණ්ඩාර කි‍්‍රස්තියානි ආගම වැළැඳගත් කතා පුවත මීට ඉහත දී පාඨකයන් වෙත ඉදිරිපත් කර ඇත.
තම්මිට බණ්ඩාර ගේ එක් දුවක මැණික් බිසෝ බණ්ඩාර විමලධර්මසූරිය ගේ දෙවන බිසව වූවා ය.

තම්මිට බණ්ඩාර ගේ සොයුරියක වූ නිලුපුල් මාලා, සීතාවක රාජසිංහ ගේ බිසව ය. තම්මිට බණ්ඩාර ගේ තවත් දුවක් පේගු රටේ රජු ගේ බිසව වූයෙන් එරටට ගියා ය. තම්මිට සූරියබණ්ඩාර හත්කෝරලේ රජු වශයෙන් ද පෙනී සිටියේ ය. තම්මිට බණ්ඩාර පසුකලෙක ප‍්‍රැන්සිස්කෝ බරෙත්තු නමින් බෞතීස්ම ලැබී ය. ඉහතින් සඳහන් කළ වීර සටන්කාමී වීදිය බණ්ඩාර ගේ පුතා වූයේ ධර්මපාල ය. පසු ව ඔහු බෞතීස්ම ලැබ දොන් ජුවන් ධර්මපාල විය.

ධර්මපාල ගේ බිසව වූයේ සෙංකඩගල දෙවන ජයවීර (1514 – 1542) නොහොත් කරල්ලියද්දේ බණ්ඩාරගේ දුව සාන්තානා දේවිය යි. ඇය ද පසු ව දෝන මාගරීටා නමින් බෞතීස්ම ලැබුවා ය. ඇගේ ඥාති දියණිය වූ 1579 සිට 1582 දක්වා සෙංකඩගල රජු වූ තුන්වන ජයවීර නොහොත් කරල්ලියද්දේ කුමාර බණ්ඩාර ගේ දියණිය වූ කුසුමාසන දේවිය ද පෘතුගීසීන් ගේ රැකවරණය ලබමින් දෝන කැතරිනා නමින් බෞතීස්ම ලැබුවා ය.

මේ වෛවාහක සම්බන්ධය නිසා කෝට්ටේ රජ ද සෙංකඩගල රජද මස්සිනාවරු වූහ. ධර්මපාල දොන් ජුවන් ධර්මපාල නමින් බෞතීස්ම ලැබ 1591 සිට 1597 දක්වා කෝට්ටේ රජකම් කෙළේ ය. එවිට නෑකම අනුව ඔහු සෙංකඩගල රජු ගේ බෑණනුවන් විය. ධර්මපාල රජු ගේ පියා වූ වීදිය බණ්ඩාරගේ පළමුවන බිසව වූයේ කෝට්ටේ හත්වන බුවනෙකබාහු ගේ දියණිය වූ සමුද්‍රා දේවිය යි. ධර්මපාල හා විජයපාල දෙසොහොයුරෝ ඇය ගේ පුත්තු වූ හ.

වීදිය බණ්ඩාර ගේ දෙවන විවාහය වූයේ සූරියදේවී නොහොත් මහ ටිකිරි නමින් හැඳින් වූ සීතාවක රජු වූ (1534 – 81) මායාදුන්නේ ගේ දියණියන් ය. ධර්මපාල ගේ සොයුරු විජයපාල ගේ බිසව වූයේ ද මායාදුන්නේ ගේ දෙවන දූ කුඩා ටිකිරි බිසෝ බණ්ඩාර ය. මේ විවාහයෙන් ධර්මපාල හා විජයපාල සිංහලේ තවත් මහා රණශූර ටිකිරි කුමරු නොහොත් සීතාවක රාජසිංහ ගේ මස්සිනාවරු වූහ.

සෙංකඩගල කළු කුමාරයා වූ දොන් ජාවෝ ගොඩනැංවූ ගෝවේ පල්ලිය

සීතාවක රාජසිංහ ගේ එක ම දුව මැණික් බිසෝ බණ්ඩාර, එකඟවීර බණ්ඩාර ගේ බිසව වූවා ය. ඔවුන් ගේ පුතුන් දෙදෙන වූයේ රාජසූරිය හා ජයසූරිය යි. මේ දෙදෙන ම රාජසිංහ ගේ මරණයෙන් පසු 1593 – 98 දක්වා සීතාවක රජකම දරා ඇත. 1598 පසු පෘතුගීසීන් ගෙන් ආධාර ලබා ගෙන සීතාවක රාජධානිය ද කෝට්ටේට ඈඳ්‍රගන්නා ලදීන් එතෙක් පැවැති සීතාවක රාජධානිය අවසන් විය.

වීදිය බණ්ඩාර හා මහ බිසෝ බණ්ඩාර ගේ දුව ගේ විවාහය වූයේ යාපනේ හරිනේශ්වර බණ්ඩාරට ය. ඉන් ලැබූ දුව සින්හාවෝ පින්හාවෝ නම් 1591 දී යාපනයේ සිටි පෘතුගීසි පාලකයා ගේ බිරිය වූ දෝන මරියා පෙරේරා ය. ඔවුන් ගේ දුව ය ඩොමින්ගෝ කොරයා නොහොත් එදිරිල්ලේ බණ්ඩාරගේ බිරිඳ. 1598 දක්වා පැවැති කෝට්ටේ රාජ්‍යයේ ද, 1594 දක්වා පැවැති සීතාවක රාජ්‍යයේ ද, 1739 දක්වා පැවැති සෙංකඩගල සිංහල රාජ්‍යයේ ද අතර වූ මේ සංකීර්ණ ඥාති සම්බන්ධතා එවකට 1618 දක්වා පැවැති උතුරේ නල්ලූර් රාජ්‍යයට ද ව්‍යාප්ත විය.

1561 සිට 1570 දක්වා යාපනේ ප‍්‍රාදේශීක රජු වූ දෙවන පරරාජසේකරන් හා 1582 සිට 1591 දක්වා සිටි හතරවන පරරාජසේකරන් යන දෙදෙන ම හැඳින්වූයේ පුවි රාජබණ්ඩාර නමිනි.
යාපනයේ පැවැති නල්ලූර් රාජධානියට ඥාති සම්බන්ධතා නැවත ඇතිවූයේ මේ කාලයේ දී වීදිය බණ්ඩාර හා මහබිසෝ බණ්ඩාර ගේ වැඩිමහල් දියණියන්වූ තවත් මැණික් බිසෝ බණ්ඩාර නම් කුමරියක හරිනේශ්වර බණ්ඩාර පාවා ගැනීමෙනි.

ඇය රාජසිංහ ගේ ද වැඩිමහල් සොහොයුරියක් වූවා ය. ඉහත සඳහන්කළ පුවිනේෂ්වර බණ්ඩාර නොහොත් හතරවන පරරාජසේකරන් (1582-91) යාපනය පාලනය කළ නිර්භීත පෘතුගීසි විරෝධි පාලකයෙකි. ඔහු යාපනය අර්ධද්වීපය තුළ සිදු කැරුණු පෘතුගීසින් ගේ ව්‍යාප්තියට මෙන් ම කි‍්‍රස්තියානිකරණයට විරුද්ධ ව තදින් ම කි‍්‍රයා කෙළේ ය. ඔහු නල්ලූර් රාජ්‍යයේ මෙන් ම සෙංකඩගල රාජ්‍යයේ ද පෘතුගීසින් ගේ බලව්‍යාප්තිය, වෙළෙඳ අධිකාරිය මෙන් ම ආගම පැතිරවීමට ද එක සේ විරුද්ධ විය.

පෘතුගීසින් මෙරටට පැමිණෙන විට මෙහි රජකළ නව වන ධම¢පරාක‍්‍රමබාහු (1497-1513) සහ හයවන විජයබාහු (1513-21) දෙසොහොයුරන් ගේ බහුපුරුෂ විවාහය සිදුවූයේ එවකට යාපනයේ පාලකයා වූ පළමුවන පරරාජසේකරන් ගේ (1478-1519) දුව සමඟ ය.

යාපනේ රජවරු දෙදෙනකු එනම් දෙවන පරරාජසේකරන් (1561-70) සහ හතරවන පරරාජසේකරන් (1582- 91) රජවීමට පෙර පුවිරාජ බණ්ඩාර නමින් හැඳින්විණි. කෝට්ටේ හා සෙංකඩගල රජුන් ද බණ්ඩාර නමින් හැඳින්වීමට එකල සිරිත වී ඇත. කෝට්ටේ දෙවන ජයබාහු නොහොත් ජයවීර පරාක‍්‍රමබාහු (1467-69) මැණික් බණ්ඩාර විය.
ඔහු ගේ පුත් අටවන පණ්ඩිත පරාක‍්‍රමබාහු (1480-1484) කයිපුර බණ්ඩාර නමින් හඳුන්වන ලදී. උලකුඩය දේවිය ගේ ඥාති සොහොයුරු අටවන වීර පරාක‍්‍රමබාහු හෙවත් අම්බුලුගල කුමාරයා (1484-1504) හඳුන්වන ලද්දේ කඩේ කුමාර බණ්ඩාර නමිනි.
යාපනේ කෝට්ටේ යුගවල සමීප ඥාති සම්බන්ධතා තවදුරටත් තහවුරු කර ගනිමින් කයිවල්ලියේ බණ්ඩාර කෝට්ටේ සිටි අටවන වීරපරාක‍්‍රමබාහු ගේ (1484-1504) දියණිය බිසව කොට ගත්තේ ය. එමෙන් ම යාපනේ පළමුවන පරරාජසේකරන් ගේ දුවක් අටවන වීර පරාක‍්‍රමබාහු ගේ පුතුන් දෙදෙන වූ නව වන ධම¢පරාක‍්‍රමබාහු (1493-1513) හා හත්වන විජයබාහු ගේ (1519- 21) සහාය (Joint marriage) බිරිය වූවා ය.

මේ ඒකාබද්ධ විවාහයෙන් ලත් දරුවන් වූයේ හත්වන බුවනෙකබාහු රණශූර සීතාවක රාජසිංහයන් ගේ පියා වූ මායාදුන්නේ සහ රයිගම් බණ්ඩාර නොහොත් පරරාජසේකරන් හා වයස දහයේ දී පමණ මියගිය රාජසිංහ රාජා නොහොත් පරරාජසිංහ ය. ඓතිහාසික විජයබාහු කොල්ලයෙන් පසු කෝට්ටේ සීතාවක හා රයිගම වශයෙන් රාජධානිය කොටස් තුනකට බෙදා පාලනය ආරම්භ වූයෙන් රාජ්‍ය තුන ම දුර්වල තත්වයට පත්වීමේ වාසිය ලබාගත්තෝ පෘතුගීසිහු ය.

අදත් රාජ්‍ය කොටස්වලට බෙදා පාලනය කිරීමට අදහස් කරන්නේ නම් එහි වාසිය අත්වන්නේ මෙරට දෙකඩ කිරීමට අර අදින බලවේගයන්ට ය. යාපනයේ රජ කළ දෙවන සංකිලි මන්නාරමේ දී කතෝලිකයන් හය සියයක් මරා පෘතුගීසින්ට විරුද්ධ ව අභීත සටනක් කළමුත් ඔහු ගේ හමුදා නායකයකු වූ “කාකෙයි වන්නියාර්” පෘතුගීසින් ගෙන් අල්ලස් ගෙන සටන පාවාදීමෙන් සංකිලි පරාජයට පත්විය.

සිය ජයකඩුවත් සමඟ ම ‘සංකිලි තෝප්පුව‘ නමැති ස්ථානයේ ගැඹුරු ළිඳකට පැන දෙවන සංකිලි දිවි නසා ගත්තේ ය. 1555 දී කොන්ස්ටයින් ද සා බ‍්‍රැගන්සා යාපනය පෘතුගීසින්ට නැවත ලබා දුන්නේ ය. 1555 දී කෝට්ටෙන් පලාගිය වීදිය බණ්ඩාරයන් ද සටනින් පැරැද සිය ඔටුන්න හා රාජාභරණ ද සංකිලි තෝප්පුවේ මේ ළිඳට ම ගලවා දමා තෙමේ ද එහි පැන දිවි නසාගත් බව ඉතිහාසය කියයි.
සංකිලි ගේ පුතා ද රජකම අතහැර ගෝවට පලා ගොස් දොන් කොන්ස්ටයින් ද කි‍්‍රස්ටෝ නමින් බෞතීස්ම ලැබී ය. මීට පෙර මවිසින් ලියන ලද ගෝවේ පල්ලියක් ගොඩනැංවූ සෙංකඩගල කළු කුමාරයා වූ දොන් ජාවෝ මොහු ගේ සමකාලීනයෙකි. මේ යුගයේ දී ම කතෝලික ආගම වැළැඳගත් තවත් රාජකීයයන් වූයේ දොන් ලුවිස් නම් වූ හත්වන බුවනෙකබාහු ගේ දෙවන බිසවක ගේ පුතකු හා දොන් ජුවාන් වූ බුවනෙකබාහු ගේ සහෝදරියක ගේ පුතෙකි.

පසු ව මේ දෙදෙනට ම වසූරිය රෝගය වැළැඳී ගෝවේ දී ම මියගොස් ඇත. හත්වන බුවනෙකබාහු ගේ තවත් බිසවක ගේ පුතකු ද දොන් ජුවාන් නමින් ම ලිස්බන්හි ශාන්ත පෝලි ගේ ජේසු විද්‍යාලයයේ ඉගෙනුම ලබා ගෝවට පැමිණ, පෘතුගීසි කාන්තාවක හා විවාහ ව සිට 1587 දී මිය ගොස් ඇත. එමෙන් ම යාපනේ දෙවන සංකිලි රජු ගේ දූ කුමරියන් වූ කතෝලික ලබ්ධිය වැලඳගත් ඉසබෙලා සහෝදරිය හා ශාන්ත මේරි සහෝදරිය ද එවැනි රාජකීයයන් ය.

අගෝස්තීනු නිකායට අයත් වූ ඉසබෙලා කන්‍යා සහෝදරිය 1645 දී මිය ගියා ය. මේරි කන්‍යා සොහොයුරිය අවුරුදු හතළිස් පහක ආගමික සේවයෙන් පසු 1682 දී මිය ගියා ය. ඇය රාජකීය ශාන්ත මොනිකා කන්‍යාරාමයෙහි සොහොයුරියක තත්ත්වයට පත් වූ පළමු ආසියාතික කාන්තාව ද වූවා ය.
කොනප්පු බණ්ඩාර නමින් හැඳින්වූ සෙංකඩගල විමලධම¢සූරිය ගේ පුතුන් වූ ඌවේ කුමාරයා නොහොත් කුමාරසිංහ ද, ගොඩපල කුමාරයා නොහොත් විජයපාල ගේ ද බිසෝවරුන් වූයේ යාපනේ ප‍්‍රාදේශික රජු වූ අරසන්කේසරී බණ්ඩාර ගේ දූවරුන් ය.
අසරන්කේසරී බණ්ඩාරම් හෙවත් දෙවන සංකිලි වනාහී යාපනයේ සහ දකුණු ඉන්දියාවේ අදත් උගතුන් අතර ප‍්‍රසිද්ධ වූ ප¾ඩිවරයෙකි. වාල්මීකි ගේ රඝුවංශය දෙමළ බසට පරිවර්තනය කර ලියා ඇත්තේ ඔහු ය.

1628 වර්ෂයේ සෙනරත් රජු කුමාරසිංහ හා විජයපාල ඥාති පුතුන් සමඟ යාපනය ආක‍්‍රමණය කෙළේ මේ රාජ්‍ය උරුමය සඳහා ය. මෙහි දී සංකිලි හා පවුලේ සියලුදෙන ම දූපතකට පලවා හරින ලදුව, ඔවුන් ආපසු යාපනයට පැමිණියේ ලන්දේසි පාලනය අවසාන කාලයෙහි දී ය. ඉහතින් සඳහන් කළ යාපනය 1591 දී පෘතුගීසින් ගෙන් මුදාගත් සින්හාවෝ ගේ බිරිය වූයේ මැණික් බිසෝ බණ්ඩාර හා හරිනේශ්වර බණ්ඩාර ගේ දියණියන් වූ දෝන මරියා පෙරේරා ය.

මේ යුවළ ගේ එක ම දියණියන් ගේ ස්වාමියා වූයේ එදිරිල්ලේ රාල නොහොත් ඩොමිංගෝ කොරයා ය. හලාවත කොරයාවරුන් ගේ ආදිතමයා ඔහු ය. කතෝලික ආක‍්‍රමණය නිසා මෙසේ අභාවයට පත් වූ රාජ්‍යයට හිමිකම් තිබූ පුරුෂ පක්‍ෂය අවසන් වීමෙන් හිස්වන රාජවංශය නැවත පිබිදෙන්නේ විමලධර්මසූරිය හා කුසුමාසන දේවිය ගේ එකතුවෙන් යළි ගොඩනැඟෙන සෙංකඩගල රාජධානියේ ය. එය 1592 සිට රාජ පරම්පරා හතකට පසු ව 1815 දී ඉංගී‍්‍රසි ආක‍්‍රමණයෙන් සදහට ම අවසන් විය.

ඇස්. බී. කරල්ලියද්ද

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: