Posted by: lrrp | July 13, 2013

දීඝවාපියේ මොකද උණේ ?

පොසොන් සඳ බැස ගියේය. ඒ දීඝවාපිය ගැන කතා කරන්නට බොහෝ දේ ඉතිරිකරය. තෙදිනක්‌ පුරා පැවැති දීඝවාපි පොසොන් සැණකෙළියෙන් පසු දින ගම්මු කඩිමුඩියේ දීඝවාපියට එක්‌රොක්‌ වූහ. දීඝවාපිය ඒ උණුසුමින් රත්වී ගියේය. මුළු රටම බලා සිටියේ දීඝවාපියේ සිදු වූ දේ වටහා ගැනීමට නොහැකිවය. එක්‌ පැත්තකින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර දයා සරණ පදනමට චෝදනා කළේ ඔවුන් සංවිධානය කළ පොසොන් සැණකෙළය නිසා දීඝවාපී පුරාවිද්‍යා භූමියට හානි සිදුවූවා කියාය. සංගීත සංදර්ශන පැවැත්වීම නිසා ඓතිහාසික දීඝවාපී දාගැබ නුදුරේම අකටයුතු කම් සිදු වූවා යෑයිද චෝදනා එල්ලවිය. එහෙත් එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක වන දයා ගමගේ මේ සියල්ල එකහෙළාම ප්‍රතික්‌ෂේප කළේය. ඔහු ඊට හේතු දක්‌වමින් කීවේ වෙනත් කතාවකි. ඇතැමුන් මේ ගැටුම දකින්නේ පොසොන් සැණකෙළිය නිසා හටගත්තක්‌ නොව කාලයක්‌ තිස්‌සේ මේ දෙදෙනා අතර පවතින දේශපාලන විරසකය වෙනත් අයුරකින් කලඑළි බැසීමක්‌ ලෙසය. අපි ඒ ගැන පූර්ව නිගමනයක්‌ ඔබට නොදෙමු. නමුත් මේ සිදුවීම ගලා ගිය අයුරුත් ඒ ඒ පාර්ශ්ව කර කී දැත් මෙසේ සටහන් කරමු.

දීඝවාපියේ පොසොන් සැණකෙළිය

දයා සරණ පදනම මූලිකත්වයෙන් පැවැති දීඝවාපියේ පොසොන් සැණකෙළිය මෙවර පවත්වා ඇත්තේ පස්‌වැනි වරටය. මේ සැණකෙළිය පැවැත්වීම පිළිබඳව දීඝවාපි විහාරාධිකාරි හිමියන් ප්‍රමුඛ සංවිධායක මණ්‌ඩලය පූර්ව සාකච්ඡාවක්‌ පවත්වා තිබිණ. එහිදී පොසොන් කලාපයට අදාළ දාන, ශීල, භාවනා, දන්සල් පැවැත්වීම, මග දෙපස සැරසීම සහ ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳ කාරණා සාකච්ඡාවට බඳුන්ව ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ අනුමැතිය ලැබිණ. නමුත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ඉකුත් දෙවැනිදා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේ තම දෙපාර්තමේන්තුව පොසොන් සැණකෙළියක්‌ සඳහා අවසර නොදුන් බවය. එසේම එම සැණකෙළිය සඳහා සූදානම් කරන අතරතුරදී පුරාවිද්‍යා භූමියට හානි සිදුවන ලෙස ඉදිකිරීම් සිදුවන බවට පැමිණිලි ලැබුණු බව ඔහු මාධ්‍යයට කීවේය. ඊට ප්‍රතිචාර දක්‌වමින් දිසාපතිවරයාට එවැන්නක්‌ සිදුවේනම් වළක්‌වන ලෙස ලිතව දැන්වූ බව හෙළි කළේය. නමුත් දීඝවාපි විහාරාධිපති නායක හිමියෝ ඊට පිළිතුරු බඳිමින් එවැනි කිසිදු හානියක්‌ දීඝවාපි පුරාවිද්‍යා භූමියට සිදුනොවන බව අම්පාර දිසාපතිවරයාට දන්වා ඇත. පොහොය දින පැවැති දන්සැලෙන් පසු දීඝවාපි පොසොන් සැණකෙළිය පැවතියේ ඉන් පසුවය.

මේ පොසොන් සැණකෙළියේ අවසන් දින දෙකේ මහා සංගීත සාඡ්ජයක්‌ පැවතිණි. සැණකෙළියක සංගීත සාඡ්ජයක්‌ පවතින විට එතැනට එන කොල්ලො කුරුට්‌ටෝ පන්සිල් නොරකිති. එය කාටත් තේරුම් ගත හැකි සත්‍යයකි. බුදුපියාණන්ගේ නිය ධාතුව වැඩහිඳින දීඝවාපි සෑ රදුන් පෙනෙන නොපෙණෙන මානයේ චොකා බයිලා නැටීම කුමන ලෙසකින්වත් අනුමත කළ හැක්‌කක්‌ නොවේ. දයාසරණ පදනම මේ පොසොන් සැණකෙළිය තුළ කෙතරම් සද්ක්‍රියාවල නිරත වුවත් සරත් වීරසේකර පාර්ශවය ඔවුන්ට තොණ්‌ඩුව දමන්නේ එම හේතුව මුල්කර ගනිමිණි. ඉඳින් එය සදාචාරවත් බෞද්ධයකුට අභියෝග කළ හැක්‌කක්‌ ද නොවේ.

එමෙන්ම මේ කතාවේ තවත් පැති කිහිපයක්‌ම තිබේ. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේදී 02 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී හෙළි වූ පරිදි මේ සංගීත සැඳෑව පිළිබඳ දීඝවාපී පුදබිමේ සිටින පුරාවිද්‍යා නිලධාරීන් හා පොලිසිය දැනුවත්ව තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, සරත් වීරසේකර පාර්ශවයත් මේ ගැන 23 වැනිදා වන විට දැනුවත්ව සිට තිබේ. ඔවුන් එම අවස්‌ථාවේදී එය වළක්‌වනවා වෙනුවට වැඩේ සිදුවන්නට හැර බලා සිටීමෙන් හෙළිවන්නේ එම අකටයුත්ත වැළැක්‌වීමේ පරමාර්ථයට වඩා පොසොන් සැණකෙළියේ සංවිධායකයන්ට ගේමක්‌ දීමට එය කදිම අවස්‌ථාවක්‌ කරගත් බවකි.

සැණකෙළිය අනතුරුව පූජා භූමියට සිදුවූ හානිය සොයා බැලීමට පැමිණි සරත් වීරසේකර මන්ත්‍රීවරයාගේ කාර්යාල නිලධාරීන් හා ගම්මුන් අතර වූ ගැටුමට හේතුව ද පුරාවිද්‍යා නිලධාරීන්ගේ අඥණකම හැර වෙන කිසිවක්‌ නොවේ. අප එවැනි චෝදනාවක්‌ කරන්නේ එහි සිදුවූ හානිය සොයා බැලීමට නෛතික අයිතිය ඇත්තේ පුරාවිද්‍යා නිලධාරීන්ට බැවිනි. අඩුම තරමේ එම සිද්ධියට මුල් වූ මන්ත්‍රීවරයාගේ නිලධාරීන් සමග පුරාවිද්‍යා නිලධාරියකු සිටියේ නම් මේ තත්ත්වය මීට වඩා වෙනස්‌ වන්නට ඉඩ තිබිණි. එහෙත් කරුණු එසේ වූවා පමණක්‌ නොව ඔවුන් මේ පොසොන් සැණකෙළියේ ක්‍රියාකාරීව සිටි දීඝවාපි විහාරයේ මහඔය සෝභිත හිමියන් සමග ද ගැටුමක්‌ ඇතිකර ගනී.

මහඔය සෝභිත හිමියන් අත්දුටු සිද්ධිය

එදා උදේ 9.30 ට විතර ඩිෙµන්ඩර් එකක්‌ ආවා. ඒකේ ආව පුද්ගලයෝ දෙන්නෙක්‌ තොරණ තිබුණ තැනට බියර් බෝතල් හතරක්‌ පහක්‌ ගෙනත් දාගෙන වීඩියෝ කරනවා දැක්‌කා. මම ඒ අයගෙන් ප්‍රශ්න කළාම කිව්වෙ ඒ අය ආවේ මාධ්‍ය ආයතනයකින් කියල. ආයතනය මොකක්‌ද කියල ඇහුවාම කිව්වෙ අපි ලංකාවෙ පුරවැසියන් අපි අවශ්‍ය තැන්වලට දන්වල ඇවිත් තියෙන්නෙ කියල. තොරණ ළඟ බියර් බෝතල් වැටිල තිබුණෙ නෑ. මම දන්නෙ නෑ ඒ අය කොතනින් අහුලලා ගෙනත් දැම්මද කියලා. හැබැයි තොරණ ළඟට බියර් බෝතල් ගෙනත් දාලයි මෙයාලා වීඩියෝ කළේ. මම ඒකට විරුද්ධ වෙනකොට මගේ අතින් ඇද ඇද බනින්න පටන් ගත්තා. ගමේ කීප දෙනෙක්‌ මේ සිද්ධිය දැකල එතනට ආවා. ඊට පස්‌සෙ තමයි මේ අයට ගමේ මිනිස්‌සුන්ගෙ විරෝධය එල්ල වුණේ.

දැන් මේ අය ප්‍රවෘත්ති සාකච්ඡා තියල මාධ්‍යයට කියල තියනවා පුරාවිද්‍යා භූමියට හානිවන ලෙස වළවල් හාරල තියෙනවා කියල. ඕනම කෙනෙක්‌ට ඇවිල්ල බලන්න පුළුවන්. එහෙම හානියක්‌ මෙතන වෙලා නෑ. තොරණ ඉදිකළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විහාරය ඉදිකිරීමට අනුමත කළ භූමියෙ. කතුරු ඔන්චිල්ලා හදන්න භූමිය හැදුවෙ නෑ. යකඩ ප්ලේට්‌ උඩයි කතුරු ඔන්චිල්ලා හැදුවෙ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ ප්‍රකාශය

දීඝවාපී පූජා භූමියේ පොසොන් කලාපය නිමිතිකරගෙන දැනට වසර පහක ඉඳන් දයා ගමගේ මහත්තයා සැණකෙළියක්‌ පවත්වනවා. මේ සැණකෙළිය නිසා ඉදිවන කතුරු ඔන්චිල්ලා, මැලිගො රවුම් නිසා පූජා භූමියට හානි සිදුවෙනවා. සංගීත සංදර්ශනය නිසා දාගැබට නුදුරින් මිනිස්‌සු බීමත්ව හැසිරෙනවා. කෝලහල සිදුව තිබෙනවා. මේ ගැන දිගින් දිගටම මහජන නියෝජිතයො විදියට අපට පැමිණිලි ලැබුණා. මෙවරත් එම සැණකෙළිය පැවැත්වුණාට පස්‌සෙ එයින් සිදු වූ හානිය සොයා බලන්න තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ ඉල්ලීම පරිදි ඔවුන්ගෙ සහයට මගේ කාර්යාල නිලධාරීන් දෙදෙනෙක්‌ එම ස්‌ථානයට පිටත් කළේ. එතැනදි තමයි විහාරස්‌ථානයේ තරුණ හිමි නමකට මරණීය තර්ජන කළා කියලා බොරු චෝදනා නගල එහි සිටි පිරිසක්‌ මිනිස්‌සු කුපිත කළේ.

දීඝවාපී ප්‍රතිසංස්‌කරණ සභාවේ සභාපති දයා ගමගේ ගේ හෙළිදරව්ව

අපි මේ පොසොන් කලාපය වසර 05 ක ඉඳන් කරගෙන එනවා. මේ පාර එය කරන්න දෙන්නෙ නෑ කියල කලින් ඉඳන්ම ඔය කියන අය කියල තියනවා. පොසොන් කලාපය නිසා පූජා භූමියට කිසිම හානියක්‌ සිදු වුණේ නෑ. තොරණ ඉදිකරෙත් විශ්‍රාම ශාලාව හදන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දීලා තියෙන භූමියෙ. මෙඩිගො රවුම් ඉදිකළේ යකඩ ප්ලේට්‌ උඩ. ඒ නිසා පූජා භූමියට හානියක්‌ වුණා කියන්න බෑ, අනික මේ පොසොන් සැණකෙළිය පැවැත් වුණෙ නොමිලෙ. දීඝවාපී ප්‍රතිසංස්‌කරණ සභාවෙ සභාපති විදියට ඉන්නෙ මම. දීඝවාපි නායක හාමුදුරුවන්ගෙ ඉල්ලීම මත දයා සරණ පදනම මූලික වෙලා පොසොන්වලට පෙර අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පාසල් දරුවන්ට ලොකු වැඩ කොටසක්‌ කරනවා. ඒකට ලක්‍ෂ 75-100 ක්‌ වියදම් වෙනවා. පොසොන් සැණකෙළියේ කඩවලින් පමණයි මේ අරමුදලට මුදල් ලැබුණෙ. වැඩිම වුණොත් එතන ලක්‍ෂ එකහමාරක්‌ තියෙන්න ඇති. පොසොන් කලාපයට පැමිණි රථවාහනවලින් ටිකට්‌ කැඩුවෙ අපි නෙවෙයි. අම්පාර වාණිජ මණ්‌ඩලය.

මේ විරසකයට තුඩුදෙන නොකියවෙන කතාව

දීඝවාපියේ පොසොන් සැණකෙළිය සම්බන්ධව දයා ගමගේ මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර අතර පවතින සීතල යුද්ධයට තුඩුදෙන නොකියවුණු කතාවක්‌ ද තිබේ. ඒ දයා සරණ පදනම දීඝවාපියේ පොසොන් සැණකෙළියක්‌ පවත්වන විට අම්පාර නගර සභාව මූලිකව සරත් වීරසේකර පාර්ශවයද, අම්පාරේ පොසොන් සැණකෙළියක්‌ සංවිධානය කිරීමයි. මේ සැණකෙළි දෙක අතරින් දීඝවාපියේ පැවති පොසොන් සැණකෙළිය නොමිලයේ පැවැත්වූවකි. එහෙත් නගර සභාව මූලිකව පැවති පොසොන් සැණකෙළියේ සංගීත සන්දර්ශන පවත්වා ඇත්තේ මුදලක්‌ අයකිරීමෙනි. එසේම මෙම සැණකෙළිය සංවිධානය කිරීමට අම්පාර නගරාධිපති නලීන් ජයවික්‍රම සභාපතිත්වයෙන් යුතු පොසොන් කමිටුව අම්පාරේ කඩ සාප්පුවලින් අවම වශයෙන් රුපියල් විසිපන්දහසක්‌ එකතු කිරීමට සැලසුම් කෙරිණි. එ ස`දහා ව්‍යාපරික ආයතන වලින් ඉල්ලීම් කර ලිපි යවාද තිබේ. මෙම උත්සහය ව්‍යාර්ථ කර ඇත්තේ අම්පාර වාණිජ මණ්‌ඩලයේ සභාපති වන දයා ගමගේ බවද තතු දත් අය කියති. මේ තත්ත්වය මත පැවති අම්පාරේ පොසොන් සැණකෙළියට ජනතාවගෙ සහභාගිත්වය අඩුව පැවති බවද දැනගන්නට ලැබේ. එය මේ දෙපාර්ශවය අතර නොහොඳක්‌ ඇතිවීමට හේතුවක්‌ වූ බව කියන්නෙ අප නොව එම ප්‍රදේශයේ මිනිසුන් විසිනි.

නමුත් මේ සියලු කතා කිරා මැන බලන විට අපට කීමට කතාවක්‌ තිබේ. දයා ගමගේ සහ සරත් වීරසේකර යන මේ දෙදෙනාගේම අරමුණ දීඝවාපිය නගාසිටුවීමත් අම්පාරේ ජනතාවට සේවය කිරීමත් නම් ඔවුන් දෙදෙන එකම අරමුණක පිහිටි සැදැහැවතුන් වෙති. ජනතා නායකයෝ වෙති. ඉඳින් ආගමට ජාතියට සේවය කිරීම පරම අභිලාශය නම් අනෙකා පාගා නැගී සිටින්නේ කුමකටද?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: