Posted by: lrrp | September 1, 2013

පන් පැදුරට පණ දෙන්නට හදන රන්මිණි‍ෙක් මැණිකේලා

අතීතයේ ඕනෑම ගැමි ලියකට පන් පැදුරක් වියා ගැනීමට, ඇතුල්පොතක් වියා ගැනීමට හැකියාව තිබුණා සේම එකල වගුරු බිම්වල මෙන් ම පාළුවට ඇරුණ වෙල් යායවල ද ඕනෑ තරම් පන් වර්ග තිබිණි. පැදුරක් එතරම් මිලක් නොවුව ද අද නම් රටා පැදුරක මිල රුපියල් තුන්දාහ ඉක්මවන්නේ ය. එමෙන් ම පන් විවීමේ දක්ෂතා ඇත්තෝ නැත්තෝ මෙන් ම ඉස්සර මෙන් පන් වර්ග ද අද නැත. කාලයත් සමඟ පන් කර්මාන්තය වියැකී ගිය ද ඉඳහිට අහම්බෙන් මෙන් ඈත පිටිසර ගම්වල නම් පැදුරු වියන්නියෝ හමුවෙති. කලක් පවුල් කිහිපයක් ම පන් විවීමේ නියැළුණු මිල්ලනිය රන්මිණික ගමේ අද පන් වියන්නියන් සිටින්නේ අතේ ඇඟිලි සංඛ්‍යාවටත් අඩ‍ු ප්‍රමාණයකි.

“මට මතකයි මමයි නංගියි මල්ලියි පුංචි කාලේ අ‍පි රෑට පාඩම් කරන තුරු අම්මා කුප්පි ලාම්පුව පත්තු කරගෙන පන් වියනවා. ඊටත් කාලෙකට පස්සේ මං සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයට ලියන කාලෙත් අම්මා කුප්පි ලාම්පුව තියාගෙන පන්වියනවා. අම්මයි තාත්තයි අපි වෙනුවෙන් වෙන මහන්සිය දැක්කම කොහොම හරි ඉගෙන ගන්න ඕනය කියන උනන්දුව මට තිබුණා. මම කැම්පස් ගියා. ඒ කාලෙ වෙන විටත් අම්මා පැදුරු වියනවා. මං උපාධිය ලබා ගත්තා.

අම්මා විවිධ මෝස්තරයේ රටා පැදුරු විව්වා. ඒ වගේ පුංචි පර්ස්, හැන්ඩ් බෑග් ආදිය හැදුවා. මං මේවත් අරගෙන කඩවලට ගියා. එක කඩේකින් මගෙන් ඇහුවා උපාධියකුත් තියාගෙන පැදුරු වියන්න පටන් ගත්ත ද කියලා. ඊටත් කාලෙකට පස්සේ මං රජයේ රැකියාවකට ගියා. අම්මා පැදුරු වියන එක අත්හැරියේ නැහැ.

මල්ලියි නංගියි මටත් වඩා හොඳට පැදුරු වියන්න දන්නවා. හොඳටම පැදුරු වියන්න දන්නේ මල්ලී. තාත්තා කුඹුරු ගොවිතැන්වලට අමතරව පන් විලක් කරනවා. ඒ විලේ පන් අපට විතරයි. දැන් මේ ගමේ ඉස්සර වගේ පන් වියන්න දන්න අය නැහැ. ඒත් අපේ අම්මා තාමත් හොඳට රටා දාලා පැදුරු වියන්න දන්නවා.”

සරෝජනී පවසන්නේ අම්මා ගැන ආඩම්බරයෙනි. සරෝජනී කියන ඇගේ මව මිල්ලනිය දකුණ රන්මිණික ගමේ පදිංචි බී. ජයවතීය. වයස අවුරුදු පනස් නවයක් වන ඇය හස්ත කර්මාන්ත සම්මානයෙන් පිදුම් ලැබූ රටා පැදුරු වියන්නියකි.

අතීතයේ සෑම ගෙදරකම පැදුරු තිබිණි. ඒවා බොහෝ විට වියමන් වූයේ ගෙදර කාන්තා‍වගේ දෑතිනි. එහෙත් අද අපේ රටේ පැදුරු වියන්න දන්නියෝ එතරම්ම නැත. ඇතැමෙක් මෙය පහත් තත්ත්වයේ ලා සලකති.
තුංහිරියා පන් තුනට ඉරාපන්

ගල්ලැහැ නං පන් මැදලා වියාපන්

බොරු පන් නං පන් තලලා වියාපන්

මේ තුන අරගන් පැදුර පුරාපන්

අද තුන්හිරියා හෝ බො‍රුපන් එතරම් දකින්ට නැති වුව ද ගල්ලැහැ පන් නම් තවමත් ගම්වල පුරන් කුඹුරුවල වැවී තිබෙනු දැකීමට පුළුවන. ඇතැමෙක් වැටකෙයිවලින් ද පැදුරු විවීම කළහ. පැදුර පමණක් නොව පන් මලු, වට්ටි පෙට්ටි ඇතුළුපත් ආදිය ද අතීත ගම ගෙවල්වල පන්වලින් සැකසී තිබිණි. බොහෝ විට මුළුතැන්ගෙයි පිසෙන බත් තුනී කිරීමට යොදා ගැනුණේ ද පන්වලින් වියන ලද ඇතුල්පත් ය. එමෙන් ම වී වේළීමට මාගල තිබිණි. අද නම් මේ කිසිවක් බොහෝ නිවෙස්වල දැකිය නොහැකි වුව ද තවමත් පන් පැදුර හා පන් ආශ්‍රිත නිෂ්පාදනවලට නම් ඉල්ලුමක් තිබේ. කෙසේ වෙතත් ජයවතී හා ඇගේ සැමියා පියසේන තවමත් පන් කර්මාන්තයේ නියැළේ.

“මම පැදුරු වියන්න ඉගෙන ගත්තේ මගේ අම්මාගෙන්. අපේ පරම්පරාවෙ අය පැදුරු විවීම තමයි කළේ. මම ඉස්කෝලේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. මට මතකයි මගෙ අම්මා කුප්පි ලාම්පුව තියාගෙන රෑ තිස්සේ පැදුරු වියනවා. අම්මා සමහර වෙලාවට පැදුර පුරලා තියලා ගෙයි වෙනත් වැඩකට නැගිටලා ගියාම මම වාඩිවෙලා එතැන ඉදලා පැදුර වියනවා.

එහෙම කරලා තමයි මම පැදුරු වියන්න ඉගෙන ගත්තේ. දරුවෝ පුංචි කාලේ එයාලගෙ අධ්‍යාපන කටයුතුවලට මං පැදුරු වියපු එක ලොකු සහනයක් වුණා. ඒ කාලේ නම් පැදුරක් එච්චර මිල නැහැ. නමුත් දැන්නම් ගල්ලැහැ රටා දැමූ පැදුරක් රුපියල් තුන් දාහක් විතර වෙනවා” ජයවතී පවසන්නීය.

මීට කලකට පෙර මිල්ලනිය හා ඒ අවට ගම්මානවල වගුරු බිම් ආශ්‍රිතව ඕනෑතරම් පන් තිබිණි. එහෙත් අද එක්කෙනෙකු දෙන්නෙකු වගා කරන පන් හැරෙන්නට එදා තිබූ තෙත් බිම්වල අද පන් දැකිය නොහැකි ය.

“පැදුරුවලට වට්ටි පෙට්ටිවලට හොඳ ඉල්ලුමක් තිබුණත් ඒවා සකසන්න අවශ්‍ය පන් අපිට තිබුණේ නැහැ. අපි පන් ගෙනාවේ සල්ලිවලට. ඒත් මීට අවුරුදු දෙක තුනකට කලින් අපිට ශිල්ප සභාවෙන් පන් වගා කරන්න පන් මුල් ලබාදුන්නා. ඒ ටික තමයි අපි මේ වගා කරගෙන රැකගෙන එන්නේ. සාමාන්‍යයෙන් ඒ වැවෙන පන් අපේ නිෂ්පාදන කිරීමට සෑහෙනවා.

ශිල්ප සභාවෙන් ලබාදුන් පන්මුල් ඔවුහු කුඹුරුයාය හා ඕවිට අද්දර තෙත් බිමක වගා ක‍ළහ. පන් වවන්න ද එක්තරා ක්‍රමවේදයක් ඇත. එය හොඳින් ම දන්නේ පියසේන ය.

“පන්වවන්න නිකම්ම බැහැ. එක වටයක පන් කැපුවට පස්සේ පන් විල පුච්චන්න ඕනෑ. එතකොට තමයි නැවත ටික දවසකින් ඒ පිච්චිච්ච තැන්වලින් පුපුරලා පන් ඇදෙන්නේ. පුච්චන්න බැරි වුණොත් නම් පන් වවාගැනිල්ල බොරු. යාන්තම් ඇදීගෙන එන විට රබර් පෝර දානවා. සාමාන්‍යයෙන් මාස දෙක හමාරක් තුනක් යද්දී පන් කපන්න පුළුවන්. අවුරුද්දට තුන් හතර සැරයක් විතර අපි පන් කපනවා” පියෝනිස් පවසන්නේ ය.

ඔහු කපාගෙන එනු ලබන පන් ජයවතී විසින් අව්වේ දා වියළා ගනු ලැබේ. බාගෙට වියළුණ විට පන් ගහේ ශක්තිය හීන වී යයි. එවිට ඒ පන්වලින් සදන පැදුරු ආදිය බොහෝ කල් පාවිච්චි කිරීමට නොහැකි ය. හොදින් වියලා ගත් පන් ගස් සායම් දැමීම ද සිදු කරන්නේ ඔවුන් විසින් ම ය. සායම් දැමූ වතුර මුට්ටියක් හොඳින් රත්කර ඊට පන් දමා තම්බා ගනු ලැබේ. මෙසේ තම්බා ගනු ලබන පන් මද පවනේ හොඳින් වේලාගනු ලැබේ. ඉන් පසුවය පන් විවීම ආරම්භ කරනු ලබන්නේ.

ඩබ්. එම්. ජයවතී හා ටී. ඉන්ද්‍රානි මැෂින් පැදුරු විවීමට ජයවතීගේ නිවෙසට පැමි‍ෙණති. සහායිකාවන් දෙදෙනා වියන පැදුරුවලින් ජයවතී වෙනත් අපූරු නිමැවුම් කරන්නීය‍. ඇය ඒ සඳහා පුහුණුව ලැබුවේ ශිල්ප සභාවෙන් හා සමෘද්ධි වැඩසටහන් හරහා ය.

“නවීන මෝස්තර අනුව අත්බෑග්, පර්ස් ෆයිල් බෑග් ආදිය වියන්න අපට සමෘද්ධියෙන් පුහුණුව ලබාදුන්නා. ඒ අනුව තමයි මම බෑග් හදන්න පුරුදු වුණේ.‍ මුලදී නම් අපට මේ අලුත් දේවලට හුර‍ැවෙන්න අමාරු ‍වුණා. ඒත් එදා පුහුණුව ලබපු අයගෙන් අද මම විතරයි ඒකටයුත්ත කරගෙන යන්නේ.”

ජයවතී ධෛර්යය සම්පන්නය. එනිසා ම ඇය පන් ආශ්‍රිත නිර්මාණ කිරීමෙන් කිහිප වරක් ම සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

මාව ප්‍රදර්ශන ආදියට යොමු කිරීමට හුඟක් ම අත දුන්නේ හස්ත කර්මාන්ත ආයතනයේ රංජනී සුරවීර මිස්. ඊට අමතරව ශිල්ප සභාවේ චන්ද්‍ර ගුප්ත සර්ගෙනුත් අපට සහාය ලැබුණා. ඔවුන් තමයි අපට අලුත් දේවල් ගැන හැම විටම කියලා දුන්නේ.

මම මුලින් නම් පැදුරු විව්වට ප්‍රදර්ශනවලට ඉදිරිපත් කළේ නැහැ. දැන් නම් අපි ශිල්ප සභාවේ ප්‍රදර්ශන වලට දැයට කිරුළ ප්‍රදර්ශන සඳහාත් අපේ නිර්මාණ ඉදිරිපත් කරනවා.”

දෙදහස් නවය වසරේදී හස්ත කර්මාන්ත දීප ව්‍යාප්ත තරගයේදී කෙඳි හා පත්‍ර ආශ්‍රිත නිර්මාණ අංශයෙන් ජයවතීට රජත සම්මානය හිමි වූවාය.

දෙදහස් දොළහේ දී බස්නාහිර පළාතේ පේෂ කර්මාන්ත ප්‍රදර්ශනයේදී පැදුරු අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි වූවා ය. රජත සම්මානය ලද අවස්ථාවේදී ඇයට තවත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් පිරිසක් සමඟ ඉන්දීය සංචාරයක යෙදීමටත් එරට හස්තකර්මාන්ත පිළිබඳව දැකබලා ගැනීමටත් අවස්ථාව ලැබිණි.

ජයවතී වයසට යමින් සිටිය ද ඇයට තවමත් පා වියමන් පැදුරක් පුරන්නට එතරම් වෙලාවක් යන්නේ නැත. අඩි තුනක් පළල අඩි හයක් දිග පැදුරක් ඇය සතියකින් පමණ වියා හමාර කරන්නීය.

කලකට පෙර ජයවතී පමණක් නොව ඇගේ දියණියන් දෙදෙනා ද පුතු ද පන් කර්මාන්තයේ නියැළුණේ ය. එහෙත් අද ඒ කර්මාන්තයේ නියැළෙන්නේ ජයවතී පමණි. දියණියන් හා පුතු දැන් රැකියාවල නියුක්ත නිසා ඔවුන්ගේ සහාය ජයවතීට ලැබෙන්නේ නැත. එහෙත් එදා සිටම ඇයට තම සැමියාගේ සහාය උපරිමයෙන් ලැබේ.‍

තමන්ට ම කියා පන් විලක් නොතිබුණ කාලයේ ඔවුන් පන් මිලට ගත්තේ ය. එහෙත් අද ඔවුන්ට ම කියා පන් විලක් ඇත්තේ ය. ඒ නිසා පැදුරු කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිර්මාණ කරගෙන යාමට ඔවුන්ට තවමත් අවස්ථාවක් තිබේ‍.

කලකට පෙර මිල්ලනිය හා ඒ අවට රන්මිණික ගම්මානයේ ම පැදුරු හා පන් කර්මාන්තයේ යෙදී සිටි පවුල් කිහිපයක් ම සිටියේ ය. එහෙත් අද ඒ පළාතටම සිටින්නේ ජයවතී පමණය. ඉදින් ජයවතීත් සමඟම මෙලෙස බොහෝම ජයට කෙරුණ පන් කර්මාන්තය ද මිල්ලනිය රන්මිණික ගම්මානයෙන් නැත්තටම නැතිවී යාවිද?

Advertisements

Responses

  1. විස්තරේ නම් අපූරුයි.. එත් මෙවා මිලදී ගන්න තැනක්… මේ අයගේ දුරකතන අංකයක් එහෙම දැම්මොත් නරකද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: