Posted by: lrrp | October 8, 2013

පැරකුම් රජුගේ යුද සිරකාරියක් වූ සුගලා බිසව

ලංකා ඉතිහාසයේ තුන්වැනි වරටත් ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් රට බේරාගෙන එක්සේසත් කොට, සිය රාජධානිය පොළොන්නරුවේ පිහිටුවාගෙන ක්‍රි. ව. 1055 සිට 1110 දක්වා පනස්පස් වසරක් ලක් රජය හෙබැවූ පළමුවැනි විජයබාහු රජුගෙන් පසු රට නැවතත් රාජ්‍ය හතරකට බෙදී ගියේ ය.

ඊට හේතු වූයේ විජයබාහු රජුගේ පුත් වික්‍රමබාහු කුමරු සිහසුනට පත්වීම වළක්වා සිය පුතුන් තිදෙනා වූ මානාභරණ, කිත්සිරිමේඝ හා ශ්‍රී වල්ලභ යන කුමාරවරුන්ට රාජ්‍ය බලය ලබාදීම සඳහා රජුගේ ම නැඟණියවූ මිත්තා කුමරිය අනුගමනය කරන ලද උපායශීලී වැඩ පිළිවෙළ ය.

කෙසේ හෝ මිත්තා කුමරියගේ උපාය පරදවා වික්‍රමබාහු කුමරු පොළොන්නරුවේ රජ වූ අතර රටේ සෙසු ප්‍රදේශ දක්ඛිණ දේශය, අටදහස් රට සහ දොළොස්දහස් රට යනුවෙන් කොටස් තුනකට බෙදනු ලැබ මිත්තා කුමරියගේ පුතුන් තිදෙනාගේ පාලනය යටතට පත් විය. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම අගනුවර කොටගෙන දක්ඛිණ දේශය පාලනය කරන ලද්දේ මානාභරණ රජු විසිනි.

රුහුණට අයත් දොළොස් දහස් රට සහ අටදහස් රට යන රාජධානි දෙකෙහි රජවරුන් වූයේ කිත්සිරිමේඝ සහ ශ්‍රී වල්ලභ ය. දක්ඛිණ දේශය පාලනය කළ මානාභරණ රජු වසර කිහිපයක් ඇවෑමෙන් අකල් මරණයකට පත් වූ නිසා කිත්සිරිමේඝ රජු දොළොස්දහස් රටේ පාලනය ද ශ්‍රී වල්ලභ රජුට පවරා දැදිගමට ගොස් දක්ඛිණ දේශයේ රජු බවට පත් විය. ඉන් පසු මුළු රුහුණේ ම පාලකයා වූයේ ශ්‍රී වල්ලභ රජු ය.

සුගලා බිසව වූ කලී ශ්‍රී වල්ලභ රජුගේ මෙහෙසිය යි. පසු කලෙක පොළොන්නරුවේ රජු බවට පත් ව මහා පරාක්‍රමබාහු නමින් ප්‍රකට වූ පරාක්‍රමබාහු කුමරු ඔවුන් දෙදෙනාගේ දියණිය වූ ලීලාවතී කුමරිය විවාහ කැරැ ගැනීම නිසා සුගලා බිසව මහා පරාක්‍රමබාහු රජුගේ නැන්දණිය ද වූවා ය. පරාක්‍රමබාහු කුමරුගේ පියා වූයේ දක්ඛිණ දේශය පාලනය කැරැමින් සිටින අතර රෝගී ව අකල් මරණයකට පත් මානාභරණ රජු ය. මව වූයේ පළමුවැනි විජයබාහු රජුගේ දූ රත්නාවලී බිසව ය.

ශ්‍රී වල්ලභ සමඟ විවාහයෙන් පසු සුගලා බිසව ගත කළේ මාළිගාවේ වැඩ කටයුතුවලට සීමා වූ, ඉන් පරිබාහිර වගකීම්වලින් ඈත් වූ ජීවිතයකි. ඇගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගත්තේ තවත් “ආගන්තුක තැනැත්තියක” රුහුණු රජ මාළිගයට පැමිණීමෙන් පසු ව ය. ඒ ආගන්තුක තැනැත්තිය වූයේ රත්නාවලී බිසව ය. මානාභරණ රජුගේ අභාවයෙන් පසු දක්ඛිණ දේශයේ රජකම භාරගෙන කිත්සිරිමේඝ රජු දැදිගම රජ මාළිගය සිය වාසස්ථානය කැරැ ගැනීමෙන් පසු රත්නාවලී බිසව තීරණය කළේ තවදුරටත් එහි නොරැඳෙන්නට ය.

කිත්සිරිමේඝ රජු හා ලෝකනාථා බිසව දරුවන් සමඟ එහි රැඳෙන ලෙස කොතෙක් ඇවිටිලි කළ ද රත්නාවලී බිසව තීරණය කළේ සිය දරුවන් පස් දෙනා ද කැටුව රුහුණ බලා යන්නට ය. දූත මෙහෙවර මඟින් ඒ සඳහා සිය සුහුරුබඬුවන් වූ ශ්‍රී වල්ලභ රජුගේ හා සුගලා බිසවගේ එකඟත්වය හා කැමැත්ත ලබාගත් රත්නාවලී බිසව පරාක්‍රමබාහු පුත් කුමරු සහ දූවරුන් සතර දෙනා ද රැගෙන රුහුණු රජ මාළිගයේ පදිංචියට ගියා ය. ශ්‍රී වල්ලභ රජුගෙන් හා සුගලා බිසවගෙන් ඔවුන්ට ලැබුණේ ඉතා සුහද උණුසුම් පිළිගැනීමකි.

රුහුණු රජ මාළිගයේ සුගලා බිසව ඇසුරෙහි ජීවත්වීම රත්නාවලී බිසවගේ සිතට ඇති කළේ සැනැසීමකි, සහනයකි. එහෙත් දිගු කලකට නො වේ.

කල් යත් ම දෙදෙනාගේ චිත්තාභ්‍යන්තරයෙහි හටගත්තේ කුහකත්වයකි. ඒ අන් කිසිවක් නිසා නො ව පිරිමි දරුවන් නිසා ය. රත්නාවලීගේ අභිලාෂය වූයේ සිය පුත් පරාක්‍රමබාහු සුගලාගේ පුත් මානාභරණ අභිබවා ලංකාධීශ්වර බවට පත් වනු දැකීම ය. සුගලාගේ අභිලාෂය වූයේ සිය මානාභරණ රත්වලීගේ පුත් පරාක්‍රමබාහු අභිබවා ලංකාධීශ්වර බවට පත් වනු දැකීම ය. දෙදෙනාගේ මේ අභිලාෂයන්හි ගැටුම විසින් ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරයෙහි ඇතිකරන ලද්දේ කුමන්ත්‍රණකාරී බවකි. එහෙත් ඔවුහු පිටතින් ඉතා සුහද වූ හ.

රත්නාවලී බිසවගේ සම්පූර්ණ අවධානය යොමු වී තිබුණේ පරාක්‍රමබාහු කුමරු අනාගත ලංකාධිශ්වරයා බවට පත් කිරීම පිළිබඳව හෙයින් ඇගේ මුළු කාලය ම යෙදැවුණේ ඊට සුදුසු උපාය මාර්ග කල්පනා කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට ය.

තරුණ පරාක්‍රමබාහු කුමරු සියලු ශිල්ප මැනැවින් ප්‍රගුණ කළේ ය. එහෙත් ඔහු කල්පනා කළේ සටන් කිරීමෙන් තොර ව උපාය මාර්ගයෙන් රටේ වෙනත් රාජ්‍ය තමාට අවනත කැර ගත හැකි නම් එය වඩාත් සුදුසු බව ය. ඒ අනුව ඔහු ඊළඟට කළේ සිය ඥාති සොහොයුරු ගජබාහු යටතේ පාලනය වූ පොළොන්නරු රාජ්‍යයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදීම ය. ගජබාහු එය නොරිස්සූ බව අවබෝධ වූ පරාක්‍රමබාහු කළේ මවගේ ආධාර ඇති ව සිය නැඟණිය වූ භද්‍රාවතිය පොළොන්නරුවට ගෙන්වාගෙන ගජබාහුට විවාහ කැර දී ඔහුගේ සිත දිනාගැනීම ය. කෙසේ හෝ ඉන් පසුව යළිත් ගජබාහුගේ අප්‍රසාදයට ලක්ව පොළොන්නරුව හැර යන්නට පරාක්‍රමබාහුට සිදු විය.

තමාට රහසින් කළ පොළොන්නරු සංචාරය ගැන කිත්සිරිමේඝ රජු තුළ පරාක්‍රමබාහු කෙරෙහි වූයේ දැඩි උදහසක් වුව ද රත්නාවලී බිසවගේ මැදිහත්වීම නිසා ඔහුට ආපසු දැදිගම රජ මාළිගයට පැමිණීමේ අවසරය ලැබුණි.

පරාක්‍රමබාහු කුමරුගේ ඊළඟ උපාය වූයේ රත්නාවලී බිසවගේ දැඩි විරෝධය ද පසෙක ලා ශ්‍රී වල්ලභ සුගලා යුවළගේ දූ කුමරිය වූ ලීලාවතිය විවාහ කැර ගැනීම ය. එමඟින් ඔහු බලාපොරොත්තු වූයේ ඥාති සම්බන්ධය තුළින් අනාගතයේ දී රුහුණු රාජ්‍යය ද තමා වෙත අවනත කැර ගැනීම ය. පරාක්‍රමබාහු කුමරු හා ලීලාවතී කුමරිය අතර විවාහයෙන් වැඩි කලක් ගතවන්නට පෙර කිත්සිරිමේඝ රජු අභාවප්‍රාප්ත වූයෙන් දක්ඛිණ දේශයේ රජු වශයෙන් පරාක්‍රමබාහු කිරුළු පැළැන්දේය.

ඉක්බිති යළිත් පොළොන්නරුව ගැන අවධානය යොමු කළ ඔහුට එවර ගජබාහු පරාජය කොට රජය අල්ලා ගැනීම අපහසු නො වී ය. එහෙත් මහාසංඝයා මැදිහත්ව ඔවුන් දෙදෙනා අතර ඇති කළ සම්මුතියක් අනුව පරාක්‍රමබාහුට පොළොන්නරුවේ සිහසුන හිමි වූයේ ගජබාහුගේ මරණයෙන් පසු ව ය.

මේ අතර රුහුණේ ශ්‍රී වල්ලභ රජුගේ මරණයෙන් පසු මානාභරණ කුමරු සිහසුනට පත් වූයේ ය. සුගලා බිසව නිරතුරු ව ම සිටියේ පරාක්‍රමබාහුගේ සැලැසුම් සහ කුමන්ත්‍රණ ගැන අවදියෙනි. පොළොන්නරුව ජයග්‍රහණය කිරීමෙන් පමණක් පරාක්‍රමබාහු තෘප්තිමත් නොවන බව හා ඔහුගේ ඊළඟ ඉලක්කය රුහුණු රාජ්‍යය බව අවබෝධ කැරැගත් සුගලා බිසව ඉන් පළමු ව පොළොන්නරුව ආක්‍රමණය කිරීමට මානාභරණ උනන්දු කැරැවූවා ය.

පළමුවර පරාක්‍රමබාහු පරදවා පොළොන්නරුව අල්ලා ගත් මානාභරණ පසු ව පලවා හරිනු ලැබී ය. යළිත් පරාක්‍රමබාහුට එරෙහි ව සටනට අවතීර්ණ වූ ඔහුට එවරද පරාජයට පත් ව පසුබසින්නට සිදු විය. බලවත් සිත් තැවුලෙන් පෙරැළා රුහුණට පැමිණි හෙතෙම ඉන් රෝගාතුර ව මිය ගියේ ය.

සිය පුතුගේ පසු බැසීමෙන් හා අවාසනාවන්ත මරණයෙන් ශෝකයටත්, කෝපයටත් පත් සුගලා බිසව එහි පළිය ගන්නට දැඩි ව අධිෂ්ඨානය කැරැගත් අතර රුහුණු වැසියෝ පරාක්‍රමබාහු රජුට විරුද්ධ ව හඬ නඟමින් ඇය සටනට ධෛර්යවත් කළ හ. මානාභරණ රජුගේ මරණය ගැන ශෝක නොවන ලෙස සුගලා බිසවට ආයාචනය කළ ඔවුහු පරාක්‍රමබාහු රජුට රුහුණ යටත් කැරැ ගන්නට ඉඩ නොදෙන බවට සපථ කළ හ.

රුහුණු වැසියෝ බලකොටු ඉදි කැර, ආයුධ සන්නද්ධ ව සටනට සූදානම් වූ හ. රට වැසියන් විසින් උනන්දු කැරැවනු ලැබූ සුගලා බිසව දිවි පරදුවට තබා සටනට එළැඹියා ය. අපේක්‍ෂිත අරමුණ සාක්ෂාත් කැරැගත නොහැකි වුවහොත් ඒ වෙනුවෙන් ජීවිතය පුද කරන්නට ඕ අධිෂ්ඨානය කැරැ ගත්තා ය.

පරාක්‍රමබාහු රජු නිතර ක්‍රියා කළේ ඥාති සොහොයුරියන් හා සොහොයුරන් ගැන ඉවසිලිවන්ත ව ය. බල අරගලයක පැටැලී සිටි සුගලා බිසව ඒ ඉවසිලිවන්ත ගුණය දුටුවේ රට වැසියන්ගේ ප්‍රසාදය දිනාගැනීම පිණිස යෙදූ උපායක් හැටියට ය.

ලක් රජය සඳහා තම බෑනා වූ පරාක්‍රමබාහුට ඇති අයිතියට සමාන අයිතියක් තමාට ද ඇති බව ඇගේ ස්ථාවරය විය. වික්‍රමබාහු රජුගේ පාලන සමය තුළ සිදු වූ ශාසන විනාශය නිසා බෞද්ධ භික්ෂූන් වහ්නසේ විසින් රුහුණට ගෙන යන ලද දන්ත ධාතුව සහ පාත්‍රා ධාතුව ඒ වන විට ද රුහුණේ තැන්පත් ව තිබීම සුගලා බිසවගේ ඒ ස්ථාවරය වඩාත් ශක්තිමත් කළේ ය. ඇගේ අරමුණ වූයේ මුළු රටේ ම බලය ලබාගත නොහැකි වුවහොත් රුහුණේ බලය හෝ තමා අත රඳවාගැනීම ය. එහෙත් දීර්ඝ සටනක අවසන් ප්‍රතිඵලය වූයේ සුගලා බිසවගේ බලකොටු බිඳ වැටීම ය.

සුගලා බිසවගේ සෙනෙවියන් අතර සූකරබාහුදේව නම් අති බලසම්පන්න සෙනෙවියෙක් විය. මානාභරණගේ පොළොන්නරු ආක්‍රමණයේ දී පරාක්‍රමබාහු රජුගේ සෙනෙවියන්ගේ ග්‍රහණයට පත් සූකරබාහුදේව අඳුරු ගුහාවක් තුළ සිර කරනු ලැබී ය.

සුගලා බිසව පරාක්‍රමබාහු රජුට එරෙහි ව සටන් ඇරැඹීමෙන් පසු සිරගෙයින් පලා එන්නට සමත් වූ සූකරබාහුදේව යළිත් සටන් බිමට අවතීර්ණ වූයේ ය.

අති බිහිසුණු ඒ සටනින් තම සේනාවන් පරාජයට පත් වන බව කල් ඇති ව ම දුටු හෙතෙම සුගලා බිසවට වහා ම පලා යන ලෙස උපදෙස් දුන්නේ ය. මේ සංග්‍රාමයෙහි උච්ච අවස්ථාව වූ මෙකී සටන පරාක්‍රමබාහු රජු විසින් කොතරම් කල්පනාකාරී ව සැලැසුම් කරන ලද්දේ දැයි යන්න මහාවංසයේ දැක්වෙන මේ විස්තරයෙන් පැහැදිලි වෙයි. “මෙසේ ආඥා කොට බොහෝ යෝධයනුදු දෙවමින් එම යුද්ධ භූමිය වෙතට ස්වකීය රාජ භවනයෙහි වසන සංග්‍රාමෝපාය කුශල වූ භූතාධිකාරීහු යැවූයේ ය.

ඉක්බිති ඒ මහ ඇමැති තෙමේ පුලස්ති නගරවරයෙන් නික්ම රක්ෂ සේනාධිනාථයා හා කැටිව මහ බල ඇත්තේ ශ්‍රීමත් නරශ්‍රේෂ්ඨයාගේ ආඥාවට විරුද්ධ නොකොට මීසම්මුවා සන්නාහ කරවාගෙන මහා සෙන් සරහාගෙන මහ යුද කොට නොයෙක් සිය ගණන් බොහෝ වූ යෝධයන් මරවන්නේ පිළිවෙළින් කරවූ සත් බලකොටු බිඳුවා එයින් නික්ම කෑලවත්ත නම් ලද ගමට ගියාහු, නැවත එහිදු ඝෝර වූ ඉතා බිහිසුණු යුද කොට එයිනුදු නික්ම වටරක්ගොඩට ගොස් එකල එහිදී නා නා දිගින් පැමිණි සතුරු සෙන් මරවා දළවඩුන් නම් ගම්හි මහ යුද කොට එයිනුදු ගොස් සොහොයුරා නම් ගම්හි මහ යුද කොට එයින් රක්ෂ සෙනෙවි තෙම ලොග්ගල සිටි සතුරු සෙන් සාධණයට නොව බොහෝ බල සෙන් යවා බොහෝ යෝධ සහස්‍රයන් තමා වෙත රැඳැවී ය” ආදී වශයෙන් දැක්වෙන මේ විස්තරයෙන් තවදුරටත් පැහැදිලි වනුයේ පරාක්‍රමබාහු රජු හා සුගලා බිසව අතර සටන කො තරම් බිහිසුණු වී ද යන්න ය.

එය දින ගණනකින්, මාස ගණනකින් හෝ දෙතුන් වසරකින් කෙළවර වූවක් නො වී ය.

පරාක්‍රමබාහු වැනි අති ප්‍රබල රජකුට එරෙහිව දස වසරක පමණ කාලයක් තිස්සේ සටන් කරන්නට තරම් ආත්ම ශක්තියකින් හා රණකාමීත්වයකින් හෙබි සුගලා බිසව ලුහුබැඳ සටන උරුවෙලට ද පැතිර ගියේ ය. තවදුරටත් ලංකාද්වීපය තුළ රැඳී සිටීම අනාරක්‍ෂිත බව තීරණය කළ ඇගේ ඊළඟ සැලැස්ම වූයේ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව රැගෙන ඉන්දියාවට පලා යාම ය. එහි එක් අරමුණක් වූයේ ඒ උත්තරීතර වස්තූන් ද්වය පරාක්‍රමබාහු රජුට අහිමි කිරීමෙන් ඔහු මුළු රටේ ම රජු ලෙස පිළිගනු ලැබීම වළක්වාලීම ය.

අනෙක් අරමුණ නම් ඉන්දියාවෙන් ආධාර සේනා රැගෙන විත් ඔහුට එරෙහි ව සටන් කිරීම ය. එහෙත් ඒ සැලැස්ම ඒ පරිද්දෙන් ක්‍රියාත්මක කරන්නට ඇයට ඉඩ නොලැබුණේ රක්ඛ සෙනෙවියා ප්‍රමුඛ පරාක්‍රමබාහු රජුගේ සේනාව විසින් රුහුණු සේනාව පරාජයට පත් කරන ලදු ව දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව අත්පත් කැරැ ගනු ලැබීම නිසාය. ජීවිතය පරදුවට තබා සටන් කළ සුගලා බිසවට තමා දිවි මෙන් සැලැකූ පාත්‍රා ධාතුව හා දන්ත ධාතුව අහිමි වූ අතර ඒ වස්තූන් පරාක්‍රමබාහු රජු අතට පත්වීමෙන් තමා මුළු ලංකාද්වීපයේ ම නිත්‍යානුකූ®ල රජු බව ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඔහුට උදා විය.

එහෙත් සුගලා බිසව ඉන් මෙල්ල නො වූවා ය. රුහුණු රාජ්‍යය තමා යටතේ තබාගැනීම සඳහා ඕ තවත් ධෛර්යයෙන් සටන් කළා ය. තම නැන්දණිය වූ සුගලා බිසව අනභිබවනීය කාන්තාවක බව වටහා ගත් පරාක්‍රමබාහු රජු රුහුණු සේනාව මුළුමනින් ම පරාජය කොට සුගලා බිසව අල්ලා ගන්නා ලෙසනියෝග කළේ ය.

එහෙත් රුහුණු සේනාව සටන් කළේ මුහුණට මුහුණ ලා නො වේ, තැන් තැන්වල සැඟැ වී සිට ය.

මේ වන විට සුගලා බිසව විශාල බළඇණියක් සමඟ වනගාම නම් ස්ථානයේ රැඳී සිටියා ය. රක්ඛ සෙනෙවියා විසින් මෙහෙයැවුණු පැරැකුම් සේනාව පළමු ව කන්හාවාටයට ගොස් එ තැනින් වනගාමය බලා ගමන් කළ හ.

බිහිසුණු සටනකින් පසු සුගලා දේවිය ජීවග්‍රහයෙන් ගැනීමට ඔවුහු සමත් වූ හ. තම අරමුණ වෙනුවෙන් ජීවිතය පරදුවට තබා දස වසරක් සටන් කළ ශ්‍රේෂ්ඨ රණකාමී සුගලා බිසව අවසානයේ දී මහා පරාක්‍රමබාහු රජුගේ හමුදාවේ ග්‍රහණයට පත් වූවා පමණක් නො ව සිය සෙනෙවියන් ඇතුළු සේනාවන්ට පමුණුවන ලද දරුණු වධ බන්ධන නරඹන්නට ද ඇයට සිදු විය. සිය ගණන් පිරිස් උල හිඳුවන ලද හ.

අත්අඩංගුවට පත් සුගලා බිසව සිරකාරියක ලෙස පොළොන්නරුවට ගෙන යනු ලැබුවා ය. තමන්ට එරෙහි ව සටන් කොට පරාජයට පත් මානාභරණ සහ ගජබාහු යන ඥාති සෙහොයුරන්ට ද කරුණාවෙන් සැලැකූ මහා පරාක්‍රමබාහු රජු දස වසරක පමණ දීර්ඝ කාලයක් පුරා එඩිතරව සටන් කොට පරාජයට පත් සිය නැන්දණියට ද ඒ කරුණාව ම දැක්වූ නමුත් ඇගේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවුණේ රජුගේ සිරකාරියක ලෙසට ය. එහෙත් ඇය හා සම කළ හැකි අන් රණකාමී බිසවක් සිංහල රාජාවලියේ නො වූවා ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: