Posted by: lrrp | October 8, 2013

මීවත්පුරෙන් හමුවුණේ සුගලා දේවියගේ සිරුර ද?

පොලොන්නරු සිංහල රාජධානියේ පරාක්‍රමබාහු රජ සමය යළිත් අපේ මතකයට නැංවෙයි. ඒ මීවත්පුර ගම්මානයේ කැලෑවකින් හමුවී ඇති සුගලා දේවියගේ යැයි සැලකෙන මමියක් නිසාය. ඇත්තටම මේ හමුවී ඇත්තේ සුගලා දේවියගේම දේහයේ කොටසක් ද?

ජනශ්‍රැතිවලට අනුව සුගලා දේවියගේ දේහය මිහිදන් කරනු ලැබුවේ විශාල ගල් පර්වතයක පිහිටි ගුහාවකය. දැන් රට පුරා කසු කුසු නැ‍ඟෙන්නේ ඒ ගල් පර්වතය කඩා ගඩොල් බිත්තියක් යට තිබු දේවියගේ දේහය හා එහි වූ රන් අබරණ පැහැර ගත් බවකි.

එකල සිංහල රාජධානිවල රජකම හිමිවන්නේ ශ්‍රී දළදා කරඬුව භාරකාරත්වය ලැබු අයටය. ඒ අනුව සුගලා දේවිය පරාක්‍රමබාහු රජතුමාගෙන් රාජ්‍ය බලය ලබා ගැනීමේ සටනක නිරතව සිටි බව ද පාත්‍රා ධාතුව කිහිප වරක්ම අත්පත් කරගැනීමට රජු හා සටන් වැදි බව ජනප්‍රවාද කියයි. එකල පොලොන්නරු රාජධානිය රුහුණු දේශයට මායිම් වූයේ මහවැලි ගඟට නැ‍ඟෙනහිරින් පිහිටි ප්‍රදේශයටයි.

රුහුණු දේශයේ පදිංචිකාරියක බව සඳහන් සුගලා දේවිය වත්මන් සිරිපුර නුවරගල ප්‍රදේශයේ රූස්සමලේ කන්දේ සැඟැවී සිට සටන් මෙහෙයවූ බව ද සඳහන්ය.

රණශූර දේහධාරී කාන්තාවක් වූ සුගලා දේවිය බොහෝ කලක් මෙම ප්‍රදේශවල රාජ්‍ය පාලන කටයුතු සිදුකර ඇති බවත් එම ප්‍රදේශයේ පිහිටි ගිරිදුර්ග ආශ්‍රිත ප්‍රදේශවල ඇගේ බලය පැතිර තිබු බව ද ජනශ්‍රැතිවල තවදුරටත් කියැවේ.

සුගලා දේවියගේ අභාවයෙන් පසු ඇගේ දේහය මෙම ප්‍රදේශයේ මීවත්පුර පිහිටි විශාල පර්වතයක ගල් ගුහාවක තැන්පත් කරන ලදැයි පැවැසේ. එහෙත් මේ මතය බැහැර කන පුරාවිද්‍යා විද්වත්හු අනෙක් මතයක් පළ කරති.

මෙසේසුගලා දේවියගේ සිරුර ගල් පර්වතයක් පුපුරුවා හැරීමෙන් හමුවී ඇති බව මීට ටික දිනකට පෙර විවිධ අංශ මඟින් තොරතුරු අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් කුමාර ජෝසප් මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

මීවත්පුර ප්‍රදේශයේ ස්ථාන ගණනාවකම මහා ගල් පර්වත පුපුරුවා හරිමින් ගල් කැඩීමේ ව්‍යාපෘති ආරම්භ කොට ඇත.

මෙම සෑම ගල් පර්වතයකම ඉපැරැණි පුරාවස්තු දැකගන්නට ලැබෙන බව එගම්වැසියෝ කියා සිටිති. එහෙත් විවිධ බලපෑම් හේතුකොටගෙන එම පර්වත ලබාගන්නා පුද්ගලයෝ ඒවා විනාශයට පත්කරමින් මුදල් උපයති.

පොලිස් පරීක්ෂණ දිගටම

ඇතැම් ගල් පර්වත හරහා ගල් ගෙවල් හා උමං මාර්ග දැකගන්නට තිබෙන බව ද කියැවේ.

මීවත්පුර පිහිටි විශාල ගල් කොරියක් වැටලු පොලිස් නිලධාරීහු එහි කටයුතු පිළිබඳව විමර්ශනයක යෙදිණ. අක්කර එකහමාරක ප්‍රදේශයකට බලපත්‍රයක් ලබාගෙන ඇති මෙහි හිමිකරු අක්කර 10 ක පමණ ප්‍රදේශයක පිහිටි ගල් පර්වතය විනාශයට පත්කර තිබිණ.

මෙම ගල් පර්වතයේ ගල් කැඩීම සිදුකරනු ලබන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් මඟිනි. එක් වරකට වෙඩි 100 ක් පමණ යොදා පර්වතය පුපුරුවා හරිනු ලබයි.

පසුගිය දිනක මෙහි සිදුකරන ලද පුපුරුවා හැරීමේදී අඩි 8 ක් පමණ දිගින් යුත් ගල් පෙට්ටියක් හමුවූ බවත්, එය විවෘත කිරීමේදී කාන්තා මළසිරුරක් තිබු අතර එය දිරාපත් නොවූ බව පෙනෙන්නට තිබු බවත් පොලිස් නිලධාරීනට තොරතුරක් ලැබිණ.

එහි තිබු ස්වර්ණාභරණ හා රන්බඩු මේ වන විට අතුරුදන්ව ඇති බවත්, කාන්තා සිරුර කිසියම් ස්ථානයකට ගෙන ගොස් පුලුස්සා ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන අතර, ඒ පිළිබඳව විශේෂ පොලිස් පරීක්ෂණයක් දැන් සිදුවෙමින් තිබේ.

මෙම ගල් පෙට්ටිය හමුවූ ස්ථානය බවට සැක කරන තැන ඉපැරැණි ගඩොල් විශාල ප්‍රමාණයක් ද හමුවී ඇත.

පර්වතය මත පිහිටි මෙම ස්ථානයට පිටතින් පස් ගෙනැවිත් වසා දමා ඇති අතර, එම කටයුතුවල නිරතවූ රියදුරන් ගෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙම අසිරිමත් ගල් කන්ද පුපුරා හැරීම අපේ ඉතිහාසයට දෙස් දෙන විවිධ තැන් විනාශ කිරීමක් ද වන්නේය.

පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල ‍හිමියෝ මෙසේ කියති.

සුගලා දේවිය යනු රණශූරියකි. මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ සහෝදරයා වන කිට්ඨිසිරිමේඝ සුගලා දේවියගේ පියාය. ඇයගේ ස්වාමි පුරුෂයා මානාභරණ යන අයයි.

මහා පරාක්‍රමබාහු රජු සමඟ රාජ්‍යත්වය පතා ඇය විවිධ අවස්ථාවල සටන් මෙහෙයවා ඇති අතර මොනරාගල දිසාවේ ඇතිමලේ උදම්දොර යන ස්ථානයේදී ඇය පැරකුම් රජු හා කළ සටනේ දී මිය ගියාය.

ඇයගේ දේහයේ අවසන් කටයුතු කෙරුණේ එම ස්ථානයේ මිස පොලොන්නරු මීවත්පුර නම් නොවේ.

හමුවී ඇති මමිය වෙනත් කාගේ හෝ විය හැකි අතර එය කිසිසේත්ම සුගලා දේවියගේ නොවන බව මම ඉඳුරාම කියමි. අනෙක් වැදගත්ම කරුණ ශරීරය සමඟ වස්තුව නිදන් කිරීම අපේ රජ සිරිතේ නොතිබුණු එකකි.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: