Posted by: lrrp | April 25, 2014

අපේ පැරැන්නෝ අයියනායක පිහිටෙන් ගැබ්බර වැව් රැකගත්හැටි



වැව් බැඳි රටේ වැව් ගැබ්බර වී පුපුරා ගියේ අද ඊයේ පමණක්‌ නොවේ. පෙරදා ද ගමරාළගේ හෝ වෙල්විදානේගේ හෝ නොසැලකිල්ල අමතකවීම – අතපසුවීම වැනි හේතූන් නිසා ගැබ්බර වූ වැව් පුපුරා ගිය අවස්‌ථා වැව් බැඳි රටේ තැනින් තැන නමුත් අදත් දකින්නට ලැබේ.

“කඩවල” වශයෙන් අද පවතින ගම් වැවක්‌ කැඩීයැමෙන් පසුව ඇති වූ ගම්මානයන්ය. මහමාංකඩවල, අත්තනකඩවල, මරදන්කඩවල ආදී වශයෙන් “කඩවල” නමින් කෙළවර වන හැම ගමකම මුල් ආරම්භය වැවයි. වැවේ වෑ බැම්ම කැඩී විශාල ලෙස හෑරුන වළ කඩවල ලෙස හැඳින්වේ. කඩවලක්‌ හැදුන වැවක්‌ නැවත හැදෙන්නේ කලාතුරකිනි. කඩවල හැදුන වෑ බැම්ම නැවත පිරවූවත් එතැන අවදානමක්‌ පවතී. ඒ නිසා වැවක්‌ සඳහා වෙනත් සුදුසු තැනකට යනවා මිස කඩවලක්‌ හැදුන වැව නැවත හැදීමට උනන්දු වන්නේ කලාතුරකිනි. “ඔලගම්” වශයෙන් හඳුන්වන්නේ වැවක්‌ තිබී පසුව නැති වී ගිය එවැනි ගම්ය.

වැවක්‌ ගැබ්බර වූ විට විදේශීය වාරි තාක්‍ෂණය අනුව අද කරන්නේ හැකිතාක්‌ වාන් දොරටු සහ සොරොව් ඇරීමය. එපමණකින් වැවේ ගැබ්බර අඩු කළ නොහැකි වුවහොත් ඊළඟට වැවේ පිටවාන කපා ජලය මුදාහරිනු ලැබේ. පෙරදා වැහි වතුරෙන් හා එල්ලංගා දියෙන් වැවක්‌ ගැබ්බර වූ විට වැවට අත තියන්නට පෙර පළමුවෙන්ම කරන්නේ කෙම්පහන්ය.

වැවේ ආරක්‍ෂකයා සහ හිමිකරු අයියනායක දෙවියන් ලෙස සැලකේ. වැව් සංස්‌කෘතිය අනුව වැව භාරදී ඇත්තේ අයියනායක දෙවියන්ටය. වැවක වෑබැම්මේ හරි මැද “අයියනාමුණය” ලෙස හඳුන්වයි. එතැන “අයියනායක දෙවියන්ගේ තැන” යෑයි විශ්වාස කෙරේ. වැවක්‌ ගැබ්බර වේගෙන එද්දී වැවේ භාරකරු වන වෙල්විදානේ සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුය. වැවක්‌ කැඩීයැම යනු වැව විනාශ වී යනවා පමණක්‌ නොව වැව නිසා රැකෙන ගම ද විනාශ වී යැමකි. මේ නිසා ඔහු වගකීමෙන් කටයුතු කළයුතු වේ. 

වැවක්‌ ගැබ්බර වේගෙන එද්දී වැව භාර වෙල්විදානේ හෝ ගමරාළ පළමුවෙන්ම කරන්නේ ඇණමැතිරාළ හමුවී වැව වෙනුවෙන්ම වෑකන්දේ කෙළවර රූස්‌ස ගසක්‌ යට පිහිටුවා ඇති. සංහිඳට ගොස්‌ ඇණමැතිරාල් මගින් වැව බේරාදෙන ලෙස අයියනායක දෙවියන්ට භාරහාරවීමය. බුලත් මඩේට – මුට්‌ටි නැවුම් මංගල්ලෙට – කිරි ඉතුරුම් මංගල්ලෙට භාරහාර වී ගමේ “වැව් දෙයියෝ” රැකදෙන ලෙස යාතිකා කරති. එබඳු යාතිකාවක්‌ මෙසේය.

“වැව් දස දහසකට අධිපති වූ උතුම් අයියනායක දෙයි හාංදුරුනේ… පුල්ලෙයාර් මුත්තප් පේ…. ඔබ වහන්සේ අපේ ගමේ ගැත්තන්ට කරන්න හදන වින්නැහිය මොකක්‌ද අප්පච්චියේ…? මේ නොදරුවන් එක්‌ක ඔබවහන්සේට ඒ ඒ තැනේදී පුද පූජා පඬුරු පාක්‌කුඩම් ඔප්පු කළ බව හැබෑ නම්… මුට්‌ටි මංගල්ලෙත් කිරි ඉතුරුම් මංගල්ලෙත් ඉෂ්ට සිද්ධ කළා හැබෑ නම්…. එක දොහක්‌ මඟ නෑර ඔබ වහන්සේ වෙත පුද දී ඇති මේ සංහිඳේ පාන් පත්තු කර ගරුබුහුමන් කළා හැබෑ නම්…. එහෙව් මේ ගැත්තන්ට වැවේ ගැබ්බරය පුපුරා ජීවත්වන්නට ඉඩ නොදී, වැවත් ගමත් බේරා දෙන්න දෙයිහාංදුරුනේ… මේ ආදී වශයෙන් ඇණමැති රාළ අයියනායක දෙවියන්ට යාතිකාවක්‌ කර වැවත් ගමත් රැකබලා ගන්නට භාර දෙයි.

ඉන්පසුව වැව භාර ගමරාළ හෝ වෙල්විදානේ… වැවේ වෑකන්දේ පිහිටි “අයියනාමුණයට” පැමිණ වෙඩි බෙහෙත් තුවක්‌කු ඇති හැම දෙනාටම තුවක්‌කු සූදානම් කරගෙන වහාම “අයියනාමුණයට” පැමිණෙන ලෙස පණිවිඩ යවයි. ඔවුන් කැඳවන්නේ “පූජා වෙඩිල්ල” පත්තු කිරීම සඳහාය. අයියනාමුණය පිහටා ඇත්තේ හරියටම වෑකන්දේ මැදය. වැවේ මැද ඇත්තේ ද ඊට කෙළිනි. අයියනාමුණයේ සිට වැවේ මැදට “පූජා වෙඩිල්ල” නමින් හඳුන්වන වෙඩිමුර පත්තු කළයුතුය.

පූජා වෙඩිල්ල තැබීමට පෙර ඇණමැතිරාළ විසින් බුලත් මඩයක්‌ (බුලත් යහනක්‌) සකස්‌ කරනු ලැබේ. මේ බුලත් මඩය කුල දෙවියන්ට භාරහාර වන රිදී කාසි පඬුරු වශයෙන් තබනු ලැබේ. ඊට අමතරව අත ඇඟිල්ලක්‌ තරම් මහත වූ අඩි හයක්‌ පමණ දිග ඇති ලී කෝටුවක්‌ පොත්ත ගලවා එය කහ දියරෙන් සෝදා පිරිසිදු කොට එයද බුලත් යහන මත තබා නැවත වරක්‌ අයියනායක දෙවියන්ගේ පිහිට පතමින් යාඥ කරනු ලැබේ. ඉන්පසුව යහනේ තැබූ ලී කෝටුව රැගෙන කලින් සූදානම්කරගත් කිරි පැණියෙන් සේදූ රිදී කාසියක්‌ ගෙන රෙදි කෑල්ලක ඔතා පඬුරක්‌ මෙන් කෝටුවේ ගැට ගසති. ඊළඟට කෝටුවේ ගැට ගැසූ පඬුර දියඹට යටවන සේ වෑබැම්ම අසලින් ලී කෝටුව සිටුවති. මෙම මූලික කටයුතු නිමවීමෙන් පසුව වැඩ භාරව සිටින ගමරාළ හෝ වෙල්විදානේ තුවක්‌කුවක්‌ ගෙන අයියනාමුණයට දෙපා තබාගෙන වැව මැදට වෙඩි තුනක්‌ තබයි. ඒ සමඟම හැඩි දැඩි තරුණයෙක්‌ එක දිගට හූQ තුනක්‌ තබයි. පූජා වෙඩිල්ල වශයෙන් කරනු ලබන්නේ මෙයයි. මින්පසු තුවක්‌කු තියෙන අය පිළිවෙළින් අයියනාමුණයට දෙපය තබා වැව මැදට වෙඩිල්ල බැගින් තබනු ලැබේ. මෙසේ පූජා වෙඩි තැබීමෙන් වැවේ ගැබ්බර බව අඩුවී යන බව ගැමියෝ අදහති. එසේ ජලය අඩුවී යන්නේ කලින් සිටුවූ ලී කෝටුවේ පඬුර බැඳ ඇති මට්‌ටමට බව ද ගැමියෝ අදහති.

මේ කෙම්පහන්වලින් පසුව වැවේ ගැබ්බර බව පැහැදිලිව අඩුකර ගැනීම සඳහා පිටවානට ගොස්‌ වාන මතුපිට පවත්නා පැළෑටි, ගල්මුල් ආදිය ඉවත් කොට අඩියකින් පමණ වාන පාත්කරනු ලැබේ. වාන පිහිටුවා ඇත්තේ වැවේ වතුර බැස්‌මට අනුවය. මේ නිසා වෑකන්දට දිය පීඩනයක්‌ ඇති නොවී පිටවානෙන් වතුර පිටතට ගලා බසී. පිටවානෙන් වතුර බැසයැමට සැලැස්‌වීමෙන් අනතුරු කීපයක්‌ම අවම කර ගැනීමට පුළුවන.

වෑකන්ද මැදින් පුපුරා ගියහොත් වෑකන්දේ බොහෝ ප්‍රමාණයක්‌ සෝදා යමින් කඩවලක්‌ද සෑදී යටතින් පිහිටි ගම ගෙදර ද දියබත් වී මහත් විනාශයක්‌ සිදුවෙයි. පිටවානෙන් වතුර පිට කළ විට ඒ වතුර බැසයන්නේ වාන් ඇල දිගේ පමණි. පිටවාන පිහිටා ඇත්තේ වෑබැම්මේ කෙළවරකය. පිටවාන පාත්කළවිට වෑබැම්මට එතරම් හානියක්‌ නොවී වාන තුළින් වතුර බැසයයි. ගැබ්බර වූ වැවක ජලය පිටකළ යුතු හොඳම තැන පිටවාන ලෙස පැරැන්නෝ සැලකූහ.

වැවක්‌ ගැබ්බර වූ විට උමං ඇතිවීම ද ස්‌වභාවයකි. ඊයේ පෙරේදා ඇති වූ ජල පීඩනයේදී තිසා වැවේද නාච්චදූව වැවේද තවත් වැව් ගණනාවක ද උමං ඇතිsවිය. ඉතා සුළු හිඩැසකින් වැව් බැම්ම හරහා ඇතිවන උමඟ ඉතා ඉක්‌මණින් පුළුල් වී ගොස්‌ වෑබැම්මේ අඩක්‌ම ගලවාගෙන ගොස්‌ මහා විනාශයක්‌ වන්නට පුළුවන. වැවක්‌ ගැබ්බර වූ විට වැව භාරව සිටින මුලාදෑනියාගේ ප්‍රථම වගකීම වන්නේ වෑබැම්මේ උමං තිබේදැයි පරීක්‍ෂා කර බැලීමය.

මෙය එක්‌ වරක්‌ වෑ බැම්ම දිගේ එහාට මෙහාට ඇවිදීමෙන් නිමකළ හැකි ක්‍රියාවක්‌ නොවේ. නිරන්තරයෙන් ඔහු වෑබැම්ම දිගේ එහාට මෙහාට සක්‌මන් කළ යුතුය. රෑ පානක නම් හුළුඅතු බැඳගෙන වැවේ වෑකන්දේ පෙරමුණ පරීක්‍ෂා කරමින් සක්‌මන් කළ යුතුය. යම් විදියකින් වැවේ උමඟක්‌ ඇති වී වෑ බැම්ම කැඩී ගියොත් වැව භාරව සිටින මුලාදෑනියා ඊට වගකිවයුතුය. වරිග සභාවේ දඬුවම් ලැබිය යුතුය.

රාත්‍රියේ හෝ දවාලේ වෑ බැම්මේ ඇවිදින විට උමඟක්‌ දුටුවහොත් ඒ වහාම ගමේ පිරිමි අය කැඳවා කමත්වලින් පිදුරු ගෙන්වා ගත යුතුය. පිටවානෙන් වැව්දිය අඩු කරනතුරු උමඟට පිදුරු කොටා රැකගත යුතුය. උමග පිහිටියේ හුඟක්‌ දිය යට නම් ඒ උමඟ මකාගැනීම ඉතාමත් අමාරුය. ශක්‌තිමත් වැව හුරු තරුණයන් දෙතුන් දෙනකු වැවට බස්‌සවා උමඟ පිහිටි තැන සොයාගෙන ලොකුවට මිටි බඳින ලද පිදුරු කට්‌ට උමඟට කොටනු ලැබේ. මෙය ඉතාමත් බිහිසුණු සහ අවදානම් කාර්යයකි. සුළු ප්‍රමාදයක්‌ හෝ අත්වැරැද්දක්‌ සිදුවුවහොත් උමඟට පිදුරු කවමින් සිටින්නා ද උමඟ තුළින් ජල බලයෙන් ඇදගෙන යයි.

එසේ ජල සැඩ පහරේ වේගයට පිදුරු කවමින් සිටි තැනැත්තා උමඟ තුළට ඇදගෙන ගොස්‌ වෑකන්දේ පසුමුqණෙන් මතුවුවහොත් අමාරුවෙන් හෝ ඔහු බේරා ගත හැකිය. එසේ මතු නොවී උමඟ තුළ හිරවුවහොත් ඔහු උමඟ තුළම මියයයි. එවැනි අවස්‌ථාවක ගමේ කතාබහ කෙරෙන්නේ ගමේ අයගෙන් වැවට සිදු වූ අත්වැරැද්දකට දෙවියන් කෝපවී ජීවිතයක්‌ බිලිගත් බවයි. මේ නිසා වැවක උමං වැසීම එදා ඉතාමත් අවදානම් සහ ජීවිතය පරදුවට තබන කාර්යයකි. නමුත් ගම වෙනුවෙන් සහ වැව වෙනුවෙන් එසේ ඉදිරිපත් වන්නට කැමැති තරුණයෝ ගමේ හිඟ නොවූහ. ඊට පාදක වූයේ “වැව කැඩී ගියොත් වැවත් ඉවරයි වැව් ගම්මානයත් ඉවරයි” යන ආකල්පය ගැමියන් තුළ තහවුරු වී තිබුණු හෙයිනි. එසේම “මේ වැව අප රැක ගතයුතුය” යන අපේකමින් පිරුණු චින්තනයෙන් ගමේ අය සන්නද්ධ වී සිටි නිසාය.

මේ අවදානම් අවස්‌ථාවේ රජරටට ලැබී සිටි වාරිමාර්ග කලාප අධ්‍යක්‍ෂවරයා ද මෙබඳු කෙනෙකි. වර්ෂාවෙන් වැව් ගැබ්බර වෙද්දී වැව්භාර නිලධාරීන් රෑ දාවල් අවදියෙන් සිටීමට සැලැස්‌වූ අතර වැවක උමඟක්‌ ඇති වූ විනාඩි කීපයකින් එම වැව භාර ඉංජිනේරුවරයා අසුරු සැණින් දුවපැන නිලධාරීන්ද කම්කරුවන් ද ගමේ අය ද රැස්‌කරගෙන වැලි කොට්‌ට පුරවා උමඟ පුළුල් වන්නට ඉඩ නොදී රැකගත්හ. වාරිමාර්ග කලාප අධ්‍යක්‍ෂවරයාගේ සහ සෙසු වාරි ඉංජිනේරුවරුන්ගේ කාර්යක්‍ෂමතාව නොවන්නට මෙවර අනුරාධපුරය මුළුමනින් සේදී ගොස්‌ සුන්නත්දූලි වී යැමට ඉඩ තිබිණි. එක පැත්තකින් නාච්චදූව – තව පැත්තකින් නුවරවැව, තව පැත්තකින් තිසාවැව යන මහ වැව් තුන මේ අවදානමට මුහුණපා තිබුණු අතර වාරිමාර්ග කලාප අධ්‍යක්‍ෂවරයා ඇතුළු කාර්ය මණ්‌ඩලය අවදියෙන් කාර්යශූරව කටයුතු කිරීම නිසා සිදුවන්නට තිබූ මහා විපතක්‌ වැළකී ගියේය.

කෙසේ වුවද පැරණි වැව් සංස්‌කෘතියේ පැවැති පාරම්පරික කෙම්පහන් ඇතුළු ගුණාංග අදටත් පවත්වාගෙන යැමෙන් වැඩක්‌ මිස අවැඩක්‌ වන්නේ නැත. පැරණි වැව් ශිෂ්ටාචාරයේ පැවැති හැම ගුණාංගයක්‌ තුළම ශුභවාදී අර්ථයක්‌ ද ගැබ් වී තිබේ.

රත්න බී. ඒකනායක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: