Posted by: lrrp | May 9, 2014

රටවල් හැටකදි නොදුටු ලස්සනක් දැක්කේ කූරගලට නැග්ගාමයි

මහ පොළොව වටා ඇති ඕසෝන් වියන රැක ගැනිම පිළිබඳ නොදන්නා කෙනෙකු අද නැති තරම්ය. ඒ පිළිබඳ ජනතා අවධානය අවදි කිරීමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලාංකිකයා වන්නේ ජාතික ඕසෝන් ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර ගණනාවක් සේවය කළ මහාචාර්ය ඩබ්ලිව්. එල් සුමතිපාලයි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු පේරාදෙණිය සරසවියේදී හැදෑරුවේ භෞතික විද්‍යාව වුවද කලක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කිරිම නිසා වායුගෝලයේ වෙනස්වීම් පරිසරය වෙනස් කිරීමට බලපාන ආකාරය පිළිබද ඇති වු උනන්දුව නිසා ඇමරිකාවේ හවායි සරසවියේ එම විෂයය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරීය. නිව්යෝක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පෘථිවි විද්‍යාව පිළිබඳ ආචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර තවදුරටත් පරිසරය ගැන දැනගත් තොරතුරු පදනම් කරගෙන මෙරට සිසුන් වෙනුවෙන් විවෘත විශ්ව විද්‍යාලයේ වායුගෝල භෞතික විද්‍යා පාඨමාලාව ඇරැඹුවේද ඔහුය.

පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ජාතික ඕසෝන් ඒකකයට සමුදුන් පසු දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ පළමුවැනි අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට ඔහු වාසනාව ලැබීය. මේ වන විට ජාතික විද්‍යා පදනමේ සභාපති ලෙස සිය මෙහෙවර රටට සපයන

පරිසරවෙදීයකු වන මහාචාර්ය ඩබ්ලිව්. එල් සුමතිපාල රටවල් හැටකට අධික සංචාරයන්හිදී නොදුටු තරම් ලස්සනම ස්ථානයක් ලංකාවේදී දුටු බව අපට හෙළි කළේය.

“රත්නපුර තමයි අපේ ගම. ඉතින් පුංචි කාලේ ඉඳන් කුඹුරු වතුපිටිවල, එළ හරක් මීහරක් එක්ක, පොඩි පොඩි සත්තු කුරුල්ලෝ එක්ක අපිට පරිසරය විඳිමින් කාලය ගත කරන්න වෙලාව තිබුණා. ඒ නිසාම අපි ගහ කොළට, සත්තුන්ට ආදරේ කළා. අපි කෑවේ බීවේ අපේම ගස්වලින් නෙළා ගත්ත එළවළු පලතුරු සහ ළිංවලින් ගත්ත පිරිසුදු වතුර. ඒ හුරුව නිසා වෙන්න ඇති භෞතිකවිද්‍යාව ඉගෙන ගත්ත මම පරිසරයට සම්බන්ධ වුණේ. අනෙක භෞතික විද්‍යාව කියන්නෙත් පරිසරයට බොහොම සම්බන්ධ විෂයයක්.”

ඔහු සිය කතාව පටන් ගත්තේ එසේ කියමිනි. ඉන් පසු විවිධ පාරිසරික සමුළු සඳහා මව්රට නියෝජනය කරමින් විදේශයන්හි කළ සංචාරවලදී දුටු දෑ පිළිබඳව ද මහාචාර්යවරයා සිහි කළේ මෙසේය.

“ ඕසෝන් ඒකකයේ ඉද්දි ම මට සමුළු රැසකට යන්න වුණා. යුරෝපීය රටවලදි කඳු කීවාම අපට වැඩිපුරම දකින්න ලැබෙන්නේ හිම කඳු වගේ දේවල්. නේපාලය වගේ රටකදි කඳු පන්ති දැක්කත් ඒවා උඩට ගියාම පෙනෙන දුර සීමිතයි. මොකදතවත් කදුවලින් හරි මීදුමින් හරි වැසෙන නිසා. ඒත් අපේ රටේදි තමයි මම මේ තරම් දුර දර්ශන පථයක් කඳුවැටියක් මතදී දකින්න පුළුවන් කියන අත් දැකීම ලැබුවේ.”

ඔහු එසේ කියමින් තමන් ගිය ගමනේ මඟ තොරතුරුද විස්තර කළේය.

“මම මේ කියන තැන විශේෂයෙන් සැඟවුණු තැනක් නොවේ. බළංගොඩ කල්තොට පාරේ කිලෝමීටර25ක් විතර යනකොට අපට පේනවා කූරගල කන්ද. ඒ පැත්තට තවත් කිලෝමීවර එකහමාරක් විතර වාහනේකින් ම යන්න පුළුවන්. එතැනඉඳන් නම් ගල් පොත්ත දිගේ පයින් තමයි කිලෝ මීටර භාගයක් විතර යන්න වෙන්නේ. මේ ගැන පහුගිය කාලේ ‍ෙබාහෝ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණා මතකත් ඇති. මුස්ලිම් ජාතිකයන් පදිංචි වී සිටියත් එය බෞද්ධ ඉතිහාසයක් සහිත ස්ථානයක් බව තහවුරු වුණා.“

ඉන් පසු ඔහු ඒ පිළබඳවද බොහෝ දේ පවසමින් කුරගල ඔහු දුටු අයුරු පවසන්නට විය.

“කුරගල මගේ හිතේ රැඳුණේ ඒ කන්ද උඩට ගියාම පේන දර්ශනය නිසයි. එතැන හරියට ලෝකාන්තය වගේ සැකැස්මක් තිබෙන්නේ.

ඊටත් වඩා හොඳට ප්‍රපාතය පේනවා , මොකද මීදුම සහ උස ගස් කොළන් නැති නිසා. ගල්තලාව ශුෂ්ක ගතියට නැඹුරු වියළි ප්‍රදේශයක ගතියක් පෙන්වන්නේ. නමුත් ගල මුදුනේ තිබෙන්නේ සෞම්‍ය දේශගුණයක්.”

එසේ කියූ ඔහු යම් රසවත් දෙයක් මතක් කරන බව අපට හැඟුණි. අපේ සිතිවිල්ල සැබෑකරමින් මහාචාර්ය සුමතිපාල මෙසේ කියන්නට විය.

“ මම එතැනදි තමයි මේ ලෝකේ මම ගිය කිසිම රටක නුදුටු දර්ශනයක් දැක්කේ. කුරගල කඳු මුදුනේ ඉඳන් බලද්දි අපට දකුණු පසින් උඩවලව, හම්බන්තොට දක්වාම පේනවා. ඇත්තෙන්ම හරියට බැලුවොත් මුහුදත් පේන තරම් දුරක් ඈතට කඳු මුදුනක ඉඳන් බලන්න පුළුවන් වන්නේ මෙතැන විතරයි.

ප්‍රපාතයේ පහළ වළවේ ගඟ ගලාගෙන යන අපූරුව කුඹුක් ගස් අතරින් යසට පේනවා. ඒ දිගටම තිබෙන්නේ කුඹුරු. ඒවායින් සමහර කුඹුරු වපුරලා, සමහර ඒවායේ බණ්ඩි ගොයම්, තවත් ඒවා පැළ ගොයම, සමහර කුඹුරු තවම කසනවා, ඒවගේ විවිධ අවස්ථාවල කුඹුරක දකින්න පුළුවන් වර්ණ සංයෝග ඇහැට ගෙනෙන්නේ පුදුමාකාර චමත්කාරයක්. වළවේ ගඟේ දිය හරවලා කල්තොට , මැද බැද්ද, වැලි පොත, වේලි ඔය වගේ ප්‍රදේශ සරු කරලා. වේලි ඔය පැත්තෙන් දිගට ම පේන්නේ වැව්.

අර පාටවලට ඒ වැව් දියේ නිල් කැට පෙනුම එකතු වුණාම තවත් අලංකාරයි. මේ වගේ ඇහැ පැහැරගන්න දර්ශන අංශක 180ක් පුරා ඈතට දකින්න ලැබුණු පළමුවැනිම අවස්ථාව තමයි මෙය.“

ඉන් පසු ඔහු තමන් දුටු දෙය අලුයම් හා රාත්‍රි යාමවල මවන දසුන් පිළිබඳ සිතෙන වර්ණවත් සිතිවිලි අප සමඟ බෙදා ගත්තේය.

“උදේ පාන්දරට, හවස් යාමයට මෙතැන හරිම ලස්සන ඇති. විශේෂයෙන් උදේට ලස්සන ඇති. මේ ගල් තලාවේ අපි ඇවිදින වෙලාවේ දකින්න ලැබුණේ තලගොයින්, කටුස්සන් වගේ කුඩා සතුන් විතරයි. ඒත් රෑට ගෝන්නු මුවෝ වගේ අයත් එනවා ඇති. වඳුරන් සහ රිලවුන් නම් සතුටු සාමීචි සංගම් වගේ ගල් තලාවේ වට වෙලා ඉන්නවා.”

ඉන් පසු මහාචාර්යවරයා කුරගල ඉතිහාසය කියන්නට වූයේ තමන් එහි යද්දී මුහුණ පෑ අකරතැබ්බය් ද සිහි කැඳවමිනි.

“මම හිතුවේ දිගටම වාහනෙන් ගල් තලාව දිගේ යන්න පුළුවන් කියලයි. එත් මඟකට ගිය පසුවයි ඉන් එහා තිබෙන්නේ ප්‍රපාතයක් බව දැක්කේ. අනෙක් කාරණේ ඒ තැන වාහනයක් හරවන්න තරම් ඉඩක් නැහැ. පස්සෙන් පස්සට එන්න ගිහින් අපිගිය වාහනෙත් පැත්තක්ම තැලිලා ගියා. කොහොම හරි අපි ගිනි මද්දහනේ කකුල්වල දිය පට්ට් එනකල් රත් වූ ගල්තලාව තරණය කළා.”

“එහෙම යද්දි කුරගල පල්ලමේ පෙනෙන්නේ බුදුගල රජ මහ විහාරය. කුරුගල අයිනෙන් යන ඇල දිගේ උඩටම ගියාම වළවේ ගඟෙන් කඩා හැලෙන දූවිල් ඇල්ල දකින්න පුළුවන්. එහෙම නැත්නම් දූවිලි ඇල්ලට යන්න තිබෙනවා වෙනම කටු පඳුරු සහිත ලඳුකැලෑ අතරින් වටුණූ පාරක්. ඒ කොතනින් ගියත් ගමන නම් ටිකක් දුෂ්කරයි. වළවේ ගඟ හරස් කරලා සමනල වැව බැන්දට පස්සේ වියළි කාලයට ඇල්ලේ වතුරත් හරි අඩුයි.”

“මේ කන්ද දැන් පාලනය වන්නේ පුරා විද්‍යා දෙපාර්තමේනතුවෙන්. ඒ වුණත් මුස්ලිම් පවුල් කීපයක් එහි පදිංච් වී සිටියා. කන්දට ගියාම අපට පැරැණි චෛත්‍යයක නටබුන් පේනවා. ඒ එක්කම මුස්ලිම් දේවස්ථානයකුත් දකින්න ලැබෙනවා. ඒ පල්ලි පිහිටා තිබෙන්නේ කටාරම් කෙටූ ගල් ආශ්‍රිතවයි. චෛත්‍යයේ පැරැණි ගඩොල් අවට තිබුණා. එතැනම ගල් ලෙනකුත් තිබෙනවා.

එතැන සිටිය මුස්ලිම් අය විශ්වාස කරන්නේ එතැනට මක්කම පේනවා කියලයි. එතැන තිබෙන්නේ ගල් දෙබොක්කාවක්. කෙනෙක් එතැනින් වැටෙන්න වුණත් පුළුවන්. එහෙම මුස්ලිම් දරුවෙක් වැටිලා දිනකට පසුවදා ද කොහේදෝ ආපසු ගොඩට ගෙන තිබුණා. ඉතින් මම ඇහුවා ඒ එක් අයෙකුගෙන් දරුවාට කරදරයක් වුනානම් මොකද හිතන්නේ කියලා. මක්කමේදි මිය යෑම වගේම වාසනාවන්ත ලෙස දෙවියන් වෙත ගියා කියා සතුටු විය හැකියි කියලයි ඔහු නම් කීවේ. කොහොම වුණත් කුරගල කන්ද මුදුණේ සිට නැගෙන හිර පැත්ත බැලූ විට ඇති ගල් ගුහාවේ සිදුරුවලින් ආලෝකය වැටෙන අකාරය නිසයි මක්කම පෙනෙනවා වගේ කතාවක් සැදීතිබෙන්නේ .

ඒ කොහොම වුණත් එතැන බොහෝ ඇටකටු සොයාගෙන තිබෙනවා. සමහරවිට වැටුණු අය වන්නත් ඇති.”

ඒ අනුමාන කිරීමෙන් පසු මහාචාර්යවරයා අපට කීවේ තමන් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විමසා තහවුරු කරගත් කරුණු කිහිපයකි.

“අලුත් ගොඩනැගිලි නිසා ආවරණය වෙලා තිබෙන සෙල් ලිපිය ක්‍රිස්තු පූර්ව 250ට එපිට බ්‍රාහ්මීය අක්ෂරවලින් නෙළූවක් බව තහවුරු වී තිබෙනවා.

ඊටත් පෙර තමයි බෞද්ධ පන්සල් මෙහි තනා තිබූ බවට නටබුන් තිබෙන්නේ.. සමහර ගල් මත ඇති ලාංඡන මුස්ලිම් යැයි කීවත් ඒවා වැද්දන් කෙටූවා බවයි විශ්වාසය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කරන කැනීම්වලදී හමු වුණු ඇට සැකිලිවල කාල නිර්ණය ළඟදීම අපට දැන ගත හැකිවෙයි. තවත් පහළ කොටස්වල ගල් ගුහා ආදියේ කැණීම්වලින් මැටි වළං, ධාන්‍ය ආදියත් හමු වූ නිසා තවත් බොහෝ ඓතිහාසික තොරතුරු අපට අනාගතේ අසන්න ලැබේවි”

එසේ කියමින් කුරගලට පමණක් පොදු නොවූ අදහසක් ද මහාචාර්ය සුමතිපාල ගෙන හැරපෑවේය.

“ මේ වගේ දේවල් අපේ දර්ශන පථයෙන් නැති වී යෑම අවාසනාවක්. දියුණුවනවාය කියා මුදල් මතම යැපෙමින් දිගුකාලීනව නොසිතා මේවා විනාශ වුණොත්, මුල්‍ය වශයෙන් තක්සේරු කළ නොහැකි භෞමික සෞන්දර්යය අපට අහිමි වී යනවා.දියුණු යැයි සම්මත රටවල් සමඟ සසඳා අප ඉන්නේ පසුපසින් යැයි සිතා වේගවත් දියුණුවක් කරා යද්දි පරිසරය ගැන උනන්දු නොවුණොත් දියුණුවේ ප්‍රථිපලය හරියන්නේ නෑ. කාර්මීකරණය වූ රටවල අපට එය පේනවා.

ඒ නිසා සෞඛ්‍යය, පරිසරය, සෞන්දර්යය සමාජයට කරන බලපෑම ගැන සිතා දරණීය සංවර්ධනය නැත්නම් මහපොළොවට දරාගත හැකි සංවර්ධනයක් තමයි කළ යුතු වන්නේ. එයින් තිරසර සංවර්ධනයක් රටකට ලැබෙනවා. ඒ ගැන සියලු දෙනාගේම අවධානය යොමු විය යුතු හොඳම කාලයත් මෙයයි.”

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: