Posted by: lrrp | July 12, 2014

‘තිරුක්කුරල්’ ද්‍රාවිඩ සංස්කෘතියේ හැරවුම් ලක්ෂ්‍යය

විඩ සංස්කෘතිය යනු දෙමළ, තෙලිඟු, කණ්ණඩ, තුලු, මලයාලම් ආදී උපජාති විශාල සංඛ්‍යාවක සංයුතියකි. දක්ෂිණ භාරතයේ භූ විෂමතා ලක්ෂණ යම් පමණක් තිබේ ද ඒ හැම භූ විෂමතාවක් තුළ ම ද්‍රවිඩ මූල වංශයට අයත් ජාතිහු මහත් රාශියක් ජීවත් වෙති. ඔවුනගේ භාෂා අතර අන්‍යොන්‍ය වශයෙන් සමීප සාදෘශ්‍යතා දක්නට ලැබෙන අතර ප්‍රාන්තීය විෂමතා ද බොහෝ ය. මේ සියලු ම ප්‍රාන්තීය හා භූගෝලීය විෂමතා එකතුකොට එය අපි ද්‍රවිඩ සංස්කෘතිය වශයෙන් හඳුන්වමු. සින්දු ගංගාවේ උප ගංගාවක් වන රාවි නදී තීරයේ පිහිටා තිබුණු හරප්පා නැමැති ඉපැරැණි ශිෂ්ටාචාරයත්, සින්දු ගංගා‍ෙව් මධ්‍යභාගයේ පිහිටා තිබුණු මොහෙන්ජොදාරෝ ඉපැරණි ශිෂ්ටාචාරයත් සින්දු ගං මෝයට ආසන්නව පිහිටා තිබුණු වන්හුදාරෝ ඉපැරණි ශිෂ්ටාචාරයත් යන මේ ත්‍රිවිධ ශිෂ්ටාචාරයන් ප්‍රාග් ඓතිහාසික ද්‍රවිඩ සංස්කෘතියේ නිජබිම් විය හැකි යැයි ඉතිහාස ගවේෂකයින් විසින් තීරණය කරනු ලැබ තිබුණ ද වර්තමාන ඉතිහාසඥයෝ එම තීරණ පිළිගැනීමට මැළිවෙති.

එයට ප්‍රධාන සාධක වශයෙන් ඔවුන් දක්වන්නේ හරප්පා මොහෙන්ජෙදාරෝ නෂ්ටාවශේෂයන් අතර තිබී සාරා ගන්නා ලද විවිධ සංකේත ආකෘති හා ඇතැම් ප්‍රතිමා ද්‍රවිඩ සංස්කෘතියේ මූලිකාංග අතර නොගැළපීම් ඇති කිරීම යැයි කියති. භාෂාවත් ආගමත් අන්‍යොන්‍ය ප්‍රතිබද්ධ ගමන් කිරීම ලොව සියලුම ජාතීන් අතර පවත්නා පොදු ධර්මතාවකි. කිසියම් ජාතියක ජීවය වන්නේ භාෂාවයි. එය දියුණු නොදියුණු ඕනෑම ජාතියක් සතුව අනිවාර්යයෙන් ම පවතින සාධකයකි. දෙවැන්න වන්නේ ආගම හෙවත් ඇදහිලි විධීන් ය. කෙතරම් නොදියුණු සංස්කෘතියක ජනයා වුවත් ස්වකීය එදිනෙදා ව්‍යවහාර භාෂාව සංකේතවලට නැගීමට පෙලඹෙන්නේ නිරායාසයෙනි. එක් ජනකොටසක රුචි අරුචිකම් තවත් ජනකොටසකට තේරුම් කරදීම සඳහා පහසුම මාධ්‍යය වනුයේ සංකේතයි. එදා එම සංස්කෘතීන්හි භාවිතා කරන ලද සංකේත අපි අද අකුරු වශයෙන් හඳුන්වමු.

හරප්පා මොහොන්ජොදා‍රෝ සංස්කෘතින්හි භාවිත එම සංකේතාක්ෂරත් පශ්චාත් කාලීන ද්‍රවිඩ සංස්කෘතිය ප්‍රචලිත වුණු ප්‍රදේශවල ජනයා විසින් භාවිතා කරන ලද සංකේත අක්ෂරත් අතර සමානතා දක්නට නැත. ඇතා, අශ්වයා, ගොනා යන සතුන්ගේ සංකේත හරප්පා මොහෙන්ජොදාරෝ සංස්කෘතික නෂ්ටාව ශිෂ්ටයන් අතර දක්නට ලැබෙන නමුදු, ද්‍රවිඩ සංස්කෘතියේ අශ්වයාට හෝ ඇතාට තැනක් ලැබී නැත. ගොනා හෙවත් ගවයා ඕනෑම කෘෂි සමාජයක දැකිය හැකි ය. එය වර්තමානයේ පවා ද්‍රවිඩ සංස්කෘතියේ ප්‍රමුඛස්ථානයක් ගන්නා සත්වයෙකි. එය බෞද්ධ සංස්කෘතිය තුළ පවා අද ද දක්නට ලැබේ.

පැරණි හරප්පා මොහෙන්ජොදාරෝ සංස්කෘතිය තුළ බිහිවූ ජගන්මාතා වන්දනාව ද්‍රවිඩ සංස්කෘතියේ නැත. එමෙන් ම ද්‍රවිඩ සංස්කෘතියේ ඉතා පැහැදිලි ශිෂ්ණ වන්දනාව පැරණි හරප්පා මොහෙන්ජොදාරෝ සංස්කෘතියෙහි පැවැති බවට සාධක හමුවී නැත. මෙවන් හේතු යුක්ති රාශියක් පදනම් කොට ගෙන වර්තමාන ඉතිහාසඥයා ඉපැරණි ඉන්දීය හරප්පා හා මොහෙන්ජොදාරෝ සංස්කෘතිය ද්‍රවිඩ සංස්කෘතිය සමඟ සැසඳීමට මැළිවෙයි.

පුරාණයේ සත්ලෙජ්, බාහුයි හා සුලෙයිමාන් කඳු වළයයන් අතර හා නැ‍ෙඟනහිරින් නීලගිරි ආදී කඳු අතර හෙක්ටයාර් දශලක්ෂ ගණනක් පුරා පැතිරී ඉතිරී ගිය මහා ඝන වනාන්තර ඒ ආදී කල්පිකයින්ගේ වාසස්ථාන වූ අතර ඔවුහු ඒ පූර්වතම අවධිවලදී කෘෂිකර්මය ගැන දැන නොසිටියහ. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය මත්‍යමාංශ වූ අතර පළාපල ද විණි. අල වර්ග ද අවශේෂ ආහාර වන්නට ඇත. එවන් සමාජයක අද පවත්නා ශාකාහාර භක්ෂකයන් (සෛවාහාර) සිටියේ යැයි සිතීම පවා හාස්‍යජනක ය.

මෙසේ ශිලායුග, දඩයම්යුග පසු කරමින් කෘෂි යුගය කරා එළඹීමෙන් පසුවය සෛවාහාර පරිභෝජනයට යොමුවන්නට ඇත්තේ‍. ඒ සත්‍ය වශයෙන් ම අන් බලපෑමක් නොව ශිව, කෘෂ්ණ ආදී දේව සංකල්පවල බලපෑමයි. ශිව දෙවියාගේ වාහනය ‍ගවයෙකි. ශ්‍රී කෘෂ්ණගේ වාහනය ද ගවයෙකි. ශිව පාර්වතී, ක්‍රිෂ්ණා ලක්ෂ්මී ආදී දේව වන්දනා ඔවුන්ගේ ජීවිතවලට ප්‍රවිෂ්ට වීමත් සමඟම ගව ඝාතනය කෙතරම් අපරාධයකැයි ද ඔවුන් සිතන්නට පෙලඹීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගව මාංශයෙන් පමණක් නොව කුමන ආකාරයක හෝ සතෙකුගේ මාංශ අනුභවය පාපයකැයි සිතන්නට පුරුදුවීමේ ආනුශංශික ප්‍රතිඵලයක් වශයෙනි, නිර්මාංශ ආහාර පරිභෝජනයට ඔවුන් පුරුදු වූයේ.

ක්‍රි.පූ. දෙවන තෙවන සියවස්වල දක්ෂිණ භාරතයේ විසූ තිරුවල්ලුවර් නැමැති ශ්‍රේෂ්ඨ කවියාගේ ‘තිරුක්කුරල්’ නැමැති ප්‍රබන්ධය ලියැවෙන කාලවකවානුව වනවිට මේ නිර්මාංශ භාර සංකල්පය දකුණු ඉන්දියානු ජනජීවිතයට ඉතා තදින් කාවැදී තිබිණි. තිරුවල්ලුවර් නිසැක වශයෙන් ම උසස් ගණයේ සමාජ සුධාරකයකු වූ හෙයින් එවකට සමාජයේ පැවැති දුෂ්ක්‍රියා පෙළක් තම කෘතියෙහි සඳහන් කොට ඒවා නොකළ යුතු යැයි කියයි. ඒවාට බොරු කීම, සොරකම් කිරීම, සාවද්‍ය කාමය යනාදී අයහපත් දේ අතරට මස්මාලු අනුභවය ද නොකටයුත්තක් කොට දක්වයි. තිරුක්කුරල්හි ‘පුලාල් මරුත්තල්’ (මත්ස්‍යමාංශයෙන් වැළක‍ීම) නැමැති අධිකාරයෙහි කුරල් 10 කින් මේ මත්‍යමාංශයෙන් වැළකීමේ අනුසස් ප්‍රකාශ කරයි. මේ කිම් සාමාන්‍යයෙන් විධානයක ස්වරූපයෙන් හෝ ආගමික නායකයකුගේ ඉගැන්වීමක ස්වරූපයෙන් නොව අන්‍යතම භාෂා ශෛලියකින් කියා තිබීම මෙහි ඇති විශේෂයයි.

“කොල්ලාන් පුලාලෛ මරුත්තානෛක් කෛකුප්පි එල්ලා උයිරුම් තොළුම්”

“සතුන් නොමරණ, අන් අයෙකු විසින් හෝ මරණ ලද කුමන සතෙකුගේ හෝ මස් අනුභව නොකරන්නාට මෙලොව වසන සියලුම ප්‍රාණීහු දොහොත් මුදුන් දී නමස්කාර කරති” යනු එම කුරලේ සාමාන්‍ය අර්ථයයි.

මේ අප විසින් මෙහිදී උදාහරණයට ගන්නා ලද්දේ කුරල් 1330 කින් සමන්විත සමස්ත තිරුක්කුල් ග්‍රන්ථයෙන් එකම එක් කුරලක් පමණකි. මේ තනි කුරලින් වුවත් එය මෙලොව මස්මාළු අනුභව කරන සමස්ත මානව ප්‍රජාවට ගෙන දෙන ‘පාරිශුද්ධිය’ පිළිබඳ ඉඟිය කොතරම් විශාල ද? එම පුලාල් මරුත්තල්හි” එන කුරල් දහයම එකින් එක විග්‍රහ කිරීමට වුව ද තනි තනි පරිච්ඡේදවලින් සමන්විත කෘතිය බැගින් ලිවිය හැකි ය.

තිරුක්කරල්හි ඉෂ්ට දේවතා නමස්කාරයෙන් පටන්ගෙන ආකායෙහි ශ්‍රේෂ්ඨත්වය, ධර්මයෙහි හැසිරීම, ගෘහ ජීවිතය, ජීවිතයක සහකාර සම්පත, දරුවන් ලැබීම, දයාර්ද්‍රතාව ආදී වශයෙන් කුරල් දහයෙන් දහය විස්තර කරමින් අවුත් 1330 වෙනි කුරල වන,

“කුඩුදල් කාමත්තිට්කු ඉන්බම් අදට්කු ඉන්බම් කුඩි මුයංගප් පෙරින්” (1330) යන කුරලින් අවසන් කරන විට මෙහි සියලුම අඩංගු කරුණු 1330 කි. ඒ එක් එක් කුරල වෙනුවෙන් ම විශාල විෂය පථයක් ආවරණය කරන හෙයිනි. දළ වශයෙන් ගත්කළ මෙහි මාතෘකා 133 කි. මේ හැම මාතෘකාවක් ම අපගේ ජන ජීවිතය හා බැඳී පැවතීම මෙහි ඇති විශේෂත්වයයි.

ආරම්භයේදී හෙවත් සියවස් සියයකට පමණ පූර්වයේ හෝ ඊටත් පෙර පටන් වංශාවලියක් ලෙසට පැවැත එන මෙම ද්‍රවිඩ වංශයේ විවිධ සන්ධිස්ථාන පසුකර ආවත්, තිරුවල්ලුවර් තුමාගේ මේ තිරුක්කුරල් නැමැති මහාර්ඝ නිර්මාණය එම ද්‍රවිඩ සංස්කෘතිය එතෙක් ආ මගින් වෙනත් මගකට යොමු කළ ඉතාම වැදගත් සන්ධිස්ථානය කැයි අපට සෝදාහරණව ප්‍රකාශ කළ හැකි ය.

රාජකීය පණ්ඩිත ප්‍රවීණ දෙමළ ආචාර්ය වජිර ප්‍රභාත් විජයසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: