Posted by: lrrp | July 12, 2014

මැණික් හා බැඳුණු රස කතා

මැණික වට්ටියේ නටවපු හැටි

තම තමන්ගේ ඉඩම්වල නිවසේ අය පමණක් එකතු වී පතල් කපා මැණික් ගරා ගනිති. අයිය, මල්ලි, තාත්ත, පුතා එක්වී එසේ මැණික් ගරන අවස්ථා තිබේ. මේ එසේ තම කුඹුරේ පතලක් කපා ලැබුණ මැණික අහිමි කරගත් අවස්ථාවකි.

කුඹුර අයිනේ දොළ පා‍රේ ඉල්ලම් ගොඩ දැමුවේ තාත්තා සමඟ පුතෙකු එකතු වීමෙනි. තාත්තාට මහන්සි වීමට ඉඩ නොදී පතලේ සියලුම වැඩ පුතා කළේය. එසේ ඉතා මහන්සියෙන් ඉල්ලම් කඩා දොළ පාර අයිනට ගොඩ දැමුවේ පසුවදා ගැරීම සඳහාය. මෙසේ ඉල්ලම් කඩමින් සිටින විට පුතා නිල් මැණිකක් අතට ගත්තේ මුවපුරා සිනහවක් නන්වමිනි. “වැඩේ හරි තාත්තේ” කියමින් සතුටින් මැණික් කැටය හොඳට ‍සෝදා තාත්තා අතට දුන්නේ දෑතින්මය. ඒ තරමට මැණිකට ගෞරව සහිතවය. මැණික අතට ගත් තාත්තා එය ඒ මේ අත කරකවා බලා “මේක හෙට වට්ටියේ නටවලාම ගමු” කියා ගොඩ දමමින් තිබූ ඉල්ලම් ගොඩට දැමුවේ පසුවදා ඉල්ලම් ගරන විට වට්ටියට දමා සෝදා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එයට කිසිවක් නොකී පුතා පතලේ වැඩ අවසන් කර නිවසට ගියේ හෙට දිනයේදී ඉල්ලම් සේදීමේදී ඒකාන්තයෙන්ම මැණිකක් ලැබෙන බව දැනගෙනමය.

එදින සවස් යාමයේ වැස්ස පටන්ගත්තේය. රෑ එළිවනතුරා එක විදිහට වහින්නට විය. ගංවතුර දෙගොඩ තලා ගැලුවේ වතුපිටි සෝදා හරිමින්ය. පසුවදා පුරුදු පරිදි තාත්තයි පුතයි ඉල්ලම් ටික ගැරීමට කුඹුරට ගියේ දෙගිඩියාවෙනි. ඊයේ වැස්සේ පිටාරයට ඉල්ලම් ගොඩ සේදී ‍ගොස් ඉල්ලම් දැමුව තැනවත් හඳුනාගැනීමට බැරි තරමට වළ හෑරී තිබුණේය. පුතා තාත්තා දෙස බැලුවේ ඉහවහාගිය කේන්තියෙනි. මොනවා කරන්නද තාත්ත නිසා? “තාත්තේ උඹ දැන් ගෙදර ගිහින් අම්ම නටෝපන්” කියා ගැරුම් වට්ටිය දොළ පාරට විසිකර පුතා කේන්තියෙන් කුඹුර ඉස්මත්ත දෙසට ගියේය.

බීරංගේ රහස

අනවසර මැණික් ගරන්නෝ නිතර ‍පොලිස් ඇසට හසුවෙති. එනිසා ‍ෙපාලිස් ඇසට අසු නොවී සිටීමට පතල් කපන්නන් දරන උප්පරවැට්ටි එමටය. මැණික් ගරන කණ්ඩායම හඳුන්වන්නේ ‘නඩය’ නමිනි. පතල් නඩයකට හතරදෙනා, පස්දෙනා හෝ හය දෙනා එක්වෙති. මෙසේ එක්වන නඩයකින් එක් අයකු පොලිසියෙන් එනවාදැයි ඔත්තු බැලීමට යොදවන්නේය. පතල් නඩ කිහිපයක් සිටිය හොත් ඔත්තු බලන්නෝ වැඩිවෙති. එවිට ආරක්ෂාව තරවේ. ඔත්තුකරුවන්, රැකවල්ලා සිටින්නේ ද පතල් තිබෙන ස්ථානයට දුරින් පාර අසල වටපිටාව හොඳට පෙනෙන, රහස් ස්ථානයකය. එදා ජංගම දුරකතන තිබුණේ නැත. එනිසා පොලිසියෙන් එනවා නම් දැනුම් දීමට උපකරණයක් සාදාගෙන තිබුණේය. එය ‘බීරංගය’ නමින් හඳුන්වයි.

‘පැට්රල්මැක්ස්’ ලාම්පුවේ නිපල නැමැති කුඩා කොටස ලී කෝටුවක කෙළවරේ බැඳ එම නිපලේ කුහරයට වෙඩි බෙහෙත් පුරවා යකඩ ඇණයක් හිර කර තබා අවශ්‍ය වූ විට එම යකඩ ඇණය වදින ලෙස ගලක ගැසීමෙන් රතිඤ්ඤයක් පුපුරණ හඬක් නැ‍ඟෙන්නේය. මෙම හඬ නැ‍ඟෙන විට මැණික් ගරන්නෝ කාරණය දන්නෝය. ඉන් පතල්කරුවනට පොලිසියට අසු නොවී බේරීමට හැකි වේ. එසේවුවද මේ සෙල්ලම හැමදාම කිරීමට නොහැකිය. පොලිසියට ඉව තිබේ. ඊට පසු පොලිසිය මුලින්ම අල්ලාගනු ලැබුවේ ‘බීරංගා’ ගැසූ ඔත්තුකරුවන්ය. ඊට පසු අනවසර මැණික් ගරන්නන් බුරුතුපිටින් අල්ලා ගැනීමට හැකි විය.

දෙබර මැස්සන් නීතිය පසිඳලූ හැටි

අනවසර ගරන්නන් බොහෝවිට මැණික් ගරනු ලබන්නේ රජයේ ඉඩම්වලය. එසේ මැණික් ගැරීමේදී එම ඉඩම්වලට විශාල විනාශයක් මෙන්ම අලාභ ද සිදුවේ. එනිසා වැටලීම් සඳහා මැණික් සංස්ථාවේ වැටලීම් අංශය සමඟ ‍ෙපාලීසිය ද පැමිණේ. එසේ පැමිණ මැණික් ගැරූ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කොට දඬුවම් කිරීම සිදුවේ.

මෙනිසා පොලිසිය දකින විට අනවසර මැණික් ගරන්නෝ හිස හැරුණු අත දුවගොස් සැඟවී පොලිසියෙන් බේරීමට උත්සාහ දරති. ඒත් හත්අට ‍දෙනෙක්වත් අසුනොවෙන අවස්ථා නැති තරම්ය.

වරක් ජයට මැණික් හමුවන ඉල්ලම් පාරක සිය ගණනක් මැණික් ගරමින් සිටියේ පොලිසියෙන් පැමිණේදැයි විමසිල්ලෙනි. එදත් වෙනදා වගේම පොලිසියෙන් පැන්නේ අහසට වෙඩිල්ලක් තබමින් කලබලයක් ඇති කරමින්ය. මැණික් ගරන්නෝ සීසීකඩ දුවන්නට වූහ. පොලිසිය දුන පනිමින් මිනිසුන් එකා දෙන්නා අල්ලාගෙන රැකවල්ලා තබාගත්තේය. එදින වටලා දොළොස්දෙනෙකු අත්අඩංගුවට ගත්තේ මහත් ජයග්‍රහණයක් කළ ආකාරයටය. පොලිස් භාරයට ගත් පිරිස ජීප් රථය වෙත කැඳවාගෙන ඒමේදී සැතපුම් භාගයක් පමණ පයින් ඒමට සිදුවිය. ඒ කැලෑ කුට්ටියක් හරහාය. ඉදිරියෙන් හා පසුපසින් පොලිස් රාලහාමිලාගේ රැකවල් මත මැණික් ගරා අත්අඩංගුවට පත්වූවන් මැදි කරගෙන ගමන් කරමින් සිටියහ.

මෙසේ එන පාර අයිනේ විශාල දෙබරයක් තිබෙන බව එක් අයෙක් දැන සිටියේය. ඔහු එතැනට ඒමට පෙර ගල් ගෙඩියක් අතට ගෙන සූදානම්ව ගමන් කළේය. පිරිස දෙබරය ළඟට එනවාත් සමඟම දෙබරයට ගල්පාරක් වැදුණේය. මහා ඝෝෂාවක් නංවමින් විසුරුණු දෙබර මැස්සෝ පිරිසට විදින්නට ගත්තෝය. අත්අඩංගුවේ සිටි පිරිස දෙබරුනට වඩා වේගයෙන් කැලෑ කුට්ටිය පීරාගෙන දිව ගි‍යේ නිදහස පතාගෙනය. දෙබර මැස්සන් මැද අතරමං වූ පොලිස් රාලහාමිලාට කරකියා ගැනීමට දෙයක් නැත. බැටන් පොලු, තුවක්කු මෙන්ම හිස්වැසුම් ද එතැන දමා රාලහාමිලා ද ආතක් පාතක් නැතිව දිව්වේ දෙබර මැස්සන්ගෙන් බේරීමටය.

එදින අත්අඩංගුවට පත් පතල් නඩය එසේ නීතියෙන් බේරුණේය. නමුත් ‍පොලිස් රාලහාමිලාට දින ගණනක් රෝහල්ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවිය.

කපුටා ගෙනගිය ආරනූල

පතලක් කපා මැණිකක් ගරාගැනීමට වාසනාවක් තිබිය යුතුය. සෑම කෙනකුටම මැණික් ලැබීමට වාසනාවක් නැත. ඒ ව‍ෙග්ම උත්සාහය ද නොඅඩුව තිබිය යුතුය. ඒ සෑම දේම තිබී ලැබුණු මැණික අහිමිවන අවස්ථා ද එමට තිබේ. මේ එවැනි අවස්ථාවකි.

මිතුරන් හතරදෙනකු පතලක් හෑරුවේ ‍ගොයම් කපා අවසන් කර තිබූ කුඹුරකය. කුඹුර මැද තිබූ කමතේ පොල්ගස් වවා තිබුණි. එම පොල් ගස්වල ඇට්ටියක්වත් නොතිබුණේ කුඹුරු වැඩ කාලයට කොල්ලන්ට කුරුම්බා දිව්‍ය භෝජනයක් වූ නිසාය. පතලයේ වැඩ කරන අතරතුර තේ පානය කළේත් විඩා නිවා ගත්තේත් මේ පොල් ගස් යට සෙවණේය.

පතලයේ ඉල්ලම් ගරමින් සිටි නඩයට නිල් ආරනූලක් ලැබුණේය. එය තරමක කොස් ඇටයක් තරම් විය. මැණික ලැබුණාට පසු කඩියන් සේ කඩිසර වූ නඩය ඉතා සන්තෝෂයෙන් වැඩ කරන්නට වූයේ මැණික අලෙවිකර මුදල් ලබාගෙන කරන වැඩ කටයුතු ගැන ද කල්පනා කරමිනි.

මේ අතර පතල් නඩයට තේ ගෙන ආවේ ඔවුන්ගෙන් එක් හවුල්කරු‍වකුගේ නිවෙසකින්ය. ඔවුන් ගරමින් සිටි වට්ටියේ නාම්බුව බලා අවසන් කර තේ පානය කර මඳක් විඩා සංසිඳවා ගැනීමට කමතට ගියේ ලැබී තිබූ නිල් ආරනූල ද මිටමොළවාගෙනය. කමතේ මැඩුවන් මත වාඩි වී විහිළු තහළු කරමින් තේ පානය කළේ හෙට දින ලක්ෂපතියන් වන බව සිකුරටම දන්නා බැවිනි. එසේ තේ පානය කළ නඩය නැවත පතලයට යෑමට සූදානම්ව තේ පානයට ‘හකුරු’ ඔතාගෙන පැමිණි පත්තර කොළ කැබැල්ලේ නිල් ආරනූල මනාව ඔතා ඔවුන්ගේ ඇඳුම් පාර්සල යටින් තැබුවේය.

පිරිස පුරුදු පරිදි ඉල්ලම් ගැරීමට පටන්ගත්තේ වරින් වර කමත දෙසට ඇස් යවමින්ය. මේ අතර සියලු දේ පොල් ගසක් උඩට වී කෙනකු නිසොල්මනේ බලාසිටින බව ඔවුහු නොදැන සිටියහ. දැනගත්තත් වැඩක් නැත්තේ ඔහු එතරම් ගණන් ගත යුතු කෙනකු නොවන බැවිනි. ඒ කළු කපුටෙකි. පිරිස කමතෙන් ඉවත් වූවාට පසු තේ පානය කළ ස්ථානයට පැමිණි කපුටා ‍රෙදි පාර්සල් යට සැඟවූ දෙය ගැන සෝදිසියෙන් සොයා බැලුවේය. පත්තර කොළයේ ඔතා සැඟවූ දෙය සොයාගත්තේය. කපුටා රෙදි පාර්සල් එහා මෙහා විසිකර පත්තර කොළයේ ඔතා තිබූ මැණික හොට අතර හිර කරගත්තේය. එවිටම කමත දෙස බැලූ අයෙක් මෙය දුටුවේය. ඔහු “හෝයි හෝයි” කියමින් කමත දෙසට දිව්වේ කපුටා අතින් මැණික බිම දම්මවා ගැනීමටය. මෙය දුටු අනෙක් පිරිස ද කමතට දිව්වේ දෙලොව රත්වී කෑමොර දෙමින්ය. එම කෑගැසීම්වලට බියවූ කපුටා ඈතට පියැඹුවේය. පිරිස ද ඌ පස්සෙන් දිව්වේ කපුටා ලගින තැනකට හෝ යන බලාපොරොත්තුවෙනි. ඌ කුඹුරු යාය ඉස්මත්‍තේ රබර් ගසක වැසුවේය. පිරිස හති දමමින් එතැනට යන විට පත්තර කොළය කැබලිවලට ඉරා දමා තිබුණි. මැණිකට සිදුවූ දෙයක් නැත්තේය. නඩයේ බලාපොරොත්තු දියවී ගියේ කිසිවෙකු නොසිතූ ආකාරයටය.

“උකුස්සා ඉන්නා උස”

එදා මෙදා තුර මැණික් ගැරීමේ දී මෙන්ම මැණික් වෙළෙඳාමේදී හා නොයෙකුත් අවස්ථාවල මැණික් හා බැඳුණු රසවත් කතා බොහෝ තිබේ. එදා මැණික් ගරන්නෝ විවිධ ක්‍රියාකාරකම් මඟින් ඔවුන්ගේ පරමාර්ථ ඉටුකර ගත් බව ඒ හා බැඳුණු මේ රසකතා තුළින් පැහැදිලි වේ.

මැණික් ගරන්නෝ දින ගණනක් මහන්සි වී පතල හාරා තට්ටු හතරක් ගසා ඉල්ලමට බසින්නේ විශාල බලාපොරොත්තු ඇතුවය. දෙවි දේවතාවුනට බාර හාර වී හොඳ හෝරාවක් බලා ඉල්ලම කඩන්නේ දෙඅත් එක්කොට ඉල්ලම දෙසට වැඳ නමස්කාර කිරීමෙන් පසුවය. මෙසේ ඉල්ලම කඩන විට පතලේ වියදම්කරුවන් හා ඉඩම් හිමියන් මෙන්ම බලපත්‍රය හිමියා වෙනුවෙන් නියෝජිතයක් සිටින්නේය. ඔහු මැනේජර් ය. ඒ පතලේ කම්කරුවන්, මැණික් සොරකම් කරන්නේ දැයි බැලීමටය. මෙසේ කරන මැණික් හොරකම් පතල් භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ “බකයා ගසනවා” යනුවෙනි.

මැනේජර් එසේ බලා සිටියදී එක් අයෙකු ඉල්ලම් කඩන අතර තව දෙදෙනෙක් එම ඉල්ලම් කූඩවලට පුරවා අතින් අත යවා වළ මතුපිට වූ ඉල්ලම් කමතට එවති. පතලේ වැඩ කරන්නන් මැණිකක් දුටුවහොත් බකය ගැසීමේ චේතනාවෙන් වැඩ කිරීම බලපත්‍ර සහිත පතල්වල බොහෝ විට සිදුවන්නකි. ඒ අතර තනි තනිව බකයා ගැසීමට ලැබුණහොත් එයත් එසේමය.

වරක් එක් පතලක ඉල්ලම් කඩමින්, සිටින විට නිල් කැටයක් වැටෙනවා දුටු ඉල්ලම් කඩන්නා එය සඟවා ගැනීමට ක්ෂණිකව උප්පර වැට්ටියක් කල්පනා කළේය. වට පිට හෙරැහින් බලා උඩ බලන විට අහසේ උකුස්සෙකු ඉගිළෙන ආකාරය දුටුවේය. ඒ දැක “උකුස්සෙකු ඉන්න උඩ…” කියමින් වචන උච්චාරණයෙන් උගේ ඉගිළීමේ විශේෂ බවක් කියා පෑවේය. එවිටම මේ අරුමය කුමක් දැයි බැලීමට සියල්ලෝම උඩ බැලුවෝය. ඉල්ලම් කඩන්නා ක්ෂණයකින් නිල් කැටය ගෙන බඩතුරේ සඟවා ගත්තේ සියල්ලන්ටම නොපෙනෙන්නටය. ඒත් හොරුන්ගෙත් හොරු කම්බ හොරු කීවා සේ එකෙක් මේ සොරකම දුටුවේය. නමුත් නිහඬව සිටියේය.

එදින පතලයේ වැඩ නිමවා නිවෙස් බලා යද්දී මැණික බකයා ගැසු අය සමඟ එය දුටු පුද්ගලයා ද මඟට බැස්සේය. මඳ දුරක් නිහඬව ගිය හොරකම දුටු පුද්ගලයා “මචං අර දවල් පෙන්නපු උකුස්සගෙන් බාගයක් මටත් අයිතියි” කීවේ හොරකම දුටු බව ව්‍යංගයෙන් ඇඟවීමටය. ඉල්ලම් කැඩු තැනැත්තාගේ ගත සීතල වී ගියේය.

මෙය ප්‍රසිද්ධ වුවහොත් බඩ පුරා ගුටි කන්නට වන බවත් හිරේ ළගින්නට වන බවත් දන්නා ඔහු එයට කැමැති විය.

පතලේ වැඩ අවසන් කර, ගරාගත් මැණික් අලෙවියෙන් ලද සොච්චම් මුදල ද ගෙන පසුව දෙදෙනාම එකතුව බකය ගැසු මැණික අලෙවි කර ලක්ෂ ගණනක් අතමිට මොළවා ගත්හ.

තුවාලය බැඳි රෙදිකඩ සමඟ එළියට ගිය මැණික

ඉල්ලම් කඩන විට මැණිකක් දුටුවොත් කෙසේ හෝ මැනේජර් මහතාගේ ඇස් වසා බකයා ගැසීම සේවකයන් එකමුතුව හෝ තනියම කරන අවස්ථා ද තිබේ. මේ කෙනෙකුට සිතා ගැනීමටවත් අපහසු සිදුවීමකි. අඩි හත අටක් ගැඹුරු පතලයේ ඉල්ලම කඩමින් සිටි පුද්ගලයා ඉදිරියේ මැණිකක් පෙරළී වැටුණේය. එය කකුලට යට කර ගත් ඉල්ලම් කඩන්නා එය අතට ගන්නා ක්‍රමය කල්පනා කළේ කොම්පියුටරයකට වඩා වේගයෙන් මොළය ක්‍රියා කරවමිනි. ක්ෂණයකින් ක්‍රමය හිතට වැටුණේය. වරක් දෙවරක් ඉල්ලම් කූරේ තුඩ දෙස බැලුවේය. දෙගමනක් නොසිතා සියුම් කූඩ සහිත ඉල්ලම් කූරෙන් කකුලට ඇන ගත්තේ ‘උහ්’ ගාමින් කකුල අල්ලාගෙන නැමුණේය. ඉල්ලම් කූර අතින් ගිලිහිණි. හිසේ බැඳ තිබූ ජටාව ලිහා කකුල වෙලා ගත්තේ ලේ යෑම වැළැක්වීම පිණිසය. කකුල යට තිබූ මැණික ද ඒ සමඟම ජටා රෙද්දට බැඳ ගත්තේය.

කකුල තුවාල වනවා දුටු සෙසු පිරිස කලබල වී තුවාලකරු වත්තම් කර ගොඩට ගති. වාඩියට ගෙන ගිය තුවාල කරුට වෙනිවැල්ගැට තම්බා බීමට දී මඳ වේලාවක් ඇල් වතුරින් කකුල තෙත් කරමින් ලේ යෑම පාලනය කළෝය. තුවාලයේ වේදනාව මඳක් අඩු වූවාට පසු සෙසු පිරිසට පතලයේ ඉදිරි වැඩ කිරීමට පැවරූ මැනේජර් මහතා තුවාලකරුට ගෙදර ‍ෙගාස් ඩිස්පැන්සරියෙන් බෙහෙත් දමා ගැනීමට මුදලක් ද දුන්නේය. මුදල ද ගෙන නිවසට ගිය ඔහු තුවාලය බැඳ තිබූ ලේන්සුව ගලවා මැණික ගෙන එය සෝදා ප්‍රවේශමට තැබුවේය.

තුවාලය සුව වන තෙක් පතලයේ නිවාඩු ලැබුණේ සියලු අයිතීන් සහිතවය. එනිසා පතලින් ලද මැණික් අලෙවියෙන් ලැබුණු මුදල් කොටස ද ගත්තේය. පසුව රහසිගතව මැණික් ව්‍යාපාරිකයකු හමු වී අලෙවි කරගනෙ තිබේ.

මැණිකක් ගිල්ල කිරිමැටි අලියා

කිසිවෙකුටවත් සිතා ගැනීමටවත් නොහැකි ආකාරයේ සොරකම් ද පතල්වල වන්නේය. මේ එවැන්නකි. විහිළුවෙන් තහළුවෙන් වැඩ කිරීම පතල් කම්කරුවන්ගේ සිරිතකි. එවිට විඩාව හා අපහසුතා අමතක වන බැවිනි. මෙසේ විහිළු තහළුවෙන් වැඩ කරගෙන යන අතර තුරේ එක් අයෙක් නිවාඩු පාඩුව සිටින අවස්ථාවක මැටි ගුලියක් ගෙන සතෙකුගේ රූපයක් අඹා පතලේ ගැටිය උඩ හෝ තට්ටුව මත තැබීම පුරුද්දක් කරගත්තේය. ඔහු මෙය දිනපතා කරන්නකි.

වරෙක අලියෙකු හදන ඔහු තවත් දවසක සිංහයෙකු හදන්නේය. තවත් දවසක හාවකු හදයි. එය ඔහුගේ විනෝදාංශයක් සේ සැලකු සෙසු කම්කරුවෝ ඒ ගැන තැකීමක් නොකළහ. ඔහු එසේ නිර්මාණය කළ රූපය පොඩි එකාට දීමට යැයි කියා වැඩ නිමවා නිවසට යන විට ගෙන යන්නේය. නමුත් මේවා නිවසට ගෙන ගියේ නැත. මඟදී කැලයට විසිකර ගියේ නඩයේ පිරිස මුලා කිරීමේ අරමුණ ඇතිවය.

දින හතරක් පතල හාරා ඉල්ලම් කඩන දිනය ද උදා විය. තුමතේරුවට (පරීක්ෂාවට) මැනේජර් මහතා සිටිය ද තේ බොන වේලාවේදී මැටියෙන් අලියකු අඹා තට්ටුවක් මත තැබුවේ පුරුද්දට මෙනි. ඉල්ලම් කඩා අවසන් කර එදින ද පිරිස වැඩ නිමවා නිවෙස් බලා යෑමට පිටත් වූහ. අලියා නිර්මාණය කළ අය ද පොඩි එකාට දෙන්නට කියා මැටි අලියා ගෙන ගියේය. වෙනදත් ඔහු නිර්මාණය කළ සතා ගෙනයන බැවින් කිසිවෙක් ඔහු අවිශ්වාස නොකළේය.

වෙනදා මෙන් එදින ද අතරමඟදී කිරිමැටි අලියා කැලෑවට විසි නොකළ මේ පුද්ගලයා එදා නිවසටම ඌ රැගෙන ගියේය. පතලයේ වැඩ නිමවා මාස දෙක තුනක් ගිය පසු කටින්කට ආරංචිය පැතිර ගියේය. ඉල්ලම් කඩන විට අසුවුණ මැණික ගිල්ලවා කිරිමැටි අලියා අඹා ඒ පුද්ගලයා මැණික ගෙදර ගෙන ගියේ ඒ ආකාරයටය. පසුව මේ සිද්ධිය සිහිපත් කරමින් පතල් හිමියෝ “බාස් උන්නැහේ අලි අඹන්න බැහැ” යි කියන්නේ විහිළුවටම නොවේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: