Posted by: lrrp | July 12, 2014

වකුගඩු රෝගයෙන් රට බේරාගන්න ළඟදීම ඔසු සහල් – සිංහල හාලේ බතට යළි හොඳ කලක්

 

රට පුරා පැතිර යන වකුගඩු රෝගය රටම බිලි ගන්නා වසංගතයක් බවට පත්වෙමින් තිබේ. බෙහෙත්වලින් යළි ප්‍රකෘතිමත් කළ නොහැකි වකුගඩුවේ වස විසත් අප ගන්නා බතෙන් එළවළුවෙන් සිරුරට යන විසත් ඉවත් කිරීම ලෙහෙසි පහසු නොවේ. මේ සියල්ලට පිළියමක් ලෙස අනාගතයේදී කෘත්‍රිම පොහොර හා කෘමි නාශක භාවිතයෙන් තොරව වගා කළ හැකි වී වර්ග රටපුරා ගොවීන් අතර ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් අරඹා තිබේ.

මේ යටතේ වස විසට ඔරොත්තු දෙන අපේ ම සිංහල වී වර්ග හතරක බීජ ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇත්තේ ය.

වකුගඩු රෝගියකුගේ වේදනාවේ කටුක බව කවදා හෝ ඔබ දැක තිබේ ද… ඒ වේදනාව, බලා ඉන්නා කෙනකුගේ දෑසට මහා බරකි. රෝගියා තමන්ගේම කෙනකු නම් හදවතට දැනෙනුයේ ඊටත් වැඩි බරකි. බොන වතුර උගුරක් ගානේ පෙරා වෙන් කර දෙන වකුගඩුව, එන්න එන්නම අඩපණ වෙද්දී අතපය ඉදිමෙන්නට පටන් ගනී. ඒ, දුර්වල වූ වකුගඩුවෙන් තවදුරටත් පෙරා වෙන්කර ගත නොහැකි වස විස සියල්ල ලේවලට එක්ව ඇති බැවිනි. ඊළඟට ඇත්තේ කෘත්‍රිමව ලේ පිරිසුදු කිරීමේ (රුධිර පිරිපහදුව) විසඳුමයි. එයට ද සතියක් ගානේ අඩුම තරමේ රුපියල් තිස් හතළිස් දාහක්වත් වැය වේ.

කොතරම් බෙහෙත් බීව ද වකුගඩුවේ ක්‍රියාකාරිත්වය පෙර තත්ත්වයට ගෙන ආ නොහැකි බැවින් වකුගඩු බද්ධය අවසන් විසඳුම බවට පත්ව තිබේ. නිශ්චිත විසඳුමක් නැති වකුගඩු රෝගයේ භයානකම අවස්ථාව එයයි. ගේ දොර, කණකර උකසට තබා ලක්ෂ ගණන් වැය කළත් අවසානයේ වකුගඩු රෝගියකු මිය යන්නේ පවුලම හිඟමනට වැටී සේසත ද නැති වූ විටය. එය ‘මරාගෙන මැරෙන රෝගයක්…’ ලෙස හඳුන්වන්නේ ද එනිසාය. උතුරුමැද පළාතේ වකුගඩු රෝගය දැන් දැන් වසංගතයක් බවට පත්වෙමින් තිබේ. ඒ, බලා ඉඳිද්දී ගොවි ජනතාව මරා දමන මාරාන්තික රෝගයක් සේ ව්‍යාප්ත වෙමිනි.

‘වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය’ පිහිටුවන්නේ තත්ත්වය මෙසේ උග්‍ර වෙමින් පවතින පසුබිමකය. එම බළකායේ කෘෂිකර්ම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්න ජයසුමන මහතා, වසවිසෙන් තොර වී වගාවක් ඇති කිරීම සඳහා ඉදිරි කන්නයේ කුඹුරු අක්කර 50,000 ක් වගා කිරීමට අවශ්‍ය බිත්තර වී ගොවීන්ට නොමිලේ ලබා දීමේ වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ ජාතික වැඩසටහනකට පළමු පියවර තබමිනි.

කිසිඳු රසායනික පොහොරක් නොමැතිව මෙම බිත්තර වී ගැනීම සඳහා, මෙම කන්නයේ තෝරා ගත් ගොවීන් හරහා අක්කර 2000 ක් වගා කර ඇති බවත් තම කණ්ඩායම මේ වගාව පිළිබඳ නිරතුරු පරීක්ෂාවෙන් සිටින බවත් පැවසූ වෛද්‍ය ජයසුමන මහතා, අස්වැන්න කැපීමේදී ඒවා සියලු ගොවීන් ගෙන් කිලෝව රුපියල් 60 ගණනේ මිලදී ගන්නා බවත් පැවැසීය.

බළකායක් ලෙස ඔහු ප්‍රමුඛ කණ්ඩායම අතගසා ඇත්තේ භාරදූර කාර්යයකටය. රසායනික පොහොර ප්‍රතික්ෂේප කරමින් දිනෙක රටපුරා වගා කිරීමට නියමිත ඖෂධීය සහල් වර්ග, බත් කන්නා වූ මේ රටේ ජනතාවට පුරුදු කරවීම එම අරමුණයි.

එය කෘෂි රසායන මාෆියාවට අභියෝගයක් වනු ඇත.

එමෙන් ම පිටරටින් ගෙන්වන සහල්වලට ද අභියෝගයක් වනු ඇත. නමුත් රාජ්‍ය අනුග්‍රහයත් ‘හෙළ සුවය’ සංවිධානයේ පූර්ණ සහයෝගයත් නිසා එය සාර්ථක කර ගැනීම හැකි වන අතර වඩාත් අත්‍යවශ්‍ය වන්නේ ජනතාව මේ ව්‍යවසනය තේරුම් ගෙන ඖෂධීය සහල් – බතට මාරුවීම බව ඔහු පවසයි.

“කෘෂිකාර්මික වකුගඩු රෝගය ලෙස හඳුනාගත් ගොවි ජනතාව අතර පැතිර යන්නා වූ මේ වකුගඩු රෝගයට මුල් වී තිබෙන්නේ කෘෂි රසායන භාවිතයයි. නමුත් අද කාලේ තෙල් – බෙහෙත් – පොහොර නැතිව කුඹුරක් කරන්න බැහැ. ඒ වී වර්ග හදා තිබෙන්නේ මේ සියල්ල අවශ්‍ය වන විදියට. කෘෂි රසායනවල තිබෙන විෂ රසායනික, ශරීරගත වීමයි මෙහි තිබෙන ප්‍රධානතම කාරණය. කෘෂි රසායන ලෙස හඳුන්වන්නේ රසායනික පොහොර සහ කෘමි නාශක, වල් නාශක සහ දිලීර නාශක කියන පළිබෝධ නාශකයි. මේ රසායනික ද්‍රව්‍ය, කිවුල් වතුර හා මිශ්‍ර වීමෙන් පානීය ජලය හරහා ඒවායේ තිබෙන ආසනික්, කැඩ්මියම් සහ අනෙකුත් බැර ලෝහ සහ පළිබෝධ නාශක අවශේෂ කොටස් මේ රෝගීන්ගේ ශරීරගත ‍වනවා.

1994 වසරේ පදවි ගොවි ජනපදයෙන් පළමු වරට මේ වකුගඩු රෝගය වාර්තා වුණේ, වයසක ගොවි මහතකුගෙන්. මුලදී වයස 50 – 60 ගොවීන් වාර්තා වුණත් දැන් අවුරුදු 25 – 30 අයත් බහුලයි. මේ අය ඉතා ඉක්මනින් වකුගඩු රෝගයෙන් මිය යෑම නිසා මේ වන විට පවුල් ගණනාවක් අනාථ වෙලා.

සැල්වීනියා, නෙළුම් අල වගේ ජලජ ශාඛවලත් වැව් මාළුන්ගේත් විෂ උරා ගැනීම යම් ප්‍රමාණයක් වැඩියි.

නමුත් ඇඟට යන ප්‍රධාන ප්‍රභවය වන්නේ, කිවුල් ජලයයි. බත් කෑමෙන් වුවත් මෙවැනි ජලජ ආහාරවලින් වුවත් ඝන ආහාර ලෙස විෂ ශරීරගත වීමේ දී සිදුවන්නේ ඒවා අක්මාවේ තැන්පත් වී දියවැඩියාව හෝ පිළිකාව ලෙස ශරීරයට බලපෑම් කිරීමයි. අද රටෙන් බාගෙකට දියවැඩියාව හැදෙන්නත් පිළිකා රෝගය බහුල වන්නත්, හේතු වී තිබෙන්නේ ආහාරවල මෙම විෂ රසායනයත් තැන්පත් වී තිබීමයි.

ඒ දියවැඩියා රෝගීන් වුවත් කාලයක් යද්දී වකුගඩු රෝගීන් බවට පත්වනවා. සෘජුව මෙන්ම වක්‍රවත් සිදුවන මේ මහා ව්‍යසනයට පිළියමක් ලෙසයි, මේ ඖෂධ සහල් වගා ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ.

අනුරාධපුර, පොළොන්නරුව, පොල්පිතිගම, ගල්ගමුව, ගිරිබාව, ගිරාඳුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය, ශ්‍රීපුර, ගෝමරන්කඩවල, කන්තලේ, මාතලේ, විල්ගමුව, වැලිඔය, වවුනියාව දකුණ පමණක් මේ වන විට වාර්තා වී ඇති රෝගීන් ගණන 69,258 ක්. මීට අමතරව නිකවැරටිය, යාපහුව, දඹුල්ල, නාවුල, මහඔය, පදියතලාව, බුත්තල, වැල්ලවාය, තණමල්විල, ලුණුගම්වෙහෙර, වීරකැටිය, තිස්සමහාරාම, අඟුනකොළපැලැස්ස සහ කතරගම අලුතින් රෝගීන් වාර්තා වන ප්‍රදේශ බවට පත්වෙලා. මේ විදියට රට පුරා ක්‍රමයෙන් ව්‍යාප්ත වන මේ වකුගඩු රෝගය නිසා හුඟක් වෙලාවට අකාලයේ මිය යන්නේ පවුලේ ගෘහමූලිකයා හෙවත් දරුවන්ගේ තාත්තා.

වෛද්‍ය චන්න ජයසුමන

දෙහිඅත්තකණ්ඩියේ එක පාරක් අද නම් කර තිබෙන්නේ ‘වකුගඩු මාවත’ නමින්. මේ පාරේ හැම ගෙදරකම කවුරුන් හෝ කෙනෙක් වකුගඩු රෝගයෙන් මිය ගිහින්.

මේ රෝගය එන්නේ අපිට නෙවෙයි ගොවීන්ටනේ… කියලා මේ රටේ කාටවත් හිත හදා ගන්න බැහැ. මොකද වහාම අපේ කෑම රටාව වෙනස් කර නොගතහොත් අනිවාර්යයෙන් වක්‍රව හෝ අපිත් මේ වකුගඩු රෝගයට ගොදුරු වනවාමයි.

ජාතියක් හැටියට අපි දැන් විසඳුමකට යා යුතු කාලය උදා වෙලා. පොත්ත තද රතු පාරම්පරික සිංහල සහල්වල ඇති ‘Proanthocyanadine’ නම් දුර්ලභ රසායනය සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරක, වකුගඩු රෝගය වැලඳුණු අයට ඉතාම යහපත් බව හුඟ දෙනෙක් දන්නෙ නැහැ.

මේ රසායනය වැඩිදියුණු කළ අලුත්, සහල් වර්ගවල නැහැ. කටට රසට හැපෙන, ඇහැට ප්‍රිය වෙළෙඳපොළේ ඇති නානාප්‍රකාර අලුත් සහල් වර්ගවල ඇතැම් විටෙක නොහිතන විෂ සංඝටකයන් තිබෙනවා. මොකද ඒවාට විෂ උරා ගැනීමේ ප්‍රවණතාව වැඩියි. මේ විදියට කෑමවලින් දීර්ඝ කාලයක් තිස්සේ පොඩි ප්‍රමාණවලින් ශරීරයට ඇතුළුවන විෂ ඉවත් කරන්න ක්‍රමවේදයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ තවම නැහැ. තියෙන එකම ශක්තිය තිබෙන්නේ මේ සිංහල හාල්වල පමණයි.

ශරීරයේ විෂ ඉවත් කිරීමට මෙන්ම විෂ සමඟ සටන් කිරීමට කළු හීනටි, මඩතවාලු, සියපත් ඇල් (පච්චපෙරුමාල්) සහ කුරුලුතුඩ කියන මේ හාල් වර්ග හතරට පුදුම හැකියාවක් තිබෙන බව පර්යේෂණවලින් ද ඔප්පු වී තිබෙනවා.

අතීතයේ මෙන්ම අදත් බොහෝ විෂ වෙදුන් විෂ ශරීරගත වූ රෝගීන් බේරා ගන්නේ මෙවැනි දේශීය සහල් කැඳවලින්. පොළොං විසට කළු හීනටි හාල් කැඳ තමයි ප්‍රබලම ඖෂධය. ඒ අනුව, අදත් රටේ ඉතාමත් විරලව මේ හාල් වර්ග සුළු වශයෙන් හෝ වගා කරගන්නේ වෙද මහත්තුරු පමණයි. පොඩි ලියැද්දක් දෙකක් එහෙම වගා කරගත්තු නිසයි වාසනාවකට මේ හාල් තවමත් රටේ සුරැකිලා තිබුණේ.

මේ පැරැණි සහල් වවන්න තෙල් පොහොර අවශ්‍ය නැහැ. එයින් පොළොවට එක්වන විෂ රසායන ප්‍රමාණය ද අඩු වනවා. මේ හාලෙන් බත් කනවා නම් හෝ කැඳක් බොනවා නම් ඇඟ ඇතුළේ තිබෙන සියලු විෂ ඉවත් වනවා. වකුගඩු රෝගීන්ටත් එය ස්වභාවික පිළියමක්.

ජනාධිපතිතුමාට මේ කරුණු ඉදිරිපත් කළ පසු, විශේෂ කාර්ය බළකායක් පිහිටෙව්වේ. වහාම මේ වගා ව්‍යාපෘතිය රටපුරා ව්‍යාප්ත කිරීමටයි.

ඊළඟට අපිට තිබුණු ලොකුම ගැටලුව වුණේ කොහොම ද මේ හාල් ටික වගා කරගන්නේ කියන එක.

මොකද දැනට ලංකාවේ වසරකට අක්කර ලක්ෂ 25 ක් වී වගා කරනවා. මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ විෂ වුණත් කටට රහ හාල් කන්න විතරයි.

ඒත් අඩුම තරමේ අක්කර එක්ලක්ෂයක්වත් වගා කරගන්න පුළුවන් වුණොත් තෙල් බෙහෙත් පොහොරවලට වාර්ෂිකව යන රුපියල් මිලියන 6250 ක් රටට ඉතිරි වනවා. මිල කරන්න බැරි වකුගඩු දහස් ගණනක් සුරැකෙනවා.

දැනට එක වී අක්කරයක් සඳහා පොහොරවලට රුපියල් 15,000 ක්, පළිබෝධ නාශක සඳහා රුපියල් 10,000 – 15,000 ක් වැය වනවා.

නමුත් දේශීය වී ගොවිතැනේදී මේ දෙකම සඳහා එකම සතයක් වැයවන්නේ නැහැ. අවට ගහකොළවලින් හදාගත් ඖෂධ දියරයක් පමණයි ඉසිය යුතු වන්නේ. ලැබෙන අස්වැන්නත් ඉහළයි.

නමුත් වස විස නැති වී අක්කර 50,000 ක් වවනවා කියන එක මහා විප්ලවයක්. අපි රටපුරා හෙව්වා මේ පැරැණි වී වවන්න පුළුවන් තාක්ෂණය දන්නා පිරිස්. අපිට හම්බ වූ සාර්ථකම පිරිස තමයි, ‘හෙළ සුවය’ කණ්ඩායම.

ඔවුන් භාවනාවෙන් සහ අධ්‍යාත්මිකව හිත දියුණුව ළඟා කරගත් පිරිසක්. ඔවුන්ගේ තාක්ෂණික උපදෙස් අනුවයි මේ අක්කර 2000 වගාව පටන් ගත්තේ.

මේ සඳහා අවශ්‍ය පළමු බිත්තර වී ටික අවුරුදු දෙකකට කලින් අපිට වගා කරලා දුන්නේ කොළඹ රාජකීය විදුහලේ දරුවන්.

විදුහල්පතිතුමා ප්‍රමුඛව ඔවුන් ඒ සඳහාම මාලබේ පුංචි කුඹුරක් කළා. ඔවුන් දීපු බිත්තර වී ටික රටපුරා ගොවීන්ට බෙදලා දුන්නා. ඒ විදියට කන්න හතරක් තිස්සේ රටේ විවිධ පළාත්වල වවලා ගුණනය කරගත්තු බිත්තර වී වලින් තමයි, මේ අක්කර 2000 සඳහා නොමිලයේ දෙන්න බිත්තර වී හදාගත්තේ.

වකුගඩු රෝගය උග්‍ර පළාත්වල වගේම රටපුරා ඕනෑම තැනෙක වගා කරන්න කැමැති ගොවීන්ට රජයෙන් නොමිලයේම මේ බිත්තර වී ටික ලබා දෙනවා. රසායනික පොහොර නොයොදා අපේ නිරන්තර අධීක්ෂණය යටතේ දැන් මේ වී වගාව සිදු වෙමින් පවතිනවා.

ගඳපාන, ලාඩප්පා කොළ (වැටමාර), මී ඇට, කැප්පෙට්ටියා කොළ, කොහොඹ කොළ සහ ඇට, අක්කාපාන, නීරමුල්ලිය, කුප්පමේනියා, ඉරිගු කොළ ඇතුළු කොළ ජාති 20 ක් පමණ වගේම ළිපේ අළුත් ගොම බෙටිත් මිශ්‍ර කරලයි මෙහි පොහොර සහ පළිබෝධ නාශකය හදා ගන්නේ.

මේ බෙහෙත් වට්ටෝරුව දෙන්නේ හෙළ සුවයෙන්. පළාතෙන් පළාතට එය ඔවුන් වෙනස් කරනවා.

ඒ තාක්ෂණය අකුරටම පිළිපදිමින් මෙතෙක් කළ සියලු වගාවන් සාර්ථක වුණා. අනෙක ගොවීන් හරි උනන්දුයි. කෘෂි රසායන කිසිත් නැතිව මේ තරම් හොඳ අස්වැන්නක් ලැබෙන බව ඔවුන් අත්දැකීමෙන් දුටුවා. තමන්ගේ ගෙදර පරිභෝජනයට වගේම රටේ ජනතාවටත් මේ වී වගා කර දෙන්න ඔවුන් කැමැතියි.

නමුත් මේ රටේ දැනට ක්‍රියාත්මක කෘෂි රසායන මාෆියාව නැඟී නොසිටි යැයි අපිට සිතන්න අමාරුයි. මොකද මේ වන විට රටට එක අවුරුද්දකට ගේන තෙල් හා පොහොර ප්‍රමාණයට යන මුදල කෝටි 10,000 ක්. මේවා තුළ දැවැන්ත වාසි ලබන අයනම් මේ ව්‍යාපෘතියට කැමැති වන එකක් නැහැ.

ඔවුන් කැමැති රටේම ජනතාවගේ වකුගඩු නරක් වුණත් තමන්ගේ මල්ල පිරෙනවට පමණයි. දැනට රෝහල් ආපන ශාලාවල ඇතුළු තැන් කිහිපයකදී මේ සහල් සුළු වශයෙන් මිලදී ගන්න පුළුවන්.

අඩුම තරමේ පවුලේ හැමෝටම බොන්න පුළුවන් කැඳ කෝප්පයක් විදියටවත් මේ හාල් ආහාරයට ගන්නවානම් ඇ‍ඟේ තියෙන සියලු වස විස ඉවත් කරගන්න පුළුවන්. විශේෂයෙන් දියවැඩියාව ඇති දරුවන්ට මෙය අමිල ඖෂධයක්.

දැනට රාජකීය විදුහලේ මේ කැඳ ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. රටේම දරුවන්ට මේ කැඳ කෝප්පයක් ලබා දෙන්න පුළුවන් නම් ඔවුන් රෝග ගණනාවකින් මුදා ගත හැකියි.

ඉතින්, මේ රටේ ගොවි මහතුන්ට අපිට දෙන්න ඕනෙ පණිවුඩය තමයි, තෙල් පොහොර නැතිව මේ රන් හා සමාන හාල් ටික වවන්න නොමිලේ බිත්තර වී ටික දෙනවා. වී කිලෝව රු. 60 ට ආපහු ගන්නවා. තාක්ෂණයක් ක්‍රමවේදයක් තියෙනවා. රජයෙන් පූර්ණ සහාය ලැබෙනවා. ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තියෙන නිසා රටම නිරෝගී කරන මේ මහා විප්ලවයට එක්වන්න කියන එක. අක්කර 100 ක් වැව්වත් බිත්තර වී ටික දෙන්නේ නොමිලයේ. අනික කිවුල් වතුර නම් බොන්නේ උණු කරලා නිවෙන්න තියලා මණ්ඩි ටික යටට බැස්සට පස්සේ බොන්න කියන එක.

මුරුංගා, හේන් වැටකොළු සහ හේන් වට්ටක්කා සහ හේන් කොමඩු නිතර කෑමට ගන්න කියන එකත් රටටම කිව යුතුයි. මොකද මේ තුන් වර්ගයේම ශරීරයේ විෂ ඉවත් කිරීමේ යම් ගුණයක් තිබෙනවා…”

ස්වභාවික ජලයට බලපෑම් කරන්නට හෝ වකුගඩු නරක් වූ තැන බද්ද කිරීමකට යන්නට මුදල් නැතිකම නිසා කළ හැකි එකම විසඳුම වන්නේ ශරීරයේ විස ඉවත් කළ හැකි මේ පැරැණි සහල් යළි ආහාරයට ගැනීම පමණි.

එසේ නොවුණහොත් තව වසර 10 ක් ඇතුළත රජරට ජනතාව වකුගඩු රෝගීන්ව මිය යෑමත් මේ රටේ බත් සහ එළවළු කන සියලු දෙනා රසායනික විෂෙන් ලෙඩුන් වීමත් වළක්වාලනු නොහැකි කාරණාවක් වන බව වෛද්‍ය ජයසුමන මහතා පවසයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: