Posted by: lrrp | July 29, 2014

කූරගල කන්ද උඩදී දැනෙන්නේ දිව්‍ය ලෝකයේ ඉන්නවා වගේ

තමන් උපන් ගමේ නම වාසගමට හිමි වන්නේ අතළොස්සක් දෙනාටය. ඒ අතරින් එක් අයෙකි මතුගම සෙනෙවිරුවන් මහතා. ගම පුරා මෙන්ම ගමෙන් පිටතද පා පැදියෙන් යමින් සොබ‍ා දහමේ චමත්කාරය පිළිබඳ සොයන්නට කුඩා කල සිට ඔහු පුරුදු විය.

පරිසරය රැක ගැනීමට ඔහුගේ දායකත්වයට මූලාරම්භය එයයි. කාබනික කෘෂිකර්මය, චන්ද්‍ර මාස ක්‍රමය හඳුන්වා දීම ආදියේ පුරෝගාමියකු වූ ඔහු විසින් සම්පාදිත පොත් ගණන දහහතරකි.1980 දී පමණ ‘ගඟ පිටාර ගලයි’ කවි පොතෙන් ඇරඹූ ඔහුගේ ලේඛන කලාවේ පළමුවැනි ග්‍රන්ථය වූයේ ‘බිත්තර වී ශිල්පය’යි.

‘වස විසට එරෙහි පාරිසරික නව නිපැයුම්’, වැනි පරිසර හිතකාමී ශිල්පීය ක්‍රම පිළිබඳ මෙන්ම පසුගියදා එළි දැක් වූ ‘සිංහල බෞද්ධ රාජ්‍ය සමප්‍රදාය’ වැනි ක්ෂෙත්‍රවලටද ඔහුගේ ලේඛනය පුළුල් විය.

සිරිලක බොහෝ සිරි නරඹා ඇති ඔහු දුටු ලස්සනම තැන පිළිබඳ මතුගම සෙනෙවිරුවන් මහතා පවසන්නේ මෙසේය.

“මම රාජකාරී කළේ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ. අපට යන්න සිදු වුණා බළංගොඩ. එහිදී ගොවි මහත්වරු හමුවෙලා විවිධ දැනුම්වත් කිරීම්වලට සහභාගී වුණා. එයින් තමයි මගේ පරිසර කටයුතු ඇරඹුණේ.“

සිය පරිසරලෝලී කටයුතුවල මූලාරම්භය එසේ සඳහන් කරමින් ඔහු දුටු ලස්සනම තැන ගැන සෙනෙවිරුවන් මහතා කතාව ඇරැඹීය.

“මුලින්ම මම කූරගල ගියේ පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන නරඹන්න. ඒත් එහිදී හපුතලේ කඳු වැටියේ සිට උඩවලව දක්වා පේන්න ගත්තාම මේ තරම් ලස්සන තැනක් තවත් නෑ නේද කියලා මට හිතුණා. අපි ගියේ ලුණු දිය පොකුණ බලන්න. හරිම දුෂ්කර ගමනක්. එය පිහිටා තිබෙන්නේ පර්වත බෑවුමේ.

ඖෂධීය ජලය වෑස්සෙන පර්වතය අස්සේ තිබෙන පොඩි තැනක්. ඒ ගමන හරිම දුෂ්කරයි. අපි බෑවුම දිගේ යද්දි වතාවක් ලෙස්සලා ගියා. ඒ වෙලාවේ නම් බයක් දැනුණා. ඒත් ගමන අතහැරියේ නෑ.

“අපි කුරගල කන්දෙන් පහළට බහිද්දි හරියට දැනෙන්නේ දිව්‍ය ලෝකයේ ඉඳන් මනුස්ස ලෝකයට බහිනවා වගේ. වළවේ ගඟ ඉස්මත්තේ කල්තොට ජනපදය පේනවා. කඳු වැටි දෙක පේන්නේ හරියට අඩ හඳක් වගේ. ඒ නිසා වෙන්න ඇති පැරැන්නන් මේ කන්දට හඳගිරිය කියන්න ඇත්තේ. එසේ කියූ ඔහු ඉන් පසු එහි ඉතිහාසයටද මදක් එබිකම් කළේය.

“මේ කන්දේ සිරිපතුල් ලාංඡන තිබුණු බව කියනවා. මහින්දාගමනයට පෙර බුදු දහම අපේ රටේ පැවැතුණු බවට මහාචාර්ය සෝම දේව මහත්මයා කළ පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා.

බුදු හිමියන් පළමුවරට වැඩි අවස්ථාවේ මෙතැන තැබූ පා සලකුණු තමයි ඒ කඩා බිඳ දමා තිබෙන්නේ කියලයි විශ්වාස කරන්නේ. ඒ අතින් බැලුවාම මෙතැන වන්දනා මාන කරන්න අනුරාධපුර පොලොන්නරුව වගෙ ම වටින තැනක්.

මෙතැනට බුදුගල පැරණි සිද්ධස්ථානය පේනවා. රහතුන් වහන්සේ වැඩසිටි ගල් ලෙන් 300ක් පමණ ඒ කන්ද ඇතුළේ පිහිටා තිබෙනවා. ජනප්‍රවාදයක් තිබෙනවා ඒ කැලේ අතරමං වුණාම විශාල බුදු පිළිමයක් රැස් විහිදෙමින් තිබෙනවා දකින්න පුළුවන් කියලා. ඒත් ගමේ අය එක්ක ගියාම ඒක පේන්නේ නැතිලු.

රාවණ රජුගේ ලංකා පබ්බත විහාරය පිහිටියේත් මේ කැලේ කියලයි කියන්නේ. කුරගල කන්ද වටේ විනාඩි හතළිස් පහක් විතර යන ගමන විනාඩි 10න් යන්න පුළුවන් පඩි පෙළක් තිබිලා තියනවා. ඒකේ නටබුන් විතරයි දැන් පෙනෙන්නේ. ඒ අතින් බලද්දිත් මේ පරිසරය ගුප්ත වගේම පරිසර ලෝලියකුට ඉතාම වැදගත් ස්ථානයක්.

“සබරගමු බිම්තැන්න කියලත් මේ හරියට කියනවා. වලවේ ගඟ හැරි හැරී යන ලස්සන මෙතැනට පේනවා. එහි පැරණි අමුණ වන නීල මහ යෝධයා කළ බව කියන නීල බැම්ම සොයාගෙන අපි දවසක් ගියා.

වැව් පද්ධතියම මෙතැනට පේනවා කුඹුරු අස්සෙන්. එල්ලංගා පද්ධතිය කියලා හදුන්වන මහ වැව හා එයට බැඳුණු කුඩා වැව් පද්ධතිය සමඟ ඊට පහළින් කුඹුරු පෙනෙද්දී අපේ මුතුන් මිත්තන් ගැන ඇති වන්නේ අභිමානය මුසු ගෞරවයක්.

“බෙල්ලන් බැඳි පැළැස්සේ බළංගොඩ මානවයාගේ අවශේෂ තැන්පත් වී තිබෙන්නේත් මේ කන්දේ.

ඒ එක්කම අපි ගියා මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා සමඟ දියඉනි ඇල්ල බලන්න. වැහි කාලෙට ලොකු ඇල්ලක්. වතුර හිඟ කාලෙට ඉන්නක් වගේ දිය පාරක් වැටෙන්නේ. ඒ ගමන ගියේ ඉතාම අබලන් වැල් පාලමක් දිගේ. හරිම අවදානම් භයානක ගමනක් ඒක. ඒත් හරිම සුන්දරයි.

“ බෙල්ලන්ගල රක්ෂිතයේ ඉතා වටිනා ඖෂධිය ශාක වර්ග තිබෙනවා. මට දවසක් කුකුරුමුවන් කියන ශාකය එහිදි හමුවුණා. මෙය ජල පොෂක ප්‍රදේශයක්. එහි විවිධ කුඩා සතුන් ශාක වර්ග දකින්නට ලැබෙනවා. වැලි මුවන්, හාවුන් වගේ අය තමයි වැඩිපුර ඉන්නේ.

පාන්දරට කුරුල්ලන්ගේ නාදය අහගෙන ඉන්න ලස්සනයි. හිමිදිරියෙන් ම කුරුගල නඟිද්දී වැහි බීරුම් වෙලාවට අපට පෙනෙන්නේ හරියට සිරිපාදේ ඉර සේවය කරනවා වගෙයි.

එසේ කුරුගල වටිනාකමත්, චමත්කාරයත් විස්තර කළ ඔහු එය නැරඹිය යුතු ආකාරය ගැන පැවසුවේ මෙසේය.

“මේ දක්ෂිණ වේදිකාව බලන්න තරම් අපේ දෑස් පිංකර තිබෙනවා නම් හොඳයි. ඒත් මේ වෙද්දි ලුණු දිය පොකුණ ළඟ එහෙමත් බෝතල් ආදිය විසි කර තිබෙන හැටි පේනකොට කනගාටුයි. අපේ ඉතිහාසයේ ප්‍රෞඪත්වය අපට උරුම කරන මේ වගේ තැන්වලට අපි යන්න ඕනේ. හැබැයි ගියත් නොගියා වගේ එන්න ඕන.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: