Posted by: lrrp | August 23, 2014

රටේ වැඩියෙන්ම වැහි වැටෙන දිය ඇලිවලින් වටවූ මාලිබොඩ ගම්මානය

වටවල පට්ටිපොල කලකට පෙර අපේ රටේ වැඩියෙන්ම වර්ෂාපතනය ලැබෙන ගම්මාන විය. එහෙත් දැන් කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුව සඳහන් කරන්නේ වැඩිම වර්ෂාපනය ඇත්තේ මාලිබොඩ ගම්මානයේ කියාය.

අපි මීට මාස හයකට පෙර මාලිබොඩට ගියෙමු. ඒ වැඩිම වැස්ස බැලීමටය.එහෙත් කට්ට පෑවිල්ලට හසුව තිබූ ගම්මානයේ සියළු ගංගා සිඳී තිබිණි.”ඔන්න ආයෙමත් වහිනවා”ගමෙන් ලැබුනු ආරංචියට අපි ආයෙමත් මාලිබොඩට ගියෙමු. කතාව ඇත්තය.රැයක් දවාලක් නිශ්චිත වෙලාවක් නැත.මාලිබොඩ අහස කොයි මොහොතේ හඬයිද කියන්නට ගම්මු දන්නේ නැත.

කෙසේ වෙතත් , දෙහිකඩ ඇල්ල, බඹරගලින් ගලන ඇලි හත,පුවක්මල් ඇල්ල පමණක් නොව දැන් මාලිබොඩ ගමේ හැම කන්දකින්ම වාගේ දිය ඇල්ලක් ගලන්නේය.

“අප්‍රේල් මාසේ අන්තිම වගේ ඉඳලා කඩින් කඩ වහින්න ගත්තා. ඒත් ඒ වැස්ස හරියටම වහින්න පටන් අරගෙන දැන් මාසයක් දෙකක් විතර ඇති. දැන් නම් අපිට එපා වෙන තරමට මේ පැත්තට වැස්ස. රෙද්දක් වේලගන්න නැහැ. තේ දලු කඩන්න බැහැ. කොටින් ම කිව්වොත් දවස හමාර එළියට බහින්න බැරිවෙන තරමට වැස්ස. ඇවිල්ලම බලන්නකෝ.”

මාලිබොඩ පොත්දෙනිකන්ද ගමේ රංජනී බෝකන්ද ඉකුත් දිනෙක අපට දුරකථනයෙන් පැවසුවා ය. ඒ අනුව අපි මහ වැස්සේ ම මාලිබොඩ යන්නට ඉටා ගත්තෙමු.

නියං සමයේ මාලිබොඩ ගොස් කට්ට පෑවිල්ලට හසුව සිඳී ගිය දිය ඇලි දැක බලා පැමිණි අපි මහ වැසි වැටෙන සමයට මාලිබොඩ කෙබඳු දැයි බැලීමට ඉකුත් දිනෙක යළි එහි ගියෙමු.

මෙවර අප දැරණියගල නගරයට ගියේ සපුමල්කන්ද හරහා ය. ඒ අනෙක් මාර්ගය අබලන් බැවිනි. ගමනේදී මුලින් ම අපට එක්වූයේ වෛද්‍ය ජගත් වික්‍රමසිංහ හා දැරණියගල පොලිසියේ ආරක්ෂක නිලධාරි ගාමිණී පියසිරි ය. ඔවුහු මාලිබොඩ ගම ගැන හොඳින් දනිති.

“අද උදේ ඉඳලම වැස්සා. දැන් නම් වැස්ස ටික තුරල් කරලා. බලමුකෝ ගමට ගිහිල්ලම. වැස්සට හේදිච්ච පාරවල්වල යන්න පුළුවන් ද දන්නේ නැහැ.”

දැරණියගල නගරයේ සිට අපි මාලිබොඩට යන්නට පිටත්වීමු. බරලන්තොට පාලමට පෙර හමුවන්නේ සුද්දාගේ කාලයේ සැදූ යකඩ පාලම ය. ඉන්පසුව හමුවන්නේ බරලන්තොට පාලමයි‍. බැලූ බැල්මට අනාරක්ෂිතයයි සිතෙන මේ පාලම මැදින් යන ගමන මහ වැස්සට පිරුණු ජලයෙන් ඊට යටින් ගලන ගඟ පිරී ඉතිරී යන්නේ ය. නියං සමයේ මතුව තිබූ ගල් තලා සඟවාගෙන මේ මහ ජලකඳ පහලට ගලන්නේ මහහඬ නංවමිනි. බරලන්තොට පාලම පසුකර අපට යාමට හැකි වූයේ කිලෝමීටර් තුන හතරක් පමණි.

“අන්න දිය ඇල්ලක්.”

ඡායාරූප ශිල්පී විමල් කඩි මුඩියේ වාහනයෙන් බැස ගත්තේ ය.

නමක් නැති ඒ දිය ඇල්ල කඳු අතරින් ගලා හැළෙන්නේ සිලි සිලි හඬ නංවමිනි. දිය ඇල්ලෙන් විසිරෙන ජලය ගලා බසින්නේ පටු තාර පාර හරහා ය.

අපි යළිත් ගමන ඇරඹුවෙමු. පාර අබලන් ය. රියදුරු සොයුරා පාර දෙස බලන්නේ බැරෑරුම්ව ය.

“යන්න බෑ”

වැසි ජලයට මෙන් ම කඳු අතරින් ගලා හැළෙන දිය පහරවලට සේදී ගිය පාරේ මතුවී ඇති ගල් දකින විට ගමනේ අසීරු බව වඩාත් සිතට දැනේ.

පෑවිල්ල සමයේ සිහින් රේඛාවක් ලෙස බදුල්ලකැටියේ සිට බලන විට දිස්වූ දෙහිකඩ ඇල්ල දැන් ජලයෙන් පිරී ගොසිනි. දෙහිකඩ ඇල්ල පසුකර ඉදිරියට ‍යන විට ඈතින් ‍වලාකුළු අතර සැඟවෙමින්, මතුවෙමින් පෙනෙන්නේ බඹරගලින් ගලන ඇලි හත ඇති ඉසව්වයි. ඈත මීදුමට වැසී ගිය කඳු යායේ දැන් ඇලි හත ම පෙනෙන්නේ නැත. පෙනේනනේ දියඇලි හයක් පමණි.

“වැස්ස වැටෙනවත් එක්කම තේ කප්පාදු කළා. ඊට පස්සේ තමයි මේ ලස්සනට දලු දාලා ලියලලා එන්නේ. දැන් තේ පැළ ඉන්දන කාලේ. ඒ වගේ ම සමහර තේ තවාන් දානවා. ආන් බලන්න අර අලුතෙන් ඉන්දුව රබර්.”

අතර මගකදී හමුවූ ගැමි ගැහැනියක පවසන්නේ සතුටිනි. වැස්ස විටෙක ඔවුන්ට කරදරයක් වුව ද ඔවුන් වැස්ස සලකන්නේ තමන්ට ආශිර්වාදයක් ලෙස ය.

“මහ හිමේට වහින්නේ කොයි මොහොතෙද කියලා කියන්න බැහැ‍. පේනවා නේද පරිසරයේ අඳුරු ගතිය. මේක සමන් දෙවියන්ගේ අඩවිය. අපේ ගම් පළාතේ ගම්බාර දෙවියන්ව හඳුන්වන්නේ ඉරුගල් බණ්ඩාර දෙවියෝ කියලා. අපිට සමන් දෙවියන්ගෙන්, ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ ඇල්ම බැල්ම තියෙනවා. ඉස්සර මේ ගමේ ඈයෝ කිතුල්මල් කැපුවා, හකුරු හැදුවා. දැන් නම් කිතුල් කර්මාන්තය කෙරෙනවා අඩුයි. ඒ වුණත් ගම්බිරිස්, තේ, වැනිලා, රබර් ආදිය වහා කරනවා. ඒවා තමයි අපට තියෙන ආර්ථික බෝග.

ම‍ාලිබොඩ කුඩා නගරය පසුකරමින් යන අතරේ රංජනී පවසන්නීය.

මාලිබොඩ කුඩා නගරය තවමත් අලුත් වී නැත. දිනකට දෙතුන් වරක් දැරණියගල නගරයට යන බස් රථය හැරෙන්නට මේ ගමට වෙනත් ප්‍රවාහන සේවා නැත. ඇත්තේ තේ දලු අදින ලොරි ය‍. කලාතුරකින් නිවෙසක ත්‍රිරෝද රථයක් දෙකක් ඇත්තේ ය‍.

පල්ලේ පන්සිය සපත්තු පාලම සුද්දාගේ කාලයේ හැදූවකි. මේ සපත්තු පාලම හමුවන්නේ මාලිබොඩ නගරය පසුකර උඩමාලිබොඩට යන ගමනේ දීය. පල්ලෙපන්සිය පාලම අනතුරුවලට අත වනන ස්ථානයක් බඳු ය‍. මීට පෙර එහි වාහන කිහිපයක් ම ගසා ගෙන ගොස් ඇත්තේ ය. අහිමි වූ ජීවිත සංඛ්‍යාව දහයකට වැඩි ය. ධාරානිපාත වැස්සට මේ පාලමෙන් එගොඩ මෙගොඩ මාරක ගමනකි. සීත හිමයේ සිට ගලන සීත ගඟුලේ අතු ගංගාවක් වන පල්ලේපන්සිය පාලම යටින් ගලන වතුර පාර ධාරානිපාත වර්ෂාවට සපත්තු පාලමත් යටකරගෙන ගලන්නේ ය. සිඳී ගිය මේ ගඟ දැන් ජලය පිරී ඉතිරී ගලා බසී. පාලම පසුකර අපි පුවක්මල් ඇල්ල බලන්නට ගියෙමු. එහෙත් ඒ යන මඟ දුෂ්කර ය. උඩමාලිබොඩ, මැදගෙදර වත්තෙන් හැරී ශ්‍රී දේවගිරි ආරණ්‍ය සේනාසනය මැදින් ඇති මඟ පුවක්මල් ඇල්ලට ඇති කෙටිම මඟයි.

“දිගු පෑවිල්ලකට පස්සේ තමයි මේ වහින්නේ‍. මේ පළාත හරිම දුෂ්කරයි. දැන් වස්කාලේ. ඒ නිසා බදාදා හවසට බෝධි පූජාව පැවැත්වෙනවා. භාවනානුයෝගීව ඉන්න මේ ස්ථානය හොඳයි. නමුත් අසනීපයක් වුණාම නගරයට යන්න අමාරුයි. හරි හමන් ප්‍රවාහන පහසුකම් නැති නිසා. බස් එකට යන්නත් මෙතැන ඉඳන් රුපියල් හයසියයක් දීලා ත්‍රීවිල් එකක යන්න ඕන. දායකයෝ ඇවිත් සුවදුක් බලලා ඒ අවශ්‍ය දේ කරලා යනවා.”

රැහැයි නදින් පිරුණ ගහකොළ වලින් ගහන දහවලේත් අඳුර රජයන දේවගිර ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන නැව්ගල විමල හිමි පවසන්නේ උපේක්ෂාවෙනි.

මාස ගණනක් පුරා කඩින් කඩ ඇද හැළුන වැස්සට මහපොළව තෙත බරිතය. වියළී ගිය කොළ රොඩු අතරින් හිස ඔසවන කූඩැල්ලන් පාවල එල්ලෙන්නේ අනුදැනුමකින් තොරවය. පෙර දවස දිය සිඳී ගිය පුවක්මල් ඇල්ල දැන් සුන්දරය. එදවස තිබූ වියැළි පෙනුම දැන් එහි නැත. මඳ අඳුරු පරිසරය තුළ සුදු පැහැයෙන් ගලන මේ ජල කඳ ගල් අතරින් පතර වැදීමෙන් විසිරෙන ජල බින්දු අමුතු අපූරු බවක් පරිසරයට එක්කරන්නේය.

අප එහි යන විට මහා හයියෙන් අහස හඬා නොවැටුණ ද වැහි බීරුම් ගතිය ද සීතල ද ඉඳහිට වැටෙන වැහිපොද ද මේ ප්‍රදේශයේ ඇති කාලගුණ තත්ත්වය වඩාත් අපට පසක් කර දුන්නේය.

වර්ෂාපතනය මනින වැසිමානය සවිකර ඇත්තේ මාලිබොඩ රජයේ තේ ඉස්ටෝරුවේය. තේ ඉස්ටෝරුව පසුකර එන විට හමුවන්නේ මාලිබොඩ දෙමළ විද්‍යාලයයි. මේ පාසල් නිවාඩු කාලය නිසා එහි සිසුන් නැත. එහෙත් පාසලේ විදුහල්පතිනිය ජේ.වී. නිර්මලා මහත්මිය මුණගැසිණ.

“මගේ ගම කොළඹ. මං මේ ඉස්කෝලෙට ඇවිල්ලා අවුරුදු විසිපහක් වෙනවා. නතර වෙලා ඉන්නේ ගුරු නේවාසිකාගාරයේ.

අපේ පාසලේ ගුරුවරු ඉන්නේ හය දෙනයි. ළමයි ඉන්නේ එකසිය පනස් දෙකයි. ගුරුවරු මදියි. ගුරුවරු ආවත් මේ පාසලේ රැ‍ඳෙන්නේ නැහැ. ආව ගමන් කොහොම හරි යනවා. ඉන්න බලාගෙන ආවත් ගුරුවරුන්ට නතර වෙන්න තැනක් නැහැ. මේ ගම හොඳයි. ඒත් ගංවතුර ගලනවා. නාය යනවා. එහෙම වුණාම වැස්ස කාලෙට ළමයි ඉස්කෝලේ එන්නේ නැහැ. මිනිස්සුන්ට තේ වතුවල වැඩකරගන්න බැහැ.” ඇය පවසන්නේ කනගාටුවෙනි.

දැඩි පෑවිල්ලට හසුවූ සමයේ ගම්මු වැස්ස වැටෙන තුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. දැන් මහ වස්ස ඇද හැළෙන්නේය. එය ඔවුන්ට විටෙක හිරිහැරයකි. ඒ දෛනික වැඩකටයුතුවලට බාධා ගෙන එන බැවිනි. එහෙත් ඔවුහු වැස්සට දොස් නගන්නේ නැත.

“අපි බොහෝම අමාරුවෙන් ජීවත් වුණ අය. අපි තේ හිටෙව්වා. අපි දන්න විදිහට හොඳම තේ තියෙන්නේ මෙහෙ. දැන් අපේ පවුලේ දුෂ්කර කාලේ ඉවරයි. මේ ගම කොච්චර දුෂ්කර වුණත් ගමේ ජීවිතය අපිට සැපක්.”

වැස්සට පෙර අඩිය ඉක්මන් කර ගෙදර යන අතරමඟදී හමුවූ සෝමක්කා අපට පැවැසුවේ හිනැහෙමිනි.

මාලිබොඩ ගමේ ගහකොළ නව පණ ලබා ඇත්තේය. ඈත හිමයේ සිට ගලා එන ගංගා පහළට ඇද හැළෙන්නේ සුදු පෙණ නංවමිනි. ඇතැම් තැනකදි හමුවන්නේ බොර පැහැ දිය පහරය.

“ඔය උඩට වහිනවා ඒකයි.” මඟ පෙන්වන්නට ගිය ගාමිණි පවසයි.

නම් ගම් ඇති දිය ඇලි දහයක් යැයි ගැමියන් කියුවද ගම වටා ඇති සෑම කන්දකින් ම වාගේ පහළට හැඩකාර ලෙස දිය ඇලි ගලන්නේය. නම් ගම් නැත ද මේ ගලන ජල පාරවල් සුන්දරය. කාලයක් නැත ද ඕනෑම කාලයක මල් පිපෙන පරගස් මේ දිනවලදී කහපැහැ මලින් පිරී ගොසිනි. මේ ගඩු ගුඩා වාරයයි.

ඔබ ගඩුගුඩා කෑව ද ගස් දැක නොතිබෙන්නට පුළුවන. මාලිබොඩ නම් මැංගුස් පමණක් නොව ගඩු ගුඩා ගෙඩි රැහැන් පිරුණ රූස්ස ගඩුගුඩා ගස් ද දැකිය හැකිය. මේ සියලු සොඳුරු දසුන් දැකීමට ඇත්තේ මාලිබොඩ දී නම් පමණක් වනු ඇත.


Leave a comment

Categories