Posted by: lrrp | August 23, 2014

ශ්‍රී ලාංකේය ජන ශ්‍රැති සහ ජනකලාවන්ගෙන් හෙළිවන ජාතික සංහිඳියාව

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ පවතින බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී වූ ආගමික පරිසරයන්හි ජීවත් වන පොදු මහත් ශ්‍රී ලාංකේය ජනතාව වූ කලී ඒ ඒ ආගමික පරිසරයන්ට ආවේණික යම් යම් විශේෂතාවන් ප්‍රදර්ශනය කරන්නේ වුව ද පොදු මහත් ජන සමාජයක් ලෙස ගෙන සැලකීමේ දී ඔවුන් තුළ පවතින ජන ශ්‍රැති, ජන කලා, වත් පිළිවෙත් සහ සිරිත්-විරිත් ආදියේ පවතින්නේ සමාන බවකි.

ජාතික සංහිඳියාවක් ප්‍රදර්ශනය කරනු ලබන පුද බිමක් ලෙස සැලකිය හැකි කතරගම යනු බෞද්ධ ජනයාටත්, හින්දු හා මුස්ලිම් ජනයාටත් පොදු වූ පූජා භුමියක් පමණක් නොව සියල්ලෝ එකම ආකාරයකින් මැදිහත් වන පූජෝත්සවයක් බවට ඇසළ උත්සවය පත්ව තිබීමෙන් ප්‍රදර්ශනය වන්නේ ජාතික සංහිඳියාවක් ඇතිකර ලීම සඳහා ආගමික පසුබිම බොහෝ සෙයින් ඉවහල් වන බවයි.

කාර්තිකේය, ස්කන්ධ, ෂන්මුගන්, වේලන් ආදී නම් වලින් හින්දූන් අදහන දෙවියන් බෞද්ධයින්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත්තේ කතරගම දෙවිඳු, කඳ සුරිඳු යන නම්වලින් වුව ද, මේ සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත්තේ එකම දෙවි කෙනෙකු වන බැවින් බෞද්ධ හා හින්දු ජනයා කේන්ද්‍ර ගත කිරීමට මෙම දේව ඇදහීම බොහෝ සෙයින් ඉවහල් වී ඇත. මෙම පූජා භූමිය තුළ ම මුස්ලිම් දේවස්ථානයක් ඉදි වී තිබීමත්, ඇසළ උත්සව සමයේ දී මුස්ලිම් දේවස්ථානයේ ධජ පතාක ඔසවා මෙම උත්සවයට ගරු සත්කාර පැවැත්වීම සහ ඒ වෙනුවෙන් විශේෂ පුද පූජා පැවැත්වීමත් ඉහත සඳහන් කරන ලද ජාතික සංහිඳියාවක් ඇති කරලීම සඳහා ආගමික පරිසරයෙන් ලැබෙන වට පිටාව අතිශයින් ප්‍රබල තත්වයක පවතින බවට ද හොඳම නිදසුන කි.

යාපනයේ නල්ලූර්හි පවතින කන්දසාමි කෝවිල හින්දුන්ගේ අති මහත් සම්භාවනාවට පත් පුද බිමක් වන අතර, එය බෞද්ධයින්ගේ ද ගෞරවයට පාත්‍ර වී ඇති දෙවොලක් වන බැව් පසක් කර ගත හැකි ය. යාපනයේ සංචාරය කරන බෞද්ධයින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගොඩ බට දඹ කොළ පටුනටත් නාග දීපයටත් වන්දනා මාන කිරීමට යන ආකාරයටම නල්ලූර්හි පිහිටි කන්දසාමි කෝවිලටත් වන්දනා මාන කිරීමට අමතක නො කරති.

බෞද්ධයින්ගේ මහත් සම්භාවනාවට පත්ව ඇති පත්තිනි දේවතාවිය යනු භාරතීය දෙවඟනක වූ කන්නගී අම්මාන් දේව ඇදහීම, බෞද්ධ සමාජය විසින් පිළිගෙන ඇති බවට නිදසුනකි. සීලප්පදිකාරම් කෘතියෙන් හෙළිදරව් වන පරිදි කන්නගී – කෝවලන් වෘත්තාන්තය ඉලංගෝ ආඩිගල් සාධුවරයා විසින් ප්‍රබන්ධ කරන ලද්දේ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගනිමින් වන බවත්, මෙම දෙවඟන දේවත්වයට පත්කිරීමේ උලෙළට ලංකාවේ ගජබා රජතුමාට ආරාධනා ලද බවත්, ඒ අනුව පත්තිනි ඇඳහීම ලංකාවේ ව්‍යාප්ත වූ බවත් පිළිගැනේ.

ලංකාවේ නැ‍ඟෙනහිර පළාතේ ප්‍රචලිතව පවතින මාරි අම්මාන්, කාලි අම්මාන් සහ කන්නගී අම්මාන් දෙවඟනන් උදෙසා ගයනු ලබන ස්තෝත්‍ර ගායනාවලට බොහෝ සෙයින් සමාන බවක් පත්තිනි කෝල් මුරවල දක්නට ලැබේ. මඩකලපුව කන්නගි අම්මාන් කෝවිල්හි ප්‍රදර්ශනය වන දේවරූපයට සමාන දේව රූප පත්තිනි දේවතාවිය වෙනුවෙන් ඉදි වී ඇති බෞද්ධයින්ගේ ඇදහීමට ලක්ව ඇති පත්තිනි දේවාල තුළින් ද ප්‍රදර්ශනය වීම මෙකී සබඳතාව පැහැදිලිව ප්‍රදර්ශනය කරන්නකි.

සිංහල බෞද්ධයින් විසින් පවත්වා ගෙන එනු ලබන ගම්මඬු, දෙවොල් මඬු, පහන් මඬු ආදී වූ මඬු ශාන්තිකර්ම වලට පාදක වූ පන්තිස් කෝල්මුර කාව්‍ය සාහිත්‍යය බිහි වීමෙහි ලා, ද්‍රවිඩ සාහිත්‍යයෙහි ප්‍රචලිත සීලප්පදිකාරම් කාව්‍ය සාහිත්‍යයෙහි බලපෑම ඇති වූ බැව් පිළිගැනෙන අතර ම, එය ඉහත කී සහසම්බන්ධතා වලට තවත් නිදසුනක් ලෙස සැලකිය හැකි ය.

සිංහල යාග පද්ධතියෙහි භාවිත පුරා කතාවන්ගේ ප්‍රබන්ධකරණයට හින්දු සාහිත්‍යයෙහි බලපෑමක් සිදු වී ඇති බවට නිදසුන් ද පවතී. හින්දු පුරාණ කථාවන් වූ ස්කන්ධ පුරාණය, විෂ්ණු පුරාණය යන කෘතීන් මෙන්ම මහා භාරතය, රාමායණය යන කෘතීන්ගේ ආභාසය විජය-කුවේණි කථාන්තරය, පොල් උපත, මහසෝන් උපත, සන්නියක් උපත, රීරි යක් උපත, කඳ කුමාර පුවත, ගණදෙවි උපත ආදී වූ පුරා කතාවන් නිර්මාණයේ දී බල පා ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ ද ඉහත කී සහසම්බන්ධතා ය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල පැවති ඉපැරණි ඇදහීම් හා චාරිත්‍ර විධි අතරට එක් වන හිරු පිදීමේ විශ්වාසය පදනම් කර ගත් වත් පිළිවෙත් රැසක් ඈත අතීතයේ සිට පැවතුණු බවට හේතු සාධක අපමණ ය. හිරු සඳු ඇතුළු ස්වාභාවික වස්තූන් දේවත්වයට පත්කර වැඳුම් පිදුම් කළ අවධියේ පටන් පැවත එන චාරිත්‍ර විධියක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට හිමි වන්නේ විශේෂත්වයකි.

හින්දු බැතිමතුන්ගෙන් වැඩි පිරිසකගේ දැඩි අවධානය යොමු වන්නේ මේ හා සමාන ම වූ තෛයිපොන්ගල් උත්සවයට ය. හිරු මකර රාශියට ප්‍රවිෂ්ට වීම මුල් කොටගෙන පැවැත්වෙන මෙම උත්සවය සිංහල අලුත් අවුරුද්දට බෙහෙවින් සමාන කමක් දක්වයි. කෘෂි කර්මාන්තය හා බැඳුණු මෙම උත්සවයේ දී තමන්ගේ අස්වැන්න ආරක්ෂා කර දෙන ලෙස සහ ඊළඟ කන්නයට අස්වනු සරු සාර කර දෙනු උදෙසාත් දෙවියන්ට පුද පූජා බාර හාර සිදුකරයි. මෙම උත්සවය ඇතැම් විටෙක සිංහලයින්ගේ අලුත් සහල් මංගල්‍යයට ද සමාන බවක් දක්වයි.

දළඳා මාළිගය ආශ්‍රිතව පවත්වන ලද සතර මහා මංගල්‍යය අතරට එක්වන කාර්තික මංගල්‍යය ද, හින්දූන්ගේ කාර්තිකෝත්සවය ඇසුරුව සිංහලයින්ට දායාද වූවක් ලෙස සැලකිය හැකිය. කාර්තිකේය හෙවත් ස්කන්ධ දෙවියන් මූලික කොට පැවැත්වෙන මෙම උත්සවය දක්ෂිණ භාරතයේ අතිශයින් ප්‍රචලිත වන අතර ඒ සඳහා යොදා ගනු ලබන්නේ ඉල් මාසය වන බැවින් ඉල් මාසය කාර්තික මාසය ලෙස ද හඳුන්වනු ලැබේ.

ලී කෙළි, කෝලාට්ටම් සහ පොල්ලඩි නමින් හඳුන්වනු ලබන අඩියක් – අඟල් 10 ක් පමණ දිගින් යුතු ලී දෙකක් එකට වද්දමින් ශබ්දයක් නිකුත් කරමින් නර්තනයේ යෙදෙන ජන ක්‍රීඩා ත්‍රිත්වයක් සිංහල, දෙමළ හා මුස්ලිම් යන ජන කොට්ඨාස අතර භාවිතයේ පවතී. එකකට එකක් අංග චලන, නාද රටා, ගායන විධි ආදියේ වෙනස්කම් දැකිය හැකි නර්තන අංග තුනක් මේ යටතේ ඉදිරිපත් වුව ද, මෙම නර්තන ත්‍රිත්වයේ අරමුණ වූ සාමූහිකත්වය සහ එක්ව කටයුතු කිරීමේ සංකේතාත්මක නිරූපණයත් න‍ියෝජනය කිරීම සංහිඳියාව කෙරෙහි ප්‍රදර්ශනය කරනු ලබන්නේ සමීප සමානතාවකි.

මුහුණට මුහුණ ලා දෙදෙනා බැගින් ඔට්ටු වී එකිනෙකා අතර ලී වලින් පහර දෙනු ලබන්නේ ඉතාමත් රමණීය ලෙස ලී වලින් නිකුත් කරන ශබ්දයන් ද සමඟින් ය. මෙම සිංහල, දෙමළ, මුස්ලිම් යන නර්තන අංගයන් හි ගායන ශෛලීන් එකකට එකක් වෙනස් කමක් දක්වන්නේ වුව ද, ලී දෙකින් නිකුත් වන ශබ්දය හා පසුබිමින් නිකුත් වන ගායන සහිත සංගීත රටාවන් මගින් එක් කෙරෙන සාමූහික නාදය ඉතාමත් චමත්කාර බවක් දනවයි.

දක්ෂිණ භාරතයේ ආන්ද්‍රා, කේරල, තමිල් නාඩු යන ප්‍රාන්තයන්හි කෝලාට්ටම් නමින් හඳුන්වන මෙම ලී නර්තනය උත්තර භාරතයේ රාස, දන්ඩි රාස යන නම් වලින් හැඳින්වෙන අතර ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා අතර ප්‍රචලිත නර්තනය ද, කෝලාට්ටම් නමින් හැඳින්වෙන බැවින් එය දක්ෂිණ භාරතයෙන් දායාද වූවක් බව සිතිය හැකි ය. ලැකර් ආලේපිත ලී සහිතව නර්තනයේ යෙදෙන කෝලාට්ටම් සහ පින්නල් කෝලාට්ටම් යන අංග දෙකක් ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව අතර ව්‍යාප්තව පවතී. පින්නල් කෝලාට්ටම් යනු අලංකාරව සරසන ලදුව සිටුවන ලද කණුවකට ගැටගසන ලද ලණු සහිතව ඒ වටා රංගනයේ යෙදෙන නර්තනයකි. මෙය සිංහලයින් අතර ප්‍රචලිත ලී ගසමින් ලණු සහිතව නර්තනයේ යෙදෙන ලණු දඟරය නම් වූ නර්තනාංගයට බෙහෙවින් සමානය.

පින්නල් කෝලාට්ටම් කේරලය, ආන්ද්‍රා, කර්ණාටක හා තමිල්නාඩු ප්‍රාන්තවල මෙන්ම ලංකාවේ දමිළ ජනතාව අතර ප්‍රචලිත නර්තන විධියක් ද වන හෙයින් ශ්‍රී ලාංකේය ලී නර්තන‍යන් සමඟ මෙහි ඇත්තේ ඉතා සමීප සබඳතාවකි. පොල්ලඩි හෙවත් කලිසම් පාට්ටම් ලෙස හඳුන්වන ලී කෙළි නර්තන විශේෂය මුස්ලිම් ප්‍රජාවට ආවේණික වූවකි. යක්කඩ නමින් හැඳින්වෙන ශක්තිමත් ලී පොලු දෙකක් එකට ගසමින් එකිනෙක අතර හුවමාරු පදනමින් ලී ගසමින් අධිවේගී ලෙස ඉදිරිපත් කරනු ලබන මෙම නර්තනය පිරිමි ළමයින් විසින් ඉදිරිපත් කරනු ලැබේ. මෙම නර්තනයෙහි කණ්ඩායම් නායකයා හඳුන්වනු ලබන්නේ අන්නාන්වියර් ලෙස ය. දමිළ තෙරුක්කුත්තු නාටකයේ දී කණ්ඩායම් ප්‍රධානියා අන්නාවියර් නමින් හඳුන්වන බැවින් මෙම අංගය ද දක්ෂිණ භාරතය හරහා ලංකාවට ව්‍යාප්ත වූ වට පිළිගත හැකිය. කලිසම් පාට්ටම් හෙවත් පොල්ලඩි නර්තනය සඳහා තරුණ වයසේ පිරිමි ළමුන් විස්සකට අධික පිරිසක් සහභාගී වීම අවශ්‍ය වීම විශේෂිත ය. මුහම්මද් නාබි නායකතුමාගේ ගුණ වර්ණනා කරමින් සිදු කරන මෙම නර්තනය ආරම්භ කිරීමට පෙර දෙවියන්ගෙන් අවසර ලබා ගැනීමක් ද අවශ්‍ය වෙයි.

එකෙක් පරයා අනෙකා නොයන ආකාරයට පොදු කණ්ඩායම් හැඟීමෙන් යුක්තව එකම තාලයට එකවර නර්තනය ආරම්භ කෙරේ. ලීයෙහි අඟල් දෙකක් පමණ ඉහළින් අල්ලා ගනු ලබන අතර, තහනාම් තෙයි යන විධානය සමඟ නර්තනය ආරම්භ කරන්නේ එම පොලු දෙක ඉන දෙපස සිට, ඔලුවට, ඉහළින් ශරීරයට සමාන්තරව රඳවා ගනිමින් තෙයි යන කියමනක් සමඟම පොලු දෙක ඝට්ටනය කිරීමෙනි. මේ දෙස බලා සිටින්නෙකුට පහසුවෙන් තෝරා බේරා ගත නො හැකි ආකාරයේ සංකීර්ණ චලන සහ ලී හැසිරවීම් රැසක් මේ තුළ අන්තර් ගත වන බැවින් ඉතාමත් චමත්කාර බවක් ද මින් පෙන්නුම් කෙරේ. පසුබිම් සංගීත භාණ්ඩයක් බොහෝ දුරට පරිහරණය නොකෙ‍රෙන අතර ගායනය සමඟ ලී හඬ සංගීතය බවට පත්වීම විශේෂත්වයකි.

විනෝදාස්වාදය සඳහා මෙන්ම විවිධ උත්සව සහ පෙරහර අලංකාර කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන මෙම නර්තනයේ ඇඳුම් පැලඳුම් වලින් ඉස්ලාමීය සංස්කෘතිය විදහා දැක්වෙයි. මෙම නර්තනාංගය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කේරළ ප්‍රදේශයෙන් බැව් නැ‍ඟෙනහිර පළාතේ වෙසෙන මුස්ලිම් ජනයාගේ අදහසයි.

මඩකළපුව ප්‍රදේශයට ප්‍රථමයෙන්ම මෙම නර්තනය කේරලයෙන් පැමිණි බවට ඇතැමෙක් කරුණු දක්වන්නේ වුව ද, තවත් අයෙක් දක්වන්නේ තිරුක්කෝවිල් ප්‍රදේශයට පැමිණි පකිස්ථාන ජාතිකයින් පිරිසක් ඇසුරෙන් මෙම නර්තනය ලංක‍ාවේ මුස්ලිම් ජනයා අතර ව්‍යාප්ත වූ බව යි.

පළමු අඩිය ඔත්තෙඩි යනුවෙන් හඳුන්වනු ලබන අතර ඉන මට්ටමට පොලු දෙක ගසමින් ඉන් අනතුරුව නළලට ඉහළින් පොලු ගසනු ලැබීම තුළ අලංකාර චලන රටාවක් මෙයට එකතු කෙරෙයි. මෙම සරඹ ක්‍රම තනිව පුරුදු පුහුණු වුවත් අවසානයේ සාමූහිකව පුහුණු විය යුතුය.

ඔත්තෙ අඩි සහ වෙට්ටි අඩි යනුවෙන් අඩි වර්ග 24 ක් ඇති බව එකී විශේෂඥයෝ සඳහන් කරති. කවි ගායනා කරනු ලබන්නේ දෙමළ භාෂාවෙන් වන අතර ඇතැම් තැන අරාබි කියමන් ද පවතින බැව් පෙනේ. මෙහි ප්‍රධානියා විසින් පළමු පදය ගායනා කරන අතර එම පදයම සෙස්සන් විසින් ද ගායනා කරනු ලැබේ.

කවියට පසුව තානම ගායනා කිරීම මෙහි ඇති විශේෂත්වයක් වන අතර “… ලාහිලාහ ඉල්ලල්ලාහු මොහොම්මදුල් රසුරුල්ලාහි…” යන අරාබි කියමන් ද ඉදිරිපත් කෙරේ. මෙය ඉස්ලාම් දහමේ එන කලීමාවකි. එහි තේරුම නම් අල්ලාහ් හැර නමැදීමට වෙනත් කෙනෙක් නොමැති බව හා මුහම්මද් නබිතුමා ඔහුගේ අනුගාමිකයා යන්නය.

නර්තනය අවසන් වන්නේ මංගලම් නමැති කොටස නැටීමෙන් වන බැවින් එහි දක්ෂිණ භාරතීය සබඳතාවක් ද පවතින බැව් පෙනේ.

සිංහල ලී කෙළියත්, ද්‍රවිඩ කෝලාට්ටම් නර්තනයත්, මුස්ලිම් පොල්ලඩි නර්තනයත් දෙස ඉතා පැහැදිලිව අවධානය යොමු කළහොත් පෙනී යන කරුණක් වන්නේ එකිනෙකා අතර පවතින්නා වූ අන්‍යෝන්‍ය සබඳතාව සහ එකිනෙකා පරයා නොයන අයුරින් සමගිය, සාමූහිකත්වය ප්‍රදර්ශනය කිරීමේ සැලැස්මක් නැතහොත් මෙම නර්තනයේ යෙදීම අසීරු වන බවයි. මේ මගින් නර්තන ශිල්පීන් අතර පමණක් නොව විවිධ ජන කොටස් හා ජාතීන් අතර ද සංහිඳියාවක් පවත්වා ගැනීම, එකට කටයුතු කිරීමේ දී අත්‍යවශ්‍ය වන බැව් මෙම නර්තනාංගයන් මගින් සන්නිවේදනය වන බව ද අප වටහා ගත යුතුය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: