Posted by: lrrp | October 7, 2014

උදේට පාසලේ රාත්‍රියට මහ මුහුදේ කරන්නන් වාලේ අකුරු කරන දූපතේ දරුවෝ

පරිසරය නිසංසලය. සතියේ දිනක් වුවත් කිසිදු කලබල ගතියකින් තොරය. මඟින් මඟට කඩින් කඩ වැසි ඇදහැළුණත් මේ පළාතට නම් දැඩි අව්රැල්ල හ‍ැරෙන්නට වැහි වලාකුළක්වත් දක්නට නොමැති තරම්ය. කල්පිටියට අපි ළඟා වන විට උදෑසන 8ට පමණ වන්නට ඇත. ඒ වන විටත් අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් අපේ මඟපෙන්වන්නා වූ වයඹ පළාතේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අලිජින්නා මහතා පැමිණ සිටියෙන් සුනංගු නොවී කල්පිටි වෙරළ තීරයෙන් අපි බෝට්ටුවකට ගොඩනැඟුනෙමු. ඒ මොහොත්තුවාරම දූපතට ළඟාවීමේ අරමුණ ඇතිවය.

කල්පිටිය ලංකාවේ ඇති තවත් අති සුන්දර වෙරළ තීරයකි. කරදිය හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට ප්‍රසිද්ධ වුවත් දැන් දැන් කල්පිටිය සංචාරක පුරවරයකට සූදානම් වෙයි. කල්පිටියට ආසන්න මුහුදේ දූපත් ගණනාවකි. එයින් බත්තලංගුණ්ඩුව, උච්චමුනි, මොහොත්තුවාරම, කිරිමුන්දලම සහ පල්ලියවත්ත ඉන් තරමක් ප්‍රසිද්ධ මෙන්ම ජනාවාස වූ දූපත්ය.

කල්පිටි මුහුදු තීරයේ දූපත්වල වෙසෙන ජනතාව ගතකරන්නේ අමුතුම ජීවිතයකි. බහුතරයකගේ ජීවිත ඒ දූපත්වලටම සීමාවූවකි. අවශ්‍යතා කීපයකට පමණක් දූපතින් පිටතට යනවා හැරෙන්නට මේ ජීවිතවලට බාහිර ලෝකය සමඟ ඇත්තේ ඉතා අඩු සම්බන්ධතාවකි. මේ දූපත්වල දරුවන් පාසල් ගතකරන්නට රජයෙන් පාසල් ඉදිකර දී ඇතත් ඒ පාසල් නගරයේ පහසුකම් ලත් පාසල් හා පෑහෙන්නට ද බැරිය.

“මේ දූපත් පාසල්වල දරුවෝ ඉගෙනගන්න විඳින දුක, ගුරුවරු කරන කැපවීම බලන්න ඔයගොල්ලෝ එන්න…” වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.පී.එන්.තිලකරත්න මහතා සිළුමිණ අපෙන් එවන් ඉල්ලීමක් කළේ මේ දරුවන්ගේ තත්ත්වය රටට හඬගා පවසන්නටය.

මොහොත්තුවාරම දූපත ඇත්තේ කල්පිටි වෙරළ තීරයේ සිට කි.මීටර් එකහමාරක් පමණ දුරකිනි. එහා මෙහා යෑමට කුඩා බෝට්ටු සේවයක් ඇතත් එයත් එහා මෙහා දුවන්නේ බෝට්ටු හිමියන්ගේ කාලසටහනටය. මේ මොහොත්තුවාරමේ සිංහල පවුල් 150ක් ද මුස්ලිම් පවුල් 58ක් ද ජීවත් වෙති. දැඩි අවු රශ්මියෙන් යුතු මේ දූපත් පොළොවේ දකින්නට ඇත්තේ තල්ගස් හා පොල් රුප්පා පමණි. දැඩි අව්වට හෝ සෙවණක් සොයා යා හැක්කේ පොල් ගසක් යටට පමණි. අමතරව නුග ගහක් දෙකක් හැරුණු කොට කාලයකින් මේ බිමට වැහි පොදක් හෝ පතිත වී නැතිවාසේය.

මොහොත්තුවාරම දූපතේ දරුවන්ට මුස්ලිම් පාසලක් ලැබුණේ 1956 වසරේදීය. එය කළපුවට ආසන්නයේ මුස්ලිම් පවුල් වෙසෙන පෙදෙසේ පිහිටි කුඩා ගොඩනැඟිලි කිහිපයකි. සිංහල දරුවන්ගේ පාසල ඇත්තේ ගම මැද වන අතර එය 1992 දී ආරම්භ වූවකි. මේ ගමට මෙන්ම පාසලට ද අවශ්‍යතා පිරිමසා ගන්නට වතුර ඇත්තේ සීමාසහිතවය. ගමේ අය බීමට ජලය ගන්නේ පාසලේ නළ ළිඳෙනි. රාත්‍රිය එළඹෙත්ම ගම කළුවරය. විදුලිය නොමැති නිසා සියලු දේ කරගන්නට සිදුව ඇත්තේ එළිමහනේ පමණි.

“….අපේ මුස්ලිම් පාසලේ දූපතේ දරුවෝ 38 දෙනෙක් ඉගෙනගන්නවා. මේ 38 දෙනාටම ඉන්නේ මාත් එක්ක ගුරුවරු 6 දෙනයි. අපේ ගුරුවරුන්ට මෙහේ නැවතිලා ඉන්න ගුරු නේවාසිකාගාර නැහැ. කන්දකුලිය කල්පිටිය වගේ දුර සිටයි මේ ගුරුවරු එන්නේ. එතැනින් තුරෙයිඅඩිවලට ත්‍රීවීලර් එකකින් එනවා. ඒ එන්නේ උදේ 7.30ට මුල් බෝට්ටුව අල්ලගන්න. 7.30 බෝට්ටුව අල්ලගන්න බැරිවුණොත් ඊළඟට තියෙන්නේ 8.30 බෝට්ටුව. 8.30 බෝට්ටුවෙන් ආවොත් අපේ කෙටි නිවාඩු ගන්න බැරි වෙනවා. වරුවක නිවාඩු වැටෙනවා. අතින් වියදම් කරගෙන මහමුහුදේ බෝට්ටුවක ඇවිත් මේ ගුරුවරු ජීවිතය ගැනවත් නොබලා විශාල කැපකිරීමක් කරනවා…” අපට එහෙම පැවසුවේ එම්.අයි.හරමයින් මහතාය. ඔහු මුස්ලිම් විදුහලේ විදුහල්පතිය.

මොහොත්තුවාරම ගමේ දෙමවුපියන්ට අධ්‍යාපනය පිළිබඳ ලොකු වැටහීමක් නැත. දරුවන් පාසල් යවන්නේ යැවිය යුතු නිසාය. ඔවුන් තුළ ඇත්තේ එදිනෙදා අතට කීයක් හෝ උපයාගෙන ජීවත්වීමේ අරමුණයි. මුස්ලිම් පාසලේත්, සිංහල පාසලේත් දරුවන් පාසල් එන්නේ ගුරුවරුන්ගේ උවමනාවටය. ඔවුන් පාසල තුළ රැඳෙන්නේ ගුරුවරුන්ගේ දැඩි උනන්දුව නිසාය. මේ දරුවන්ට පෙළ පොතේ අකුරක් හෝ කියා දෙන්නට කිසිදු ගුරුවරයකු නොකරන ආකාරයේ කැපකිරීමක් කරන්නට මේ ගුරුවරුන්ට සිදුවී ඇත. සිය කාලය, ශ්‍රමය, මුදල් පමණක් නොව ජීවිතයත් පරදුවට තබමින් දිනපතා මහමුහුද සමඟ ඔට්ටුවෙමින් මේ ගුරු පිරිස කරන්නේ විශාල මෙහෙවරකි.

“….මම පල්ලිවාසතුරෙයි ඉඳලයි එන්නේ. උදේට බයිසිකලය පැදගෙන ඇවිත් බෝට්ටුවෙන් පාසලට එනවා. මේ දරුවෝ හරිම දුප්පත්. අපේම උනන්දුවෙන්මයි අකුරක් හෝ ඉගෙනගන්නේ. වාරකන් කාලයට බෝට්ටුවේ එන්නේ හරිම බයෙන්. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂිත කබා දීලා තියෙනවා. අපි කොයිතරම් මහන්සි වුණත් මේ පාසල්වල දරුවන් දිගින් දිගටම අඩුවේගෙන යනවා. පාසලට විදුලිය නැති නිසා කිසිම පහසුකමක් නැහැ. හදිසියට ඡායා පිටපතක් ලබාගන්න බෝට්ටුවෙන්ම එගොඩ වෙන්න සිදු වෙනවා….” ගුරුවරියක වන එම්.ඒ.වී.වසන්ති මහත්මිය පැවසුවාය.

‍ මොහොත්තුවාරම දූපතේ දරුවන්ට අකුරු කියන්නට පිහිට වූ මේ පාසල් දෙක දැන් වැසී යෑමේ තර්ජනයට ලක්වී ඇත. එදා එකේ සිට 8 දක්වා පන්ති තිබූ මේ පාසල් අද පන්ති පැවැත්වෙන්නේ එකේ පන්තියේ සිට පහ ශ්‍රේණිය දක්වාය.

“ගමේ ‍මවුපියන්ට දරුවන්ගේ අධ්‍යාපනය වටින්නේ නැහැ. පෝෂිත පාසලක් කළ නිසා මේ පාසල් දෙකේම පන්ති 5 ශ්‍රේණිය දක්වා සීමාවුණා. පහෙන් පස්සේ මේ දරුවෝ යායුත්තේ කල්පිටිය අල්අක්සා පාසලට. මේ මුහුද මාස හයෙන් හයට වාරකන් නිසා රළු වෙනවා. මවුපියෝ කැමැති නැහැ දරුවෝ මුහුදින් පිටතට යවන්න. ඒ වගේම ඒ අයට මුදල් නැහැ දවසේ වියදම රු.200ක් යනවා. මේ නිසා සිදුවන්නේ මේ දරුවෝ පුරුදු රස්සාවටම යොමු වන එකයි..” ඒ මේ විදුහල්පතිවරුන්ගේ අදහසයි.

පාසල් දහසේ ව්‍යාපෘතියට මේ පාසල් ද සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම නිසා අද මේ දූපත් දරුවන්ගේ අධ්‍යාපනය පහේ පන්තියට සීමා වී ඇත. පහේ පන්තියෙන් ගෙදර නතරවෙන පිරිමි දරුවන් මුහුදු රස්සාවට යොමු වන අතර ගැහැනු දරුවෝ වැඩිවිය පත්වූ සැණින්ම විවාහ දිවියට ද එක්වෙති. ඒ නිසා අඩු වයස් මවුවරුන් මේ දූපත තුළ සුලභව දැකිය හැකිය.

නගරයේ ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළු කරන්නට පොරකද්දී මේ පාසල් දෙකේ විදුහල්පති දෙපළට සිදුව ඇත්තේ වසරක් මුල නිවෙසක් නිවෙසක් ගාණේ ගොස් පාසලට දරුවන් එකතු කරන්නටය. උගැන්වීමට අමතරව ඒ අභියෝගය ද කරට ගත් මේ ගුරු විදුහල්පතිවරුන් මවුපියන් දැනුම්වත් කරමින් පාසල පවත්වාගෙන යන්නේ අසීමිත බාධා අඩුපාඩු රැසක් හමුවේය.

“….මේ පරිසරය අතිදුෂ්කරයි. අපිට මේ පරිසරය වගේම සමාජයත් හුරු නැහැ. එදා එකේ සිට 8 ශ්‍රේණිය දක්වා ළමයි 88ක් සිංහල පාසලේ ඉගෙනගත්තා. පෝෂිත පාසලක් කළහම ළමයි 48ට අඩු වුණා. මේ පාසල්වල ආගම, ඉංග්‍රීසි, සෞන්දර්ය ක්‍රීඩා උගන්වන්න ගුරුවරු නැහැ. මේවා හුදෙකලා පාසල්. උගන්වන්න ගුරුවරු නැති නිසාමයි අපි මේවාට පත්වීම් අරගන ආවේ. කිසිම පහසුකමක් නැහැ. පෝෂිත පාසලක් කළහම ළමයි 36ක් පිටතට ගියා. අද එයින් වැඩි පිරිසක් ගෙවල්වල නතරවෙලා. මේ අයට පුරුදු කළපු රස්සාවයි. ඉගෙනගැනීමට වඩා කළපු රස්සාවෙන් දවසකට ලැබෙන රුපියල් 1000 මේ අයට වටිනවා….” ඒ සිංහල පාසලේ විදුහල්පති එච්.එම්.ඩී.කුමාරසිංහ මහතාය.

“අපි ඔයාලා ගැන පත්තරයට ලියන්න ආවේ..” අපි ඒ දරුවන්ට පැවසුවත් ඔවුන් අන්දමන්ද වී ඇත. අවාසනාවක මහත. මේ දරුවන් බහුතරයක් කිසිදා පත්තරයක් දැක තිබුණේ ද නැත. පත්තරයක තියෙන්නේ මොනවාද යන්න දැක තිබුණේ නැත. මේ පාසලට තබා දූපතටවත් කිසිදා පුවත්පතක් පැමිණෙන්නේ නැත. මුළු දූපතටම ඇත්තේ කුඩා වෙළෙඳසලකි. හාල්, පොල්, සීනි,පිටි වැනි දෑ හැරෙන්නට මේ කඩයෙන් පුවත්පතක් ගමට විකිණෙන්නේ නැත. හදිසියකට රෝහලක් නැත. අසනීපයක් හැදුණොත් ප්‍රතිකාර ගැනීමට රෝගියා මුහුද හරහාම ගෙන යා යුතුය.

පාසලට පැමිණෙන බොහෝ දරුවන්ගේ රාත්‍රි කාලය ගතවන්නේ මහමුහුදත් සමඟය. හැරිස්, අල් අමාන් හා පස්කාන් මේ පුංචි දරු තිදෙනා අධ්‍යාපනය ලබන්නේ මේ මුස්ලිම් විදුහලේ 5 වසරේය. දහවල් කාලය පාසලේ ගතකරන මේ පුංචි නොදරුවෝ රෑට මහමුහුද සමඟ පොරබදිති. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින වයසේ වුවද විභාගය ගැන හැඟීමක්වත් මේ දරුවන් තුළ නැත. බඩවියත රැකගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රායයි.

“අපි තුන්දෙනා හවස 5ට විතර මුහුදු යනවා. ගිහින් මාළු අල්ලනවා. මාළු අල්ලගෙන රෑ 9ට 10ට විතර වෙරළට ඇවිත් රුපියල් 6500/-කට විතර විකුණාගන්නවා. අපි තුන්දෙනා ඒ මුදල බෙදාගෙන ගෙදර ගිහින් අම්මගේ වියදමට දෙනවා..” ඔවුහු පවසති.

මේ ලෝක ළමා දිනය සැමරූ සතියයි. ‍ලෝක ළමා දිනය පාසල්වල ඉහළින් සමරද්දී ලෝක ළමා දිනයක් අසා නැති මේ දරුවෝ ඔහේ දිවි ගෙවති. මේ දරුවන් පාසලට පියමං කරන්නේ පාසල් යා යුතු නිසාය. උයන පිහින දාට බඩකට තරමක් හෝ පිරෙනවා හැරෙන්නට මේ දරුවන්ට කුසට හරිහමන් ආහාරයක් ද නැත. රස ‍නහර පිනායන ආහාරයක් දකින්නට ද නැත. මේ දරුවෝ කටේ කිරි සුවඳ ඉක්ම යන්නටත් කලියෙන් මවුවරු වන්නේ දූපතින් එපිට ලෝකයක් ඔවුන්ට අත්දකින්නට නොලැබෙන නිසාය. මේ කටුක බාධක හමුවේ ඔවුන්ට කෙදිනක හෝ ලෝකයක් තනන්නට ගව් ගණනක දුර සිට ජීවිත පරදුවට තබමින් මේ ගුරු මවුවරු, ගුරු පියවරු සමස්ත ගුරු පරපුරටම ආදර්ශයක් වනු නොඅනුමානය.

(මොහොත්තුවාරම දූපත් සංචාරයකින් පසු)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: