Posted by: lrrp | October 7, 2014

ඩෙල්ෆ්ට් දූපතට සංචාරක කලාපයක්

පුරා වසර එකහමාරක් මුළුල්ලේ මිනිස්සුන්ට වද දුන් නියං රකුසා පරාජය කරමින් අනෝරා වැස්සකුත් පොදි බැඳගෙන අපි ඩෙල්ෆ්ට් දූපතට ‍ෙගාඩ බැස්සේ පහුගිය ඉරිදා උදේ වරුවේ. නියඟයක් තිබුණත් නැතත් තිබහට බොන්න පිරිසිදු වතුර පොදක් යදිමින් අහසට හූල්ලන ‍ඩෙල්ෆ්ට් දූපත් වාසී ජනතාවගේ දුක්බර මුහුණු එදා කලකින් නොදුටු සිනා රැල්ලකින් ඔපවත් වෙලා. මෙතෙක් කල් නිවෙස්වල තැනින් තැන මුළුගැන්වී තිබුණු හට්ටි, මුට්ටි, බාල්දි, බැරල් සේරම ගෙමිදුලට ගෙනත් තබා අහස දෙස බලා සිටියේ අහසින් වැටෙන හැම දිය බින්දුවක්ම පොළොවට උරා ගන්න නොදී එක් රැස් කරගන්නා අරමුණින්.

උතුරු නැ‍ඟෙනහිර සංවර්ධන කටයුතු හා නව ආයෝජන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බලන්නට මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමඟ එහි ගිය ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා ඇතුළු පිරිස ඩෙල්ෆ්ට් දූපතේ ඉදි කිරීමට යෝජිත නව සංචාරක නිකේතනය පිළිබඳ තොරතුරු සොයා බලන්නත් අමතක කළේ නෑ.

යාප‍නේ කුරීකට්ටුවාන් ජැටියෙන් බෝට්ටුවකට නැඟුණු අප කණ්ඩායම ඩෙල්ෆ්ට් දූපතේ නාවුක හමුදා ජැටියෙන් දූපතට ගොඩබැස්සේ පැය එකහමාරක පමණ මූදු ගමනකින් පසුවයි.

යාපන අර්ධද්වීපයේ සිට කිලෝමීටර හතළිස් අටක් දුරින් උතුරු මුහුදේ පෝක් සමුද්‍ර සන්ධිය ශ්‍රී ලංකාවෙන් වෙන්කර දක්වන ප්‍රධාන භූගෝලීය සාධකය ලෙස හුදෙකලා ඩෙල්ෆ්ට් දූපත හඳුන්වන්න පුළුවන්. සොබා දම් මාතාව සිරි ලක් දිවයිනට දායාද කර දුන් අපූර්ව නිමැවුමක් වන ඩෙල්ෆ්ට් හෙවත් ‘නන්දතීව්’ දූපත සැබැවින්ම අපේ රටේ පිහිටි පුංචි දූපත් රාජ්‍යයක් වගෙයි.

අපේම රටේ කොණක හුදෙකලාවේ පිහිටි ඩෙල්ෆ්ට් දූපත ලංකාවට වඩා ඉන්දියාවට ආසන්නව පිහිටා තිබෙනවා. යාපනයේ සිට ඩෙල්ෆ්ට් දක්වා දුර කිලෝ මීටර හතළිස් අටක් වුණත් ඉන්දියාවට ඇත්තේ කිලෝ මීටර් දහතුනක් පමණයි.

එහෙයින්ම අතීතයේ ඩෙල්ෆ්ට් දූපතේ විසූවන් තම අවශ්‍යතා ඉටු කරගන්න ගියේ ඉන්දියාවට. අද බෝට්ටුවලින් එතරම් පහසුවෙන් ඉන්දියාවට යන්නට එන්නට බැරි හෙයින් ඒ සඳහා පැය එකහමාරක මුහුදු ගමනක් ගෙවා ඔවුන්ට යාපනයට එන්නට සිදුව තිබෙනවා.

දූපතේ සිට යාපනේට යන්න එන්න ඔවුන්ට පිහිට වෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් යාත්‍රා දෙකක්. ‘වඩතාරකා’ සහ ‘කුමුදිනී’ යන මේ යාත්‍රා උදේ 6.15ට සහ 7.00ට පුන්ඩුතීව් දූපතේ පිහිටි තුරුකුට්ටුවාන් ජැටියෙන් ඩෙල්ෆ් බලා යාත්‍රා කරනවා. ආපසු මේ යාත්‍රා ප.ව. 2.00 සහ 3.30ට එහි සිට යාපනය බලා යාත්‍රා කරනවා.

පෘතුගීසී පාලන සමයෙහි නාවුක යුද උපායමය වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස සැලකූ නන්දතීව් දූපත ‘ඩෙල්ෆ්ට්’ යනුවෙන් නම් කරනු ලැබුවේ ඉන්පසු එය යටත් ක

රගත් ඕලන්ද ජාතින්ගෙන් කෙනකු වූ ගින්ලොයු වෑන්හොස් නමැත්තා බවයි ඉතිහාසයෙහි කියවෙන්නේ.

පෘතුගීසින් අතින් ලන්දේසීන් අතට පත්වූ ඩෙල්ෆ්ට් දූපත ඔවුන් යුදමය කටයුතු සඳහා ආරක්ෂිත බළකොටුවක් ලෙස මනාව සකස් කරගනු ලැබූ අතර එකල ඉදිකරන ලද උසාවි සංකීර්ණය, යුද බළකොටු, සිර මැදිරි, පණිවුඩ හුවමාරුව සඳහා යොදාගත් පරෙවියන් රැඳවූ පරෙවි කූඩු සහිත කුලුණු, අශ්ව ඉස්තාල අශ්වයන් ගිලන් වූ කල වෙදකම් කළ රෝහල්, මෙන්ම වෙනත් ගොඩනැඟිලිවල නටබුන් ද අදත් එහි ශේෂව පවතිනවා.

නවීකරණය කල රෝහල

ලන්දේසි උසාවි සංකීර්ණය

එදා ලන්දේසීන් විසින් ඩෙල්ෆ්ට් දූපතෙහි බෝකරන ලද අශ්වයින් විදේශයන්ට අලෙවි කළ අතර අශ්ව වෙළෙඳාම කොතෙක් සාර්ථකව කළාද යත් රෝගී වූ අසුන් සුවපත් කිරීම සඳහා ඖෂධ ‍ලෙස භාවිතා කළ බයෝබැබ් නම් වූ විශාල වනස්පතීන් මැඩගස්කරයෙන් හා දකුණු අප්‍රිකාවෙන් ගෙන්වා මෙම දූපතෙහි සිටුවා තිබෙනවා.

එම වනස්පති සමූහයෙන්පැවත එන මහා බයෝබැබ් වනස්පතීන් අදත් ඩෙල්ෆ්ට් දූපතෙහි නිරුපද්‍රිතව පවතිනවා. අප්‍රිකාවට හා මැඩගස්කරයට ආවේණික වූ එක් බයෝබැබ් වෘක්ෂයක විශාලත්වය වට අඩි පනස් අටක්. එහි ඇති විශේෂත්වය වන්නේ වරකට දහ පහළොස් දෙනකුට පමණ නිදහසේ සෙවන ලබා දිය හැකි තරම් ඉඩපහසුව ඇති විශාල බෙනවලින් ගසෙහි කඳ සමන්විත වීමයි.

ඊටම ආවේණික වූ ඓතිහාසික වටිනාකම් හා සංස්කෘතියකින් යුතු ඩෙල්ෆ්ට් දූපතේ පළලම ස්ථානය කිලෝ මීටර් හයයි. දිගම දුර කිලෝමීටර් අටයි. අද වන විට දූපතේ ජීවත් වෙන්නේ පවුල් 1318ක් පමණයි. සම්පූර්ණ ජනගහනය 4600යි. ද්‍රවිඩ බස වහරන ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කතෝලික බැතිමතුන්. කතෝලික පල්ලියක් වගේම හින්දු කෝවිලකුත් ‍ඩෙල්ෆ්ට් දූපතේ තිබෙනවා.

දූපත කුඩා වුණත් එහි පාසල් අටක් තිබෙනවා. දෙමළ මාධ්‍ය පාසල් වන මින් තුනක කලා අංශයෙන් උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙනවා. රටේ අනෙක් පාසල්වල මෙන් පහසුකම් අඩු වුණත් හැම වසරකම මේ පාසල්වලින් සිසුන් හත් අට දෙනෙක් වත් විශ්වවිද්‍යාලෙට තේරෙන බවයි අප සමඟ මේ සංචාරයට එක්වුණු ඩෙල්ෆ්ට් හි ප්‍රදේශීය ලේකම් අල්වා පිල්ලේ ශ්‍රී මහත්මයා කියන්නේ.

2009 යුද ජයග්‍රහණයෙන් පසුව ගතවූ වසර පහ තුළ උතුරු පළාතේ ජනතාවට අහිමිව තිබූ බොහොමයක් භෞතික සම්පත් දකුණට මෙන්ම ලබා දෙන්නට රජය සමත්වෙලා. 2010 මුලින්ම අපි යාපනයට ගිය පාරෙ නෙමෙයි අපි 2012 යාපනයට ළඟා වුණේ.

2010 දි අඩියෙන් දෙකෙන් වළ ගොඩැලිවල වැටෙමින් ගැස්සෙමින් අපහසුවෙන් ගමන් කළ මාර්ගය 2012 යන විට බොහෝ දුරට කාපට් කරලා. පාර දිගට අලුතින්ම විදුලි කනු සිටුවලා. පහසුවෙන් අඩු කාලයකින් යාපනයට ළඟා වුණා. මෙදා පාර මන්නාරම හරහා ඒ 32 පාරේ යාපනයට යන විට කිලෝ මීටර හතරක දුර ඇරුණාම ඉතිරි සම්පූර්ණ මාර්ගයම කාපට් කර තනා නිම කර තිබුණා.

උතුරු පළාතේ සංවර්ධනයට අවශ්‍ය මූලික යටිතල පහසුකම්වලින් වැඩි ‍කොටසක් ලබාදීලා. මහාමාර්ග ජල විදුලිය මෙන්ම සන්නිවේදන අවශ්‍යතා 95%ක්ම සම්පූර්ණ කරලා. එදා මෙන් නගරයේ තැනින් තැන ගැවසුණු නිල ඇඳුම් ලාගත් හමුදා නිලධාරීන් අප දුටුවේ නෑ. ජනතාව නිදහසේ තම කටයුතු කරගන්නවා.

අලුතින් ඉදිකරන ලද මන්නාරම දුම්රිය ස්ථානය යාපනය දුම්රිය ස්ථානය, ඩෙල්ෆ්ට් දූපතේ අලුතින් ඉදි කෙරුණු නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව සහ සංවර්ධනය කරන ලද රෝහල් ගොඩනැඟිල්ල ඇතුළු පොදු පහසුකම් සේවා ස්ථාන රැසක් මේ මස 13 – 14 දෙදින තුළ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරෙනවා.

උතුරේ සිදුවෙන ශීඝ්‍ර සංවර්ධනයත් සමඟම දෙස් විදෙස් ආයෝජකයන් උතුරේ නව ආයෝජන ව්‍යාපෘති ඇරඹීමට සූදානමින් සිටිනවා. මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති ඇරැඹීමට සුදුසු ආරක්ෂාව, නිදහස් සාමකාමී වාතාවරණය සහ යටිතල පහසුකම් සපයා තිබීම පිළිබඳව විදෙස් ආයෝජකයන් මෙන්ම විදෙස්ගත ලාංකික ඩයස්පෝරාව ද සිය ප්‍රසාදය පළකර සිටිනවා.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මඟින් දියත් කිරීමට සැලසුම් කළ නව ආයෝජන ව්‍යාපෘති අතර ඩෙල්ෆ්ට් දූපතේ ඉදි කිරීමට යෝජිත පරිසර හිතකාමී සංචාරක හෝටල් ව්‍යාපෘතියට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයක්. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ සංචාරක මණ්ඩලයෙහි අනුමැතිය ඇතිව ඉදිකිරීමට යෝජිත මෙම සංචාරක හෝටල් ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 600ක්.

 ආදම් ගේ පාදය

ජෙට්වින් සමාගම සමඟ එම්.එම්.බී.එල් පාත්පයින්ඩර් සමාගම එක්ව ‍ පෝක් බේ රිසෝට් නමින් ඉදිකරනු ලබන මෙම හෝටලය තනි මහ‍ෙල් සංචාරක කුටි හතළිහකින් සමන්විතයි.

ඩෙල්ෆ්ට් දූපතේ හඳුනාගත් ඉඩම් අක්කර 48ක් අනූනම අවුරුදු බද්දට යටත්ව පවරා ගැනීමේ කටයුතු සඳහා මේ වන විට පළාත් පාලන ආයතනවල අනුමැතිය ලැබී ඇති බව පාත්පයින්ඩර් සමාගමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා එහිදී අප හා පැවසුවා.

යාපන අර්ධද්වීපයේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ගතවූ වසර 35 ඇතුළත පැවැත්වුණු මුල්ම ආයෝජන සමුළුව පසුගියදා යාපනය කච්චේරියේ දී ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සම්ප්‍රදායික කර්මාන්ත හා සුළු කර්මාන්ත සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා යන ඇමැතිවරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

දෙස් විදෙස් ආයෝජකයන් මෙන්ම විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකික දෙමළ ආයෝජකයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින උතුරු පළාතේ තමා ජීවත්වූ ප්‍රදේශයන්හි ආයෝජන ව්‍යාපෘති ඇරැඹීමට ඔවුන් සිය කැමැත්ත පළ කළා.”

උතුරු පළාතේ දැනට පවතින පානීය ජලය, විදුලි බලය ඇණහිටීම්, හා පොදු ප්‍රවාහන සේවා වැනි ආයෝජකයන්ට බලපාන ගැටලු කඩිනමින් විසඳා දීමට ඇමැතිවරුන් හා අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙහිදී ආයෝජකයන්ට පොරොන්දු වීමත් විශේෂ‍යක්.

2005 – 2013 කාලය තුළ රජය මඟින් උතුරේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 66712ක් ආයෝජන කර ඇති අතර නව ආයෝජන ව්‍යාපෘති 26ක් අරඹා ඇති බවත් එමඟින් සෘජු රැකියා අවස්ථා 4833ක් උදාකර දුන් බවත් මෙම ආයෝජන සමුළුව අමතමින් ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවා.

ඇමැතිවරයා මාධ්‍යවේදීන් සමඟ ඩෙල්ෆ්ට් දූපතේ කරන ලද සංචාරය අතරතුර ඩෙල්ෆ්ට් දූපත්වාසීන් තමන් ගේ අවශ්‍යතා කිහිපයක්ම ඇමැතිවරයාට ඉදිරිපත් කළා.

ඒ අතරින් ප්‍රධාන වූයේ පානයට සුදුසු පිරිසිදු ජලය නොමැතිවීමයි. මේ ගැටලුවට පිළියමක් වශයෙන් ඩෙල්ෆ්ට් හි භූගත ජලය පිරිපහදු කර පානයට සුදුසු ජලය නිපදවීමේ ව්‍යාපෘතියක් ඇති කිරීමට ආයෝජකයකු හඳුනා ගැනීමට කටයුතු කරන බව ඇමැතිතුමා පවසනවා.

ඩෙල්ෆ්ට් වාසීන් දැවෙන දෙවන ගැටලුව ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම, ඒ ගැටලුව විසඳන්න ඩග්ලස් දේවානන්දා මහතා සහ ප්‍රවාහන ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර කටයුතු යොදන බව පැවසූ ඇමැතිවරයා ‍ඩෙල්ෆ්ට් දූපතේ පවත්නා සම්පත් ප්‍රයෝජනයට ගනිමින් සංචාරක අමාත්‍යාංශය හා එක්ව විශේෂ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට අදහස් කරන බවත් පැවසුවා.

නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

 ඇමැතිවරයා නිරීක්ෂණ චාරිකාවේ යෙදෙමින්

ඩෙල්ෆ්ට් දූපතේ සොබා සෞන්දර්ය වඩාත්ම ඔප් නැංවෙන්නේ එහි වෙසෙන අශ්ව පංතිය නිසයි. අතීතයේ පටන් පැවැත එන ඩෙල්ෆ්ට් දූපතේ අශ්වයන්ට නිශ්චිත හිමිකරුවකු නැතත් අලුතින් පැටියකු රැළට එක්වූ ගමන්ම ඌට අංකයක් හිමිවෙනවා.

ඩෙල්ෆ්ට් දූපතට ආරක්ෂාව සැලසෙන්නේ ශ්‍රී ලංකා නාවුක හමුදාව මඟින්. ප්‍රධාන දූපතෙන් වෙන්වූ කුඩා රාජ්‍යයක් බඳු ඩෙල්ෆ්ට් දූප‍ත්වාසීන්ට වෙනම හැඳුනුම්පතක් නිකුත් කර තිබෙනවා. සතර අතින් මහා සයුරෙන් වටවූ ඩෙල්ෆ්ට් දූපතට මුහුදු මඟින් ආගන්තුකයන්ට ගොඩබැසීමට ඇති අවකාශය ඇහිරීමටයි ඒ.

දූපතේ ජනතාව සාමකාමියි. ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සියල්ලම එහි ඇති කුඩා කඩමණ්ඩියෙන් සපුරා ගැනීමට ඔවුනට සිදුව තිබෙනවා. පාසල් අටක්, කුඩා රෝහලක්, තැපැල් කන්තෝරුවක්, පල්ලියක් හා කෝවිලක් ඇතත් එහි පන්සලක් දකින්නට නැත්තේ බෞද්ධයන් එහි නැති නිසයි. ඒත් දූපතේ ඇවිද ගිය අපට වසර දහසකට වඩා පැරණි චෛත්‍යයක නටබුන් දක්නට ලැබුණා.

“ආදම් ගේ පාදය” නැත්නම් “හනුමන් ගේ අඩි සළකුණත්” පිහිටා තියෙන්නේ මේ අපූරු දූපතේමයි. සාමාන්‍ය මිනිස් පා සටහනක් මෙන් දස ගුණයක් පමණ විශාල වූ මේ පා සලකුණ එකල විසූ ‍යෝධයකු ගේ පා සළකුණක් බවත් කියැවෙනවා.

දූපතට ආවේණික බොහෝ දේ අතර එහි ඉඩම් බෙදා වෙන් කරන ලද කොරල් වැටි ගැනත් නොකියාම බෑ. ඩෙල්ෆ්ට් දූපත් ආශ්‍රිත මුහුදු තීරයේ පමණක් දැකිය හැකි මේ කොරල් කුට්ටි එකිනෙක මත තබා ඉදිකරන ලද ගල්වැටි වසර ගණනාවක් පැරැණියි. එමෙන්ම බොහොම සවිමත්.

දූපත්වාසී වැඩි දෙනාගේ රැකියාව ධීවර වෘත්තියයි. කඩකෑමක් හදා, තල් අල වේලා විකුණාගෙන ජීවත්වන්නන් ද එළවුළු, තල හා කුඹුරු වගාවෙන් ජීවත්වන්නන් ද ඒ අතර සිටියි. ජීවිකාව කවරක් වුවද ඩෙල්ෆ්ට් වාසීන් ගේ ජීවිතය කටුකය.

දකුණේ අප ගතකරන සුව පහසු දිවිය තබා උතුරේ අග නගරය වන යාපන වැසියන් ගත කරන සුවපහසු දිවිය ද ඔවුන්ට අරුමයකි. එහෙත් ඒ ගැන විශාල කම්පාවක් ද්වේශයක් හෝ මැසිවිල්ලක් ඔවුන්ට නැත.

රටේ හැම තැනම ඇති සුව සම්පත් නොව බීමට පිරිසිදු දිය දෝතක්, යන්නට එන්නට යාත්‍රා පහසුකම් හා උගත්කමට සරිලන රැකියාවක් යන මූලික අවශ්‍යතා කිහිපයක් පමණක් සපුරා ගැනීමේ අහිංසක සිහිනය සැබෑවන දිනක් එළැඹෙන තුරු ඔවුහු ඉවසීමෙන් පෙර මඟ බලා සිටිති.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: