Posted by: lrrp | October 8, 2014

ගෝඨයිම්බර යෝධයාගේ ගමේ අහුං යාගය

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩට නුදුරු දාගොන්න, ගොඩැල්ල, වල්පොළ ගම් පෙදෙස්වල සමහරදෙනා විශ්වාස කරන්නේ තමන් ජීවත් වන්නේ ගෝඨයිම්බර දෙවියන්ගේ අඩවියේ බවය. දුටු ගැමුණු රජතුමාගේ නන්දිමිත්‍ර, සුරනිමල, වහාසොණ, ගෝඨයිම්බර, ථේර පුත්තාභය, භරණ වේළු සුමන, ඛංජදේව, ඵුස්සදේව, ලභිය වසභ යන දස මහා යෝධයන් අතරින් එක් අයෙකු වූ ගෝඨයිම්බර කුඩා කාලයේ ජීවත්ව ඇත්තේ දාගොන්න, ගොඩැල්ල ගොඩිගමුව ප්‍රදේශයේ බව ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයි.

ගෝඨයිම්බර යෝධයා මියගිය පසු දෙවියකුව ඉපදි තමන්ගේ ගම් පෙදෙස් ආරක්ෂා කරන බව ගම්මු විශ්වාස කරති. එනිසාම ගෝඨයිම්බර දෙවියන් වෙනුවෙන් වත් පිළිවෙත් තවමත් මෙම ප්‍රදේශවල සිදුකෙරේ.

ගෝඨයිම්බර දෙවියන්ගේ අඩවියට සමීප දාගොන්න වල්පොල නාඹිරිත්ත දේවාලයේ සෑම වසරක ඇසළ මාසයේ සිදුකරන මහා ශාන්තිකර්ම මංගල්‍යයකි. එය හැඳින්වෙන්නේ නාඹිරිත්ත දේවාලයේ අහුං යාගය යනුවෙනි.

“ඉන්දියාවේ සේරමහන් කියලා රජ කෙනෙක් උයන් කෙළියෙ යද්දි විශාල ගෝනෙකු දැක්කා. රජ තමන් සමඟ සිටි අනෙක් අයට අණ කළා ඒ ගෝනාව මරන්න. නමුත් කාටවත් ඒ ගෝනට විඳින්න බැරිව ගියා. අන්තිමේ රජතුමාම හීයෙන් විදල ගෝන මැරුවා. ගෝනා මැරුණෙ රජ ගැන වෛරයකින්.

රජු උයන් කෙළියෙහි යද්දි එක විලක තියෙන නෙළුම් මල් ඉඹින පුරුද්දක් තිබුණ. අර වෛරයෙන් මැරුණ ගෝන ගෙඹි පැටියෙකුව ඉපදිලා අර නෙළුම් විලේ නෙළුම් මලක හැංගිලා ඉඳලා රජු ඒ නෙළුම් මල සිපගනිද්දි නහයෙන් මොළයට ගියා. රජුට දැඩි හිසරදයක් හැදුණා. කිසිම ලෙසකින් සුව කරන්න බැරිව ගියා.

රජු පරීක්ෂා කළ එක ඉසිවරයෙක් කිව්වා. මෙම‍ දෝෂය බෞද්ධ රටක කපන්න ඕන. නැතිනම් රජු සුව කරන්න අපහසුය කියලා. ඒ ඇවිල්ල රජුගේ දෝෂය කපන ශාන්ති කර්මය කළා. එහෙමයි මේ අහුං යාගය ලංකාවෙ ආරම්භ වෙලා තියෙන්නෙ. අහුං යාගයෙහි මූලෝත්පත්තිය පිළිබඳව එම තොරතුරු පැවසූවෙ වසර විස්සක සිට නාඹිරත්ත දේවාලයේ කපූධූරය දරන එස්.එස්. කරුණාරත්නය.

ඔහු කපු ධූරය දැරූ වසර විස්සක් පුරාවට ඇසළ මාසයේදී නාඹිරිත්ත දේවාලයේ අහුං යාගය අඛණ්ඩව පවත්වා ඇත.

කරුණාරත්න කපු මහත්තයාට පෙර ඔහුගේ පියා එව් පේනිස් අප්පුහාමි කපුමහතා නාඹිරිත්ත දේවාලයේ භාරකාරධූරය උසුලා ඇත. එව් පේනිස් අප්පුහාමි කපු මහතාට එම උරුමය ලැබී ඇත්තේ ඔහුගේ මවගේ පියාගෙනි.

කරුණාරත්න කපු මහතාගේ අදහස අනුව දෙවිවරු හත්දෙනෙක් ශ්‍රී ලංකාවේ දිශා හත භාරව කටයුතු කරති. පත්තිනි දේව මෑණියෝ නවගමුවට ද, කතරගම දෙවියෝ රුහුණට ද දෙවොල් දෙවියෝ දකුණට ද, දැඩිමුණ්ඩ දෙවියෝ ඌවට ද, ගම්භාර දෙවියෝ වයඹට ද, කළුකුමාර දෙවියෝ අනුරාධපුරයට ද වීරමුණ්ඩ දෙවියෝ කුරුණෑගලට ද අධිගෘහිතව අනුහස් වදාරා සිටිති.

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු පුරුදු වී සිටි මේ ගැමි ජනතාව නිසි කලට වැසි ලැබී භවභෝග සම්පත් වැඩිකර ගැනීමටත්, වඳුරු වසංගත ආදී ලෙඩ රෝගවලින් වැළකී සෞභාග්‍යවත් ජීවිතයක් ගත කිරීමටත් යනාදි අපේක්ෂාවන් පෙරදැරිකරගෙන ඉහත සඳහන් දෙවිවරු හත්කට්ටුව සඳහා අහුං යාගය පැවැත්වූහ. එයට අමතරව අංගම්, පිල්ලි, ජීවම්, බන්ධන, පැන්නුම්, කටු ගැසීම් සහ පෙනෙලි ගිනියම් යන සත් සූනියම්වලින් ආරක්ෂාව ලබා ගැනීම ද බලාපොරොත්තු විය.

පහත රට පළාත්වල ගම් මඩු, දෙවොල් මඩු, පුනා මඩු හා හෑල්ලුම් මඩු යනාදියත්, සබරගමු පළාතේ පහන් මඩු, ගම් මඩු, කිරි මඩු හා දෙවොල් මඩු යනාදියත් උඩරට පළාතේ කෑගල්ල ආශ්‍රිත කොට පවත්නා ගම්මඩු හා දෙවොල් මඩු ශාන්ති කර්ම පත්තිනි දේවිය මුල්කරගෙන පවත්නාසේම නාඹිරිත්තාව දේවාලය හා අහුං යාගය පවත්වන්නේ ද පත්තිනි දෙවියන් මූලික කරගෙනය.

එයට අමතරව දෙවොල් දෙවියන්ට ද එහි ප්‍රධාන ස්ථානයක් හිමිවෙයි. නාඹිරිත්තාව දේවාලයේ පමණක් නොව ලංකාවේ පත්තිනි දෙවියන් අරඹයා සිදුකරන සෑම ශාන්තිකර්මයකදී දෙවොල් දෙවියන්ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි.

මහාචාර්ය ආරියරත්න කළුආරච්චි සිය “දෙවොල් දේව සංකල්පය සහ සමාජය” කෘතියේ සඳහන් කරන්නේ, පෙර අත් භවයකදී බුදුන් වහන්සේගෙන් පත්තිනි දෙවියන් සමඟ පුද ලබන්නට දෙවොල් දෙවියන් වරමක් ගත් බවත් එනිසා පත්තිනි දෙවිඳු වෙනුවෙන් පවත්වනු ලබන සෑම මඩු තෝත්‍රයකදි දෙවොල් දෙවියන්ට පුද පූජා පැවැත්වීම අනිවාර්ය බව පාරම්පරික මඩු ශාන්ත ශිල්පීන් පවසන බවය.

“දවස් විසි එකක් මස් මාංශයෙන් පේවෙලා ඉඳලයි අපි අහුං යාගය පටන් ගන්නෙ” නාඹිරිත්ත දේවාලයේ කරුණාරත්න පවසන්නේ අහුං යාගයට පේවී ලක ලෑස්තිවන ආකාරය පිළිබඳවය.

අහුං යාගය උත්සවයට මුල පිරෙන්නේ අගෝස්තු මාසයේ සෙනසුරාදා දිනයක සවස හතරට පමණය. ඒ සිද්ධ පත්තිනි දෙවියන්ට සහ දෙවොල් දෙවියන් පොර පොල් දෙකක් යහන් ගත කිරීමෙනි.

“සෙනසුරාදා සවස හතරට නාඹිරිත්ත දේවාලයේ ඇතුළේ ශබ්ද පූජා පවත්වලා දේවාලයෙ ඇතුළේ තියෙන යහන් දෙකක පොර පොල් දෙක යහන්ගත කරනවා” කරුණාරත්න කපුමහතා අහුං යාග‍ෙයහි ප්‍රථම අංකය විස්තර කරන්නේ එසේය.

අහුං යාග‍ෙයහි ඊළඟ අවස්ථාව එළඹෙන්නේ එම සෙනසුරාදායින් පසුව එළඹෙන බදාදා දිනයෙහිය. එදින සිදුවන්නේ පොරපොල් ගැසීමය. ගමේ සෑම නිවසකින්ම පොල් ගෙඩිය හෝ දෙක එවූ පොල්; පොරපොල් පිටියේ කෙළවරක ගොඩගසා ඇත. බොහෝවිට එහි පොල් පන්සියයකට හයසියයකට එහා ප්‍රමාණයක් ඇත.

“මම පොඩි පොල් ගෙඩියයි ලොකු පොල් ගෙඩියයි තෝරලා ජෝඩුව බැගින් ගොඩවල් දෙකකට බෙදනවා” ගමේ සෑම නිවසකින් ම පාහේ ලැබෙන පොල් දෙපිල සඳහා කපුමහතා වෙන්කරන්නේ එසේය. පොර පොල් ගැසීමේදී පත්තිනි දෙවියන්ගේ පිල උඩු පිළ ලෙසත්, දෙවොල් දෙවියන්ගේ පිල යටි පිළ ලෙසත් හැඳින්වෙයි.

“මේක අහුං යාගය කියල හඳුන්වන‍්නෙ මෙම යාගයට සම්බන්ධ දෙවිවරුන් හත්දෙනා අශ්වයින් ලෙස නිරූපනය කරන නිසයි. ඔවුන්ව හැඳින්වෙන්නෙ ඒ ඒ දෙවියන්ගෙ අශ්වය කියලයි”, කරුණාරත්න කපුමහතා අහුං යාගය යන නාමය පිළිබඳ නිර්වචන සැපයූවේ එසේය.

පත්තිනි දෙවියන්ගෙ උඩු පිළට පත්තිනි දෙවියන්ගේ අශ්වයා, කතරගම දෙවියන්ගේ අශ්වයා, දැඩිමුණ්ඩ දෙවියන්ගේ අශ්වයා, කළුකුමාර දෙවියන්ගේ අශ්වයා ඇතුළත්ය.

දෙවොල් දෙවියන්ගේ යටි පිලට දෙවොල් දෙවියන්ගේ අශ්වයා, වීරමුණ්ඩ දෙවියන්ගේ අශ්වයා, ගම්භාර දෙවියන්ගේ අශ්වයා ඇතුළත්ය.

එලෙස දෙවියන්ගේ අශ්වයා ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවටය.

“බදාදා දවසෙ බුදුන් වැඳල, විෂ්ණු දෙවියන්ට පින්දීලා, මහ බ්‍රහ්ම, සක්‍ර ඇතුළු දෙවි දේවතාවයන්ට ප්‍රථමයෙන් ම ආරාධනාව කරනවා” නාඹිරිත්තාව දේවාලයේ කරුණාරත්න කපු මහතා පවසන්නේ පොර පොල් ගැසීම ආරම්භ කරන ආකාරය පිළිබඳව ය.

පොර පොල්පිටියේ කෙළවර දෙකක දෙවොල් දෙවියන් සහ සිද්ධ පත්තිනි දෙවියන් සඳහා යහන් ඉඳිකර ඇත. පිල් දෙක රැඳී ඇත්තේ එම ස්ථානවල ය.

“ඉස්සර වෙලාම උඩු පිලේ කෙනෙක් දෙවොල් දෙවියන්ට ආරාධනා කරලා, පත්තිනි මෑණියන්ගේ නාමයෙන් කියලා පොර පොල් ගෙඩියක් යටි පිල පැත්තට විසි කරනවා. ඒ වගේ තුන් පාරක් විසි කරනවා. ඊට පස්සෙ යටි පිලේ කෙනෙක් පත්තිනි දෙවියන්ට ආරාධනා කරලා දෙවොල් දෙවියන්ගෙ නාමෙන් කියල අර විදියට පොල් තුනක් උඩු පිලට විසි කරනවා.

මෙහෙම එවන පොල් ගෙඩියක් අතේ තියෙන පොල් ගෙඩියක වැදිල බිඳුණොත් අතේ ගියා හෝයියා කියල කෑගහලා නටනවා.” කපු මහතා පවසන්නේ පොර පොල් ගැසීම සිදුවන ආකාරය පිළිබඳව ය.

එලෙස පොර පොල් ගැසීම කෙම්මුර දින හතක් සිදුවෙයි.

පස් වෙනි කෙම්මුර දිනයේදී කපු මහතා බුලත් කොළ හතක් සෙත්කර අහුං හත් දෙනා අතර බෙදා දෙයි. සිද්ධ පත්තිනි දෙවියන්ගේ අහුංට හතරක් ද දෙවොල් දෙවියන්ගේ අහුංට තුනක් ද වන ලෙස ය.

“එදා ඉඳලා මේ අහුං හත් දෙනා බොහෝ පිරිසුදුවට ජීවත් වෙන්න ඕන‍. මස් මාංශ ගෑවිච්ච හැන්දක්වත් මුහුවෙන්න හොඳ නැහැ‍. කිළි කුණුවලට අහුවෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් වස් වඳිනවා.” නාඹිරිත්තාව දේවාලයේ කපු මහතා පවසන්නේ අහුං යා‍ගයහි ප්‍රධාන ක්‍රියාකාරීන් හත් දෙනා අනුගමනය කළ යුතු වත්පිළිවෙත් පිළිබඳවය.

අහුං යාගය යෙදෙන දිනයට පෙර එළඹෙන සිකුරාදා, වල්පොළ, නාඹිරිත්ත දේවාලයේ පෙරහර පවත්වනු ලබයි. මුළු ගම වටා සංචාරය කරන මෙම පෙරහරේ සත් දෙවියන්ගේ රූප සත ද වඩම්මවනු ලබයි. එයට අමතරව නැටුම් පූජා, බෙර පූජා, කාවඩි පූජා ආදියෙන් නාඹිරිත්ත දේවාලයේ පෙරහර වර්ණවත් වෙයි.

අහුං යාගය සඳහා ‘අහුං කැඩීම’ සිදුවන්නේ සෙනසුරාදා දිනය. අහුං කැඩීම යනු අහුං කුමාරවරුන් සත් දෙනා අහුං (අශ්වයන්) ලෙස සැරසීම ය.

සෙනසුරාදා දිනයේ අහුං කැඩීමට පෙර සිදු කෙරෙන තවත් සුවිශේෂ වත්පිළිවෙතක් ඇත. ඒ ‘පේ බත’ දීම ය. ලුණු නොදමා සුදු හාලෙන් පිරිසුදුව පේ බත පිළියෙළ කරන්නේ දේවාලයේ කොට්ටෝරු මහතා විසිනි.

ප්‍රථමයෙන් ම අහුං කුමාරවරුන් සත් දෙනා සඳහා ‘පේ බත’ පිරිනමනු ලැබේ. අහුං යාගය බැලීමට එන ඇත්තන් ඒ පේ බත් අහුරක් හෝ අනුභව කරන්නේ මහත් භක්තියෙනි. එයට අමතරව සමහරුන් නිවෙස්වල සිටිනා අය සඳහා ද ‍ෙප් බත් අහුරක් ගෙන ගොස් දීමට අමතක කරන්නේ නැත.

“අහුං කඩන්න ගන්නෙ තැඹිලි ගහක ගොක් අත්ත‍. ඒකෙ කෙළවර ඉඳන් ගොක් කොළ දහයක් අයින් කරලා එක ගොක් කොළයක් ගලවල අයින් කරනවා. ඊට පස්සෙ ගොබ් අත්තෙ දෙපැත්තම වියළා අත්ත මැද්දෙන් ඇඟ රිංගවගන්න තරමට ඉරනවා. අර අයින් කරපු ගොබ් කොළ දහයෙ ඉරටු අයින් කරල හීනියට ඉරනවා. අශ්වයාගේ වලිගය වගේ පේන්න” කරුණාරත්න කපු මහතා විස්තර කරන්නේ අහුං කැඩිල්ලේ මුල් කොටස පිළිබඳව ය.

අහුංගේ හිස සදන්නේ පුංචිම පුංචි පුවක් ගසක පුවක් කොළ පතකිනි. ඉරටු සහ වල්බෙලි පට්ටා එකතු කර අසුට ගසන කසය සාදනු ලැබේ.

අහුං කැඩීමේදී අහුං කුමාරවරුන් ඇඳීමට නියමිත වර්ණ ඇත. පත්තිනි රතු, දෙවොල් රතු, කතරගම රතු, දැඩිමුණ්ඩ රතු, වීරමුණ්ඩ රතු, ගම්භාර සුදු, කළුකුමාර තළු වශයෙනි. මෙයට අමතරව සෑම අහුං කුමාරයකුම තමන්ට හිමි වර්ණ සුම්බරයකින් හිස වසාගනු ලැබේ.

අහුං නැටීම ආරම්භවන්නේ පොර පොල් ගැසීම සිදුකළ පොර පොල් පිටියෙනි. තැඹිලි ගොබ් කොළවලින් සෑදූ අහුං ආභරණය ඉනෙහි රඳවාගෙන වල් බෙලි පට්ටවලින් සෑදූ කසය කරකවමින් ප්‍රථමයෙන් ම අහුං හත්දෙනා පිටියෙහි නර්තනයෙහි යෙදෙති.

ගොම්මං යාමය සමීප වෙද්දී අහුං හත්දෙනා බෙර වාදනත් සමඟින් නාඹිරිත්තාව දේවාලය වෙත ගමන් අරඹති. ඒ ගමන් ඇරඹීමත් සමඟ රතිඤ්ඤා තුන් හාර දහසක් එකවර ගිගුම් දෙන හඬින් පළාතම දෙවනත් වෙයි. ඒ කිඹුලාපිටිය රතිඤ්ඤා නිෂ්පාදකයින්ගේ වාර්ෂික භාරයක් ඔප්පු කිරීම ය.

අහුං කුමාරවරුන් නාඹිරිත්ත දේවාලයට ගමන් කරන මඟ දෙපස භාර ඔප්පු කිරීම සඳහා පන්දම් රැගත් බැතිමත්හු මඟ දෙපසට වී බලා සිටිති. අහුං කුමාරවරු මෙම පන්දම් අතට අරගෙන රවුමක් කරකවා ළඟ ඉන්න කෙනෙකුට දෙති. ඔහු එම පන්දම් නිවා පෙරහර මාර්ගයෙන් ඉවතට විසිකරයි.

අහුං යාගයහි උච්චතම අවස්ථාව එලඹෙන්නේ නාඹිරිත්ත දේවාල භූමියේ ය. එහිදී බෙර ශබ්ද පූජාව සමඟ අහුං කුමාරවරු අපූරු රංගනයක යෙදෙති. මෙම අවස්ථාවේදී ද බැතිමත්හු භාර ඔප්පු කිරීම සිදුකරති. සමහරු මල් පෙරහර භාර ඔප්පු කරති. සමහරු ප්‍රාණයට ප්‍රාණය සඳහා වූ භාරයක් වෙනුවෙන් පොල් පැළ ඔප්පු කරති. තවත් සමහරු රූපයට රූපයක් අවයවයකට අවයවයක් සඳහා වූ භාරයක් ඔප්පු කිරීමට තඹවලින් නිර්මාණය කළ කුඩා සිරුරක් ඔප්පු කරති.

මේ අතර සමහර මවුවරු කුඩා දරුවන් අහුං කුමාරයන්ගේ විශේෂයෙන් පත්තිනි දේවමෑණියන්ගේ අහුං කුමාරයගේ අතට දෙති. ඔහු කුඩා දරුවාව ඇකයේ රඳවාගෙන අහුං රංගනයේ යෙදෙයි. එමඟින් දරුවාගේ මස් දොස් දුරුවේ යැයි විශ්වාස කරති.

සෙනසුරාදා පළමු යාමයේ එනම් රෑ අටට පමණ දේවාලයේ කුරාලය පේ කිරීම සිදු කෙරේ. කලින් දිනයක පොල් ගසකට අල්ලා පුවක් ගස් සිටුවීමෙන් මෙම කුරාලය නිර්මාණය කරනු ලැබේ. පොළොවේ සිට දහ අට රියනක් උසින් අඩි පහක් පළලට අඩි තුනක් දිගම නිර්මාණය කරන එම කුරාලයට නැඟීමට තරමක ලොකු ඉනිමඟක් ද බදිනු ලැබේ.

“රෑ අටට විතර දේවාලය ඉස්සරහ තියෙන දහ අට රියන් උස කුරාලයට මම නඟිනවා. දේවාල භූමියෙ පහත එනකොට සද්ද පූජා පැවැත්වෙනවා. මම කහදිය ඉහලා, කට්ටකුමංජල් දුම් අල්ලා, පහන් පත්තු කරලා එතැන සෙත් කරලා කුරාලය පේ කරනවා.” කරුණාරත්න කපු මහතා ඒ විස්තර කරන්නේ කුරාලය පේ කිරීම පිළිබඳව ය.

දෙවන යාමය එළඹෙන්නේ මහා රාත්‍රියේ දොළහට ය. එය අහුං ජාමය කියා ද හඳුන්වයි. ළමයින්ට සෙත් කිරීම සිදු කරන්නේ එම අහුං ජාමයේ ය. කුරාලය වෙත ළමා ගොටු පිදෙන්නේ එම අවස්ථාවේ ය. ගින්නෙන් තැවූ කෙහෙල් දල්ලකින් ගොටුව සාදනු ලැබේ. එහි, හත් මාලුවේ බත, ඉදුණ කෙසෙල් ගෙඩි තුනක්, හකුරු කෑලි තුනක් ඇතුළත්ව ඇත.

කඩවර ගොටුව පිරිනැමීම සිදුවන්නේ තුන්වන යාමයේ ය. එනම් පාන්දර හතරට පමණ ය. කඩවර ගොටුවට හත් මාළුව, රත්හෙල්මුව ඇඹුල, ඇඹුල් කෙසෙල් ගෙඩිය, පොල්මදයේ රවුම් වළල්ල සහ සුදු බත ඇතුළත් ය.

කඩවර ගොටුව පිදීමේ කටයුතු නිමාවන විට අරුණලු පතිත වන වේලාව එළඹෙයි. එම අවස්ථාවේදී කිරි අම්මාවරුන් හත් දෙනෙකුට කිරි බත් දානය පිරිනමයි.

කිරි අම්මාවරුන්ගේ දානයෙන් පසුව පොර පොල් පිටියේදී අවසාන වශයෙන් ජයග්‍රහණය ලැබූ පිල, ජයග්‍රහණය ලැබූ පොල් ගෙඩිය පිරුවටයකින් ඔතා එය ද රැ‍ගෙන දේවාල භූමියේ වට තුනක් අහුං නැටීම සිදු කරයි. පසුව පිරුවටයෙන් ඔතන ලද පොල් ගෙඩිය උඩු වියන් සහිතව ගමේ පන්සල වෙත වඩම්මනු ලැබේ.

එයින් පසුව අහුං කුමාරවරු ගමේ ආරාධිත නිවෙස් වෙත ගමන් කිරීම ආරම්භ කරති. එවැනි නිවෙස්වල නැවුම් කලයක පැන් පුරවා ඒ මත පොල් මලක් ද සහිතව මල් බුලත් තට්ටුවක් සාදා ඇත. එහිදී එම නිවසෙහි වහලය පොල් අතු නම් දෙවොල් දෙවියන්ගේ අහුං එම වහලයට ගිනි තබනු ලබයි. එවිට පත්තිනි දෙවියන්ගේ අහුං එම ගින්දර නිවා දමනු ලබයි. එලෙස නිවෙස්වල වස් දොස් දුරු කිරීමට යන අහුං කුමාරවරුන්ට එම නිවෙස්වලින් පඬුරු පාත්කුඩම් ද පිරිනැමීම ද සිදු කරයි.

ගම් මැද්දේ ඒ සිරිත් මෙලෙසින් සිදුවන විට, කපු මහතා දේවාභරණ ද රැගෙන අහුං කපන දියමංකඩ වෙත යයි. නිවෙස් බැහැ දැකීම් නිමා කරන අහුං කුමාරවරු හත් දෙනා දියමංකඩ වෙත ළඟාවෙති. එහිදී කපු මහතා විසින් අහුං කපා ඒවා දියේ පාකර අහුං කුමාරවරුන්ගේ වස් දොස් දුරු කරනු ලබයි.

“දියමංකඩහි අහුං කපලා වස් දොස් දුරු කරලා අපි දේවාල භූමියට එද්දී මහා ලොකු දානයක් පිළියෙල වෙලා” නාඹිරිත්තාව දේවාලයේ කපු මහතා වන එස්.එස්. කරුණාරත්න මේ විස්තර කරන්නට යන්නේ අහුං යාගයේ අවසාන භාගය පිළිබඳව ය.

හත් මාළුවත් සමඟ හාල් මිටි තුන හතරක බතක් එහි පිළියෙල වී ඇත‍. එයට අමතරව ගම්කොරේ නිවෙස්වලින් විවිධ ව්‍යාංජන දේවාල භූමිය වෙත ගෙන එයි.

මුලින් ම අහුං කුමාරවරුන් හත් දෙනාට දානය පිරිනමනු ලැබේ. පසුව අහල පහල සිටින ස‍ෑම දෙනාටම දානය පිරිනමනු ලැබේ. නාඹිරිත්තාව දේවාලයේ අවුරුද්දකට වරක් සිදුකරනු ලබන අහුං යාගයේ කටයුතු එම දානයෙන් නිමාවට පත්වෙයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: