Posted by: lrrp | November 2, 2014

හිලව් ණයට කොමිස්‌ මිලට යටවෙන යාන්ඔය


පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පසුගියදා යාන් ඔය නිම්නයේ පවතින පුරාවිද්‍යස්‌ථාන හා ස්‌මාරක බැලීම පිණිස හදිසියේම සංචාරයක්‌ යොදා ගෙන තිබුණි. එයට හේතු වූයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පදවිය හා වාහල්කඩ ව්‍යාපාර ශක්‌තිමත් කිරීමේ අරමුණින් යෝජිත යාන්ඔය ජලාශ ව්‍යාපෘතියට විශාල පුරාවස්‌තු සංඛ්‍යාවක්‌ යටවීම නිරීක්‍ෂණය කිරීමයි. මෙම ව්‍යාපෘතියේ පුරාවිද්‍යා හානි අගැයුම් වාර්තාව සකස්‌ කිරීම සඳහා මෙහෙයවීම කරන ලද්දේ 2011 වසර්රේදීය. ඒ වන විටත් ව්‍යාපෘතියේ සැලසුම් සියල්ල සකස්‌ කර තිබුණි. මහවැලි මහ සැලැස්‌මේ කොටසක්‌ ලෙස සැලකෙන මෙම ජලාශ ව්‍යාපෘතිය කලක්‌ අතහැර දමා තිබී හමස්‌ පෙට්‌ටියෙන් එළියට ගෙන අඩුවැඩිය සපුරා ගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මහා භාණ්‌ඩාගාරයට ඉදිරිපත් කර තිබූ බව සැළවෙයි. වසර විසිපහක්‌ පමණ පැරණි මෙම සැලැස්‌ම සංශෝධනයකින් තොරව යළිත් කරළියට ගෙනවිත් ඇත්තේ පූර්ව ගවේශනයකින් ද තොරවයි. එයට හොඳම උදාහරණය නම් මෙම නිම්න භූමියේ තිබෙන පුරාවස්‌තු හා ස්‌මාරක ප්‍රමාණය පවා ඔවුන් නොදැන සිටීමියි. ඒ බැව් මූලික පරිසර අගැයුම් වාර්තාවේ සඳහන්ය.

කඩිමුඩියේ ඉදිරිපත් කරන ලද මෙම පරණ සැලැස්‌මේ අරමුණ වූයේ චීනයෙන් ලබා දෙන ණය මුදල සම්මත කර ගැනීමයි. එහෙත් මහා භාණ්‌ඩාගාරයේ දී චීන නිළධාරීන් සමග කළ සාකච්ඡාවේදී ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසි සලකා බලා ණය ප්‍රතික්‌ෂේප කෙරිණ. එහෙත් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීනයේ සමාගමක්‌ වෙත ලබාදෙන ලද අතර පරිසර අගැයුම් වාතාව පවා සකස්‌ කිරීමේ වගකීමද ඔවුන් වෙත පැවරිණ. යාන්ඔය නිම්නයේ ඛේදවාචකය ඇරඹෙන්නේ එලෙසය. ණය නොමැති තැන කොන්ත්‍රාත්තුව ලබා දී කොමිස්‌ මුදල් බලාපොරොතුවෙන් පරණ සැලැස්‌ම අනුමත කෙරිණ. පදවිය හා වාහල්කඩ වැනි මහා සාගර බඳු වැව් තැනවූ මහසෙන්, පරාක්‍රමාබාහු වැනි රජවරු යාන්ඔය නිම්නය මෙලෙස විනාශ කිරීමට පිඹුරුපත් සකස්‌ නොකළහ. එදා මහා සාගරය නොමැති නම් පදවිය තැනවූයේ මුගුණු ඔය හරස්‌ කිරීමෙනි. එලෙසම තවලම්හල්මිල්ලෑව හරස්‌කරමින් වාහල්කඩ තැනවූයේ හොරොව්පතාන සිට වාරිමාර්ගයකින් ජලය ගෙන්වා පෝෂණය කරමිනි. නමුත් කිසිවිටකත් යාන්ඔය පහල නිම්නය හරස්‌ කරමින් මහා වැවක්‌ තනවන්නට පැරණියන් කල්පනා නොකලේ යාන්ඔය පිටාර නිම්නය ඉතා සශ්‍රීක බැවිනි. එහි කරන ගොවිතැන මගින් විපුල ඵල ලැබෙන නිසා ඒ කුඹුරු යට නොකර ඉහත්තාවේ ජලය රැස්‌කර වගාව කරගෙන යැම ඔවුන්ගේ අරමුණ විය.

වර්තමාන නිළධාරීන්ගේ සහ විශේඥයන්ගේ දුර්වලකම් පෙන්වා දීමට හොඳම අවස්‌ථාව නම් පරිසර අගැයුම් වාර්තාවේ මේ අතීත සිදුවීම් කිසිවක්‌ වාර්තා නොකිරීමයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ පදවියේ කුඹුරුවලට හිඟවන ජලය මේ ජලාශයෙන් ලබා දීමයි. එහෙත් ඔවුන් නොදත් කරුණනම් වසර දෙදහසකට පමණ පෙර මේ අරමුණ සඳහාම පදවියට ඉහළින් මහා වැවක්‌ ඉදිකිරීම ට කටයුතු යොදා තිබුණු බවයි. වර්තමාන වාරිමාර්ග නිළධාරීන් හෝ සැලසුම්කරුවන් මේවා දන්නේ නැත. කලකට ඉහතදී ලංකාවේ වාරිමාර්ග ගැන ලියූ ආර්.එල්. බ්‍රොහියර් නම් මිනුම්දෝරුවෙක්‌ මේ ගැන දැන සිටියේය. ඔහු විදේශිකයෙකු වුවත් ලංකාවේ වාරිමාර්ග කෙරෙහි දැක්‌වූ ලැදියාව නිදහස්‌ අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉහළට ආ ස්‌වදේශිකයන් කිසිවකුට නොතිබීම අවාසනාවකි.

මෙම ජලාශය ඉදිකිරීම නිසා ඇතිවන ප්‍රතිලාභ වශයෙන් දැක්‌විය හැක්‌කේ කුඹුරු අක්‌කර 1625 ක්‌ (හෙක්‌ටයාර් 650 ) අළුතෙන් අස්‌වැද්දීම. පදවිය වැව යටතේ කුඹුරු අක්‌කර (හෙක්‌ටයාර් 3400) කට ජලය සැපයීම. වම් ඉවුර යටතේ කුඹුරු අක්‌කර 3842.5 (හෙක්‌ටයාර් 1537) කට ජලය සැපයීම.දකුණු ඉවුර යටතේ වැව් හැට හතරක්‌ සඳහා ජලය සැපයීමට හැකි වීම. පදවියට සහ වාහල්කඩ වැව යටතේ පෝෂිත ප්‍රදේශයට අඛණ්‌ඩව ජලය සැපයීමට හැකි වීමයි. අවතැන් වන පවුල් 546 ක්‌ සඳහා ස්‌ථාන හතරක පූර්ණ පහසුකම් සහිත ජනාවාස ඇති කිරීම සහ හොරොව්පතාන හා තිරියාය යා කරන දියුණු මහා මාර්ග පද්ධතියක්‌ ස්‌ථාපනය වීම සහ පානීය ජල පහසුකම් අඛණ්‌ඩව ලබා ගැනීම ද මෙයට අයත් වෙයිs.

මෙම ජලාශ ව්‍යාපෘතිය නිසා සමස්‌ත කෘෂිකාර්මික ඉඩම් අක්‌කර 5589 (හෙක්‌ටයාර් 2235.83) ක්‌ විනාශ වේ. ඒ අතරින් කුඹූරු ඉඩම් අක්‌කර 4241.9 ක්‌ (හෙක්‌1696.76) ක්‌ හේන් ඉඩම් අක්‌කර 372.25 (හෙක්‌ටයාර් 148.79 ) ක්‌ ගෙවතු ඉඩම් අක්‌කර 975.7 (හෙක්‌ටයාර් 390.28) ක්‌ විනාශයට පත් වේ. මේ කුඹුරු ඉඩම්වල වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‌රික්‌ ටොන් 7671.46 කි. හේන් වල වගා කරන බඩ ඉරිඟු කව්පි මුං ඇට උඳු සහ කුරක්‌කන් පිළිවෙලින් මෙට්‌රික්‌ ටොන් 253, 14, 09, 06, 27 කි.වාර්ෂික පොල් ගෙඩි 448776 ක්‌ ලබන ගස්‌ ද විනාශයට පත් වේ.එසේම අඹ පළතුරු මෙට්‌රික්‌ ටොන් 2778 ක්‌ද දෙහි මෙට්‌රික්‌ ටොන් 14.67 ක්‌ද දොඩම් මෙට්‌රික්‌ ටොන් 56746 ක්‌ ද විනාශයට පත් වේ. වනාන්තර හෙක්‌ටයාර 1438ක්‌ විනාශයට පත් වේ. මේ නිසා දේශීය වෙදකමට අවශ්‍යවන ඖෂධීය ශාක වන කටුපිල කොරකහ සුදු වෙල්ලන්ගිරිය මූණමල් කුරටිය මයිල නිතුල්ල මාදන් රදලිය රතඹල යකිනාරන් ඇතුළු දේශීය ශාක විශේෂ 70 ක්‌ පමණ වඳ වීමකට ලක්‌ වේ. මෙම හානිය අවම කිරීමේ හැකියාව ද අල්ප වන අතර එම ආවේණික වනාන්තර නැවත ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකිය. වැව් විසි එකක්‌ සම්පූර්ණයෙන්ම යටවන බැවින් එහි තිබෙන පරිසර පද්ධතිය හා සත්ත්ව විශේෂ ද විනාශයට පත් වේ. පාරම්පරික ගොවිතැන සහ ආහාර සුරක්‍ෂිතතාවය සඳහා එකිනෙකා සමග වූ බැඳීම් මෙහි සිටි ජනතාව අවතැන් වීමෙන් අභාවයට පත් වේ.

පුරාවිද්‍යා ස්‌ථාන 49 ක්‌ ස්‌මාරක 65 ක්‌ ජලයට යටවේ. ඒ අතර ප්‍රාග් ඓතිහාසික මෙගලිතික සුසානයන්ද ඓතිහාසික ගල් පාලම් හා අමුණු ද වෙති. මේවා පසුබිම්ව පැවත තිබී ඇති මහා ශිෂ්ඨාචාරය තේරුම් ගැනීම සුළු කාලයකින් කළ නොහැකි කටයුත්තකි. කැණීම් මගින් හා සංරක්‍ෂණ ක්‍රියාවලි මගින් යම් පමණක්‌ සුරක්‍ෂිතකර ගත හැකි නමුත් පූර්ණ අධ්‍යානයකට ලැබී ඇති කාලය ඉතාමත් අල්ප වේ.

මෙම ව්‍යාපෘතියට අවශ්‍ය ගල් සපයා ගැනීමට ගල්බුද්ධාකන්ද වැනි කඳුසිඛර ඇතුළත් පතල් කීපයක්‌ යෝජනා කර ඇත. ඉන් කීපයකම පුරාවිද්‍යා නටබුන් පිහිටා ඇත. එම ස්‌මාරක පමණක්‌ මග හැර පතල් ක්‍රියාවලිය ඉටුකිරීම මෙහි නිර්දේශයයි. නමුත් පුරාවිද්‍යා ස්‌මාරක පිහිටා ඇත්තේ එහි පරිසර පද්ධතිය මත්තේ බව මෙහිදී අමතක කර ඇත. යම් තපෝවනයක්‌ එහි තිබියේ නම් ස්‌මාරක පමණක්‌ තනිව ගැනීමෙන් එහි අධ්‍යාත්මික පරිසරය හානියට පත් වේ.ඒ පිළිබඳ අධ්‍යානයක්‌ කිරීමට තිබෙන අවස්‌ථාවන්ද නැතිවේ.

මෙම ජලාශය ඉදිකිරීම වෙනුවට වාරිමාර්ග අංශයන්ගෙන්ම එකල විකල්ප ඉදිරිපත් කර තිබුණි.ඒවා මෙසේය. හොරොව්පතානේ සිට ආරම්භ වන කි.මී.හතලිස්‌ අටක්‌ දුර වාරි මාර්ග ඇළකින් පදවිය දක්‌වා ජලය ගෙන යැම මගින් පදවියේ ජල හිඟයට පිළියම් සෙවීම. දෙවනි විකල්පය නම් හොරොව්පතාන අසල බ්‍රාහ්මණායාගම හරහා යාන් ඔයේ වේල්ලක්‌ බැඳ M C M 200 ක ජලාශයක්‌ බැඳවීම සහ කි.මී. 60 දිග ඇළකින් පදවිය දක්‌වා ජලය ගෙන යාම. මෙම විකල්ප යෝජනා දෙකම එයට තිබෙන උච්ච පිරිවැය නිසා අතහැර දමා ඇතැයි කියවේ. මෑතකදී ජාතික විද්‍යා පදනමේ දේශීය දැනුම කමිටුව රැස්‌වී මෙම යාන් ඔය ව්‍යාපෘතියට විකල්ප යෝජනා කරන ලද අතර ඒවා මෙසේය.

1. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක්‌ ලෙසට දක්‌වා තිබෙන්නේ ජල හිඟයෙන් පීඩා විඳින පදවිය පහළ කොටසට වම් ඉවුරු ඇළ මගින් ජලය සැපයීමයි. ඒ මගින් අක්‌කර 1400( හෙක්‌ටයාර් 560) ක්‌ අළුතින් අස්‌වැද්දීමට බලාපොරොත්තු වේ.එසේම පදවියේ හෙක්‌ටයාර් 3060 ක ජල හිඟයට පිළියම් සෙවීමට බලාපොරොත්තු වේ. මෙම විකල්පය වෙනුවට පදවිය ජලාශයට ඉහළින් වූ දැනට නාම්බකඩ වැව නමින් ප්‍රකටව තිබෙන වැව විශාල කොට බඳවා පදවියට ගබඩා වැවක්‌ වශයෙන්ද වවුනියා දිශාවේ ඉහළට ජලය ලෙන යන මූලාශ්‍රයක්‌ ලෙසටද භාවිතා කිරීම. ඒ මගින් යථොක්‌ත කුඹුරු අක්‌කර ප්‍රමාණය පමණක්‌ නොව ඊට වඩා වැඩි ප්‍රමාණයක්‌ අස්‌වැද්දිය හැකි වේ.

2. හොරොව්පතාන වඩිග වැව ආසන්නයේ යාන් ඔය හරස්‌ කොට අමුණක්‌ බඳවා එම ජලය තිරප්පන්කඩවල රැළපනාව අඹගස්‌ වැව හරහා කපුගොල්ලෑවටත් ඉන්පසු තාමරවැවටත් ගෙන ගොස්‌ පසුව අතිරික්‌ත ජලය වාහල්කඩ වැවට මුදා හැරීම . මෙම කායය ඉටු කළ පැරණි ඇළ මාර්ගයේ නටබුන් තවමත් දක්‌නට ඇති හෙයින් එය ගවේශනය කොට යලි ප්‍රකෘතිමත් කිරීම කළ හැකිය. එසේම නැබඩවැව ආසන්නයේ මොරඔය හරස්‌ කර සාදා ඇති පැරණි අමුණ ප්‍රකෘතිමත් කර වාහල්කඩ දක්‌වා ජලය ගෙන යන පැරණි ඇළ මාර්ගයද නැවත පණ ගැන්වීම. මෙම ක්‍රියාවලිය මගින් වාහල්කඩ වැවේ ජල ධාරිතාව වැඩි කළ හැකිය.

3. වාහල්කඩ වැවේ පැරණි සොරොව්ව නැවත ප්‍රකෘතිමත් කිරීම. ඒ මගින් පැණ නැගි පැරණි යෝධ ඇළද නැවත ප්‍රකෘතිමත් කිරීම. යෝජිත යාන්ඔය ජලාශයට යටවීමට නියමිත එහි පිටාර තැනිතලාවේ සාරවත් නිම්නය එම ජලයෙන් වගා කිරීම.එම තත්ත්වය මත යෝජිත කුඹුරු අක්‌කර 4241 ක ප්‍රමාණයකට නිරන්තර ජලය සැපයීමට හැකි වේ.

4. මහ හොරොව්ව වැව ආසන්නයේ යාන්ඔයේ පවතින අමුණ ඇතුළු ඊට පහළින් ඇති අමුණු දෙක ප්‍රකෘතිමත් කිරීම. මහ හොරොව්ව වැව හා දික්‌ වැව විශාල කොට බැඳවීම ඒවා ගබඩා ජලාශ වශයෙන් භාවිතා කොට එහි ජලය යාන්ඔයේ දකුණු ඉවුරේ තිබෙන වැව් 29 ක්‌ කරා ගෙන යැම. මේ මගින් හෙක්‌ටයාර් 1303 ක්‌ පෝෂණය කළ හැකි වේ. එසේම මේ අමුණු මගින් ගෙන යන ජලය වම්ඉවුරේ ඇති වැව් තිස්‌පහකට ගෙන යා හැකිය . ඒ මගින් හෙක්‌ටයාර් 714 ක ප්රනමාණයක්‌ කුඹුරු පෝෂණය කළ හැකිය.

5. යෝජිත යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය විදේශ ණය ආධාර මත යෑපීම් මත කිරීමට සැලසුම් කර ඇති හෙයින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන ද විකල්ප ඉදිරිපත් කළ හැකිය. නමුත් එම විකල්පය යෙදවෙන්නේ යාන්ඔයේ දකුණු ඉවුරේ ඉඩම් සංවර්ධනයට පමණකි. පදවිය සහා වාහල්කඩ ජලධාරිතාව පෝෂණය කිරීම පිණිස මෙහිදී ඉදිරිපත් කළ අංක (1) (2) සහ (3) විකල්ප යෝජනා සැලකිල්ලට ගත හැකිය.

යකිනිකන්ද හා වෙහෙර බැඳි කන්ද හරහා පමණක්‌ වේල්ල ඉඳි කොට යෝජිත 169 M C M ජලාශයක්‌ වෙනුවට අඩු ධාරිතාවයක්‌ සහිත ගබඩා ජලාශයක්‌ ඉඳි කිරීම. ඒ මගින් යාන්ඔය දකුණ හා වම යන පෙදෙස්‌ වල තිබෙන වැව් 64 ක ප්‍රමාණයකට ජලය ලබා ගැනීම සහ තවත් ඉඩම් ප්‍රමාණයක්‌ අළුතින් අස්‌වැද්දීම. මෙම විකල්පය තුළ යෝජිත ජලාශයට යටවන වැව් විසිඑකෙන් විශාල ප්‍රමාණයක්‌ ආරක්‍ෂා කර ගත හැකි වන අතර පුරා විද්‍යා ස්‌ථානයන්ද පැරණි ජනාවාසයන්ද මතු අධ්‍යයනය සඳහා සුරක්‍ෂිත කර ගත හැකිය. සැබවින්ම සංවර්ධන යෝජනා ඇති කළ යුත්තේ ණය හිලව් සහ ගනුදෙනු සඳහා නොවන බව මේ යෝජනා වලින් පැහැදිලි වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: